The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අදටත් දේශපාලන අලෙවි භාණ්ඩයක් වූ පාස්කු ප්‍රහාරය - (සුනිල් කන්නන්ගර)

T

The Leader Desk

October 21, 2024 • 9:13 AM

අදටත් දේශපාලන අලෙවි භාණ්ඩයක් වූ පාස්කු ප්‍රහාරය - (සුනිල් කන්නන්ගර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අප්‍රේල් 21වන දින සිදුවූ පාස්කු ප්‍රහාරය එවක කොළඹ දිස්ත්‍රික්කය භාර දිසාපතිවරයා වූ මා දැන ගත්තේ ප්‍රහාරය සිදුවී පැය භාගයකින් පමණ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන මගේ මිත්‍ර විශේෂඥ වෛද්‍ය ශාන්ත ඉන්ද්‍රලාල් ගෙන් ලැබුණු දුරකතන ඇමතුමක් මගිනි.
  • එවක මා පදිංචිව සිටි විජේරාම මාවතේ දිසාපති නිල නිවසේ සිට කිලෝමීටර් පහකටත් අඩු දුරක සිදුවූ මේ බිහිසුණු ප්‍රහාරය මට ඕස්ට්‍රේලියාවෙන් දැන ගන්නට ලැබීම ගැන ඇති වූ ලැජ්ජාවත් සමඟ එසැනින් ආපසු හැරුණු මම විනාඩි කීපයක් තුළ නිල නිවසට පැමිණියෙමි.
  • එවිට මට දැන ගන්නට ලැබුණේ කොළඹ කොල්ලුපිටිය හා කොටුවේ හෝටල් කීපයක ද බෝම්බ පිපිරී ඇති බව ය.
  • හදිසි තත්වය මත ඔහුගේ කාර්යාලය විවෘත කර ග්‍රාම නිලධාරීන් සමග සිද්ධියෙන් මියගිය අය පිළිබඳ අදාල රාජකාරි සඳහා පොලිසියට සහය වන ලෙස දැනුම් දී මමද කාර්යාලයට ගියෙමි.
අකුරු ප්‍රමාණය (Font Size):

2019 අප්‍රේල් 21වන දින සිදුවූ පාස්කු ප්‍රහාරය එවක කොළඹ දිස්ත්‍රික්කය භාර දිසාපතිවරයා වූ මා දැන ගත්තේ ප්‍රහාරය සිදුවී පැය භාගයකින් පමණ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන මගේ මිත්‍ර විශේෂඥ වෛද්‍ය ශාන්ත ඉන්ද්‍රලාල් ගෙන් ලැබුණු දුරකතන ඇමතුමක් මගිනි. අන්තර් ජාලය ඔස්සේ කොච්චිකඩේ පල්ලිය හා කටුවාපිටිය පල්ලියේ ප්‍රහාරය ගැන මුල් තොරතුරු දුටු ඔහු සැනෙන් මා ඇමතුවේ තම මව්බිමේ සිදුවන්නේ කුමක් දැයි දැන ගැනීමට ය.

ඉරිදා මගේ නිවාඩු දිනය නිසා සංවර්ධන ව්‍යාපෘති කීපයක ප්‍රගතිය අධීක්ෂණය කිරීමට හෝමාගමට හා පාදුක්ක ප්‍රදේශයට යන අතරමඟ පාර්ලිමේන්තුව හරියේදී වෛද්‍ය ශාන්තගේ දුරකතන ඇමතුම දුටු මම පදවමින් සිටි වාහනය පාරේ අයිනේ නතර කර දුරකතනයට පිළිතුරු දුන්නෙමි. කොච්චිකඩේ පල්ලියට එල්ල වූ බිහිසුණු බෝම්බ ප්‍රහාරය ගැන මට මුල් වරට දැන ගන්නට ලැබුණේ එවිට ය.

 


එවක මා පදිංචිව සිටි විජේරාම මාවතේ දිසාපති නිල නිවසේ සිට කිලෝමීටර් පහකටත් අඩු දුරක සිදුවූ මේ බිහිසුණු ප්‍රහාරය මට ඕස්ට්‍රේලියාවෙන් දැන ගන්නට ලැබීම ගැන ඇති වූ ලැජ්ජාවත් සමඟ එසැනින් ආපසු හැරුණු මම විනාඩි කීපයක් තුළ නිල නිවසට පැමිණියෙමි. එවිට මට දැන ගන්නට ලැබුණේ කොළඹ කොල්ලුපිටිය හා කොටුවේ හෝටල් කීපයක ද බෝම්බ පිපිරී ඇති බව ය. මේ කවර නම් නස්පැත්තියක් දැයි සිතා ගත නොහැකි වූ මම එසැනින් එවක කොළඹ ප්‍රාදේශීය ලේකම් ඩී පී වික්‍රමසිංහට කතා කරන විටත් ඔහු කාර්යාලයට දිව එමින් සිටියේ ය. හදිසි තත්වය මත ඔහුගේ කාර්යාලය විවෘත කර ග්‍රාම නිලධාරීන් සමග සිද්ධියෙන් මියගිය අය පිළිබඳ අදාල රාජකාරි සඳහා පොලිසියට සහය වන ලෙස දැනුම් දී මමද කාර්යාලයට ගියෙමි.

 


ඉන් පැය භාගයක් තුළ මට කතා කළ ඩී පී වික්‍රමසිංහ පැවසුවේ ඒ සියල්ල මරාගෙන මැරෙන පන්නයේ ප්‍රහාර බවට පොලිසිය සැක කරන බවකි. තවත් පැයකින් දෙකකින් පමණ පොලිසිය පුද්ගල හැදුනුම් පතක් පිළිබඳව විමසීමට තම කාර්යාලයට පැමිණි බවත් ඒ මරාගෙන මැරුණු අයෙකුගේ හැදුනුම් පතක් බවට පොලීසිය සැක කරන බවත් ප්‍රාදේශීය ලේකම් ඩී පී වික්‍රමසිංහ මට දැනුම් දුන්නේය. ඉන්පසුව පසු කටයුතු ලෙස අපට පැවරුණේ මරණ පරීක්ෂණ කටයුතු වලට පහසුකම් සැපයීම හා පරීක්ෂණ වලින් පසුව ඥාතීන්ට නිදහස් කරන මෘත දේහයන් සකසා නිවෙස් වලට පිටත්කර හැරීම ය. එහි පැමිණෙන මියගිය අයගේ ඥාතීන්ට, රාජකාරිවල නිරතව සිටි නිලධාරීන්ට ආහාර පාන ලබා දීම තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්තා දිසානායක ප්‍රමුඛ කාර්ය මණ්ඩලයටත් දේහයන් සකසා ගම්වලට පිටත් කිරීම අතිරේක දිසාපති නිරෝෂන් ගේ කණ්ඩායමටත් බාර දුන් අතර ඔවිහු දිවා රාත්‍රි කැපවීමෙන් ඒ කටයුතු සිදු කළහ.

 


අනිකුත් අවශ්‍යතා සම්පාදනය කළේ කොළඹ ප්‍රාදේශීය ලේකම් ඩී.පී වික්‍රමසිංහය. මළ සිරුරු තැන්පත් කිරීමට මෘත ශරීරාගාරයේ ශීතල ලාච්චු ප්‍රමාණවත් නොවූ නිසා ශීතාගාර සහිත කන්ටේනර් පිටින් සපයා ගැනීමට සිදු විය. එහෙත් ඒ කන්ටේනර් තුළ මළ සිරුරු තැන්පත් කිරීමට රාක්ක නොතිබුණි. ඩී.පී වික්‍රමසිංහ ප්‍රශ්නය මට ඉදිරිපත් කළේ විසඳුම ද සමඟ ය. ඔහුගේ විසඳුම වූයේ කාර්යාලයේ ගබඩාවේ රාක්ක ඒ සඳහා යොදා ගැනීම ය. එසැනින් මම ඊට අනුමැතිය දුන්නෙමි. පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයගේ මළසිරුරු හා ශරීර කොටස් ශීත කන්ටේනර් තුළ ගෞරවනීය ලෙස තැන්පත් කළේ” ඩී. පී” විසින් සිය කාර්යාලයෙන් ගලවා ඒ කන්ටේනර් තුළ සවි කළ රාක්කවල ය.

 

මේ සියල්ලටම වඩා ලොකුම ප්‍රශ්නය මුහුණ දුන්නේ පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයගේ ගෙවල් වලට කොට්ඨාශයේ ග්‍රාම නිලධාරීන් සමග ගිය ප්‍රාදේශීය ලේකම්වරුන්ට ය. මේ සිදු වූ ශෝකජනක සිද්ධියෙන් විපතට පත් වූවන්ගේ නිවාස වලට රජය නියෝජනය කරමින් මුලින්ම ගියේ ද අපේ ග්‍රාම නිලධාරි වරුන් හා ප්‍රාදේශීය ලේකම් වරුන් ය. කොලොන්නාව වැඩ බැලූ ප්‍රාදේශීය ලේකම් වූ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්තා ඒ ගෙවල් වලදී නොනවත්වා විමසූ පැනයකින් බෙහෙවින් කම්පනයට පත්ව සිටියේ ඔවුන්ට දිය හැකි පිළිතුරක් ඇය සතුව නොතිබූ බැවිනි. ඒ ප්‍රශ්නය වුණේ “දෙවියන් යදින්නට දේවස්ථානයට ගිය අපිට මෙහෙම වෙන්න ඇරියේ ඇයි ?”යන්න ය. එදා රජය වෙනුවෙන් දුකට පත් මිනිසුන් සැනසීමට ගිය ග්‍රාම නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් විපතට පත් වූවන් ඇසූ ඒ ප්‍රශ්නයට අද දක්වාම සෑහෙන පිළිතුරක් දෙන්නට කිසිදු ආණ්ඩුවකට හැකි වී නැත. ඒ වෙනුවට මුලු මහත් රටේම මිනිස්සුන් තුළ පාස්කු ප්‍රහාරය මුල් කොට නොවිසඳෙන ගැටළුවක් ස්ථාපිත කිරීමට නම් සියළුම ආණ්ඩු සමත්ව තිබේ.. ඒ “පාස්කු ප්‍රහාරයේ මහ මොල කාරයා කවුද?”  යන  ගැටළුවයි.

190421200057 26 sri lanka blasts 04212019

 

දැන් අලුත්ම ආරවුල ඉමාම් වාර්තාවයි අල්විස් වාර්තාවයි එළියට නොදැමීම ගැන ය. ඉමාම් කොමිසම පත් කළේ චැනල් 4 නාලිකාව විසින් පාස්කු ප්‍රහාරය ගැන කළ හෙලි කිරීමක් සම්බන්ධ තත්වය පරීක්ෂා කිරීම සඳහා ය. අල්විස් කමිටුව පත් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ලැබී තිබුනු බුද්ධි තොරතුරු සම්බන්ධව ජාතික බුද්ධි සේවය හා රාජ්‍ය බුද්ධි අංශය ප්‍රමාණවත් පියවර ගෙන තිබුණේ ද යන්න පරීක්ෂා කිරීමට ය. මේ කොමිසම් පත්කර තිබුණේ මේ වර්ෂයේ බව නැති නම් පසුගිය වර්ෂයේ අග දීය. අදාල කොමිෂන් සිය වාර්තා ලබාදිය යුතුව තිබුණේ පසුගිය ජුනි මාසයේ හා සැප්තැම්බර් මාසයේ ය. මීට පෙර පාස්කු ප්‍රහාරය පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් මඟින් ද පරීක්ෂණ පවත්වා ඇත. එකී කොමිෂන් හා කාරක සභා වාර්තාවන් ද විධායකයේත් ව්‍යවස්ථාදායකයේත් භාරයේ ඇත. මීට අතිරේකව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මේ ප්‍රහාර සම්බන්ධව විමර්ශනයක් සිදු කර ඇති අතර නීතිපති වරයා විසින්  පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැක කරුවන් කීප දෙනෙකුට නඩු පැවරීමක් ද සිදු කර ඇත. මෙසේ විමර්ශන කොපමණ සිදු කළත් වින්දිතයන් නැගූ මුල් ප්‍රශ්නය සංකීර්ණ ප්‍රශ්න ගණනාවක් බවට පත්වීමත් මහජනතාව තුළ නොසන්සිඳෙන සැකයක් ඇතිවීමත් හැර වෙන කිසිවක් මෙතෙක් සිදුවී නැත.

 

පාස්කු ඉරිදා ප්‍රහාරය: අගෝස්තු 30ට පෙර වන්දි ගෙවා අවසන් කරන්නැයි හිටපු  ජනපති මෛත්‍රීට නියෝගයක්

මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සැකයන් වර්ධනය වීමට ප්‍රධානම හේතුව වන්නේ පාස්කු ප්‍රහාරය හා බැඳී පවතින දේශපාලනයයි. පාස්කු ප්‍රහාරයට ඉඩකඩ විවර වන්නේම එවක ජාතික ආරක්ෂාව පිළිබඳව වගකීම භාරව සිටි ජනාධිපතිවරයා ඒ පිළිබඳව තුට්ටුවක වත් අවබෝධයකින්  ක්‍රියා නොකිරීම නිසා ය. ඔහු ආරක්ෂක මණ්ඩලය ඔහු තම පෞද්ගලික දේපලක් ලෙස සලකා ක්‍රියා කළ බව හෙලි වී ඇත. රටේ අග්‍රාමාත්‍ය වරයා හා පොලිස්පතිවරයා ආරක්ෂක මණ්ඩලයට කැඳෙව්වේ නැති බවත් ඔහුගේ දේශපාලන පක්ෂයේ ඇතමුන් ආරක්ෂක මණ්ඩලයට සහභාගී කරගත් බවත් පැවසේ. ඔහුගේ අවුරුදු පහකට ආසන්න සේවා කාලය තුළ ජනාධිපති ලේකම් වරුන් තිදෙනෙකු පත් කරගත් අතර ආරක්ෂක අමාත්‍යංශයට ලේකම්වරුන් වරින් වර පස් දෙනෙකු පත් කොට තිබිණ. ඔහු විසින් පත් කරනු ලැබූ ආරක්ෂක ලේකම්වරුන් අතර ශ්‍රීලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු,  ඉංජිනේරු වරයෙකු, නීතිපති දෙපාර්තමේන්තුවේ නීති වෘත්තිකයෙකු ව්‍යාපාරිකයෙකු හා හිටපු හමුදා පතිවරයෙක් ද විය. මේ කිසිම කෙනෙකුට රටක ආරක්ෂක අමාත්‍යංශය සතු භූමිකාව තේරුම් ගන්නවත් තරම් කාලයක් ආරක්ෂක අමාත්‍යංශයේ සේවය කිරීමට ජනාධිපති වරයාගෙන් ඉඩක් නොලැබුණු බව නම් ඇත්ත ය.

cfhdfh

 

රටේ සිවිල් ආරක්ෂාව මුලුමනින්ම භාර පොලිසියේ ප්‍රධානියාව දෑහැට පෙනෙන්නට අකමැති අන්දමේ අමුතුම “ඇලජික් එකක්” මේ ජනාධිපතිවරයාට තිබුණි. අතීතයේ මෙන් පොලිස් පතිවරයා පත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතුව තිබුණා නම් ඔහුගේ ධුර කාලය තුළ පොලිස්පතිවරුන් ද පස් දෙනෙකුටත් වැඩිය බිහිවන්නටත් ඉඩ තිබුණි. ආරක්ෂක මණ්ඩලය යනුවෙන් හඳුන්වමින් ජනාධිපති වරයා පැවැත් වූ රැස්වීම්වලදී සිවිල් ආරක්ෂාවට පවතින තර්ජනයන් ගැන සාකච්ඡා කිරීමට පොලිස්පතිවරයෙකු එහි නොවීම අරුම පුදුමයකි. නමුත්  ජනාධිපතිවරයාට එය ප්‍රශ්නයක් වූ බවක් නොපෙනෙයි. එහෙත්, එය රටටම ප්‍රශ්නයක් වුණේ ඒනිසාම ත්‍රස්තාවාදීන්ට නිදහසේ ඇවිත් මරාගෙන මැරෙන්න ඉඩ කඩක් රට තුළ නිර්මාණය වීම නිසා ය.

 

පාස්කු ප්‍රහාරයේ සැඟවූ රහස්: චැනල් 4 ප්‍රහසනය හමුවේ සමාජ වගකීම - (අවසාන  කොටස)

විදේශ බුද්ධි අංශයකින් ප්‍රහාරය පිළිබඳව කල් තබා නිවැරදි තොරතුරු දැනුම්දුන්න ද ඒ තොරතුර හුදෙක් මේසයෙන් මේසයට මාරු කරන කඩදාසි කැබැල්ලක් පමණක් විය. ප්‍රහාරය සිදුවූ විගස අගමැති වරයා ආරක්ෂක මණ්ඩලය රැස්කර සාකච්ඡා කිරීමට උත්සාහ කළත් ඒ වනවිට විදේශගතව සිටි ජනාධිපති වරයා ත්‍රිවිධ හමුදා පතිවරුන්ට අගමැතිවරයා කැඳවන රැස්වීමට සහභාගි නොවන ලෙස උපදෙස් දුන් බව ප්‍රසිද්ධ ය. ඒ රටේ ආරක්ෂාව භාර ජනාධිපතිවරයා සිය අගමැතිවරයා අරබයා ක්‍රියා කල අන්දම ය.

පාර්ලිමේන්තුවේත්, එළියේත් පාස්කු ප්‍රහාරය ගැන කතාවලට පොලිස් ඇමැති දුන්න  උත්තර ඇහුවද ?

 

ප්‍රහාරය සිදුවූ පසු රටේ සියලු දේශපාලන පක්ෂ ක්‍රියා කළේ ඉහත පරිදි ජනාධිපති වරයාට නොදෙවෙනි ලෙස තම තමන්ගේ දේශපාලන වාසිය වෙනුවෙනි. විරුද්ධ පක්ෂය මේ ප්‍රහාරය ආණ්ඩුවේ වරදින් සිදු වූ ප්‍රහාරයක් බව පෙන්වා තමන් බලයේ සිටියේ නම් මෙබඳු දේ සිදු නොවන්නට ඉඩ තිබු යැයි මතයක් රටේ ගොඩ නඟමින් බලයට පත්වීමට මෙය යොදා ගන්නට ක්‍රියා කිරීම වෙනම ඛේදවාචකයකි. ඒ අතර ආණ්ඩුවේ ඇතැම් දේශපාලකයන් ප්‍රහාරයෙන් හානි වූ දේවස්‍ථාන කඩිනමින්  අළුත්වැඩියා කිරීමේ වගකීම කරට ගෙන ඒ කාර්ය කඩිනමින්  කිරීමෙන් ලකුණු දාගන්නට උත්සාහ කරනු දක්නා ලදී. ජනාධිපතිවරයා ද පාස්කු ප්‍රහාරයේ වගකීම කාගේ හෝ ඇඟට දමා නිදහස් වීමට දඟලනු පෙනුණි. ඔහු එවක පොලිස්පතිවරයාට වගකීම භාරගෙන ඉල්ලා අස්වන ලෙසත් ඒ වෙනුවට ඔහුට තානාපති ධුරයක් ලබදෙන බවත් පැවසූ බව ද හෙළිවිය.

මෙසේ ආණ්ඩුවේ අය ඇඟ බේරාගැනීමට දඟලද්දී විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ජාතික ආරක්ෂාව පිළිබඳ අවදානම පෙන්වමින් බලය ඩැහැගැනීමේ සැලැස්ම දිගින් දිගටම ක්‍රියාත්මක කළේ ය. මේ සියලු දෙනා පාස්කු ප්‍රහාරය තමතමන්ගේ වාසිය සඳහා යොදා ගත්තා මිස පාස්කු ප්‍රහාරය පිටුපස තිබුණු සත්‍ය කතාව පාදාගෙන වැරදි කරුවන්ට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමට ඒ කිසිවකු උනන්දු වූයේ නැත. ප්‍රහාරකයන් මරාගෙන මැරුන බැවින් වරද මුලුමනින්ම ඔවුන් පිට පටවා අවසන් වන බව ජනතාවට දැනෙන්නට විය.

ගෝඨාභය ලැබූ ජයග්‍රහණය 1956 නව සංස්කරණයක්'- වික්ටර් අයිවන්

 

මේ පසුබිම මත පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්නා මහ මොළ කරුවෙකු පිළිබඳව වූ ප්‍රවාදය මතු වූයේ මේ පසුබිම මත ය. ඒ පිළිබඳව මුලින්ම ප්‍රසිද්ධියේ කිව්වේ හිටපු නිතිපතිවරයෙකි. ඒ ප්‍රකාශය මත තවදුරටත් විමර්ශනය කරනවාට වඩා ප්‍රකාශය කළ තැනැත්තාව කොටුකර ගැනීමේ සුපුරුදු ක්‍රියාව ඇරඹුණත් අධිකරණ නියෝගයක් මගින් ඒ ක්‍රියාව ද නතර කෙරිණි. ඒ අතරේ පාස්කු ප්‍රහාරය මහ මොළ කරුවා සෙවීම දේශපාලකයන්ගේ ඊළඟ පොරොන්දුව බවට පත් විය. අවසානයේ ඒ අපකීර්තිමත් ජනාධිපතිවරයා වෙනුවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් විය.

ගෝඨාභයගේ ආණ්ඩුවේ විරුද්ධ පක්ෂය වූ සමගි ජන බලවේගය දිගින් දිගටම මහ මොළකරුවා ගැන විමසමින් පාස්කු ප්‍රහාරය ගෝඨාභයට එරෙහි දේශපාලනයේ යොදා ගත්තේය. විපක්ෂයේ සිටි ජාතික ජන බලවේගය ද මේ ප්‍රශ්නය මහ මොළකරුවාගේ ප්‍රශ්නය ගෝඨාගේ ආණ්ඩුවට එරෙහිව ලෝබ නැතිවම පාවිච්චිකරන ලදී.  මරාගෙන මැරුණු දෙදෙනෙකුගේ පියාවූ ඉබ්‍රාහිම් නම් ව්‍යාපාරිකයා වරක් ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස නම් කර සිටි බව පෙන්වමින් ආණ්ඩුවේ අය ඔවුන්ට කෝචොක් කළේය. මේ සියල්ල පහත් පෙළ දේශපාලනය මිස පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉටු කිරීමේ ක්‍රියා මාර්ග නොවේ. මේ පසුබිම තුළ චැනල් 4 නාලිකාවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ යම් හෙළි කිරීමක් සිදු කෙරිණ. ඒ පිළිබඳව සොයා බැලීමට ඉමාම් කොමිසමත් බුද්ධි අංශ වල ක්‍රියාකාරිත්වය සොයා බැලීමට අල්විස් කොමිසමත් පත්කරන්නේ ඔය පසුබිම තුළ ය.

දැන් මතු කරනු ලබන  අළුත්ම විවාදය මේ ඉමාම් කොමිසමේ හා අල්විස් කොමිසමේ වාර්තාව ප්‍රසිද්ධ නොකිරීම පිළිබඳව ය. ඉමාම් කොමිසමේ වාර්තාව ජනාධිපති වරයාට භාර දී ඇත්තේ පසුගිය ජුනියේ දී යැයි කියැවේ. අල්විස් කොමිසමේ සැප්තැම්බර් මාසයේ භාර දීමට නියමිතව තිබුණි. ජුනි මාසයේ ජනාධිපති වරයාට බාරදුන් වාර්තාව පිළිබඳව උනන්දුවක් තිබුණේ නම් ඒ වාර්තාව භාරගත් හිටපු ජනාධිපති වරයාගෙන් ඒගැන ප්‍රශ්න කිරීමට අද ඒ ප්‍රශ්නය මතු කරන උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා ක්‍රියා නොකළේ ඇයිදැයි පැහැදිලි නැත. ඇතැම්විට ඒ ඔහු ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු නොවූ නිසා විය යුතු ය. ජනාධිපතිවරණයෙන් බලයට පත්වූ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී සති දෙකක් ගතවන්නත් පෙර මේ වාර්තා ප්‍රසිද්ධ නොකරන්නේ මන්දැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රශ්න කිරීමට හේතුව මහ මැතිවරණය ආසන්න වීම විය යුතු ය. 

 


ජනාධිපතිවරයා මේ වාර්තා පිළිබඳව අදාල නීති අංශ වලින් කරුණු විමසා කළ යුතු කාර්ය තීරණය කළ යුතු ය. පාස්කු ප්‍රහාරය පිළිබඳ කරුණු එක් පැත්‍තකින් ඒගැන අධිකරණයේ කෙරෙන ක්‍රියා මාර්ගවලට සම්බන්ධ ය. තව පැත්තකින් මහජනතාව තුළ මතුවී ඇති බරපතල සැක සෘජුවම අදාල ය. ඒනිසා මේ වාර්තා ආවාට ගියාට ප්‍රසිද්ධ කළ යුතු වාර්තා ලෙස සැලකිය යුතු නැත. මේ වාර්තාවේ පිටපතක් පරිශීලනය කර උදය ගම්මන්පිල එය ප්‍රසිද්ධ කරන ලෙසට අභියෝග කරන්නේ දේශපාලන අරමුණකින් නොවේ යැයි කිව නොහැක. වත්මන් ජනාධිපතිවරයා මේ වාර්තා ගැන කිසිවක් නොකර දිගු කලක් තිස්සේ මග හැර සිටින්නේ නම් ඔය අභියෝගය සාධාරණය. අනාගතයේ එබඳු තත්වයක් ඇති වීමට සේම නොවීමට ද පුළුවන. නමුත් ඔහු ධුරයට පත්වී තවම මාසයක්වත් ගත වී නැත. පාස්කු ප්‍රහාරය පිළිබඳව ගැඹුරු විමර්ශනයක් සිදුකර සත්‍යය රට හමුවේ තබන බවත් ඒ ගැන සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනාධිපතිවරයා රටට කියා ඇත. ඒ සඳහා ප්‍රමාණවත් කාලය ඔහුට දිය යුතු ය.

 

ජනාධිපතිවරයා වෙනුවෙන් උදය ගම්මන්පිලට පිළිතුරු දෙන්නට ගිය විජිත හේරත් ඇමතිවරයා ද “හත්පොලේ ගාගත්තේ” ඒ වාර්තාව අවශ්‍ය වෙලාවට ප්‍රසිද්ධ කරන බවක් කීමෙනි. අවශ්‍ය වෙලාව කුමක්ද ?එය කාට අවශ්‍ය වෙලාවද? මේ ආදී ප්‍රශ්න ගණනාවක් විජිත හේරත්ගේ ඒ පිළිතුරෙන් මතු වේ. පාස්කු ප්‍රහාරය පිළිබඳව සැගවී ඇති සත්‍ය කතාව දැනගන්නට ජනතාවට අවශ්‍ය වුණේ එහි සැගවුණු කතාවක් ඇති බව තේරුම් ගිය දිනයේ සිට ය. ඒනිසා පාස්කු ප්‍රහාරයේ ඇතුලාන්තය පිළිබඳව දැන් ගැනීමට ජනතාවට අවශ්‍ය වී බොහෝ කල් ය.

 


ඒ නිසා විජිත හේරත් ඇමතිවරයා කළ යුතුව තිබුණේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත්ව ඇති වාර්තා අදාල අංශ මගින් අධ්‍යනය කර ලැබෙන නීති උපදෙස් අනුව ඉදිරි පියවර ගෙන ජනතාවට සත්‍ය හෙලිකරනවා මිස උදය ගම්මන්පිලගේ මහ මැතිවරණ ප්‍රචාරක ව්‍යපාරයට අවශ්‍ය පරිදි පාස්කු ප්‍රහාරයේ වාර්තා ප්‍රසිද්ධ කිරීමට ජනාධිපති වරයා සූදානම් නැත යන පැහැදිලි පණිවුඩය දීමයි. එසේ නොකර එය “අවශ්‍ය වෙලාවට” ප්‍රසිද්ධ කරන බව කියමින් විජිත හේරත් කළේ ද මේ ප්‍රශ්නය සුපුරුදු ලෙස දේශපාලන අලෙවිය සඳහා යොදා ගැනීම ය. 

එබැවින් රටේ ජනතාව ලෙස අප කියා සිටින්නේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉටු කිරීමත් මේ රටේ පොදු මහජනතාවගේ සිත් තුළ ඇති සාධාරණ සැකයනුත් දුරු කිරීම හැර පාස්කු ප්‍රහාරය තවදුරටත් දේශපාලන අලෙවි භාන්ඩයක් ලෙස ප්‍රයෝජනයට ගතයුතු නැති බව ය.

sunil kannangara(සුනිල් කන්නන්ගර) 
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)

සබැඳි ලිපි :
ගම්මන්පිල සතු වාර්තා පාස්කු දා ප්‍රහාරයේ පරීක්ෂණ කඩන්න ද?



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...