The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කුමාර වෙල්ගම: ශ්‍රී ලාංකේය දේශපාලනයේ 'පුවත් මැවූ' චරිතයක අමතක නොවන මතක

T

The Leader Desk

September 28, 2024 • 4:25 PM

කුමාර වෙල්ගම: ශ්‍රී ලාංකේය දේශපාලනයේ 'පුවත් මැවූ' චරිතයක අමතක නොවන මතක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම සැප්තැම්බර් 28 වන දා අභාවප්‍රාප්ත විය.
  • කලක් රෝගාතුරව සිටි ඔහු කොළඹ, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය අතර ඒ වන විට ඔහු 74 වන වියේ පසුවිය.
  • ඔහු මෙරට දේශපාලනය තුළ දැඩි ලෙස කතාබහට ලක් වූ මෙන් ම නොමැකෙන මතක ඉතිරි කර ගිය දේශපාලනඥයෙකු බව ඔහුගේ සමකාලීන දේශපාලනඥයින්ගේ අදහසයි.
  • 'මම එන්නේ ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාර පවුලකින්...' 1950 වසරේ අප්‍රේල් 5 වන දා උපන් කුමාර වෙල්ගම ප්‍රවාහන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙකු වන S.A.
අකුරු ප්‍රමාණය (Font Size):

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම සැප්තැම්බර් 28 වන දා අභාවප්‍රාප්ත විය.

කලක් රෝගාතුරව සිටි ඔහු කොළඹ, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය අතර ඒ වන විට ඔහු 74 වන වියේ පසුවිය.

ඔහු මෙරට දේශපාලනය තුළ දැඩි ලෙස කතාබහට ලක් වූ මෙන් ම නොමැකෙන මතක ඉතිරි කර ගිය දේශපාලනඥයෙකු බව ඔහුගේ සමකාලීන දේශපාලනඥයින්ගේ අදහසයි.

මේ, ඔහු පිළිබඳව කෙරෙන මතකාවර්ජනයකි.


'මම එන්නේ ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාර පවුලකින්...'

XGT4E6

1950 වසරේ අප්‍රේල් 5 වන දා උපන් කුමාර වෙල්ගම ප්‍රවාහන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙකු වන S.A. වෙල්ගම සහ බියට්‍රිස් වෙල්ගමට දාව උපන්නේ ය.

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ අධ්‍යාපනය ලද ඔහු යටදොල සාන්ත ජෝර්ජ් වතුයායේ වතු කළමනාකරණය පිළිබඳව හදාරා වැවිලිකරුවෙකු සහ ව්‍යාපාරිකයකු වශයෙන් කටයුතු කළ අයෙකු විය.

සාමාජිකයින් 5 දෙනෙකුගෙන් යුත් පවුලක හැදී වැඩුණු ඔහුට පුතුන් දෙදෙනෙකි.

ඔහු වරෙක රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ, "මම එන්නේ ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාර පවුලකින්," යනුවෙනි. තම පියා මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ ලොරි රථ වැඩි ම ගණනට හිමිකම් කී ව්‍යාපාරිකයෙකු වූ බව ද ඔහු එහිදී පැවසීය.

කුමාර වෙල්ගමගේ සහෝදරයින් ද ව්‍යාපාරිකයින් වන අතර ඔවුන් සතු ව්‍යාපාර අතර Upali Newspapers (Pvt) Limited, Kandos සහ Ideal Motors ආදී ව්‍යාපාර වෙයි.

"මට ළමයෙක් ඉන්නවා ද කියලවත් ගමේ මිනිස්සු දන්නේ නැහැ. ඒ තරම් ම මම විනෝදකාමී, හිටියේ නිකම් තරුණයෙක් වගේ නේ. කොල්ලෙක් වගේ තමයි," ඔහු එම රූපවාහිනී වැඩසටහනේදී පැවසීය.

දේශපාලන දිවිය

FY565

කුමාර වෙල්ගම ශ්‍රී ලංකාවේ සක්‍රීය දේශපාලනයට පිවිසෙන්නේ 80 දශකයේදී ය.

1982 වසරේදී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සිරිමාවෝ බණ්ඩාරනායකගෙන් පත්වීම් ලබා කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ආසන සංවිධායක ලෙස දේශපාලන දිවිය ආරම්භ කළේ ය.

අනතුරුව 1994 වසරේදී පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත් වූ කුමාර වෙල්ගම මිය යන තුරු ම අඛණ්ඩව වසර 30ක් කාලයක් අපරාජිත මන්ත්‍රීවරයකු වශයෙන් කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ දේශපාලනඥයෙකු විය.

වසර 42ක දේශපාලන ඉතිහාසයකට උරුමකම් කියන ඔහු 1989දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, 1994දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, 2005 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ 2020 වසරේදී සමගි ජන බලවේගය පක්ෂ සහ සන්ධාන සමග කටයුතු කළේ ය.

කුමාර වෙල්ගම සිය දේශපාලන දිවිය තුළ ඔහු නියෝජනය කළ ආණ්ඩුවල අමාත්‍ය ධූර ද හෙබවීය.

2000 වසරේදී ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය, 2001 වසරේදී විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය, 2005 වසරේදී කර්මාන්ත අමාත්‍ය හා ත්‍රිවිධ හමුදා ශුභසාධක අමාත්‍ය සහ 2010 වසරේදී ප්‍රවාහන අමාත්‍ය ආදී වශයෙන් ඔහු අමාත්‍ය ධූර දැරීය.

ඔහු මිය යන විට 2021 වසරේදී සිය නායකත්වය යටතේ ආරම්භ කරන ලද නව ලංකා නිදහස් පක්ෂයේ නායකයා වශයෙන් කටුයුතු කරමින් සිටියේ ය.

'මගේ සටන් සගයා අද අපිව දාලා යනවා...' - රාජිත සේනාරත්න

XFDTE463

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න තම සමකාලීන දේශපාලනඥ කුමාර වෙල්ගමගේ අභාවය සම්බන්ධයෙන් බීබීසී සිංහල සමග අදහස් දැක්වීය.

ඔහු පැවසුවේ, තමන් සහ කුමාර වෙල්ගම පාර්ලිමේන්තුට පිවිසියේ එක ම අවධියේදී බව ය.

"ඔහු 1994 අපිත් එක්ක ම පාර්ලිමේන්තුවට පැමිණියා. අපි දෙන්නා පිල් දෙකකින් ආවේ. මම එක්සත් ජාතික පක්ෂයෙන් ආවේ. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. ඔහු විශිෂ්ට සේවයක් ඔහු කළුතර දිස්ත්‍රික්කයට කළා. නොමැකෙන නාමයක් කළුතර දිස්ත්‍රික්කයේ," වෛද්‍ය සේනාරත්න බීබීසී සිංහල සමග සිය මතකය ආවර්ජනය කළේ ය.

ඔහු පෙන්වා දුන්නේ, කුමාර වෙල්ගම 'මහින්ද සුළඟ' නම් දේශපාලන ප්‍රවර්ධන ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙකු බව ය. එහි සිට එවකට තමන් ඇතුළු පැවති රජයට විරුද්ධව ඔහු කටයුතු කළ බව වෛද්‍ය සේනාරත්න පැවසීය.

"නමුත් ඔහු අවසානයේදී ගෝඨාභය රාජපක්ෂව පත් කිරීමේදී කිව්වා, කිසි දවසක ඒක කරන්න එපා. විශාල විනාශයක් වෙනවා කියලා. ඇත්තට ම ජයග්‍රහණය පෙනි පෙනී ඔහු එතනින් ඉවත් වුණා. ඒක තමයි ඔහුගේ තියෙන ප්‍රතිපත්තිය," ඔහු සඳහන් කළේ ය.

ඉකුත් අරගල සමයේදී කුමාර වෙල්ගම පහර කෑමට ලක් වූ අවස්ථාවේ සිට ඔහු රෝගාතුරව පසු වූ බව වෛද්‍ය සේනාරත්න බීබීසී සිංහල සමග පැවසීය.

"එතුමාටත් පහර දුන්නා... එදා රෑ වෙනකොට නොයෙකුත් ලුම්පන් ජාතියේ මිනිස්සු තමයි පාරවල් අත්පත් කරගෙන හිටියේ. එතනින් තමයි ඔහු රෝගාතුර වෙන්න පටන් ගත්තේ."

අවසන් වරට ඔහු තමා හමු වූ අවස්ථාවේදී, එළෙඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් ඔහු සිදු කළ ප්‍රකාශය ද රාජිත සේනාරත්න හිටපු මන්ත්‍රීවරයා මෙලෙස සිහිපත් කළේ ය.

"අවසානයේදී ඔහු මාව හමුවුණු වෙලාවේදී කිව්වා, 'මමයි ඩොක්ටයි, අපි දෙන්න ම ඉල්ලන්නේ, එක ලැයිස්තුවෙන්,' කියලා. ඇත්තට ම අපි දෙන්න එක ලැයිස්තුවෙන් තමයි ඉල්ලන්න හිටියේ. ඔහු ඔක්කොම ඉස්සරහ කිව්වා, මේ සැරෙත් අපි දෙන්නා තමයි වෙන්නේ."

ඔහු වැඩිදුරටත් පැවසුවේ, "මගේ සටන් සගයා අද අපිව දාලා යනවා. ඒ වැඩකොටස අපි එතුමාගේ පුතත් එක්ක ඉදිරියට කරගෙන යනවා," යනුවෙනි.


'හොඳ නරක දෙක ම මිශ්‍ර වුණු චරිතයක්...' - මහාචාර්ය විශාඛා සූරියබණ්ඩාර

XDTFR346

දේශපාලනඥ කුමාර වෙල්ගමගේ දේශපාලන භාවිතය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය විශාඛා සූරියබණ්ඩාර බීබීසී සිංහල සමග පැවසුවේ, ඔහු පාර්ලිමේන්තුව තුළ දේශපාලන පරිණතභාවය විදහා දැක්වූ දේශපාලනඥයෙකු බව ය.

"මම දැක්කා එතුමා පහුගිය කාලය තුළ බොහෝ ම කෙලින් කතා කරපු දේවල්. කියන්න ඕනේ දේ කෙලින් කිව්වා. දේශපාලන චරිතයක තියෙන හොඳ නරක දෙක ම මිශ්‍ර වුණ චරිතයක්," ඇය තවදුරටත් පැහැදිලි කළා ය.

මහාචාර්යවරිය පෙන්වා දුන්නේ, හොඳ නරක සම්මිශ්‍රණය වුණු දේශපාලන චරිතයක් වූ ඔහු, "අපි දකින වාසියට ඉන්න චරිතවලට වඩා බොහොම ප්‍රතාපවත් මනුස්සයෙක් දේශපාලනය තුළ," යනුවෙනි.


ආන්දෝලනාත්මක ප්‍රකාශ සහ සිදුවීම්

මෙරට දේශපාලනය තුළ ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කළ සහ එවැනි සිදුවීම්වලට මැදි වූ දේශපාලනඥයෙකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූ කුමාර වෙල්ගම පුවත් මවන්නෙකු විය.

ප්‍රවාහනය මෙන් ම කාන්තා ආකර්ෂණය සම්බන්ධයෙන් ගත් කළ ඔහු මෙරට දේශපාලන වේදිකාව තුළ දැඩි ලෙස කතාබහට ලක් වුණු චරිතයකි.

ඔහු වරෙක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, "මම අඩි 6කට වඩා උස මිනිහෙක්. සාමාන්‍යයෙන් කාන්තා පක්ෂයේ අය මට කැමතියි. මම මොනවා කරන්න ද ඒකට?," යනුවෙනි.

එපමණක් නොව, ඔහු 2019 වසරේ පැවති ජනාධිපතිවරණය සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීමට ද විරුද්ධ වූ අයෙකි.

ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු 2022 වසරේ අප්‍රේල් මස පාර්ලිමේන්තුවේදී මෙලෙස පැවසීය.

"Gota Go Home කියන එක පළමුවෙන් ම මුළු රටට ම ඇහෙන්න කෑ ගහලා කිව්වේ මම. අගමැතිතුමාට ඒක නැහැ කියලා කියන්න බැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව මේ රටේ ජනාධිපති අපේක්ෂකයා හැටියට යෝජනා කරන කොට පළමුවෙන් ම විරුද්ධ වුණේ මම. මම කිව්වා දෙන්න එපා. ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්වත් වෙලා නැහැ. ඒ විතරක් නෙවෙයි, මෙතුමා කවදාවත් දේශපාලනයට ගෑවිලා නැහැ, ඒ නිසා මෙතුමාට දෙන්න එපා ජ්‍යෙෂ්ඨත්වයට දෙන්න කියලා. නමුත් මහින්ද මහත්තයා ඒක ඇහුවේ නැහැ."

අරගල සමයේදී ද ඔහු දැඩි ලෙස කතාබහට ලක් වුණු මන්ත්‍රීවරයෙකු බවට පත් වූයේ, පහර කෑමකට ලක්ව දින ගණනාවක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීම හේතුවෙනි.

කුමාර වෙල්ගම මෙවර ජනාධිපතිවරණයට පෙර එනම්, ජූලි මස 10 වන දා පාර්ලිමේන්තුවේදී ආන්දෝලන්තමක ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ, "මම කියන්නේ නැහැ ඔක්කොම හොඳයි කියලා. අපි ඔක්කොම හොරු. බොරුවට මම හොඳයි, මම සුදනයි කියන්න බැහැ. අපි ඔක්කොම හොරු," යනුවෙනි.

ඔහු එහිදී ප්‍රශ්න කළේ, ඉදිරියේදී රට පාලනය කිරීමට සූදානම් වන්නේ මෙවැනි පිරිසක් ද යනුවෙනි. තම එක ම අරමුණ හොරුත් සමග කටයතු කරන නායකයින් සිටී නම් ඔවුන් පන්නා දැමීම බව ඔහු එහිදී අවධාරණය කළේ ය.

( BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...