මෙයින් එකක් දිග කතාවකි. අනික් එක කෙටි කතාවකි. මෙයින් දිග කතාව කළේ රත්නායක කෙනෙකි. කෙටි කතාව කළේ දිසානායක කෙනෙකි. රත්නායක පැවැත් වූ දිග කතාවේ අවසානයේ කළේ දිසානායක කෙනෙකු ව නම් කිරීම ය .
මා සඳහන් කරන කෙටිකතාව ඊයේ උදෑසන පැවැත්වූයේ ඒ රත්නායකගේ දිග කතාව අග දී නම් කළ දිසානායක ය. දිග කතාව කළ රත්නායක හත්කෝරළයේ වාරියපොල, පාදෙණිය පැත්තේ කෙනෙකි. කෙටි කතාව කළ දිසානායක හත්කෝරළයේ මායිමක් වන ගලේවෙල ඉපිද එහි තවත් මායිමක් වන කලාඔයෙන් උතුරු පැත්තේ තඹුත්තේගම පදිංචි ව සිටි කෙනෙකි.
ඔය දිසානායකගේ මුල් නම පටන් ගන්නේ “අ” යන්නෙනි. රත්නායකගේ මුල් නම පටන් ගන්නේ “ආ” යන්නෙනි. ඔය රත්නායකගේ දිග කථාව අතිශය සංකීර්ණ වගකීම් සහගත බෙහෙවින්ම වැදගත් ක්‍රියාවලියක අවසානයේ සිදු කළ එකකි. දිසානායකගේ කෙටි කතාව එබඳුම සංකීර්ණ බැරෑරුම් වගකීම් සහගත දුෂ්කර ක්‍රියාවලියක ආරම්භයේදී කළ එකකි.
මේ කියන දිග කතාව පැවැත්වූ රත්නායක ඉපදී වසර දහයකට පසුව කෙටිකතාව පැවැත් වූ දිසානායක ඉපදී ඇත. අවුරුදු දහයක් වැඩිමහළුව සත් කෝරළේ උපන් රත්නායක පාසල් අධ්‍යාපනයෙන් පසු පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළුවී උපාධිධාරියෙකු වී ගුරුවරයෙකු ලෙස ද කටයුතු කර ශ්‍රී ලංකා පරිපාලන සේවාවට පිවිස මැතිවරණ දෙපාර්තමේන්තු සහකාර කොමසාරිස් වරයෙකු ලෙස සේවයට බැඳී අඩියෙන් අඩිය උසස් වෙමින් එහි ප්‍රධාන තනතුර වන කොමසාරිස් ජනරාල් කමටත් උසස් වීම් ලැබ සාර්ථක රාජ්‍ය සේවයෙකු ලෙස විශ්‍රාම ගොස් සිටියදී යළිත් මැතිවරණ කොමිසමේ සභාපති ලෙස පත්වීම් ලැබ ක්‍රියා කරන ආර් එම් ආනන්ද රත්නායක ය.
ආර් එම් ආනන්ද රත්නායකගේ වයස වසර දහයක් පමණ වන කාලයේ හත් කෝරළයට අල්ලපු මාතලේ දිස්ත්‍රික්කයේ ඉපදුණු දිසානායක වයස අවුරුදු හතරේ දී තඹුත්තේගම පදිංචියට අවුත් තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යපනය ලැබ කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුලුව උපාධිධාරියෙකු වී දේශපාලනයට පිවිස අඩියෙන් අඩියට ඉහලට ගොස් ලංකාවේ ඉතිහාසගත දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණේ නායකයා බවට පත් විය. පසුව ජාතික ජන බලවේගය නම් වූ දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට පුරෝගාමීව ක්‍රියා කර එහි ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව මහජන ඡන්දයෙන් ශ්‍රී ලංකාවේ නව වන විධායක ජනාධිපති ලෙස පත්වී ඊයේ දිවුරුම් දුන් අනුර කුමාර දිසානායක ය.
ඔය ආනන්ද රත්නායකට දිග කතාව කරන්නට සිදුවුණේ අනුර කුමාර දිසානායකව ශ්‍රී ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා ලෙස තෝරාගත් බවට වන නිල රාජ්‍ය ප්‍රකාශය කරන්නට සිදුවුණු අවස්ථාවේදී ය.අනුර දිසානායකව රාජ්‍ය නායකයා ලෙස තෝරාගත් බවට වන නිල රාජ්‍ය ප්‍රකාශය කරන්නට දිසානායක උපන් පලාතට මායිම් වූ හත් කෝරළයේ ආනන්ද රත්නායකට අවස්ථාව ලැබීම ද අපූරු ය.ආනන්ද රත්නායක විසින් සිදු කළ ඒ ඓතිහාසික රාජ්‍ය ප්‍රකාශය සවන් දෙන්නට පැමිණි අනුර දිසානායක රත්නායකගේ ප්‍රකාශයෙන් ජනපතිවරණයේ සංකීර්ණ හා සුවිශාල කණ්ඩායම් ක්‍රියාකාරිත්වය ගැන මනා අවබෝධයක් ලද බව නිර්ලෝභීව පවසනු ද නිරීක්ෂණය විය.
ආනන්ද රත්නායක මැතිවරණ කොමිසමේ සභාපති වරයා සාමාන්‍යයෙන් වැඩි කතා බහක් ඇත්තෙක් නොවේ. ඔහු සාමාන්‍යයෙන් නිහඬ; එහෙත් තියුණු කල්පනාවක් සහිත සුහදශීලී එමෙන්ම සංවේදී චරිතයකි. ඔහු තමන්ගේ කාර්ය භාරය හැර අන් අයගේ කටයුතු වලට ඇඟිලි ගහන අයෙක් ද නොවේ. එමෙන්ම කතා කරනවාට වඩා සවන්දීමේ හා ඉවසීමේ හැකියාවෙන් පිරිපුන් අයෙකි. ඔහුට දීර්ඝ කතාවක් කරන්නට සිදු වුණේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වන අතිශය බැරෑරුම් සංකීර්ණ හා වගකීම් සහගත ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන කේන්ද්‍රීය ආයතනය වන ඔහු ප්‍රධානත්වය දරණ මැතිවරණ කොමිෂන් සභාවට එකී ක්‍රියාවලියේ දී වගකීම් ඉටු කිරීමෙන් උපදෙස් පිළිපැදීමෙන් සේවා සම්පාදනයෙන් හා සහාය දීමෙන් සම්බන්ධ වුණු ආයතන හා නිලධාරීන්ට කොමිෂන් සභාව වෙනුවෙන් ස්තූතිය පළ කරන්නට වගකීමක් ඇති බවට කල්පනා වූ නිසා ය. මගේ විශ්වාසය නම් ඔහු සිය ජීවිතයේ මේ දක්වා කළ දිගම කතාව මෙය බව ය. කළ යුතුම නොවේ නම් මිස ඔහු කවර හේතුවක් නිසාවත් ඔහු දිග තබා කෙටි කතාවක් වත් කරන්නේ නැත.
ඔහු ජනපතිවරණ ක්‍රියාවලියේ එක් එක් පියවර උදෙසා එක් එක් ආයතනවලින් ඉටු වූ කාර්ය භාරය ද සඳහන් කර ස්තූති කළේ එය අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තක් බව ඔහුට වැටහුණු නිසා ය. ඔහුගේ ඒ කතාව සාවධානව සවන් දුන් අය ජනාධිපතිවරයා තෝරා ගැනීම හුදෙක් සරල පහසු ක්‍රියාවලියක් නොව අතිශය සංකීර්ණ් හා විශාල පිරිසක් වෙන් වෙන් කලට වේලාවට ගත යුතු නිවැරදිව පැහැදිලිව වගකීම් සහගතව ඉටු කළ යුතු ක්‍රියාදාමයක අවසානයේදී සපුරා ගත යුතු ඉලක්කයක් බව මනාව තේරුම් ගත්තෝය. එහෙත් අවාසනාව රාජ්‍ය සේවයේ බොහෝ පළපුරුදුකම් ඇති අය ඇතැමෙකු පවා රත්නායකගේ කතාව දිග වැඩියැයි මැසිවිලි නැඟීම ය.
“පඩියට වැඩ කළ වුන්ට පඩි ලැබෙන නිසා ස්තූති කරන්නේ මොනැකෙහෙම්මලකටදැ”යි ඔව්හු ඇසූහ. ”ස්තූතිය කළේ හරියට නිකං කරල දුන්නා වගේ” යැයි කියා උපහාසයෙන් පැවසුවෝ ය. ස්තූතිය අවසන් කළාට ස්තූතියි කියා ඔලොක්කුවට සිනාසුණෝ ය. මේ සියල්ලෙන් ඔවුහු තමන් සවන්දීමට සූදානම් නැති අය බව ද ප්‍රදර්ශනය කළෝ ය. නොයෙක් වර තහවුරු වී ඇති අන්දමට අපේ සමාජය ඉවසීම නැති සමාජයක් බවට පත්වෙමින් තිබෙන බව ඔව්හු තවදුරටත් තහවුරු කළෝය.
ලෝකයට යහ මග කියා දුන් බුදුන්ගේ, ජේසූන්ගේ, නබිතුමාගේ භගවත් ගීතාවේ දහම් පණිවුඩ ජන ගත කළේ ලේඛන හැටියට නොව භාෂණ හැටියට ය. ඒවා ඉවසීමෙන් සවන් දුන් මිනිස්සු සැනසීම ලද්දෝය.විශ්ව විද්‍යලවල දී පැය දෙකේ තුනේ දේශනවලට නිහඬව සවන් දී පුරුදු ඉහල රාජ්‍ය නිලධාරීන් තමන්ගේ සගයෙකුව සිටි රත්නායක තමන්ගේ සුවිශාල කණ්ඩායම අගය කිරීම සවන්දීමට රිසිවූයේ නැත. එසේ වුවද අපේ මිත්‍ර ආනන්ද රත්නායකයෝ කළ දීර්ඝ ස්තූති කතාවෙන් ජනාධිපතිවරණ ක්‍රියාවලිය හා එහි නිරවද්‍ය තාවය උදෙසා කොපමණ ආයතන ප්‍රමාණයක් කොපමණ පිරිසක් වෙහෙස වන්නේ ද කියා රටට පෙන්වා දුන්හ. එසේ නොමැතිව එය තමන්ගේ “වන් මෑන් ෂෝ එකක්” බව ඉතා කෙටි වේලාවක් තුළ අඟවා පැත්තකට වීමට ද ඔහුට පහසු හැකියාවක් තිබිණ. නමුත් ඔහු ගේ කතාවෙන් අවබෝධය ලද පිරිසත් එයට ඉලක්ක වූ සියල්ලන්ගේත් කෘත ගුණ අගය කරන ඉහළ මානව ගුණාංග සහිත අතිමහත් බහුතරයේත් හදවතේ බොහෝ කල් රැඳී අති සාර්ථක කතාවක් කිරීමට අප හිතාදර මිත්‍ර ආනන්ද රත්නායකයන් සමත් වූ බව සඳහන් කරන්නේ අතිශය නිර්ලෝභීව ය.
අතිශය සාධනීය කරුණු අටක් ..

ජනාධිපති අනුර දිසානායක සිය ධුර කාලය අරඹමින් කළ කෙටි කතාව තුළ අතිශය සාධනීය කරුණු අටක් තිබූ බව මගේ නිරීක්ෂණයයි.
කවර දෘෂ්ටි කෝණයකින් බැලුවත් නව ජනාධිපතිවරයාගේ කෙටි කතාව අතිශයෙන්ම වටිනා වැදගත් පරිපූර්ණ කතාවක් බව නම් නොපැකිලව පෙන්වා දිය හැකි ය. සැබවින්ම ඔහුගේ කතාව ඔහුව විශ්වාස නොකළ හා ඔහුට සහය නොදුන් අයගේ අතිශය ඇගයීමට ලක්වන අන්දමේ උසස් කතාවකි. ඔහුගේ අනුගාමිකයින් සහය දෙන්නන් හා ඡන්ද දායකයින්ට ආඩම්බර විය හැකි ඔහුගේ ප්‍රතිවාදීන්ගේ සිත් ඔහු වෙත ආකර්ශනය වෙන මේ රටේ බහු විධ සංස්කෘතිය බහුවිධ ආගමික විශ්වාසයන් ඔහුගේ පාලනය තුළ සුරැකෙන බව තහවුරු කළ කෙටි එහෙත් ගැඹුරු අර්ථන්විත කථාවකින් සිය පාලනය අරඹා ඇත. ඉන් තමා වෙත පැවරූ අතිශය බාර දූර වගකීම ඉටුකිරීමේ දැක්ම හා ශක්තිය තමන් සතු බව ඔප්පුකිරීමට අනුර කුමාර දිසානායක ජනපතිවරයා දැනට සමත් වී තිබේ.
(සුනිල් කන්නන්ගර) කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com
(vinivida.lk)



