The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දේශපාලන පත්වීම්ලාභීන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ ලබැඳියාවන් අතර ගැටුම් කළමනාකරණය කර ගන්නේ කෙසේද? -(මහාචාර්ය රොහාන් සමරජීව)

T

The Leader Desk

October 25, 2024 • 7:08 AM

දේශපාලන පත්වීම්ලාභීන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ ලබැඳියාවන් අතර ගැටුම් කළමනාකරණය කර ගන්නේ කෙසේද? -(මහාචාර්ය රොහාන් සමරජීව)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැතිවරණ පොරොන්දු ඉටු කිරීම සඳහා දේශපාලන තනතුරු දරන්නන්ට ලබා දී ඇති විවිධ “වරප්‍රසාද” ඉවත් කිරීමේ ක්‍රියාවලියක් ද ආරම්භ කර ඇත.
  • දේශපාලන පත්වීම් රජයේ සුපිරි වෙළෙඳසැල් සමාගම වන සතොස සභාපතිවරයා ලෙස සුපිරි වෙළෙඳසැල් ජාලයක ප්‍රධාන විධායක නිලධාරියකු පත් කිරීම ගැන ප්‍රශ්න මතුකර ඇත.
  • ඇත්ත වශයෙන් ම, එම පාඩු ලබන, අකාර්යක්ෂම රජයට අයත් ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස හෝ විධායක සභාපති ලෙස සේවය කිරීමට ඊට වඩා හොඳ සුදුසුකම් ඇති පුද්ගලයෙකු ගැන සිතීම දුෂ්කර ය.
  • ප්‍රශ්නය වී ඇත්තේ ඔහුගේ කලින් (සහ සමහරවිට අනාගත) රැකියාව සහ වත්මන් තනතුර අතර ගැටුමක් ඇති විය හැකි බැවිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

මැතිවරණ පොරොන්දු ඉටු කිරීම සඳහා දේශපාලන තනතුරු දරන්නන්ට ලබා දී ඇති විවිධ “වරප්‍රසාද” ඉවත් කිරීමේ ක්‍රියාවලියක් ද ආරම්භ කර ඇත. මේ දෙකට ම පොදු කරුණක් වන්නේ ලබැඳියාවන් අතර ගැටුම් කළමනාකරණය කිරීමේ ගැටලුවයි.

දේශපාලන පත්වීම්

 


රජයේ සුපිරි වෙළෙඳසැල් සමාගම වන සතොස සභාපතිවරයා ලෙස සුපිරි වෙළෙඳසැල් ජාලයක ප්‍රධාන විධායක නිලධාරියකු පත් කිරීම ගැන ප්‍රශ්න මතුකර ඇත. හේතුව ඒ ව්‍යාපාරය කරගෙන යාමට අවශ්‍ය දැනුම ඔහුට නොමැති නිසා විය නොහැකි ය. ඇත්ත වශයෙන් ම, එම පාඩු ලබන, අකාර්යක්ෂම රජයට අයත් ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස හෝ විධායක සභාපති ලෙස සේවය කිරීමට ඊට වඩා හොඳ සුදුසුකම් ඇති පුද්ගලයෙකු ගැන සිතීම දුෂ්කර ය.

ප්‍රශ්නය වී ඇත්තේ ඔහුගේ කලින් (සහ සමහරවිට අනාගත) රැකියාව සහ වත්මන් තනතුර අතර ගැටුමක් ඇති විය හැකි බැවිනි. පෞද්ගලික අංශයේ රැකියාවෙන් ඉවත් වී රජයේ සේවයට ගිය අය ඔවුන්ගේ හිටපු හාම්පුතුන් විසින් ආපසු බඳවාගත් අවස්ථා තිබේ. එම පුද්ගලයාට තම පෙර/අනාගත සේවා යෝජකයාට අනුග්‍රහය දැක්වීමට පෙළඹවීමක් ඇති බැවින්, මෙය ලබැඳියාවන් අතර ගැටුමක් ලෙස පෙනී යාමට ඉඩ ඇත.

මීට පෙර සිටි ඇමැතිවරුන් විසින් සතොස කළමනාකරණයට විවිධ පුද්ගලයින් පත් කර ඇත්තේ වාද විවාදවලින් තොරව ය. ඒ ඔවුන්ට ක්ෂේත්‍රයට අදාළ, මෑතකාලීන අත්දැකීම් නොතිබූ බැවිනි. ඇමැතිතුමා සම්පූර්ණයෙන් ම වෙනස් ක්ෂේත්‍රයකින් කෙනෙකු පත් කළේ නම් මෙම ප්‍රශ්න මතු නොවන්නට ඉඩ තිබිණි.

 

බඩු මිල ඉහළයද්දී කළ හැක්කේ කුමක් ද? -මහාචාර්ය රොහාන් සමරජීව

සුපිරි වෙළෙඳසල් වැනි පෞද්ගලික අංශයට පැවරීම වඩා සුදුසු කටයුතුවලින් රජය ඉවත්වීම වඩාත් උචිත ය. එවිට දේශපාලන පත්වීම් අදාළ වන්නේ නැත. සැබෑ අයිතිකරුවන් අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටිනු ඇත. කාගේවත් උපදෙස් නැතිව තමන්ගේ ආයෝජනය ආරක්ෂා කර ගැනීමට ඔවුන් කටයුතු කරනු ඇත. ඔවුන් සුපිරි වෙළඳසැල් පවත්වාගෙන යාමේ විශේෂඥයන් විය යුතු නැත. ඔවුන් ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සේවය කිරීම සඳහා විශේෂඥ දැනුමක් ඇති අයකු බඳවා ගනු ඇත.

නමුත් එම පළමු හොඳම, එනම් ප්‍රශස්තම, විසඳුම ක්‍රියාත්මක කල නොහැකි නම් සහ රාජ්‍යය සතොස ආයතනයේ හිමිකරු ලෙස දිගටම සිටින්නේ නම්, මෙම කාරණය සම්බන්ධයෙන් ක්‍රියා කළ  යුත්තේ කෙසේ ද?

 

රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවයි
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට හෝ සභාපතිවරයාට සුපිරි වෙළඳසැල් පවත්වාගෙන යාමේ විශේෂඥ දැනුමක් තිබීම අත්‍යවශ්‍ය නොවන නමුත් සමහර අවස්ථාවල එය අමතර වාසියක් විය හැකි ය. ඔවුන්ට තිබිය යුත්තේ කාර්යක්ෂම ලෙස සමාගමක් පවත්වාගෙන යාමේ, කාර්ය සාධන ඉලක්ක තැබීමේ සහ පුද්ගලික සමාගමක ඕනෑ ම අධ්‍යක්ෂ මණ්ඩලයක මෙන් හොඳ මූල්‍ය අධීක්ෂණයක් ක්‍රියාත්මක කිරීමේ විශේෂඥ දැනුම යි. මීට අමතරව, අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයාට, ආසන්න හිමිකරු වන අමාත්‍යාංශයේ විශ්වාසය තිබිය යුතු අතර අයිතිකරුගේ නියෝජිතයා ලෙස සේවය කිරීමට හැකියාව තිබිය යුතු ය.

ප්‍රධාන විධායක නිලධාරියා බඳවා ගත යුත්තේ අමාත්‍යවරයා විසින් නොව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ය. ඔහුට/ඇයට ඒ හා සමාන ව්‍යාපාරයක පළපුරුද්ද තිබිය යුතු අතර සමහර අවස්ථාවල විෂය විශේෂඥතාව ද තිබිය යුතු වෙයි. අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිවරයාට විෂය ප්‍රවීණතාවය සහ ව්‍යාපාරයේ පළපුරුද්ද තිබිය යුතු ද යන්න පිළිබඳ වත්මන් සංවාදය පිළිබිඹු කරන්නේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් ඔවුන්ගේ භූමිකාවන් පටලවා ගන්නා, රජයට අයත් ව්‍යාපාරවල පවතින පොදු ව්‍යාකූලත්වය යි.


අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස බඳවා නොගත යුත්තේ කවුරුන් ද?

 

Blog image 12 ResizedImageWzc2MywzMDBd.2
ලබැඳියාවන් අතර ගැටුම් පිළිබඳව දැනුවත් විය යුතු අතර අවශ්‍ය ආරක්ෂක පියවර ගත යුතු ය. නමුත් එමගින් තරගකරුවෙකුගෙන්, සැපයුම්කරුවෙකුගෙන් හෝ ගැනුම්කරුවෙකුගෙන් කෙනෙකු බඳවා ගැනීම වැළැක්විය යුතු නැත. ලබැඳියාවන් අතර ගැටුම බඳවා ගැනීම සඳහා නිරපේක්ෂ බාධකයක් ලෙස සලකන්නේ නම්, සංචිතය සමාගම තුළ සිටින අයට හෝ සම්පූර්ණයෙන් ම වෙනස් අංශවලට සීමා වනු ඇත.  පළමු අවස්ථාවේ දී, නව අදහස් සහ ප්‍රවේශයන් සඳහා ඉඩ අසුරනු ඇත. දෙවැනි අවස්ථාවේ දී, ක්ෂේත්‍රයේ විශේෂඥතාව අත්හැර දැමීම සිදුවෙයි.

අතීත සබඳතා සම්බන්ධ ලබැඳියාවන් පිළිබඳ ගැටුම් සම්බන්ධයෙන් හෙළිදරව් නොකිරීමේ ගිවිසුම් (Non Disclosure Agreements) සහ දිරිගැන්වීම් වැනි සුදුසු නීතිමය උපකරණ මගින් කටයුතු කළ හැකි ය. ප්‍රශ්නය වන්නේ අනාගත ලබැඳියාවන් පිළිබඳ ගැටුම් සම්බන්ධයෙන් නම්,  ශ්‍රී ලංකාව තුළ බලාත්මක කළ නොහැකි යැයි සමහරුන් විසින් පවසනු ලබන, යම් කාලයකට තරගකාරී සමාගමක සේවය කිරීමට තහංචි පනවන ගිවිසුම් මගින් ඒවා විසඳාගැනීමේ හැකියාව ඇත. ලබැඳියාවන් අතර සුළු ගැටුම් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීම සහ ප්‍රතික්ෂේප කිරීමේ (එම ගැටුමට අදාළ තීරණය ගැනීමට සහභාගි නොවීම) ක්‍රියා පටිපාටි හරහා කටයුතු කළ හැකි ය.

සාරාංශයක් ලෙස, සතොස නව සභාපතිවරයා විධායක කටයුතුවලට සෘජුවම සහභාගි නොවන්නේ සහ සංවේදී තොරතුරු ආවරණය වන පරිදි හෙළිදරව් නොකිරීමේ ගිවිසුම්වලට එළැඹෙන්නේ නම් සහ ඔහුගේ හිටපු සේවා යෝජකයාට සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩල සාකච්ඡාවලින් ඉවත් වන්නේ නම්, විශාල ප්‍රශ්නයක් වන්නේ නැත. විධායක සභාපතිවරයකුගේ කාර්ය භාරය සම්බන්ධයෙන් නම්, ලබැඳියාවන් පිළිබඳ ගැටුම් කළමනාකරණය කිරීම වඩා දුෂ්කර ය.

 

විදුලිබල මණ්ඩලයේ කැන්ගරු උසාවියක් !
තවත් අවස්ථාවක, විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස ස්වාධීන විදුලි නිෂ්පාදක ආයතනයක හිමිකරුවෙකු පත් කර එම කාරණය වසන් කිරීමට උත්සාහ කළ බව පැවසෙයි. චෝදනා නිවැරදි නම් එම පත්වීම වහාම අවලංගු කළ යුතු ය. එය 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ ක්‍රියාමාර්ග ගැනීමට පවා හේතුවක් විය හැකි කරුණක් වන්නේ ලබැඳියාවන් අතර ගැටුමක් හෙළි නොකර සිටීම එම පනතේ 107 වගන්තිය යටතේ වරදක් වන බැවිනි.

“107(1) යම් රජයේ සේවකයකු, සාමාජිකයකු, අධ්‍යක්ෂවරයකු හෝ සේවා නියුක්තයකු වනු ලබන පොදු අධිකාරයක් එම රජයේ සේවකයාට හෝ ඒ රජයේ සේවකයා දැනුවත්ව ඒ රජයේ සේවකයාගේ ඥාතියකුට හෝ මිත්‍රයකුට හෝ ඍජු හෝ වක්‍ර සම්බන්ධතාවයක් ඇති යම් තැනැත්තකු, සමාගමක්, හවුල් ව්‍යාපාරයක් හෝ වෙනත් ව්‍යවසායක් සමග කටයුතු කිරීමට අරමුණු කරන අවස්ථාවක ඒ රජයේ සේවකයා විසින් නොපමාව නියෝග මගින් නියම කරනු ලබන ඇති ආකාරයෙන් ඒ සම්බන්ධයේ ස්වභාවය  ඒ අධිකාරයට හෙළිදරව් කළ යුතු ය.”

මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ වරප්‍රසාද

 

පාර්ලිමේන්තුව අද රෑ අවසන් කරයි ! - යළි විවෘත කිරීම පෙබ. 8
ආණ්ඩුවේ සෑම තරාතිරමක ම මහජන නියෝජිතයන් ස්වාධීනව ධනවත් උදවිය වනු ඇතැයි අපේක්ෂා කළ අතර අර්ධකාලීන රැකියාවක් සඳහා සංකේතාත්මක ගෙවීමක් පමණක් ලබා දෙන කාලයක් තිබිණි. නිදසුනක් වශයෙන්, නිදහසින් පසු දශක ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තුව රැස්වූයේ සවස් කාලයේ දී පමණක් වන අතර, බොහෝ නීතීඥ මන්ත්‍රීවරුන්ට උසාවි වැඩ කටයුතු කර ගැනීම සඳහා උදෑසන කාලය නිදහස් කොට තිබිණි. නීතිඥයින්ට අනුග්‍රහ දැක්වීමේ මෙම ක්‍රමය තව දුරටත් පවතී. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 94 වැනි වගන්තිය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අධිකරණයක් හෝ ව්‍යවස්ථාපිත විනිශ්චය සභාවක් ඉදිරියේ නීතිඥවරුන් ලෙස පෙනී සිටීම වෙනුවෙන් මුදල් ලබා ගැනීමට විශේෂයෙන් අවසර දී තිබේ.

නමුත් එම පැරණි උපකල්පන තවදුරටත් වලංගු නැත. දැන් කාලයේ මන්ත්‍රීවරයෙකු වීම පූර්ණ කාලීන රැකියාවක් වන අතර බොහෝ නියෝජිතයෝ මන්ත්‍රීකම ලබන අවස්ථාවේ ස්වාධීනව ධනවත් පුද්ගලයෝ නොවෙති. මන්ත්‍රීවරුන්‌ අතර නීතිඥ ප්‍රතිශතය අඩු වෙමින් පවතියි. මැතිවරණ ප්‍රචාරක කටයුතු සහ ඡන්දදායක සේවා සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන නිසා දැනට ලැබෙන වැටුප් හා දීමනා ප්‍රමාණවත් නොවේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කමිටු තුළ ඔවුන්ගේ භූමිකාව ඇතුළුව පැවරී ඇති පුළුල් වගකීම් අනුව, ඔවුන් පාර්ලිමේන්තු රාජකාරිවලට අමතරව වෘත්තීය කටයුතුවල නියැලෙන්නේ නම්, ලබැඳියාවන් අතර ගැටුම් ඇතිවීමේ සම්භාවිතාව ඉහළ ය. විධායක වගකීම් නොමැති තාක් කල් එවැනි කටයුතු දැනට නීති විරෝධී නොවන බව සැලකිල්ලට ගත යුතු ය.

පාර්ලිමේන්තුව අධිකරණ බලයේ ගර්භ ගෘහය (repository) ද වේ. -ජනාධිපති නීතිඥ,  (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න

 

පෙරේරා එදිරිව සේනාරත්න (1999) නඩුවේ දී අභියාචනාධිකරණය ප්‍රකාශ කළේ රාජ්‍යය සමඟ ගිවිසුමකට හවුල් වූ මන්ත්‍රීවරයකු ව්‍යවස්ථාදායකයේ සේවය කිරීමට නුසුදුසු බව ය. නුසුදුස්සකු වූ මන්ත්‍රීවරයා විපක්ෂයේ සිටි අතර ඔහුගේ සමාගම සමඟ ගිවිසුම් ඇති දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් ඔහුට අධිකාරී බලයක් නොතිබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සාමාන්‍ය කාර්යයන් සහ රජයේ ආයතන සමඟ වාණිජ සබඳතා අතර ලබැඳියාවන් පිළිබඳ ගැටුම් ඇතිවීමේ හැකියාව මෙම තීන්දුව මගින් පිළිගෙන ඇත. ආණ්ඩුවේ කාර්යභාරය කෙතරම් පුළුල් ද යන්න සලකා බලන විට ස්වාධීන ආදායම් මාර්ග ඇති මන්ත්‍රීවරුන්ට මෙය අභියෝගයක් වෙයි. නිදසුනක් වශයෙන්, හෝටලයක් හෝ උත්සව ශාලාවක්  වැනි මන්ත්‍රීවරයා සතු ආයතනයකට රජයේ ආයතනයක  රැස්වීම් පහසුකම් සඳහා ගිවිසුම්වලට එළඹිය හැකි ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1)(ඉ) වගන්තියෙන් සහතික කොට ඇති පරිදි, අවසර දී ඇති කොන්ත්‍රාත්තු නියම කරමින් නීතියක් ව්‍යවස්ථාදායකය විසින් සම්පාදනය කළේ නම්, මෙම කරුණු පිළිබඳව අනුමාන කිරීමට අවශ්‍ය නොවනු ඇත. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වී දශක හතරකට වැඩි කාලයකට පසුව සහ කොන්ත්‍රාත්තු හේතුවෙන් මන්ත්‍රීවරයෙකුට සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට සිදු වූ පසුව ද, අවසර ඇත්තේ කුමන කොන්ත්‍රාත්තුවලට ද යන්න පිළිබඳ පැහැදිලි කිරීමක් නැත.

නීති සම්පාදකයින්ට නීතිඥයන් ලෙස සහ  සමහරවිට රජයේ ආයතන සමග ගිවිසුම්වලට එළඹෙන්නේ නැති තාක් කල් වෙනත් වෘත්තීන්හි යෙදීමට අපගේ නීතිය මගින් අවසර දී ඇති බව පෙනෙන්නට තිබේ. 91(1)(ඉ) වගන්තිය මගින් රාජ්‍ය හෝ රාජ්‍ය සංස්ථා සමග ගිවිසුම්වලට එළඹීම නොපැහැදිලි ලෙස තහනම් කර ඇති නිසා ව්‍යාපාර මගින් අමතර ආදායමක් ලබන අයගේ තත්ත්වය අවිනිශ්චිත ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඔහු අධ්‍යක්ෂ ධුරයක් නොදරන සමාගමක කොටස් හිමිකම තිබිය  හැකිය. තහනමට මෙය අයත් වේ ද?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමේ වත්මන් ප්‍රයත්නය දැකිය යුත්තේ ඉහත සන්දර්භය තුළ ය. මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ ගෙවීම් අඩු කිරීම ගැන ජනකාන්ත සටන් පාඨ උච්චාරණය කිරීමට වඩා අවශ්‍ය වන්නේ මන්ත්‍රීවරයෙකුගේ රාජකාරි (නීති සම්පාදනය, අධීක්‍ෂණය සහ ආසන සේවය) සහ පෞද්ගලික ආදායම් උත්පාදනය අතර ඇති ලබැඳියාවන් ගැටුම් පිළිබඳ ගැටලූවලට ක්‍රමානුකූල විසඳුමක් ලබාදීම යි. ක්‍රමයේ වෙනසක් වන්නේ එය යි.

ඊළග පාර්ලිමේන්තු මැතිවරණයට පෙර - (කුසල් පෙරේරා)

 

එක් ක්‍රමයක් නම් පුද්ගලයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන කාලය තුළ සහ ඉන්පසු වසර කිහිපයක් ගතවන තෙක් බාහිර ආදායම් උත්පාදනය සම්පූර්ණයෙන් තහනම් කිරීම සහ මන්ත්‍රී ගෙවීම් පැකේජ වැඩි කිරීම යි. පාර්ලිමේන්තුවේ සේවය කිරීම නැවැත්වීමෙන් පසු අඩුම තරමින් වසර කිහිපයක් යනතුරු ඉපැයීම් අහිමි වීම සඳහා වන්දි ගෙවීමට සිදුවනු ඇත.

විකල්පය වන්නේ වැටුප් හා දීමනා අඩු මට්ටමක තබා ගැනීම සහ අවසර දී ඇති දේ සහ ලබැඳියාවන් අතර ගැටුම් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි මොනවාද යන්න පැහැදිලි ලෙස සීමා නිර්ණය කිරීම යි. වඩාත් සුදුසු වන්නේ එම සීමා තහංචි නීතියෙන් නියම කිරීම යි. තම වෘත්තීය හෝ වෘත්තීන්හි ස්ථාපිත නොවූ සහ පවුල් වගකීම් ඇති තරුණ තරුණියන්ට දේශපාලනයට ප්‍රවිෂ්ට වීම  මෙම විසඳුම තුළ දුෂ්කර වනු ඇත.

නමුත් මෙයට එක ව්‍යතිරේකයක් ඇත. එනම් පක්ෂයකින් පඩි ලබන මන්ත්‍රීවරුන්ය. ඔවුන්ට පක්ෂය මත යැපීමට බල කරනු ලැබ තිබීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නියෝජනයට අහිතකර වූවත්, දේශපාලන පක්ෂයක් විසින් තම ජීවනෝපාය සපයනු ලබන අයට අඩු වැටුප් ගැන ප්‍රශ්න නැත. අපට අවශ්‍ය මහජන නියෝජිතයන් ද, නැතිනම් තමන් පෝෂණය කරන පක්‍ෂයේ අවශ්‍යතා ඉටු කරන අය ද යන්න තීරණය කිරීමට අපට සිදුවෙයි.


(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික 
rohan@lirneasia.net

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...