The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ලෝක ගුරු දිනය නම් කණ පිට ගහ ගන්න එපා - ((රේණුකා දමයන්ති ගමගේ)

T

The Leader Desk

October 7, 2024 • 3:37 PM

ලෝක ගුරු දිනය නම් කණ පිට ගහ ගන්න එපා - ((රේණුකා දමයන්ති ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ”අනේ මන්දා අපි අපේ ඉස්කෝල වල ඉගෙන ගන්න දරු පැටව් වෙනුවෙන් අපේ යුතුකම් ඉටු වෙනවා මදිද?
  • දී එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝව (UNESCO) ගෝලීය උත්සවයක් වශයෙන් ලෝක ගුරු දිනය සැමරීමට ඔක්තෝබර් 5 වෙනිදා යොදා ගෙන තිබේ.
  • එබඳු උදාර වූ ආත්මීය කැපවීමකින් යුතුව ඉටු කරන ගුරුවරයා සිය සේවාව මඟින් අනාගත පරපුරේ වගකීම භාර ගන්නේ රට ජාතිය නංවාලීමේ උතුම් කාරියේ පෙර ගමන් කරුවන් ලෙසිනි.
  • නමුත් මෑතක සිට මෙම ලෝක ගුරු දිනය ද විපරීත මාදිලිකරණයකට නතු ව ඇති බවක් වාර්තා වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


”අනේ මන්දා අපි අපේ ඉස්කෝල වල ඉගෙන ගන්න දරු පැටව් වෙනුවෙන් අපේ යුතුකම් ඉටු වෙනවා මදිද? කියලත් මට දැන් හිතෙනවා” එහෙත්, මා දන්නා තරමින් මගේ ඒ මිතුරිය තම වෘත්තීය වගකීම් හා යුතුකම් උපරිමයෙන් ඉටු කරන ගුරු මාතාවකි,” නෑ; මේ සැරේ ගුරු දිනය දවසේ අපේ ළමයි අපිට ගෞරවාචාර දක්වපු විදිහ හරිම සංවේදියි. අපේ ස්ටාෆ් එකේ සෑහෙන දෙනෙක් ඒ ළමයින්ට හොරෙන් ඇඬුවත් එක්ක” ඇය කීවා ය.

 

අප පාසල් අධ්‍යාපනය ලබන කාලයේ නොතිබූ ලෝක ගුරු දිනයක් දැන් අප රටේ ද ක්‍රියාත්මක ය. 1994 දී එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝව (UNESCO) ගෝලීය උත්සවයක් වශයෙන් ලෝක ගුරු දිනය සැමරීමට ඔක්තෝබර් 5 වෙනිදා යොදා ගෙන තිබේ.

2024 ලෝක ගුරු දින සැමරුමේ තේමාව වන්නේ “ගුරු හඬ අගය කිරීම: අධ්‍යාපනය සඳහා නව සමාජ ගිවිසුමක් කරා” යන්න ය. ගුරුවරයා යනු වෘත්තිකයෙකු මිස රැකියාවක යෙදෙන්නකු නොවේ. මක් නිසා ද යත් “රැකියාව” යන සීමාව තුළ ගුරු වරයකුට තම වෘත්තීය කැපවීම් සම්භාරය ඉටු කළ නොහැකි බැවිනි. එමෙන්ම සෙසු වෘත්තීන් අතුරින් ද ”දෙවි” නාමයට හිමිකම් කියමින් සමාජ ගෞරවයක් ලබනුයේ ගුරුවරයා පමණි. සිය ගෞරවාන්විත සේවාව නිසාම සමාජයේ වන්දනීයත්වයට පත්වෙන ගුරුවරයා සිය වෘත්තීය ගෞරවය ආත්මීය වශයෙන් රැක ගත යුත්තකි. වර්තමානයේ වුව සෑම ගුරුවරයකුගේම අරමුණ තම සිසුන් තමන්ට වඩා ප්‍රභාවත්ව ලෝකය ඉදිරියේ දීප්තිමත්ව බබළනු දැකීම ය. එබඳු උදාර වූ ආත්මීය කැපවීමකින් යුතුව ඉටු කරන ගුරුවරයා සිය සේවාව මඟින් අනාගත පරපුරේ වගකීම භාර ගන්නේ රට ජාතිය නංවාලීමේ උතුම් කාරියේ පෙර ගමන් කරුවන් ලෙසිනි.

jhfgjhy


නමුත් මෑතක සිට මෙම ලෝක ගුරු දිනය ද විපරීත මාදිලිකරණයකට නතු ව ඇති බවක් වාර්තා වී තිබේ. එනිසාම පාසල්වල ලෝක ළමා දිනය, ගුරු දිනය ආදී උත්සව සැමරීම සඳහා දෙමව්පියන්ගෙන් මුදල් එකතු නොකරන්නැයි මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය අදාල අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දීමක් ද සිදු කොට තිබේ.


දෙමාපියන්ගෙන් මෙසේ මුදල් එකතු කිරීමෙන් දෙමාපියන් මෙන්ම සිසුන් ද පීඩාවට පත්වන බව අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර පවසා තිබේ. එමෙන්ම මෙවැනි ක්‍රියා හේතුවෙන් ගුරුවරුන් හා විදුහල්පති වරුන්ට ද විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවන බැවින් මෙවැනි උත්සව පැවැත්වීම සඳහා දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීම සිදු නොකළ යුතු බවට තිලකා ජයසුන්දර නිකුත් කළ එම නිවේදනයේ සඳහන් ව ඇත.

මෙවන් පසුබිමක් තුළත් මෙවර ගුරු දිනය නිමි­ත්තෙන් මහ­නු­වර ප්‍රධාන බාලිකා විදු­හ­ලක රුපි­යල් 100ක වටි­නා­ක­මින් යුත් ටිකට් පතක් සිසුන්ට අලෙවි කරන බවට මව්පියෝ චෝදනා කරති. කුස­පත් ඇදී­මෙන් ජය­ග්‍රා­හ­ක­යන් තිදෙ­නකු තෝරා ඔවුන්ට වටිනා ත්‍යාග පිරි­න­මන බව සඳ­හන් කර­මින් මෙම රුපි­යල් 100ක වටි­නා­ක­මින් යුත් ටිකට් පත පාසලේ සිසු­වි­යන්ට මිලට ගන්නා ලෙස දැනුම් දෙනු ලැබ තිබේ.

xdftw45
ලෝක ළමා දිනය, ගුරු දිනය වැනි උත්සව කේන්ද්‍ර කර ගනි­මින් මේ ආකා­ර­යෙන් සිසු දරු­වන් ගෙන් මුදල් එකතු නොක­රන ලෙස අධ්‍යා­පන අමා­ත්‍යාංශ ලේක­ම්ව­රිය පසුගි­යදා දැනුම් දී තිබිය දී ඇතැම් පාස­ල්වල මුදල් එකතු කිරීමේ කට­යුතු විවි­ධා­කා­ර­යෙන් සිදු කෙරෙන බවත් මේ සම්බ­න්ධව තමන් මධ්‍යම පළාත් අධ්‍යා­පන අධ්‍යක්ෂව­රයා වෙත පැමි­ණිලි කළ බවත් ලංකා ගුරු සංග­මයේ ලේකම් ජෝෂප් ස්ටාලින් කීය.


මෙම සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් වැඩිදුර විමසුම් කළ අපට දැන ගත හැකි වූයේ ගුරු දිනය සැමරීම වැනි දරුවන් ගේ සදාචාරාත්මක ප්‍රවර්ධන අංගයන් හට වාණිජමය අගයක් දීම එම සිසුන් ගේ ඇතැම් දෙමාපියන් විසින් සැලසුම් කරන්නක් බව ය. මෙමඟින් ලෝක ගුරු දිනය හා සම්බන්ධ භාණ්ඩ අලෙවි ප්‍රවර්ධනයක් ශීඝ්‍ර කර ගැනීමේ අපේක්ෂාවක් උපායශීලී වෙළඳ ප්‍රජාව තුළ ද හට ගනු ඒකාන්ත ය.



මා දන්නා තරමින් ගුරු දිනය තුළ තමන්ට උපහාර පුදන සිසු දරුවන් වෙතින් කිසිම ගුරු වරයකු හෝ ගුරුවරියක් භෞතික සම්පත් අපේක්ෂා නොකරයි. ඒ වෙනුවට ඔවුන් නිරතුරුවම අපේක්ෂා කරනුයේ තම සිසු දරුවන් තමන් කෙරෙහි දක්වන ගෞරවය මත පදනම් වන ආදර කරුණාව සංකේතාත්මක ව දැක වටහා ගැනීම පමණි ඒ බව මගේ ගුරු මිතුරියගේ කතාවෙන්ම අතිශයින් පැහැදිලි ය.


ගෝලීය ආර්ථිකය නම් වන අධිපරිභෝජනවාදී බූවල්ලා මේ වන විට විවිධාකාර ලෙසින් මුළු ලෝකයම සිය ග්‍රහණයට නතු කර ගනිමින් සිටියි. එය අප ජන සංස්කෘතියට කොතෙක් බද්ධ වී තිබේ ද යන්නට අතීත බෞද්ධ සංස්කෘතියේ ප්‍රධානතම ආධ්‍යාත්මික අංගයක් වන කඨින පින්කම අද වන විට “කඨින කානිවල්” බවට පත් වීම සරල නිදසුනකි. ගෝලීය ආර්ථික.අධිපරිභෝජනවාදී බූවල්ලාගේ ඒ ග්‍රහණය මුලින් අපට අතිශය සනීපදායක ය. නමුදු කෙමෙන් ඒ බූවල්ලාගේ අඬු වලින් අප තෙරපීමට පටන් ගනිත්ම එහි ඵල විපාක අපට නො අඩුවම දැනෙන්නට පටන් ගනී. නූතන මධ්‍යම පාන්තික සමාජය තුළ ශීඝ්‍රයෙන් ප්‍රවර්ධනය වන පෙම්වතුන් ගේ දිනය හා මව් වරුන් ගේ පියවරුන් ගේ දින ද මෙබඳු ගෝලීය ආර්ථිකයේ ව්‍යාජ මවාපෑම් ය.

 ශාන්ත වැලන්ටයින් නම් කිතුනු සාන්තුවර නාමයක් අවභාවිතා කරමින් නව ලිබරල්වාදී ගෝලීය ආර්ථිකය විසින් මෙහෙයවන පෙම්වතුන් ගේ දිනය ඇත්ත ඇති සැටියෙන් කිවහොත් පාරිභෝගික කෙමනකි.ඊට නොදෙවෙනි වාණිජ මවා පෑමක් වන මව්වරුන්ගේ දිනය පැවැත්වීම එක්සත් ජනපදයෙහි ඇරඹුණේ 20වන සියවසෙහි මුල් අවදියෙහි ය.


මව්වරුන් සහ මාතෘත්වය අරභයා වසර දහස් ගණනක් තිස්සේ ලොව පුරා පැවැති, සිබලේ සඳහා ග්‍රීක ඇදහීම, ඉලාරියා නම් රෝමානු උත්සවය හෝ, ක්‍රිස්තියානි මාතෘත්ව ඉරිදා දිනය වැනි බොහෝ උත්සව වලට මෙහි කිසිදු සම්බන්ධයක් නැත. එමෙන්ම මෙය හුදු වාණිජවාදී ප්‍රවර්ධනයක් බව ද මේ වන විට හඳුනා ගෙන තිබේ.ඒ අනුව අපි ගුරු දෙගුරු සිසු යන පාර්ශව තුනෙන්ම ඉතා කාරුණිකව ඉල්ලා සිටිනුයේ මාව සංහතියේ අතිශය ප්‍රබලතම බැඳීමක් වන ගුරු-සිසු සබැඳියාව ප්‍රවර්ධනය කෙරෙන ලෝක ගුරු දිනය මුල් කොට මෙබඳු වානිජවාදී ආටක නාටක බහුරූ කෝලම් වලට කෙසේ වත් ඉඩ නොතබන ලෙස ය.



Renuka Damayanthi(රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...