The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ශ්‍රී ලංකාවේ ‘තනි පක්ෂ’ දේශපාලනය ඉවරයි ද?: පැවැත්මක් ඇති පක්ෂ මොනවා ද?

T

The Leader Desk

October 15, 2024 • 6:35 PM

 ශ්‍රී ලංකාවේ ‘තනි පක්ෂ’ දේශපාලනය ඉවරයි ද?: පැවැත්මක් ඇති පක්ෂ මොනවා ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සන්නද්ධ කැරලි දෙකකින් මෙරට බලය ලබා ගැනීමට අසාර්ථක උත්සාහයක නිරත වූ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ප්‍රධාන කඳවුරු දෙකට විකල්පයක් ලෙස නිර්මාණය වී මෙරට විධායක බලය තමන් සන්තක කර ගැනීමට සමත් විය.
  • දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට මීළඟ වසර 5ක කාලයක් සඳහා පාර්ලිමේන්තුව තුළ හිමි වන බලය උරගා බැලීමේ අවස්ථාව මේ වන විට පැමිණ තිබේ.
  • ජනාධිපතිවරණයේදී ප්‍රධාන පක්ෂ කිහිපයට විකල්පයක් ලෙස ඉදිරිපත් වූ ජාතික ජන බලවේගය ද තරග කළේ, සන්ධානගත වෙමිනි.
  • මේ අතර, ජාතික ජන බලවේගය ඇතුළු පක්ෂ සියල්ල ම පාහේ සන්ධානගත වෙමින් මෙවර මහ මැතිවරණය තරග කරන බවක් නිරීක්ෂණය වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනතාව කටයුතු කර තිබේ.

සන්නද්ධ කැරලි දෙකකින් මෙරට බලය ලබා ගැනීමට අසාර්ථක උත්සාහයක නිරත වූ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ප්‍රධාන කඳවුරු දෙකට විකල්පයක් ලෙස නිර්මාණය වී මෙරට විධායක බලය තමන් සන්තක කර ගැනීමට සමත් විය.

දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට මීළඟ වසර 5ක කාලයක් සඳහා පාර්ලිමේන්තුව තුළ හිමි වන බලය උරගා බැලීමේ අවස්ථාව මේ වන විට පැමිණ තිබේ.

ජනාධිපතිවරණයේදී ප්‍රධාන පක්ෂ කිහිපයට විකල්පයක් ලෙස ඉදිරිපත් වූ ජාතික ජන බලවේගය ද තරග කළේ, සන්ධානගත වෙමිනි.

මේ අතර, ජාතික ජන බලවේගය ඇතුළු පක්ෂ සියල්ල ම පාහේ සන්ධානගත වෙමින් මෙවර මහ මැතිවරණය තරග කරන බවක් නිරීක්ෂණය වෙයි.

එවැනි වාතාවරණයක් තුළ ප්‍රධාන පක්ෂ කිහිපය මුහුණ දී ඇති අභියෝග මොනවා ද?


අලියා නැති එක්සත් ජාතික පක්ෂය


නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩී.එස්. සේනානායක විසින් ආරම්භ කරන ලද එක්සත් ජාතික පක්ෂය මෙවර මහ මැතිවරණයට සන්ධානගතව තරග කරන්නේ, එම පක්ෂයේ ආරම්භක ලකුණ වූ අලියා ලකුණින් නොවේ.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂය නුවරඑළිය සහ වන්නි දිස්ත්‍රික්ක සඳහා පමණක් අලියා ලකුණින් තරග කරයි.

2020 වසරේ පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත පරාජයක් හිමි වූ අතර, සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් එක් බෝනස් ආසනයක් පමණක් ඔවුන්ට හිමි විය.

එසේ ම, එම මැතිවරණයේදී පක්ෂයේ සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ඉදිරි පෙළ නායකයින් සැලකිය යුතු සංඛ්‍යාවක් සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයෙන් තරග කළහ.

එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් අවසන් වරට 2005 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර ඉන් පරාජය විය.



කැඩී බිඳී ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය


වර්ෂ 1951 දී එක්සත් ජාතික පක්ෂ රජයෙන් වෙන් වී එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අත ලකුණ යටතේ පිහිටුවා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද අද වන විට බෙදී වෙන්වී තිබේ.

එම පක්ෂයේ සමාජික සමාජිකාවන් කොටස් කිහිපයකට වෙන්වී වෙනත් පාර්ශව සමග සන්ධානගත වී ඇත.

ලෝකයේ ප්‍රථම අගමැතිනිය බිහි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1977 වසරේ පැවති මහ මැතිවරණයෙන් පසුව අත ලකුණ අතහැර බොහෝ දුරට තරග කර ඇත්තේ සන්ධානගතව වෙනත් නම්වලින් සහ ලකුණු යටතේ ය.



බලය නොලැබුණ ජනතා විමුක්ති පෙරමුණ


එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන් ම ඒවා සමග සම්බන්ධ වූ සන්ධාන අතර හුවමාරු වෙමින් තිබූ මෙරට පාලන බලය ලබා ගැනීමට එම පක්ෂවලට විකල්පයක් ලෙස ඉස්මතු වූ ජනතා විමුක්ති පෙරමුණට ද වසර ගණනාවක් නොහැකි විය.

1965 මැයි මස 14 වන වෙසෙක් පොහෝ දින ගාල්ලේදී ආරම්භ කරන ලද ජනතා විමුක්ති පෙරමුණ, සීනුව ලකුණින් මැතිවරණයකට ඉදිරිපත් වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් 1982 පැවති ජනාධිපතිවරණයට එහි ආරම්භකයා වූ රෝහණ විජේවීර ඉදිරිපත් වීමෙන් පසුව 1999 වසරේදී සීනුව ලකුණින් නන්දන ගුණතිලක ජනාධිපතිවරණයට ඉදිරිපත් විය.

කෙසේ වෙතත්, සීනුව ලකුණ සහ ජනතා විමුක්ති පෙරමුණ යටතේ දේශපාලන බලයක් ලබා ගැනීමට එම පක්ෂයට ද නොහැකි විය.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්වී මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පිහිටුවා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතා ම කෙටි කාලයක් තුළ මෙරට පාලන බලය සියතට ගැනීමට සමත් වූ අතර, කෙටි ම කාලයක් තුළ බලය අහිමි කර ගත් පක්ෂය ලෙස ද ඉතිහාසගත විය.

ඔවුන් ද බලය ලබා ගැනීමට සමත් වූයේ, තවත් පක්ෂ සමග සන්ධානගත වෙමිනි.

එම පක්ෂයේ හිමිකාරිත්වය දරන රාජපක්ෂවරුන් බොහෝ දෙනෙකු පවා මෙවර මැතිවරණයට තරග නොකරන අතර ජනාධිපතිවරණ අපේක්ෂකයා වූ නාමල් රාජපක්ෂ ද මැතිවරණයට තරග නොකර ජාතික ලැයිස්තුවට සිය නම ඇතුළත් කරගෙන සිටී.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වී සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ නිර්මාණය කරන ලද සමගි ජන බලවේගයට මෙතෙක් හිමිව ඇත්තේ මෙරට ප්‍රධාන විපක්ෂයේ භූමිකාව පමණකි.

එම පක්ෂය ද තවත් පක්ෂ හා සන්ධානගත වෙමින් පැවති මැතිවරණවලට තරග කළේ ය.

ඔවුන් පසුගිය ජනාධිපතිවරණයට තරග කළේ ද, සමගි ජන සන්ධානය ලෙස ය.

ඉහත කරුණු සලකා බැලිමේදී මෙරට තනි පක්ෂ කෙරෙහි තිබූ මහජන විශ්වාසය හීන වී ගොස් ඇති බව පමණක් නොව ප්‍රධාන පක්ෂවලින් වෙන්වී පිහිටුවා ගත් පක්ෂ කෙරෙහි පවා ජනතා විශ්වාසය පළුදු වී ඇති බවක් දක්නට ලැබෙන බව දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහස යි.

ඇතැම් ප්‍රධාන පෙළේ පක්ෂවල පාර්ලිමේන්තුව නියෝජනය කළ ජ්‍යෙෂ්ඨයින් රැසක් මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර ඇත.


'දේශපාලන පක්ෂ ක්‍රමයේ බරපතළ පරිවර්තනයක්'


ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමයේ බරපතළ පරිවර්තනයක් සිදුවෙමින් පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සුමිත් චාමින්ද පවසයි.

එම පරිවර්තනයේ ආරම්භය 90 දශකය දක්වා ඈතට දිව යන බව ඔහු පෙන්වා දෙයි.

රාජපක්ෂවරුන්ගේ අධිපත්‍යයෙන් පසුව එම තත්ත්වය ක්‍රමවත් ලෙස වර්ධනය වූ බව බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.

“මම හිතන්නේ දේශපාලන පක්ෂ ක්‍රමයේ ම වෙනසක් වෙලා තියෙනවා. එකක් තමයි 80 දශකයේ සිට වර්ධනය වුණ මාෆියා ප්‍රභූ තන්ත්‍රය පෙරළා දැමීම. ඒක හැම පක්ෂයකට ම බලපෑවා. ඒ පැළැන්තිය නියෝජනය කරපු සියලු ම පක්ෂවල සුජාතභාවය බිඳ වැටුණා. ඒ නිසා තමයි ඔවුන් විවිධ පක්ෂවලට මාරු වෙන, කෑලිවලට කැඩිලා යන ප්‍රවණතාව දකින්න තියෙන්නේ.”

“ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් පේනවා මහජනයා සම්පූර්ණයෙන් ම මේ නිදහස් විවෘත ආර්ථිකයෙන් පස්සේ ඇති වුණ මාෆියා ප්‍රභූ තන්ත්‍රයේ සියලු ම කොටස්වලට විරෝධය දක්වලා තියෙනවා කියලා,” ඔහු සඳහන් කළේ ය.


පැවැත්ම තහවුරු කරගන්නා පක්ෂ


ශ්‍රී ලංකාවේ ධනේෂ්වර පක්ෂ ඒ ආකාරයෙන් අර්බුදයට යන විට යම් ආකාරයකින් පක්ෂ ලෙස තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ වාමාංෂික ධාරාවේ පක්ෂවලට පමණක් බව කථිකාචර්යවරයා පවසයි.

“එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන්, පොහොට්ටුව සම්බන්ධයෙන්, සමගි ජන බලවේගය සම්බන්ධයේ ඒ බිඳී යාම්, අභ්‍යන්තර කැබලිවලට කැඩීම් වගේ කතන්දර ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් කියන්න බැහැ. සන්ධානයකින් තමයි බලයට ආවේ. නමුත් ඒ පක්ෂය තුළ එවැනි බිඳී යාම් සහ අභ්‍යන්තර අර්බුද එහෙම දකින්න ලැබෙන්නේ නැහැ. එතරම් ඡන්ද ප්‍රමාණයක් ගත්තේ නැති වුණත් පෙරටුගාමී සමාජවාදි පක්ෂය වගේ පක්ෂ, පක්ෂයක් ලෙස පැවැත්ම තහවුරු කරගෙන ඉන්නවා.”


අලුත් දේශපාලනයකට පිරවිය හැකි රික්තය

ප්‍රධාන පක්ෂවල බිඳ වැටීම හමුවේ ඇති වන රික්තයේ වාසිය ලබා ගත හැකි පර්ශවයන් ගැන කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන අංශයේ කථිකාචාර්ය සුමිත් චාමින්ද මෙසේ අදහස් පළ කළේ ය.

“පහුගිය ජනාධිපතිවරණයේදී එක එක පක්ෂවල සාමාජික මන්ත්‍රීවරුන් යම් යම් අපේක්ෂකයන්ට සහය දෙන්න ඉදිරිපත් වුණා. නමුත් ඒ ඉදිරිපත් වුණේ කිසි ම ප්‍රතිපත්තිමය, එහෙම නැතිනම් දේශපාලන දෘෂ්ටිවාදයක් වටා සංවිධානය වීමක් ලෙස නෙමෙයි. ඊට වඩා දේශපාලනයේ ඒ වෙලාවේ උපායික බලය ලබා ගැනීම සඳහා තියෙන ආසන්න තේරීම මොකක් ද කියන එක විතරයි ඔවුන්ට වැදගත් වුණේ. ඒ දේශපාලනය තමයි ජනතාව ප්‍රතික්ෂේප කළේ, මුලින් 2022 අරගලය තුළින් සහ දෙවනුව මේ ජනාධිපතිවරණය තුළින්. මම හිතන්නේ වමෙන් හෝ දකුණින් යම් ආකාරයක ප්‍රතිපත්ති මූලික සහ දෘෂ්ටිවාදීමය ලෙස සංවිධානය වුණු අලුත් දේශපාලනයකට තමයි යම් ආකාරකයට මේ රික්තිය පුරවන්න පුළුවන්.”


(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී ලංකාවේ ‘තනි පක්ෂ’ දේශපාලනය ඉවරයි ද?: පැවැත්මක් ඇති පක්ෂ මොනවා ද? | The Leader