ඊශ්‍රායෙල් සංචාරකයින්ට හා ඔවුන්ගේ හබාස් මධ්‍යස්ථාන වෙත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ සැළසුමක් ඇතැයි වූ අනතුරු ඇගවීම සමග, ජාතික ආරක්ෂාව සහ සංචාරක ව්‍යාපාරය සම්බන්ධ බරපතල කතා බහක් ඇති විය. ඒ සම්බන්ධ වගකීමෙන් තොර මාධ්‍ය වාර්තා කිරීම්ද, අවුල තව අවුල් කිරීමකට හේතු විය. එකම දින (ඔක්තෝම්බර 27) මෙරට ප්‍රධාන ඉංග්‍රීසි පුවත් පත් දෙකක පළ කෙරුණු වාර්තාවල ඇති පරස්පර තොරතුරු ඊට සාක්ෂිය.
“ඉරිදා ටයිම්ස්” පුවත් පත කීවේ “ඊශ්‍රායෙල් සංචාරකයින්ට පහරදීම පිටුපස විදේශ බලයක්” ඇතැයි කියා ය. ඒ සම්බන්ධ ප්‍රශ්න කිරීමට තරුණයන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇතැයිද එහි කියා තිබිණ. ඔවුන්ගේ වාර්තාවට අනුව, අරුගම් බොක්ක ප්‍රදේශයේ ඊශ්‍රායෙල් “දේවස්ථානයකට” (synagogue) ඔක්තෝම්බර 19 ත් 24 ත් අතර දිනෙක පහරදී ඊශ්‍රයෙල් සංචාරකයින් සමූහයක් ඝාතනය කිරීමේ සැළසුමක් වහා ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ විසින් වළකා ඇත.

අරුගම් බොක්ක ප්‍රදේශයේ ඊශ්‍රායෙල් දේවස්ථාන නැත. එහි ඇත්තේ “හබාස්” නැමති සංස්කෘතික මධ්‍යස්ථානයකි.
එදිනම “ද අයිලන්ඩ්” පුවත් පතේ ඒ ගැනම වාර්තා කර තිබුණේ “ඊශ්‍රායලයින්ට තර්ජන ඃ ලාංකීය සැකකරුවන් ළඟ බෝම්බ හෝ පුපුරණ ද්‍රව්‍ය කිසිත් නැත” යනුවෙනි. එම වාර්තාවෙහි “විදේශ බලයක්” ගැන කිසිදු සඳහනක්ද නැත. එහි කියා තිබූණේ ඔක්තෝම්බර මාසය ආරම්භයේදී ඉන්දියානු බුද්ධි අංශයෙන් අනතුරක් පිළිබඳ දැනුම්දීම ලැබුණු වහා පරීක්ෂණ ආරම්භ කළ බවත් එවිට ලංකාවෙහි සිටි ඊශ්‍රායල් සංචාරක සංඛ්‍යාව 168 ක් බවත් ය. ඉන් අරුගම් බොක්කේ සිටියේ 04 කු යැයිද සඳහන් වේ.
ශ්‍රී ලංකාවට කිසිදු සංචාරක තහනමක් පනවා නැහැ - අමෙරිකානු තානාපතිනිය
මෙවැනි මාධ්‍ය හැසිරීම් විසින් ඇති කළ අවිනිශ්චිතය, බිය තුරන් කිරීමට පොලීසිය සහ ආරක්ෂක අංශ පියවර ගෙන ඇති අතර, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටත් සංචාරක ව්‍යාපාරයට අවුලක් නොවන්නටත් සියලු පියවර ගෙන ඇතැයි ආණ්ඩුව ප්‍රකාශකර ඇත. විදේශීය තානාපති අංශද එවැනි තර්ජන ගැන අලුතින් කතා කර නැත.

එනිසා දැන් ඉතිරි වන්නේ “සංචාරක ව්‍යාපාරය” මේ රටේ සංවර්ධනයට වැදගත් වන්නේද යන කාරණාවය. ජාවාරම්කාර විවෘත වෙළඳපල ආර්ථිකයක සංචාරක ව්‍යාපාරය පවතින්නේද අනෙක් ක්ෂේත්‍රවල මෙන්ම සියලු ආකාරයේ දූෂණ වංචා සමගය. විවෘත වෙළඳපල ආර්ථිකයක් යනු ලාභ ඉපැයීම එකම අරමුණ කරගත් සදාචාරයක් නොදන්නා ජාවාරම්කාරයින්ගේ නාගරික වෙළඳපලකි. අපි එය නොඅඩුව අත් විඳ ඇත්තෙමු.
අනෙක් හැමකටම වඩා සංචාරක ව්‍යාපාරය විනාශකාරී වන්නේ, විවෘත වෙළඳපල ආර්ථිකයෙහි එහි ව්‍යාප්තිය හා පාරිසරික විනාශයත් අශීලාචාරකම් සියල්ලත් එක ගමන් යන හෙයිනි. සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් වයඹ සිට දකුණ හරහා නැගෙනහිර දක්වාවන වෙරළබඩ තීරුවෙහි ඉදිකර ඇති බොහෝ ගොඩනැගිලි නීති විරෝධී ඉදිකිරීම් ය.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව, කලා ඔය මෝයෙහි සිට කිරිඳි ඔය මෝය දක්වා බස්නාහිර හා දකුණු වෙරළ තීරයෙහි වෙරළ මායිමෙහි ඓන්ද්‍රීය ශාක වගාවල සිට ගොඩ බිම දක්වා වන මීටර 100 ක තීරුවෙහි ස්ථිර ගොඩනැගිලි ඉදි කිරීමට අවසර දෙනු නොලැබේ. නැගෙනහිර-උතුරු වෙරළ තීරයෙහි එය මීටර 200 කි. අවසර ලබන ගොඩනැගිලි වල ව්‍යාපාර පවත්වා ගෙන යෑමේදී ඒවායේ ද්‍රව කසළ. මළ මුත්‍ර ආදිය ඉවත් කිරීමද අනිවාර්යෙන් පාරිසරික සුරක්ෂාවට යටත්ව සැළසුම් කර තිබිය යුතුය. එහෙත් වෙරළ තීරයේ බහුතරයක මළ මුත්‍ර මුහුදට මුදා හැරෙන්නේ කිසිදු වග විභාගයක් නැතිව බැව්, මඳක් විපරම් කළ විට දැකිය හැක්කකි.
මීටර 100/200 ට මෙහා බිම් තීරයේ ගොඩනැගිලි සඳහා අවසර දීමෙහිදී වෙරළ සංරක්ෂණයට හා නාගරික සංවර්ධනයට අමතරව, දුම්රිය, වනජීවි, පුරාවිද්‍යා හා වාර්මාර්ග දෙපාර්තමේන්තු සහ මහවැලි අධිකාරයද ඔවුන්ගේ නිර්දේශ ලබා දිය යුතුය. එවැනි ගොඩනැගිලිවල සංචාරක ව්‍යාපාරය සඳහා “තරු” සහිත නිර්දේශ ලබා දීමේදී ඒවාට අවසර ලැබී ඇත්තේ කෙසේදැයි සංචාරක සංවර්ධන අධිකාරිය සොයා බලන්නේ නම් වටිනේ ය. එය සිදුනොවන්නේද, මේ විවෘත වෙළඳපල ආර්ථිකයෙහි ඔවුන්ට පමණක් සුදනන් විය නොහැකි හෙයිනි.

සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් රට තුල බොහෝ ඉදිකිරීම් කෙරෙන්නේද එළෙසින්ම ය. ඇතැම්වා වන සංරක්ෂිත විනාශ කෙරෙමින් ඉදිකර ඇති බැව්, යන එන විටද දැකිය හැකිය. ඒවායේ ශක්‍යතා වාර්තා සහ පරිසර සංරක්ෂණ සහතික ලබා ගැනීම් සිදුවන්නේ කෙසේද යන්නත් ප්‍රශ්න සහගතය. සියලු පරිසර විනාශ හා දූෂණ සමගින් වූවත් සමාජයේ පහළ ස්ථරයන් සඳහා එදා වේල ගැට ගසා ගැනීමට හැකි විවිධ වූ ආදායම් මාර්ග හැදී ඇති හෙයින් පාරිසරික විනාශවීම් හා සදාචාර පිරිහීම් ගැන කතා කරන්නට කිසිවකු පෙළඹෙන්නේ නැත.
එවැනි මහ පරිමාන විනාශ වෙනුවෙන් සංචාරකයින්ගෙන් අප උපයා ගන්නා “ලාභය” කවරේදැයි කොතැනකවත් නිවැරදිව විගණනය වී නැත. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ 2023 වසරේ විමර්ශන වාර්තාවට අනුව, දෙසැම්බර අවසාන වන විට මෙරටට පැමිණි විදේශ සංචාරකයින් සංඛ්‍යාව 1,487,303 කි. ලැබුණු වාර්ෂික ආදායම, (ලාභය නොවේ) ඩොලර මිලියන 2,068 ක් නැතිනම් රුපියල් මිලියන 677,360.3 කි. මේ සංචාරකයින් සඳහා රට පුරා ඇති සමස්ථ කාමර සංඛ්‍යාව වන කාමර 53,229 න් සියයට 41.1 ක් කාමර ඇත්තේ කුඩා ආගන්තුක නිවෙස් (Guest Houses) සහ පෞද්ගලික නිවෙස්වල ය. එවැනි කාමරවල ඉන්නා, ත්‍රීරෝද රථයක් හෝ යතුරු පැදියක් කුලියට ගෙන ගමන් යන, අවම මුදලකට දෙවේලකින් සප්පායම් වන සංචාරකයින්ගෙන් ලැබෙන ආදායම ගණන් බලන්නේ කෙසේදැයි සිතා ගත නොහැක.

එකී වාර්තාවට අනුව ඉකුත් වසරේ ලංකාවට පැමිණි විදේශ සංචාරකයින් යාල, විල්පත්තු, හෝටන් තැන්න, වැනි වන සංරක්ෂිතයන් බලන්නට යෑමෙන් අපට ලැබුණු ආදායම රුපියල් මිලියන 3,780 කි. සංස්කෘතික කේන්ද්‍රයෙහි ආදායම මිලියන 3,490.1 කි. උද්භිද උද්‍යාන වලින් ලැබුණු ආදායම මිලියන 568.7 කි. කෞතුකාගාර වලින් මිලියන 51 ක් සහ සත්වෝද්‍යාන වලින් මිලියන 528.8 ක් උපයා තිබිණ. එවැනි ආදායම් වල එකතුව වන්නේ මිලියන 8,418.6 කි. ඊටත් වඩා පහසුවෙන් ගණන් තැබිය හැකි සංචාරක වීසා මගින් උපයා ගත් ආදායම, එකී වාර්තාවේ කොතැනකවත් සඳහන්ව නැත.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන්ද එය සොයා ගත නොහැක. එම වෙබ් අඩවියෙහි ඇති “2022 වසර සඳහාවන කාර්ය සාධන වාර්තාවට” අනුව 2022 වසරේ මෙරටට පැමිණි විදේශිකයින් සංඛ්‍යාවද අවුලකි. එක් වගුවක 2022 වසරේ පැමිණි විදේශිකයින් සංඛ්‍යාව සඳහන් වන්නේ 873,241 ක් ලෙසින්ය. කලාප අනුව ලංකාවට පැමිණි විදේශිකයින් සංඛ්‍යාව සඳහන් වන්නේ 975,147 ක් ලෙස ය. සංචාරක සංවර්ධන අධිකාරියට අනුව, 2022 දී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 719,978 කි.
මේ කොතැනකවත් විදේශ සංචාරකයෙකු ලංකාවට පැමිණෙන විට රැගෙන ආ යුතු අවම ඩොලර ප්‍රමාණය හා ඉතිරිකර රැගෙන යාමට අවසර ඇති උපරිම ඩොලර ප්‍රමාණය ගැන කිසිදු සඳහනක් නැත. අපේ සංචාරක ව්‍යාපාරයෙහි එවැනි සීමා පැනවීම් නැත. එහි තේරුම නම්, මේ පැමිණෙන විදේශ සංචාරකයින් මෙරටට පැමිණ වියදම් කරන මුදල ගැන කිසිදු ආයතනයකට නිනව්වක් නැත යන්නය. 2023 වසරේ සංචාරක ව්‍යාපාරයෙන් ලද ආදායම රුපියල් මිලියන 677,360.3 ක් වීමට, නිශ්චිත ආදායමක් වන සංචාරක වීසා ගාස්තුව සමග ඉහතින් සඳහන් කළ ආදායම් හැරුණු විට, සංචාරකයින් දළ වශයෙන් ඩොලර මිලියන 1,500 ක් නැතිනම් රුපියල් මිලියන 450,000 ක් පමණ මෙරටදී වියදම් කර තිබිය යුතුය.

බලධාරීන්ගේ ඒ ගණන් හැදීම් අනුමාන ගණන් හැදීම් බැව් ඉතා පැහැදිල ය. සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ආනයනය කෙරෙන පාරිභෝගික භාණ්ඩ ඇතුලු සියලු ආනයන සහ බදු සහන හිලව් කළ විට අප ලබන ලාභය කියන්නට ඔවුන්ට නොහැක. ඔවුන්ට අවශ්‍ය වන්නේ සංචාරක ව්‍යාපාරයෙන් ලොකු ආදායම් ලැබෙන්නේ යැයි කීමට ය. පරිසර විනාශ හා සමාජ පිරිහීම් බහුල ජාවාරම්කාර දූෂිත ක්ෂේත්‍රයක් එසේ නැතිව සාධාරණය කළ නොහැකි හෙයිනි. සැබෑව නම් සංචාරක ව්‍යාපාර මගින් ආර්ථික ගොඩ දමන්නට කියා එය ප්‍රවර්ධනයට තීන්දු තීරණ ගැනීමම, දූෂණ වංචා නඩත්තු කිරීමක් වීමය.
(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2024 ඔක්තෝම්බර 28
සබැඳි පුවත් :
ඊශ්‍රායෙල් සංචාරකයින් වගේම අපේ විදේශ ප්‍රතිපත්තයත් නිදැල්ලේ ! - (කුසල් පෙරේරා)
ආරුගම්බේ ප්‍රහාර සැලසුමේ මහ මොළකරු කුඩු ජාවාරමෙක් !
රජයේ ගමන වළක්වන්න කුමන්ත්‍රණයක් ද ? - අරුගම්බේ සංචාරක හෝටල් හිමියෝ ප්‍රශ්න කරති
ආරුගම්බේ තර්ජනය සම්බන්ධයෙන් අප මෙතෙක් දන්නේ මොනවා ද?
ආරුගම්බේ ප්‍රදේශයට එල්ල වී ඇති ආරක්ෂක තර්ජනය කුමක් ද?



