ඉදිරි අනාගතය පිළිබඳවත් විවිධාකාරයේ විවේචන, විශ්ලේෂණ මෙන්ම ඉදිරි අනාගතය සම්බන්ධයෙන් විවිධාකාර වූ සුරංගනා කතාවන් මැතිවරණ වේදිකාවල මෙන්ම මාධ්‍ය ඇතුළු විවිධ ප්‍රචාරණ ක්‍රම ඔස්සේ ජනතාව වෙත සමීප කරමින් තිබෙන කාලයකි.
මෙහි දක්නට ඇති සුවිශේෂී කරුණ නම් මැතිවරණ වේදිකාවල ජනාධිපති අපේක්ෂකයින් හා ඔවුන්ට සහයෝගය දක්වන්නා වූ පාර්ශ්වවල ප්‍රකාශයන් ගෙන බැලීමේදී පසුගිය අර්බුදකාරී කාලවකවානුවට වගකිවයුතු වූ කිසිවෙකුත් නොමැත. සියලු වේදිකාවල ප්‍රකාශ වන්නේ සියලු අර්බුදයන් අනෙකා විසින් ඇති කරන ලද්දක් බවත්, තමන් එම අර්බුදය නැවත ඇති නොවනාකාරයෙන් රටේ උන්නතිය වෙනුවෙන් ඉදිරිපත් වූ බවත්ය.
ජයග්‍රහණයට පියවරුන් දහසක් ඇතත් පරාජය අවජාතක යැයි පැරණි කියමනක් ඇතත් සත්‍ය වන්නේ පරාජයට ද පියවරුන් ඇති බවයි. පරාජය අහඹු හෝ අවජාතක නොවන බව සත්‍ය සේම පසුගිය කාල වකවානුව තුළ රටත්, ජනතාවත් පීඩාවට පත් කළ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේද පියවරුන් ගණනාවක් ඇත.
අප විසින් පහත විශ්ලේෂණය මඟින් සංක්ෂිප්තව හා කරුණු පෙළ ගැස්මකින් යුතුව කාරණා ඉදිරිපත් කරන්නේ, මෙරට ප්‍රවීන ආර්ථික විශ්ලේකයකු සමග සිදුකළ සාකච්ඡාවක් පදනම් කරගනිමිනි. ඒ පසුගිය කාල සීමාවේදී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදය පදනම් කර ගනිමින් නිර්මාණය වූ දේශාපලනික හා සමාජයීය ගැටළුකාරී තත්වයන් නිර්මාණය කිරීමට වගකිවයුත්තේ සැබෑ ලෙසින්ම කවුරුන්ද යන්න ඔබටම තීරණය කර ගැනීමේ අයිතියට ඉඩ විවිර කරමිනි.
ආර්ථිකය බංකොලොත් වුණේ කොහොමද?

කෙටි පිළිතුර : විදේශ ණය ගෙවීම පිණිස රජයට (2022 අප්‍රේල්) විදේශ විනිමය නොතිබුණ නිසා
දිගු පිළිතුර : 2019 බිහිවූ නව රජය විසින් ගන්නා ලද ප්‍රතිපත්තිවල තිබූ දෝෂයන් නිසා
- මහා පරිමාණයේ බදු කපා හැරීම
- රාජ්‍ය ආදායම පිරිහීයාම වලක්වා ගැනීමට කිසිඳු පියවරක් නොගැනීම
- 2019 අගවන විට තිබූ සමස්ත විදේශ විනිමය තොගය (ඩොලර් මිලියන 7.6) ඉවර වෙන තුරු කිසිවක් නොකර බලා සිටීම
- දිගින් දිගටම මුදල් අච්චු ගසා රජයේ වියදම් සිදු කිරීම. මහ බැංකුව මුදල් අච්චු ගැසීම නිසා රටතුළ මිල උද්දමනයක් ඇති වන්නේ නැති බැව් ප්‍රකාශ කිරීම
- පොලී අනුපාතය කෘතිම ලෙස පහත තබා ගැනීම
- විනිමය අනුපාතය බලෙන් පහත තබා ගැනීම
- රසායනික පොහොර තහනම් කිරීම (දුර්භික්ෂයකට අත වැනීම)
අර්බුදය ප්‍රකාශ වුයේ කෙසේද

- භාණ්ඩ හා සේවාවන් දිගින් දිගටම හිඟවීම / කඩාකප්පල්වීම
- ගෑස්, තෙල්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත්, පොහොර රට පුරා හිඟවීම
- විදුලිය කප්පාදුව (පැය 14 ක් දිනකට)
- බෝග වගාවන් කඩා කප්පල්වීම
- පාසල් පද්ධතිය කඩා කප්පල්වීම
- බෙහෙත් හිඟය හා රෝහල් පද්ධතිය අකර්මන්‍ය වීම
- විදේශ විනිමය ගනුදෙනු සීමාවීම / බැංකුවල විදේශ විනිමය හිඳී යාම
- කළුකඩ විදේශ විනිමය අනුපාතය ඩොලර් 1 රු. 400 ක් පසු කිරීම
- විදේශ රැකියා කරන අය ලංකාවට මුදල් එවීම කඩාකප්පල්වීම
- රට පුරා අසනහනය හා උද්ඝෝෂණ
- ජන ජීවිතය කඩාකප්පල්වීම - අපේක්ෂාභංගත්වය
- එවකට පැවති රජයට මේ ප්‍රශ්නවලට කිසිඳු පිළිතුරක් නොතිබීම
අර්බුදය නිල වශයෙන් ප්‍රකාශ වූයේ කෙසේද?
- ශ්‍රී ලංකාවට විදේශ ණය ගෙවීමට හැකියාව නොමැති බැව් 2022 අප්‍රේල් 12 දින ප්‍රකාශ කළා.
එවැනි ප්‍රකාශයක් කල යුතුව තිබුණේ කෙසේද?
- එවැනි ප්‍රකාශයක් කිරීමට මුදල් ඇමතිවරයාට බැහැ. ජනාධිපතිවරයාට බැහැ. අමාත්‍ය මණ්ඩලයට බැහැ. ව්‍යවස්ථාවේ 148 වගන්ති ප්‍රකාරව රාජ්‍ය මූල්‍යයේ සමස්ත පාලනය පාර්ලිමේන්තුව සතු වනවා. එබැවින් එවැනි ප්‍රකාශයක් කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින්. වෙනත් ආකාරයකට එය සිදුකළ නොහැකියි.
විදේශ ණය ගෙවීමට බැහැ කිව්වාට පසුව මොකද වුණේ?

- ශ්‍රී ලංකාව දිගින් දිගමට දේශීය ණය ගෙව්වා. බහුපාර්ශවීය ආයතනවලින් (ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ආදී) ලබාගත් ණය දිගින් දිගටම ගෙව්වා. ඒවා පැහැර හැරියේ නැහැ.
- ගෙව්වේ නැත්තේ - ද්විපාර්ශ්වික ණය (රටවලින් ගත්)
- වාණිජ ණය (උදා: ISB)
- ණය ගෙවීමට බැහැ කිව්වාට පස්සේ විවිධ රටවලින් ණය ලබාගෙන ක්‍රියාත්මක කල සිය ගණනක් ව්‍යාපෘති කඩාගෙන වැටුණා. ඒවා ක්‍රියාත්මක කිරීමට මුදල් නැති වුණා.
- ණය ගෙවන්නේ නෑ කිව්වාට පසුව එම රටවලින් ණය ගන්න බැහැ. ණය දෙන්නේ නෑ.
- එතකොට වාණිජ ණය - ISB ආදිය ඒවා සම්බන්ධයෙන් ණය හිමියන් නීතිමය කටයුතු කරන්න පටන් ගත්තා. නිව්යෝර්ක් නුවර අධිකරණයක එවැනි නඩුවක් ණය හිමියෙකු වන Hamilton Reserve Bank විසින් පවරා තිබෙනවා. තවම නඩුව අහලා ඉවර නෑ.
- විදේශ ගනුදෙනු කිරීමට අපට අරමුදල් නැතිවුණා.
- ශ්‍රී ලංකාවත් සමඟ කුඩා ප්‍රමාණයේ ගනුදෙනුවක්වත් කිරීමට රටවල් එකඟ වුණේ නෑ. අපේ බැංකුවලින් ණයවර ලිපි විවෘත කිරීමට උසස් විදේශ බැංකු තහවුරුවක් අවශ්‍ය වුණා. නැතිනම් ගනුදෙනු කලේ අත්පිට මුදලට පමණයි.
ඉන් අනතුරුව මොකද වුණේ?

- 2022 පළමු කාර්තුව වනවිට ජනතා විරෝධය මැද මුළු ලංකාවම ගිණි ගොඩක් වුණා.
- පැවති රජය ඉල්ලා අස් වුණා
- විරෝධතාකරුවන් පැවති රජයේ මන්ත්‍රීවරුන්ට හා රජයට සම්බන්ධ පිරිස්වලට පහර දුන්නා. සමහර අය මැරුවා.
- 2022 මැයි මස දෙවන සතියේ නව රජයක් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා යටතේ බිහි වුණා.
- ඒ සමඟම රට පවත්වා ගන්න වෙනත් හොඳ විකල්ප නොමැති නිසා IMF සමඟ සාකච්ඡා කරන්න සිදුවුණා.
IMF සාකච්ඡා ආරම්භ වුණේ කෙසේද?

රටේ ආර්ථිකය දිගින් දිගටම ප්‍රපාතයට යද්දී 2022 පළමු කාර්තුවේ දී එවකට සිටි ආර්ථිකය මෙහෙය වූ අය එක්කෙනා දෙන්නා ඉල්ලා අස්වී අයින් වෙන්න පටන් ගත්තා. ඔවුන් අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිවලින් මුළු රටම විනාශ වී යන බැව් රටේම අය දැන ගත්තත් ඔවුන් පිළිගත්තේ නෑ. එවකට රජයේ සිටි බොහෝ පිරිසකගේ අකමැත්තෙන් වුවද එම රජය 2022 මාර්තු මාසයේ දී IMF ආයතනයට ලියුමක් ලිව්වා අධාර උපකාර ඉල්ලලා. නොගෙවූ විදේශ ණය ගැන කටයුතු කරන්නට ජාත්‍යන්තර උපදෙස් ගැනීමට Lazards සහ Clifford Chance සමාගම් පත් කර ගත්තා. හැබැයි මේ එකක්වත් කරගන්න ලැබුණේ නැහැ. මහජන විරෝධය මැද රජයට ගෙදර යන්න වුණා.
ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත් වුණු දවසේ සිට මෙරට තානාපතිවරුන්ට කථා කළා. IMF ආයතනයේ ප්‍රධානීන්ට Zoom හරහා කථා කළා. ඉන්දියාවට කථා කොට ඩොලර් බිලියන 3.8 ක ණය යෝජනා ක්‍රමයක් සකස් කර ගත්තා. UN එකට සහ විශේෂයෙන් FAO එකට කථා කලා. WB, ADB කතා කළා. මේ සියල්ලන්ටම කතා කොට තෙල් ගෙන්වා ගන්න, ගෑස් ගෙන්වා ගන්න, බෙහෙත් ගෙන්වා ගන්න, පොහොර ගෙන්වා ගන්න වැඩපිළිවෙලක් සකස් කර ගත්තා. කුඩා ප්‍රමාණයක විදේශ විනිමයක් සොයා ගත්තා. ඒකට මාස 2-3 පමණයි ගත වුණේ. හිමින් හිමින් රටේ තිබුණු භාණ්ඩ හිඟය අඩු වුණා. ඒ අතරතුරු IMF සමඟ සාකච්ඡා කොට අප රට ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ඒමට ගත්ත ඉතාම තීරණාත්මක වැදගත් පියවරක් ලෙස 2022 සැප්තැම්බර් 1 දින මාණ්ඩලික මට්ටමේ එකඟතාවකට ආවා.
ටිකෙන් ටික 2022 අගභාගය වන විට උද්ඝෝෂණ ද අඩු වුණා.
IMF ගිවිසුම කෙබඳුද?

- 2022 සැප්තැම්බර් 1 දින මාණ්ඩලික මට්ටමේ එකඟතාවට ආවට පසුව IMF ආයතනය ශ්‍රී ලංකාවට කියා සිටියා ණය හිමි රටවල් සමඟ සාකච්ඡා කොට එකඟතාවයකට එන ලෙස. ණය තිරසරභාවය නොමැති කිසිම රටකට IMF ආයතනය ණය දෙන්නේ නෑ. ණය ගෙවන්න වැඩපිළිවෙලක් නොමැති රටවලට IMF ණය ලබා දෙන්නේ නෑ. එම නිසයි ණය හිමි රටවල් සමඟ සාකච්ඡා කොට ශ්‍රී ලංකාව එකඟතාවයකට එන්න කටයුතු කළේ.
- ශ්‍රී ලංකාව මෙයට පෙර අවස්ථා 16 කදී IMF ගොස් ණය ලබාගෙන තිබුණත් 17 වන අවස්ථාවේ දී ණය වැඩසටහනට යාම පිණිස ණය දුන්නු රටවලින් ණය තහවුරුවක් ගන්න කියලා IMF කිව්වා. එය ලබා ගැනීමට මාස 6 ½ ගියා. චීනයෙන් තමා අවසන් තහවුරුව ලැබුණේ. ඒ 2023 මාර්තු 6 දා. ඉන් පසුව මාර්තු 20 IMF අධ්‍යක්ෂ මණ්ඩලය විසින් IMF වැඩසටහන අනුමත කළා. අවුරුදු හතරකට බිලියන 3ක ණය ප්‍රමාණයක්.
එම වැඩසටහනේ අඩංගුව:-
- රාජ්‍ය මූල්‍ය අංශය (ආදායම්, වියදම්, ණය) යථා තත්ත්වයට පත් කර ගැනීම
- දිළිඳු කොටස්වලට ආධාර සැපයීම
- බැංකු පද්ධතිය රැක ගැනීම
- ණය ප්‍රතිව්‍යුගතකරණය
- විදේශ විනිමය සංචිත ගොඩනැඟීම
- දූෂණ විරෝධී වැඩසටහන ඇතුලත්
මෙම අංශයන් සියල්ලම ප්‍රතිසංස්කරණයට ලක් කොට තිබෙනවා.
- IMF සංවිධානය සමඟ එකඟතාවයකට පැමිණි නිසා බහුපාර්ශවීය ආයතන (WB, ADB) අප සමඟ සාමාන්‍ය ලෙස කටයුතු කිරීමට පටන් ගත්තා.
- IMF වැඩසටහන යටතේ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුවන විටදී ලෝකයේ රටවල් යලිත් ශ්‍රී ලංකාව සමඟ ආර්ථික ගනුදෙනු සාමාන්‍ය පරිදි සිදු කිරීමට පටන් ගත්තා. සංචාරක ව්‍යාපාරය ක්‍රමයෙන් ඉදිරියට පැමිණියා.
- ඒ සමඟම රටේ භාණ්ඩ හිඟය 2023 පළමු කාර්තුව වන විට මුළුමනින්ම නැති වුණා.
IMF ගිවිසුම සංශෝධනය කළ හැකිද?
විවිධ පාර්ශව විසින් මේ පිළිබඳ අදහස් දක්වා තිබෙනවා. මෙවර අප IMF ආයතනයත් සමඟ එකඟ වූ ගිවිසුම විශේෂිත ගිවිසුමක්. මෙයට පෙර 16 වතාවක් අප IMF ආයතනය සමඟ ගිවිසුම් ගත වුණත් ඒ අවස්ථාවල දී පැවතියේ සාමාන්‍ය ආර්ථිකයක්. නමුත් 17 වන වතාවට යන විට ශ්‍රී ලංකා ආර්ථිකය පත්ලටම වැටිලා තිබුණේ. එබැවින් මෙවර විශේෂ වැඩපිළිවෙල රාශියක් IMF ගිවිසුමට ඇතුලත්. ණය හිමි රටවලින් මූල්‍යකරණ සහතිකය අප ලබා ගන්නා තුරු පළමු IMF අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය අපට ලබා ගන්නා බැරි වුණා.
ඊළඟ කාරණය තමා ණය ප්‍රතිව්‍යුගතකරණ වැඩපිළිවෙල කාල රාමුවක් තුළ සිදු කළ යුතුයි. එනම් IMF විමර්ශන දූත කණ්ඩායම් ශ්‍රී ලංකා ආර්ථික වමර්ශනය කොට දෙන වාර්තාව උඩ තමා IMF ණය වාරික ලැබෙන්නේ. පසුගිය ජූනි 26 දින ද්විපාර්ශවීය ණය හිමියන් (රටවල්) සමඟ ණය ගෙවීම පිළිබඳ එකඟතාවයකට ආවා. ඉන් අනතුරුව තමා එවර ණය වාරිකය ලැබුණේ. දැන් අප වාණිජ ණය හිමියන් සමඟ කථා කරගෙන යනවා. ඒක නිම වුණාම අනෙක් වාරිකයට ලැබෙන්නේ.
ඊට අමතරව IMF ආයතනයේ මූලික කොන්දේසි කිහිපයක් තිබෙනවා කඩ කළ නොහැකි.
- ණය තිරසරභාවය ලබා ගැනීම : 2032 වන විට රටේ සමස්ත ණය තොගය එවකට ද.දේ.නි. 95% වඩා අඩු විය යුතුයි.
- රජයේ දළ මුල්‍ය අවශ්‍යතාවය ද.දේ.නි. 13% අඩු විය යුතුයි (වාර්ෂිකව)
- විදේශ ණය සේවාකරණය (ණය + පොලී) ද.දේ.නි. 4.5% අඩු විය යුතුයි (වාර්ෂිකව)
මෙයට අමතරව
- ද.දේ.නි. 2.3% ප්‍රථමික ගිණුමේ අතිරික්තයක් පවත්වා ගත යුතුයි.
- ඉදිරියට සල්ලි අච්චු ගහන්න බැහැ.
- රාජ්‍ය ආදායම ද.දේ.නිෂ්පාදිතයෙන් 15% ක් වත් දක්වා වර්ධනය කරගත යුතුයි.
එතකොට කුමක්ද සංශෝධනය කරන්නේ. මෙම ඉලක්කද? නො එසේනම් සමස්ත ගිවිසුමද? මේ පිළිබඳව පැහැදිළි කථාවක් කාගෙන්වත් කියැවෙන්නේ නැහැ. ආදායම් ඉලක්ක වෙනස් කරනවා නම් එයින් අහිමිවන ආදායම සොයා ගැනීම පිණිස විකල්ප ආදායම් සොයා ගත යුතුය.
IMF ගිවිසුම හෝ එහි ඉලක්ක කඩ කලා යැයි සිතමු. මොකද වෙන්නේ?

- IMF සංවිධානය ශ්‍රී ලංකාවත් සමඟ කරන ගනුදෙනුව අත හරී.
- එහෙම වුනොත්, ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව අපට දීමට පොරොන්දු වී ඇති ණය අපට නැති වෙනවා.
- මේ නිසා 2025 වසරේම අයවැය ලේඛනය අපේක්ෂා කරපු විදියට සකස් කර ගන්නා බැරිවේවි.
- මේ දක්වා අප ණය ගෙවන්නේ නැහැ. එතකොට IMF වැඩපිළිවෙලත් නැත්නම් අපට ණය ගෙවන්න පටන් ගන්න වෙනවා.
- ඒවාට විශාල විදේශ විනිමයක් අවශ්‍ය වෙනවා. එවැනි සංචිතයක් දැනට අපට නැහැ. රටවල් සමඟ ආර්ථික ගනුදෙනු කිරීමට බාධා ඇති වෙනවා .
- රටේ ආර්ථිකය කළමනාකරණය පිළිබඳ පිටරටවල දැනට ඇති විශ්වාසය පළුදු වෙනවා.
- එවිට දැන් කරගෙන යන විදේශ විනිමය ගොඩනැඟීමේ වැඩපිළිවෙල කඩාකප්පල් වෙනවා.
- විනිමය අනුපාතය තවත් බහිනවා (පිරිහෙනවා).
- දැන් කරන රාජ්‍ය වියදම් කපන්න වේවි.
- පොලී අනුපාතය ඉහළ යාවී.
- ආර්ථික වර්ධන වේගය අඩු වී අපට රාජ්‍ය පවත්වාගෙන යාමට ආදායම් සොයා ගන්නා බැරි වේවි.
ආදායම් අඩු වෙනකොට
- රජයේ සේවකයන්ට පඩිනඩි, පැන්ෂන් ගෙවීම දුෂ්කර වේවි.
- උද්ධමනය ඉහළ යාවී.
- භාණ්ඩ යළිත් හිඟ වේවි.
- එවිට මහජන අසහනය හා විරෝධතා මතු වේවි. යළිත් රට ගිනි ගනීවි.
ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ගත් ප්‍රතිපත්තිමය පියවර කවරේද?

- IMF වැඩසටහන - ආර්ථික ස්ථායීකරණය පිණිස
- ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන - සීග්‍ර ආර්ථික වර්ධනය පිණිස
- IMF වැඩසටහනට ප්‍රමුඛත්වය ලබා දෙමින් ආර්ථික ස්ථායීකරණයට ප්‍රථමයෙන් යොමු වුණා. ඒ යටතේ මහා භාණ්ඩාගාරයට තව දුරටත් බර දැරීමට නොහැකි බැවින් මිල ප්‍රතිසංස්කරණ රාශියක් ඇති කළා. ගෑස්, තෙල්, විදුලිය, ජලය, බස් ගාස්තු, ආදිය.
- විශේෂයන් මහ බැංකුව මඟින් මුදල් අච්චු ගැසීම මුළුමනින්ම අවසන් කළා.
- ආර්ථිකය වර්ධනය කර ගැනීම පිණිස ප්‍රථම කොට කෘෂි අංශයට අඛණ්ඩව පොහොර , කෘෂි රසායන ද්‍රව්‍ය සැපයීම
- ආනයනය අපනයන වෙළඳාම පිළිබඳ තිබුණු සීමාවන් ක්‍රමනුකූලව ඉවත් කිරීම
- විනිමය පාලන රෙගුලාසි ඉවත් කිරීම
- තෝරාගත් ක්ෂේත්‍රවල තරඟකාරීත්වය ප්‍රවර්ධනය කිරීම
- රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණය සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම
- රාජ්‍ය පෞද්ගලික ව්‍යාවසායකත්ව ප්‍රවර්ධන වැඩසටහන
- ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණ නිමකොට මේ දක්වා අතර මඟ නතර කල ව්‍යාපෘති යලි ආරම්භ කිරීම
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යළි ගොඩනැංවීම පිණිස පුළුල් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය පිණිස විශේෂ ප්‍රමුඛතාවයක් ලබා දීම ආදිය
පසුගිය වසර දෙක තුළ ආර්ථික වර්ධනය පිණිස ගත් පියවර කිහිපයක්
දිගු කාලීන සංවර්ධනය පිණිස රයේ වැඩපිළිවෙල කවරේද?
- 2048 වසර වන විට දියුණු රාජ්‍යයක්, ණය බරින් තොර රාජ්‍යයක්, උසස් ජීවන තත්ත්වයක් ඇති රාජ්‍යයක් බවට පත් කර ගැනීම පිණිස රජය විසින් දිගු කාලීන සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. එය නීතියක් බවට පත් කර ඇත. ඒ සඳහා ආර්ථික පරිවර්තන පනත පාර්ලිමේන්තුව සම්මත කර ඇත.
- මෙම වැඩසටහන යටතේ විදේශ ආයෝජන ශක්තිමත් කිරීමත් රටේ ආර්ථික කටයුතුවල ඵලදායීතාවය වර්ධනය කිරීමටත්, ජාත්‍යන්තර වෙළඳාම ශක්තිමත් කිරීමටත් ක්‍රියාමාර්ග සූදානම් කර ඇත.
- කෘෂිකර්මාන්තය, ශ්‍රම/ප්‍රාග්ධන වෙළදපල , විදුලිබල හා බල ශක්ති ක්ෂේත්‍රය, අධ්‍යාපනය, සෞඛ්‍ය, රාජ්‍ය සේවය, ජාතික ආරක්ෂාව නවීකරණය කිරීම සඳහා මූලික පියවර ගෙන ඇත.
- ආර්ථික පරිවර්තන පනත සම්මත වීමට පෙරාතුව ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අයවැය තුනේදීම (2022 අගෝස්තු, 2022 නොවැම්බර්, 2023 නොවැම්බර්) ඉදිරි ආර්ථික ප්‍රතිසංස්කරණ කෙලෙස සිදුවිය යුතු ද යන්න පිළිබඳව අදහස් ඉදිරිපත් කර ඇත.
- ආර්ථිකය වේගවත්ව ඉදිරියට ගෙන යාමට දැන් තමා අවස්ථාව ඇත්තේ.
ණය ප්‍රතිව්‍යුහගතකරණය යනු කුමක්ද?

- ණය ගෙවීම ආරම්භ වීමෙන් පසු ණය ගෙවීමට වැඩිපුර කාලයක්
- ණය කොටසක් කපා හැරීම
- ණය පොලිය කොටසක් කපා හැරීම/පොලිය මුළුමනින්ම කපා හැරීම
- ණය ගෙවීම ඇරඹීමට කාලයක් ලබා ගැනීම
- ශ්‍රී ලංකාවේ තිබූ සමස්ත ණය ප්‍රමාණය 2022 දෙසැම්බර් වන විට ඇ.ඩො. බිලියන 84 (එය එවකට ද.දේ.නි. 128%)
- ශ්‍රී ලංකාවේ ණය 3 වර්ගයකි
- දේශීය ණය
- විදේශ රටවලින් ගත් ණය
- වාණිජ ණය (විදේශ මුදල්වලින් ලබාගත්)
- මෙයින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය වැඩසටහන 2023 දී නිම කලා
- 2024 ජූනි 26 දින විදේශ රටවලින් ගත් ණය ප්‍රතිව්‍යුහගතකරණය නිම කලා
- විදේශ රටවලින් ගත් ණය ප්‍රතිව්‍යුගතකරණය නිම වී ඇති බැවින් එවැනි රටවල්වලින් ලබා ගත් ණය මත ක්‍රියාත්මක වූ ව්‍යාපෘති / වැඩසටහන් දැන් යළිත් ආරම්භ වී තිබෙනවා.
- නව ව්‍යාපෘතිද ඒ යටතේ ක්‍රියාත්මක කිරීමට පිලිවන්.
- වාණිජ ණය පිළිබඳ සාකච්ඡා දැනට සිදුවෙමින් පවතිනවා
ආර්ථික වර්ධනය / ස්ථායීකරණය පිණිස රජය විසින් සම්මත කරන ලද නීති කවරේද?
- 2022 මැදි භාගයේ සිට මේ දක්වා නව නීති / නීති සංශෝධන සියයක් පමණ පාර්ලිමේන්තුව සම්මත කර තිබෙනවා.
මේවා අතර
- මහ බැංකු පනත
- රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත
- ණය කළමනාකරණ පනත
- දූෂණ විරෝධී පනත
- ආර්ථික පරිවර්තන පනත
ප්‍රධානයි.
මහ බැංකුවෙන් මුදල් අච්චු ගහන්නේ නැතිව රජය පවත්වාගෙන යාමට මුදල් සොයා ගන්නේ කෙසේද?
- රාජ්‍ය ආදායම් නංවාලීම පිණිස විවිධ බදු සංශෝධන සිදු කළා. රාජ්‍ය අංශයේ විවිධ භාණ්ඩ හා සේවාවල මිල සංශෝධනය කළා
- භාණ්ඩාගාර බිල්පත් / භාණ්ඩාගාර බැඳුම්කර දේශීය වෙළඳපල තුළ අලෙවි කොට මුදල් ලබා ගැනීම
- වියදම් පාලන වැඩපිළිවෙල
- IMF/WB/ADB ණය මුදල්
ප්‍රධාන කොට රටතුලින් අරමුදල් උත්පාදනය කොට රජය පවත්වාගෙන යාමට කටයුතු කෙරෙනවා.
නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ රටට අත්වි ඇති ප්‍රතිලාභ කවරේද?

- රටේ භාණ්ඩ හා සේවා සුලභ වී ඇත.
- කෘෂිකාර්මික නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වී ඇත.
- ආනයන-අපනයන කටයුතු සාමාන්‍ය අතට හැරී ඇත.
- විදේශ විනිමය හිඟතාවයක් නොමැත.
- විදේශ විනිමය අනුපාතය ස්ථාවර වී ඇත (පැවතියේ ඩොලරයට රු.400 තරම් දැන් රු.300 ට ස්ථාවර වී ඇත).
- විදේශ රැකියාවලින් රටට ලැබෙන ආදායම වැඩිවී ඇත.
- උද්දමනය පහළ ගියා (2022 සැප්තැම්බර් 70% දැන් 2%)
- පොලී අනුපාතය පහලට ගියා
- විදේශ විනිමය සංචිත දැන් ඩොලර් බිලියන 5.6යි (පාවිච්චි කලහැකි විනිමය 2022 අප්‍රේල් මැද ඩොලර් මිලියන 20ක් වත් තිබුනේ නැත)
- දළ දේශීය නිෂ්පාදනය 2022 අවුරුද්දේ හැකිලි ගියා. 2023 පළමු කාර්තු දෙකේදීම ද.දේ.නි. හැකිලී ගියා.2023 තුන්වන කාර්තුවේ සිට දිගටම ද.දේ.නි.ප්‍රසාරණය වෙනවා/වැඩි වෙනවා
- සංචාරක ව්‍යාපාරය දිනෙන් දිනටම වේගයෙන් දියුණු වෙනවා
- සුබසාධක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කලා.
- අස්වැසුම (රුපියල් බිලියන 183 දක්වා)
- නොමිලේ සහල් 2වරක් දුන්නා
- රාජ්‍ය සේවකයන්ට රු. 10,000 ක ජීවන ආධාරයක් දුන්නා
- රජයේ විවිධ කණ්ඩායම් වලට අතිරේක දිමනා ලබාදුන්නා
- ගෑස්, විදුලිය, තෙල් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ලබාදෙනවා
- පාසල් හා රෝහල් පද්ධතිය යථාතත්වයට පත්කලා.
- දේශීය ණය හා රටවල් වලින් ගත් ණය ප්‍රතිව්‍යූහගතකරණය කොට ණය ගෙවීම ආරම්භ කිරීමට කාලයක් ලබා ගත්තා. ණය ගෙවන කාලය දික්කර ගත්තා. ඒ වාගේම ණය සේවා යම් ප්‍රමාණයකට අඩුකර ගත්තා.



