The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මොනවද මේ ගෝල්ෆේස් වාහන කේස් ? - (සුනිල් කන්නන්ගර)

T

The Leader Desk

September 29, 2024 • 5:37 AM

මොනවද මේ ගෝල්ෆේස් වාහන කේස් ? - (සුනිල් කන්නන්ගර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය අයත් වූයේ සල්පිටි කොරළේ කොල්ලුපිටිය නම් ගමට ය.
  • කොල්ලුපිටියත් ගමක් යැයි කියා ලියන මට පිස්සුදැයි හිතා හිනැහෙන අයට දැනගන්නට කියන්නේ කොල්ලුපිටිය පමණක් නොව බම්බලපිටිය, වැල්ලවත්ත, කිරිල්ලපන, තිඹිරිගස්යාය, නාරාහේන්පිට ආදිය ද අතීතයේ සල්පිටි කෝරළයට අයත් ගම් බව ය.
  • සෑම වසරකම වාගේ නිදහස් උත්සවය පවත්වන්නට ඇති හොඳම තැනත් ගාලු මුවදොර ය.
  • දැන් ඇත්තේ ඒ ගැන කතා නොව එතන ඇති සුපිරි හෝටල් ගැන ය.
අකුරු ප්‍රමාණය (Font Size):
එය අයත් වූයේ සල්පිටි කොරළේ කොල්ලුපිටිය නම් ගමට ය. කොල්ලුපිටියත් ගමක් යැයි කියා ලියන මට පිස්සුදැයි හිතා හිනැහෙන අයට දැනගන්නට කියන්නේ කොල්ලුපිටිය පමණක් නොව බම්බලපිටිය, වැල්ලවත්ත, කිරිල්ලපන, තිඹිරිගස්යාය, නාරාහේන්පිට ආදිය ද අතීතයේ සල්පිටි කෝරළයට අයත් ගම් බව  ය.
 
ගෝල්ෆේස් භුමිය තුළ රැස්වීම් සහ සංගීත ප්‍රසංග තහනම්!බ්‍රිතාන්‍ය යුගයේ ගාලු මුවදොර ප්‍රසිද්ධ පිට්ටනිය සැකසුණු පසුව එය ගාලු මුවදොර පිටිය විය.
එකල කොළඹ නගරය හා සල්පිටි කෝරළය වෙන් කළේ අද ජනාධිපති ලේකම් කාර්යාලය අසලින් ඉන්දියන් සාගරයට ගලා බසින සිහින් දිය පාරෙනි. ඒ දියපාරෙන් උතුරු කොටස කොළඹ නැව්තොට වූ අතර ඒ භූමිය තුළ කොළඹ පෘතුගීසි බලකොටුව ස්ථාපිත කළ පසුව එය කොටුව නම් විය. මේ ටික ලිව්වේ කොළඹ නගරයේ දිග පළල විස්තර කරන්නට නොව ගාලු මුවදොර ගැන කියන්නට ය. කොළඹ කොටුව සිට ගොඩ බිමෙන් ගාලු යන අයට මුලින්ම මුණ ගැසුණු ගම කොල්ලුපිටිය විය. එ නිසාම එය ගාල්ලේ මුව දොර සේ සැලකුණා විය යුතු ය. බ්‍රිතාන්‍ය යුගයේ ගාලු මුවදොර ප්‍රසිද්ධ පිට්ටනිය සැකසුණු පසුව එය ගාලු මුවදොර පිටිය විය.

මේ ගාලු මුවදොර ඉතා වැදගත් දේශපාලන සිදුවීම් වලට ප්‍රසිද්ධ ය. ශ්‍රී ලංකාවේ පලමු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී එස් සේනානායකයන් මියයාමට හේතුව වුණේ ගාලු මුවදොර පිටියේදී අසු පිටින් බිමට වැටීම ය. පලමුවෙනි විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධන දිවුරුම් දුන්නේ ද ගාලුමුවදොර පිටියේදී ය. සිව්වෙනි විධායක ජනාධිපතිනිය හොරු අල්ලා ප්‍රසිද්ධියේ එල්ලනවා යැයි පැවසුවේත් ගාලු මුවදොර පිටියේදී ය.හොරු අල්ලා එල්ලීම කෙසේ වෙතත් එදා කරලියට ගෙනා හොරු ඇල්ලීම තවමත් දේශපාලන බල තරඟයේ ප්‍රධාන මාතෘකාවකි. සෑම වසරකම වාගේ නිදහස් උත්සවය පවත්වන්නට ඇති හොඳම තැනත් ගාලු මුවදොර ය. ඒ ත්‍රිවිධ හමුදා ආචාර පෙලපාලිය ගාලු මුවදොර මහා මාර්ගයේ අභිමානවත්ව සරඹ දක්වද්දී ඊට සමගාමීව ගුවන් යානා බලඇණි ගුවනිනුත් නාවික යාත්‍රා මුහුදෙනුත් ජාතියට උත්තමාචාරය දක්වමින් පෙලපාලියට එක්කළ හැකි එකම ස්‍ථානය එය වීම නිසා ය.
 
විරෝධයට හෙටක් සෙවීම - (කුසල් පෙරේරා)
 
ගාලු මුවදොර තිබුණු යුද හමුදා මූලස්ථානය සහිත ඉඩම හෝටල් කොම්පැණියකට විකිණීමත් කලක් ලොකු මාතෘකාවක් විය. දැන් ඇත්තේ ඒ ගැන කතා නොව එතන ඇති සුපිරි හෝටල් ගැන ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ පසු ජනතාවට උද්ඝෝෂණ කරන්න තැනක් වෙන්කර දුන්නේ ගාලු මුවදොරින්‍ ය. අවසානයේ "ගෝඨා ගෝ හෝම්" කියා උද්ඝෝෂකයින් පැලපදියම් වුණේත් පදිංචි වුනේත් එතන ය. ඒ වැඩේ නැගලා යනකොට කපුටෙක් මරා තට්ටක් එල්ලා කපුටන් එලවන්නට කියා පිසාචයන් පිරිසක් ඇවිත් ප්‍රහාර එල්ල කළේ ද ගාලුමුවදොරට ය.ඒ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරය දී බේරේ වැවේ ස්නානය කරවා රටපුරා ගෙවල් ගිනි තියන්නත් හේතුවුණේ ගාලු මුවදොර අරගලයය. අන්තිමේදි උද්ඝෝෂණයට ගාලු මුවදොරින් ඉඩක් වෙන්කර දුන් ගෝඨාභයට රටේවත් ඉන්නට බැරිවුණේ ඒ බිමේ කෙරුණු පලමුවැනි උද්ඝෝෂණය නිසාම ය. ඔය ආදී වශයෙන් දේශපාලනයේදී ගාලු මුවදොර අතිශය තීරණාත්මක භූමියක් බව පැහැදිලි ය.
 
මේ සා වැදගත් ගාලු මුවදොර මේ දවස්වල තවත් එක් දේශපාලන නාඩගමක් රඟ දක්වෙමින් ඇත්තේය. ඒ ආණ්ඩුවේ වාහන ප්‍රදර්ශනයයි. ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ මේ ගාලුමුවදොර වාහන ප්‍රදර්ශනය පිළිබඳව වාර්තා කරන්න්ට පටන් ගත්තේ පසුගිය රජය කාලයේ විවිධ පුද්ගලයන්ට ලබා දුන්‍ රජයට අයත් වාහන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පත්වූ සැනින් ඒ පුද්ගලයින් විසින් ගෙනැවිත් ගාලු මුවදොර පිටියේ අත හැර දමා ගොස් ඇති බවක් සඳහන් කරමිනි. එහෙත් ඒ වාහන මනාව පෙළ ගස්වා ගාල් කර තිබූ අන්දමින්ම ඒවා හදිසියේ අතන මෙතන දමා ගිය ඒවා නොවන බව සිහි මොළේ ඇති ඕනෑම එකෙකුට තේරුම් යා යුතු ය මේ අතර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පවසනුයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ කිසිදු වාහනයක අවභාවිතාවක් සිදුව නැති බවකි.
 
ඒ හැම වාහනයකටම ලිපිගොනුවක් තිබෙන බවත් ඒවා කවුරු විසින් භාවිත කළේද? කුමන රාජකාරි සඳහා යොදවා ගත්තේද? යන්න එම ලිපිගොනු පරීක්ෂා කිරීමක් සිදුකළහොත් දැකබලා ගතහැකි බව ද ඔහු කියයි. වත්මන් ජනාධිපති වරයා පත්වූ පසු එම වාහන භාවිත කළ අදාළ නිලධාරීන් නීත්‍යානුකූලව සහ කළ යුතුම දෙයක් සේ සලකා භාර දී ඇති බවද හිටපු ජනාධිපති ලේකම් අවධාරණය කරයි. ඔහු වැඩි දුරටත් පවසනුයේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය වාහන ගාල් කිරීමට ඉඩ පහසුකම් නොමැති ඒවා රජයට අයත් පරිශ්‍රයන් තුළ නවතා තැබීමට කටයුතු කළ බවකි. එමෙන්ම ඇතැම් මාධ්‍ය මඟින් පැවසෙන අන්දමට කිසිදු වාහනයක් අතුරුදන්වීමක් සිදුවී නොමැති බවද ඔහු කියයි. "මමත් වත්මන් ජනාධිපතිතුමා දිව්රුම් දීමේ අවස්ථාවට නිල රාජකාරිය ලෙස එක්වී මම එතෙක් භාවිත කළ නිල රථය ද භාරදී පිටව ගියා" ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතමයකු වන ඔහු එසේ කියයි.
 
රජයේ වාහන අවභාවිතය ගැන පරීක්ෂණයක්එක් එක් ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ ප්‍රමාණය අනුව මේ වාහන ඇණිය ද කලින් කලට වෙනස් වේ.
සාමාන්‍යයෙන් ජනාධිපති වරයෙකුගේ නිල කාලය නිමවීමත් සමග ඔහුගේ කාර්ය මණ්ඩලයේ නිල කාලය ද අවසන් වේ. ඒ අනුව ජනාධිපති ලේකම්වරයාගේ සිට කාර්යාල කාර්ය සහායකයා දක්වා සේවය කළ අයට විශ්‍රාම යාමට හෝ ඔවුන් රාජ්‍ය සේවයෙන් අනුයුක්ත කරනු ලැබූ අය නම් රාජ්‍ය සේවයට ආපසු අනුයුක්ත වීමට හැකි වේ. මෙහි දී ජනාධිපති ලේකම් වරයාගේ සේවය අවසන් වන්නේ නව ජනාධිපතිවරයෙක් දිවුරුම් දීමෙන් පසුව ය. ජනාධිපති කාර්යාලයේ ජනාධිපති වරයාගේ විවිධ ලේකම්වරුන් අධ්‍යක්ෂ ජනරල්වරුන් අධ්‍යක්ෂවරුන් ජනාධිපති උපදේශක වරුන් සම්බන්ධීකරණ නිලධාරීන් කළමණාකරන සහකාර වරුන් කාර්යාල හා කාර්ය සහායකවරුන් ආදී විශාල පිරිසක් සේවයේ යදී සිටිති. මේ කාර්ය මණ්ඩලයේ නිශ්චිත ප්‍රමාණයක් දක්වා නැති අතර ජනාධිපතිවරයාගේ අභිමතය අනුව නිලධාරීන් බඳවා ගැනීමට හැකියාව ඇත. මෙසේ බඳවා ගන්නා නිලධාරීන් අතුරෙන් මාණ්ඩලික ශ්‍රේණිවලට අයත් ජ්‍යෙෂ්ට තනතුරු දරන නිලධාරීන් සඳහා නිල වාහන පහසුකම් සැපයිය යුතු වේ. ඒ සඳහා ජනාධිපති කාර්යාලය යටතේ රජයේ වියදමින් වාහන ඇණියක් පවත්වා ගෙන යනු ලැබේ. එක් එක් ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ ප්‍රමාණය අනුව මේ වාහන ඇණිය ද කලින් කලට වෙනස් වේ. 

මට මතක හැටියට 2015, දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත් වූ අවස්ථාවේ ජනාධිපති කාර්යාර්‍ලයේ වාහන ඇණියේ තිබුණු වාහන විශල සංඛ්‍යාවක් අතිරික්ත වාහන සේ සලකා රජයේ වෙනත් කාර්යාල වෙත නිදහස් කරන ලදී. සෑම ජනාධිපති වරයෙකුගේම නිල කාලය අවසානයේ දී සිය තනතුර අහෝසි වන බැවින් නිල වාහන පහසුකම් සපයා තිබූ ජනපති කාර්ය මණ්ඩල නිලධාරීන් එම වාහන ආපසු ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදිය යුතු වේ. 2015 වර්ෂයේ එසේ ජනාධිපති කාර්යාලයට භාරදී තිබුණු වාහන ආරක්ෂිතව ගාල් කර තබීමට සුදුසු පරිශ්‍රයන් නොමැති වීම නිසා පුද්ගලික රථ ගාල් වලට විශාල මුදලක් ගෙවා ගාල් කිරීමේ පහසුකම් ලබා ගැනීමට සිදුව තිබුණි. මේ සඳහා විශාල වියදමක් දැරීමට සිදුව ඇති බව නිරීක්ෂණය කළ එවක ජනපති ජ්‍යෙෂ්ට අතිරේක ලේකම් රෝහණ දිසානායක එකල කොළඹ දිසාපතිවරයාව සිටි මා සමඟ සාකච්ඡා කර වාහන පහක් පමණ ආරක්ෂිතව ගාල්කර තැබීමට දිසාපති නිල නිවාස භූමිය යොදා ගන්නා ලදී. එදා එලෙස පුද්ගලික රථ ගාල්වලට ගෙවූ විශාල මුදලක් රජයට ඉතිරි කර දීමට ඔහුට හැකිවීම ගැන මේ මෑතදීත් අපි සිහිපත් කළෙමු.
 
ෆවුසි ට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට යයි !
 
මෙවර සිදු ව ඇත්තේ අභිනව ජනධිපතිවරයෙක් පත් වූ අවස්‍ථා වලදී සිදුවන සාමාන්‍ය ක්‍රියාවක් වන හිටපු ජනාධිපති කාර්‍ර්ය මණ්ඩල නිලධාරීන් තමන් වෙත නිකුත් කර තිබුණු නිල වාහන යළි ජනාධිපති කාර්යාලය වෙත ආපසු භාරදීමයි. මෙසේ දින කීපයක් තුළ සියලුම නිලධාරීන් වරින් වර වාහන ආපසු භාරදීම නිසා ජනාධිපති කාර්යාල වාහන අංගනය ඉඩකඩ ප්‍රමාණවත් නොවේ. ඒනිසා වාහන භාරගන්නා නිලධාරීන් අසල ඇති හිස් භූමිය වන ගාලු මුවදොර සමීපයේ ඒ වාහන නිසි පරිදි ගාල් කිරීමට විධිවිධාන යොදනු ලබයි. නව ජනාධිපතිවරයා විසින් සිය කාර්ය මණ්ඩලයට පත්කරන අය සඳහා මෙසේ භාරදෙන වාහන අනුයුක්ත කිරීම ඊළඟට සිදුවේ. පසුගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිටි අවදියේ ඔහු විසින් දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු හා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවල සභා පතිවරුන් ලෙස පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ටද ජනාධිපති කාර්යාලයෙන් වාහන නිදහස් කර ඇත. එම වාහන ද දැන් ඒ තනතුරු අහෝසි වීම මත ආපසු භාර දී ඇති බව ආරංචි ය. මේ අන්දමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් විසින් වාහන ආපසු භාර දීමට හේතුව වන්නට ඇත්තේ දැන් මාස කීපයකට පෙර රජයේ අමාත්‍යංශයකට අයත් වාහනය අවභාවිතා කළේ යැයි යහපාලන රජය පැවති සමයේ හිටපු අමාත්‍යවරයෙකු වූ ඒ එච් එම් ෆවුසි ට එරෙහිව පවරනු ලැබූ නඩුවට ලබා දුන් අත්හිටවූ සිර දඩුවම් නියෝගය බව පැහැදිලි ය.
 
කෙසේ වුවද මේ ආපසු බාරදෙන වාහන නිමිති කරගෙන දැන් කරගෙන යන දේශපාලන මඩ ප්‍රහාරයෙන් කිසිවෙකුට අත්වෙන ප්‍රයෝජනයක් නැත. මේ අන්දමේ දේශපාලන මඩ ප්‍රහරයක් 2015 දී ද ආපසු භාරදුන් වාහන අරබයා සිදු කෙරිණ. එදා කෝටි ගණන් වටින වාහන ගැන කියමින් ඊට පෙර පැවති රජයට චෝදනා කළ දේශපාලකයෙක් ද මෙවර ආපසු භාරදී ඇති වාහනයක් වසර දෙකක් තිස්සේම භවිතා කර ඇති බව ද දැන් හෙලිවී ඇත.
 
අනුර ගේ ජය හා රනිල් ගේ පරාජය! - (වික්ටර් අයිවන්)
 
වසර පහකට වරක් ජනාධිපතිවරයෙකු මාරුවෙන සෑම අවස්ථාවකම මතුවෙන මේ වාහන නිමිත්ත යළි මතු නොවීමට පියවර ගැනීමේ මහඟු අවස්ථාව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට දැන් ලැබී ඇත. මෙතෙක් සිටි ජනාධිපතිවරුන්  සීමාවකින් තොරව තම පාක්ෂිකයින්ට හා හිත මිත්‍රයන්ට තනතුරු දී පහසුකම් සැලසීම සඳහා අවභාවිතා කළ ජනාධිපති කාර්ය මණ්ඩලය පත්කිරීමේ අවස්ථාව විධිමත් කිරීම මේ ජනාධිපතිවරයාට කළ හැකිය. ජනාධිපති වරයාගේ කාර්ය හා කර්තව්‍ය ඉටුකිරීම සඳහා අවශ්‍ය වන අවම කාර්ය මණ්ඩලය හදුනාගෙන ඔවුන් සඳහා අවශ්‍ය කාර්යාල ඉඩකඩ වාහන අවශ්‍යතාව වෙනත් පහසුකම් ආදිය පිළිබඳව සුදුසු අධ්‍යයනයක් කරවා මතු පත්වන ඕනෑම ජනාධිපතිවරයෙකුට ආදර්ශයට ගත හැකිවන කාර්ය මණ්ඩල ප්‍රමානයක් නිශ්චිතව සකසා ගත හැකිය. අවශ්‍ය නම් එම ප්‍රමාණයන් නීතිගත කර පවත්වාගෙන යා හැකිය. එවිට එම පූර්වාදර්ශය මත මතු පත්වෙන ජනාධිපති වරයෙකුට පවා ඒ සීමාවෙන් පිට ක්‍රියා කිරීමේ ඉඩකඩ සීමා වනු ඇත.
 
මීට පෙර එක් ජනාධිපතිවරයෙකුට රටපුරා සම්බන්ධිකරණ ලේකම්වරුන් සියයකට අධික ප්‍රමාණයක් සිටියහ. මා දන්නා එක් සම්බන්ධීකරණ ලේකම් වරයෙකුට පැවරී තිබුණේ එක් පන්සලක උත්සවයක් පැවැත්වේ නම් ජනාධිපතිතුමා ගේ නියෝජිතයෙකු ලෙස ඊට සහභාගි වීම පමණි. ඔහු ඒ ප්‍රදේශයේ විවිධ පුද්ගලයන්ගේ රජයෙන් ඉටු කර ගන්නට ඇති අවශ්‍යතා වෙනුවෙන් මැදිහත්වී ඒ මිනිසුන්ගෙන් මුදල් හා වෙනත් ප්‍රතිලාභ ගන්නා බවට ආරංචි පැතිර යද්දී ඒ බව ලිඛිතව ජනාධිපති ලේකම්ට වාර්තා කිරීමට අදාල දිස්ත්‍රික්කයේ දිසාපතිවරයා ලෙස මට සිදු විය. මේ අන්දමේ කාර්ය මණ්ඩල පත් කළ නොහැකි ලෙස ජනාධිපති කාර්ය මණ්ඩලයේ තනතුරු සඳහා රැකියා විස්තර බඳවා ගැනීමේ පරිපාටි ආදිය පිළියෙල කර තැබීම ඉතාමත්‍ යෝග්‍ය වේ.
 
vehicle case2
මේ වාහන ප්‍රශ්නය හුදු දේශපාලන මඩක් ලෙස ජනගත කරනවාට වඩා නව ජනාධිපතිවරයාගේ සරල හා පිරිමැසුම්දායක පාලන රටාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට යොදා ගත හැක්කේ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයට නිශ්චිත ප්‍රමාණය හදුනාගෙන ඒ එක් එක් තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් ද ඒ තනතුරට සපයන පහසුකම් ද එම තනතුරේ කාර්ය දර්ශකය ද විස්තරාත්මකව සකසා මේ සා විශාල සම්පත් ප්‍රමාණයක් ජනාධිපති ධුරය සඳහා අනවශ්‍ය බවට අදහසක්  ආදර්ශයෙන් ජනගත කිරීමෙන් පමණි. එහිදී රටේ වෙනත් අමාත්‍යංශ පක්ෂ හා ආයතන වලට පැවරී ඇති කටයුතු වෙනුවෙන් සරල ගැමි වහරකට අනුවන කීවොත්  බල්ලා ගේ වැඩේ බූරුවා කිරීම වැනි ජනාධිපතිවරයා ළඟ වෙනම කාර්ය මණ්ඩල පවත්වා ගැනීම අනුචිත බවත් තේරුම් ගැනීම වැදගත්‍ ය. වත්මන් ජනපති වරයා ඉහත ක්‍රියා මාර්ග අනුගමනය කළොත් එය අනාගත ජනාධිපති වරුන්ට ද පූර්වාදර්ශයක් වනු නියත ය.

(සුනිල් කන්නන්ගර) 
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...