මහ මැතිවරණයට ඉදිරිපත්වන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් අපේක්ෂක ලැයිස්තු සූදානම් කර ගැනීම හා බැඳුනු සිදුවීම් වලින් පසුගිය සතිය පුරා උතුරේත් දකුණේත් දේශපාලන කරළිය උණුසුම් වී තිබුණි. එහිදී නව සන්ධාන හෝ ස්වාධින කණ්ඩායම් තුළින් නව අපේක්ෂයන් කළඑළි බැසීම්, අපේක්ෂකත්වය අහිමි වීම නිසා ඇති වුණු කලකිරීම්, දිගු කාලීනව දේශපාලනය අත් නොහැර සිටි දැවැන්තයන් විවිධ හේතු නිසා දේශපාලනයෙන් සමු ගැනීම් පිළිබඳව උතුරේත් දකුණේත් පත්තර පිටු පිරෙන්නට වාර්තා වූ සතියකි.

අපේක්ෂක නාම ලැයිස්තු සකස් කිරීම ආරම්භවීමත් සමඟ පසුගිය දිනවල ව්‍යාකූල තත්වයක් නිර්මාණය වෙමින් තිබුණු උතුරේ දෙමළ දේශපාලනය තුළ, ගැඹුරු අර්බූදයක් නිර්මාණය වූයේ, මූලිකවම ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ අත්දැකීම් සහිත නායකයන් එම පක්ෂයෙන් ඉවත්වීම හේතුකොට ගෙනය. එසේම දෙමළ පක්ෂ අතර ඇති අසමඟිය, බහුතර දෙමළ ජනයා සම්ප්‍රදායික දෙමළ නායකත්වය ප්‍රතික්ෂේප කරමින් නව දේශපාලන මුහුණුවරක් පිළිබඳ අපේක්ෂා සහගත වීම, දෙමළ පක්ෂ වෙන් වෙන්ව මහමැතිවරණයට ඉදිරිපත් වීම වැනි කාරණා නිසා, බලපෑම් සහගත ජනවරමක් මෙවර දෙමළ පක්ෂවලට ලබා ගතහැකි ද යන අඩමානය දෙමළ දේශපාලන කරළියේ මතුවුණු ප්‍රධාන කාරණයක් විය. එම වියවුල් සහගත භාවයත්, දෙමළ දේශපාලකයන්ගේ අසමගිය නිසා අත්වීමට ඉඩ ඇති දේශපාලනික පසුබෑම පිළිබඳ කණස්සල්ලත් ගෙවුණු සතියේ දෙමළ පත්තර පිටු අතරේ පැහැදිලිව විද්‍යාමාන විය.
දෙමළ දේශපාලනයේ ව්‍යකූලභාවය උතුරේ දකුණේ පුවත්පත් වාර්තා කළ අන්දම
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ(ITAK) පැන නැගී ඇති අර්බූදය ගෙවුණු සතියේ සෑම දෙමළ පුවත්පතකම පාහේ විවිධ අයුරින් වාර්තා කර තිබුණි.
මාවෙයි සේනාධිරාජා
ඔක්තෝබර් 8 වැනිදා කාලෙයිකදිර් පුවත්පතේ පළමු පිටුවේ ප්‍රධාන පුවත ලෙස තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, පක්ෂයේ සියළුම වගකීම්වලින් ඉවත් වීම නිවේදනය කළ බව වාර්තා කර තිබුණේය. එසේම තමිල් අරසු පක්ෂයේ අපේක්ෂක ලැයිස්තුවේ නම ඇතුළත් නොවීම නිසා මියගිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ නඩරාජා රවිරාජ්ගේ බිරිඳ සශිකලා රවිරාජ් එම පක්ෂයෙන් ඉවත් වී, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයෙන් (DTNA) යාපනය දිස්ත්‍රික්කයට තරග කිරීමට තීරණය කළ බව ද වැඩිදුරටත් එම වාර්තාවේ ම සඳහන් වූයේය. මාවෙයි සේනාධිරාජා ගත් එම තීරණයට හේතුව පැහැදිලිව සිය නිවේදනයේ දක්වා නොතිබුණේ යැයි එම වාර්තාවේ සඳහන් කර තිබුණු නමුත්, සශිකලා රවිරාජ් ගේ ඉවත්වීමට හේතුව ලෙස දීර්ඝව දක්වා තිබුනේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් පක්ෂය තමන්ට අවශ්‍ය පරිදි හසුරුවමින් කරන අත්තනෝමතික ක්‍රියාකලපය නිසා ඇතිවුණු සිත් කලකිරීම බවය. එදිනම පුදියසුදන්දිරන් පුවත් පතේ ද පළමු පිටුවේ සශිකලා රවිරාජ් තමිල් අරසු පක්ෂයෙන් ඉවත් වී, ප්‍රජාතන්ත්‍රවාදි දෙමළ ජාතික සන්ධානයට එක්වීමේ පුවත වාර්තා කර තිබුණි.
කාලෙයිකදිර් වාර්තාව - පිටුව 1 - 2024.10.08
පුදියසුදන්දිරන් වාර්තාව - පිටුව 1 - 2024.10.08
එදිනම ඊළනාඩු පුවත්පතේ පළමු පිටුවේ ද මාවෙයි සේනාධිරාජා ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ වගකීම් වලින් ඉවත්වීමේ පුවත වාර්තා කර තිබුණු අතර, එම තීරණයට ආසන්නතම හේතුව ලෙස එම වාර්තාවේ දක්වා තිබුනේ පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂකයන් තේරීමේ කමිටුව පත් කරන විට එය සිදුවී ඇත්තේ මාවෙයි සේනාධිරාජාගේ අනුදැනුමකින් තොරව බවය, එසේ එම්. ඒ. සුමන්තිරන් කණ්ඩයමේ ආධිපත්‍යය දැරීමට පටන් ගැනීම නිසා සේනාධිරාජා, පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වි ඇති බව එම වාර්තාවේ සඳහන් කොට තිබුනි. එසේම පක්‍ෂ අභ්‍යන්තර මැතිවරණයෙන් ජයගත් ශිවඥානම් ශ්‍රීධරන් හෝ ජ්‍යෙෂ්ඨ උප සභාපති සී.වී.කේ. සිවඥානම් ඔහුගෙන් පසු පක්‍ෂ නායකත්වය භාරගත යුතු බවද සේනාධිරාජා යවන ලද ලිපියේ සඳහන් වී තිබුනි. එම අන්තර්ගතය සහිත වාර්තා ඔක්තෝබර් අටවැනිදා තිනකරන්, තිනක්කුරල්, තමිලන් පුවත්පත්වල ද පළ වී තිබුණේය.(මාවෙයි සේනාධිරාජා ශිවඥානම් ශ්‍රීධරන්ට යැවූ ලිපියට අනුව, පක්ෂයේ නායකත්වය බාර ගන්නා ලෙසට ඉල්ලා සිටියේ ශිවඥානම් ශ්‍රීධරන්ගෙනි)
ඊළනාඩු වාර්තාව - පිටුව 1 - 2024.10.08
මාවෙයි සේනාධිරාජා ශිවඥානම් ශ්‍රීධරන්ට යැවූ ලිපිය
මාවෙයි සේනාධිරාජා ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වීම පිළිබඳව වාර්තා කළ බොහෝ පුවත්පත් වල, එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් ගේ ක්‍රියාකලාපය විවේචනය කරන ආකාරයේ අන්තර්ගතයන් පළවි තිබුණි.
ඔක්තෝබර් 8 වැනිදා කාලෙයිමුරුසු පුවත්පතේ තුන්වැනි පිටුවේ, එම්. ඒ සුමන්දිරන් තමිල් අරසු පක්ෂය තුළ ඒකාධිපති පාලනයක් ගෙන යනවා යැයි ද, අපේක්ෂක ලැයිස්තුවට කාන්තාවන් තෝරාගෙන ඇත්‍තේ ද ඔහුගේ අභිමතය පරිද යැයි ද වාර්තා වි තිබුණේය. එම සිදුවීම පිළිබඳ වඩාත් විස්තරාත්මක වාර්තාවක් ඔක්තෝබර් 9 වැනි දා තිනක්කුරල් පුවත්පතේ නවවැනි පිටුවේ පළවී තිබුණි. එම වාර්තාවට අනුව, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී කාන්තා අපේක්ෂිකාවන් තෝරා ගැනීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණ වලට තමිල් අරසු කච්චි පක්ෂයේ කාන්තා සාමාජිකාවන් සිය නොසතුට පළ කොට ඇති අතර එම්. ඒ. සුමන්දිරන්ගේ ක්‍රියාකලාපය ද විවේචනයට ලක් කර ඇත.
කාලෙයිමුරුසු වාර්තාව - පිටුව 3 - 2024.10.08.
තිනක්කුරල් වාර්තාව - පිටුව 9 - 2024.10.09
එම්. ඒ. සුමන්දිරන් පිළිබඳ අප්‍රසාදය පළ කෙරෙන වාර්තා දක්නට ලැබෙන අතරවාරයේ පක්ෂ නායකත්වයෙන් ඉවත් වූ මාවෙයි සේනාධිරාජා, ශිවඥානම් ශ්‍රීධරන්ට එම පක්ෂයේ නායකත්වය ලබා ගන්නැයි ලිපියකින් දැන් වු බව, ඔක්‍තෝබර් 8 වැනිදා කාලෙයිමුරුසු සහ ඊළනාඩු යන පුවත්පත් වාර්තා මඟින් අවධාරණය කර තිබුණි. එම්. ඒ. සුමන්දිරන්ගේ වත්මන් ක්‍රියාකලාපය තමිල් අරසු පක්ෂ නායකත්වය හෙළා දකිනවා පමණක් නොව, සුමන්දිරන් පක්ෂ නායකත්වයට පැමිණේවි යැයි යන බියද මාවෙයි සේනාධිරාජාට ඇති බව ඉන් පැහැදිලිවන කාරණයකි
උතුරේ දෙමළ පුවත්පත් මඟින්, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පැන නැඟී ඇති අර්බූදකාරී තත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකි නමුත්, ඒ පිළිබඳ දකුණේ සිංහල හා ඉංග්‍රිසි පුවත්පත් වාර්තා කොට තිබුණේ, කිසියම් විසිරුණු දියාරු ස්වභාවයකිනි. මාවෙයි සේනාධිරාජාගේ ඉවත්වීම, පක්ෂ නායකත්වය සිවඥානම් ශ්‍රිධරන්ට ලබා දෙන්නැයි මාවෙයි විසින් කරන ලද ඉල්ලීම වැනි සිදුවීම් දකුණේ පුවත්පත් විසින් වාර්තා කර තිබුණද එම පුවත් බොහෝමයක, එම්. ඒ. සුමන්දිරන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ මතුකොට තිබුනේ නැත. එහෙත් මව්බිම පුවත්පතේ පළවුණු වාර්තා දෙකක, එම්. ඒ. සුමන්දිරන්ගේ දේශපාලනික ක්‍රියාකලාපය පිළිබඳ චෝදනා නැගෙන අන්තර්ගතයක් ඇතුළත් කොට තිබුණි. ඔක්තෝබර් 8 සහ 11 වැනි දිනවල එම පුවත්පතේ තමිල් අරසු පක්ෂයේ අභ්‍යන්තර අර්බූදය පිළිබඳ පළවෙන වාර්තාවල, එම අර්බූදවලට මූලික හේතුව එම්. ඒ සුමන්දිරන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපය යැයි සංක්ෂිප්තව වාර්තා කොට තිබුණි.
මව්බිම වාර්තාව
මව්බිම වාර්තාව
එහෙත් ඔක්තෝබර් 15 වැනිදා දිනමිණ සහ ඩේලි මිරර් යන පුවත්පත් මාවෙයි සේනාධිරාජා, පක්ෂයේ තනතුරු වලින් ඉවත් වි ඇති බව සඳහන් වාර්තා පළ කොට තිබුණ ද එම තීරණයට හේතු දෙමළ පත්තරවල සඳහන්ව තිබුණු ආකාරයෙන්, එම්. ඒ. සුමන්දිරන් ගේ ක්‍රියාකලාපය බව යන්තමින්වත් මතුකොට තිබුනේ නැත.
ඔක්තෝබර් 13 වැනි දා මව්බිම පුවත්පතේ පළමු පිටුවේ ‘නායක කල්ලිවාදයෙන් දෙමළ ජනතාව අනතුරේ’ යන සිරස්තලය යටතේ වාර්තාවක් පළ වී තිබුණි. එහි දක්වා තිබුනේ දෙමළ පක්ෂවල එකමුතුවක් නැති කමින් දෙමළ ජනතාවගේ අභිලාෂයන් දිනා ගත නොහැකි තත්වයට පත් වී ඇති බව තමිල් අරසු පක්ෂයේ සාමාජික සිවඥානම් ශ්‍රීධරන් පැවසු බවය. එම වාර්තාවේද, දෙමළ පුවත්පත්වල මතුකොට තිබුණු එම්. ඒ. සුමන්දිරන්ගේ අනිසි ක්‍රියාකලාපයක් පිළිබඳ කිසිවක් සඳහන් කොට නොතිබුණි. දකුණේ දේශපාලනය තුළ ජනප්‍රියතාවක් දිනා සිටින එම්. ඒ. සුමන්දිරන්, දෙමළ දේශපාලනය තුළ එතරම් ප්‍රසාදයක් නොමැති නායකයකු බව උතුරේ දෙමළ පුවත්පත් වාර්තා අධ්‍යයනය කරන විට වැටහෙන කාරණයකි. එසේම එම්. ඒ සුමන්දිරන් යනු දකුණේ ප්‍රධාන දහරාවේ දේශපාලකයාට අවශ්‍ය පරිදි දේශපාලනය කරන දෙමළ දේශපාලකයකු මිස, උතුරේ දෙමළ ජනතාවගේ අරමුණු වෙනුවෙන් සැබෑ ලෙස පෙනී සිටින්නෙකු ද යන ගැටළුව ඒ අනුව මතු වෙයි.
ඔක්තෝබර් 13 වැනි දා මව්බිම පුවත්පතේ වාර්තාව
ඉලංගෙයි තමිල් අරසු පක්ෂය තුළ හටගෙන ඇති අභ්‍යන්තර ගැටුම් පිළිබඳ වාර්තා කිරීමට අමතරව, දෙමළ පුවත්පත්වල පසුගිය සතියේ අවධානය යොමු වුණු තවත් විශේෂ කාරණයක් ද විය. පසුගිය ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිපලයත් සමඟ රට පුරා දූෂිත සම්ප්‍රදායික ප්‍රභූ දේශපාලනයට එරෙහිව අප්‍රසාදයක් පැන නැඟුණේය. එහි ප්‍රතිපලයක් ලෙස දෙමළ ජනතාව ද, විශේෂයෙන් තරුණ ප්‍රජාව සම්ප්‍රදායික දූෂිත දේශපාලනය ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවක් මතු වූයේය. එම නිසා දෙමළ සමාජය වෙනස් මුහුණුවරක දේශපාලනයක් ඉල්ලා සිටීම, පවතින සම්ප්‍රදායික දේශපාලනයට දෙමළ තරුණ ප්‍රජාවගේ අභිලාෂයන්ට ආමන්ත්‍රණය කිරීමේ නොහැකියාව සහ දෙමළ පක්ෂ අතර ඇති මතවාදීමය ගැටුම් සහ අසමඟිය යන හේතු නිසා, පසුබෑමකට ලක්ව ඇති දෙමළ දේශපාලනයේ අනාගතය පිළිබඳව ඇති බිය සහ කණස්සල බොහෝ දෙමළ පත්තර පිටු වලින් විද්‍යාමාන විය.
ඔක්තෝබර් 8 වැනි දා ඊළනාඩු පුවත්පතේ 4 වැනි පිටුවේ ‘දේශපාලනයේ සිටින පැරැන්නෝ’ නම් සිරස්තලය යටතේ මත දැක්වීමේ ලිපියක් පළ වී තිබුණි. එහි මූලිකව දැක්වුණේ දෙමළ දේශපාලනයට ජාතිකවාදය අවශ්‍ය නමුත් එය නව ප්‍රවේශයන් සමඟ ඉදිරියට යා යුතු බවය. එම නිසා දැනටමත් දේශපාලනයේ සිටින ප්‍රවිණයන්ගේ දේශපාලනයට ජනතාව අකමැති හෙයින් නවකයන්ට සහ නව දේශපාලන ප්‍රවේශයකට ඉඩ ලබා දිය යුතු බවය.
ඊළනාඩු වාර්තාව - පිටුව 4 - 2024.10.08
දෙමළ පක්ෂ එකට එක්ව සමඟියෙන් කටයුතු කළ යුතු බව, එමඟින් දෙමළ ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටිය හැකි ශක්තිමත් බලවේගයක් ඇති කර ගත හැකි බව මහ මැතිවරණය පිළිබඳ කතාබහත් සමඟ මතුවුණු කාරණයකි. එහෙත් දෙමළ පක්ෂ අතර එවැනි සමඟියක් දක්නට නැත. ඒ පිළිබඳ කණස්සල්ල පත්තර පිටුඅතරින් මනාව පිළිඹිබු වෙයි.
“දෙමළ ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින පක්ෂ අතර සමඟිය ඉතා වැදගත්ය. එම පක්ෂ අතර සමඟි ඇති විය යුත්‍තේ ප්‍රතිපත්ති මත මිස මැතිවරණ ජයග්‍රහණය කිරීමට අටවා ගන්නා සන්ධාන නාමයෙන් නොවන බව සිහි තබා ගතයුතුය. මැතිවරණ ජයග්‍රහණයට ඇති එකම මඟත් පක්ෂ සමඟිය බව අවධාරණය කොට ඇත. මෙවර මැතිවරණයේදී ආසන පොරය නිසා පක්ෂ අතර තදබල අසමගියක් ඇති වී ඇත. තනතුරු වෙනුවෙන් නොව දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකරන දේශපාලන පක්ෂ වෙත මෙවර ජනතාව සිහි බුද්ධියෙන් යුතුව ඡන්දය ලබා දිය යුතුය.” මෙවැනි අදහසක් පළ කොට තිබුණේ ඔක්තෝබර් 8 වැනි දා කාලෙයිකදිර් පුවත්පතේ හතරවැනි පිටුවේ මත පළ කිරීමේ ලිපියකිනි.
කාලෙයිකදිර් වාර්තාව - පිටුව 4 - 2024.10.08
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ටෙලෝ සංවිධානයේ ප්‍රධාන ලේකම් ගෝවින්දන් කරුණාකරම් පැවසූ අදහසක් ඔක්තෝබර් 10 වැනිදා කාලෙයිකදිර් පුවත්පතේ පළමු පිටුවේ පළවී තිබුණි. දෙමළ පක්ෂ තම දේශපාලන අරමුණු පසෙකලා තම තමන්ගේ වාසි තකා උතුරේ මැතිවරණ ව්‍යපාරයේ නියැළෙන බවට ඔහු චෝදනා කොට තිබුණි.
කාලෙයිකදිර් වාර්තාව - පිටුව 1 - 2024.10.10 දෙමළ පක්ෂ තම දේශපාලන අරමුණු පසෙකලා තම තමන්ගේ වාසි තකා උතුරේ මැතිවරණ ව්‍යපාරයේ නියැළෙන බවට ටෙලෝ සංවිධානයේ ප්‍රධාන ලේකම් ගෝවින්දන් කරුණාකරම් චෝදනා කොට තිබුණි
ඔක්තෝබර් 13 වැනිදා තිනකරන් පුවත්පතේ අටවැනි පිටුවේද දෙමළ පක්ෂ වල අසමඟිය පිළිබඳ පුවතක් පළ වී තිබුණි. එහි සිරස්තලය වූයේ, ‘එක පක්ෂයකට එකතු වෙන්න බැරිව බෙදී විසිරී ගිය දෙමළ පක්ෂ’ යන්නය. දෙමළ දේශපාලන පක්ෂ තම තමන්ගේ අරමුණු වෙනුවෙන් වැඩ කිරිම නිසා, ආත්මාර්ථකාමී පක්ෂවලට දෙමළ ජනතාව මෙවර නිසි පාඩමක් උගන්වනු ඇතැයි එහි සඳහන් වී තිබුණි.
තිනකරන් වාර්තාව - පිටුව 8 - 2024.10.13 - ‘එක පක්ෂයකට එකතු වෙන්න බැරිව බෙදී විසිරී ගිය දෙමළ පක්ෂ’
මේ ආකාරයෙන් දෙමළ දේශපාලනයේ අර්බූදය පිළිබඳව කණස්සල්ල පළකෙරෙන බොහෝ පුවත් දෙමළ පුවත්පත්වල වැඩි වශයෙන් පළ වී තිබුණු නමුත්, උතුරේ දෙමළ දේශපාලනයේ සිදුවීම් වාර්තා කිරීම විනා, දකුණේ සිංහල ඉංග්‍රීසි පුවත්පත් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කර තිබුනේ නැත. මක්නිසාද යත්, දකුණේ දේශපාලනයට තම වාසි තකා දේශපාලන කඳවුර වෙනස් කිරීම්, පක්ෂ දෙකඩ වීම්, ජනතාවගේ අරමුණු සාක්ෂාත් කරගැනිමට නොව තමන්ගේ බල උවමනාවන් වෙනුවෙන් සන්ධාන ගොඩනැඟීම් එතරම් නුහුරු සිදුවීම් නොවේ, එහෙයින් උතුරේ දේශපාලනය තුළ සිදුවෙමින් පවතින එවැනි අපගමනයන් පිළිබඳව කම්මලේ බල්ලාට කන් නෑසෙන්නාක් මෙන්, දකුණේ මාධ්‍යය එතරම් සංවේදි නොවන්නේ ඒ නිසා වන්නට පුළුවන. එසේම ජනාධිපතිවරණයකදී දෙමළ ඡන්ද බලපෑම් සහගත වුව ද තමතමන් නියෝජනය කරන අපේක්ෂකයා දිස්ත්‍රික් මට්ටමින් තෝරා ගැනෙන මහ මැතිවරණයකදි, දෙමළ ඡන්දදායකයා කුමන අපේක්ෂකයා තෝරා ගන්නවාද යන්න දකුණේ සිංහල සමාජය එතරම් තැකීමක් කරන්නේ නැත. ඒ නිසා ද එම පුවත් දකුණේ මාධ්‍යවලට මඟ හැරෙනවා වෙන්නට පුළුවන.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන යෝජනාව නව ආණ්ඩුව විසින් ද ප්‍රතික්ෂේප කිරීම
ඔක්තෝබර් 9 වැනිදා අප අධ්‍යයනය කළ බොහෝ දෙමළ පුවත්පත්වලට පළමු පිටුවේ වාර්තා කිරීමට මඟ නොහැරුණු සිදුවීමක් තිබුණි. ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන යෝජනාව පෙර පැවති ආණ්ඩු අනුවම යමින් නව ආණ්ඩුව විසින් ද ප්‍රතික්ෂේප කිරිමයි.
එසේම ඒ අනුව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාවට දිගින් දිගටම විරුද්ධ වීමටත් බාහිර සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණයේ බලතල දීර්ඝ කරන කිසිදු යෝජනාවකට එකඟ නොවීමටත් රජය තීරණය කර ඇති බව එම පුවත් වාර්තාවල දක්වා තිබුණි. කෙසේ වෙතත් එම යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබුවද දේශීය යාන්ත්‍රණය තුළින් සංහිඳියාව ඇතුළු ප්‍රධාන මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව තරයේ අදිටන් කොට ඇති බව ද වාර්තා මඟින් දන්වා තිබුනි. එම පුවත් අන්තර්ගතය සහිත වාර්තා ඔක්තෝබර් 9 වැනි දා කාලෙයිකදිර්, ඊළනාඩු, තමිල්මිරර්, තිනක්කුරල් වැනි පුවත්පත්වල පළමු පළමු පිටුවේ ප්‍රධාන පුවතක් ලෙස පළ වී තිබුනේය.
කාලෙයිකදිර් වාර්තාව - පිටුව 1 - 2024.10.9
ඊළනාඩු වාර්තාව - පිටුව 1 - 2024.10.9
තිනක්කුරල් වාර්තාව - පිටුව 1 - 2024.10.9
තමිල්මිරර් වාර්තාව - පිටුව 1 - 2024.10.9
සමස්ත ලංකාද්වීපයේම මානව හිමිකම් සුරක්ෂා කිරීමට අදාළ එම ජිනීවා යෝජනා රජය විසින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ හුදු වාර්තා පළ කිරීමෙන් ඔබ්බට ගොස් ඒ පිළිබද දෙමළ ජනතාවගේ මතය ප්‍රකාශ කිරීමේ ලිපි කිහිපයක්ද එදිනම දෙමළ පුවත්පත්වල පළ වී තිබුණි.
කාලෙයිකදිර් පුවත්පතේ සිව්වැනි පිටුවේ පළවු ලිපියක සංක්ෂිප්ත අදහස මෙසේය : “උතුරේ ව්‍යාජ ජාතිකවාදී සහ දුෂිත දේශපලනය පිළිබඳ දෙමළ ජනතාවට ඇති වුණු අප්‍රසාදය නිසා උතුර නැගෙනහිර දෙමළ තරුණ තරුණියෝ ජාතික ජන බලවේගය පිළිබඳව විශ්වාසය තැබූහ. එහෙත් පෙර ආණ්ඩු සේම මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් නව ආණ්ඩුව ගත් තීරණය එම විශ්වාසය පළුඳු කිරීමට හේතුවන ක්‍රියාවකි. දෙමළ ජනයාගේ ප්‍රශ්න පිළිබඳ පෙර ආණ්ඩුවල පිළිවෙතම අනුගමනය කිරීම නිසා ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ ස්වාධින සහ විශ්වාසදායි පරික්ෂණ සිදුකෙරෙනු ඇතැයි දෙමළ ජනයාට අපේක්ෂා කළ නොහැකිය.”
කාලෙයිකදිර් වාර්තාව - පිටුව 4 - 2024.10.9
ඔක්තෝබර් 9 වැනිදා ඊළනාඩු පුවත්පතේ සිව්වැනි පිටුවේ ‘අනුරගෙන් යුක්තිය’ නම් සිරස්තලය සහිතව ලිපියක් පළවි තිබුණි. එහි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලනික මූලයන් පිළිබඳ විචාරයට ලක් කරමින්, දේශීය යාන්ත්‍රණයක් තුළින්, මානව හිමිකම් සම්බන්ධ ගැටළු විසඳීම සඳහා සහාය පළ කරන බව ප්‍රකාශ කිරීම රාජපක්ෂ ආණ්ඩුව විසින් අනුගමනය කළ විදෙස් ප්‍රතිපත්තියට සමාන යැයි සඳහන් කොට තිබුණි. එම නිසා අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නව ආණ්ඩුවෙන් දෙමළ ජනතාවට යුක්තිය ඉටුවේ යැයි බලාපොරොත්තු විය නොහැකි බව එහි වැඩි දුරටත් සඳහන් වී තිබුණි.
ඊළනාඩු වාර්තාව - පිටුව 4 - 2024.10.9 - ‘අනුරගෙන් යුක්තිය’
ඉහත සාකච්ඡාවට බඳුන් වූ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ වාර්තා ඔක්තෝබර් 10,11 දෙදින ඩේලි නිව්ස්, දිනමිණ සහ දි අයිලන්ඩ් පුවත්පත් පමණක් වාර්තා කර තිබුණි. එම වාර්තා තුනම, එම සිදුවීම ප්‍රවෘත්තියක් ලෙස ඉදිරිපත් කරනවාට අමතරව, එහි අන්තර්ගතය ප්‍රධාන කොටම පෙළගස්වා තිබුනේ, ආණ්ඩුව එම තීරණය ගැනීමට හේතු වූ කාරණා සාධාරණීකරනය කිරීම සඳහාය. එම පුවත්පත් වාර්තා තුනේම අඩු වැඩි වශයෙන් සඳහන් වූයේ, ඉදිරි මහ මැතිවරණයෙන් පසු රට තුළ නීතියේ ආධිපත්‍යය, විනිවිද භාවය, වගවීම සහ සංහිඳියාව රජයනු ඇති බව සහ, එසේම නව ආණ්ඩුව විසින් සංහිඳියාව, වගවීම සහ යුක්තිය සම්බන්ධයෙන් ක්‍රියාකරන දේශිය යාන්ත්‍රණයක් තුළින් මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සිදු කරනු ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ජිනිවාහි නිත්‍ය නියෝජිත හිමාලි අරුණාතිලක ප්‍රකාශ කළ බවය.
දිනමිණ වාර්තාව
ඩේලි නිව්ස් වාර්තාව
අයිලන්ඩ් වාර්තාව
මහමැතිවරණයක් ආසන්නයේ දිග හැරෙන ආටක නාටක මැද මෙම සිදුවීම කිසිසේත්ම දකුණේ පාඨකයාට වැදගත් පුවතක් වීමට ඉඩ නැත, දකුණේ පුවත්පත් තුනකට පමණක් එය පුවතක් ලෙස වැදගත් වී ඇත්තේ ඒ නිසා වන්නට පුළුවන. එහෙත් එය වැදගත් වන්නේ, මහා ජනසංහාරයකට ලක් වූ උතුර නැගෙනහිර දෙමළ ජනතාවට යුක්තිය ඉටුවීම පිළිබඳ කාරණාවේදිය. එය දකුණේ සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත් අල්ප සංඛ්‍යාවක් එම සිදුවිම ප්‍රවෘත්තියක් ලෙස වාර්තා කිරීමට අමතරව, ආණ්ඩුවේ තීරණය සාධාරණිකරණය කිරීමට උත්සාහ ගන්නේ, උතුරේ දෙමළ සමාජයෙන් එන බරපතල විරෝධයට වගඋත්තර බැඳීමක් ලෙස පමණි.
(සටහන - සුභාෂිණි චතුරිකා)
සබැඳි ලිපි :
මහමැතිවරණයක් අභියස මතුවන දේශපාලන ගතිකයන් සහ උතුරේ දකුණේ පුවත්පත්
සුමන්දිරන් සමගි ජනබලවේගයට සහාය පළ කිරීම සහ අනුරගේ යාපා පටුනේ ප්‍රකාශනය
ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන සහ පත්තර අන්දර
දෙමළ ජනාධිපති අපේක්ෂක, අනුරපුර නාමල්ගේ සත්‍යක්‍රියාව සහ දකුණට මඟ හැරෙන උතුරු කතන්දර
දෙමළ ‘පොදු අපේක්ෂක,’ වතුකම්කරු පඩිය සහ නාමල්ගේ ආගමනය මුද්‍රිත පිටු අතරේ ලියැවුණු අයුරු
ආණ්ඩුවේ ඊනියා සමාව ගැනීම සහ සුපුරුදු මැතිවරණ පොරොන්දු මුද්‍රිත පිටු අතරේ ලියැවුණු අයුරු
දෙමළ මනාප පිටියේ රනිල් සජිත් පොරය



