මීට දශක කිහිපයක් තෙක් නිතර අසන්නට ලැබුණු මෙම වදන හා වර්තමානය හා කෙසේ සම්බන්ධ වන්නේ ද? යන්න විමසා බැලීම වැදගත් ය. එහෙයින් ඒ සඳහා ප්‍රභූ දේශපාලනයකට පදනම් වන ප්‍රභූ පැලැන්තියක් නූතනයේ අප රට තුළ දක්නට ලැබේද? යන්න පළමුව විමසුම් කළ යුතු ය.
සමාජයක ප්‍රභූ පැලැන්තිය යනු එහි සියලු ජන කොටස් අතුරින් සෙසු ජන කොටස් වලට අහිමි සුවිශේෂත්වයක් හිමි කර ගත් ජන කොටස ය. ඉංග්‍රීසි බසින් Elite යනුවෙන් හැඳින්වෙන මෙම සමාජ පැළැන්තිය දේශානුරූපී වෙනස්කම් වලින් යුතු ය. ඒ අනුව ද වත්මන් ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ එවන් ප්‍රභූ පැලැන්තියක් ස්ථාපිතව පවතින්නේ ද යන්න ශාස්ත්‍රීය වශයෙන් විමසා බැලීම ඉතා වැදගත් ය. ඊට හේතුව අප එවැන්නකට යොමු නොවීම තුළින් වත්මන් දේශපාලන වේදිකාවල නූතන ප්‍රභූ පැලැන්තිය යනුවෙන් පැවසෙන අශාස්ත්‍රීය මතවාද සමාජ සම්මතයන් වීමේ පහසු හැකියාවක් පැවතීම ය.
‘දොරටු පාලයා රජවීම’ නම් වෘත්තාන්තයට පාදක වන යසලාලක තිස්ස රජු ගෙන් පසු සුභ රාජ්‍යත්වයට පත් වීම එබඳු දේශපාලනමය සංසිද්ධියකි.
සමාජයක ප්‍රභූ බව දේශානුරූපී ලෙසින් සේම කාලානුරූපී ලෙස වෙනස් වන බව පැහැදිලි ය. අනුරාධපුර රාජධානී සමය තුළ රාජකීයනට පමණක් දෙවන වන එවන් ප්‍රභූ පැලැන්තියක් විසූ බව ඓතිහාසික සහ පුරා විද්‍යාත්මක සාක්ෂි මගින් තහවුරු වේ. අප ජන සමාජයේ කුඩා දරුවන් අතර පවා අතිශයින් ප්‍රචලිත ‘දොරටු පාලයා රජවීම’ නම් වෘත්තාන්තයට පාදක වන යසලාලක තිස්ස රජු ගෙන් පසු සුභ රාජ්‍යත්වයට පත් වීම එබඳු දේශපාලනමය සංසිද්ධියකි. යසලාලක තිස්ස රජු ගේත් සුභ නම් දොරටු පාලයා ගේත් සමස්ත කතා ප්‍රවෘත්තිය මුලින්ම සඳහන් වනුයේ මහා වංශයේ තිස් පස් වන පරිච්ඡේදයේ 49 සිට 58 දක්වා වන ගාථා වලිනි. මුත් එහිදී රජවාසල මුරකරුවකු සේ ජන වහරට පැමිණි සුබ දෝවාරික හෙවත් මහ දොරනා නම් වන රජවාසල ආරක්ෂක ප්‍රධානියා බව මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් විසින් තහවුරු කොට ඇත්තේ කදුරුවැව ශිලා ලේඛනයක ඇති සඳහනක් පදනම් කර ගනිමින් මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් විසින් තහවුරු කොට තිබේ.
අනුරාධපුර යුගයට අයත් ආරාමික ලෙන් ලිපි බොහොමයක ද ඒවා සංඝරත්නයට පූජා කළවුන් ලෙස” අසවලා ගේ ලෙන”ආදී වශයෙන් එවක ප්‍රභූ සමාජයට අයත් විවිධ වෘත්තිකයන් ගේ නම් සඳහන් වීම
එමෙන්ම අනුරාධපුර යුගයට අයත් ආරාමික ලෙන් ලිපි බොහොමයක ද ඒවා සංඝරත්නයට පූජා කළවුන් ලෙස” අසවලා ගේ ලෙන”ආදී වශයෙන් එවක ප්‍රභූ සමාජයට අයත් විවිධ වෘත්තිකයන් ගේ නම් සඳහන් වීමෙන් සමකාලීන සමාජය තුළ ඔවුනට හිමි වූ දේශපාලනමය හා සමාජමය බලය කෙතරම් දැයි අපට වටහා ගත හැක.
ඊට පසුකාලීනව පොලොන්නරුව, දඹදෙණිය, කුරුණෑගල, ගම්පල, කෝට්ටේ, සීතාවක ආදී රාජධානී යුගයන් තුළ රාජ්‍යත්වය හා සමීපව ඇසුරු කළ ප්‍රභූ පැලැන්තියක් පිළිබඳව සඳහන් වන අතර අප රට දේශපාලන වශයෙන් අස්ථාවරව පැවැති ගම්පල රාජධානී සමය තුළ එවක උප රාජධානියක්ව පැවැති රයිගම පාලනය කළ අලකේශ්වර පරපුරේ බලය ගම්පල රාජධානි බලය යටපත් කරමින් ඉස්මතු වූ ආකාරය සහිත “රයිගමයා ගේත් ගම්පලයා ගේත් කතා” අද අප සමාජයේ මුවින් මුව රැව් දෙන්නකි.
එමෙන්ම කන්ද උඩරට රාජාණ්ඩු තුළ ආරක්ෂා වූ ප්‍රභූ පැලැන්තියේ නෂ්ඨාවශේෂ අදටත් එහි යම් යම් ප්‍රජාවන් කෙරෙන් දක්නට ලැබේ.
එමෙන්ම කන්ද උඩරට රාජධානියේ දී වඩාත් ඉස්මතු වූ කුලවාදය අනුව රදළ වංශයට අයත් ප්‍රභූ පෙළපත් කිහිපයක් රාජ්‍යත්වයට සමීපව රජවාසල ඉහළ තනතුරු වලට පත් වීමෙන් එවක සමාජයේ ඉහළ පිළිගැනීම් වලට ලක් වූ බව පෙනේ. ඔවුන් සතු මෙම ප්‍රභූත්වය කෙතරම් ඉහළ මට්ටමක පැවතියේ ද යත් එවක රජ වාසල අධිකාරම් වැනි ඉහළ නිලයක් දරන්නකු හට යමකුට මරණ දඬුවමින් මෙපිට දඬුවම් පැමිණ විය හැකි අධිකරණ බලයක් පවා හිමිව තිබිණ.
එමෙන්ම කන්ද උඩරට රාජාණ්ඩු තුළ ආරක්ෂා වූ ප්‍රභූ පැලැන්තියේ නෂ්ඨාවශේෂ අදටත් එහි යම් යම් ප්‍රජාවන් කෙරෙන් දක්නට ලැබේ. එහෙත්, එය පොදු සමාජ සම්මතයක් බවට පත් නොවීම හේතුවෙන් එය තව දුරටත් සුරක්ෂාකර ගැනීමේ අපහසුවට ඔවුන් මුහුණ පා තිබෙනු දක්නට පුළුවන. ඒ කෙසේ හෝ අදටත් පැරණි කුල ක්‍රමයට යම් අගැයුමක් හිමි වන ආවාහ විවාහ කටයුතු වල දී උඩරට පාරම්පරික රදළ පරම්පරාවන්ට හිමිකම් කියන ඇතැම්හු දැඩි ස්ථාවරයක පසුවන බව පෙනෙයි.
බටහිර ජාතීන් විසින් තමනට ආර්ථික සහ සමාජයීය වාසි හා ප්‍රයෝජන ලබා ගැනීම උදෙසා පහතරට ජනතාව අතුරින් ප්‍රභූ පැලැන්තියක් නිර්මාණය කළ බව ඉතා පැහැදිලිව පෙනේ
එමෙන්ම කන්ද උඩරට රාජාණ්ඩු තුළින් මතු වූ මෙම ප්‍රභූ පැලැන්තියට සාපේක්‍ෂව අප රට නතු කර ගත් බටහිර ජාතීන් විසින් තමනට ආර්ථික සහ සමාජයීය වාසි හා ප්‍රයෝජන ලබා ගැනීම උදෙසා පහතරට ජනතාව අතුරින් ප්‍රභූ පැලැන්තියක් නිර්මාණය කළ බව ඉතා පැහැදිලිව පෙනේ. මිනිරන් නිෂ්පාදනය, රේන්ද බලපත්‍ර, කුරුඳු වගාව, ගැල් ප්‍රවාහන කටයුතු ආදී වූ සමකාලීන විදේශ විනිමය හා ධනෝපායන මාර්ගයන් පදනම් වූ ස්ථාපිත වූ මෙම පහතරට ප්‍රභූ පැලැන්තියට මුදලි, මුහන්දිරම් ආදී කුලවන්නම් ප්‍රදානය කළ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීහු ඔව්හු තම දේශීය ඒජන්තවරුන් ලෙස සළකා ක්‍රියා කළහ. ගත වූ කාලය තුළ ශ්‍රී ලංකාවේ යටත් විජිත ධනේෂ්වරයේ නැඟීම මුල් කොට ආචාර්ය කුමාරි ජයවර්ධනයන් ලියූ ‘සොක්කන් ලොක්කන් වූ වගයි” කෘතිය එම විෂය පථය හා සම්බන්ධ විශිෂ්ටතම සාර සංග්‍රහයකි.
ඉහත සඳහන් සමාජමය ප්‍රභූත්වය කාලානුරූපී සහ සමාජානුරූපී ලෙස වෙනස් වන මුත් ඒ හා සම්බන්ධ පොදු සමාජ මානව විද්‍යාත්මක නිර්ණායක කිහිපයක් ද ඉදිරිපත් කළ හැක. නමුදු වත්මන් දේශපාලන වේදිකාවල පැවසෙන ඊනියා ප්‍රභූත්වය මතු දැක්වෙන නිර්නායක සමඟ කෙසේ සැසදේ ද යන්න බරපතල ගැටළුවකි.
එවන් ධන සම්පත් රාශියක් තමන් වටා ඒකරාශී කර ගත් පමණින් යමකුට ප්‍රභූත්වයක් ආරෝපණය කර ගත නොහැක.
ප්‍රභූත්වය යනු පළමු කොටම වත් පොහොසත් කම් මත පදනම් වන්නකි. මෙහි වත්පොහොසත් කම් යනු නිතර සංසරණය වන මිල මුදල් ප්‍රමාණය නොවේ. යමකු සතු ස්ථාවර ධනය, ධනෝපායන මාර්ග සේම නිශ්චල, වංචල දේපල මත පදනම් වන්නකි. එමෙන්ම එවන් ධන සම්පත් රාශියක් තමන් වටා ඒකරාශී කර ගත් පමණින් යමකුට ප්‍රභූත්වයක් ආරෝපණය කර ගත නොහැක. ඒ සඳහා කිසියම් පාරම්පරික හිමිකමක් ද ඔවුන් සතුවිය යුතු ය. නමුත් මේ වන විට ඉතා කෙටි උපාය මාර්ග වලින් අති විශාල ධනස්කන්ධයන් හිමිකර ගන්නා සමහරකු පාරම්පරික ධනවතුන් සතු මන්දිර වතු පිටි ඉඩකඩම් මිලට ගෙන ඒවා අභිරක්ෂණය කොට පවත්වාගෙන යනු දක්නට පුළුවන. එමෙන්ම එම මන්දිර ඉදිරිපිට පැරණි බක්කි කරත්ත, රේස් කරත්ත සහ පරම්පරා කිහිපයකට ඉහත භාවිතා කළ මෝටර් රථ ගාල් කොට තිබෙනු ද දක්නට පුළුවන. ඒ පාරම්පරික වශයෙන් තමන්ට අහිමි ප්‍රභූත්වයන් කෘත්‍රිමව ආරෝපණය කර ගනු පිණිස ය.
එහෙත්, අප සමාජය තුළ ප්‍රභූත්වයක් ආරෝපණය කර ගැනීමට එලෙස වත් පොහොසත්කම් පමණක් නියත සාධකයක් නොවේ. ඒ සඳහා ඔහුගේ කුලය, පරම්පරා ඉතිහාසය ආදිය ද විශේෂයෙන් සළකා බැලීම පිළිගත් සම්ප්‍රදායකි. එසේ නොමැතිව මීට දශක කිහිපයකට ඉහත ජන ව්‍යවහාරයට අනුව “ලක්සෙට කොඩි දැමීම” යනුවෙන් හැඳින්වුණු සමකාලීන මුදල් ඉපැයීම මගින් පොහොසත් වූවන් ලක්ෂපතියන් ලෙස මිස ප්‍රභූන් ලෙස සමාජ පිළිගැනීමට ලක් නොවේ. “දැන් ලක්සෙට කොඩි දැම්මට බය මනුස්සයගේ තාත්තා මුත්තා මෙන්ම මෙහෙමයි” පවසමින් ඔවුන් ගේ ප්‍රභූත්වය නිශේධනය කිරීමක් එකල දක්නට ලැබිණ. නමුත් සමාජයේ මතක සීමාවෙන් ඔබ්බෙහි; එනම් පරම්පරා දෙක තුනකට එපිට අතීත මුතුන් මිත්තන් ගේ ක්‍රියාකාරකම් ඔවුන් ගේ මුනුපුරන් ගේ හා මී මුනුපුරන් ගේ ප්‍රභූත්වය කෙරෙහි සෘජු බලපෑමක් කළ බවක් නොපෙනෙයි.
මුදලි මුහන්දිරම් කම් හිමි කර ගත්තවුන් ප්‍රභූත්වයට පත්වීම බොහෝ විට සිදු විය.
අතීතයේ අප සමාජයේ සිටි සෑම ප්‍රභූවරයකුම එවක රාජ්‍ය හා පාලන තන්ත්‍රය හා කිනම් හෝ සහසම්බන්දතාවක් පැවැත්වූවකු බව ඉතා පැහැදිලි ය. රාජ්‍ය හෝ සමාජමය මට්ටමින් ගරු නම්බු නිලතල හා තාන්න මාන්න ලැබීම එවක ප්‍රභූත්වයක් හිමි කරවීම සම්බන්ධ ඉතා වැදගත් සාධකයක් විය. විශේෂයෙන් යටත් විජිත සමයේ මුදලි මුහන්දිරම් කම් හිමි කර ගත්තවුන් ප්‍රභූත්වයට පත්වීම බොහෝ විට සිදු විය.
ඉහත සඳහන් තත්වයන් යටතේ වුව යම් යම් සමාජමය කටයුතු උදෙසා සක්‍රිය දායකත්වයක් දැක්වීම ද එවක ප්‍රභූත්වයක් හිමි කර ගැනීම සම්බන්ධයෙන් විශේෂයෙන් ඉවහල් වූ බව පෙනේ. ඒ සඳහා ඒ පුද්ගලයන්ගේ පෞරුෂය පිරිස් බලය ඔහු යටතේ යම් ප්‍රජාවක් යැපීම, සහ ආරක්ෂා රැකවරණ හිමි වීම ද ප්‍රභූත්වයක් හිමි වීමට වැදගත් සාධකයක් වූ බව ද පැහැදිලි ය.
වර්තමානයේ වුව සමාජයීය වශයෙන් හිමිවන තනතුරු ලාබ තාන්න මාන්න ඒ සඳහා තීරණාත්මක සාධකයක් වන අතර මේ වන විට එම තනතුරු ලාභ මිල මුදලට ලබා ගැනීමේ හැකියාව මුල් කොට එවන් ප්‍රභූත්වයක් කෘත්‍රිමව ආරෝපණය කර ගැනීමට වෙර දරන පිරිස් පිළිබඳව කොතෙකුත් අසන්නට ලැබේ.කන්ද උඩරට රාජ්‍යයේ අවශේෂ ජනයා මෙම ප්‍රභූ පැලැන්තිය හැඳින්වීම පිණිස ස්වාමි දරුවන් යන අරුත සහිත “හාමුදුරුවනේ” යන්න යෙදූ අතර පහත රට ජනයා එහි ප්‍රභූන් එම වදනම කෙටි කොට දක්වා “හාමු”යනුවෙන් එහි ප්‍රභූන් හැඳින් වූ බව පෙනෙයි.
කන්ද උඩරට රාජ්‍යයේ අවශේෂ ජනයා මෙම ප්‍රභූ පැලැන්තිය හැඳින්වීම පිණිස ස්වාමි දරුවන් යන අරුත සහිත “හාමුදුරුවනේ” යන්න යෙදූ අතර පහත රට ජනයා එහි ප්‍රභූන් එම වදනම කෙටි කොට දක්වා “හාමු”යනුවෙන් එහි ප්‍රභූන් හැඳින් වූ බව පෙනෙයි.
නමුත් මෙම ප්‍රභූත්වය සඳහා ඒ පුද්ගලයාගේ සදාචාරාත්මක බව නියත සාධකයක් නොවන බව ද ඒ සම්බන්ධ නීරීක්ෂණයන් ගෙන් මනාව සනාථ වන්නකි. විශේෂයෙන් එවක ප්‍රභූන් බොහොමයක් හා සම්බන්ධ පොදු ලක්ෂණයක් වූ අධි කාමභෝගීත්වයක් උදෙසා ඔවුන් නීති හා සදාචාර විරෝධී ලෙසින් මත්පැන් හා ස්ත්‍රී සේවනය කෙරෙහි යොමු වී තිබූ අතර මීට දශක කිහිපයක් දක්වාම එවැනි ස්ත්‍රී සහ පුරාවෘත්ත ප්‍රභූන් ‘වල් හාමු’ ආදී නම් වලින් සාමාන්‍ය ජනතාවගේ අපහාස උපහාස වලට ලක් වූ බවක් නිරීක්ෂණය වන මුත් එය ඔවුන් ගේ ප්‍රභූත්වය පිළිබඳ නිෂේධනාත්මක සාධකයක් නොවූ බව ද පැහැදිලි ය.
1970 දශකයේ අග භාගයේ සිට අප රට තුළ ක්‍රියාත්මක වූ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මත මෙම සාම්ප්‍රදායික ප්‍රභූ සංකල්පය වේගවත්ව බිඳ වැටීමකට ලක් වනු දක්නට ලැබිණ.
පොදුවේ ගත් කළ මෙම ප්‍රභූ පැලැන්තිය නාගරික යන ග්‍රාමීය වශයෙන් දක්නට ලැබුණු අතර එම පවුල් පරම්පරා අතර අනොන්‍ය සහසම්බන්ධතා පැවැති සේම නොපැවැති අවස්ථා ද නිරීක්ෂණය කළ හැක. එහෙත්, ගත වූ දශක කිහිපය පුරා පැවැති මෙම සමාජමය ආකෘතිය 1970 දශකයේ පවා උච්චාවචනය වෙමින් පැවැති අතර ඒ දක්වා එම ප්‍රභූන්ට අමතරව එවක පැවැති සමාජ සාරධර්ම මත ස්ථාපිත වූ හුදෙක් ඉහත සඳහන් ප්‍රභූත්ව සාධක මත පදනම් නොවූ වෙද, ගුරු වැනි සමාජය පිළිගත් වෘත්තීන් හි යෙදුණු ගෞරවනීය (Noble) පුද්ගලයන් ද බිහි වනු දක්නට ලැබිණ. ඒ සඳහා අදත් ඇතැමුන් ශාප ලත් හැත්තෑ සය වසරක් සේ සළකන 1948 නිදහසින් පසු අප රටේ වර්ධනය වූ නිදහස් අධ්‍යාපනය ද මහෝපකාරී වූ බව නිසැක ය.
නමුත් 1970 දශකයේ අග භාගයේ සිට අප රට තුළ ක්‍රියාත්මක වූ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මත මෙම සාම්ප්‍රදායික ප්‍රභූ සංකල්පය වේගවත්ව බිඳ වැටීමකට ලක් වනු දක්නට ලැබිණ.ඒ ඉන් පසු සමාජයේ ආදායම් සහ වියදම් රටා පැහැදිලි ව්‍යාප්තියක් සේම විෂම හා සංකීර්ණ බවක් පළ කළ බැවිනි.අනුව අතීතයේ නොමනා ධනෝපායන මාර්ග මගින් පොහොසත් වූවන් කෙරෙහි එල්ල වූ “බල්ලන් මරා හෝ සල්ලි සෙවීම”නම් වන උපහාසාත්මක සමාජ දෘෂ්ඨිය ද තත්කාලීනව බෙලහීන වනු දක්නා ලදී.
මෙම සමාජමය විචල්‍යතාව යටතේ අප ජන සමාජය තුළ අතීත ප්‍රභූත්වය හා පිළිබඳ සාධක සෙවීම හුදෙක් ඓතිහාසික වශයෙන් පමණක් සිදුකළ යුත්තක් බවට පත් වූයේ වත්මන් සමාජය තුළින් ඒ සඳහා වන තොරතුරු හා දත්තයන් සෙවීමේ දුෂ්කරතාව නිසාම ය. මෙම පසුබිම තුළ මේ දක්වා අප සමාජය තුළ ප්‍රභූ දේශපාලන හා අධිකාරියක බලය රදා පවත්නා බව කීම හුදෙක් ප්‍රලාපයක සීමාව නොඉක්ම වන බව කිව යුතු ය. ඒ වත්මන් දේශපාලන කරලියෙන් වුව ඒ සඳහා වන පුද්ගල සාධක සංයුතියක් ඒකරාශී කර ගැනීමේ අසීරුව මුල් කර ගනිමිනි.

නිදසුනක් ලෙස 1948 අප රටට නිදහස ලැබීමෙන් පසු බලයට පත් සේනානායක, බණ්ඩාරනායක යන ජන සම්මත ප්‍රභූ පරම්පරා දෙකට පසු බලයට පත් ජේ. ආර්. ජයවර්ධනයන් ගේ පරම්පරා ඉතිහාසය තුළ ජන සම්මත ප්‍රභූත්වයක් නොමැති බවට විවිධ තර්ක ඉස්මතු විය. ඉන් පළමු බලයට පැමිණි ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා පහත රට මධ්‍යම පන්තිය නියෝජනය කළ ප්‍රභූ නොවන සාමාන්‍ය පරම්පරාවකට අයත් වූවකි. ඊට පසු අප රටේ අනුප්‍රාප්තික ජනාධිපති පදවියට පත් ඩී.බී. විජේතුංගයන් ද උඩරට මධ්‍යම පාන්තික අතික්‍රමණය කළ රදළ පරපුරකට හිමිකම් කියන්නකු නොවේ.
පසුව අප රටේ ජනාධිපති පදවියට පත් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ දෙබෑයන් ද උඩරට හෝ පහතරට ජන සම්මත රදළ පරපුරකට අයත් බව තහවුරු කළ හැකි ප්‍රබල ඓතිහාසික සාක්ෂි ඉදිරිපත්ව නැත. වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහයන් ගේ පරම්පරා ඉතිහාසය විමැසීමේදී පෙනී යන්නේ ඔහු දහනව වන සියවසේ ඉංග්‍රීසි යටත් විජිත බටහිර අධ්‍යාපනයෙන් පන්නරය ලත් නාගරික ඉහළ මධ්‍යම පාන්තික සමාජයෙන් ඉස්මතු වූවකු මිස ඉහත සඳහන් නිර්නායක මත ස්ථාපිත වූ ප්‍රභූ සමාජයට අයත් වූවෙකු ලෙස නොවේ. අප රටේ පළමු සිංහල දිසාපති පදවිය හෙබ වූ සී.එල් වික්‍රමසිංහ රනිල් වික්‍රමසිංහයනගේ මුත්තනුවන් වන අතර මෙම පරපුරට අයත් බටහිර පන්නයේ උගතුන් විසි වන සියවසේ මුල් භාගයේ සමාජයේ ඉහළ තල වලට සපැමිණ අප රටේ සාම්ප්‍රදායික රදළ පැලැන්තිය හා අවාහ-විවාහ සබඳතා ගොඩ නංවා ගත් අන්දම මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ගේ “ගම්පෙරළිය” නව කතාවෙන් මනා කොට විස්තර කෙරේ.
VIP ස්ටිකර් සහිත අධි සුඛෝපභෝගී වාහන වලින් සැලකිය යුතු කොටසක් භාවිත කරන්නවුන් නීති සහ සදාචාර විරෝධී ක්‍රියාවන්ට දැඩි සම්බන්ධතාවක් පළ කරන බවට එල්ල වන පොදු සමාජයීය චෝදනාව ප්‍රතිෂේප කිරීමට ද අපට නොපුළුවන.
මේ අතර අතීතයේ පැවැති මෙම ප්‍රභූ අර්ථ නිරූපණය මේ වන විට කිසිදු ප්‍රමිතියක් හෝ නිර්නායකයක් නොමැති VIP ලේබලයෙන් සමාජ ගත වීමක් දක්නට ලැබේ. මෙහි VIP යනුවෙන් නම් කරනුයේ සමාජයට විශේෂ බලපෑමක් කළ හැකි කීර්තිමත් පුද්ගලයකු හෝ විශේෂ වරප්‍රසාද හිමි කර ගත් අයකු ලෙසිනි. නමුදු අද අපට මඟ තොටේ දක්නට ලැබෙන VIP ස්ටිකර් සහිත අධි සුඛෝපභෝගී වාහන වලින් සැලකිය යුතු කොටසක් භාවිත කරන්නවුන් නීති සහ සදාචාර විරෝධී ක්‍රියාවන්ට දැඩි සම්බන්ධතාවක් පළ කරන බවට එල්ල වන පොදු සමාජයීය චෝදනාව ප්‍රතිෂේප කිරීමට ද අපට නොපුළුවන.
එවන් පසුබිමක් යටතේ විවෘත ආර්ථිකය ගෝලීයකරණය සහ නව ලිබරල්වාදය හා යන නවීන සමාජය, ආර්ථික දේශපාලන ප්‍රපංචයන් තුළින් මේ වන විට සුන්බුන් වී ගිය පන්ති පරතරයක් ඉන් ඉස්මතු කරවීම යකඩ නිවසක් තුළින් පුළුන් ඉස්මතු කිරීමට වෙර දැරීමක් වුව ඒ සම්බන්ධයෙන් කරනු ලබන විමසුම් වලදී ඉතා පැහැදිලිව පෙනෙනු ඇත.ඒ අනුව ඒ සම්බන්ධයෙන් අපට කිව හැක්කේ වර්තමාන සමාජයේ ප්‍රභූ පැලැන්තියක් ඇතැයි යන කතාව හුදු දේශපාලනික ප්‍රවාදයක් පමණක් බව ය.
(මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර)
(උපුටා ගැනීම - vinivida.lk)



