The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඡන්ද අරමුණ පුද්ගලයන් තේරීම ද? - (කුසල් පෙරේරා)

T

The Leader Desk

October 14, 2024 • 11:39 AM

ඡන්ද අරමුණ පුද්ගලයන් තේරීම ද? - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙවරත් ස්වාධීන කණ්ඩායම් තොග පිටින් මැතිවරණ පොර පිටියට බැස ඇත.
  • ඒවගේම අහුමුළුවල බිහි වූ ඇමීබලා වැනි දේශපාලන පක්ෂද හැම දිස්ත්‍රික්කයකටම වාගේ නාම යෝජනා පත්‍ර බාර දී ඇත.
  • කොළඹ දිස්ත්‍රික්කයට දේශපාලන පක්ෂ 28 ක්ද ස්වාධීන කණ්ඩායම් 22 ක්ද තරග වදිති.
  • වන්නියට දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 25 ක් තරග වදිති.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙවරත් ස්වාධීන කණ්ඩායම් තොග පිටින් මැතිවරණ පොර පිටියට බැස ඇත. ඒවගේම අහුමුළුවල බිහි වූ ඇමීබලා වැනි දේශපාලන පක්ෂද හැම දිස්ත්‍රික්කයකටම වාගේ නාම යෝජනා පත්‍ර බාර දී ඇත.

Screenshot 2024 10 14 at 16.56.26 copy

කොළඹ දිස්ත්‍රික්කයට දේශපාලන පක්ෂ 28 ක්ද ස්වාධීන කණ්ඩායම් 22 ක්ද තරග වදිති. වන්නියට දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 25 ක් තරග වදිති. එවැනිම දුෂ්කර, ග්‍රාමීය ප්‍රදේශයක් වන දිගාමඩුල්ලට ස්වාධීන කණ්ඩායම් 50 ක් ඉදිරිපත්ව ඇති නමුත් ඉන් දෝෂ රහිත නාම යෝජනා පත්‍ර 43 ක් සමග දේශපාලන පක්ෂ 21 ක් ඇතුළුව නාම යෝජනා පත්‍ර 64 ක් බාර ගෙන ඇත.

හැම දිස්ත්‍රික්කයකම තත්වය එවැනි ය. එය පසුගිය මැතිවරණ දෙකක නැතිනම් තුනක සිට ගොඩ නැගෙන අවිධිමත් ප්‍රවණතාවකි. 2004 අප්‍රේල් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 10 ක් සමග ස්වාධීන කණ්ඩායම් 09 ක් වන්නියට තරග කළහ. දිගාමඩුල්ලට දේශපාලන පක්ෂ 14 ක් සමග ස්වාධීන කණ්ඩායම් 27 ක් තරග කළහ. අනෙකුත් බොහෝ දිස්ත්‍රික්කවල තත්වයද එවැනිම විය. නාම යෝජනා පත්‍ර බාර දෙන ස්වාධීන කණ්ඩායම් හා දේශපාලන පක්ෂ සංඛ්‍යාව පසුගිය වසර 20 තුළ දෙගුණයකටත් වඩා වැඩි වූ බවක් දැකිය හැකිය.

 

මැතිවරණ වියදම් පනත වහා සම්මත කර ගන්න ! - දේශපාලන පක්ෂවලට බලපෑම්

එලෙසින් ස්වාධීන අපේක්ෂක කණ්ඩායම් හා දේශපාලන පක්ෂ පඳුරු ගැසීමට හේතු තිබිය යුතුය. ඉන් එක් කාරණාවක් නිර්මාණය කර තිබෙන්නේ බිඳ වැටෙන සාම්ප්‍රදායික මැතිවරණ දේශපාලනය හමුවේ, සීමා රහිත හම්බ කිරීමක් සඳහා තොඳොල් කෙරෙන සමාජ වටපිටාවක විවෘත වෙළඳපොළ ආර්ථිකයෙහි වගා කෙරෙන තෘෂ්ණාධික ආත්මාර්ථකාමය විසින් ය. තමන් තරග නොකළත් ජනාධිපතිවරණවල සිට පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ ආසන්න වනවිට දේශපාලන පක්ෂ සඳහා වන ඉල්ලුම, එකවර ලොකු මුදලක් හම්බකර ගැනීමට අවස්ථා සලසන නිසාවෙන්ය. එවැනි ඉල්ලුමක ඇත්තේ පක්ෂය පමණක් නොව, ඡන්දපොළ නියෝජිතයන් සඳහා වන අවසර පත්වලට ද ඇති ඉල්ලුමය.

1520174736203මැතිවරණ පක්ෂ ආරම්භ වන්නේ නිදහස් ලංකාවක් වෙනුවෙන් 1947 පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයත් සමග ය.

 

ඒ අතුරු වෙළඳාමේ ලාභ ප්‍රතිලාභ කෙසේ වූවත් සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ නව සහශ්‍රය එළැඹෙන කාලය වන විට ඓතිහාසික ගමනක කෙළවරට පැමිණීම, මෙවැනි අරමුණක් නොමැති අවිධිමත් දේශපාලන පොකුරු ගැසීම් සඳහාවන ප්‍රධාන හේතුවකි. මැතිවරණ පක්ෂ ආරම්භ වන්නේ නිදහස් ලංකාවක් වෙනුවෙන් 1947 පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයත් සමග ය. ඒ මැතිවරණය සඳහාම පිහිටුවා ගත් බෝතලේ වලව්වේ සේනානායකලාගේ එක්සත් ජාතික පක්ෂය (එ.ජා.ප) හැරුණු විට, ලංකාවේ පැරැණිතම දේශපාලන පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂය (ල.ස.ස.ප), ඉන්දීය බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය, සමස්ත ලංකා ද්‍රවිඩ කොන්ග්‍රසය, කොමියුනිස්ට් පක්ෂය (කො.ප), ඉන්දු ලංකා කොන්ග්‍රසය සහ ලංකා කම්කරු පක්ෂය ඉදිරිපත් වන්නේ, තමන්ගේ දේශපාලනයට සුජාත බවක් ලබා ගැනුමට මැතිවරණයත් පාර්ලිමේන්තුවත් හොඳ වේදිකාවක් යැයි වූ තේරුම් ගැනීමත් සමගින් ය.

 

SIL p19 ලංකාවේ01
මන්ත්‍රීවරුන් තෝරා පත් කිරීමේ මැතිවරණ ක්‍රමය වූයේ, “ආසන” ලෙස නම් කෙරුණු භූගෝලීය සීමා තුළ වූ ඡන්දදායකයන් විසින් බහුතර ඡන්දයෙන් තම මන්ත්‍රී පත් කිරීම ය. දේශපාලන පක්ෂ නොමැති වූ 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවට පුද්ගලයන් තෝරා පත්කර ගැනීමට සර්වජන ඡන්දය භාවිත කළ අයුරින්ම, “ඩොනමෝර් කොමිසම” අනුමාන කළ පරිදි පාර්ලිමේන්තු මැතිවරණවලද පුද්ගලයන් වෙනුවෙන් ඡන්ද භාවිත විය. සිංහල-බෞද්ධ බහුතරයක් ඉන්නා ලංකාවේ එබැවින් තේරී පත් වන්නේ බහුතර සිංහල-බෞද්ධ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකි.

ග්‍රාමීය බහුතර සමාජයේ පැරැණි වැඩවසම් ඉඩම් සම්බන්ධතා එලෙසින්ම සිල්ලර වාණිජ ආර්ථිකයට ගැට ගැසුණු හෙයින් ගමේ ප්‍රභූනට ගමේ ඡන්ද හැසිරවීමටද හැකි විය. ඒ ඔවුන් සතු වූ ආර්ථික හයිය නිසාම නොවේ. රජ කාලයේ සිට සමාජයේ නඩත්තු වූ බල ධූරාවලිය විසින් හදා තිබූ පොදු සමාජ මානසිකත්වය ද නිසා ය. එයට ගමේ පන්සලද එකතු වූවකි. එවැනි වැඩවසම් ප්‍රජා බලයක් සමග දකුණේ සාම්ප්‍රදායික දේශපාලනයට සිංහල සමාජයෙන් පිටත බලයක් අවශ්‍ය නොවීය. 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 02 වන පරිච්ඡේදයෙහි 06 වන අනු ව්‍යවස්ථාව මගින් (වත්මන් 1978 ව්‍යවස්ථාවෙහි 09 වන අනු ව්‍යවස්ථාව) අනෙකුත් ආගම් සඳහා වෙනසක් නොකරන, බුද්ධාගමට ප්‍රමුඛස්ථානයදීමත් බුද්ධ ශාසනය සුරක්ෂිතකොට පෝෂණය කිරීමටත් ආණ්ඩු බැඳ තැබිණ. සාම්ප්‍රදායික දේශපාලනයේ සිංහල-බෞද්ධ සාධකය බලගතු සමාජ සාධකයක් වන්නේ එලෙසින්ය.

 

රනිල් කිරිඇල්ලගෙන් නොව දිනේෂ් ගෙන් පටන් ගන්න...

ප්‍රාථමික ඇවතුම් පැවතුම් සමග වූවත් මේ සමාජ පැවැත්මෙහි බෞද්ධ ආධිපත්‍යය ද හවුල් කරමින් රඳවාගෙන තිබූ යම් සදාචාරයක් සහ විනයක් තිබිණ. එනිසා රාජ්‍ය අධිකාරයක් හා නියාමනයක් සහිතව පාලනය කෙරුණු ආර්ථිකයෙහි වූ සමාජය තෘෂ්ණාධික, ආත්මාර්ථකාමී, ප්‍රචණ්ඩ සමාජයක් නොවුණි. එදා වූ සංඝ සමාජයෙන්ද ප්‍රකාශ වූ සංවර කමෙකින් එය වඩාත් තහවුරු වූවකි. ඒ සමාජ හැඳියාව නොමැතිව ප්‍රභූ දේශපාලන නායකත්වයකට පවතින්නට ද නොහැකි විය. බෝතලේ වලව්ව, හොරගොල්ල වලව්ව හමුවන්නේ එබැවිනි. “සාම්ප්‍රදායික දේශපාලනය” යනු එවන් සදාචාර සම්පන්න සමාජයක ප්‍රභූ පෙළැන්තියේ නායකත්වය සමග වූ දේශපාලනයට ය. එ.ජා.පය හා ශ්‍රී.ල.නි.ප බාරගෙන තිබූයේ ඒ ප්‍රභූ දේශපාලනය විය.

AMNVw6bCL4cRnabB 3SWRD බණ්ඩාරනායක

 

නිදහසින් පසු ආරම්භක දසකයෙහි ඒ දේශපාලනය විසින් පවත්වා ගත් සමාජයේ බිහි වූ, ඩී.එස්, ආර්.ජී, බණ්ඩාරනායක, පිලිප්, ඇන්.ඇම්, කොල්වින්, ලෙස්ලි, වික්‍රමසිංහ, කේනමන්, චෙල්වනායගම් වැනි දේශපාලකයන්, පෑලිස්, තම්පෝ, එම්.ජී මැන්ඩිස්, ඩී.ජී විලියම්, අයි.ජේ වික්‍රම වැනි වෘත්තීය සමිති නායකයන්, සේනක බිබිලේ, ඇන්තනිස් වැනි වෛද්‍ය විශේෂඥයන්, මාර්ටින් වික්‍රමසිංහ, ඩබ්ලියු.ඒ. සිල්වා, මානවසිංහ, සුනිල් ශාන්ත, අමරදේව, ලෙස්ටර් ජේම්ස් පීරිස්, සරච්චන්ද්‍ර, චිත්‍රසේන-වජිරා යුවල වැනි සාහිත්‍ය කලා සූරීන්ද ඔවුන්ගේ ක්ෂේත්‍රවල දැවැන්ත පුරෝගාමී චරිත විය. ඔවුන් සමග සැසඳිය හැකි පුරෝගාමී චරිත ඉන්පසු මෙතෙක් අවුරුදු 60 ට වැඩි කාලයක හමුවන්නේ නැත. හමු වූවත් අහඹු හමුවීමක් දෙකක් පමණි.

මේ සමස්ත සමාජීය-දේශපාලන පැවැත්ම අභියෝගයට ලක් වන්නේ ජයවර්ධන ජනාධිපති 1978 දී හඳුන්වා දුන් විවෘත වෙළෙඳපොළ ආර්ථිකයෙනි. සදාචාරයක් විනයක් සහිත පරාර්ථකාමී සමාජයක, නගර කේන්ද්‍රීය තොරොම්බල් වෙළෙඳපොළක් යනු පරස්පරයකි. ප්‍රතිවිරෝධයකි. විවෘත වෙළෙඳපොළක් යනු හුදෙක් ආනයන අපනයන සීමා තහංචි ලිහිල් කෙරුණු නගර කේන්ද්‍රීය ආර්ථිකයක් පමණක්ම නොවේ. විවෘත වෙළෙඳපොළක් යනු ආත්මාර්ථකාමී, තෘෂ්ණාධික පුද්ගලයන් ලෙස පාරිභෝගික සමාජයක් පවත්වා ගෙන යෑම ද ප්‍රධාන වූවකි. එනිසාම විවෘත වෙළඳපොළ ආර්ථිකයක් යනු ආවේනිකව දූෂිත, නාගරික මැදපාන්තික වෙළෙඳපොළකි. දූෂිත ආර්ථිකයක් පවත්වාගෙන යාමට දූෂිත ආණ්ඩු අවශ්‍ය වන්නේය. දූෂිත රාජ්‍ය සේවාවක් අවශ්‍ය වන්නේය. 1978 න් පසු අවුරුදු 45 ක කාලයෙහි ඒ සියල්ල ක්‍රමානුකූලව සිදුවිය.

 

Lzx4rB37OkrbCT7f 5මේ සමස්ත සමාජීය-දේශපාලන පැවැත්ම අභියෝගයට ලක් වන්නේ ජයවර්ධන ජනාධිපති 1978 දී හඳුන්වා දුන් විවෘත වෙළෙඳපොළ ආර්ථිකයෙනි
එහි දැකිය හැකි කාරණා දෙකකි. කලින් කියූ අයුරු සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ ස්ථාපිත වූ සදාචාර සම්පන්න සමාජයක දූෂිත, ආත්මාර්ථකාමී විවෘත වෙළෙඳපොළක් පවත්වා ගැනීමට ඇති නොහැකියාව එකකි. එබැවින් සාම්ප්‍රදායික දේශපාලනයේ මැතිවරණ පැවැත්ම වෙනස් කෙරිණ. ඊට විකල්පව, දිස්ත්‍රික්ක පදනමින් අනුපාත ඡන්ද ක්‍රමය ඉදිරිපත් කෙරුණි. එය අධි වියදම්කාරී ඡන්ද ව්‍යාපාරයකට හේතු වූයෙන් පැරැණි සදාචාර සම්පන්න දේශපාලකයන්ට විවෘත වෙළෙඳපොළෙහි ජාවාරම්කාර සම්බන්ධකම් හදා ගන්නට සිදු විය. අනෙක නිදහස සමග ආරම්භ වූ සාම්ප්‍රදායික දේශපාලනයෙහි දෙවැනි පරම්පරාව 1970 මැතිවරණයේ සිට ප්‍රධාන ධාරාවේ දේශපාලනයට පිවිසියහ. ඔවුන් සාම්ප්‍රදායික මැතිවරණ දේශපාලනයට ඇතුළු වන්නේ ජාවාරම්කාර විවෘත වෙළෙඳපොළ ආර්ථිකයෙහි හැදුණු අලුත් දේශපාලකයන් ලෙසින් ය. 80 දසකයේ සිට හමුවන වික්‍රමසිංහ, ගුණවර්ධන, බණ්ඩාරනායක, රාජපක්ෂ නාම සියල්ල ඒ දෙවැනි පරම්පරාවේ ආරම්භකයෝය.

එනිසා විවෘත වෙළෙඳපොළ විසින් සමාජයේ සියලු අංගෝපාංග ජාවාරම්කාර ආර්ථිකයට නතු කරගන්නා විට, සාම්ප්‍රදායික දේශපාලනයේ දෙවන පරම්පරාවට පැරණි විනය, පැරණි සදාචාරය හා සමාජ වටිනාකම් සමගින් පැවතිය නොහැකි විය. පොහොසත්වීම, මැතිවරණ දේශපාලනයේ එක් අරමුණක් බවට මේ දෙවන පරම්පරාව පත්කර ගත්හ. විවෘත වෙළෙඳපොළ ආර්ථිකයෙහි කෙසේ හෝ මුදල් හම්බකර ගැනීම ප්‍රශ්න නොකෙරෙන්නක් වූයේ එබැවින්ය. මහා පරිමාණ දූෂණ වංචා දක්වා එය වර්ධනය වීමත් විවෘත වෙළෙඳපොළ ආර්ථිකය සමාජ-ආර්ථික අර්බුද සඳහා විසඳුම් නොමැති ජාවාරම්කාර වෙළෙඳපොළක් පමණක් බවත් පිළිගැනීම වෙනුවට, සියලු ඛේදවාචක දේශපාලකයන් මත පැවරීමට තුන්වන පරම්පරාව ඉදිරිපත් වන්නේ, ඔවුන්ට මැතිවරණ දේශපාලනයට පිවිසිය හැකි සටන් පාඨය එය යැයි තීන්දු කිරීමෙනි.

දැන් අප ඉන්නේ ජනාධිපතිවරණයෙන් පසු තුන්වැනි පරම්පරාව දේශපාලන ආධිපත්‍ය අතට ගැනීමත් සමග දෙවැනි පරම්පරාව ශීඝ්‍රයෙන් පසු බසින පාර්ලිමේන්තු මැතිවරණයක ය.

 

ඒ සමග දැන් අප ඉන්නේ ජනාධිපතිවරණයෙන් පසු තුන්වැනි පරම්පරාව දේශපාලන ආධිපත්‍ය අතට ගැනීමත් සමග දෙවැනි පරම්පරාව ශීඝ්‍රයෙන් පසු බසින පාර්ලිමේන්තු මැතිවරණයක ය. ගැටලුව ඇත්තේ මේ තුන්වැනි පරම්පරාව ඔවුන්ගේ නොහැකියාව වසා ගන්නා යෝධ විරෝධාකල්ප දේශපාලනය, බහුතර ඡන්දදායකයන් කර පින්නා ගැනීම ය. වර්තමානයේ ජනතාව මුහුණ දෙන බරපතළම අර්බුදය ආර්ථිකය පමණක් නොවන්නේ යැයි ඔවුහු කතා නොකරති. සදාචාර සම්පන්න, ශිෂ්ට සමාජයක් ගැනද, රාජ්‍ය වගකීමක් වන විධිමත් අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස, පොදු මගී ප්‍රවාහනය වැනි සමාජ සේවා නැවත දියුණු කිරීම ගැනද, විසඳුම් නොමැති හෙයින් ඔවුහු කතා නොකරති.

ඔවුන් විසඳුම් ලෙස තබන්නේ ජනතා අප්‍රසාදයට ලක් නොවුණු, චෝදනා නොමැති පිරිසුදු උගත් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමත් එවැනි අපේක්ෂකයන් සඳහා ඡන්දය දීමත්ය. එය ඡන්දදායකයාගේ වගකීම යැයි ද අවධාරණය කෙරෙන්නේය. පාර්ලිමේන්තු මැතිවරණයක ඡන්දදායක වගකීම කුමක්දැයි ඔවුන් නොදන්නා බව ඉන් මොනවට කියන්නකි. පාර්ලිමේන්තු මැතිවරණ පවත්වන්නේ රටේ අර්බුද සඳහා විසඳුම් මොනවත් නැති, චෝදනා නොමැති පිරිසිදු උගත් මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තු සභා ගැබ පිරවීමට නොවේ. පාර්ලිමේන්තු මැතිවරණ පවත් වන්නේ රටේ සංවර්ධනය වෙනුවෙන් ආණ්ඩුවක් පිහිටුවීමටය. එනිසා ඡන්දදායක වගකීම වන්නේ එවැනි ආණ්ඩුවක් පිහිටුවීමට ඡන්දය දීම මිස, “හොඳ” පුද්ගලයන් තෝරා ඡන්දය දීම නොවේ. රටේ අනාගතය වෙනුවෙන් ආණ්ඩුවක් පත්කර ගැනීමට සොයා ගත යුත්තේ පොරොන්දු ලේඛන ඉදිරිපත් කරන්නන් නොව, සංවර්ධන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන, ඒ ගැන සාකච්ඡා කරන දේශපාලන පක්ෂයකි. පිරිසුදු උගත් යැයි එක් එක් අය තබා ගන්නා මිනුම් දඬු මත අපේක්ෂකයන් තේරීම, ඊට ආදේශකයක් නොවේ. කෙටියෙන් කිවහොත් පිරිසුදු පුද්ගලයන් තෝරා පත් කිරීමෙන් දේශපාලනය පිරිසුදු වන්නේ නැත. මේ දේශපාලනයෙහි පිරිසුදු පුද්ගලයන් තෝරා පත් කිරීමෙන් ඔවුන් දූෂිතයන් කළ හැක.

මෙවර සිදුව ඇත්තේ අර්බුද සඳහා විසඳුම් නොමැති දේශපාලන රික්තයට, දෙවැනි පරම්පරාව ඉවත් කරමින් පය ගසා ගන්නට තුන්වැනි පරම්පරාවක් පොර බැඳීමය. විසිල් ගසන්නට, හුරේ දමන්නට ඉදිරිපත් කරන වෛරී දේශපාලනයක් වෙනුවෙන් “පිරිසුදු” පුද්ගලයන් සඳහා ඡන්දය ඉල්ලීමය.

මෝඩිගේ හින්දුත්වා 'පූරිය' - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

(උපුටා ගැනීම - ලංකාදීප)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...