The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දැදුරුඔය ආශ්‍රිතව අන්තරායකාරී මත්ස්‍ය විශේෂ දෙකක්? - (ඉන්දු පෙරේරා)

T

The Leader Desk

October 4, 2024 • 12:24 PM

දැදුරුඔය ආශ්‍රිතව අන්තරායකාරී මත්ස්‍ය විශේෂ දෙකක්? - (ඉන්දු පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දහසක සුවිසල් දියවරක් වන දැදුරුඔය ජලාශයෙන් දිවි රැක ගන්නා ධීවර පවුල් දහසකට පමණ බරපතල ජීවිත අර්බුදයකට මුහුණ පෑමට සිදුව තිබේ.
  • ඒ මෑතක සිට එම ජලාශයට බෝවී ඇති ආක්‍රමණශීලී මසුන් විශේෂයක් හේතුවෙනි.
  • ‘රට ලූලන්’ ආදී වශයෙන් විවිධ නම් කිහිපයකින් හඳුන්වන ලූල් වර්ගයට අයත් මෙම විදේශීය මසුන් යෝධ සර්ප හිස (Giant snakehead ) ලෙස ජාත්‍යන්තර වශයෙන් හඳුන්වනු ලැබේ.
  • මෙම වැඩුණු මත්ස්‍යයකු අඩි හතරකටත් වඩා දිගින් යුතු වන අතර ඔවුන් ගේ බර සාමාන්‍යයෙන් කිලෝ විස්සක් පමණ වන බව ද පැවසෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

දහසක සුවිසල් දියවරක් වන දැදුරුඔය ජලාශයෙන් දිවි රැක ගන්නා ධීවර පවුල් දහසකට පමණ බරපතල ජීවිත අර්බුදයකට මුහුණ පෑමට සිදුව තිබේ. ඒ මෑතක සිට එම ජලාශයට බෝවී ඇති ආක්‍රමණශීලී මසුන් විශේෂයක් හේතුවෙනි.

‘රට ලූලන්’ ආදී වශයෙන් විවිධ නම් කිහිපයකින් හඳුන්වන ලූල් වර්ගයට අයත් මෙම විදේශීය මසුන් යෝධ සර්ප හිස (Giant snakehead ) ලෙස ජාත්‍යන්තර වශයෙන් හඳුන්වනු ලැබේ. මෙම වැඩුණු මත්ස්‍යයකු අඩි හතරකටත් වඩා දිගින් යුතු වන අතර ඔවුන් ගේ බර සාමාන්‍යයෙන් කිලෝ විස්සක් පමණ වන බව ද පැවසෙයි. මීට මාස දෙක තුනක පමණ සිට දැදුරුඔය ජලාශය ආශ්‍රිතව ශීඝ්‍රයෙන් බෝවී ඇති මෙම මත්ස්‍ය විශේෂය නිසා මේ වන විට ජලාශයේ සාමාන්‍ය මත්ස්‍ය සම්පත ශීඝ්‍රයෙන් වඳවෙමින් පවතින බවත් ඊට හේතුව මෙම මසුන් විසින් ජලාශයේ සෙසු සියලුම මසුන් ඉවක් බවක් නැතිව කා දැමීම බවත් දැදුරුඔය ජලාශය ආශ්‍රිත ධීවර ප්‍රජාව පවසති.

 

ධීවරයන් විසින් අටවන ලද දැල් වලට කොටු වී සිටින සෙසු මසුන් කා දමා උපක්‍රමශීලීව පලා යාමට පවා මෙම මත්ස්‍ය විශේෂය සමත් බව පැවසෙයි. ඒ අනුව මෙම ආක්‍රමණශීලී මත්ස්‍ය උවදුර මැඩලීමට වහාම කටයුතු නොකළ හොත් මේ වන විට ක්‍රියාත්මක වන මහව- කටුවන්නාව, ගණේවත්ත- කැකුළාවල සහ වාරියපොල- තඹරව යන දැදුරුඔය ජලාශයේ ධීවර තොටුපලවල් ඉදිරියේ දී වැසී යාමටත් දැදුරුඔය ආශ්‍රිත ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර පවුල් දහසකට පමණ උන් හිටි තැන් අහිමි වන බවටත් ඔව්හු මැසිවිලි නඟති. එමෙන්ම මත්ස්‍ය අස්වැන්න ලබා ගැනීම පිණිස මෙම දියවරට හෙළන මත්ස්‍ය පැටවුන් මෙම ආක්‍රමණික මත්ස්‍යයන්ට ආහාර සැපයීමක් බවට පත්ව ඇති බව ඔවුන්ගේ පොදු පිළිගැනීම ය.ඒ හේතුව නිසා මෙම ආක්‍රමණශීලී මසුන් ඉවක් බවක් නොමැතිව බෝ වීමක් ද සිදුවන බව ධීවරයෝ කියති.

එලෙසින්ම දැදුරුඔය ජලාශය ජලාශය වාන් දැමීමත් සමඟ මෙම ආක්‍රමණශීලී මත්ස්‍ය උවදුර ඒකාන්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ වයඹ ප්‍රදේශයේ තවත් ජලාශ බොහොමයක් ගොදුරු වන බව නිසැක ය.එබැවින් අපගේ පාරිසරික සමතුලිතතාවයට ජෛව විවිධත්වයට සේම මිරිදිය ධීවර ජනතාවගේ පැවැත්මට බරපතල තර්ජනයක් එල්ල කරන යෝධ සර්ප හිස මසුන් මෑතක සිට අප රටට බෝවීමට හේතු පිළිබඳව ද අපි විමසුමක් කළෙමු.

ali 1

දැදුරුඔය ජලාශය

 

එහි දී අපට පැහැදිලි වූයේ මොවුන් බොහෝ විට විසිතුරු මසුන් ආනයනය කිරීම් වලදී නීති විරෝධී ලෙසින් මෙරටට ගෙන් වන්නට ඇති බවකි. ඊට හේතුව කුඩා කාලයේ දී පැහැදිලි දීප්තිමත් රතු පැහැයකින් යුතු මෙම මසුන් රතු සර්ප හිස (Red snakehead ) ලෙස හැඳින්වෙන අතර මොවුන් ගේ “සැබෑ තරම”නොදන්නා විසිතුරු මසුන් ඇති කරන්නවුන් මොවුන් ටැංකිවල ඇති කිරීමට හුරු වීම ය.

එහෙත්, පැටවකු මාස දෙකක් පමණ ගත වන විට මොවුන් ගේ මුල් වර්ණය වෙනස් වී ශරීර ප්‍රමාණය ද ශීඝ්‍රයෙන් වැඩෙන්නට පටන් ගැනීම මත විසිතුරු මසුන් ඇති කරන්නවුන් මොවුන් ස්වභාවිකව ජලාශවලට මුදා හරින්නට පෙළඹෙන්නට ඇතැයි පරිසරවේදීහු අනුමාන කරති. එමෙන්ම මාංශ භක්ෂක මත්ස්‍ය විශේෂයක් වන මොවුන් වයසින් වැඩෙත්ම අධික ජීවී ආහාර ප්‍රමාණයක් ගන්නා බව ද පැවසෙයි.

මෙම මසුන් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දක්වන දැදුරුඔය ජලාශය හා සම්බන්ධ ධීවරයන් පවසනුයේ අනාගතයේ දී මොවුන් ගෙන් මිනිස් ජීවිත වලට අනතුරක් සිදුවනු ඇතැයි යන සාධාරණ බියක් තමන් තුළ පවතින බව ය. එහෙත්, මාංශ භක්ෂික වුව මිනිසුන් හට ප්‍රහාර එල්ල කිරීමට තරම් දරුණු නොවන මෙම යෝධ සර්ප හිස මසුන් තම බිත්තර හා පැටවුන් ආරක්ෂා කර ගැනීම පිණිස ඒ වෙතට ඇදෙන ජලජ සර්පයන්ට ප්‍රහාර එල්ල කරන බව පැවසෙයි. ඒ අනුව එවන් අවස්ථාවක එවැනි ඉසව්වකට යොමු වන මිනිස් අතකට හෝ පයකට යම් අනතුරක් සිදුවිය හැක.

 

ali2

යෝධ සර්ප හිස මත්ස්‍ය විශේෂය

 

‘එහෙමමත් කියන්න එපා, මීට මාස දෙක තුනකට කලින් දැදුරුඔයේ හිටපු ඔය වගේ යෝධ මාලුවෙකුගේ පහර දීමකට ලක් වුණු මනුස්සයෙකුට මැහුම් දාසයක් දාලා සතියක් හලාවත ඉස්පිරිතාලේ නතර වෙලා ඉන්නත් සිද්ධ වෙලා තියනවා. අනික මේ ජලාශයේ ඉන්න ඔය මාළුන් ගෙන් පොඩි දරුවකුටවත් හානියක් වෙන්නේ නෑ කියලා කාටවත්ම කියන්න බෑනෙ” දැදුරුඔය ජලාශයේ ධීවරයෝ එසේ පවසති.

එහෙත්, දැදුරුඔය ජලාශයේ දක්නට ලැබෙන මත්ස්‍ය විශේෂය සහ දැදුරුඔයේ දී මිනිසකුට ප්‍රහාර එල්ල කළ මත්ස්‍ය විශේෂය එක් වර්ගයකට අයත් නොවන බව පරිසරවේදීන් ගේ මතයයි. දැදුරුඔයේ දී ඉතා අහඹු ලෙස යම් පුද්ගලයකු එවන් ප්‍රහාරයකට ලක්ව ඇත්තේ ඇලිගේටර් ගා( Alligator gar) නම් මත්ස්‍යයකු ගෙනි.පසුව තවත් එවැනි මත්ස්‍යයකු දැදුරු ඔයේ ධීවර දැලකට හසු වනු ලදුව ඒ මත්ස්‍යයා වීඩියෝ ගත කළ ධීවරයන් ඒ සතා නැවත ජලයට මුදා හැර තිබේ.ඒ ආහාර පිණිස නොගන්නා මසුන් තමන්ට හිමි නැතැයි යන මානුෂීය සම්ප්‍රදාය අනුව ය.එය කිතුණු ධීවර ජන සංස්කෘතියේ සදාචාර ධර්ම අතරට ඇතුළු වන්නක් බව ද කියනු ලැබේ.

 

ali3

ඇලිගේටර් ගා මත්ස්‍ය විශේෂය

 

ඇලිගේටර කිඹුලකු  ගේ හැඩයට සමාන නිසා මෙම මත්ස්‍ය විශේෂය ජාත්‍යන්තරව ඒ නමින් හැඳින්වෙයි. ඇමරිකාව නිජ බිම කොට ගත් මෙම මත්ස්‍ය විශේෂය ද පසුගිය කාලයේ මෙරට ජලාශ කිහිපයකම දක්නට ලැබුණු අතර ඉකුත් දිනයෙක එවන් මත්ස්‍යයකු මහනුවර නුවර වැවෙන් ද මතු වීම මත මහත් ආන්දෝලනයක් ඇති විය. මෙම ඇලිගේටර් ගා මසුන් යෝධ සර්ප හිස මසුන්ට වඩා ප්‍රමාණයෙන් විශාල වන අතර මෙම මත්ස්‍ය දෙවර්ගයම පහසුවෙන් බාහිරට දිස්වන හේතුවක් තිබේ. 

එනම් මොවුන් සෙසු මසුන් වර්ග මෙන් ජලයට මුසු ඔක්සිජන් වෙනුවට වාතයේ පවත්නා ඔක්සිජන් ආඝ්‍රානය කිරීම ය.එනිසා ආශ්වාසය පිණිස වරින් වර දියමතට පැමිණීම සහ ශරීර ප්‍රමාණයන් අනුව මොවුන් දෙවර්ගයටම දිය යට සැඟවී සිටීම අසීරු වේ. එමෙන්ම මෙම මත්ස්‍යයන් ද ඉතා අහඹු ලෙස හෝ වැරදීමකින් එල්ල කරන ප්‍රහාරයක් හැරුණු කොට ජලාශයකට බසින මිනිසුන්ට සැළසුම් සහගත ප්‍රහාර එල්ල කරන බවට තොරතුරු වාර්තා වී නැත.ඒ අනුව මෙම මසුන් හේතුවෙන් එම ජලාශ පරිහරණය කිරීමෙන් වැලකිය යුතු නැතැයි පරිසරවේදීහු පවසති.

එහෙත්, යෝධ සර්ප හිස මසුන් සේම මෙම ඇලිගේටර් ගා මසුන් ද ජල ජීවී පරිසර පද්ධතීන් හි ජෛවමය අගයට හා පාරිසරික සමතුලිතතාවට හානි කරන්නවුන් බව අනාවරණය වී තිබේ. ඒ අනුව ඔවුන් එවන් බලපෑම් සහගත නොවන ජලාශ වෙතට මුදා හළ යුතු ය. කෙසේ හෝ මේ වන විට මෙම මසුන් දෙවර්ගය සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුව, ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත (නාරා) ආයතනය මේ වන විටත් සිය අවධානය යොමු කොට තිබේ.ඒ අනුව මෙම මසුන් ගෙන් මිනිසුන්ටත් මිනිසුන් ගෙන් මෙම මසුන්ටත් හානි දායක නොවන කඩිනම් ඉදිරි පියවරක් ගනු ඇතැයි අපි ද අපේක්ෂා කරමු.


සටහන :
(ඉන්දු පෙරේරා)

(උපුටා ගැනීම - vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දැදුරුඔය ආශ්‍රිතව අන්තරායකාරී මත්ස්‍ය විශේෂ දෙකක්? - (ඉන්දු පෙරේරා) | The Leader