The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : අවසාන දේශපාලනඥයා

T

The Leader Desk

October 27, 2024 • 9:50 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : අවසාන දේශපාලනඥයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙය ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හා ඇමෙරිකාවේ අනාගතය පිළිබඳව රචනා කෙරුණකි.
  • මෙම ග්‍රන්ථය පිළිබඳව, විචාරකයෙක් මෙසේ සඳහන් කරයි.
  • ඒ කෙසේ වෙතත්, ඔබ බයිඩ්න් කවරකුදැයි හඳුනා ගැනීමට නම්, මේ කෘතිය කියැවිය යුතුය.” බයිඩ්න්, ඇමෙරිකානු ජනපති සටනින් ඉවත් වූ පමණින් ඔහුගේ හෝ ඇමෙරිකාවේ දේශපාලනය අවසන් නොවන බව, අමුතුවෙන් කිව යුතු නැත.
  • එහෙත්, බයිඩ්න් වර්ගයේ දේශපාලනඥයන්ගේ ලැයිස්තුව, ඔහුගෙන් අවසන් වනු ඇතැයි, කෙනකුට තර්ක කළ හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙය ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හා ඇමෙරිකාවේ අනාගතය පිළිබඳව රචනා කෙරුණකි. මෙම ග්‍රන්ථය පිළිබඳව, විචාරකයෙක් මෙසේ සඳහන් කරයි.

“ඔබ බයිඩ්න්ට ආදරය කරන්නකු විය හැකිය. නොඑසේනම්, වෛර කරන්නකු විය හැකිය. ඒ කෙසේ වෙතත්, ඔබ බයිඩ්න් කවරකුදැයි හඳුනා ගැනීමට නම්, මේ කෘතිය කියැවිය යුතුය.”

 

csm 2024 02 01 Franklin Foer The Last Politician c Amerikahaus Muenchen 6c07e59b1d
බයිඩ්න්, ඇමෙරිකානු ජනපති සටනින් ඉවත් වූ පමණින් ඔහුගේ හෝ ඇමෙරිකාවේ දේශපාලනය අවසන් නොවන බව, අමුතුවෙන් කිව යුතු නැත. එහෙත්, බයිඩ්න් වර්ගයේ දේශපාලනඥයන්ගේ ලැයිස්තුව, ඔහුගෙන් අවසන් වනු ඇතැයි, කෙනකුට තර්ක කළ හැකිය. ෆොයිල්ගේ ග්‍රන්ථය කියැවීම වැදගත් වන්නේ, එය වටහා ගැනීමටය.

පසුගිය කාලයේ සිරි ලංකාවේ ද ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් ගණනාවක්ම සිය දේශපාලන භූමිකාව අවසන් කළ බව ප්‍රකාශ කෙරුණි. ඇතැම් දේශපාලන පරපුරක අවසානය ද එය විය හැකිය. ඒ අනුව, දැනට සිටින දේශපාලනඥයා, එම පරපුරෙහි අවසාන පුරුක වීමට ද ඉඩ ඇත.

කෙසේ වෙතත්, “අවසාන දේශපාලනඥයා” යන යෙදුමින්, ලෝකාවසානය වැනි දෙයක් අදහස් නොවේ. දේශපාලනය පවතින තාක් දේශපාලනඥයෝ ද බිහි වෙති. පවතිති. එහෙත්, මුලින් කීවාක් මෙන්, කිසියම් පරපුරක, අවසාන දේශපාලනඥයකු සිටිය හැක. එය ඔවුන්ටම තීරණය කළ හැකිය. නැතිනම්, ජනතාවට තීරණය කළ හැකිය.

කන්නසාමි කනාධිපති කරවීම -(ජයශ්‍රී ප්‍රියලාල්)

 

අවසාන වූ රජ පෙළපත්ද අයත් වන්නේ ඉහත ලැයිස්තුවටමය. සිරි ලංකාවේද ශ්‍රී වික්‍රම රාජසිංහගෙන්, මෙරට රාජවංශය අවසන් වූයේය.

ඊට බොහෝ කලකට පසු, 80 දශකයේදී පමණ, රාජසිංහ රජුගේ ඥාතියකු යැයි කියනා දකුණු ඉන්දියානුවකු, ලංකාවේ රජකමට ඇති අයිතිය (ලේ උරුමය) කියා පෑවේය. එය “වැඩ” කළේ නැත. එහෙත් ඉන් කියැවෙනුයේ, රජකමේ රස දන්නාවුන් එය ලේසියෙන් අතාරින්නට සූදානම් නැති බවය. රජකම් කළේ, කිරි අත්තා, මී මුත්තා වුණත්, ඔහුගේ නැට්ටේවත් නොසිටියෙක්, නෑකම් කියාගෙන ඉදිරිපත් වන්නේ ඒ නිසාය.

තාත්තා වෙනුවට දුව හෝ පුතාත්, සැමියා වෙනුවට බිරිඳත්, අයියා වෙනුවට මල්ලිත්, ඉදිරිපත් වන “දේශපාලන චාරිත්‍රය” ලොව බොහෝ රටවල දක්නට ලැබෙන්නකි. සිංහලෙන් කියනවා නම්, ඒ, බල තණ්හාවය.

image d5c22b9fb0

 

ආරක්ෂකයන්ගේ උරහිස් පතුවල එල්ලීගෙන හෝ රෝද පුටුවල හිඳගෙන හෝ තවමත් බලය ලබන්නට උත්සාහ ගන්නේ ඒ නිසාය.

දේශපාලනයට පිවිසෙන බොහෝ දෙනාට පළමුව නැතිවන්නේ විලි ලැජ්ජාවය. විලි ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුය. ඒ පිරුළට මුල් වූයේ, තම වත්තේ පොල් කඩන වෙලාවට, ගෙඩියක් දෙකක් නිකං ඉල්ලා ගැනීමට පැමිණෙන, අසල්වැසි දුගී දුප්පත් ගැහැනුන් පන්නා හැරීම සඳහා, නිර්වස්ත්‍රයෙන් වැට මායිමට ගිය මහමුදලි කෙනෙකි.

කලකට පෙර, “එල ෆවුසි” ටත් ඔය කතාව මතක් වුණේය. ඒ, ජනාධිපතිකමෙන් පහතට වැටුණු කෙනෙක්, අගමැති පුටුවේ හිඳගන්නට සූදානම් වූ වෙලාවේය.

 

මැති ඇමැති 20ක් පැත්ත මාරුකරන සුදානමක !

පාර්ලිමේන්තු බල නහර කපා ගන්නට කිසිවෙක් කැමති නැත. හැමෝම දඟලන්නේ සභාවට රිංගා ගැනීමටය. එය ආරක්ෂක වළල්ලකි. “ආණ්ඩු පක්ෂය නැතිනම්, විපක්ෂයවත් දීපල්ලා” යැයි බෙරිහන් දෙන්නේ ඒ නිසාය.

නර කෙසක් දුටු සැණින්, රජකම අතැර තපසට ගිය මඛාදේව වැනි උතුමන් දැන් පහළ වන්නේ නැත. ඒ වෙනුවට සිටින්නේ, නරකෙස් දුටු කල තරිප්පු ලමින් (වර්ණ ගන්වමින්) තිරිහන් වන්නට වැර දරන්නවුන්ය. එහෙත්, කළකම් වසන්නට, මොන තරිප්පුවකටවත් බැරිය. අල්ලසකට වරදකරු වූ හිටපු, පේරු ජනපති වසර විස්සකට හිරේ වැටුණේ ඒ නිසාය.

සෙලෙන්ස්කිගේ එක්සත් ජනපද සංචාරය තත්පර 90කින්

 

යුක්රේනියානු රූපවාහිනියේ, විහිළුකාරයකුව සිටි, සෙලෙන්ස්කි, එරට ජනාධිපති බවට පත්කර ගැනීම පිළිබඳව, ජනතාව දැන් තැවෙති. ඔහු, රුසියාවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කිරීමද බොහෝ දෙනා දුටුවේ විහිළුවක් ලෙසය. රුසියාවේ පුටින් “සිරා පොර” කි. ඔහුට විහිළු නොතේරේ. එහෙයින්, යුක්රේනයට පහර දෙන්නට අණ කළේය.

“සෙලෙන්ස්කි අපිට විහිළුවක් කළාද දන්නෙ නෑ. තව ටිකක් ඉවසල බලමුද?” රුසියානු ආරක්ෂක ලේකම් කීය.

“මිනිහගෙ හැම විහිළුවකටම, අපිට හිනා යන්නෙ නැති බව දැන්වත් තේරෙයි.” පුටින්, රළු හඬින් කීය.

අනාගතයේදී, යුක්රේනියානු මාධ්‍යවේදියකු විසින් ලියන පොතක මැය මෙසේ වනු ඇත. “සෙලෙන්ස්කි: අවසාන දේශපාලන කවටයා.”

(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...