The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ශ්‍රී ලංකාව: ස්ථාවරත්වය, සාධාරණත්වය සහ සෞභාග්‍යය කරා : දෙවන කොටස - (ලයනල් බෝපගේ)

T

The Leader Desk

October 30, 2024 • 6:12 AM

ශ්‍රී ලංකාව: ස්ථාවරත්වය, සාධාරණත්වය සහ සෞභාග්‍යය කරා : දෙවන කොටස - (ලයනල් බෝපගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අන්තර් කාලීන NPP ආණ්ඩුවට අවශ්‍ය වන්නේ පෙර පැවති පාලන තන්ත්‍රය විසින් මේ වන විට එකඟ වී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි පිළිබඳව සාකච්ඡා කොට ඒවායේ වෙනස්කම් ඇති කර ගැනීම යි.
  • එසේ කළ නොහැකි නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇති ණය ප්‍රතිව්‍යුහගත කරණයේ කිසියම් වෙනසක් සිදු කළ හොත් එයින් රටේ ආර්ථිකයට තවදුරටත් හානි පැමිණෙනු ඇතැයි යන සිතිවිල්ලෙන් ඉවත් වෙන්නට NPP යට සිදු වනවා ඇත.
  • එසේ නැතහොත්, NPP යට වෙනත් විකල්ප සොයා ගන්නට සිදු වනවා ඇත.
  • එපමණක් ද නොව, අන්තර් වාර ආණ්ඩුව බලයට පත් වී ගතව ඇති මුල් සති කිහිපය තුළ දී අධික ලෙස ණය මුදල් ලබාගෙන ඇති බවට ද චෝදනා එල්ල කොට තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අන්තර් කාලීන NPP ආණ්ඩුවට අවශ්‍ය වන්නේ පෙර පැවති පාලන තන්ත්‍රය විසින් මේ වන විට එකඟ වී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි පිළිබඳව සාකච්ඡා කොට ඒවායේ වෙනස්කම් ඇති කර ගැනීම යි. එසේ කළ නොහැකි නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇති ණය ප්‍රතිව්‍යුහගත කරණයේ කිසියම් වෙනසක් සිදු කළ හොත් එයින් රටේ ආර්ථිකයට තවදුරටත් හානි පැමිණෙනු ඇතැයි යන සිතිවිල්ලෙන් ඉවත් වෙන්නට NPP යට සිදු වනවා ඇත. එසේ නැතහොත්, NPP යට වෙනත් විකල්ප සොයා ගන්නට සිදු වනවා ඇත.

 

එපමණක් ද නොව, අන්තර් වාර ආණ්ඩුව බලයට පත් වී ගතව ඇති මුල් සති කිහිපය තුළ දී අධික ලෙස ණය මුදල් ලබාගෙන ඇති බවට ද චෝදනා එල්ල කොට තිබේ. පසුගිය සැප්තැම්බර් 27 වන දා සිට මහ බැංකුව රුපියල් බිලියන 465.1 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ඇත. කෙසේ වෙතත් එම නිකුතුව නව හෝ අතිරේක ණයක් හෝ නොවන බව ආණ්ඩුව පැහැදිලි කර තිබේ.

drte453d

අන්තර් වාර ආණ්ඩුවේ මූල්‍ය ගනුදෙනු සිදු කෙරෙන්නේ පසුගිය ආණ්ඩුව ස්ථාපිත කොට තිබෙන මූල්‍ය ප්‍රතිපාදන සහ ව්‍යවහාරයන් අනුවයි. අන්තර් වාර ආණ්ඩුවට තවමත් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන සාමාන්‍ය පිළිවෙත අනුගමනය කරන්නට සිදුව තිබෙන අතර එයින් රුපියල් බිලියන හාරසියයක් ණය පොලී ගෙවීම සඳහා යොදවා තිබේ.

තේරී පත් වූ පසු නව ආණ්ඩුවට මෙම ප්‍රතිපාදන සහ ව්‍යවහාරයන් වෙනස් කරන්නට පුළුවන. එසේ ජනාධිපතිවරයාට එල්ල කරන විවේචන පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජනතාව අතර භීතිය සහ අවිනිශ්චිතතාව ඇති කිරීම සඳහා විරුද්ධවාදීන් විසින් ගෙන යනු ලබන තවත් බිය වැද්දීමේ ව්‍යාපාරයක් බව පෙනේ.

IMF: 'ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ නොවෙනස්ව පවත්වාගෙන යාම වැදගත්'

 

බොහෝ දේශපාලන විරුද්ධ වාදීහු, විශේෂයෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් වෙනස් කරන්නට ඇති වුවමනාව සම්බන්ධයෙන් නව ජනාධිපතිවරයා ව විවේචනයට ලක් කර තිබේ. දිසානායක සහෝදරයා වගකීම භාර ගත යුතු බව ද වික්‍රමසිංහ මහතා පවසා තිබේ. මෙයින් සාධාරණ ප්‍රශ්නයක් පැන නැඟේ: එනම්, සමාජ, ආර්ථික හා දේශපාලන වශයෙන් ශ්‍රී ලාංකීය සමාජය කාබාසිනියා කර දැමීමට වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ පක්ෂය ගෙන ඇති කිසිදු තීරණයක් පිළිබඳව ඔහු වගකීම භාර ගෙන නැත්තේ ඇයි?

කෙසේ වෙතත්, වර්තමාන ආර්ථික ස්ථාපිතය සහ සාකච්ඡා කොට ඇති කර ගත් ඇතැම් ගලපා ගැනීම් ද සහිතව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පවත්වා ගෙන යන්නට දී තිබෙන ප්‍රතිඥාව ව්‍යාපාරික ප්‍රජාවේ නොසන්සුන්තාවයන් මෙන්ම ආර්ථික ප්‍රතිසාධනය කඩාකප්පල් වනු ඇති බවට පැවතුන උද්වේගකර තත්වයන් සන්සුන් බවට පත් කර ඇති බව පෙනේ.

 

ලංකාවේ ආර්ථික ප්‍රගතිය ගැන IMF සතුට පළ කරයි
2022 දී ජනාධිපතිවරයා වශයෙන් පත් කරනු ලැබීමෙන් පසු වික්‍රමසිංහ මහතා විදේශ ණය යලි සාකච්ඡාවට ලක් කොට, කප්පාදු කිරීමේ පියවර ක්‍රියාත්මක කිරීමට, ආනයන සීමා කිරීමට සහ පාරිභෝගික භාණ්ඩ වෙත පනවා ඇති බදු පුළුල් කිරීමට පොරොන්දු වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ණය ලබා ගත්තේය.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අගය එකතු කළ බද්ද (VAT) වැඩි කරන ලෙස ඉල්ලා නොසිටි‍යද, ඔහු එය සියයට 18 දක්වා ඉහළ නැංවීය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුල රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීම, රාජ්‍ය සේවා වාණිජකරණය කිරීම සහ සමාජ සුබසාධන ක්‍රියාමාර්ග කප්පාදු කිරීම ද ඇතුළත් කල යුතුව තිබිණි. බාහිර ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරන ලද්දේ අනාගත දිනයක් වන තෙක් ණය ආපසු ගෙවීම අත්හිටුවා දැමීමෙනි.

 

ඔන්ලයින් පනතේ සංශෝධන කිහිපයක් කැබිනට් අනුමැතියට
වික්‍රමසිංහ මහතා පොදු ජනතාව මත ආර්ථික බර පටවා ලීමට අධිකාරවාදය යොදා ගත්තේය. විසම්මුතිය සීමා කිරීමට සහ භාෂණයේ සහ එකතු වීමේ නිදහස සීමා කිරීමට ඔහු යලි සැකසූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ක් ද, “මාර්ග ගත ආරක්ෂණ” පනත් කෙටුම්පතක් ද වැනි නව මර්දනකාරී නීති මාලාවක් හඳුන්වා දුන්නේය. සිවිල් සමාජ සංවිධාන සහ වෘත්තීය සමිති ව්‍යාපාරය මෙම ප්‍රයත්නයන්ට විරෝධය පෑ නමුත් ඔවුන්ගේ විරෝධය පෑම් කුරිරු ලෙස මර්දනය කරන ලදී.

NPP ය ආදායම් ඉපදවීමේ වැඩ පිලිවෙල ක්‍රියාවේ යොදන අන්දම, වියදම් කළමනාකරණය කරන පිළිවෙල සහ සංචිත ගොඩනැගිය යුතු ආකාරය පිළිබඳව යලි සාකච්ඡා කරන්නට කැපවී සිටින බව පෙනේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙවැනි ආකාරයේ යලි සාකච්ඡා කිරීම් වලට මීට පෙර ඉඩ දී තිබේ. NPP ය ආණ්ඩුවේ මූල්‍ය ශේෂය කළමනාකරණය කර ගැනීම සහ බාහිර සංචිත ගොඩනැගීම සඳහා, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර යොදා ගන්නවාට වඩා දිගු කාලීන ව්‍යාපෘති ණය කර භාවිතා කිරීමට කැමැත්තක් දක්වන බව පෙනේ.


වැරදි තොරතුරු ප්‍රචාර

 

පුවත් - Results from #3135
ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ගෙන යනු ලබන වැරදි, බොරු, සහ අවලාද නැඟීමේ ප්‍රචාර තිබුනේ වුවද, එයින් සමහරකට හිටපු ජනාධිපතිවරයා වැනි විපක්‍ෂයේ ඇතැම් දෙනා යළි පණ දෙමින් සිටියද, රටත් එහි ජනාධිපතිවරයාත් ප්‍රධාන ප්‍රශ්න කිසිවකට මුහුණ නොදී ඉදිරියට ගමන් කරන බව පෙනේ. ධනවාදී අදහසකින් ගත් කල, රුපියලේ අගය නොකඩවා ඉහළ නැඟීමත් සමඟ ආයෝජකයන්ගේ විශ්වාසය ද වැඩි වී ඇත. මෙසේ සිදු වීම ගැන ඉදිරිපත් කර ඇති එක් විග්‍රහයක් වන්නේ, මාක්ස්වාදය කෙරෙහි හිතවත් බවක් දක්වන බවක් හැඟුණ ද මේ වන විට වෙලඳපොල බලා පොරොත්තු වූ ආකාරයට නව ජනාධිපතිවරයා කටයුතු කර තිබෙන බවයි.

පසුගිය පාලනය විසින් සිවිල් ජනයා මත පටවන ලද ජීවන වියදම් බර ලිහිල් කිරීමට දිසානායක සහෝදරයාගේ අන්තර් වාර ආණ්ඩුව පියවර ගෙන ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගන්නා ලද ඇප ගනුදෙනුව හා සම්බන්ධ කප්පාදු කිරීම්වල කොටසක් වශයෙන් ආදායම් බදු සහ විදුලිය හා අනෙකුත් ගෘහ භාණ්ඩවල පිරිවැය වැඩි කිරීම සහ සමාජ සුබසාධන ප්‍රතිලාභ කප්පාදු කිරීම වැනි ක්‍රියාමාර්ග යොදා ගන්නා ලදී. සමාජයේ වඩා දුෂ්කර ජීවිත ගෙවන අයට වාසිදායක නොවෙමින් සහ සමෘද්ධිමත් අය වෙත අනුග්‍රහය දක්වමින් මෙම ගනුදෙනුව ක්‍රියාවට නංවා ඇත්තේ සාධාරණ නොවන අන්දමකට ය.

ජවිපෙට දූෂණය නැතිකරන්න පුළුවන් ද? - (අජිත් පැරකුම් ජයසිංහ)

 

පූර්ව ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දී NPP ය දූෂණය, නාස්තිය සහ සම්පත් අවභාවිතය සම්බන්ධයෙන් කටයුතු කිරීම ගැන අවධාරණය කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගනුදෙනුවෙන් වඩාත්ම අහිතකර බලපෑම්වලට ලක් වූයේ මූල්‍යමය වශයෙන් දරා ගන්නට ඉතාමත් අවම ඉඩක් ඇති අය බව ද NPP ය පැහැදිලි කළේය. NPP ය එම ගනුදෙනුවෙන් ඉවත් වන බවට පොරොන්දු වූයේ ද නැත.

NPP යේ ආර්ථික ප්‍රතිපත්තිය විශ්වාසය තබා තිබෙන්නේ වඩා නම්‍යශීලී කොන්දේසි අත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ යලි සාකච්ඡා කිරීම මත යි. ඒ බදු පාලන තන්ත්‍රය වඩා සාධාරණ එකක් බවට පත් කොට වැඩ කරන ජනතාව වෙත පටවා තිබෙන මූල්‍ය බර ලිහිල් කිරීම සඳහා යි. මෙම මූල්‍ය බරෙන් විශාල කොටසක් ඔවුන්ට දරා ගන්නට සලස්වා තිබෙන්නේ ඔවුන්ගේ වරදක් නිසා නොවේ. දැන් NPP ය රියදුරු අසුනේ සිටින බැවින්, අතිශයින් පළුදු වී ගොස් ඇති ආර්ථිකය සහ සමාජය හසුරුවන්නට ඔවුන්ට හැකි බව විදහා දැක්විය යුතුව තිබේ.

කම්කරු නීති සම්පාදනය

 

ණය ප්‍රතිව්‍යුහගතකරණය, ආර්ථික කප්පාදුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල:  පරිපූර්ණ විසදුමක් ද? නැත්නම් තත්ත්වය උග්‍ර කරන්නක් ද? (ආචාර්ය ලයනල් බෝපගේ)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිකාරය ඉලක්ක කරන්නේ වැඩ කරන ජනතාවගේ කර මතින් තවදුරටත් ලාභ ලබන්නට වඩා වැඩි ඉඩ කඩක් ලබා දෙන පුද්ගලික අංශය යි. කෙසේ වෙතත් මෙයට වෘත්තීය සමිති ව්‍යාපාරයේ දැඩි විරෝධය එල්ල වනු ඇත. එබැවින්, කම්කරු නීති සම්පාදනයේ දී කරන ඕනෑම වෙනස්කමක් වඩාත් හොඳින් සාක්ෂාත් කරගත හැක්කේ අන්තර්ග්‍රාහී, උපදේශාත්මක, විනිවිද පෙනෙන සහ වගකිවයුතු ප්‍රවේශයක් අනුගමනය කිරීමෙනි.

එසේ කිරීමෙන් වැඩ කරන ජනතාවට තම අනාගතය සහ තම දූ දරුවන්ගේ අනාගතය වෙත බලපාන තීන්දු තීරණ ගැන සිය අදහස් පල කරන්නට ඉඩ සලසා දෙනු ඇත. එවැනි ප්‍රවර්ධනයන් සම්බන්ධයෙන් සිය ස්ථාවරය සකස් කර ගැනීමේදී ජනතාවගේ අවශ්‍යතා ඉදිරියෙන් ම තබා ගෙන කටයුතු කරන බව සහතික කිරීම සඳහා ඕනෑම වගකිවයුතු ආණ්ඩුවකට ඉතා සැලකිලිමත් ව කටයුතු කරන්නට සිදු වනු ඇත.

 

පුවත් - Results from #6744

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දර්ශනයට අනුව, යලි සාකච්ඡා කරන්නට නියමිතව තිබෙන ඕනෑම වෙනසක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරතා පරීක්ෂණවලින් සමත් විය යුතුය. ශ්‍රී ලංකාවට එසේ කළ නොහැකි නම්, මුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් පැකේජය ම යලි සාකච්ඡාවට ලක් කරන්නට සිදු වනවා ඇත. නව NPP ආණ්ඩුවක් එකඟ වූ ඉලක්ක සපුරා ගන්නට හැකි ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක කරන්නේ නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවල අවශ්‍ය වෙනස්කම් සාක්ෂාත් කරගත හැකි බව පෙනේ. අපේක්ෂාව වන්නේ බදු බර නැවත බෙදාහැරීම පිළිබඳ NPP යෝජනාවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විරුද්ධ නොවනු ඇති බවයි.


සබැඳි ලිපිය :
ශ්‍රී ලංකාව: ස්ථාවරත්වය, සාධාරණත්වය සහ සෞභාග්‍යය කරා - (ලයනල් බෝපගේ)

lIONAL bOPAGE(ආචාර්ය ලයනල් බෝපගේ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)
lionel.bopage@gmail.com

2024 ඔක්තෝබර් 27 වන දා

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...