The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

තිස්සමහාරාම බාල වයස්කාර සිසුවා සැලසුම් කළ ලෝක ළමා දින සැමරුම් කසිප්පු සාදයෙන් ඔබ්බට - (රේණුකා දමයන්ති ගමගේ)

T

The Leader Desk

October 3, 2024 • 7:57 AM

තිස්සමහාරාම බාල වයස්කාර සිසුවා සැලසුම් කළ ලෝක ළමා දින සැමරුම් කසිප්පු සාදයෙන් ඔබ්බට - (රේණුකා දමයන්ති ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පිණිස පාසලට නීති විරෝධී මත් පැන් හෙවත් කසිප්පු බෝතල් බාගයක් ගෙන ඒමේ පුවතක් වාර්තා වී තිබේ.
  • ලෝක ළමා දින සැමරුම සම්බන්ධ අනේක විධ පුවත් ලොව නන් දෙසින් වාර්තා වන අතරේ මේ මාදිලියේ පුවතක් අතිශය දුලබ බව බැලූ බැල්මටම පෙනෙයි.
  • එමෙන්ම මෙම පුවත බොහෝ දෙනකුගේ, විශේෂයෙන් නාගරික මධ්‍යම පාන්තික මව්වරුන් ගේ උච්චතාව (Superiority ) මත පදනම් වන හාස්‍යයටත් උපහාසයටත් ලක්ව ඇති බව පැහැදිලිව දැක ගත හැකි විය.
  • එනම් මෙය ලෝක ළමා දිනය පිළිබඳව තබා මේ ලෝකය ගැන මෙලෝ දෙයක් නොදත් නොදරුවකු ගේ අතිශය බොළඳ අනුකාරක ක්‍රියාවක් බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

පිණිස පාසලට නීති විරෝධී මත් පැන් හෙවත් කසිප්පු බෝතල් බාගයක් ගෙන ඒමේ පුවතක් වාර්තා වී තිබේ.

ලෝක ළමා දින සැමරුම සම්බන්ධ අනේක විධ පුවත් ලොව නන් දෙසින් වාර්තා වන අතරේ මේ මාදිලියේ පුවතක් අතිශය දුලබ බව බැලූ බැල්මටම පෙනෙයි. එමෙන්ම මෙම පුවත බොහෝ දෙනකුගේ, විශේෂයෙන් නාගරික මධ්‍යම පාන්තික මව්වරුන් ගේ උච්චතාව (Superiority ) මත පදනම් වන හාස්‍යයටත් උපහාසයටත් ලක්ව ඇති බව පැහැදිලිව දැක ගත හැකි විය.

කෙසේ වුව ද අන් සියල්ලටම පෙර මේ සම්බන්ධයෙන් කිව යුතු විශේෂතම දෙයක් තිබේ. එනම් මෙය ලෝක ළමා දිනය පිළිබඳව තබා මේ ලෝකය ගැන මෙලෝ දෙයක් නොදත් නොදරුවකු ගේ අතිශය බොළඳ අනුකාරක ක්‍රියාවක් බව ය. වාර්තා වී ඇති අන්දමට එම සිදුවීම හා සම්බන්ධ සිසුවා මව් පිය සෙනෙහසින් දුරස් වූවෙකි. ඔහු කුඩා කලම මව ගෙන් වෙන් වී ඇති අතර පියා අගනුවර කම්කරු වෘත්තියක යෙදීම මත එම දරුවා පියා ගෙන් ද දුරස් වී හිඳින්නෙකි. ඔහු මේ වන විට කල දවස ගෙවනුයේ තම මුත්තනුවන් හා මිත්තනිය සමීපයේ ය.

ඔහු කුඩා කලම මව ගෙන් වෙන් වී ඇති අතර පියා අගනුවර කම්කරු වෘත්තියක යෙදීම මත එම දරුවා පියා ගෙන් ද දුරස් වී හිඳින්නෙකි
මෙම දරුවා ගේ බාප්පා ද වයස අවුරුදු දහ නවයක තරුණයෙකි. එමෙන්ම ඔහු ද කසිප්පු බීමට ඇබ්බැහි වූවෙකි. අප සිතන අන්දමට මේ ඇබ්බැහියාව ළමා වියේ සිට උරුම වූවක් වීමට ද පුළුවන. පසුගිය දිනයෙක ඔහු නිවෙසට කසිප්පු බෝතලයක් රැගෙන විත් ඇති අතර බාල වයස්කාර සිසුවා ඔහුට රහසින් එම බෝතලයෙන් අඩක් වෙනත් බෝතලයකට හලා ගන්නේ ලෝක ළමා දිනය වෙනුවෙන් තම මිතුරන් දෙතුන් දෙනකු හා පාසලේ පාටියක් දැමීමට ය. ඒ අනුව ඔහු තමන් හෙට පාසලට කසිප්පු භාගයක් ගෙනෙන බව පවසා එය බීමට අවශ්‍ය “බයිට්” ගෙනෙන ලෙස සිය මිතුරන් ගෙන් ඉල්ලා තිබේ. එහෙත්, නියමිත දින උදේ කසිප්පු බාගයක් ද රැගෙන පාසල් යාම කෙසේවත් කළ නොහැක්කකි. ඒ අනුව එම දරුවා ඊට ද කදිම උපායක් යොදා ඇත. එනම් එම කසිප්පු බාගය ඊට පෙර දින සවස පාසල වෙත ගෙන ගොස් ඒ පාසල් වත්තේ වළලා දැමීම ය.

කෙසේ හෝ පසු දින මෙම ප්‍රවෘත්තිය එම පාසලේ විදුහල්පති වරයා මාර්ගයෙන් පොලීසියට දැන ගැනීමට ලැබෙන අතර පසුව එම පාසලට පැමිණෙන පොලීසිය එම සිසුවා ඔහු විසින් සඟවන ලද කසිප්පු බාගය ද සමඟ පොලිස් භාරයට ගෙන තිබේ. පසුව ඔහු වෙතින් අනාවරණය වන කරුණු අනුව එම දරුවා කසිප්පු බාගය ලබා ගත් ඔහුගේ බාප්පා සේම ඔහුට කසිප්පු සපයන ලද පුද්ගලයා ගෝඩා බැරල් දෙකක් ද සමඟ අත් අඩංගුවට ගැනීමට පොලීසිය සමත් ව තිබේ.

ඉහත සඳහන් සිදුවීම අගනුවරින් දුර බැහැර ප්‍රදේශයක් වීම, ඊට කසිප්පු සම්බන්ධ වීම සහ එම දරුවාගේ පවුල් පසුබිම ගැමිකම, දිළිඳුකම හා බද්ධව පැවතීම මත එය අප රටේ ග්‍රාමීය දිළිඳු භාවය හා සම්බන්ධ සමාජ අර්බුදයක් සේ බොහෝ දෙනකුට හැඟී යා හැක. එහෙත් එහි ඇත්තම කතාව අනෙ`කකි. ඉහත සඳහන් සිදුවීම සේම ඊටත් වඩා සංකීර්ණ සමාජ අර්බුදයන් පිළිබිඹු වන සිදුවීම් නාගරික ඉහළ පැලැන්තියේ සමාජය තුළ ද බහුල ව සිදුවේ. එහෙත්, එහි පවත්නා වෙනස වනුයේ ඒවා නීතිය හමුවට නොපැමිණීම ඔස්සේ මාධ්‍ය වලින් ද වසන් වී තිබීම ය. ඒ සඳහා වන විශේෂ උපාය මාර්ග ද ඔව්හු අනුගමනය කරති. අප හට දැන ගන්නට ලැබී ඇති අන්දමට ඒවා මෙහි විස්තර නොකරනුයේ එමඟින් ඒ නොමනා උපාය මාර්ග තව දුරටත් ප්‍රවර්ධනය වීමට ඇති ඉඩ කඩ සළකමිනි.

 

වත්මන් සමාජය සම්බන්ධ අතිශය දරුණු අර්බුදකාරී සංසිද්ධීන් වන ඒවා නීතිය හෝ මාධ්‍ය හමුවට ඉදිරිපත් වන අවස්ථා වෙතොත් ඒ ඉතා අහම්බෙනි.

විශේෂයෙන් තම මාපියන් හා එකම සුඛෝපභෝගී නිවහනක් තුළ ජීවත් වන දරුවන් ගෙන් සැළකිය යුතු පිරිසක් මාපිය සෙනෙහස පිළිබඳ අහේනියෙන් සාගතයෙන් පෙළෙන බව ප්‍රසිද්ධ රහසකි. ඔවුන් ගේ මාපියන් සමාජය හමුවේ අඹු සැමියන් ලෙසින් පෙනී සිටිය ද ඔවුන් බොහොමයක ගේ පවුල් ජීවිත කැඩීබිඳී සුන්නද්දූලි වී ගොසිනි. එම දරුවන් තම ජීවිතයට ඇවැසි මඟ පෙන්වීම් ලබා ගනුයේ සයිබර් අවකාශයෙනි. එවන් පසුබිමක් යටතේ එම පවුල්වල දරුවන් ගෙන් සැළකිය යුතු පිරිසක් මත් ද්‍රව්‍ය ආදියට යොමු වී ඇති අතර තවත් කොටසක් විවිධ ලිංගික විෂමාචාරයනට යොමු වන අතරේ තවත් පිරිසක් විවිධ අපයෝජනයනට සහ අපචාරයන්ට ලක් වෙති. වත්මන් සමාජය සම්බන්ධ අතිශය දරුණු අර්බුදකාරී සංසිද්ධීන් වන ඒවා නීතිය හෝ මාධ්‍ය හමුවට ඉදිරිපත් වන අවස්ථා වෙතොත් ඒ ඉතා අහම්බෙනි.

ඒ සම්බන්ධයෙන් අපට ඉතා විශ්වාස කටයුතු ලෙසින් දැන ගැනීමට ලැබුණු පුවතක් වූයේ නාගරික ඉහළ පැලැන්තියේ නව යොවුන් දරුවන් ගෙන් යම් පිරිසක් “අයිස්” නම් මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වී සිටින බවකි. එමෙන්ම ඔවුන් ගෙන් තවත් කොටසක් වැඩිහිටි කාන්තාවන් සමඟ ලිංගිකව ඇසුරු කිරීමේ නව ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ද අනාවරණය වේ. ගෘහ සේවිකාවන්, නිවාස පිරිසිදු කරන්නියන් ඇතුළු ඔවුන් එසේ ඇසුරු කරන ඇතැම් වැඩිහිටි කාන්තාවන් එම දරුවන් ගේ මව්වරුන් ගේ වයසේ පසුවන බව ද අසන්නට ලැබේ. එමෙන්ම ඇතැම් ජාත්‍යන්තර පාසල් වල ගුරුවරියන් හා ළාබාල සිසුන් අතරේ පවත්නා ලිංගික සබඳතා පිළිබඳව එම පාසල් තුළින්ම තොරතුරු අනාවරණය වන මුත් එම පාසල් වල කීර්ති නාමය රැක ගැනීම පිණිස ඒවායේ පාලක වරු ද ඒ රහස් නිරතුරුවම සඟවා ගෙන සිටිති. එහෙත්, විස්මයට කරුණ වනුයේ එවැනි සිද්ධියක් පිළිබඳව දැන ගත් සැනින් තම දරුවාට තරවටුවක් කිරීම හැරුණු කොට ඊට වැඩි යමක් කිරීමට බොහෝ මාපියන් ද නොපෙළඹීම ය. මක් නිසා ද යත් එය වීදුරු ගෙවල් වල සිට ගල් ගැසීමක් වන බැවිනි.

young 2නාගරික ඉහළ පැලැන්තියේ නව යොවුන් දරුවන් ගෙන් යම් පිරිසක් “අයිස්” නම් මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වී සිටින බව

ඉහත සඳහන් තිස්සමහාරාම සිදුවීම හා සම්බන්ධ සමාජ ආර්ථික සංස්කෘතික පසුබිම පසෙක තැබුව ද එම සිදුවීම හා සම්බන්ධ දරුවා පසුවනුයේ සිය ඥානක සංවර්ධනයේ අතර මැද අවස්ථාවක ය. එදිනෙදා ජීවිතයේ තමන්ට මුහුණ දීමට සිදුවීම් සම්බන්ධයෙන් වුව තනිව තීරණ ගැනීමට තරම් බුද්ධිය මුහුකුරා නොගිය වයස අවුරුදු 7-12 අතර වයස් කලාපය ලෝක ප්‍රකට ප්‍රංශ ජාතික මනෝ විද්‍යාඥ ෂෝන් පියාජේ (Jean Piaget ) විසින් හඳුන්වා ඇත්තේ සංයුක්ත ක්‍රියාකාරී අවදිය (Concrete operational stage ) යනුවෙනි. එහිදී තමන් අසන, දකින, විඳින දේ සම්බන්ධ ප්‍රතිතර්ක ගොඩ නගා ගැනීමේ හැකියාවක් එම වයසේ දරුවකු සතු නොවේ. පියාජේගේ මතය අනුව එම වයස් සීමාව හෙවත් විධිමත් ක්‍රියාකාරී අවදිය (Formal operational stage ). ආරම්භ වනුයේ දරුවකුගේ වයස අවුරුදු දොළහේ පමණ සිට ය. අප බසෙහි දරුවා යන අරුතින් වුව පළ වනුයේ වැඩිහිටියන් විසින් “දරා සිටිය යුත්තා” බව අප විශේෂයෙන් දැන සිටිය යුතු ය.


ඒ අනුව ඉහත සඳහන් තිස්සමහාරාම සිද්ධිය අපට විස්තර කළ හැක්කේ එම සමාජ, ආර්ථික සහ සංස්කෘතික පසුබිමකට අදාල සිදුවීමකට වඩා නිසි රැකවරණයක් දරුවකු ළමා විය තුළ මානසිකව හුදකලා, නන්න්තර බවකට පත් වීමේ පසුබිමක් තුළ හටගත් ඛේදනීය සිදුවීමක් ලෙසිනි. එය ඉතා කෙටියෙන් පැවසුව හොත් මේ සිසුවාට අවශ්‍ය වූයේ තම බාප්පා යම් යම් සිදුවීම් මුල් කොට දමන පාටිය ලෝක ළමා දිනය මුල් කොට තම මිතුරන් හා පාසලේ දී දැමීමට පමණි. මෙහි දී එක් වරම අප ගේ මනැසට නැඟෙන පැරණි චීන පිරුළකින් මෙම සටහන නිමා කිරීම වඩාත් සුදුසු යැයි අපට හැඟේ “දරුවෝ වැඩිහිටියන් ගෙන් උගනිති. ඒ අතරේ ඔව්හු ඊට වැඩි බොහෝ දේ වැඩිහිටියනට උගන්වති”

(ප.ලි :නමුත් ගැටළුව වනුයේ අප දරුවන් අපට උගන්වන ඒ පාඩම් කිසිවක් හරි හැටි ඉගෙන නොගැනීම ය)


renuka damayanthi psd
(රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම -  vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තිස්සමහාරාම බාල වයස්කාර සිසුවා සැලසුම් කළ ලෝක ළමා දින සැමරුම් කසිප්පු සාදයෙන් ඔබ්බට - (රේණුකා දමයන්ති ගමගේ) | The Leader