අපේ කතාව ඇත්තේ එන යන සංචාරකයින් හා අපේ විදේශ ප්‍රතිපත්තිය අයාලේ යෑම සම්බන්ධ මෙතෙක් ආණ්ඩුවල වගකීම් විරහිත නොසැළකිලිමත් කල්කිරියාව ගැනය. මේ දිනවල අරුගම් බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ සහ දකුණේ වැල්ලබඩ ප්‍රදේශ කිහිපයක, සංචාරක වීසා කාලය ඉක්මවා නතරව සිටිමින් ඊශ්‍රායල් ජාතිකයින් නීති විරෝධී ව්‍යාපාර කිරීම සම්බන්ධ කාරණාව මතුකර ගෙන ඇත්තේ මැදපෙරදිග ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගේ ඊශ්‍රායල විරෝධය සමග අමුණා ගනිමින් ය.
ඊශ්‍රායලය සහ අප ගැන කෙටියෙන් කියන්නේ නම්, විශේෂයෙන් 2022 ආරම්භයේ කොවිඩ්-19 වසංගතය සමග අපේ ආර්ථිකය බංකොලොත් යැයි අලුත් මහ බැංකු අධිපති ප්‍රකාශ කළ පසු එය ගොඩ දමන්නට හැකි ප්‍රධානම ආදායම් මාර්ගයක් වන්නේ සංචාරක ව්‍යාපාරය යැයි මතයක් සමාජගත කෙරුණි. ඒ සමග ඇතැම් රටවලට සංචාරක වීසා නොමිලේ දීම, පූර්ව ඉල්ලුමක් නොමැතිව රටට ගොඩ බැස වීසා ලබා ගැනීම, තෙමසක වීසා කාලය නැවත තෙමසකින් දීර්ග කර ගැනීම වැනි පහසුකම් ලබාදීම සමග, එන්නේ කවුදැයි යන්නේ කවුදැයි පමණක් නොව, ඉන්නේ කවුදැයි හෝ නිරීක්ෂණ නියාමන කිසිත් නොකෙරුණි.

එහි ප්‍රතිපලය වූයේ අප හා නිරන්තරව ගනුදෙනු කෙරුණු රුසියාව, යුක්රේනය, චීනය, ඉන්දියාව, නේපාලය, මාලදිවයින වැනි රටවල් ගණනාවකින් පැමිණි සංචාරකයින් සැළකිය යුතු සංඛ්‍යාවක් වීසා කාලය අභිබවා මෙහි රැඳෙන්නටත් පදිංචි වන්නටත් කුඩා අවිධිමත් ව්‍යාපාරවල නිරත වන්නටත් පටන් ගැනීමය. ඒවා ආර්ථිකයට වාසි යැයි පමණක් නොව, ක්ෂුද්‍ර විදේශ ආයෝජන ලෙස ඒවා නම් කරන්නටද ඇතැමුන් ඉක්මන් විය. කුඩා වූවත් එවැනි ජාවාරම් නිසා අසල්වැසි ප්‍රජාවට වාසි වූවා වගේම, කුඩා දේශීය ව්‍යාපාරිකයින්ට තිබූ අවකාශ එමගින් ඇහිරෙන්නටත් විය.

කොවිඩ්-19 වසංගතය වන විට, ශ්‍රී ලංකාණ්ඩුව සහ ඊශ්‍රායලය අතර ගනුදෙනු උතුරු-නැගෙනහිර යුද්ධය වෙනුවෙන් ලබා ගත් යුධ ආධාර වලට එහා ගිය වාණිජ ගනුදෙනු දක්වා වර්ධනය වී තිබිණ. සංචාරකයින් ලෙස ඊශ්‍රායෙල් ජාතිකයින්ගේ පැමිණීමද කෙමෙන් වැඩි විය. ඇතැමුන් වෙරළබඩ සංචාරක ප්‍රදේශවල දිගු කල් නතරව සිටින බවට සංකේතයක් වූයේ ඔවුන්ගේ “හබාඩ්” (ඉංග්‍රීසි උච්චාරණය) මධ්‍යස්ථාන බිහිවීමය. ඒවා දේවස්ථාන නොවේ. ඒවා “යුදෙව්” සංස්කෘතික මධ්‍යස්ථානයන්ය. ඒවායේ යුදෙව් ආගමික කටයුතු වෙනුවෙන්ද පහසුකම් ඇත.
අනෙක් කාරණාව නම්, කොවිඩ්-19 වසංගතය වන විට නුපුහුණු ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින් 4,500 ක් පමණ ඊශ්‍රායලයේ සේවය කළහ. විදේශ සේවා කාර්යාංශයේ නිලධාරියෙකුද ටෙල් අවිව් නගරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පත් කර සිටියේය. 2023 ඔක්තෝම්බර 07 වන දින හමාස් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු බරපතල ශ්‍රම හිඟයකට හසුවූ ඊශ්‍රායෙල් ගොවිපලවල් සඳහා කෘෂි ශ්‍රමිකයින් 10,000 ක් යැවීමටද විදේශ සේවා කාර්යාංශය නොවැම්බරයේදී ඊශ්‍රායලය සමග ගිවිස ගෙන තිබිණ. මේ 2024 වසර ආරම්භ වනවිට සෞඛ්‍ය සත්කාරක සේවය සඳහා සේවිකාවන් යැවීමටද පියවර ගනු ලැබිණ.
විවිධ නීති විරෝධී ව්‍යාපාර වලට අත ගැසූ ඊශ්‍රායෙල් ජාතිකයින්ගේ වෙනස වූයේ ඔවුන් ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාව රැක ගැනීම වෙනුවෙන් හබාඩ් මධ්‍යස්ථාන පිහිටුවා ගැනීමත් එනිසාම ඔවුන්ගේ ප්‍රාදේශීය රොද බැඳීම වෙන්ව හඳුනා ගැනීමට හැකි වීමත් ය. ඉකුත් වසරක පමණ කාලයේ මැද පෙරදිග පලස්තීනු ගැටුම් උත්සන්නවීමත් ඊශ්‍රායෙල් හමුදා ප්‍රහාර මගින් දහස් ගණනක් බිළින්දන්, කාන්තාවන් හා මහල්ලන් ඇතුළු සාමාන්‍ය නිරායුධ ජනතාවක් ඝාතනය වීමත් සමග, විශේෂයෙන් අරුගම් බොක්ක හා පොතුවිල් වැනි බහුතර මුස්ලිම් ප්‍රදේශ ඇසුරෙන් අනීතික ඊශ්‍රායල පදිංචිවීම් හා ව්‍යාපාරික කටයුතු වලට විරෝධයක් ඉස්මතු වීම, දේශපාලනිකව අපේක්ෂා කළ යුතුව තිබුණකි.

ආණ්ඩුවේ දේශපාලන නායකත්වයට එවැනි කියවීමක් නොතිබුණු බව දැකිය හැක්කේ, ගාසා ප්‍රදේශයේ දහස් ගණනින් පලස්තීනු ජනයා අමානුෂික ලෙස පළවා හරිමින් අනාථ වූවන්ට එක්සත් ජාතීන් ලබා දෙන ආහාර, ඖෂධ, පානීය ජලය වැනි හදිසි ආධාර වළකමින් දහස් ගණන් සිවිල් වැසියන් ඝාතනය කෙරෙන ඊශ්‍රායලයට, ඔවුන්ගේ කෘෂි ආර්ථිකය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් නිල වශයෙන් තවමත් පිටත් කර හැරීමය.

එවගේම එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට එරෙහිව ඉකුත් ඔක්තෝම්බර 02 වන දින ඊශ්‍රායලය ප්‍රකාශයට පත් කළ ඔවුන්ගේ භූමියට ඇතුළුවීම තහනම් කිරීමේ නියෝගය හෙළා දකිමින් ඔක්තෝම්බර 04 වන දින චිලිය මූලිකත්වය ගත් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 105 ක් අත්සන් කළ ලිපියට ශ්‍රී ලංකාව අත්සන් නොකිරීමය. ශ්‍රී ලාංකීය නිහඬතාවය ජාත්‍යන්තර අප්‍රසාදයට පත්ව දෙසතියකට පසු එම විරෝධතාවයට අත්සන් කිරීමට ලංකාණ්ඩුව තීන්දු කරන විට, ඊශ්‍රායලය විසින් ළදරුවන්, කාන්තාවන්, ගැබිණි මව්වරුන් හා මහල්ලන් ද ඇතුළුව ඝතානය කරනු ලැබූ පලස්තීනු සිවිල් වැසියන් සංඛ්‍යාව 42,519 ක් යැයි ඔක්තෝම්බර 19 වන දින ප්‍රකාශයට පත්කර තිබිණ.

ඊශ්‍රායලය සම්බන්ධ මේ ආණඩුවේ ලැදියාවන් තීන්දු කෙරෙන්නේ බිඳ වැටුණු ලාංකීය ආර්ථිකය ගොඩ දමා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදයත් ඉන්දියාවත් කිහිළිකරු වන්නේ යැයි වන අථාර්කික විශ්වාසය ය. ඇමෙරිකානු බලපෑම සමගවන ජා.මූ.අරමුදලේ ගිවිසුම් මත මේ ආර්ථිකය ගොඩ ගැනීමට නොහැක. අනෙක් අතින් මෝඩි ආණ්ඩුවේ ආර්ථික සහායද චීනය සමග තරගයකි. මේ දෙරටම ඔවුන්ගේ ආර්ථික වාසි වෙනුවෙන් ඊශ්‍රායලයේ යුධ පිළිවෙතට සෘජුව හවුල්වන රටවල් දෙකකි. මෝඩිගේ ඉන්දියාව තවමත් ඊශ්‍රායලයට අවි ආයුධ සපයති. ස්පාඤ්ඤ “එල් පායිස්” පුවත් පත ඉකුත් මැයි මස 17 වන දින වාර්තා කළ අයුරු, “ඊශ්‍රායල් කාගෝ ලොජිස්ටික්ස් (ICL)” සමාගම ඇණවුම් කළ, ඉන්දියානු “සිද්ධාර්ථ ලොජිස්ටික්ස් සමාගම” නිෂ්පාදනය කළ පුපුරණ ද්‍රව්‍ය මෙ. ටොන් 26.8 ක් රැගෙන චෙන්නායි වලින් පිටත් වූ “මෙරියෑන් ඩානිකා” නෞකාව ඊශ්‍රායල වරායක් බලා පිටත්ව ඇත.

ලංකාව අනාරක්ෂිත වන්නේ නම්, ඒ නිදැල්ලේ යන විදේශ ප්‍රතිපත්තියක් හේතුවෙනි. ලොව අවි ආයුධ වෙළඳාමෙන් සියයට 41.7 ක් හිමි ඇමෙරිකාව හා ඉන්දියාව අවි ආයුධ සපයන ඊශ්‍රායලයට අප ලාභ ශ්‍රමිකයින් සැපයීම සමග, මෙහි ඊශ්‍රායල පදිංචිවීම් දකින විටය. ඊශ්‍රායලයේ අතිශය අමානුෂික, මෘග හැසිරීම හමුවේ ලංකාව මුනිවත රකින විටය. ලොව ප්‍රධාන අවි ආයුධ නිෂ්පාදනය හා අලෙවිය හිමි රටවල් 05 ක් නිශේධ බලයක් ඇති ස්ථිර සාමාජිකයින් වන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයක් නිරන්තර යුද ගැටුම් සහිත අවුරුදු 75 ට ආසන්න ඉතිහාසයකට වග කිව යුතු මේ නූතන ලෝකයේ නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් යනු නිවට නපුංසක ප්‍රතිපත්තියකි.
අපගේ විදේශ ප්‍රතිපත්තිය මූලික වශයෙන් යුද අවි නිෂ්පාදනයට එරෙහි යුද විරෝධී සහ සිවිල් සමාජ අවශ්‍යතාවන්ට හැර න්‍යෂ්ටික බල විරෝධී ප්‍රතිපත්තියක් විය යුතුය. ඒ සමග මේ මොහොතේ, අප කතා කළ යුත්තේ 1968 යුද්ධයෙන් පසු පිළිගනු ලැබ ඇති ස්වාධීන දේශ 02 ක් ලෙස පලස්තීනු හා ඊශ්‍රායල් දේශ පිහිටුවීමේ සාකච්ඡා වහා ආරම්භ කිරීම වෙනුවෙන් සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමටය.
(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2024 ඔක්තෝම්බර 26



