The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

චේ සටන්කළේ සැබෑ විප්ලවවාදී සදාචාරයක් වෙනුවෙන්

T

The Leader Desk

October 14, 2024 • 11:15 AM

චේ සටන්කළේ සැබෑ විප්ලවවාදී සදාචාරයක් වෙනුවෙන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බොලිවියාවේ ශාන්ත කෘෂ් පළාතේ පිහිටි වැලිග්‍රන්ඩේ ප්‍රදේශයේ පිහිටි කුඩා ගම්මානයක් වූ ලහිගෙරා හී බොලිවියානු රාජ්‍යය වෙනස් කිරීමේ අරමුණින් මාස කිහියපක් තිස්සේ සටන් කරමින් කුඩා ගරිල්ලා කණ්ඩායමකට නායකත්වය දෙමින් සිටි පුදගලයෙකු විය.
  • ඔහු 1966 නොවැම්බර් මාසයේ කියුබාවේ සිට බොලිවියාවට පැමිණ සිටියේ ප්‍රනාන්දු නම් අන්වර්ථ නමක් භාවිතා කරමිනි.
  • ආරම්භයේදී බොලිවියානු කොමියුනිස්ට් පක්ෂයේ ඇතැම් පුද්ගලයින් ඔහුට සහයෝගය දැක්වූ නමුත් එය එතරම් ප්‍රමාණවත් සහයෝගයක් නොවීය.
  • ඒවන විට,1964 හමුදා කුමන්ත්‍රණයකදී, ජනාධිපති සිලෙස් බලයෙන් පහ කිරීමෙන් පසු බොලිවියාවේ තථ්‍ය නායකයා බවට පත් වූ බැරියන්ටොස් දැඩි කොමියුන්සිට් විරෝධියෙකු වූ අතර පසුව 1966 දී පැවති මතභේදාත්මක මැතිවරණයකින් ඔහු ජනාධිපති ලෙස තේරී පත්වී බොලිවියාව පාලනය කරමින් සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ 1967 වසරයි. බොලිවියාවේ ශාන්ත කෘෂ්  පළාතේ පිහිටි වැලිග්‍රන්ඩේ ප්‍රදේශයේ පිහිටි කුඩා ගම්මානයක් වූ ලහිගෙරා හී බොලිවියානු රාජ්‍යය වෙනස්  කිරීමේ අරමුණින් මාස කිහියපක් තිස්සේ සටන් කරමින් කුඩා ගරිල්ලා කණ්ඩායමකට නායකත්වය දෙමින් සිටි පුදගලයෙකු විය. ඔහු 1966 නොවැම්බර් මාසයේ කියුබාවේ සිට බොලිවියාවට පැමිණ සිටියේ ප්‍රනාන්දු නම් අන්වර්ථ නමක් භාවිතා කරමිනි.  

ආරම්භයේදී බොලිවියානු කොමියුනිස්ට් පක්ෂයේ ඇතැම් පුද්ගලයින් ඔහුට සහයෝගය දැක්වූ නමුත් එය එතරම් ප්‍රමාණවත් සහයෝගයක් නොවීය. ඒවන විට,1964 හමුදා කුමන්ත්‍රණයකදී, ජනාධිපති සිලෙස් බලයෙන් පහ කිරීමෙන් පසු බොලිවියාවේ තථ්‍ය නායකයා බවට පත් වූ බැරියන්ටොස් දැඩි කොමියුන්සිට් විරෝධියෙකු වූ අතර පසුව 1966 දී පැවති මතභේදාත්මක මැතිවරණයකින් ඔහු ජනාධිපති ලෙස තේරී පත්වී බොලිවියාව පාලනය කරමින් සිටියේය. එකල ලතින් ඇමෙරිකාව පුරා පැතිරෙමින් පැවති කොමියුනිස්ට් වසන්තය කඩා දැමීම සඳහා  ඕනෑම අපකීර්තිමත් කටයුත්තක් කිරීමට මැළිකමක් නොදැක්වූ ඇමෙරිකා එක්සත්  ජනපදය බැරියන්ටොස්  වෙත සහය ලබාදුන්නේය. මුහුණ දීමට සිදුවූ කටුක යථාර්තය ප්‍රන්නාදු නමින් බොලිවියාවට පැමිණි විපල්වවාදියාගේ ඉරණම තීන්දු කළේය. අර්නස්ටෝ රෆායෙල් ගුවේරා ද ලා සර්නා හෙවත් ලෝකයම දන්නා චේ ගුවේරාගේ අවසන් හුස්ම හෙලනු ලැබූ සිදුවීම පෙළගැසුනේ එහිදීය.
 
che guevara 1050x700 1800x1200අර්නස්ටෝ රෆායෙල් ගුවේරා ද ලා සර්නා හෙවත් ලෝකයම දන්නා චේ ගුවේරාගේ අවසන් හුස්ම හෙලනු ලැබූ සිදුවීම

1967 ඔක්තෝම්බර් 8 වන දින චේ සහ ඔහුගේ කණ්ඩායම ලා හිගුවෙරා අසල ගැඹුරු මිටියාවතක් වන යුරෝ රැවින්  ලෙස හැඳින්වෙන ස්ථානයක සැඟවී සිටියේ හමුදාව විසින් සිදුකළ දඩයමෙන් බේරීම සඳහාය. එහෙත් සුළු මොහොතකින් දෙපාර්ශවය අතර සටන් ඇවිළී ගියේය. වෙඩි හුවමාරුවේදී චේ ගේ කකුලට තුවාල වූ අතර බොලිවියානු සොල්දාදුවන් විසින් ඔහු අල්ලා ගත්තේය.

Che Guevara arrest courtesy Dailymotion 300x169
ඉන්  පසු, චේ ලා හිගුවෙරා හි කුඩා පාසල් නිවසකට රැගෙන යන ලද අතර, එහිදී එක් රාත්‍රියක් ගත කළේය. පසුදින එනම් 1967 ඔක්තෝම්බර් 9 වෙනිදා බොලිවියානු බලධාරීන් සහ CIA නියෝජිතයන් ඔහුව මරා දැමීමට තීරණය කළේය. මාරියෝ ටෙරාන් නම් බොලිවියානු හමුදා සැරයන්වරයා චේගේ අලුගෝසුවා විය. වෙඩි පහරවල් කිහිපයක් එල්ල කොට මරාදමා චේ සටනේදී මියගිය බව ප්‍රචාරණය කිරීම ඔවුන්ගේ  සැලසුම විය. මන්ද භාරවීමෙන් පසු නඩු විභාගයකින් තොරව මරා දැමීම යුධ අපරාධයකි. පසු කාලෙක වාර්තා වූ තොරතුරු අනුව  ඔහු තම අලුගෝසුවාට නොබියව මුහුණ දුන් අතර චේ අවසන් මොහොතේ මෙසේ කීවේලු. ""මම දන්නවා උඹ  මාව මරන්න ආවා කියලා. වෙඩි තියපන් බයගුල්ලා; උඹ මරන්නේ එක්  ශරීරයක් විතරයි." කෙසේ නමුත් චේට වෙඩි තැබූ මාරියෝ ටෙරාන් එම සිදුවීමෙන් පසු දරණු මානසික පීඩාවකින් පෙළුණු බවත්, 1974 දී  ඔහු සියදිවි නිසාගත් බවත් ඇතැම් සඳහන් කරන  නමුත් තවත් වාර්තා සඳහන් කරන්නේ ඔහු 2000 වසර පමණ තෙක් නිහඬ ජීවතයක් ගතකර මියැදුණු බවයි.

වසර ගණනාවක් තිස්සේ චේගේ දේහය පිහිටි ස්ථානය රාජ්‍යය රහසක් විය. 1997 දී, දශක ගනනාවක නිහැඬියාවකින් පසු  කියුබානු සහ බොලිවියානු අධිකරණ වෛද්‍ය විද්‍යාඥයින් කණ්ඩායමක් ඔහුගේ සහ සගයින් කිහිප දෙනෙකුගේ දේහයන් ඇතුළත් වැලිග්‍රන්ඩේ හි සමූහ මිනීවළකින් සොයා ගන්නා ලදී. ඔහුගේ දේහය පසුව කියුබාවට ගෙන එන ලද අතර, කියුබානු විප්ලවයේ දී ඔහු තීරණාත්මක සටනකින් ජයග්‍රහණය කළ නගරය වන සැන්ටා ක්ලාරා හි සොහොන් ගෙයක තැන්පත් කරන ලදී.
 
මව්බිම නැත්තනම් මරණය! -කියුබානු බොක්සිං ශුරයා ඔලිම්පික් තරඟ ඉසව්වක දී කෑ  ගසයිචේ මරා දමා මෙම වසරට අවුරුදු 57 ක් සම්පූරන් වේ.
චේ මරා දමා මෙම වසරට අවුරුදු 57 ක් සම්පූරන් වේ. සිය ලංකා සංචාරයේදී හොරණ ප්‍රදේශයේ රෝපණය කළ මැහෝගනී පැලය මේ වන විට රූස්ස ගසක් වී ඇත. වසරක් පාසා එම ගස අභියසට සහභාගීවන චේගේ ආදරවන්තයින් ඔහු ගැන සිහි කරති. ලෝකයේ බොහෝ රටවල මෙන්ම මෙරටද මෙවැනි චරිත වලට "ප්‍රේමනීයත්වයක්" ලබාදී ඔවුහු තමන්ගේ කරගැනීමට ඇතැම් සමාජ කණ්ඩයාම් කටයුතු කරති. ඇතැම් අවස්ථාවල මෙම "අන්ධ ප්‍රේමය" නිසා ඔවුහු ලෝකයට දායාද කිරීමට උත්සහ කළ ගැඹුරු සමාජ-දේශපාලන අදහස් ස්වාධීනව විමසා බැලීමට නොහැකිවීම පමණක් නොව ඔවුන්ගේ අදහස් සියුම්ව විකෘති වීම් වලටද ලක්වේ.

චේගේ දියණිය වන ඇලෙයිඩා ගුවේරා මාර්ච් සමග සිදුකළ මෙම විශේෂ කතා බහ වැදගත් වන්නේ මෙවැනි සන්දර්භයකය. අර්නස්ටෝ "චේ" ගුවේරා සහ ඔහුගේ දෙවන බිරිඳ වන ඇලෙයිඩා මාර්ච්ට දාව උපන් දරුවන් හතර දෙනාගෙන් වැඩිමලා වන ඇය කියුබානු වෛද්‍යවරයෙකි. ඇන්ගෝලාව, ඉක්වදෝරය සහ නිකරගුවාවේ වෛද්‍යවරියක් ලෙස ද සේවය කළ  ඇය  මේවන විට හවානා හි විලියම් සෝලර් ළමා රෝහලේ වෛද්‍යවරියකි.

මා පළමුවෙන්ම ඇගෙන් මෙසේ ඇසුවෙමි. ඇලෙයිඩා, ඔබේ පියාගේ විප්ලවවාදී පරමාදර්ශයන් ඔබේ පෞද්ගලික වටිනාකම් සහ ජීවිතය පිළිබඳ දැක්ම සකස් කළේ කොහොමද? ඔබේ ජීවිතයට ඔහුගේ බලපෑම පිළිබිඹු කරන ඔබේ ළමා කාලයේ සිට විශේෂිත අවස්ථා මොනවාද?

ඊට ප්‍රතිචාර දැක්වීම ආරම්භ කරමින් ඇය සඳහන් කළේ, "අවාසනාවකට, මම මගේ පියා සමඟ ඉතා කෙටි කාලයක් ජීවත් වූ අතර මට ඇත්තේ මතකයක් අතලොස්සක්", බවයි. එහෙත් එම අත්දැකීම් ගැන වැඩි දුරටත් සඳහන් කරමින් ඇය මෙසේද කීවාය."එත්  ඒ කාලය හරිම සුන්දරයි. තාත්තා මාව උදෙන්ම ඇහැරෙව්වා.  ඉතින් මම පුදුම වුණා ඔහු පාන්දරම නැඟිටීම ගැන. ඊට පස්සේ ඉතාම කෙටි කාලයක්  ඇතුළත ඔහු මාව ස්වේච්ඡා සේවයට රැගෙන ගියා. අනෙකුත් වැඩකරන මිනිස්සු උක්ගස් වත්තට ඇතුළු වීමටත්  පෙර තාත්තා  ඒ වතු වල වැඩපටන් ගත්තා. මට තාමත් මතකයි ඒ මිනිස්සු එක්ක හරි හරියට එයා වැඩ කරපු හැටි. ඇතැම් අවස්ථා වල කපපු උක්ගස් මිටි මත මම වැඩිවෙලා හිටිය හැටි මට මතකයි. තාත්තා උක්ගස් කපලා, ඉන් ලෙලි ගහපු උක්ගස්  කෑල්ලකුත් දීලා මට කන්න කියලා නොකුත් දේවල් කතා කළා. ඒ කාලේදී මම ගොඩක් විනෝද වුණා."
 
uN5hqP7අර්නස්ටෝ "චේ" ගුවේරා සහ ඔහුගේ දෙවන බිරිඳ වන ඇලෙයිඩා මාර්ච්ට
"ස්වේච්ඡා සේවාවන් වලට මම කුඩා කාලයේ සිටම සහභාගි වුණා. නමුත් වර්තමාන සමාජයට වැඩදායි කාන්තාවක් වීමට හැකි තත්වයට මාව පත් කලේ  මගේ අම්මා. ඇය නොමැතිව අපට වෙනත් කියුබානු දරුවෙකුට මෙන් අධ්‍යාපනය ලැබීමට නොහැකි වෙන්න තිබුණා. මන්ද දරුවන්ට තම පියා, විශේෂයෙන් ලෝක ප්‍රසිද්ධ  ගරිල්ලෙකු, නැති වූ විට ඒ  හිඩැස පිරවිය නොහැකියි.  ඒ නිසා බොහෝ දෙනෙක්  ද්‍රව්‍යමය දෘෂ්ටි කෝණයෙන් බලා කටයුතු කිරීමට උත්සාහ කරනවා.  එහෙත් මගේ අම්මා  අසාමාන්‍ය බලකොටුවක් වගේ නැගී සිටිමින් අනෙක් කියුබානු දරුවන්ට නොතිබූ කිසිම දෙයකට ඇය අපට ඉඩ දුන්නේ නෑ."

"අපි ජීවත් වුණේ ඒවගේ පරිසරයක. අපි උගත්තු වුණෙත්  පොළවේ පයගහලා ඉන්න සාමන්‍යය ගැහැණු සහ පිරිමි විදියට හැදී වැඩුණේ එහෙමයි. අද අපි සමාජීය වශයෙන් ප්‍රයෝජනවත් පුරවැසියන් බවට පත්වීම  සිදුවුණේ දෙමාපියන්ගේ එම ගැඹුරු සමාජ අවබෝධය සහ අධ්‍යාපනය නිසා," ඇය ප්‍රකාශ කළාය.

BRAND THC BSFC 178889 SFM 000 2997 15 20150113 00 HD
චේගේ රචනා දෙස බැලීමේදී අවබෝධ වන ප්‍රධාන කාරණයක් වන්නේ, ඔහු උනන්දු වූයේ ආණ්ඩු පෙරළීමට පමණක් නොව නව ආකාරයක සමාජවාදී සමාජයක් ගොඩනැගීම කෙරෙහි දැඩි සැලකිල්ලක් දැක්වූ ආකාරයයි. විප්ලවය ද්‍රව්‍යමය දිරිගැන්වීම් වලින් නොව සදාචාරාත්මක දිරිගැන්වීම් වලින් පොහොසත් වූ "නව මිනිසෙක්" (hombre nuevo) නිර්මාණය කළ යුතු බව ඔහු විශ්වාස කළේය. ඔහුගේ මතය අනුව, සමාජවාදී පුරවැසියන් යනු සහයෝගීතාවය, ආත්ම පරිත්‍යාගය සහ විප්ලවය සඳහා වූ ගැඹුරු සදාචාරාත්මක සාරධර්ම මගින් මෙහෙයවනු ලබන සාමූහික යහපත සඳහා කටයුතු කරන පිරිසකි. මෙම අදහස ඔහු ද්‍රව්‍යමය ත්‍යාග මත ඕනෑවට වඩා විශ්වාසය තබමින් සැබෑ සමාජවාදී විඥානය ඇති කිරීමට අසමත්  වූ සෝවියට් ආකෘතියට හත්පසින්මේ වෙනස් බව අවධාරණය කරඇත.

මෙම සන්දර්භයට අනුකූල වෙමින් ඇලෙයිඩාගෙන් මීළඟට අසා සිටියේ, ඔබේ අදහස අනුව, ඔබේ පියාගේ මරණයෙන් පසු දශක ගණනාවක් පුරා ඔහුගේ උරුමය විකාශනය වී ඇත්තේ කෙසේද, යන්නයි. එසේම, " ඔහුගේ ජීවිතය සහ කාර්යයන් පිළිබඳ නවීන අර්ථකථන ඔහුගේ මුල් අභිප්‍රායන් සමඟ සමපාත වන බව ඔබ විශ්වාස කරනවාද, නැතහොත් ඒවා සැලකිය යුතු ලෙස වෙනස් වී තිබේද?"

ඊට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ, "සමහර අය මගේ පියාගේ කාර්යයන් සහ ජීවිතය විකෘති කිරීමට උත්සාහ කරනවා. ඔවුන් ඒ සඳහා තම ජීවිත කැප කරනවා. නමුත් ඔවුන් සාර්ථක වන්නේ කලාතුරකින්. චේ යනු සුසංයෝගී උදාහරණයක්."

එහිදී ඇය තවදුරටත් මෙසේද සඳහන් කළාය, "ඔහු, හිතපු දේ කිව්වා, කියපු දේ කළා. තමන්ට කළ නොහැකි දෙයක් කිරීමට ඔහු කිසිවිටෙක කිසිවෙකුගෙන් ඉල්ලා සිටියේ නෑ. ඔහුගේ විප්ලවවාදී ආචාර ධර්ම ඔහු වටා සිටින අයට ආදර්ශයක් බවට පත්කළා. මිනිසුන්ට ගරු කිරීම ඉතා වැදගත්. අවාසනාවකට මෙන්, අපට අවශ්‍යය සෑම දෙයක්ම සාක්ෂාත් කර ගෙන නොමැති අතර, ඔහුගේ සියලු කාර්යයන් ගැඹුරින් අධ්‍යනය කරලා නෑ."
 
1960- Portrait of Ernesto "Che" Guevara, Cuban revolutionary leader, sitting at a desk.මගේ තාත්තා සීමා මායිම් බිඳ දැමු අයෙක්
"නමුත් ඔහුව තලා දැමීමට හෝ අතුරුදහන් කිරීමට සතුරන්ට නොහැකි වුණා. ඔහු කෙතරම් අංගසම්පූර්ණ පුද්ගලයෙක්ද කියනවා නම් ඔහු ගැන ඉගෙන ගන්නා ඕනෑම කෙනෙකුට ඔහු දෙසට ආකර්ශනය වෙනවා. මගේ තාත්තා සීමා මායිම් බිඳ දැමු අයෙක්."

"චේ ඈත පළාත්වල සහ විවිධ සංස්කෘතීන්වල ඉන්නවා. අපි ඔහුව අධ්‍යයනය කරමින් ඔහුගේ අදහස් වඩාත් ප්‍රගුණ කළ යුතුයි. ඔහු තවමත් අසාමාන්‍යය ජීවිතයක සංකේතයක්. අපගේ ඉලක්කය වන්නේ ඉගෙනීමට සහ සෑම කෙනෙකුටම වඩා සාධාරණ ලෝකයක් නිර්මාණය කිරීමට ඔහුගේ ජීවිතය මෙවලමක් ලෙස භාවිතා කිරීමයි."
 
චේ ගැන එතරම් ප්‍රසිද්ධ නැති කාරණයක් නම් මාක්ස්වාදය කෙරෙහි ඔහුගේ කැපවීම ඔහු කියුබාවේ සිටි කාලයේ නොව, ඊට බොහෝ කලකට පෙර, එනම් ලතින් අමෙරිකාව හරහා කළ සංචාරවලදී ගොඩනැගුණු එකක් බවයි. එහෙත්, තරුණ වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස, චේ සිය මිතුරෙකු වූ ඇල්බර්ටෝ ග්‍රැනාඩෝ සමග දකුණු ඇමෙරිකානු මහාද්වීපය හරහා යතුරුපැදියකින් ගමනක් කළ බව ඉතා ප්‍රසිද්ධ කාරණයකි. 1952 දී මාස අටක් පුරා ඔහු සිය සගය සමග එම සංචාරය සිදු කළේය. ඊට ආර්ජන්ටිනාව, චිලී, පේරු සහ වෙනිසියුලාව ඇතුළු විවිධ රටවල් ඇතුළත් වූ අතර ඔවුහු කිලෝමීටර් අටදහසකට වඩා සංචාරය කළහ.
මෙම සංචාරය, කලාපය තුළ පීඩාවට පත් වූ ගැඹුරු සමාජ අසමානතා, සූරාකෑම සහ දරිද්‍රතාවයේ සැබෑ ස්වභාව ගැන ඔහුට මනා අවබෝධයක් ලබා දුන්නේය. 1954 දී සීඅයිඒ පිටුබලය ලත් කුමන්ත්‍රණයකින් ජැකොබෝ ආර්බෙන්ස්ගේ ප්‍රගතිශීලී රජය පෙරලා දැමීම දුටු චේ සිය මාක්ස්වාදී මතවාදය ශක්තිමත් කිරීමට පටන් ගත්තේ ගෝතමාලාවේ දී ය. අධිරාජ්‍යවාදී මැදිහත්වීමේ ප්‍රචණ්ඩත්වය සියැසින් දුටු චේ ලතින් ඇමරිකාවේ සැබෑ වෙනසක් ඇති කළ හැකි එකම මාර්ගය සමාජවාදී විඥානයෙන් සමන්විත සන්නද්ධ විප්ලවය බව අදිටන් කරගත්තේය.

ලතින් ඇමරිකාව පුරා විවිධ විප්ලවවාදී ව්‍යාපාරවල චේ ගුවේරා (ගෙවාරා) තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේ ඒ අනුවය. "මෙම කලාපවල ඔහුගේ උත්සාහයේ වඩාත්ම කැපී පෙනෙන බලපෑම ලෙස ඔබ දකින්නේ කුමක්ද? සමාජ සාධාරණත්වය සඳහා වන සටනට ඔහුගේ දායකත්වය නිදසුන් යැයි ඔබ විශ්වාස කරන විශේෂිත රටවල් හෝ සිදුවීම් තිබේද?," යැයි ඇලෙයිඩාගෙන් ඇසුවෙමි.

ඊට පිළිතුරු දෙමින් ඇය මෙසේ කීවාය, "චේ සීමා මායිම් කැඩුවා. ඔහු ලතින් ඇමරිකාවේ පමණක් නොවේ; ඔහු අප්‍රිකාවේ, ආසියාවේ සහ පැරණි යුරෝපයේ ද තවමත් ජීවත් වෙනවා. චේ අනුගමනය කළ යුතු මාර්ග පෙන්වනු ලැබුවේ අදාර්ශයෙන්. නිදසුනක් වශයෙන්, අද පලස්තීනයේ සිදුවෙමින් පවතින දේ සලකා බලන්න.

"මගේ පියා 1959 දී පලස්තීනයට ගියා. ඔහු පැමිණි විට පලස්තීන නායකයන් තත්ත්වය පැහැදිලි කළා. ගොඩක් අය වැරදියට හිතන්නේ මේක අලුත් ප්‍රශ්නයක් කියලා. ඇත්ත වශයෙන්ම, පලස්තීනුවන් ඒ වන විටත් ඔවුන්ගේ ඉඩම්වලින් නෙරපා හැර තිබුණා. ඔවුන්ට ඔවුන්ගේ ප්‍රදේශයෙන්  සංක්‍රමණය වීමට බල කෙරුනා. ගාසා තීරයේ බොහෝ දෙනෙක් පිරී සිටියා."

"තාත්තාට ඕන වුණේ නෑ මේ දුක් විඳිම දකින්න. ඔහුට අවශ්‍ය වූයේ එම අසාදාරණයට එරෙහිව මිනිසුන් ප්‍රතිරෝධයට සූදානම් වන්නේ කොතැනද සහ ඔවුන් ඒ සඳහා ආයුධ නිපදවන්නේ කොතැනද යන්න දැනගෙන සහය දෙන්න. අද පලස්තීන ජනතාව සටන් කරන්නේ තමන්ගේම භූමියක් සහ සංස්කෘතියක් තිබීමේ අයිතිය වෙනුවෙන්. චේ අදට අදාල වන්නේ එහෙමයි. ඔබත් එහෙම සිතන්නේ නැද්ද? "

 109160730 cheguevara.jpg
චේ ගරිල්ලා නායකයෙකු පමණක් නොව දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සහ බුද්ධිමතෙකු ද විය. කියුබානු විප්ලවයෙන් පසු චේ  කියුබාවේ ජාතික බැංකුවේ ප්‍රධානියා සහ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීම ඇතුළු විවිධ භූමිකාවන් භාර ගත්තේය. මෙම කාලය තුළ ඔහු සෝවියට් සංගමය, චීනය සහ අනෙකුත් සමාජවාදී රටවල මෙන්ම අප්‍රිකාවේ සහ ආසියාවේ මධ්‍යස්ථ රටවල නායකයන් හමුවෙමින් පුළුල් ලෙස සංචාරය කළේය. මෙම රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල කියුබාව සඳහා ආර්ථික ආධාර සහ තාක්ෂණික විශේෂඥතාව ලබා ගැනීමේදී තීරණාත්මක විය. සිත්ගන්නා කරුණ නම්, මෙම සංචාර අතර තුර, චේගේ පෞද්ගලික චමත්කාරය සහ විප්ලවවාදී පෞරුෂය බොහෝ විට ෆිදෙල් කැස්ත්‍රෝ ඇතුළු අනෙකුත් කියුබානු නායකයින් යටපත් කර, විදේශයන්හි ඔහුගේ කීර්තිය තවදුරටත් තහවුරු වීමට හේතු වීමය.

කෙසේ නමුත් චේගේ මරණයෙන් දශක ගණනාවකට පසු අප අත්විඳින්නේ වෙනස් ලෝකයකි. ලෝකය පෙරදාට වඩා විභේදනය වී ඇත. නේටෝ ප්‍රමුඛ කරගත් බටහිර යුධ සන්ධානය ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමෙරිකාව කරා ඇදී  එමින් තිබේ. නවසීයකට ආසන්න ඇමරිකානු හමුදා කඳවුරු ලෝකය පුරා පිහිටා ඇති කාලයක විකල්පයක් වෙනුවෙන් සිහින දකින  රාජ්‍යයන් රාශියක් ඒකරාශී වෙමින් සිටිති. මා මීළඟට ඇගෙන් මෙසේ විමසුවෙමි. ලතින් ඇමරිකාවේ අද පවතින සංකීර්ණ දේශපාලන සන්දර්භය අනුව, ඔබේ පියා ඉදිරිපත් කළ පරමාදර්ශයන්ට ඇති ලොකුම අභියෝග මොනවාද? සමානාත්මතාවය සහ සමාජ සාධාරණත්වය පිළිබඳ ඔහුගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා වත්මන් සහ අනාගත පරම්පරාවන් කටයුතු කළ යුත්තේ  කෙසේද?

ඊට පිළිතුරැ ලබා දෙමින් අය මෙසේ සඳහන් කළාය. "ඔබ කිව්වා වගේම, ලතින් ඇමරිකාවේ දේශපාලන භූ දර්ශනය සංකීර්ණයි. නමුත් ආසියාවේ, මැද පෙරදිග සහ විශේෂයෙන්ම අප්‍රිකාවේ ඊටත් වඩා සංකීර්ණයි. මේ නිසා චේගේ බලපෑම එක් කලාපයකට සීමා වෙන්නේ නෑ. මන්ද, මා ඊට කලින් කිව්වා වගේම දි, ඔහු දේශසීමා බිඳ දැමුවා."

"අලුත් පරම්පරාවන් ඔහු ගැන වැඩිදුර අධ්‍යයනය කළ යුතුයි. ඔහුගේ අදහස් ජීවිතය සඳහා මෙවලම් ලෙස භාවිතා කරන්නේ කෙසේදැයි ඔවුන් ඉගෙන ගත යුතුයි. චේ කියවීම වඩා හොඳ ලෝකයක් සොයන සමාජ ව්‍යාපාර අතර සමගිය ගොඩනගනවා. අප කිසිවිටෙක ජනතාව කෙරෙහි ඇති ගෞරවය නැති කරගන්න හොඳ නෑ. නිදහසේ සහ ස්වෛරීභාවයේ අවශ්‍යතාවය අප සෑම විටම තහවුරු කළ යුතුයි. මේවා කඩ කළ නොහැකි මූලධර්ම."

"චේ අපිට තවත් දෙයක් පෙන්නුවා. තමන් වාමාංශිකයෙකු ලෙස හඳුන්වන ඕනෑම කෙනෙකුට, වඩා හොඳ ලෝකයක් අපේක්ෂා කරන ඕනෑම කෙනෙකුට ශක්තිමත් විප්ලවවාදී සදාචාරයක් තිබිය යුතුයි කියන එක. එය කතා කිරීම හෝ ක්‍රියා කිරීමට මිනිසුන් තල්ලු කිරීම පමණක් නොවේ. එය චේගේ අඩිපාරේ යමින් ආදර්ශයෙන් ඉදිරියට යාමයි. ශතවර්ෂ ගණනාවක් තිස්සේ පැවති මෙම මූලධර්ම අනාගත පරම්පරාවන් නැති වී යන බව බොහෝ දෙනා පවසන විට, මෙය අද විශේෂයෙන් වැදගත් වෙනවා."

"නමුත් සැබෑ ප්‍රශ්නය වන්නේ; අපි ඔවුන්ව (මෙම තරුණ පරම්පරාව) දැනුවත් කරන්නේ කෙසේද? කියන එකයි. අපි ඔවුන් තුළ අනෙක් මිනිසුන් ගැන වගේම සොබාදහමට ඇති ගෞරවය, සහයෝගීතාවය සහ ආදරය ඇති කර ඇත්තේ කෙසේද? සෑම කෙනෙකුටම වඩා සාධාරණ ලෝකයක් සඳහා අවශ්‍ය වෙනස්කම් නිර්මාණය කිරීමේදී ඔවුන් කෙතරම් ක්‍රියාශීලීව සම්බන්ධ වන්නේද යන්න අප නව පරම්පරාවන් දැනුවත් කරන ආකාරය අනුව තීරණය කරනවා."
 
CheinCongo2ඔහු කොංගෝවට ගියේ බෙල්ජියම් පාලනයේ නෂ්ටාවශේෂ වලට එරෙහිව සටන් කරන යටත්විජිත විරෝධී බලවේගවලට සහාය දැක්වීම සඳහාය.

චේ ගුවේරාගේ ජීවිතයේ වැදගත්ම පරිච්ඡේදවලින් එකක් වූයේ 1965 දී ඔහු කොංගෝවට සම්බන්ධ වීමයි. කියුබානු විප්ලවයෙන් පසු, චේ ගෝලීය වශයෙන් විප්ලවය අපනයනය කිරීමට උත්සාහ කළේය. ඔහු අප්‍රිකාව දුටුවේ අධිරාජ්‍යවාදයට එරෙහි ප්‍රධාන සටන් බිමක් ලෙසය. ඔහු කොංගෝවට ගියේ බෙල්ජියම් පාලනයේ නෂ්ටාවශේෂ වලට එරෙහිව සටන් කරන යටත්විජිත විරෝධී බලවේගවලට සහාය දැක්වීම සඳහාය. කෙසේ වෙතත්, මෙම ව්‍යාපාරය කොංගෝ කැරලිකරුවන් අතර අභ්‍යන්තර බෙදීම් සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය නොමැතිකම හේතුවෙන් අසාර්ථක විය.  චේ විසින්ම පසුව මෙම ව්‍යාපාරය ඔහුගේ ලොකුම බලාපොරොත්තු සුන්වීම් වලින් එකක් ලෙස ආවර්ජනය කළ නමුත් එය විප්ලවවාදී සාර්ථකත්වයට ජාත්‍යන්තරවාදය අත්‍යවශ්‍ය යැයි ඉදිරිපත් කළ ඔහුගේ මතය තහවුරු කළේය.

මෙහිදී සඳහන් කළ යුතු තවත් වැදගත් කාරණයක් වන්නේ චේ බොහෝ විට විප්ලවවාදී ව්‍යාපාරවල කාන්තාවන්ගේ වැදගත්කම අවධාරණය කිරීමයි. මා අවසාන වශයෙන් ඇලෙයිඩාගෙන් මෙසේ ඇසුවෙමි. චේ වැනි බලගතු චරිතයක දියණියක් ලෙස, ඔබේ පියාගේ වැඩ කටයුතුවලදී කාන්තාවන්ගේ භූමිකාව සහ ලතින් ඇමරිකානු විප්ලවයේ පුළුල් සන්දර්භය ඔබ දකින්නේ කෙසේද? ඔවුන්ගේ දායකත්වයෙන් සහ අරගලවලින් උගත හැකි පාඩම් මොනවාද?

ඊට පිළිතුරු දෙමින් ඇය  මෙසේ සඳහන් කළාය. "චේට කලින්, කියුබානු විප්ලවයේ අපොස්තුළුවරයා වූ ජෝස් මාර්ටි විප්ලව වලදී කාන්තාවන්ගේ භූමිකාව අවධාරණය කළා. නිදහස සහ ස්වෛරීභාවය වෙනුවෙන් සටන් කිරීමට තම දරුවන් සටන්බිම් වලට යවන කාන්තාවන් පවා සැබෑ විප්ලවයකට සම්බන්ධ විය යුතු බව ඔහු පැවසුවා."

 
images 44"මාර්ටි හරිම ලස්සන දෙයක් කිව්වා. මව්බිමට ඇති මව් සෙනෙහස කියන්නේ, මහ පොළොවටවත් අපේ දෙපයට පෑගෙන  තණකොළ වලටවත් තියෙන විකාර ආදරය නෙවෙයි. එනම් තමන්ව පීඩාවට පත් කරන අය කෙරෙහි ඇතිවන අනභිභවනීය වෛරය සහ තමන්ට පහර දෙන අය කෙරෙහි ඇති සදාතනික අමනාපයයි. ඒ වගේම මගේ පියාත් මාටිව හැදෑරුවා, ඔහු ඔහුට ගරු කළා, ඔහු අගය කළා, ඔහුගේ අදහස්  අනුගමනය කළා."

"මහා පුරුෂයන් අතර පුනරුච්චාරණය වන ඉතා සුන්දර දේවල් තිබෙනවා. ඒ වගේම ගැහැණියකට ගරු කිරීම, සියලුම කාන්තාවන් අපේ සහෘදයන් හා සමානව සලකා බැලිය යුතු අයිතිය ඉතා වැදගත්. සැබෑ විප්ලවවාදියෙකු තම අදහස් අවසාන ප්‍රතිවිපාක දක්වා ආරක්ෂා කරන බව ඔහු නිතරම කිව්වා. නමුත් කාන්තාවක් තම පරමාදර්ශ ආරක්ෂා කිරීම පමණක් නොවේ, ඇය පළාතක් හෝ ජාතියක් ආරක්ෂා කරනවා. ඇගේ වින්‍යාසය තුළ පිරිමින් 50% ක් සහ කාන්තාවන් 50% ක් සිටිය යුතුයි. සමස්ත ක්‍රියාවලියට කාන්තාවන් සහභාගී වීම ඉතා වැදගත් බව ඔවුන් තේරුම් ගත්තා. ජෝස් මාටි පැවසූ පරිදි, විප්ලවය ගැහැණියක ගෙන් පිටවන මුදු මොළොක් බව සහ ශක්තියෙන් පිරවීමයි වැදගත්. ඉතින් මම හිතන්නේ ඒ පැත්තෙන් අපිට තව ගොඩක් වැඩ කරන්න වෙනවා."

අවසාන වශයෙන් ඇය මෙසේ කීවාය. "කාන්තාවන්ට ගරු නොකරන හෝ සමාන අයිතිවාසිකම් ඇතිව අධ්‍යාපනය ලැබීමට ඉඩ නොදෙන ඊනියා පළමු ලෝක සමාජ ලෙස තවමත් හඳුන්වන ලෝකයේ බොහෝ ප්‍රදේශ තියෙනවා. අපට අවශ්‍ය සියලුම සමාජ පිළිගැනීම තවමත් තහවුරු වී නෑ. අප මේ සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු කළ යුතුයි. ස්ත්‍රීන්, එළදෙනුන්ට  වඩා පහත් කොට සලකන සංස්කෘතියක් ශතවර්ෂ ගණනාවක් තිස්සේ පැවතුණා. කාන්තාවන් පහත් ලෙස සලකන  එම සංස්කෘතිය වෙනස් කිරීම දුෂ්කර කරයි. නමුත් අප සියලු දෙනා අපේක්ෂා කරන සාධාරණ ලෝකය ගොඩනැගීමට නම් මෙම සමාජ අසාදාරණය බිඳ දැමීම අත්‍යවශ්‍යයි. චේ ගේ සැබෑ අරගලය ඉලක්ක වී තිබුණේ මෙම අවශ්‍යතාවය මතයි."

nilantha ilangamuwa 2024 Oct
(නිලන්ත ඉලංගමුව)
නිදහස් මාධ්‍යවේදී
ilangamuwa@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

චේ සටන්කළේ සැබෑ විප්ලවවාදී සදාචාරයක් වෙනුවෙන් | The Leader