The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වැල් පාලමෙන් එතෙර වීමට මග බලන චලනාබාධිත පුරවැසියෝ - (සත්‍යා නිර්මාණි)

T

The Leader Desk

October 8, 2024 • 8:31 AM

 වැල් පාලමෙන් එතෙර වීමට මග බලන චලනාබාධිත පුරවැසියෝ - (සත්‍යා නිර්මාණි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම කරුණ, එහි ප්‍රතිඵලය පිළිබඳවද සාධනීය බලපෑමක් ඇති කළ බවට සැක නැත.
  • ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් දීර්ඝකාලීන නොසලකාහැරීම් මෙන්ම, නීතියෙන් තහවුරු කර ඇති අයිතිවාසිකම් පවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීමද බරපතළ ගැටලුවකි.
  • චලනාබාධිත ප්‍රජාවගේ ප්‍රවේශ පහසුකම් පිළිබඳ ප්‍රශ්නය ඒ සඳහා ඇති ප්‍රමුඛතම උදාහරණයයි.
  • ශ්‍රී ලංකාව තුළ යාම් ඊම් කිරීමේ නිදහස, පුරවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකමකි.
අකුරු ප්‍රමාණය (Font Size):

එම කරුණ, එහි ප්‍රතිඵලය පිළිබඳවද සාධනීය බලපෑමක් ඇති කළ බවට සැක නැත. ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් දීර්ඝකාලීන නොසලකාහැරීම් මෙන්ම, නීතියෙන් තහවුරු කර ඇති අයිතිවාසිකම් පවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීමද බරපතළ ගැටලුවකි. චලනාබාධිත ප්‍රජාවගේ ප්‍රවේශ පහසුකම් පිළිබඳ ප්‍රශ්නය ඒ සඳහා ඇති ප්‍රමුඛතම උදාහරණයයි.


ශ්‍රී ලංකාව තුළ යාම් ඊම් කිරීමේ නිදහස, පුරවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකමකි. එසේ වුවද ප්‍රායෝගිකව එම අයිතිය භුක්ති විඳීමට නොහැකි ලක්ෂ සංඛාත චලනාබාධිත පුරවැසි ප්‍රජාවක් සිටින බව බොහෝ දෙනා අමතක කරති. තමන්ට අත්‍යවශ්‍ය ගමනක් වුවද පිටත් වීමට ඔවුනට එක වරක් නොව, බොහෝ වාර ගණනාවක් සිතීමට සිදුව ඇත. ඒ රට තුළ ඔවුන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ලෙස මාර්ග පද්ධතියක්, ප්‍රවේශ පහසුකම් මෙන්ම පොදු ප්‍රවාහන සේවාවක්ද නිර්මාණය වී නොමැති බැවිනි.  

 

2012 වසරේදී පැවැති ජන සංගණනයට අනුව රට තුළ සිටින ආබාධ සහිත පුද්ගල ජනගහනය ලක්ෂ දාහතකට ආසන්නය. ඉන් චලනාබාධිත පිරිස ලක්ෂ හතකට වැඩි වේ. එයින් වසර 12කට පසුව අද වන විට එම සංඛ්‍යාව තවත් ඉහළ ගොස් ඇති බව නිසැකය. ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිකයන්ගේ දුෂ්කර අරගලයක ප්‍රතිඵලයක් ලෙස, ඔවුන්ට පොදු ස්ථාන සඳහා ප්‍රවේශය සඳහා පහසුකම් සැලසීම අනිවාර්ය කෙරෙන නීතිමය ප්‍රතිපාදන ඇති කොට දසකයකටත් වැඩි කාලයක් ගත වී ඇතත්, මේ වන තුරුම එම අයිතීන් ප්‍රායෝගිකව භුක්ති විඳීමට ඔවුන්ට ලැබෙන අවස්ථා අතිශය සීමිතය.

පොදු ස්ථාන හා පොදු ප්‍රවාහනය

 

ටිකිරි කුමාර ජයවර්ධන
ටිකිරි කුමාර ජයවර්ධන රෝදපුටුවක් භාවිත කරන පුරවැසියෙකි. කුඩා කල සිට ජීවිතයේ අභියෝග රැසකට මුහුණ දී අද වන විට පශ්චාත් උපාධිය දක්වා අධ්‍යාපනය ලබා සිටින ඔහු දැනට ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සේවය කරයි. ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් කටයුතු කරන ක්‍රියාකාරිකයකුද වන ඔහු, මෙම ගැටලුව පිළිබඳ මෙසේ අදහස් පළ කළේය.

"ඕනෑම පුද්ගලයෙකුට එදිනෙදා කටයුතු සඳහා නිරන්තරයෙන්ම සංචරණය කිරීමට සිදුවෙනවා. මෙහිදී අනාබාධිත පුද්ගලයන්ට වඩා, චලන ආබාධ සහිත පුද්ගලයන් මුහුණපාන තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. චලනාබාධිත පුද්ගලයන් කුඩා කළ පෙර පාසැලට, යාමේ සිටම දැඩි අපහසුතාවලට මුහුණදෙනවා. සාමාන්‍යයෙන් අප රට තුළ පාසැල් තුළ පරිසරය සංකීර්ණයි. පඩිපෙළවල්, කඳු සහ බෑවුම්, කාණු පද්ධති ආදිය භූමිය තුළ සුලබයි. රෝදපුටු භාවිත කරන්නන්ට එය හිතකර පරිසරයක් නෙවෙයි. එවන් සිසු  දරුවන්ට පාසැල් ගොස් තම අධ්‍යාපනය නිමා කරගත හැකි වන්නේ පවුලේ සාමාජිකයන්ගේ කැප වීම, මිතුරන්ගේ උපකාරය සහ ගුරු මණ්ඩලයේ නොමඳ සහයෝගය ලැබුණොත් පමණයි."

ටිකිරි කුමාර ජයවර්ධන පවසන්නේ සියල්ලන්ට එසේ හිතකර පරිසරයක් හිමි නොවන බවයි.

 

Photo 4පොදු අවශ්‍යතාවක් ඉටු කර ගැනීමට කෙනෙකුට සිය ආත්ම ගරුත්වය පරදුවට තැබීමට සිදු වන්නේ නම් එය ඛේදජනක තත්ත්වයකි.
"ඒ වගේම ඕනෑම පුද්ගලයකුට බස් නැවතුම්පොළට, දුම්රිය ස්ථානයට, රෝහලකට, පොදු කාර්යාල ආදියට යාමට සිදුවෙනවා. නමුත් බහුතරයක් ස්ථානවල එම පුද්ගලයන්ට ප්‍රවේශ වීමට කිසිදු පහසුකමක් නැහැ. එම නිසා ඔවුනට හැම විටම පාහේ වෙනත් අයෙකුගේ සහාය ලබාගැනීමට සිදු වෙනවා." 

ඔහු මෙන්ම තවත් බොහෝ චලනාබාධිත පුද්ගලයන්ද ප්‍රකාශ කර සිටියේ, ඇතැම් අවස්ථාවන්හිදී ඔවුනට බඩගාමින් යම් ස්ථානවලට යාමට සිදු වූ අවස්ථා ජීවිතය තුළ බහුල ලෙස ඇති බවයි. පොදු අවශ්‍යතාවක් ඉටු කර ගැනීමට කෙනෙකුට සිය ආත්ම ගරුත්වය පරදුවට තැබීමට සිදු වන්නේ නම් එය ඛේදජනක තත්ත්වයකි.

 

ආබාධ සහිත පුද්ගලයින්ට පොදු ප්‍රවාහනය 'අකැප' ද?

ප්‍රවාහන පහසුකම් පිළිබදව අවධානය යොමු කරන විටද මීට වඩා හිතකර තත්ත්වයක් දැකිය නොහැකිය. අප අසා, දැක ඇති පරිදි සංවර්ධිත රටවල ආබාධිත පුද්ගලයන්ට තම නිවස තුළ මෙන්ම පොදු ස්ථාන සහ ප්‍රවාහන පහසුකම් නිසි තත්වයක් යටතේ නිර්මාණය කර ඇත. දුම්රිය සහ බස් රථ ඔවුනට ප්‍රවේශ විය හැකි පරිදි නිර්මාණය වී ඇත. ඔවුන්ට එම තත්ත්වය තුළ කිසිදු බාධාවකින් තොරව යාම්/ඊම් කටයුතු කරගත හැකිය. නමුත් අප රට තුළ පොදු ප්‍රවාහන පද්ධතිය ආබාධ සහිත ප්‍රජාවට කිසිසේත් හිතකර නොවේ. බොහෝ අවස්ථාවල චලනාබාධිත පුද්ගලයන් බස් රථවලට නංවා නොගන්නා බව ඔවුහු කියා සිටති. ටිකිරි කුමාර මහතා සිය අත්දැකීම හෙළි කරමින් පැවසුවේ, මසකට වරක් සිය ගම් ප්‍රදේශය වන බිබිලට බස් රථයෙන් යන ගමන ඉතා දුෂ්කර බවය.

මේ තත්ත්වය ආබාධ සහිත පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් අහිමි කිරීමකි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, 12 වන ව්‍යවස්ථාවේ සඳහන් වන වෙනස් කොට සැලකීමට ලක් නොවීමේ අයිතිය මෙන්ම 14 ඌ ව්‍යස්ථාවේ සඳහන් වන නිදහසේ සංචරණය කිරීමේ අයිතියද උල්ලංඝනය වීමකි. 

නීතිමය පසුබිම

 

Photo 31996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත යටතේ පොදු ස්ථාන සඳහා ප්‍රවේශය අයිතිවාසිකමක් ලෙස තහවුරු කොට ඇත.
1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත යටතේ පොදු ස්ථාන සඳහා ප්‍රවේශය අයිතිවාසිකමක් ලෙස තහවුරු කොට ඇත. 2006 ඔක්තෝබර් 17 දින හා අංක 1467/15 දරන ප්‍රවේශ පහසුකම් පිළිබඳ රෙගුලාසි සඳහා අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රසිද්ධ ස්ථාන, ගොඩනැගිලි සහ සේවා සපයන ආයතන සඳහා ප්‍රවේශ පහසුකම් සැකසීම පිළිබඳ සම්මතයන් හා මාර්ගෝපදේශ දක්වා තිබේ. රජයේ හෝ පෞද්ගලික ආයතන සියල්ල එම සම්මතයන්ට අනුකූල විය යුතු අතර, ඒ අනුව ප්‍රවේශ පහසුකම් සකස් කිරීම සඳහා වසර 5ක කාලයක්ද, පසුව තවත් තවත් වසර 3ක්ද ලබා දී ඇත. ඒ අනුව එම කාලය තුළ කිසිවක් ධනාත්මක ලෙස වෙනස් නොවුණු බැවින් 2009 වර්ෂයේදී ආචාර්ය අජිත් පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළේය. 2009.10.14 දින එම පෙත්සම සම්බන්ධ තීන්දුව ලබා දෙමින්, අදාළ නියමයන් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

 

wmrzuxWPWWHqExTE image4
එම නියෝගයෙන් පසුවත්, අදාළ නියමයන් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ආචාර්ය අජිත් පෙරේරා යළිත් වරක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර එහි වගඋත්තර කරුවන් ලෙස නීතිපති, සමාජ සේවා දෙපාර්තුමේන්තුව, ආබාධිත පුද්ගලයන් සම්බන්ධයෙන් වූ ජාතික සභාව ඇතුළු රජයේ අමාත්‍යාංශ සහ ආයතන රැසක් නම් කරන ලදි. 2018 වර්ෂයේ අප්‍රේල් මාසයේදී ඊට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම අයිතිවාසිකම් වඩාත් ශක්තිමත් ලෙස තහවුරු කරමින්, අදාළ නියමයන් ක්‍රියාත්මක කරන ලෙස අදාළ ආයතනවලට නියෝග කළේය. එහෙත්, එම තීන්දුවෙන් වසර 6කට පසුවත් එම නියෝග නිසි ලෙස ක්‍රියාත්මක නොවීම ඛේදජනකය.

ආචාර්ය අජිත් පෙරේරාආචාර්ය අජිත් පෙරේරා

2003 වර්ෂයේ ප්‍රකාශ කරන ලද ආබාධීත පුද්ගලයන් සම්බන්ධයෙන් වු ජාතික ප්‍රතිපත්තියේ අයිතීන් 21ක් පිළිබඳව සඳහන්ව ඇති අතර ප්‍රවේශ පහසුකම් සම්බන්ධයෙන් මෙහි 12 පරිච්ඡේදය වෙන් කර ඇත. එහි සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් මේ සම්බන්ධයෙන් සිදු කර ඇත. මෙහි සඳහන්ව ඇති පරිදි සියලු ආබාධිත පුද්ගලයන් අතරින් 73%ක් බස් රථ භාවිත කර ඇති අතර 45% දුම්රිය භාවිත කළ බව වාර්තා කර ඇත. එසේම 83% වැඩි දෙනෙක් කියා ඇත්තේ කුලී රථ තම ගමන්බිමන්වලට භාවිත කිරීමට සිදුවීම හේතුවෙන් මාසිකව වැඩි වියදමක් දැරීමට සිදු වන බව ය. රටේ අද පවතින ආර්ථික අර්බුදය සමග මෙය චලනාබාධිත පුරවැසියන් කෙරෙහි දැඩි පීඩනයක් ඇති කිරීමට හේතු වී තිබේ.

ආබාධිත පුද්ගලයන් සම්බන්ධයෙන් වු එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව 2006 වර්ෂයේ දී අත්සන් තබන අතර 2016 වර්ෂයේ දී එය අපරානුමත කරන ලදි. එහි ද ප්‍රවේශ පහසුකම් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් සඳහන් කරන අතර ප්‍රධාන වශයෙන් ඊට අනුකූලව රටේ නීති පද්ධතිය වෙනස් විය යුතු බව සඳහන් වේ. ප්‍රවේශ පහසුකම් නිර්මාණය සහ වැඩි දියුණු කිරීම සහ ගුණාත්මක සහයක උපකරණ භාවිතය පිළිබඳව පවා මෙහි අන්තර්ගත වේ.

නීතිඥ සුපුන් ජයවර්ධන copyනීතිඥ සුපුන් ජයවර්ධන

වසර ගණනාවක් තුළ ආබාධ සහිත ප්‍රජාව හා ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පුද්ගලයන්ගේ දැඩි පරිශ්‍රමයෙන් සිය අයිතිවාසිකම් නීතිමය වශයෙන් දිනාගෙන ඇතත් ඒ කිසිවක් ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක වී නැති බව කටුක යථාර්ථයකි. අනපනත්, නීති රෙගුලාසි කඩදාසි, අකුරු සහ වචනවලට පමණක් සීමා වී ඇත. එවන් පසුබිමක් තුළ චලනාබාධිත පුද්ගලයන් දැඩි දුෂ්කර ජීවන ගත කරන බව විමර්ශනයේදී පැහැදිලි විය.

ඉහත නීතිමය පසුබිම පිළිබඳව පැහැදිලි කළ නීතිඥ සුපුන් ජයවර්ධන පවසන්නේ,  එම නීති මහපොළොවේ යථාර්ථයක් වන්නේ නම්, ලංකාවේ ආබාධ සහිත පුරවැසියන්ගේ තත්වය ඉතාම සුබදායී වනු ඇති බවයි.

නීතිය සහ යථාර්ථය

 

නිරෝෂා ප්රියන්තිනිරෝෂා ප්‍රියන්ති
නිරෝෂා ප්‍රියන්ති, වයස 21 දී සිදු වූ අනතුරකින් චලනාබාධිත තත්ත්වයට පත් කාන්තාවකි. ඇය තුළ බොහෝ හැකියාවන් තිබුණත්, ඇගේ බොහෝ කටයුතු සීමා කිරීමට සිදුව ඇත්තේ පවතින ප්‍රවාහන වියදම් අධික වීම සහ ප්‍රවේශ පහසුකම්වල දුෂ්කරතා හේතුවෙනි. ඇය සිය අත්දැකීම් මෙසේ විස්තර කළාය. "මගේ ගෙදර තිබුණේ ගොඩක් දුෂ්කර කඳුකර පරිසරයක. මගේ ගමන් පහසුව වෙනුවෙන් අක්කා මට එයාගෙ ගෙදර නවතින්න පහසුකම් හදලා දුන්නා. මගෙ සියලු ගමන්බිමන්වලට මාත් එක්ක යන්න එන්නේ මගෙ මල්ලි. ඔහු නැතිනම් මට ඒ වෙනුවෙන් විශාල වියදමක් දරන්න වෙනවා. මහනුවර නගරයට ගිහින් එන්න රු 2500ක මුදලක් වැය වෙනවා."

සිළුන විමලසිංහ, පසුගිය අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල වරම් හිමි කර ගත් චලනාබාධිත සිසුවෙකි. මෙතෙක් පැමිණි ගමනට ප්‍රවාහන දුෂ්කරතා දැඩි අභියෝගයක් වූ බව පවසන ඔහු, විශ්වවිද්‍යාල ගමන පිළිබඳවද අවිනිශ්චිතව පසුවන්නේ ප්‍රවාහන දුෂ්කරතා මෙන්ම ආර්ථික අපහසුතාද හේතුවෙනි.


සිළුන විමලසිංහ copyසිළුන විමලසිංහ

"මගේ පහසුව තකා මගේ පවුලෙ අය දැනට කුලී නිවාස රැසක් මාරු කර තිබෙනවා. ඇත්ත වශයෙන්ම අපේ රට අපිට පහසු ලෙස වෙනස් වනවා නම් අපිට මීට වඩා සැහැල්ලුවෙන් සහ සතුටින් ජීවත් වෙන්න තිබුණා. මගෙ අරමුණ ඉගෙගෙගෙන විදෙශ ගත විමයි. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි, සංවර්ධිත රටවල අපි වගේ අයටත් කිසිවෙකුටත් බරක් නොවී, ස්වාධීන ලෙස ජීවත් වීමට පුළුවන් නිසා."

නිශා ෂරිෆ්නිශා ෂරිෆ්

 

We for right යනු ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් හඬ නගන සංවිධානයකි. එහි නිර්මාතෘ නිශා ෂරීෆ් පවසන්නේ, මහනුවර දිස්ත්‍රික්කයේ ආබාධ සහිත ප්‍රජාව විශේෂයෙන් දුෂ්කරතාවලට මුහුණදෙන බවයි. "මහනුවර දිස්ත්‍රික්කයේ ස්වභාවිකවම පවතින කඳු බෑවුම් වගේම නිතර වැසි ඇදහැලීම වැනි පරිසර තත්ත්වයන් හේතුවෙන් චලනාබාධිත පුද්ගලයන්ට බාධා රැසකට මුහුණපෑමට සිදු වෙනවා. මේ වන විට මහනුවර නගරයේ පොදු ස්ථානවල ආබාධ සහිත පුද්ගලයන්ට ප්‍රවේශ පහසුකම් සැලසීමේ ප්‍රගතියක් දකින්න ලැබීම සතුටට කරුණක්." 

 

චතුරංග බුද්ධික copyචතුරංග බුද්ධික
චතුරංග මහනුවර යටිවාවල ප්‍ර දේශයේ ජීවත් වන රෝදපුටු භාවිත කරන පුද්ගලයෙක්. ඔහුට වයස 16 දී සිදු වූ අනතුරකින් ඔහු මෙම තත්ත්වයට පත්ව ඇත. දැනට ඔහු මහනුවර සහස් උද්‍යානයේ රූපලාවන්‍ය ද්‍රව්‍ය අලවි කිරීමේ වෙළඳසැලක් පවත්වාගෙන යන චතුරංග, මහනුවර යටිවාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මහනුවරට පැමිණීමට දිනකට දහසක පමණ මුදලක් වැය වන බව ඔහු පැවසුවේය. සහස් උද්‍යානය චලනාබාධිත ප්‍රජාව ඇතුළුව ආබාධ සහිත පුද්ගලයන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි, ඒ තුළ සිය කටයුතු පහසුවෙන් කර ගැනීමට නිර්මාණය වූ ස්ථානයක් වන බැවින් චතුරංග එහි සිය සේවාව පවත්වාගෙන යන්නේ ඉතා සතුටිනි.

වෛද්ය බෝධිනී සමරතුංග  වෛද්‍ය බෝධිනී සමරතුංගලේඛිකාවක මෙන්ම සමාජ ක්‍රියාකාරිනියකද වන වෛද්‍ය බෝධිනී සමරතුංග මහත්මිය පෙන්වා දෙන්නේ, සංවර්ධිත රටවල් හා සසඳන විට අපේ රටේ ආබාධ සහිත ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉතා කනගාටුදායක බවයි. "අපේ රටේ සාමාන්‍ය දෙයක් කරගන්න පුළුවන් පරිසරයක්වත් ආබාධිත පුද්ගලකුට නැහැ. අද ලෝකයේ සංවර්ධිත රටවල විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ඉතාම පහසු, ප්‍රීතිමත් ජීවිත ගත කරන අයුරු මා දැක තිබෙනවා. අපේ රට ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින රටක් වුවත් නිසි සැලසුමකට අනුව කටයුතු කරනවා නම් ආබාධිත පුද්ගලයන්ට හිතකර පරිසරයක් නිර්මාණය කර ගැනීම අපහසු නැහැ."

විසඳුම් සඳහා යෝජනා

ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණෙහි උප සභාපති ටිකිරි කුමාර මහතා පවසන්නේ උපතින්ම චලනාබාධිත අය පෙරපාසල් අධ්‍යාපනයේ සිට සෑම අදියරකදීම දැඩි දුෂ්කරතාවලට මුහුණපාන බවයි. ප්‍රවාහන හා ප්‍රවේශ වීමේ දුෂ්කරතා ඔවුන්ගේ ජීවිත කෙරෙහි වැඩිම බලපෑමක් ඇති කරන සාධකයක් වන අතර එහි යහපත් වෙනසක් ඇති කිරීමෙන් ඔවුන්ගේ ගැටලුවලින් අඩක් විසඳෙනු ඇති බව ඔහුගේ අදහසයි.

 

රසාංජලී පතිරගේරසාංජලී පතිරගේ
ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණෙහි සභාපති රසාංජලී පතිරගේ මහත්මිය පෙන්වා දෙන්නේ, පහසුකම් සැලසීම මෙන්ම සමාජයේ දැනුවත්භාවය ඇති කිරීමද ඉතා වැදගත් වන බවයි.

"පොදු ප්‍රවාහනයේදී ආබාධිත පුද්ගලයන් සමග සමීපව ගනුදෙනු කරන්නේ රියදුරු සහ කොන්දොස්තර මහතුන්. ඒ නිසා ඔවුන් දැනුවත් කිරීමේ වැඩමුළු සඳහා අවකාශ සැලසීමට ප්‍රවාහන අමාත්‍යාංශය දැනට එකඟ වී තිබෙනවා. වසර ගණනාවක සිට අප දැරූ වෑයමෙහි ප්‍රතිඵලයක් ලෙස, දුම්රිය පද්ධතිය තුළ වෙනස්කම් රැසක් සිදු කර ගැනීමට හැකි වී තිබෙනවා. පසුගිය වර්ෂයේ අගෝස්තු මාසයේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග කළ සාකච්ඡාවලදී, ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන්ගේ සන්නිවේදන ප්‍රවේශය සඳහා ඩිජිටල් පුවරු සැකසීමට සහ විශේෂයෙන් දුම්රිය කාලසටහන සහ අනිකුත් දැනුවත් කිරීම් සම්බන්ධව මොබයිල් ඇප් එකක් නිර්මාණය කර ඇති බව ඔවුන් ප්‍රකාශ කළා. ඒ වගේම අපගේ යෝජනාව වූයේ කොටුව දුම්රිය ස්ථානයේ ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් සන්නිවේදන කුටියක් නිර්මාණය කර ඔවුනට අවශ්‍ය සහාය ලබාදීමයි. උදාහරණයක් විදිහට, කොටුව දුම්රිය ස්ථානයෙන් මහනුවරට ආබාධ සහිත පුද්ගලයෙක් ගමන් ගන්නවා නම්, මහනුවර දුම්රිය ස්ථානයට ඒ බව දැනුම් දෙනවා. එවිට ඔහුට අවශ්‍ය පහසුකම සැලසීමට පහසු වෙනවා."

low floor bus

 

එය ඉතාම ප්‍රායෝගික යෝජනාවක් බැලූබැල්මටම පැහැදිලි වන අතර පිරිවැයකින් ගතහැකි ක්‍රියාමාර්ගයකි. 2023 වර්ෂයේ ආබධිත දිනය වෙනුවෙන් කොළඹ සිට මහනුවර දක්වා යන නගරාන්තර දුම්රියේ ආබාධ සහිත පුද්ගලයන්ට විශේෂ ගමන් වාරයක් ලබාදුන් අතර එහි දී ඔවුනට එහි දී ලබාගත හැකි ප්‍රවේශ පහසුකම්ද නිරීක්ෂණයට ලක්ව ඇත. මැදිරි තුළ අවශ්‍ය පහසුකම් නිර්මාණය කර තිබුණු නමුත් දුම්රියට ඇතුළුවීම හා පිටවීම දුෂ්කර විය. ඊට ආධාරකයක් නිර්මාණය කර තිබුණත්, එය බරින් වැඩි වූ හෙයින් බර අඩු කොට ප්‍රතිනිර්මාණය කිරීමටද ඔවුන් එකඟ වී ඇත. 

දියුණු රටවල ආබාධ සහිත පුරවැසියන්ට සලසා ඇති පහසුකම් පිළිබඳව බොහෝ අත්දැකීම් ඇති රසාංජලී පතිරගේ මහත්මිය පෙන්වා දෙන්නේ, එම රටවල ආදර්ශය මෙන්ම සහායද ලබාගතහොත් අපේ රටේ ආබාධ සහිත ප්‍රජාවගේ ජීවිතද යහපත් කිරීම සිහිනයක් නොවනු ඇති බවයි.

Sathya Nirmaniසත්‍යා නිර්මාණි
wsnirmani@gmail.com

උපදේශකත්වය හා අනුගහය- ඉන්ටනිව්ස් 



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වැල් පාලමෙන් එතෙර වීමට මග බලන චලනාබාධිත පුරවැසියෝ - (සත්‍යා නිර්මාණි) | The Leader