ජනාධිපතිවරණයේ ඡන්ද උණුසුම ගෙවී යාමටත් ප්‍රථම, නැවතත් දේශපාලන කරළියට තවත් මැතිවරණයක උණුසුම දැනෙමින් පවතින සතියකි. අභිනව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා දැමීමෙන් පසුව මහ මැතිවරණය නොවැම්බර් 14 වැනි දා පැවැත්වීමට දින නියම වූ අතර ගෙවුණු සතිය තුළ නාම යෝජනා බාර දීම, නව සන්ධාන ඇති වීම වැනි සිදුවීම් මෙන්ම, දිස්ත්‍රික්කවල ඒ ඒ දේශපාලන පක්ෂවලින් ඉදිරිපත්වෙන අපේක්ෂකයන් පිළිබඳ සංවාද විසංවාද මතු වෙමින් තිබුනි.
එසේ මැතිවරණ උණුසුම ක්‍රමයෙන් තීව්ර වන විට, උතුරේ දකුණේ මතුවෙමින් පවතින විවිධ දේශපාලනික ප්‍රවණතා පිළිබඳ උතුරේත් දකුණේත් සිංහල දෙමළ ඉංග්‍රීසි පුවත්පත් විවිධ ලාක්ෂණික ගතිගුණ මතුකරමින් වුව, ප්‍රමාණික ලෙස වාර්තා කර තිබුණි.

මේ සතිය තුළ දෙමළ දේශපාලන අවකාශයේ ප්‍රවණතා සම්බන්ධයෙන්, දෙමළ පුවත්පත් විශේෂයෙන් අවධානය යොමු කළ කාරණා ද්විත්වයකි. එනම් දෙමළ පක්ෂ මහ මැතිවරණයට සූදානම් වීමේ ඝෝෂාවත්, නව ජනාධිපතිවරයා පත්වීමත් සමඟම දෙමළ ජනතාවගේ ඉල්ලීම් සම්බන්ධයෙන්, ඉන්දීය රජය කෙරෙන මැදිහත්වීමේ උත්සාහයත් යන කාරණාය.
ඉන්දියානු රජයේ මැදිහත් වීම පිළිබඳ උතුරේ දකුණේ පුවපත්පත් වල හැසිරීම
පසුගිය සැප්තැම්බර් 30 වැනිදා, ශ්‍රී ලංකාවේ ඉන්දියානු තානාපති සන්තෝෂ් ජා, කොළඹ දී දෙමළ පක්ෂවල නායකයන් සමඟ පැවති හමුවක් පිළිබඳ ඔක්තෝබර් පළමුවැනිදා, අප අධ්‍යයනය කරන සෑම දෙමළ පුවත්පතක්ම පාහේ වාර්තා කර තිබුණි. ඒ සෑම වාර්තාවකම, නව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නව ආණ්ඩුව සහ ඉන්දියාව අතර ඇති මිත්‍රත්වය වැඩි දියුණු කරගැනීම, නව ජනාධිපතිවරයා ඉන්දියාව සමඟ සුහදශීලිව කටයුතු කිරීමට ඇති සූදානම, එසේම ඉන්දියාව ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අඛණ්ඩව සහය ලබා දීම යන කාරණා පිළිබඳව ඉන්දිය තනාපතිවරයා දෙමළ පක්ෂවල නායකයන් සමඟ සාකච්ඡා කළ බව වාර්තා කර තිබුණි.
එසේම එදිනම කාලෙයිකදිර් සහ තිනක්කුරල් යන පුවත්පත් දෙකේ ඊට තරමක වෙනස් අන්තර්ගතයක් ඇති වාර්තා දෙකක් පළ වි තිබුණි. එම පුවත්පත් දෙකේම පළමු පිටුවේ පළ වී තිබුනේ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ එම ආණ්ඩුවෙන් ඉන්දීය රජය බල කර ඉල්ලා සිටින බව දෙමළ පක්ෂවල නායකයන්ට දැන්වූ බවය. එසේම, එම හමුවට තමිල් අරසු පක්ෂයේ මාවෙයි සේනාධිරාජා, සිවඥානම් ශ්‍රීදරන්, වෛද්‍ය සත්‍යලිංගම් සිද්ධාර්ථන්, ටෙලෝ පක්ෂ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් සහ ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණේ (EPRLF) නායක හිටපු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් වැනි දෙමළ දේශපාලන නායකයන් සහභාගි වූ බව එම වාර්තා දෙකේම සඳහන් කර තිබුණි.
කාලෙයිකදිර් වාර්තාව (පිටුව 1 - 2024.10.01) - 13 ක්‍රියාත්මක කරන ලෙස ඉන්දියාව ජනාධිපති අනුරගෙන් ඉල්ලා සිටිනු ඇත - ඉන්දීය තානාපති සන්තෝෂ් ජා
තිනක්කුරල් වාර්තාව - පිටුව 1 - 2024.10.01
ඔක්තෝබර් පළමුවැනිදා තමිලන් පුවත්පතේ පළමු පිටුවේ ඉන්දීය තානාපතිවරයා සහ දෙමළ පක්ෂ නායකයන් සමඟ පැවති හමුව සම්බන්ධයෙන් වෙනත් කාරණයක් ද මතු කර තිබුණි. එහිදි එම වාර්තාවේ දක්වා තිබුණේ, ඉදිරි මහ මැතිවරණයේදී දෙමළ දේශපාලන පක්ෂ එක්ව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකාවේ ඉන්දීය තානාපති සන්තෝෂ් ජා පැමිණ සිටි දෙමළ පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටි බවයි.
තමිලන් වාර්තාව (පිටුව 2 - 2024.10.01) - ඉදිරි මැතිවරණයේදී දෙමළ දේශපාලන පක්ෂ එක්ව කටයුතු කළ යුතු යැයි සන්තෝෂ් ජා ඉල්ලීමක් කරයි.
ඉන් අනතුරුව ඔක්තෝබර් හතරවැනිදා ඉන්දියානු විදේශ ඇමැති සුබ්‍රමනියම් ජයශංකර් ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණි අතර එම සිදුවීම ද සෑම දෙමළ පුවත්පතක්ම පාහේ වාර්තා කර තිබුණි.
එසේම ඔක්තෝබර් 5 වැනිදා කාලෙයිමුරුසු සහ ඊළනාඩු පුවත්පත්වල පළමු පිටුවේ සහ ඔක්තෝබර් 6 වැනිදා තිනක්කුරල් පළමු පිටුවේ ඉන්දිය විදේශ අමාත්‍යවරයා විසින් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ඉවහල් වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර්, ජනාධිපති අනුරකුමාර දිසානායක වෙත අවධාරණය කළේ යැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් පදනම් කරගනිමින් වාර්තා කර තිබුණි.
කාලෙයිමුරුසු වාර්තාව - පිටුව 1 - 2024.10.05
ඊළනාඩු වාර්තාව (පිටුව 1 - 2024.10.05)- පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම 13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට උපකාරී වනු ඇත අමාත්‍ය ජයශංකර් ජනපති අනුරට පවසයි
තිනක්කුරල් වාර්තාව - පිටුව 1 - 2024.10.06
මෙසේ ලංකාවේ දේශපාලනයට ඉන්දියානු මැදිහත් වීම පිළිබඳව දෙමළ පුවත්පත් වැඩි අවධානයක් යොමු කර තිබුණු නමුත්, දකුණේ සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත් ඒ පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වා තිබුනේ නැත. බොහෝ පුවත්පත් ඉන්දියානු විදේශ ඇමතිවරයා සිදුකරන ලද ශ්‍රී ලංකා සංචාරය හුදු චාරිත්‍රානුකුල සුහද සංචාරයක් ලෙස වාර්තා කොට තිබුණු අතර එම වාර්තා වල අවධාරණය කර තිබුනේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකා රජය අතර ඇති මිත්‍රත්වය වැඩි දියුණු කර ගැනීමත් ආර්ථික සංවර්ධනයට ඉන්දියාව විසින් ලබා දෙන සහයෝගයත් යන කාරණා පිළිබඳවය. ඒ අතරවාරේ ඉන්දියානු විදේශ ඇමතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ තරමක වෙනස් ආකාරයේ අන්තර්ගතයක් දිවයින සහ සන්ඩේ ටයිම්ස් පුවත්පත් වල පමණක් වාර්තා වි තිබුණි.
ඔක්තෝබර් 3 වැනිදා දිවයින පුවත්පතේ පළමු පිටුවේ ‘මහ ඡන්දෙට එක්වන්නැයි දෙමළ පක්ෂවලට උපදෙස් ‘ යන සිරස්තලය සහිතව වාර්තාවක් පළ වි තිබුණි. එහි දෙමළ දේශපාලන පක්ෂවලට මහ මැතිවරණයේදි එකට එක්ව තරග කරන්නැයි ශ්‍රී ලංකා ඉන්දීය මහ කොමසාරි සංතෝෂ් ජා උපදෙස් දුන් බව තමිල් අරසු පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් වවුනියාවෙදි පැවසුවේ යැයි වාර්තා කර තිබුණි. පක්ෂ ලෙස වෙන්වෙන්ව තරග කළ හොත් පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් දෙමළ මන්ත්‍රී කණ්ඩායමක් තෝරා පත් කර ගැනීමට නොහැකි වන බවත් අඩෙයිකලනාදන් පැවසුවේ යැයි වාර්තාවේ සඳහන් කොට තිබුණි.
2024.10.03 දිවයින පුවත්පතේ පළමු පිටුවේ ‘මහ ඡන්දෙට එක්වන්නැයි දෙමළ පක්ෂවලට උපදෙස් ‘ යන සිරස්තලය සහිත වාර්තාවක්
ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් විසින් සිදුකරන ලද සංචාරයත්, ශ්‍රී ලංකාවේ දේශපාලන අවකාශයට ඉන්දියාව කරන මැදිහත් වීම පිළිබඳ දැක්වෙන තරමක දිගු, මත පළකෙරෙන ලිපි දෙකක් දිවයින සහ සන්ඩේ ටයිම්ස් පුවත්පත් වල පළ වී තිබුණි.
ඔක්තෝබර් 6 වැනිදා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ඉන්දියා විදේශ ඇමතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ පළ වු වාර්තාවේ, ආර්ථික සංවර්ධනය, ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරිම වැනි කාරණා සඳහන් කරන අතරවාරයේ අනෙක් දකුණේ පුවත්පත් මෙන් නොව, දෙමළ ජනතාවගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ඉන්දියාව කරන මැදිහත් වීම පිළිබඳ මඟ නොහැර වාර්තා කිරීමට උත්සුක වී තිබුණි. එම වාර්තාවේ පැහැදිලිව සඳහන් කොට තිබුනේ, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය විදේශ ඇමති සුබ්‍රමනියම් ජයශංකර් හමුවේදි, දහතුන්වැනි ව්‍යවස්ථාව සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සහ කෙටි කාලයකින් පළාත් සභා ඡන්දය පැවැත්වීම රටේ ජාතීන් අතර සංහිඳියාව ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇති බව ඉන්දිය විදේශ ඇමති වරයා විසින් අනුර කුමාර ජනාධිපතිවරයාට අවධාරණය කළ බවයි.
සන්ඩේ ටයිම්ස් වාර්තාව - පිටුව 10 - 2024.10.06
එහෙත් ඔක්තෝබර් 6 වැනි දා ඉරිදා දිවයින පුවත්පතේ ‘ඉන්දීය විදේශ ඇමති අනුරට රැගෙන එන උතුරේ අර්බූදය’ යන මැයෙන් පළ කර තිබුනේ, දෙමළ ජනතාවගේ ඉල්ලීම් දිනා ගැනීමේ අරමුණින් උතුරේ දෙමළ පක්ෂ කරන දේශපාලනය වෙත එල්ල කරන ලද දැඩි විවේචනයක් සහිත ලිපියකි. එම ලිපියට අනුව ‘දෙමළ ජාතික සන්ධානය’ යනු දෙමළ ඉල්ලීම් සහ සටන් පාඨ තුළින් ජීවත්වන බලවේගයකි. දෙමළ දේශපාලන තලයේ එනමින් සන්ධානයක් මෙකල ක්‍රියාත්මක වන්නේ නැතිබව විවේචකයා නොදන්නේද, එසේත් නැතහොත් සිංහල පාඨකයා නොමග යැව්වේද යන්න සැලකිලිමත් විය යුත්තකි. එම ලියුම්කරුට අනුව, එම පක්ෂය ක්‍රියාකරන්නේ විදේශ බලපෑම් සහ දෙමළ ඩයස්පෝරාවේ උවමනා එපාකම් වලට අනුවය. එසේම එම ලිපිය තුලින්, ඉන්දියානු රජය, දෙමළ ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් මැදිහත් වන මොහොතක එවැනි විදේශ බලපෑම් වලට මුහුණ දීම සඳහා ශක්තිමත් හඬක් උතුර නැගෙනහිර ජනතාව තුළින්ම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා නිර්මාණය කර ගත යුතු බවට සිහි කැදවීමක් ද කරයි. තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා ඉදිරිපත්වන, සටන් කරන දෙමළ දේශපාලනයක් වෙනුවට, දකුණේ උවමනා එපාකම් වෙනුවෙන් නැටවෙන දකුණට අවශ්‍ය ‘ශක්තිමත් හඬක්’ උතුර නැගෙනහිරින් නිර්මාණය කරගත යුතු බවට වත්මන් ජනාධිපතිවරයාට යෝජනා කරන්නේ, කුමන ආකාරයේ සිංහල පුවත්පතක්ද යන්න අප නැවත වරක් සිතා බැලිය යුතුය.
දිවයින වාර්තාව - පිටුව 13 - 2024.10.06
එසේම ශ්‍රී ලංකාවේ දේශපාලනයට කෙරෙන ඉන්දියානු මැදිහත් වීම දකුණට වැදගත් වන්නේ, ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ලැබෙන ආධාර සහ දෙරට අතර ඇති ද්විපාර්ශ්වික සබඳතා දියුණු වීම වැනි කාරණාවලට අදාළව පමණි. එහෙත් ඉන්දියානු මැදිහත් වීම උතුර නැගෙනහිර දෙමළ දේශපාලනයට වැදගත් වන්නේ, ඔවුන්ගේ මිනිස් ස්වාධිනත්වය රැකගැනීමේ දීර්ඝ කාලින අරගලය සමඟ එය සෘජූවම බැඳි පවතින නිසාය. ඉන්දු ලංකා ගිවිසුම ප්‍රකාර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව ආයුධ සන්නද්ධවූ ඉතිහාසයක් සහිත පක්ෂ නායකයකු රාජ්‍ය නායකයා වී සිටියදී ඉන්දියාව ඉහල මට්ටමින් එම සාකච්ඡාවට අවතීර්ණ වීම සිත්ගන්නාසුළු පුර්වාපර සන්ධි ගැලපීමකි. ඉන්දියානු මැදිහත්වීම පිළිබඳ දෙමළ පුවත්පත් වඩාත් උනන්දු වන්නේත්, දකුණේ පුවත්පත් වලට එය එතරම් සැළකිල්ලට ගත යුතු කාරණාවක් නොවන්නේත් ඒ නිසාමය.
දෙමළ පක්ෂ මහ මැතිවරණයට සූදානම් වීම උතුරේ දකුණේ පුවත්පත්වල වාර්තා වි තිබුණු අන්දම

ගෙවුණු සතියේ දෙමළ පුවත්පත් වාර්තාකරණය අධ්‍යයනය කරන විට, මහ මැතිවරණය සඳහා දෙමළ පක්ෂ සංවිධානය වීම පිළිබඳ අතීරණාත්මක සංකීර්ණ තත්වය මැනවින් වටහා ගත හැකිය. සමහර දේශපාලන පක්ෂ ඉන්දියානු මැදිහත් වීම අනුව යමින්, දෙමළ පක්ෂ එක්කාසු කිරීමට උත්සාහ කරති. සමහර දෙමළ පක්ෂ ඊට ප්‍රතිවිරෝධි මත පළකරති.
ඔක්තෝබර් පළමුවැනිදා තිනකරන් පුවත්පතේ පළමු පිටුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්දිරන් පැවසු ප්‍රකාශයක් පිළිබඳ වාර්තාවක් පළ වී තිබුණි. එහි “අපි නැවතත් සහෝදර දෙමළ පක්ෂවලට ආරාධනා කරලා තියෙනවා එකට තරග කරන්න එන්න කියලා. ඊට එකඟ නොවුණොත් තමිල් අරසු කච්චි පක්ෂය තනිව තරග කරනවා.” මෙම ප්‍රකාශයේ දෙමළ පක්ෂ එකතු වීමේ උවමනාවත්, එසේ කිරීමට දෙමළ පක්ෂ එකඟ නොවීමේ විය හැකියාවත් මැනවින් පිළිඹිබු වෙයි.
තිනකරන් වාර්තාව (පිටුව 1 - 2024.10.01)- “අපි නැවතත් සහෝදර දෙමළ පක්ෂවලට ආරාධනා කරලා තියෙනවා එකට තරග කරන්න එන්න කියලා. ඊට එකඟ නොවුණොත් තමිල් අරසු කච්චි පක්ෂය තනිව තරග කරනවා.”
ටෙලෝ සංවිධානයේ සභාපති සෙල්වම් අඩෙයික්කලනාදන් දෙමළ පක්ෂ එකට එක්ව තරග කිරීම පිළිබඳ දැක්වූ අදහස් සහිත වාර්තාවක් ඔක්තෝබර් 2 වැනි දා කාලෙයිකදිර් සහ තමිලන් පුවත්පත්වල පිළිවෙලින් පළමු සහ දෙවැනි පිටු වල පළ වී තිබුණි. එම වාර්තාවලට අනුව ඔහු සදහන් කොට තිබුනේ දෙමළ පක්ෂ වෙන් වෙන්ව මැතිවරණයට මුහුණ දෙන්නේ නම් තරග කරන එම ආසන අහිමි වි යා හැකි බවය. දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳිය හැක්කේත් අලුත් පාලකයන් සමඟ සාකච්ඡා කොට සම්මුතියකට පැමිණිය හැක්කේත් දෙමළ ජාතිකයන්ට වැඩි ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමෙන් පමණක් යැයි ඔහු අවධාරණය කළ බව එම වාර්තාවල සඳහන් කොට තිබුණි.
තමිලන් වාර්තාව (පිටුව 2 - 2024.10.02) - දෙමළ පක්ෂ වෙන් වෙන්ව මැතිවරණයට මුහුණ දෙන්නේ නම් තරග කරන එම ආසන අහිමි වි යා හැකි බවසෙල්වම් අඩෙයිකලනාදන් පැවසීය
කාලෙයිකදිර් වාර්තාව - පිටුව 1 - 2024.10.02
එසේම ඔක්තෝබර් තුන්වැනිදා කාලෙයිකදිර්, ඊළනාඩු සහ පුදියසුදන්දිරන් යන පුවත්පත් වල 10, 12 සහ 13 වැනි පිටුවල ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් යාපනය කතෝලික රදගුරු පූජක සභාව විසින් නිකුත් තළ මාධ්‍ය නිවේදනයක් පිළිබඳ වාර්තා කර තිබුණි. එහි ප්‍රධාන වශයෙන් දක්වා තිබුනේ, පක්ෂ බෙදීම්, අභ්‍යන්තර පක්ෂ ගැටුම් සහ දේශපාලන අපැහැදිලි බව වැනි බොහෝ සාධක නිසා දෙමළ ජනතාව අතර ව්‍යාකූලත්වයක් ඇතිව තිබෙන අතර, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදීත් මේ තත්වය දිගටම පැවතුණොත් දෙමළ පාර්ලිමේන්තු නියෝජිතයන් සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි වනු ඇතිය යන්නය.
කාලෙයිකදිර් වාර්තාව - පිටුව 10 - 2024.10.03
ඊළනාඩු වාර්තාව - පිටුව 12 - 2024.10.03
පුදියසුදන්දිරන් වාර්තාව - පිටුව 13 - 2024.10.03
එක් පිරිසක් දෙමළ පක්ෂ එක්විය යුතුය යන අදහස මතු කරන අතර තවත් සමහර පාර්ශ්වයන් ඒ පිළිබඳ ප්‍රතිවිරෝධි අදහස් දක්වා තිබුණි.
ඔක්තෝබර් පළමුවැනි දා තිනක්කුරල් පුවත්පතේ නවවැනි පිටුවේ දෙමළ පක්ෂ එකතු වී කටයුතු කිරීමේ අදහසට විරෝධය පාන අදහසක් වාර්තා කර තිබුණි. එහි සඳහන් කොට තිබුනේ, සුමන්දිරන් ප්‍රමුඛ කණ්ඩායම සමඟ කිසිවිටෙකත් සමගිය ඇති කළ නොහැකි බව දෙමළ ජාතික පක්ෂ නායක එන්. ශ්‍රීකාන්තා පැවසූ බවකි.
ඔහු එසේ පැවසුවේ ඔක්තෝබර් 29 වැනිදා යාපනයේ පැවති රැස්වීමකදීය.
“ මුලින් තමිල් අරසු කච්චි පක්‍ෂය තුළ එකමුතුකම ඇති කර ගැනීමට නොහැකි පිරිසකට අනෙක් පක්ෂ වලට එකමුතු වෙන්නට ආරාධනා කිරීම මුළු දෙමළ සමාජයම රැවටීමේ උපක්‍රමයකි.”
ඊළනාඩු වාර්තාව (පිටුව 1 - 2024.10.02)- දෙමළ ජාතික සන්ධානයට නැවත එක්වන ලෙස ඔවුන්ට කිසිදු කැඳවීමක් ලැබී නැති බවට දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් විසින් කරන ප්‍රකාශය
එසේම ඔක්තෝබර් 2 වැනි දා ඊළනාඩු පුවත්පතේ පළමු පිටුවේ සඳහන් වූ වාර්තාවක සඳහන් කොට තිබුනේ දෙමළ ජාතික සන්ධානයට නැවත එක්වන ලෙස ඔවුන්ට කිසිදු කැඳවීමක් ලැබී නැති බවට දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් විසින් කරන ප්‍රකාශයකි. එම නිසා එම පක්ෂය මහ මැතිවරණයට තනිව තරග කරන බව එහි දැනුම් දී තිබුණි.
ඔක්තෝබර් පළමුවැනිදා තමිලන් පුවත්පතේ හයවැනි පිටුවේ පළකර තිබුනේ නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී භූපාලපිල්ලෙයි ප්‍රශාන්තන් දෙමළ ජාතික සන්ධානයට විරුද්ධව දැක්වූ චෝදනාත්මක අදහසකි. එහි සඳහන් කොට තිබුනේ, දෙමළ ජාතික සන්ධානය සෑම මැතිවරණයකදීම කුමක් හෝ තේමාවක් ගෙනැවිත් දෙමළ ජනතාව ව්‍යාකූල කරන බවකි. වසර 62ක් තිස්සේ ඔවුන් සිදු කර ඇත්තේ එසේ කරමින් ජනතාව රවටමින් ඡන්ද ලාබ ගැනීම යැයි ඔහු පැවසූ බවට එම වාර්තාවේ සඳහන් කොට තිබුණි.
තමිලන් වාර්තාව -පිටුව 6 - 2024.10.01
උතුරේ දෙමළ පුවත්පත්වලින් දෙමළ දේශපාලන අවකාශයේ නිරීක්ෂණය වූ සංකීර්ණ වියවුල් සහගත භාවය, ගෙවුණු සතියේ දකුණේ සිංහල සහ ඉංග්‍රීසි පුවත් වාර්තාකරණයෙන් ද දැකිය හැකි විය.
ඔක්තෝබර් 2 වැනි දා සිලෝන් ටුඩේ පළමු පිටුවේ ප්‍රධාන පුවත ලෙස වාර්තා කර තිබුණේ, උතුරු පළාතට සම්බන්ධයක් ඇති, අල්ලිරාජා සුභාෂ්කරන් නම් ව්‍යාපාරිකයා දේශාපාලනයට පිවිසීමේ බපාපොරොත්තුවෙන් මහ මැතිවරණයට උතුර නැගෙනහිර දෙමළ පක්ෂ එකට එකතු කිරීමට දරන උත්සායහක් පිළිබඳ පුවතකි. එසේම එම දීර්ඝ වාර්තාව තුළ දෙමළ දේශපාලන අවකාශය තුළ මතුවී ඇති නවතම තත්වය සහ අභියෝගයන් පිළිබඳ ද විස්තරයක් පළ වී තිබුණි. එසේම ඔක්තෝබර් තුන්වැනි දා මව්බිම පුවත්පතේ පළමු පිටුවේ ප්‍රධානතම වාර්තාව ලෙස දෙමළ ව්‍යාපාරික අල්ලිරාජාගේ දේශපාලන ආගමනය පිළිබඳව වාර්තා කර තිබුණි. ඔහු දෙමළ පක්ෂ කිහිපයක් සේම ජනාධිපති අනුර කුමාර දිසානායකවත් මුණ ගැසුණු බව සඳහන් වී තිබුනේය.
සිලෝන් ටුඩේ වාර්තාව - පිටුව 1 - 2024.10.02
මව්බිම වාර්තාව - පිටුව 1 - 2024.10.03
ඔක්තෝබර් 6 වැනිදා සන්ඩේ ටයිම්ස් පුවත්පෙත් 4 වැනි පිටුවේ, ධනවත් දෙමළ ජාතික ප්‍රබලයෙක් දේශපාලන අරමුණක් වෙනුවෙන් දෙමළ පක්ෂ එක් කිරීමේ උත්සාහයක් දරන බවට සඳහන් කෙරුනු වාර්තාවක් පළ වී තිබුනි.
සන්ඩේ ටයිම්ස් වාර්තාව - පිටුව 4 - 2024.10.06
ඔක්තෝබර් මස මුල් සතියේ මේ ආකාරයෙන් දෙමළ සුපිරි ධනවතකු දේශපාලන කරළියට පැමිණීම පිළිබඳ දකුණේ පුවත්පත් වාර්තා කොට තිබුණ ද පුදුමයට කාරණය නම් ඒ දිනවල අප අධ්‍යයනය කළ එක ද දෙමළ පුවත්පතක වත් අල්ලිරාජා සුභාෂ්කරන් නම් දෙමළ ව්‍යාපාරිකයාගේ ආගමනය පිළිබඳව හෝ දෙමළ පක්ෂ එක් කිරීමේ ඔහුගේ උත්සාහය පිළිබඳව වාර්තා කොට තිබුනේ නැත.
ඔක්තෝබර් 3 වැනි දා සිලෝන් ටුඩේ පුවත්පතේ පළමු සහ දෙවැනි පිටුවල, තමිල් අරසු පක්ෂය සහ ප්‍රජානත්ත්‍රවාදි දෙමළ ජාතික සන්ධානය සමඟ මහ මැතිවරණයේදී එක්ව තරග කිරීම පිළිබඳ සාකච්ජා කරන බව දැක්වෙන වාර්තාවක් පළ කර තිබුනි.
සිලෝන් ටුඩේ වාර්තාව - පිටුව 1 - 2024.10.03
ඉන්පසු ඔක්තෝබර් 7 වැනිදා අරුණ පුවත්පතේ වාර්තාවක පළ වී තිබුනේ, තමිල් අරසු පක්ෂය උතුරු නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික්ක හයක් සඳහා තනිව තරග කිරීම හා ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය සඳහා තරග කරන ආකාරය ගැන තවදුරටත් සාකච්ජා කරමින් සිටින බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් පැවසූ බවය.
අරුණ වාර්තාව - පිටුව 2 - 2024.10.07
දකුණේ සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත්වල ද දෙමළ පුවත්පත්වල මෙන්, මේ මොහොතේ උතුරේ දෙමළ දේශපාලනය තුළ පවතින ව්‍යාකූල සහ සංකීර්ණ තත්වයන් පිළිබඳව අඩු වැඩි වශයෙන් වාර්තා පළ වුව ද, එම සතිය තුළ අප අධ්‍යයනය කළ සිංහල ඉංග්‍රීසි සියළුම පුවත්පත්වල දෙමළ දේශපාලනය පිළිබඳව පළ වී තිබුණේ සාපේක්ෂව ඉතාමත් අඩු පුවත් වාර්තා සංඛ්‍යාවකි. එය මේ මොහොතේ දකුණේ දේශපාලනය විසින්, උතුරේ දේශපාලන ගතියකයන්ට ලබා දෙන වැදගත්කම, සැළකිල්ල කියා පාන දර්ශකයක් ලෙස ද අපට තේරුම් ගත හැකිය.
සටහන - සුභාෂිණි චතුරිකා
සබැඳි ලිපි :
පශ්චාද් ජනාධිපතිවරණ සමයේ උතුරේත් දකුණේත් පත්තර පිටු
සුමන්දිරන් සමගි ජනබලවේගයට සහාය පළ කිරීම සහ අනුරගේ යාපා පටුනේ ප්‍රකාශනය
ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන සහ පත්තර අන්දර
දෙමළ ජනාධිපති අපේක්ෂක, අනුරපුර නාමල්ගේ සත්‍යක්‍රියාව සහ දකුණට මඟ හැරෙන උතුරු කතන්දර
දෙමළ ‘පොදු අපේක්ෂක,’ වතුකම්කරු පඩිය සහ නාමල්ගේ ආගමනය මුද්‍රිත පිටු අතරේ ලියැවුණු අයුරු
ආණ්ඩුවේ ඊනියා සමාව ගැනීම සහ සුපුරුදු මැතිවරණ පොරොන්දු මුද්‍රිත පිටු අතරේ ලියැවුණු අයුරු
දෙමළ මනාප පිටියේ රනිල් සජිත් පොරය



