The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රුසියානු - යුක්රේන යුද බිමේ මැකී යන ශ්‍රී ලාංකික ජීවිත - ජනපති අනුරට විවෘත ආයාචනයක්

T

The Leader Desk

October 11, 2024 • 12:09 PM

රුසියානු - යුක්රේන යුද බිමේ මැකී යන ශ්‍රී ලාංකික ජීවිත - ජනපති අනුරට විවෘත ආයාචනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙනෙක් මට කෝල් එකක් දෙනවා. "තාමත් ආරංචියක් නෑ නේද මහත්තයෝ?" රුසියාවේ හමුදාවට බැඳුන ඒ තාත්තගේ තරුණ පුතා ගැන දැන් මාස ගාණක ඉඳල කිසිම ආරංචියක් නැහැ.
  • "ඉතින් පුතා ඉන්නවා කියල කියන්න පුළුවන් නම් එයාලට පුතා ගෙන්නල දෙන්නත් පුළුවන් ඇතිනේ," මම කියන්නේ ඔවුන් ගැන අනුකම්පාවෙන්. "අනේ අපිට පිස්සු වගේ මහත්තයෝ.
  • අම්ම දැන් කන්නේ බොන්නෙත් නැතුව හූල්ල, හූල්ල ඉන්නවා." ඇත්තටම වෙනද ටෙලිෆෝන් එකට දුවගෙන එන අම්ම අද කතා කළේ නෑ.
  • අපේ කතාව අහගෙන අඬනව වෙන්න ඇති කියල මට හිතුණා. "එහෙම සාත්තරයක් අහල ඇවිත් දවසකින් දෙකකින් අපිට පිටරටින් මිස් කෝල් එකක් එනවනේ.
අකුරු ප්‍රමාණය (Font Size):

කෙනෙක් මට කෝල් එකක් දෙනවා. 

"තාමත් ආරංචියක් නෑ නේද මහත්තයෝ?" 

රුසියාවේ හමුදාවට බැඳුන ඒ තාත්තගේ තරුණ පුතා ගැන දැන් මාස ගාණක ඉඳල කිසිම ආරංචියක් නැහැ. හිත හැදෙන්න කතා කරනවා ඇරෙන්න මට ඒ තාත්තට දෙන්න උත්තරයකුත් නෑ. 

 

462657817 10159990864897155 278838267991315444 n
රුසියාවේදී අතුරුදහන් වෙච්ච ශ්‍රී ලාංකික සොල්දාදුවෝ ගැනයි, ඒ අයගේ පවුල්වල අය එක්ක කතා කරපු දේවල් ගැනයි, යුක්රේන අත්අඩංගුවේ ඉන්න අය ගැනයි, එකී නොකී හැමදේම ගැන තාත්ත කතාකරන අතරේ අම්මත් කතාවට එකතු වෙනවා. කොහොමත් දෙන්න මා එක්ක කතා කරන්නේ speaker එක දාල. 

"අහන, අහන හැම කෙනාම කියන්නේ අපේ පුතා බංකරේක වගේ තැනක හිරවෙලා ඉන්නවා කියල මහත්තයෝ" 

"කවුද එහෙම කිවුවේ තාත්තට?"

"අපි ඉතින් කරන්න දෙයක් නැති කමට ඔය සාත්තර එහෙම අහනවනේ" 

ඒ කතාව කියන්නේ මේ තාත්තයි, අම්මයි විතරක් නෙවෙයි. 

තමන්ගේ ස්වාමි පුරුෂයා, පුතා, තාත්ත අතුරුදහන් වෙලා ඉන්න ගොඩක් පවුල්වල ඥාතීන් ඒ කතාවම කියනවා. ඔවුන්ගේ ඥාතියා කන්න, බොන්නත් නැතුව ගුහාවක වගේ තැනක හිරවෙලා ඉන්නවා කියල මේ සාත්තර කාරයෝ කියනවලු.

 

462693688 10159990866562155 1977817595397123182 n

රුසියාවට යන්නත් ලක්ෂ ගානක් වියදම් කරලා, ගොඩක් වෙලාවට ගිය දවසේ ඉඳල පඩියක් ලැබෙන්නෙත් නැතුව, සමහර අයගේ ලංකාවේ විශ්‍රාම වැටුපත් නවත්තල තියෙද්දී සාත්තර කාරයින්ටත් තවත් වියදම් කරන්න එපා කියල කොයි තරම් කිවුවත්, කරන්නේ මොකක්ද, පිහිටක් ඉල්ලන්නේ කාගෙන්ද දන්නේ නැතුව අන්ත අසරණ වෙලා ඉන්න මේ මිනිස්සු පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ හොයාගෙන යන්නේ අංජනම් කාරයින්ව.

"ඉතින් පුතා ඉන්නවා කියල කියන්න පුළුවන් නම් එයාලට පුතා ගෙන්නල දෙන්නත් පුළුවන් ඇතිනේ," මම කියන්නේ ඔවුන් ගැන අනුකම්පාවෙන්. 

"අනේ අපිට පිස්සු වගේ මහත්තයෝ. අම්ම දැන් කන්නේ බොන්නෙත් නැතුව හූල්ල, හූල්ල ඉන්නවා." 

ඇත්තටම වෙනද ටෙලිෆෝන් එකට දුවගෙන එන අම්ම අද කතා කළේ නෑ. අපේ කතාව අහගෙන අඬනව වෙන්න ඇති කියල මට හිතුණා. 

"එහෙම සාත්තරයක් අහල ඇවිත් දවසකින් දෙකකින් අපිට පිටරටින් මිස් කෝල් එකක් එනවනේ. හැබැයි කතා කරාම කතා කරන්නේ නෑ." 

"අපි මොනවා කරන්නද කියල දන්නේ නෑ මහත්තයෝ." 

"අලුත් ආණ්ඩුවට, ජනාධිපතිතුමාට මේ ගැන කිවුවද?" මම අහනවා. 

මාස ගණනකින් පුතාගේ කටහඬ අහල නැතත්, තුවාල වෙලා හැංගිලා ඉන්න පුතා කවදම හරි දවසක කෝල් එකක් දේවි කියල මේ වයෝවෘද්ධ අම්මයි, තාත්තයි බලාපොරොත්තු දල්වාගෙන ඉන්නවා. 

මේක මේ අම්මගෙයි, තාත්තගෙයි කතාව විතරක් නෙවෙයි. ජනාධිපතිවරණ, මහ මැතිවරණ මැද්දේ හැම දෙනාටම වගේ අමතක වුණාට ලංකාවේ පුරවැසියෝ දහස් ගණනකගේ ශෝචනීය කතාව මේකයි. 

තාත්ත, පුතා, සැමියා අතුරුදහන් වුණ පවුලක ඥාතියෙකුගෙන් මට කෝල් එකක් ලැබෙන්නේ නැති දවසක් නැති තරම්.

 

462533516 10159990866862155 9154044101725525082 n

රටේ ආර්ථිකය විනාශ කරපු පාලකයින් නිසා දරු පවුල් නඩත්තු කරගන්න විදියක් නැතුව අසරණ වුණ විශ්‍රාමික සොල්දාදුවන් දෙදහසක් විතර රුසියාවේ යුද්ධයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ අතරින් 24 දෙනෙක් මිය ගිහින් කියල මේ වනවිට රුසියාව සනාථ කරලා තියෙනව. ඒත් මියගිය පිරිස ඊට වඩා ගොඩක් වැඩි බව අපි හැමෝම දන්නවා. සමහර විට සිරුරු හමුවෙලා තියෙන්නේ 24 දෙනෙකුගේ විතරක් වෙන්න ඇති. තුවාල ලබපු පිරිසකුත් රෝහල්වල ඉන්නවා. ඒ වගේම පස් දෙනෙක් යුක්රේනයේ අත් අඩංගුවේ. අතුරුදහන් වෙලා ඉන්න අනිත් අයගෙන් වැඩි පිරිසක් බොහෝ විට ජීවතුන් අතරේ නැතිවෙන්න පුළුවන්.

රුසියාවේ හමුදාවට බැඳුණ තරුණ සොල්දාදුවෙක් නැතිවෙලා කියල ආරංචියක් ලැබිල මට පළවෙනිම කෝල් එක ආවේ මාර්තු 08 වෙනිදා. ඒ ගැන සොයා බලල මම අල් ජසීරා ආයතනයට ඒ ගැන වාර්තා කළා. රුසියානු හමුදාවට සම්බන්ධ වෙලා මියගිය ලාංකිකයින් ගැන පළවුණ පළවෙනි වාර්තාව ඒකයි - 

(https://www.aljazeera.com/.../waiting-for-a-call-from...). ඒ පුවතේ මම ලියපු නම්, ගම් ඇත්ත නම් නෙවෙයි. ඒත් අපේ රටේ මාධ්‍ය ගෙඩි පිටින් ඒ නම් ගම් එක්කම එදා ඒ පුවත කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඒ විදියටම වාර්තා කරලා තිබුන. 

 

462688385 10159990897777155 3748757569630743012 n
රුසියාවට ගියපු ශ්‍රී ලාංකික සොල්දාදුවෝ ගැන මම ඊට කලින්ම සංදේශය නාලිකාවේ දිගින් දිගටම වාර්තා කළා. ඒ නිසාම මට ඒ පවුල්වලින් අතොරක් නැතුව දුරකතන ඇමතුම් ලැබෙන්න පටන් ගත්ත. අතුරුදහන් වෙච්ච පියාගේ, සැමියාගේ, පුතාගෙ ඡායාරූප එක්ක, පාස්පෝට් කොපි එවමින් ඔවුන් මගෙන් ඉල්ලන්නේ එයාලගේ ඥාතියා සොයාගන්න උදව් කරන්න කියල. 

මම මට ලැබෙන හැම තොරතුරක්ම ඔවුන්ට කිවුව. පුද්ගලිකව කියන්න බැරි නම් වීඩියෝ එකකින් කිවුව. පිරිසක් යුක්රේනයේ අත්අඩංගුවේ ඉන්නවා කියල සොයාගෙන ඔවුන්ගේ පවුල්වලට ඒ බව දැනුම් දුන්න. ඒත් මේ ගොඩක් දෙනා අහන ප්‍රශ්නයට දෙන්න මට උත්තරයක් නැහැ. 
ඒකට පිළිතුර හොයන්න පුළුවන් ආණ්ඩුවට. අනුර කුමාර ජනාධිපතිතුමාට. 

හැම කෙනෙක් ගැනම හොයාගන්න බැරි වුණත්, දුකට පත්වෙලා ඉන්න මේ අසරණ පවුල්වලට රාජ්‍යතාන්ත්‍රික මාර්ගයෙන් උත්තරයක් හොයල දෙන්න ජනාධිපතිතුමාට හැකි වේවි කියල මම විශ්වාස කරනවා. 

 

462783682 10159990868052155 6986553136378802679 n
රුසියාවේදී ශ්‍රී ලාංකිකයින් මියයන්න කලින්, මේ යුද්ධයේදී මුලින්ම ලාංකිකයෙක් මියගියේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 04 වෙනිදා යුක්රේන හමුදාවට බැඳිලා සටන් කරද්දී. ඒ තමයි එම් එම් ප්‍රියන්ත කියන සෙබලා. ඔහුගේ දේහය රැගෙන එන්න ගියපු ඒ කණ්ඩායමේ අණ දෙන නිලධාරියා, කැප්ටන් 'ඩෙන්ටිස්ට්' රනිෂ් හේවගේ වගේම ඔහුත් එක්ක ගිය රොඩ්නි ජයසිංහත් එදා ජීවිත පිදුවා. 



ලහිරු කාවින්ද හතුරුසිංහ කියන සෙබලා කැප්ටන් රනිෂ් ගේ දේහය අරගෙන ආවත්, ප්‍රියන්ත සහ රොඩ්නි ගේ දේහයන් ගේන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසාම ඔවුන් දෙදෙනාට යුක්රේනය පැත්තෙන් මෙතෙක් වන්දියක් ලැබිලත් නැහැ. ඔවුන්ට හිමි වන්දිය ලබාගන්න උපකාර කරන්න කියල ඔවුන්ගේ බිරින්දෑවරුත් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. 

රුසියානු හමුදාව එක්ක ඉඳල මියගිය 24 දෙනාගේ වන්දි මුදල් ලබාගන්න documents විශාල ප්‍රමාණයක් සහතික කරගන්න වෙලා තිබුණ. ඒකට එක පවුලකට රුපියල් ලක්ෂ 3-4ක් ගෙවන්න ඔවුන්ට සිද්ද වෙලා තිබුණ. දස අතේ ණය වෙලා, අන්ත අසරණ වෙලා හිටපු ඒ පවුල් තවත් ලක්ෂ ගානක් වියදම් කරන්නේ කොහොමද කියල උභතෝකෝටිකයක හිරවෙලා හිටියේ. රනිල් ආණ්ඩුවේ අලි සබ්රි ඇමති මැදිහත් වුණා නම් ඒ ප්‍රශ්නය පහසුවෙන්ම විසඳගන්න තිබුන බව මට තේරුණේ මම ඉල්ලීමක් කරපු ගමන්ම රුසියානු තානාපතිතුමා මානුෂික හේතුන් මත ඔවුන්ට නොමිලෙම ඒ ලේඛන සහතික කරල දෙන්න තීරණය කරපු නිසා. 



ඒ නිසා ජනාධිපතිතුමා මැදිහත්වෙලා රුසියාවත් එක්ක මේ කරුණ සාකච්ඡා කළොත්, අතුරුදහන් වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයින් ගැන තමන් දන්න තොරතුරු සියල්ල ලබාදෙන්න රුසියාවේ ආණ්ඩුව කටයුතු කරාවි කියල මට හිතෙනවා. 

පැහැදිලිවම දරුණු යුද්දයක් තියන වෙලාවක රුසියාවටත් ඒ සියලු දෙනා ගැන සොයාගන්න අසීරු වෙන්න පුළුවන්. නමුත් යුද්ධයට මැදි වුණ ඉන්දියානුවන් ගැන අගමැති මෝදී කෙලින්ම මැදිහත් වුණා වගේ ජනාධිපති අනුර මේකට මැදිහත් වුණොත්, ජනාධිපති පූතින් කලින්ට වඩා නම්‍යශීලීව කටයුතු කරාවි කියල මම හිතනවා. ඒ මෙහෙවරේදි මම දන්න සියලුම තොරතුරු ලබාදෙන්න මම සූදානම්. 

ඉතින් ජනාධිපතිතුමනි, දහසක් රාජකාරි මැද වුවත් සිය සැමියා, පුතා, පියා අතුරුදහන්ව සිටින දහස් ගණනක් ඔබේ සහෝදර පුරවැසියන්ගේ වේදනාව සමනය කිරීමට ගැනත් අවදානය යොමුකරන්න කියල ඉල්ලා සිටිනව.

සිංහල සිනමාවේ අලුත්ම පර්යේෂණය My Red Comrade - (සරෝජ් පතිරණ)(සරෝජ් පතිරණ)
[බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක)
sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2024 ඔක් 11

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රුසියානු - යුක්රේන යුද බිමේ මැකී යන ශ්‍රී ලාංකික ජීවිත - ජනපති අනුරට විවෘත ආයාචනයක් | The Leader