The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පාලකයන් ගේ නඩත්තු වියදම් සම්භාරය ජනතාවගේ කර මතින් ඉවත ලමු ද? – (මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර)

T

The Leader Desk

October 20, 2024 • 10:10 AM

පාලකයන් ගේ නඩත්තු වියදම් සම්භාරය ජනතාවගේ කර මතින් ඉවත ලමු ද? – (මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ දෙස පසෙකට වී බලා සිටින්නකු හර “මේ මොන කෑදර කමක්දැ?” යි සිතෙන මට්ටමට තත්වය බරපතල අතට හැරී තිබේ.
  • ජනතාවට සේවය කිරීමට කියා බලය ඩැහැ ගැනීමට කෑදර කම් පාන්නවුන් ගේත් ක්‍රියාකාරකම් සේම මේ වන විට දේශපාලන බලය අත්පත් කර ගත් බොහෝ දෙනකු තුළ පවත්නා එය අතහැරීමට ඇති බරපතල නොකැමැත්ත ද මේ වන විට ඉතා පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි ය.
  • ඉතා මෑත දිනයෙක අප රටේ සිටින මුල් පෙළේ දේශපාලනඥයකු දේශපාලනඥයන් විශ්‍රාම නොයන බවට කළ ප්‍රකාශය ද ඒ සම්බන්ධ වැදගත් සාක්ෂියකි.
  • ඉන් පැවසෙනුයේ පංචේන්ද්‍රියන් දුබලව “මර ඇඳේ දී පවා” දේශපාලනය අත හැරීමේ අභිලාෂයක් තමන් තුළ නොමැති බවක් ද?
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ දෙස පසෙකට වී බලා සිටින්නකු හර “මේ මොන කෑදර කමක්දැ?” යි සිතෙන මට්ටමට තත්වය බරපතල අතට හැරී තිබේ. ජනතාවට සේවය කිරීමට කියා බලය ඩැහැ ගැනීමට කෑදර කම් පාන්නවුන් ගේත් ක්‍රියාකාරකම් සේම මේ වන විට දේශපාලන බලය අත්පත් කර ගත් බොහෝ දෙනකු තුළ පවත්නා එය අතහැරීමට ඇති බරපතල නොකැමැත්ත ද මේ වන විට ඉතා පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි ය.

 

ඉතා මෑත දිනයෙක අප රටේ සිටින මුල් පෙළේ දේශපාලනඥයකු දේශපාලනඥයන් විශ්‍රාම නොයන බවට කළ ප්‍රකාශය ද ඒ සම්බන්ධ වැදගත් සාක්ෂියකි. ඉන් පැවසෙනුයේ පංචේන්ද්‍රියන් දුබලව “මර ඇඳේ දී පවා” දේශපාලනය අත හැරීමේ අභිලාෂයක් තමන් තුළ නොමැති බවක් ද? අප වටහා ගෙන ඇති අන්දමට වර්තමාන දේශපාලනඥයන් තුළ පවත්නා මෙම අසීමිත බල කාමයට පදනම් වී ඇත්තේ ඔවුන් හට හිමිව ඇති අසීමිත වරප්‍රසාද සම්භාරය විය යුතු ය.

මෙවන් පසුබිමක් යටතේ හිටපු ජනාධිපතිවරුන්ගේ ඇමැතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් දැනට පවතින අණ පනත් අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් නව නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කොට තිබේ. ඉතා යුක්ති ධර්මීය පදනමක් මත හා විනිවිද භාවයෙන් යුතුව කරුණු විමසා ඒවා විශ්ලේෂණය කරනු පිණිස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි ගේ සභාපතිත්වයයෙන් යුතුව පිහිටුවන ලද මෙම ත්‍රිපුද්ගල කමිටුවේ සෙසු සාමාජිකයනට විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩී. දිසානායක සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් ජයන්තා බුළුමුල්ල යන සාමාජිකයෝ අයත් වෙති.

 



මෙම ත්‍රිපුද්ගල කමිටුව සිය වරප්‍රසාද සහ ඒවායේ අවශ්‍යතාව සම්බන්ධයෙන් තමන් වෙත ලිඛිතව කරුණු දක්වන ලෙස හිටපු ජනාධිපතිවරුන්ට දැනුම් දී ඇතැයි ද වාර්තා වේ. මේ අනුව හිටපු ජනාධිපතිවරුන් කිහිප දෙනකු දැනටමත් ඒ සම්බන්ධයෙන් එම කමිටුවට කරුණු වාර්තා කර ඇතැයි ද සඳහන් ය. පසුව මෙම කමිටුව සකස් කරන වාර්තාවේ දැක්වෙන නිර්දේශ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර එම වරප්‍රසාද සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගන්නා බව අමාත්‍ය විජිත හේරත් පවසා තිබේ. ඒ පිළිබඳව මූලික ව කිව හැක්කේ එහි කිසිදු දොසක් නොමැති බව ය. මේ වන විට දැන ගන්නට ලැබී ඇති අන්දමට හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම්, දීමනා හා වරප්‍රසාද පිළිබඳ පනත් කෙටුම්පත අනුව එම හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන්නේ විශ්‍රාම වැටුපක්, නිල නිවසක්, වාහන තුනක් ඒ සඳහා ඉන්ධන සහ පෞද්ගලික ලේකම්වරයකු සදහා වන චේතන පමණි.

තත්වය එසේ වුවද පසුගිය කාල වල දී හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද යටතට තවත් වරප්‍රසාද ඇතුළත් කර ඔවුන් ගේ ජල හා විදුලි බිල්පත් පවා රජයේ වියදමින් ගෙවීම් කර තිබූ බව වාර්තා වී තිබේ. ඒ අනුව, විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ එක් එක් ආරක්ෂක කොට්ඨාස සඳහා අනුයුක්ත කර ඇති කාර්ය මණ්ඩල සහ ආරක්ෂක නිලධාරීන් ගණන ද ආරක්ෂාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් හෝ වෙනත් අමාත්‍යාංශයක් හෝ විසින් අනුයුක්ත කරනු ලැබ ඇති වාහන සංඛ්‍යාව ද මෙම කමිටුව විසින් විමසුමට ලක් කිරීමට නියමිත බව පැවසෙයි. එම ආරක්ෂක කොට්ඨාශ සඳහා කුලී පදනම මත ගොඩනැගිලි ලබාගෙන ඇත්නම් ඒ සදහා වැයවන මාසික කුලිය සහ සපයා ඇති වෙනත් පහසුකම් සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, අමාත්‍යවරුන්ගේ සහ හිටපු ජනාධිපති වරුන්ගේ හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලය පත්කර ඇති කමිටුව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ද මේ සම්බන්ධයෙන් දැනටමත් කරුණු විමසීමක් කර ඇතැයි වාර්තා වේ.

presidents

 

ප්‍රධාන වශයෙන් මහජන මුදල් අනිසි ලෙස නාස්ති වීම වලකාලන මෙම ක්‍රියාමාර්ගය මඟින් මේ වන විටත් ජාත්‍යන්තර ගෙවුම් ශේෂ අර්බුදයක සිරවී ඇති ශ්‍රී ලංකාව ඉන් මුදා ගැනීමට අල්ප මාත්‍රික හෝ පිටිවහලක් වනු ඇතැයි යමකුට තර්ක කළ හැක. ඒ අනුව මූලික වශයෙන් ගත් කළ පවා මෙය නිශේධනාත්මක තත්වයක් සේ අපට නොහැඟේ. හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වරයාගේ ගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස නඩත්තුව සඳහා (2022 – 2024) යන වසර තුනේ දී පමණක් වැය කර ඇති මුදල රුපියල් කෝටි විසි හතක් බව මහ බැංකු වාර්තාවල සඳහන් වේ.

එම වාර්තාවට අනුව මෙම පිරිස නඩත්තුව සඳහා 2022 වර්ෂයේදී වැය කර ඇති මුදල රුපියල් කෝටි හතකි. 2023 වර්ෂයේදී එම මුදල රුපියල් කෝටි අටකට වැඩි මුදලක් දක්වා ද මෙම වර්ෂයේ එම මුදල රුපියල් කෝටි 11 දක්වා ද වර්ධනය වී ඇත. ඒ අනුව මෙම හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් පමණක් වෙන් කර ඇති මුදල පසුගිය කාලයේ දී සියයට 45 කින් පමණ වර්ධනය වී ඇතැයි පැවසෙයි. නමුදු මේ වන විට ක්‍රියාත්මක වන පරිපාලන යාන්ත්‍රණයන් මඟින් ඒ මුදල් කෙසේ යොදවන ලද්දේ ද යන සැකය ද මෙහි දී ඉවත දැමිය නොහැක.

රජයට මුදල් තිබේ ද? - (මහාචාර්ය රොහාන් සමරජීව)

 

හිටපු මෙන්ම බලයේ හිඳින ජනාධිපති අගමැති වැනි ඇමති ඇතුළු සමස්ත දේශපාලනඥයන් නඩත්තුව සඳහා යොදන මහජන මුදල් සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කොට ඒවා මුල් කොට සුදුසු යාවත්කාලීන ප්‍රතිසංස්කරණයන් සිදු කිරීම ඉතා වැදගත් කාරියකි. එමෙන්ම හුදෙක් අප රටේ පවත්නා දේශපාලනික සංස්කෘතික වෙනසක් මිස පක්ෂ දේශපාලනමය ව්‍යුහයක් තුළින් පමණක් ඉස්මතු කළ යුතු වෙනසක් නොවන මෙමගින් අප රටේ දේශපාලන දිශානතිය නව මානයකට යොමු වනු නියත ය. එමෙන්ම එම දේශපාලන සංස්කෘතික පුනරුදය ඇති කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ නියුතු සැමගේ සම, සාමුහික වගකීමක් බව ද ඒකාන්ත වශයෙන්ම කිව යුතුය. මක් නිසාද යත් දේශපාලනඥයා යනු හුදෙක් ජනතාව වෙනුවෙන් කැපවන්නෙක් බැවිනි.

පසුගිය කාලයේ අප හට අසන්නට ලැබුණු පුවතකින් අනාවරණය වූ අන්දමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේ පවත්වාගෙන යාම වෙනුවෙන් රුපියල් කෝටි නවයක පමණ මහජන මුදලක් වාර්ෂිකව වැය කිරීමට සිදු වන බවකි. දරිද්‍රතාව මත පදනම් වන කුසගින්න ප්‍රධාන අර්බුදයක්ව පවතින සමාජයක එමගින් පාර්ලිමේන්තුවට පිවිසෙන දෙසිය විසිපස් දෙනකුගේ රස නහර පිනවීමට එපමණ මුදලක් වැය වන්නේ නම් නිසැක ලෙසම එය බරපතල සමාජ විපරීතයකි.

 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන කඹ ඇදිල්ලක් !
වත්මන් ගෝලීය නව ලිබරල්වාදය මගින් සමස්ත ලෝක ප්‍රජාවම භෞතිකමය පදනමක් මත උපභෝග පරිභෝග සම්පත් කෙරෙහි වැඩි අගැයුමක් ලබා දෙන ඓහලොකීයරණය (Secularization ) වෙත යොමුව ඇති බව ඉතා පැහැදිලි ය. එහි දී තමන් තුළ පවත්නා මූලික අවශ්‍යතා අතික්‍රමණය කෙරෙන සෙසු අවශ්‍යතා සහ ආශාවන් සංතෘප්ත කරගැනීම සඳහා මිනිසුන් තුළ පවත්නා උනන්දුව ශීඝ්‍රයෙන් ඉහළ නැංවීම අතිශය ස්වභාවික ය.

එහිදී තමන් වටා ඒකරාශී කර ගන්නා සහ පරිභෝජනය කරන සම්පත් වල බහුලත්වය, විවිධත්වය, සුඛෝපභෝගීත්වය ආදිය කෙරෙහි පවත්නා ස්වභාවික ලෝලීත්වය වත්මන් දේශපාලන සංස්කෘතියේ ප්‍රධාන පුරුෂාර්ථයක් බවට පත්ව ඇති බවක් හැඟේ. එමෙන්ම තමන් විසින් හිමි කර ගනු ලබන බලය, ආටෝපය, ගර්වය ආදී පුරුෂාර්ථ කෙරෙහි අසීමාන්තික ඇල්මක් දක්වන දේශපාලනඥයන් තම විධිමත් ආදායම් සීමාව අතික්‍රමණය ඉක්මවා මහජන මුදල් කොල්ල කමින් තම අභිප්‍රායන් ඉෂ්ඨ කර ගැනීමට දරන ලද ප්‍රයත්නයන් මේ වන විට කෙමෙන් සමාජ ගත වෙමින් තිබේ.

එමෙන්ම මෙහි විශේෂතම කරුණක් ද තිබේ. එනම් අපට වඩා සමාජ ආර්ථික ස්ථායී භාවයකින් යුතු රටවල දේශපාලනඥයන් කෙරෙන් මෙම දුර්දාන්ත ලක්ෂණය පළ නොවීම ය.

 

මෙදා පොටේ දෙනවා බැටේ දේශපාලනයෙන් රටක් හදන්න පුළුවන් ද? – (විශේෂඥ මනෝ වෛද්‍ය  රනිල් අබේසිංහ)
පොදුවේ බලන විට ඔව්හු ද අතිශයින්ම සරල, චාම්, සැහැල්ලු දිවි පැවැතුම් ඇත්තෝ වෙති.ඊට හේතුව දේශපාලනඥයන් එවැනි ජනතා මුදල් කොල්ල කන්නවුන් හෝ අනිසි ලෙස විය පැහැදම් කරන්නවුන් ලෙස එම රට වල දේශපාලන සංස්කෘතීන් තුළ පිළිගැනීමක් ඇති නොවීම ය.යමකු එවැන්නකට යොමු වීම සමාජගත නිර්වස්ත්‍ර භාවයකට පත් වීමකි. මෙය එවැනි සරල ආකල්ප ඇත්තවුන් දේශපාලනයට පිවිසීම සහ සමාජය විසින් එවැන්නවුන් හට දේශපාලනික බලයක් ආරෝපණය කිරීම යන දෙයාකාරයෙන්ම සිදුවන සංසිද්ධියක් බව පෙනේ.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලාංකේය ජන සමාජය මුහුණ පා ඇති ආර්ථික පරිහානිය දේශපාලනඥයන් නඩත්තු කිරීම මගින් තවත් තීව්‍ර කර ගැනීම වලකනු පිණිස වත්මන් සමාජයේ වෙසෙන්නවුන් අතුරින් චාම්, සරල, සැහැල්ලු ආකල්ප ඇත්තවුන්හට දේශපාලන බලය දීමේ කාලීන සමාජ අවශ්‍යතාව අප කවුරුත් මනාව වටහා ගත යුතුව තිබේ. වත්මන් දේශපාලන සංස්කෘතිය තුළ එම වෙනස දැකිය හැක්කේ ඒ සම්බන්ධ ජනතා ආකල්ප වෙනස් කර ගැනීමෙන් පමණි.

(ප්‍රණීත් අභයසුන්දර)
මානව විද්‍යා මහාචාර්ය 
(උපුටා ගැනීම - vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...