The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ශ්‍රී ලංකාවේ නවවැනි ජනාධිපතිවරයාගේ ජය සමඟින් විදෙස් මාධ්‍ය ඇස වමට හැරීම

T

The Leader Desk

October 7, 2024 • 6:10 AM

ශ්‍රී ලංකාවේ නවවැනි ජනාධිපතිවරයාගේ ජය සමඟින් විදෙස් මාධ්‍ය ඇස වමට හැරීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි දී එතෙක් පැවති දුෂිත ප්‍රභූ පාලනය අවසන් කිරීමේ සහ සමාජ වෙනසක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් මහජනතාව ඡන්දය පාවිච්චි කළේ යැයි යන්න දේශපාලන කරළියේ මතු වූ විශේෂිත කාරණයක් වූයේය.
  • අප එම විමසා බැලීම සඳහා සමීප ලෙස අධ්‍යයන කළේ, සැප්තැම්බර් විසි දෙක විසි තුන යන දිනවල බී.බී.සී, ස්කයිනිව්ස්, ඒ.පී, අල්ජසීරා, එන්.ඩී.ටී.වී, ටයිම්ස්, ඉන්ඩියාටුඩේ, ටයිම්ස් ඔෆ් ඉන්ඩියා, ඉකොනොමික්ස් ටයිම්ස්, ඉන්ඩියා ටයිම්ස් යන මාධ්‍යවල පළවුණු වාර්තා නියදියකි.
  • මූලිකව ඒ සෑම වාර්තාවකම අනුර කුමාර දිසානායක වාමංශික හෝ මාක්ස්වාදී හෝ එම මතවාදයට නැඹුරුවක් ඇති නායකයකු ලෙස හඳුන්වා දී තිබුණි.
  • එහෙත් එම විස්තරය අවසානයේ මෙවැනි එක් වාක්‍යයක් ඇතුළත් කොට තිබුණේය : “ දිසානායක මෑත කාලයේදී, ඔහුගේ පක්ෂයේ වාම දැඩි මතධාරී ආස්ථානය මැදි මාවතකට ගෙන යාමට උත්සාහ කළේය.” අල්ජසීරා වෙබ් අඩවියේ පළ වී තිබුණු වාර්තාව ආරම්භ වී තිබුනේ ‘වාමංශික දේශපාලක අනුර කුමාර දිසානායක’ ලෙසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):
එහි දී එතෙක් පැවති දුෂිත ප්‍රභූ පාලනය අවසන් කිරීමේ සහ සමාජ වෙනසක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් මහජනතාව ඡන්දය පාවිච්චි කළේ යැයි යන්න දේශපාලන කරළියේ මතු වූ විශේෂිත කාරණයක් වූයේය. ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන ජාතික ජනබලවේගය එම අපේක්ෂාවන් බොහෝ දුරට මැතිවරණ ව්‍යාපාරය තුළ නියෝජනය කළ අතර, අවසානයේ තියුණු තරගයකින් පසු එම පක්ෂය නියෝජනය කළ, එහිදී 2019 මහ මැතිවරණයේදී 3%ක් ලබාගත් පක්ෂයක නායක අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කිරීම විදේශ මාධ්‍යවලද සුවිශේෂ අවධානයක් යොමු වූයේ යැයි කිව හැකිය. මෙහි ඇත්තේ එම ජනාධිපතිවරණ ප්‍රතිපලත් සමඟ විදේශ මාධ්‍යවල හැසිරීම පිළිබඳ විවරණයකි. 



2024 වසරේ සැප්තැම්බර් 21 දා ලංකාවේ නවවැනි ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම සඳහා ජනාධිපතිවරණ මැතිවරණය පැවැත්වුණු අතර පසුදින, එනම් 22 වැනිදා සවස් කාලය වන විට, ඡනතා ඡන්දයෙන් ‍තේරී පත්වුණු ජනාධිපතිවරයා, ජාතික ජනබලවේගයෙන් තරඟ කළ අනුර කුමාර දිසානායක බව ප්‍රකාශයට පත් වී තිබුණි. එම සිදුවීම වෙතට විදේශීය මාධ්‍යවල විශේෂ අවධානය යොමු වී තිබුණේ කාරණා කිහිපයක් නිසාය. ප්‍රමුඛ පෙළේ විදේශීය මාධ්‍ය කිහිපයක, නව ජනාධිපතිවරයාගේ තේරි පත්වීම පිළිබඳ වාර්තාකරණය සළකා බැලූ විට එම කාරණා කිහිපය මැනවින් වටහා ගැනිමට හැකිවෙයි. අප එම විමසා බැලීම සඳහා සමීප ලෙස අධ්‍යයන කළේ, සැප්තැම්බර් විසි දෙක විසි තුන යන දිනවල බී.බී.සී, ස්කයිනිව්ස්, ඒ.පී, අල්ජසීරා, එන්.ඩී.ටී.වී, ටයිම්ස්, ඉන්ඩියාටුඩේ, ටයිම්ස් ඔෆ් ඉන්ඩියා, ඉකොනොමික්ස් ටයිම්ස්, ඉන්ඩියා ටයිම්ස් යන මාධ්‍යවල පළවුණු වාර්තා නියදියකි.

මූලිකව ඒ සෑම වාර්තාවකම අනුර කුමාර දිසානායක වාමංශික හෝ මාක්ස්වාදී හෝ එම මතවාදයට නැඹුරුවක් ඇති නායකයකු ලෙස හඳුන්වා දී තිබුණි. අප තෝරා ගත් මාධ්‍ය අතුරින් බී.බී.සී, ස්කයිනිව්ස්, ඒ.පී, ටයිම්ස්, ඉකොනොමින්ස් ටයිම්ස්/ඉන්ඩියා ටයිම්ස් යන මාධ්‍යය හතරේ, යොදා තිබුණු පුවත් සිරස්තලවල අනුර කුමාර දිසානායක හඳුන්වාදීමට ‘මාක්ස්වාදී’ හෝ ‘වාමාංශික’ යන යෙදුම් භාවිතා කොට තිබුණි. 

බී.බී.සී, ස්කයිනිව්ස්, ඒ.පී, ටයිම්ස්, ඉකොනොමින්ස් ටයිම්ස් පුවත් සිරස්තල පිළිවෙලින් 

ඉහත සඳහන් මාධ්‍යයවල සේම සෙසු මාධ්‍ය වාර්තා සියල්ලේම ද සෙසු පුවත් අන්තර්ගතයේ පළමු වැකි කිහිපය තුළ, අනුර කුමාර දිසානායකගේ දේශපාලන නැමියාව මාක්ස්වාදි හෝ වාමංශික ලෙස හඳුන්වාදීමට උත්සුක වීම ප්‍රකට ලක්ෂණයක් ලෙස දැක්විය හැකිය. එහෙත් බී.බී.සී, අල්ජසීරා සහ එන්.ඩී.ටි.වී වැනි මාධ්‍යය කිහිපයක් එම දේශපාලන නැමියාව තරමක් දුරට විමසුමට ලක් කොට තිබුණි. 

news78
“ශ්‍රී ලංකාවේ නව වාමංශික ජනාධිපතිවරයා දිවුරුම් දෙයි’ යන සිරස්තලයෙන් ආරම්භ වුණු බී.බී.සී පුවත්වාර්තාවේ අනුර කුමාර දිසානායකගේ දේශපාලන ජීවිතයේ ඉතිහාසය පිළිබඳ කෙටි විස්තරයක් දක්වා තිබුණු අතර එහිදී ඔහු සිය දේශපාලන ජීවිතයට අත්පොත තැබූ, ජනතා විමුක්ති පෙරමුණේ අරගල ඉතිහාසය පිළිබඳව ද සඳහන් කොට තිබුණි. එහෙත් එම විස්තරය අවසානයේ මෙවැනි එක් වාක්‍යයක් ඇතුළත් කොට තිබුණේය : “ දිසානායක මෑත කාලයේදී, ඔහුගේ පක්ෂයේ වාම දැඩි මතධාරී ආස්ථානය මැදි මාවතකට ගෙන යාමට උත්සාහ කළේය.” 

bbc to moderate hard left stance sep 23 copy
අල්ජසීරා වෙබ් අඩවියේ පළ වී තිබුණු වාර්තාව ආරම්භ වී තිබුනේ ‘වාමංශික දේශපාලක අනුර කුමාර දිසානායක’ ලෙසිනි. එම වාර්තාවේ ද ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන ලද ජන නැඟිටීම් පිළිබඳ විස්තර දක්වා තිබුණ ද එම පක්ෂය මාක්ස්වාදී පක්ෂයක් ලෙස හඳුන්වා දී තිබුනේ නැත. එහෙත් එම ලිපියේ අවසාන භාගයේ දී, මාක්ස්වාදී විප්ලවවාදියකු වන චේ ගුවේරා ඔහු කැමති එක් වීරයකු බව සඳහන් කොට තිබුණි. එසේම එම ලිපියේ අවසන් වැකිය වෙන් කොට තිබුනේ මෑත කාලයේදී අනුර කුමාරගේ දේශපාලන ගමන් ම‍‍ගේ සිදුවුනු අපගමනය පෙන්වා දීමටය. එහි මතු‍කොට තිබුණේ ඔහුගේ ජනප්‍රියත්වය වර්ධනය වෙත්ම විවෘත ආර්ථිකය පිළිබඳ විශ්වාස කරමින් ද, මුළුමනින්ම පෞද්ගලීකරණයට විරුද්ධ නොවෙමින් ද ඔහු පක්ෂයේ සමහර ප්‍රතිපත්ති ලිහිල් කළේය යන අදහසය.

Aljazeera soften some policies sep 23 copyඅල්ජසීරා වෙබ් අඩවියේ පළ වී තිබුණු වාර්තාව 24.09.23
ඉන්දියානු මාධ්‍ය අයතනයක් වන එන්.ඩී.ටී.වී වෙබ් අඩවියේ පළ කළ දිර්ඝ වාර්තාවේ ද අනුර කුමාරගේ වර්තමාන දේශපාලන ආස්ථානය පිළිබඳ කරුණු මතු ‍කොට තිබුණි. රටේ ආර්ථිකයේ අනිසි කළමණාකරණය නිසාත්, දුෂණ වංචා නැවැත්විමට ඇති උවමනාව නිසාත්, ජනතාවට පුළුල් දේශපාලන පණිවිඩයක් ලබා දීම සඳහා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානයක එම පක්ෂයේ සමාජවාදී ප්‍රතිපත්ති වෙතින් තරමක් අපගමනය වී ඇති බව එහි සඳහන් කොට තිබුණි. වැඩිදුරටත් එම වාර්තාවේ සඳහන් වන්නේ, එම මතවාදීමය ‍විපරිණාමය සමහර සම්ප්‍රදායික වාමාංශිකයන්ගේ දෝෂදර්ශනයට ලක් වුව ද, දිසානායක ඒ පිළිබඳ වද නොවන්නේ, ඔහුගේ පක්ෂයේ අරමුණ බහුතර ජනතාවකට සේවය කිරීම මිස, වාමවාදී දේශපාලනයේ තදින් ඇලි ගැලී සිටිම නොවන නිසා බවය. 

Aljazeera shiftd its focus sep 23 copyඅල්ජසීරා වෙබ් අඩවියේ පළ වී තිබුණු වාර්තාව 24.09.23

අප නිරීක්ෂණය කළ විදෙස් මාධ්‍ය සියල්ලගේම පාහේ පළ වී තිබුණු වාර්තා සැළකූ විට, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගේ පත්වීම පිළිබඳ වාර්තා කිරීමේ, පොදු සමානකම් කිහිපයක් නිරීක්ෂණය කළ හැකිය. එම සෑම වාර්තාවකම පාහේ අනුර කුමාරගේ තේරී පත්වීමට ප්‍රධාන ලෙස බලපෑ හේතු ලෙස, මුලින් පැවති ප්‍රභූ දේශපාල‍නයේ අනිසි කළමණාකාරිත්වය, සිදු කළ වංචා දුෂණ, කෝවිඩ් වසංගතයට පසුව පැමිණි ආර්ථික අර්බූදය නිසා සාමාන්‍ය ජනතාව දැඩි පීඩාවට පත් වීම වැනි කාරණා දක්වා තිබුණි. එසේම සෑම වාර්තාවකම පාහේ, අනුර කුමාර දිසානායක, ලංකාවේ මෙතෙක් පැවති ප්‍රභූ සහ පවුල් දේශපාලනයට එපිටින්, සාමාන්‍ය ජනතාව තුළින් පැමිණි ජනාධිපතිවරයෙක්ය යන්න අවධාරණය කොට තිබුණි. එසේම දිසානායක පූර්ණ කාලීන දේශපාලනයේ නිරතව සිටි ජනතා විමුක්ති පෙරමුණ ද ඔහුගේ දේශපාලන ජීවිතයේ ඉතිහාසය ද සහ ඉන් අනතුරුව ජාතික ජනබලවේගයේ නැඟීම පිළිබඳව ද අඩු වැඩි වශයෙන් සවිස්තර වාර්තා සපයා තිබුණි. මෙහිදී බටහිර මාධ්‍යවලට වඩා ඉන්දියානු මාධ්‍ය වඩාත් සවිස්තර වාර්තා සැපයීමට නැඹුරු වී තිබුණි. 

ඉන්දු-චින හබය 

china ind akdඉන්දීය විදේශ ඇමති සහ චීන තානාපති හමුව


එසේම අනුර කුමාර දිසානායකගේ ජනාධිපති පදවි ප්‍රාප්තිය පිළිබඳ වාර්තා කරණයේදී, බටහිර මාධ්‍ය අවධානය යොමු නොකළ කාරණයක් පිළිබදව ඉන්දියානු මාධ්‍ය තදබල ලෙස සැළකිල්ලට ගෙන තිබුණි. ඒ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නව ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියයි. ඉන්දියානු මාධ්‍ය සියල්ලම පාහේ සැක සංකා මතු කර තිබුනේ, අනුර කුමාර දිසානායක ඇතුළු නව ආණ්ඩුව චීනයට හිතවාදී විදෙස් පිළිවෙතක් අනුගමනය කරාවිද යන්න පිළිබඳවය.

ඉන්ඩියා ‍‍ටුඩේ වෙබ් අඩවියේ පළවු වාර්තාවේ ‘ශ්‍රී ලංකා සහ ඉන්දීය සබඳතා’ යන මැයෙන් උප සිරස්තලයක් සහිත විස්තරයක් දක්වා තිබුණි. එහි ලංකාණ්ඩුව සහ එල්ටීටීඊ සංවිධානය අතර සටන් විරාම ගිවිසුමේ පහසුකාරකයා වූ නෝර්වේ හිටපු අමාත්‍යවරයෙකු වන එරික් සෝල්හයිම් උපුටා දක්වමින් සඳහන් කොට තිබුනේ, දිසානායක තම මැතිවරණ ව්‍යාපාරයේදී ඉන්දියාව, චීනය සහ බටහිර රටවල් වෙත හිතෛශිභාවය පෙන්වා තිබුණු හෙයින්, ඔහු ඒ සියළු සබඳකම් සමබරව පවත්වා ගනිමින් දක්ෂ නායකයකු  බවට පත්වනු ඇති බවය. එහෙත් අනුර කුමාර දිසානයක චිනයට හිතවාදී නායකයකු බවසිහි තබා ගත යුතු යැයි එම වාර්තාවේම අවධාරණය කර තිබුණි.  

India today srilanka india ties sep 23 copyඉන්ඩියා ‍‍ටුඩේ වෙබ් අඩවියේ පළවු වාර්තාව 24.09.23
ඉන්දීය එන්.ඩී.ටී.වී වෙබ් අඩවියේ පළ වී තිබුණු වාර්තාවේ ද, ලංකාවේ තේරී පත් වුණු පළමු වාමංශිකජනාධිපතිවරයා චීනයට නැඹුරු විදෙස් ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැයි යන්න පිළිබඳ බිය පළකොට තිබුණි. එහෙත් අගැමැතිනි හරිනි අමරසූරිය උපුටා දක්වමින් එහිම වාර්තා කර තිබුනේ ලෝක‍යේ බලවත් රාජ්‍යයක් ලෙස ඉන්දියාවේ ස්ථානගත වීම සහ එහි කලාපීය ස්ථාවරත්වය පවත්වා ගැනීමට ඉන්දියාවට ඇති උවමනාව පිළිබඳ අවබෝධයක් අනුර කුමාර දිසානායකට ඇති බවය. එම නිසා ඇය තවදුරටත් සඳහන් කොට ඇත්තේ, ඔවුන් ඉන්දියාව සමඟ සමීපව කටයුතු කරනු ඇති බවකි. 

NDTV consious of indias position harini sep 23 copyඉන්දීය එන්.ඩී.ටී.වී වෙබ් අඩවියේ පළ වී තිබුණු වාර්තාව 24.09.23
ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වෙබ් අඩවියේ පළ වූ වාර්තාවේ ද ‘ඉන්දියාව පිළිබඳ ඔහුගේ ස්ථාවරය කුමක්ද’ යන උපසිරස්තලය ඔස්සේ විස්තරයක් දක්වා තිබුණි. එම වාර්තාව, අනුර කුමාර දිසානායකගේ මව් පක්ෂයවන ජනතා විමුක්ති පෙරමුණ ඉන්දියානු විරෝධයක් සහිත පක්ෂයක් බව සිහිපත් කර තිබුණි. එහි ආරම්භක නායක රෝහණ විජේවීරගේ මූලිකත්වයෙන් ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ නම් තේමාව යටතේපාක්ෂිකයන්ට කළ ඉගැන්වීම ගැන ද සඳහන් කොට තිබුණි. එසේම ජනතා විමුක්ති පෙරමුණ, ඉන්දු ලංකාගිවිසුමට විරෝධය දැක් වූ සැටි සහ ඔවුන්ගේ කැරළි ගැසීම් වලට ද එම ඉන්දියානු විරෝධය හේතුවක් වූ ආකාරය සවිස්තර දක්වා තිබුනේය. අනුර කුමාරගේ පක්ෂය ඉන්දියානු විරෝධී - චීන හිතවාදී ස්ථාවරයක්ගෙන සිටියේ වුව ද මේ වන විට ඔවුන් ඉන්දියාව සමඟ මිත්‍රශීලි සබදකම් ඇති කරගැනීමට ද නැඹුරුවක්පෙන්වා ඇති බව එහි සඳහන් වී තිබුණි. එසේම නව ජනාධිපතිවරයා විදෙස් රටවල් සමඟ පුළුල් ලෙසවැඩ කිරීමට කැමැත්ත පළ කොට තිබුණ ද භූ දේශපාලනය තුළ ඉන්දියාව හෝ චීනයට යටත් වී වැඩකිරීටම සූදානම් නැති බව ප්‍රකාශ කළේ යැයි ද එහි අවසානයට සඳහන් කොට තිබුණි.  

 

Times of india what is his stance on india sep 22 copyටයිම්ස් ඔෆ් ඉන්ඩියා වෙබ් අඩවියේ පළ වූ වාර්තාව 24.09.22

මෙකී නොකී විවිධ අදහස් සැක සංකා පළ කෙරෙන වාර්තා විදෙස් මාධ්‍යවල පළ වුව ද, නවජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පිළිබඳ චරිත සහතික දීමට තවම කල් වේලා වැඩිය. අනුර කුමාර දිසානායකගේ දේශපාලන ඉතිහාසය කුමන එකක් වුවත්, ඔහු අනුගමනය කරන්නේ මාක්ස්වාදය ද,සමාජ ප්‍රජාතත්ත්‍රවාදය ද නැතිනම් නව ලිබරල්වාදය ද, එසේත් නැතිනම් වෙනස්ම ආකාරයේ වාදයක්දයන්න හෝ ඔහු කුමන ආකාරයේ විදේශ ප්‍රතිපත්තියක් අනුගනමය කරාවිද යන්න දැනගත හැකිවන්නේඔහු අනාගතයේ පාර්ලිමේන්තු බලයද හසුරුවා පාලන තන්ත්‍රය මෙහෙයවන ආකාරය අනුවය.

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී ලංකාවේ නවවැනි ජනාධිපතිවරයාගේ ජය සමඟින් විදෙස් මාධ්‍ය ඇස වමට හැරීම | The Leader