The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දේශපාලන නාඩගම්වල රජාට ඇන්දත් වෙනස් නොවූ 'වෙල්ගම කුමාර'යා – (සුනිල් කන්නන්ගර)

T

The Leader Desk

October 1, 2024 • 7:57 AM

දේශපාලන නාඩගම්වල රජාට ඇන්දත් වෙනස් නොවූ 'වෙල්ගම කුමාර'යා – (සුනිල් කන්නන්ගර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු ගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට ය.
  • කොට කලිසමකින් හා අත්කොට කමිසයකින් සැරසී සපත්තු දමා වතු සුපිරින්ටැන්ඩන් ඇඳුමෙන් බන්දු අයියලාගේ ගෙදර කැවුම් කොකිස් සහිත තේ මේසයේ සිටි කුමාර වෙල්ගමට සුගතදාස මහතා විසින් ප්‍රදේශයෙන් විශ්ව විද්‍යලට ගොස් සිටින සිසුවෙකු ලෙස මාව හඳුන්වාදෙන ලදී.
  • එවෙලේම සුහදව මා හා ටික වෙලාවක් කතා කළ ඔහු ඔහුගේ හැදින්වීමේ කාඩ්පත දී කොළඹ පැමිණි පසු පංචිකාවත්තේ ඔවුන්ගේ වැඩපොලට පැමිණෙන ලෙස මට ආරධනා කළේ ය.
  • එය මුලින්ම නිර්මාණය කළේ 1947 මැතිවරණයටයි.
අකුරු ප්‍රමාණය (Font Size):

නිවසට යන්නට ය. ඒ ඔහු හමුවන්නට නොවේ. ඔහු ගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට ය.

1982 අගලවත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක වූ කුමාර වෙල්ගම අපේ අසල ගම වන හැඩිගල්ල ජනපදයේ බී වී බන්දුසේන නැත්නම් අපේ හිතවත් “බන්දු අයියලා”ගේ ගෙදර මිදුලේ පැවැත් වූ සිය මුල්ම රැස්වීමේ දී මංගල දේශපාලන කතාව පවත්වන විට එවක තරුණ විශ්ව විද්‍යල සිසුවෙකු වූ මම ඔහුට සවන් දුන්නේ අහල ගම් හතෙන්ම එකතු කරගත් ශ්‍රීලංකා කාරයන් විසි පහක් අතර රැඳෙමිනි.

 

1982 අගලවත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක වූ කුමාර වෙල්ගම

ඒ වන විට ජවිපෙ ක්‍රියාකාරිකයෙකුව සිටි මා එම රැස්වීමට බලෙන් මෙන් ඇදගෙන ආවේ අපේ පියදාස අයියා නැත්නම් වත්මනේ විශ්‍රාමලත් විදුහල්පති පියසේන හපුහෙට්ටිය. පස් දුන් කෝරළයෙන් කොළඹ ගොස් ප්‍රවාහන සේවයේ රාජ්‍යයක් ගොඩ නගා ගෙන සිටි එස් ඒ වෙල්ගම ප්‍රවාහන රාජ්‍යයේ උරුමක්කාර කුමාරයෙකු වූ කුමාර වෙල්ගම අගලවත්ත ආසනයේ ශ්‍රීලනිප සංවිධායක ලෙස පත් කරනු ලැබ එදින ආසනයේ කෙලවරක පිහිටි හැඩිගල්ල ජනපදය හා අවට ගම්වල හිතවතුන් අමතන්න්ට “පොක්ට් මීටිමක්” පවත්වන බව අපේ පියදාස අයියාට කිව්වේ අගලවත්ත ශ්‍රීලනිපයේ ලොක්කෙකුව සිටි සුගතදාස මහත්තයා ය.

 



රැස්වීමට මට ආරාධනා කළ සුගතදාස මහත්තයාගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරන්න මට බැරිවුණේ ඕනෑ දේකට අපි සමග එකට සිටි පියදාස අයියා ද ඊට එක්වී සිටි නිසා ය. කොට කලිසමකින් හා අත්කොට කමිසයකින් සැරසී සපත්තු දමා වතු සුපිරින්ටැන්ඩන් ඇඳුමෙන් බන්දු අයියලාගේ ගෙදර කැවුම් කොකිස් සහිත තේ මේසයේ සිටි කුමාර වෙල්ගමට සුගතදාස මහතා විසින් ප්‍රදේශයෙන් විශ්ව විද්‍යලට ගොස් සිටින සිසුවෙකු ලෙස මාව හඳුන්වාදෙන ලදී. එවෙලේම සුහදව මා හා ටික වෙලාවක් කතා කළ ඔහු ඔහුගේ හැදින්වීමේ කාඩ්පත දී කොළඹ පැමිණි පසු පංචිකාවත්තේ ඔවුන්ගේ වැඩපොලට පැමිණෙන ලෙස මට ආරධනා කළේ ය. ඒ කුමාර වෙල්ගමගේ හා මගේ මුල්ම හමුවෙන් පසු කොළඹ පංචිකාවත්තේ එස් ඒ වෙල්ගම සමාගමේ දී බොහෝ අවස්ථාවල ඔහු සමග සාකච්ඡා කරන්නට මට හැකි වුණත් මගේ දේශපාලන මතය වෙනස් කරන්නට ඔහුට ඕනෑ වුණේ නැත.

කුමාර වෙල්ගම දේශපාලන අත්පොත් තැබූ අගලවත්ත ඡන්ද කොට්ඨාශය කොහොමටත් පෙරලිකාර ආසනයකි. එය මුලින්ම නිර්මාණය කළේ 1947 මැතිවරණයටයි. ඒ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මතුගම කොට්ඨාශයේ මන්ත්‍රී ව සිටි නිදහස් අධ්‍යාපනයේ පියා වන සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගරයන්ගේ ගම් ප්‍රදේශය වන ඉත්තපාන ලූල්බද්දුව ඇතුලුව බෙන්තර ගඟ මායිමේ සිට සබරගමුවේ මායිම වන දුනුකෙයියා ගල දක්වා අගලවත්ත ලත්පදුර බදුරලිය පැලවත්ත යන එදා කුඩා කඩ මන්ඩි කේන්ද්‍ර කර ගත් ගම්මාන ඇතුලත් කරගෙන ය. අගලවත්ත ආසනය නිර්මණය කළේ කන්නගරයන්ගේ රාජ්‍ය මන්තණ සභා කොට්ඨාශයවූ මතුගම දෙකඩ කරමිනි. එසේ වුවත් යූඇන්පියෙන් අගලවත්තට 1947මැතිවරණයට ඉදිරිපත් කළේ මතුගම වැසියෙකු වන ඩී ඩී ඇතුලත්මුදලි ය (ලලිත් ඇතුලත් මුදලිගේ පියා) කන්නන්ගරට එක්සත් ජාතික පක්ෂයෙන් පැවරුණේ තමන්ගේ ගම ඇතුලත්මුදලිට දී ඇතුලත්මුදලිගේ ගමට තරඟ කිරීමට ය.


257148257 428313748686210 8558008157660673994 nකුමාර වෙල්ගම දේශපාලන අත්පොත් තැබූ අගලවත්ත ඡන්ද කොට්ඨාශය කොහොමටත් පෙරලිකාර ආසනයකි
අන්තිමේදී ඒ මහ මැතිවරණයෙන් ස්වාධීන අපේක්ෂක විල්මට් ඒ පෙරේරාට පරාද වී ගෙදර යන්නට කන්නන්ගරයන්ට සිදුවිය. ඇතුලත් මුදලිටත් ඒ ආනිසංසයම අත්වුණේ අගලවත්තේදී ලංකා සමසමාජ පක්ෂයේ සෑම් සිල්වාට පැරදීමෙනි. ආපසු 1952දී කන්නන්ගර සෑම් සිල්වාව පරාද කර අගලවත්තෙන් පාර්ලිමේන්තු ගියත් එවරදීත් ඇතුලත්මුදලිට මතුගමින් පාර්ලිමේන්තු යාමට බැරි විය.

මේ ඉතිහාසයේ අපට යම් තම් මතක කාලයේ එහි මන්ත්‍රීව සිටියේ අනිල් මුණසිංහ ය. අනිල් මුණසිංහව ඡන්ද පෙත්සමකින් ගෙදර යවා ප්‍රජා අයිතියත් වසර කීපයකට තහනම් කළ කිතුල්ගොඩ ඩේවිඩ් මහත්තයා (ජී ඩී ඩේවිඩ්) ඒ නිසා පැවැත්වුණු අතුරු මැතිවරණයට තරඟ කරමින් ගම් වල සංචාරය කරද්දී මගේ වයස අවුරුදු හතක් පමණ විය. මා ඔහුව මුලින්ම දැක්කේ ඡන්ද සාකච්ඡාවක් අපේ පොල් අතු ඉස්කෝල මඩුවේ පැවැත්වූ අවස්ථාවේය. එදා අද මෙන් ඡන්ද සාකච්ඡාවට ඉස්කෝලෙ ශාලාව ගැනීම ගෑන විරුද්ධ වෙන්න එදා කවුරුවත් හිටියේ නැත. අද වුණත් බස් එකක් සුහුරු පංති කාමරයක් හා තවත් මොනවා හෝ ඉස්කෝලෙට දී පාසැල් ළමුන් හා දෙමව්පියන්‍ රැස්කර දේශපාලන කතාවක් පවත්වනවාට කවුරුවත් විරුද්ධ වෙන්නේ නැත්තේ එදා තිබූ ඔය සම්ප්‍රදාය දන්නා නිසා විය යුතුය .

 

420540732 938749234277976 4538763306116060166 nබස් එකක් සුහුරු පංති කාමරයක් හා තවත් මොනවා හෝ ඉස්කෝලෙට දී පාසැල් ළමුන් හා දෙමව්පියන්‍ රැස්කර දේශපාලන කතාවක් පවත්වනවාට කවුරුවත් විරුද්ධ වෙන්නේ නැත්තේ එදා තිබූ ඔය සම්ප්‍රදාය දන්නා නිසා විය යුතුය .

ඒ අතුරු මැතිවරණයෙන් මරණෙට මගුලට ආ ගිය ගමේ මිනිහා වුණු යූ ඇන් පී ඩේවිඩ් මහත්තයාව පරාද කර අහල ගම් හතකවත් නොසිටි සමසමාජ කොල්වින්ව (ආචාර්‍ය කොල්වින් ආර් ද සිල්වා ) දිනෙව්වේ අපේ අගලවත්තේ මිනිස්සු ය. මේ ඩේවිඩ් මහත්තයාගේ පරාජය උපන්ගෙයි යූ ඇන්පී කාරයෙක් ව සිටි අපේ කඩේ ආත්තා විස්තර කළේ (මද්දහෙට්ටිගේ දොන් සුවාරිස් අප්පුහාමි ) අපේ එකාලගේ කෘතඤ්ඥ කම කියාය. අපිට ඒ කාලේ ඒ බර වචන තේරුණේ නැත. ඒ පරාජයෙන් පසු කාලයේ දී ඩේවිඩ් මහත්තයා රෝගාතුරව ජීවිත සටනින් ද පරාජය වී පරලොව ගියේය.

එදා සිට අපේ මන්ත්‍රී වූ අචාර්‍ය කොල්වින් 1970 චන්දයේදී පරාද කළේ ඩේවිඩ් මහත්තයාගේ එක කුස උපන් සහෝදරයා ව සිටි මහින්ද සෝම මහත්තයාව ය. මහින්දසෝම මහත්තයා ඒ පරාජයෙන් පසුව කැකිරාවට ගියේ යළි අගලවත්තට නොඑන්නමය. එසේ අගලවත්තේ පාරම්පරික ගම්කාර අයිය මලෝ දෙදෙනාවම පරාද කර ජය කෙහෙලි බැන්ද වූ කොල්වින්ව 1977දී පරාජය කළේ මෙරිල් කාරියවසම්‍ ය.

 

kumara welgama new partyදුර්වල ශ්‍රීලනිපය අගලවත්තෙන් ගොඩ ගන්නට සිරිමාවෝ මැතිණිය සොයා ගත්තේ කුමාර වෙල්ගම නම් වූ හැඩි දැඩි විසේකාර කොලු ගැටයාව ය.

ලංකා සමසමාජ පක්ෂයේ බල්කොටුවක් වූ අගලවත්ත මැතිවරණ කොට්ඨාශයේ 1977දී පරදින කොටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද තිබුණේ තුන්දහස් ගණනකි. පක්ෂය නියෝජනය කරමින් ඡන්දෙ ඉල්ලුවේ ආනන්ද පස්කුවල්‍ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ බදුරලියේ වෛද්‍යාචාර්‍ය ඇම් ඩී ටී තිලකරත්න නම්වූ මගේ වෙද ආත්තා ආසනයේ සිටි පැරණිම ශ්‍රීලංකා කාරයා විය. ඒ අයට තිබුණු ප්‍රශ්නය වුණේ අගලවත්තේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය ඉහලට ඔසොවන්නට සමත් සංවිධායකයෙක් නැති කම ය. මේ සියල්ලටම විසඳුමක් ලෙස දුර්වල ශ්‍රීලනිපය අගලවත්තෙන් ගොඩ ගන්නට සිරිමාවෝ මැතිණිය සොයා ගත්තේ කුමාර වෙල්ගම නම් වූ හැඩි දැඩි විසේකාර කොලු ගැටයාව ය.

1982 බන්දු අයියලාගේ මිදුලේ රැස්වීමෙන් දියත් කළ “කුමාර මෙහෙයුම” අගලවත්ත සිසාරා පැතිරෙන්නට වුණේ කුමාර වෙල්ගමගේ අපූරු නායකත්වය නිසාම ය. අතිශය දුෂ්කර කඳුපල්ලම් කූඩැල්ලන් කඩ කඩා නගිමින් බසිමින් තරුණ කොල්ලන් සමග ගෙයක් ගානේ ගිය කුමාර ශ්‍රීලනිපය ගම් මට්ටමින් මනාව ගොඩ නැංවීය. කුමාරගේ හතර රියන් ශරීරයත් යකාටවත් බය නැති ගතියත් තරුණ පහේ කොල්ලන්ගේ ආකර්ශණයට හේතුවිය. එතෙක් යූඇන්පිය ඉදිරියේ හැකිලී සමසමාජ පවුල් වල කොලු කෙල්ලන් කුමාරගේ පිරිවර සේනාව බවට පත් විය. ඔවුන්ට ගමේ ඕනෑම ප්‍රශ්නයකදී නොබියව හඬ නගන්නට පිටිපස තිබූ ලොකුම හයිය වුනේ කුමාර ය. කුමාර වටේ ජවසම්පන්න තරුණ බලවේගයක් ගොඩ නැගුණි අගලවත්‍තේ දර්ශන අපේ ගමේ ඥානතිලක වැනි සටන්කාමී තරුණයන් ගෙන්‍ යුත් කුමාර බලඇණිය ගම් නියම්ගම්වල අසාධාරණයෙන් පීඩිතව සිටි පිරිස්වලට විශාල ජවයක් ශක්තියක් විය.


88968951 3389950654374683 6320516268415778816 nකුමාර බලඇණිය ගම් නියම්ගම්වල අසාධාරණයෙන් පීඩිතව සිටි පිරිස්වලට විශාල ජවයක් ශක්තියක් විය.
1989 කුමාර වෙල්ගමගේ පලමු මහ මැතිවරණය මහා භීෂණය මධ්‍යයේ පැවැත් වූ අතර ඒ මැතිවරණය ආසන්නයේදී කලුතර දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප නායකයා වූ ඉන්ද්‍රපාල අබේවීරව ඝාතනය කිරීමට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කටයුතු කර තිබුණි. මැතිවරණයට ඉදිරිපත්වූ කුමාර වෙල්ගම තම ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටියේ තමාට නැතත් ඉන්ද්‍රපාල අබේවීරගේ දියණිය සුමිතා ප්‍රියංගනීට මනාපයක් දෙන ලෙසට ය. අවසානයේ සුමිතා ප්‍රියංගනී තිලක් කරුණාරත්නට පමණක් දෙවැනිව මන්ත්‍රී වෙද්දී කුමාර තේරී පත් නොවී කඩ ඉමේ රැඳිණි. ඉන් බිඳක් වත් නොසැලුණු කුමාර වෙල්ගම සිය සංවිධාන කටයුතු දිගටම කරගෙන ගියේය.

එවක භීෂණයේ ටයර් සෑවල යන්නට නියමිතව සිටි තරුණයින් බොහෝ පිරිසක් කුමාරගේ පිහිටෙන් දිවි රැක ගත්තෝය. තමා විසින් දිවි බේරාදුන් ඇතමුන් තමාව ඝාතනය කිරීමට උත්සහ කළ බවද ඔහු දැන සිටියේය. ඔය භීෂණය මධ්‍යයේත් ඔහු තනියම ලොරි බාගයක් එලවා ගෙන කෙලින් කන්ද කළුගල වැනි දුෂ්කර ගම්වලට ගියේය. පාක්ෂිකයින්ගේ පමණක් නොව විරුද්ධ පාක්ෂිකයකුගේගේද මළ ගෙදරක් දැන ගත්තොත් කුමාර මහ රාත්‍රියේ හෝ ඒ මළ ගෙදරට ද ගොඩ වැදුනේ ය. අපේ ගමෙන් එහා මහ වනන්තරේ මැද්දේ තිබුනු රූණ කන්ද ගමේ ලොක්කයියා මිය ගිය අවස්ථාවේත් කුමාර කූඩැල්ලන් කඩමින් රූණ කන්ද නැග ලොක්කයියාට අවසන් ගෞරව දැක්වුවේ ඔහු උග්‍ර යූඇන්පී කාරයෙක් බව දැන ගෙන ය. ලොක්කයියාගේ මල්ලී හින්නි අයියා කුමාරගේ පාක්ෂිකයෙක් විය. මහවිටේ පෑනිස් මාමාට අවසන් ගෞරව දක්වන්න ගියේ පාන්දර එකහමාරට විතර මහා වට රවුම් පාරක් දිගේය. බොරළුගොඩ සංඝදාස අයියා ට අවසන් ගෞරව දක්වන්නට කිලෝමීටර් කිපයක් පයින් කොටන්නට කුමාර මැළිවුනේ නැත.

 

b කුමාර මන්ත්‍රී වී ආණ්ඩුවත් ගත්පසු දිර්ඝ උත්සාහයකින් පසුව බොරළුගොඩ පාලම ඉදිකර අවසන් කෙරිණි. අද බදුරලිය සිට අපේ ගම හරහා ගාලු දිස්ත්‍රිකයේ නෙළුව නගරයට බස් දෙකක් ධාවනය වෙන්නේ කුමාර ඉදිකරවූ පාලම මතිනි.

සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහතාගේ කාලයේ සිටම ගම්වැසියන් රජයෙන් ඉල්ලා සිටි බොරළුගොඩ පාලම හදන බවට කුමාර පොරොන්දු වුණේ එතන මගුරු ගඟේ නාන අතරදී ය. එතකොට කුමාර මන්ත්‍රී කෙනෙකු නොවේ. ආණ්ඩුවත් ඔවුන්ගේ නොවේ. කුමාර මන්ත්‍රී වී ආණ්ඩුවත් ගත්පසු දිර්ඝ උත්සාහයකින් පසුව බොරළුගොඩ පාලම ඉදිකර අවසන් කෙරිණි. අද බදුරලිය සිට අපේ ගම හරහා ගාලු දිස්ත්‍රිකයේ නෙළුව නගරයට බස් දෙකක් ධාවනය වෙන්නේ කුමාර ඉදිකරවූ පාලම මතිනි.

කුමාර මන්ත්‍රී වුණේ 1994දීය. නාම යෝජනා දින යේම යූඇන්පිය සුපුරුදු මැර භාවිතය සූදනම්ව හබරල ගස් බැඳගත් බස් රථ වලින් සහායකයින් ගෙන කලුතරට ආහ. කච්චේරිය ඇතුලේ දී රෙජිනෝල්ඩ් කුරේට නහය කැඩෙන්න පහර දුන්නේ යූඇන්පී කුරේ කෙනෙකි. එළියේ සිටි කුමාරගේ සහායකයෝ මැරයන් පලවා හරින්නට පාරට බැස්සහ අන්තිමේදී කුමාරගේ හිතවතෙකුට වෙඩි තබා ඝාතනය කෙරිණි .කුමාරගේ මන්ත්‍රී වැටුප ඒ මියගිය හිතවතාගේ පවුලේ නඩත්තුවට වෙන් කෙරිණි. ආසනය පුරා විදුලිය දුන්නේ කුමාර වෙල්ගම ය. ඔහු පාසල්වලට ද උපරිම උදව් කළේය. කෝච්චි පෙට්ටි සැකිලිවලින් ඇලදොල හරහා පාලම් දැම්මේය පාසල් වලට බස්රථ දුන්නේය. අපේ දික්හේන විදුහලට ළමා උයනක් හදන්න සල්ලි දුන්නේ ඥානතිලක බාප්පාගේ ඉල්ලිමකට ය. තමා සමග වැඩකළ එවුන් ඉල්ලූ දේ කරන්නට කුමාර පැකිලුණේ නැත.

 

12487302 1130359887000449 3482209220083351857 oමන්ත්‍රී වුණත් ඇමති වුණත් කුමාර වෙල්ගමගේ ජීවිතය අතිශයින් සරල විය අත්කොට සුදු කමිසය සුදු සරම හැඳි කුමාර

මන්ත්‍රී වුණත් ඇමති වුණත් කුමාර වෙල්ගමගේ ජීවිතය අතිශයින් සරල විය අත්කොට සුදු කමිසය සුදු සරම හැඳි කුමාරව මතුගම බස් නැවතුම්පල අසල තෙල් පිරවුම් හලේ සිටිනු බොහෝ විට දැකගත හැකිවිය. කිසිම දිනෙක කුමාර ආරක්ෂකයන් පිරිවරා ගෙන ඉස්සරහින් පස්සෙන් වාහන දාගෙන ගෙන පෙලපාලි ගියේ නැත. ඔහු ඇමතිවරයෙකු සමයේ ආරක්ෂක නිලධාරියා හා රියදුරා සමග කලුතර සිට මතුගමට ගමන් කරන විට පිටුපසින් පොලිස් සයිරන් නලා හඬවා ගෙන එන වාහන පෙළක් නිරීක්ෂණය විය. තම වාහනය මාර්ගයේ අයිනට ගෙන පිටුපසින් එන වාහනවලට ඉඩ දෙන ලෙස රියදුරුට නියම කළ ඔහු දුටුවේ පොලිස් යතුරුපැදි පෙරටුව පෙර ගමන් පසු ගමන් ආරක්ෂක රථ පිරිවරා ගෙන අධික වේගයෙන් තම වාහනය පසු කර මතුගම දෙසට යන තම දිස්ත්‍රිකයේම නියෝජ්‍ය ඇමතිවරයෙකි. ”මූව කන්න එපායැ. මූට හැදිල තියෙන පිස්සුවට” සිනා මුසුව ඔහුගේ මුවින් පිට විය.  

 

ඇත්ත කියා පැත්තක් ගියත් කම් නැතැයි යන මතයේ දැඩිව එල්බ ගත් කුමාර වෙල්ගම කිසිදින කිසිවෙකුට බොරු කිව්වේ නැත. ඔහුගෙන් උදව්වක් අපේක්ෂාවෙන් පැමිණි කිසිවෙකුට බොරු කිය රැවටුවේ නැත. කරන්න පුලුවන් දෙය නොපැකිලව කර දුන්නේය බැරිදේ “ඕක කරන්න බෑ බං” කියා කෙලින්ම කිව්වේය. ඔහුගේ පුද්ගලික ජීවිතයේ දේ පවා ඔහු කෙලින්ම කිව්වේය. කාටවත් කුණු කුණු ගාන්නට ඉඩ තිබ්බේ නැත. ඔහු මහජන සේවයෙන් මුදල් හම්බ කළේ නැත. ඔහුට මුදල් සෙවීමට ව්‍යාපාර තිබුණි. ඒවා මැනවින් සිදු කෙරෙන බවට වග බලා ගත්තේය. තමා නියෝජනය කරන ජනතාවගේ කුදු මහත් කටයුතු වලට නොපැකිලව කාලය වෙන් කළේය. මහා ධනපතියෙකු වුණත් පැවැත්ම සරල විය. කුමාර විච්චූරන සැරසිලි ආටෝප රිස්සුවේ නැත. ප්‍රවාහන ඇමති ලෙස ඩිපෝවට ගියොත් බස්‍ රථයට නැග රියදුරු අසුනේ වාඩි වී කිලෝමීටර් දහය පහලොව එලවා බලා බස් රථයේ තාක්ෂණික තත්වය පරීක්ෂා කළේය. තමන් ඔහු අකමැති දේ එකඟ නොවන දේ කෙලින්ම කිවේ ය. ගෝඨාභයට රටක් පාලනය කළේ නොහැකි බව කුමාර ප්‍රසිද්ධියේ පැවසුවේ අන් සියල්ලෝම ගෝඨාභයව වර්ණනා කරන කාලයේ ය. එහෙම නොකියා සිටියා නම් ගෝඨාභය ආණ්ඩුවේ ඇමතිකමක් ගන්නට පුලුවන්කම තිබුණි. ඔහු නිරන්තරවම තම හිතට එකඟ දේ වෙනුවෙන් පෙනී සිටියා මිස තනතුර හඹා ගියේ නැත. ඊනියා අරගලයේ දී අසාධාරණ ලෙස තමන්ට පහරදී ගිනි තබා මරන්නට තැත්කළ ත්‍රස්‍තවාදීන්ට දඬුවම් නොකරන ලෙසත් ඔහුට අනුකම්පා කරන ලෙසත් පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය. අන් ලෙසකින් කිවහොත් තම අවසන් ගමන ඉක්මන් කළ අයටත් ඔහු වෛර කළේ නැත.


මේ අන්දමින් කටයුතු කළ සැබෑ ජනතා නියෝජිතයෙක්ගෙන් මම ඊයේ සමුගත්තෙමි. ඊයේ(30) ඔහුගේ අවසන් කටයුතු මතුගම ආදාහනාගාරයේ කෙරෙතැයි දැනගත් විට මතක් වුණේ මීට වසර දෙකකට පෙර අසනීප මධ්‍යයේ වුවත් මගේ පියාට අවසන් ගෞරව දක්වන්නට පැමිණ පියාගේ ආදහනය මතුගම ආදහනාගාරයේ කරන්න නියමිත බව අසා “කවදා හරි මම මළාමත් මතුගම ආදාහනාගාරෙම කරන්නයි කියල තියෙන්නෙ. එක තැන ආදහනාගාර දෙකක් හැදුවෙ මාව පුච්චන දාට තව එකෙකුගෙ එකකට ඉඩ නැතිවෙන එක වලක්වන්නයි” කියා හිනැහුණු අන්දම ය.

 



මතුගම ආදාහනාගාරය පටන් ගන්න ලක්ෂ විසි පහක් වූ තම විමධ්‍ය ගත අයවැයෙන් ලක්ෂ දහයක්ම වෙන්කර දී මදිපාඩුවට සරත්‍ රණවක මන්ත්‍රීතුමා ගෙන්ද ලක්ෂ පහක් ඉල්ලා දුන් බව අපේ ඥානතිලක බාප්පා පැවසුවේ අද ය. අපේ පස්දුන් කෝරළයෙන් පහලවූ සුවිශේෂී දේශපාලකයන් වූ සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර , දයා ටී පස්කුවල්, පාලිත තෙවරප්පෙරුම වැනි එක් එක් කරුණුවලින් සුවිශේෂී වූ දේශපාලකයින් අතරට කුමාර වෙල්ගම ද එක්වන්නේ ඔහුගේ මේ සුවිශේෂී ලක්ෂණ නිසා ය. මේ හතර දෙනාටම පොදු දේ වන්නේ ඔවුන් දේශපාලනය ධනෝපායන මාර්ගයක් ලෙස නොසැලකූ අවංක බොරු නොකිව් මහ ජනයා නොරැවටූ දේශපාලකයන් වීම ය. දේශපාලනයේදී මහජනයාට රජෙක් සේ පෙනුණත් සැබවින්ම සරල මිනිසාගෙන් ඔබ්බට නොගිය මිනිසා වෙල්ගම කුමාරයා නම් වන්නේ ය. ඔහු වැන්නන්ගේ පුරප්පාඩුව පුරවන්නට අනුප්‍රාප්තිකයින් පහළ නොවීම රටට ලොකු පාඩුවකි.

sunil Kannangara
(සුනිල් කන්නන්ගර)
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...