The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආරුගම්බේ : ඊශ්‍රායල් ජාතිකයින්ගේ 'චබාඩ් හවුස්' ගැන ප්‍රදේශවාසින් සහ රජය කියන්නේ මොනවා ද?

T

The Leader Desk

October 31, 2024 • 8:53 AM

ආරුගම්බේ : ඊශ්‍රායල් ජාතිකයින්ගේ 'චබාඩ් හවුස්' ගැන ප්‍රදේශවාසින් සහ රජය කියන්නේ මොනවා ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම සිදුවීමත් සමග ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳව ද පුළුල් ලෙස අවධානය යොමු වූ අතර ඒ සමගම ආරුගම්බේ ප්‍රදේශයේ පවත්වාගෙන යන බව කියන ඊශ්‍රායල් ජාතිකයින්ගේ ආගමික ස්ථානයක් පිළිබඳව ද සමාජ මාධ්‍ය තුළ වාද විවාද ඇති කළ මාතෘකාවක් විය.
  • එහිදී දක්නට ලැබුණේ ආරුගම්බේ ප්‍රදේශයේ තවමත් ඊශ්‍රායල් ජාතිකයින් තිදෙනෙකු රැඳී සිටින බවයි.
  • ආරුගම්බේ ප්‍රදේශයේ කළ සංචාරයේදී බීබීසී සිංහල මාධ්‍යවේදීන්ට පොලිසිය විසින් කියා සිටියේ එම ප්‍රදේශයේ තවමත් ඊශ්‍රායල් ජාතිකයින් තිදෙනෙක් රැඳී සිටින බව යි.
  • වැඩිදුර කරුණු සොයා බැලීමේදී අනාවරණ වූයේ ඒ අතර සිටින එක් ඊශ්‍රායල් ජාතිකයෙකු වසර කිහිපයක සිට ආරුගම්බේ ප්‍රදේශයේ ස්ථිරව පදිංචිව සිටින බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
එම සිදුවීමත් සමග ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳව ද පුළුල් ලෙස අවධානය යොමු වූ අතර ඒ සමගම ආරුගම්බේ ප්‍රදේශයේ පවත්වාගෙන යන බව කියන ඊශ්‍රායල් ජාතිකයින්ගේ ආගමික ස්ථානයක් පිළිබඳව ද සමාජ මාධ්‍ය තුළ වාද විවාද ඇති කළ මාතෘකාවක් විය.
 
 

ඊශ්‍රායල් ජාතිකයින්ගේ 'චබාඩ් හවුස්' ගැන ප්‍රදේශවාසින් සහ රජය කියන්නේ මොනවා ද?
 
ආරුගම්බේ ප්‍රදේශයේ මේ වන විට පවතින තත්ත්වය සොයා බැලීම සඳහා බීබීසී සිංහල සේවයේ මාධ්‍යවේදීන් කණ්ඩායමක් එම ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය.

එහිදී දක්නට ලැබුණේ ආරුගම්බේ ප්‍රදේශයේ තවමත් ඊශ්‍රායල් ජාතිකයින් තිදෙනෙකු රැඳී සිටින බවයි.

විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබෙන ඊශ්‍රායල් ජාතිකයා කවුද?

ආරුගම්බේ ප්‍රදේශයේ කළ සංචාරයේදී බීබීසී සිංහල මාධ්‍යවේදීන්ට පොලිසිය විසින් කියා සිටියේ එම ප්‍රදේශයේ තවමත් ඊශ්‍රායල් ජාතිකයින් තිදෙනෙක් රැඳී සිටින බව යි.

වැඩිදුර කරුණු සොයා බැලීමේදී අනාවරණ වූයේ ඒ අතර සිටින එක් ඊශ්‍රායල් ජාතිකයෙකු වසර කිහිපයක සිට ආරුගම්බේ ප්‍රදේශයේ ස්ථිරව පදිංචිව සිටින බවයි.

අනතුරුව බීබීසී සිංහල සේවයේ මාධ්‍යවේදීන් කණ්ඩායම එම ඊශ්‍රායල් ජාතිකයා සොයා ඔහු නවාතැන් ගෙන සිටින ස්ථානයට පැමිණි අතර ඔහු පදිංචිව සිටි නිවසට විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති අයුරු එහිදී නිරීක්ෂණය වුණි.

ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙකු, හමුදා සාමාජිකයින් දෙදෙනෙකු, පොලිස් නිලධාරින් කිහිපදෙනෙකු සහ සිවිල් ආරක්ෂක අංශයේ නිලධාරින් කිහිප දෙනෙකු එලෙස ආරක්ෂක රාජකාරියේ යොදවා තිබුණි.


බීබීසී සිංහල සේවයේ මාධ්‍යවේදීන් කණ්ඩායම එම ඊශ්‍රායල් ජාතිකයා හමුවී සාකච්ඡා කළ අතර ඔහු එහිදී පැවසුවේ තමන්ගේ පෞද්ගලිකත්වය වැදගත් බැවින් කිසිදු සම්මුඛ සාකච්ජාවක් ලබා දිය නොහැකි බව යි.

ඔක් : 29 පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත්ගෙන් බීබීසී සිංහල සේවය විමසා සිටියේ එලෙස විශේෂ ආරක්ෂාවක් ලබා දී තිබෙන ආරුගම්බේ ප්‍රදේශයේ රැඳී සිටින විදේශිකයා කවුද යන්න සම්බන්ධව යි.

එහිදී අමාත්‍ය විජිත හේරත් ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

" ආරුගම්බේ එක් පුද්ගලයෙකුට විතරක් විශේෂ සැලකිල්ලක් දක්වලා තියෙනවා කියලා දැන ගන්න ලැබිලා නැහැ. ඒ ගැන හොයලා බලලා කියන්නම්. කවුරු හරි විශේෂ තර්ජනයක් තියෙනවා කියලා දැනුම් දුන්නොත් ආරක්ෂාව දෙන්න වෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ කෙනෙක් වුණත් එහෙම ආරක්ෂාවක් ඕන වුණා කිව්වොත් පොලිසියට ඒක ලබාදෙන්න වෙනවා. එහෙම ඉල්ලීමක් කරලා ආරක්ෂාවක් ලබා දුන්න ද කියලා හොයලා බලලා කියන්නම්." අමාත්‍ය විජිත හේරත් පැවසුවේය.

මෙම සිදුවීමට අදාළව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව ද කැබිනට් මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කරමින් පැවසුවේ ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමක් සිදු කරන බවයි.

 
"පුද්ගලික ආරක්ෂාව දුන්නේ කාටද කියන එක ගැන අවබෝධයක් නැහැ. ඒ ගැන හොයා බලලා තමයි කියන්න පුළුවන්. අපි පසුගිය දවසක පොලිස් සංචාරක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ දුරකථන අංකය ප්‍රසිද්ධියට පත් කළා. සමහර වෙලාවට ඊශ්‍රායල් රජයේ නිලධාරීන් හෝ රාජතාන්ත්‍රික නිලධාරින් ඉන්න පුළුවන් පෞද්ගලික සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණිලා. එහෙම අයට පෞද්ගලික ආරක්ෂාවක අවශ්‍යතාවය තියෙනවානම් ඒ ගැන මේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික දුරකථන අංකයට කතා කරලා කිව්වොත් ඒ ගැන කටයුතු කරන්න පුළුවන් කියලා ප්‍රසිද්ධ කළා. මේ ඒ වගේ ආරක්ෂාවක් ලබා ගත්ත කෙනෙක් ද කියලා දන්නේ නැහැ. ඒ ගැන සොයා බලල තමයි දැනුම් දෙන්න පුළුවන්." පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

ඊශ්‍රායල් ජාතිකයින්ට ආගමික ස්ථානයක් පවත්වාගෙන යන්න අවසර දීලා ද?

ආගමික ස්ථානයක් ලෙස එය පවත්වාගෙන යෑමට රජයෙන් නිසි අවසරයක් ලබා ගෙන තිබේ ද යන්න පිළිබඳව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආගමික) එච්.එන්. කුමාරි ගෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ඇය පැවසුවේ ක්‍රිස්තියානි නොවන ආගමික ස්ථාන ලියාපදිංචි කිරීම සඳහා මේ වන විට ඉල්ලුම් පත්‍රයක් සකස් කර ඇති බවයි.

" යුදෙව් පැත්තට වෙන්න කිසිම ආයතනයක් ලියාපදිංචියක් අපි කරලා නැහැ මේ වෙනකම්. ක්‍රිස්තියානි කටයුතු ආගමික අංශයෙන් තමයි ගොඩක් ක්‍රිස්තියානි පැත්ත සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. ක්‍රිස්තියානි ආගමටත් කෙලින්ම සම්බන්ධ නැති ඒවා ලියාපදිංචි කරන්න දැන් තමයි අපි කටයුතු කරමින් යන්නේ. නමුත් තවම ඒ ගැන කටයුතු කරලා නැහැ.''

''වෙනත් රටවල් වලින් ඇවිල්ලා එක එක යාච්ඤා මධ්‍යස්ථාන වගේ ඒවා පටන් ගන්නවා. ඒවා ලියාපදිංචි කරන්න ක්‍රමවේදයක් තිබුනේ නැහැ. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඕනෑම කෙනෙකුට තමන් කැමති ආගමක් අදහන්න පුළුවන් නිසා අපි ලියාපදිංචි කරන්න ඉල්ලුම් පත්‍රයක් හදලා තියෙන්නේ.''

''සමහර වෙලාවට වීසා ලබාදීම් සිදුකරනවා. කාලයක් තිස්සේ යන එන අයව බලලා තමයි විසා ලබාදීම් පවා කරන්නේ ගොඩක් කරුණු හොයලා බලලා. ක්‍රිස්තියානි කටයුතු අංශයෙන් ලබාදෙන නිර්දේශ හොයලා බලලා තමයි අපි ඒ කටයුතු කරන්නේ." ඇය පැවසුවාය.


ce0be330 968f 11ef bd13 fda396f99b48.jpgආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ඊශ්‍රායල් ජාතිකයින්ගේ "චබාද් හවුස්" ලෙස හැඳින්වෙන ආගමික ස්ථානය

ඊශ්‍රායල් ජාතිකයින්ට ආරුගම්බේ ප්‍රදේශයේ ආගමික ස්ථානයක් පවත්වාගෙන යෑමට අවසර ලබාදී තිබෙනවා ද යන්න සම්බන්ධයෙන් ද බීබීසී සිංහල සේවය තොරතුරු සොයා බැලීමක් සිදුකරන ලදී.

ඊශ්‍රායල් ජාතිකයින් පවත්වාගෙන යන බව කියන ආගමික ස්ථානයට පොලිස් නිලධාරින් යොදවා ආරක්ෂාව ලබා දී ඇති ආකාරය එහිදී දැක ගැනීමට හැකිවිය.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය විජිත හේරත්ගෙන් සිදු කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ ඊශ්‍රායල් ජාතිකයින් එවැනි ආගමික කටයුතු කිරීම සඳහා යම් යම් ස්ථාන තෝරාගෙන ඇති බව හා එම ස්ථාන සම්බන්ධයෙන් කරුණු සොයා බලමින් සිටින බවයි.

"මම මීට පෙරත් කිව්වා ඔක්තෝම්බර් මාසයේ ඔවුන්ගේ ආගමික කටයුත්තක් සඳහා ස්ථානවලට එකතුවෙලා ඒ සැමරීම් කටයුතු සිදුකරනවා කියලා. මේ සංචාරකයෝ ඒක කරගෙන යමින් තියෙනවා යම් යම් ස්ථාන තෝරා ගෙන. ඒ ගැන සොයා බලමින් තිබෙනවා මේ වෙන කොට. එම ස්ථාන කොහොමද ලබා ගත්තේ, නිත්‍යානුකුලවද නැද්ද කියන එක ගැන සොයා බලමින් පවතිනවා." අමාත්‍යවරයා පැවසුවේය.

මේ අතර ඊශ්‍රායල ජාතිකයින් විසින් ආරුගම්බේ ප්‍රදේශයේ පවත්වාගෙන යන බව කියන ආගමික ස්ථානය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට එම ස්ථානය පවත්වාගෙන යන බව කියන පිරිසගේ වෙබ් අඩවියේ දක්වා ඇති වට්ස්ඇප් අංකය ඔස්සේ ප්‍රතිචාරයක් ලබා ගැනීමට බීබීසී සිංහල සේවය උත්සාහ කළ ද ඔවුන් ඊට ප්‍රතිචාර දැක්වුයේ නැත.

9eead110 9694 11ef be0e 0f2a39e801b3.jpgආරුගම්බේ නගරයේ පිහිටි ආපනශාලාවක් අසල මියගිය ඊශ්‍රායල් ජාතිකයින්ගේ ඡායාරූප අලවා තිබු අයුරු

ලංකාවට එන සංචාරකයින් ගැන තොරතුරු සොයයි

මේ අතර ශ්‍රී ලංකාවට පැමිණෙන ඊශ්‍රායල් ජාතිකයින් කුමන වීසා කාණ්ඩයක් මත පැමිණෙන්නේදැයි බීබීසී සිංහල සේවය කළ විමසීමකට අමාත්‍ය විජිත හේරත් ලබා දුන්නේ මෙවන් පිළිතුරක්.

"සාමාන්‍යයෙන් සංචාරක වීසා යටතේයි එන්නේ. සංචාරක වීසා යටතේ එන ඊශ්‍රායල් ජාතිකයින් විතරක් නෙමෙයි ගොඩක් විදේශිකයින් මේ රටට ඇවිල්ලා රැකියා කරනවා, ව්‍යාපාර කරනවා. මේක දීර්ඝ කාලයක් තිස්සේ ඉදලා සිද්ධ වෙන දෙයක්. මේක ගැන සොයා බැලිය යුතුයි.''

''දැනටමත් පොලිසිය මගින් ජනතාවගෙන් ඉල්ලා තියෙනවා විදේශ සංචාරකයින් සංචාරක වීසා ඔස්සේ පැමිණිලා මේ වගේ දේවල් කරනවාද කියලා තොරතුරු ඇත්නම් දැනුම් දෙන්න කියලා. ඒ වගේම හෝටල් හිමියන්ට දැනුම් දීලා තියෙනවා.''

''හැම මාසෙකම මේ තොරතුරු යාවත්කාලීන කරන්න දාගෙන තියෙනවා. ආගමික කටයුතු වෙන්න පුළුවන්, නීතිවිරෝධී කටයුතු වෙන්න පුළුවන්, නිත්‍යානුකුල දේවල් වෙන්න පුළුවන්. මේ සියලු තොරතුරු ගැන සොයා බලනවා සංචාරකයින්ට බාධාවක් නොවන විදිහට කටයුතු කරගෙන යනවා." අමාත්‍යවරයා පැවසුවේය.


vijitha herath''දැනටමත් පොලිසිය මගින් ජනතාවගෙන් ඉල්ලා තියෙනවා විදේශ සංචාරකයින් සංචාරක වීසා ඔස්සේ පැමිණිලා මේ වගේ දේවල් කරනවාද කියලා තොරතුරු ඇත්නම් දැනුම් දෙන්න කියලා. ඒ වගේම හෝටල් හිමියන්ට දැනුම් දීලා තියෙනවා.''

'ඔවුන් මේ ප්‍රදේශයේ ඉඩම් මිලදී ගන්නවා'

මේ අතර ආරුගම්බේ ප්‍රදේශයේ ධිවර කාර්මිකයෙකු ලෙස වෘත්තියේ යෙදෙන අබ්දුල් තස්ලීම් බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ ඊශ්‍රායල් ජාතිකයින් විවිධ පුද්ගලයින් හරහා ප්‍රදේශයේ ඉඩම් මිලදී ගන්නා බවයි.

"දැන් අවුරුදු තුනකට ඉස්සර ඉදලා මෙතන එයාලා ඉඩමක් අරන් තියෙනවා. ඒ අය දැන් මෙහෙ ලොකුවට ඉඩම් අරන් යනවා. ලංකාව් ඉන්න අයගේ නම් වලට තමයි මේ අය ඉඩම් අර ගන්නේ.''

''මෙතැන මෆාසා පාර කියලා එකක් තියෙනවා. එතන එයාලා ඉඩමක් අරන් එකෙ කොඩි වගේ තියලා නටනවා. සමහර වෙලාවට පාරටත් ඇවිල්ලා කෑගහ ගගහා නටනවා. ඒ වෙලාවට පොලිසියෙන් ඇවිල්ලා ඒ අයව අයින් කරනවා.''

''දැන් ඔය ඉඩම තියෙන තැනට පොලිසියෙන් ආරක්ෂාව යොදවලා තියෙන්නේ." අබ්දුල් තස්ලීම් පැවසීය.

ආරුගම්බේ ප්‍රදේශයේ ඊශ්‍රායල් ජාතිකයින් විසින් පවත්වාගෙන යන බව කියන ආගමික ස්ථානය පිහිටි ඉඩම මීට පෙර මුස්ලිම් ජාතිකයෙකුට අයත්ව තිබු එකක් බව ද අබ්දුල් කලාම් තස්ලීම් පැවසීය.

"මේ ඉඩම මුස්ලිම් කෙනෙකුට අයිතිව තිබුණේ. ඒ කෙනා වෙන කෙනෙක්ට දීලා එතැනින් මේ ඊශ්‍රායල් අය අරන් තියෙනවා.''

''දැන් ඊශ්‍රායල් අය ආරුගම්බේ වැඩි වෙනවා. ඉතින් එයාලාගේ බිස්නස් කරන්න අදහසක් තියෙනවා කියලා පේනවා.''

''සමහර වෙලාවට ඒ අය සතියේ එක දවසකට තැනක් වෙන් කරගෙන එදාට එතන එයාලම කෑම හදාගෙන කාලා ඉන්නවා. සමහ‍ර වෙලාවට එහෙම තැන් වල අපේ ගමේ අය පවා එතනට වැඩ කරන්න යනවා." ඔහු කියා සිටියේය.

7326c740 9686 11ef 922a a10f79ada4a9.jpgආරුගම්බේ වෙරළ තීරය පාලුවට ගොස් තිබෙන අයුරු

'ඊශ්‍රායලයේ ඉදලා පුජකයින් පවා එනවා'

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක ජීප් රථ හිමියන්ගේ සංගමයේ සභාපති මොහොමඩ් මහරුෆ් කියා සිටියේ ප්‍රදේශවාසීන් ගෙන් ඊශ්‍රායල් සංචාරකයින්ට කිසිදු විරෝධයක් එල්ල නොවූ බවයි. එමෙන්ම ඊශ්‍රායල් ජාතිකයින්ට පමණක් වෙන් වූ ආගමික ස්ථානයට එරට සිට ආගමික පුජකයින් පවා පැමිණෙන බව ද ඔහු බීබීසී සිංහල සේවය වෙත පැවසුවේය.

" ආරුගම්බේ ප්‍රදේශයේ පවත්වාගෙන යනවා කියන ඊශ්‍රායල ආගමික ස්ථානයට ගමේ අයගෙන් විරෝධතාවයක් තිබුණේ නැහැ. ගොඩක් ඊශ්‍රායල් ජාතිකයින් පැමිණෙනවා රැස්වීම් වලට සහ ආගමික වතාවත්වල යෙදෙනවා. නමුත් මේ ස්ථානය මොකක්ද? මොකක්ද මේ වෙන්නේ කියන එක ගැන ගමේ කාටවත් අදහසක් නැහැ.''

''නමුත් එකම දේ ඊශ්‍රායල ජාතිකයින්ටම කියලා වෙන්වුණු තැනක් තියෙනවා කියන එක. ගොඩක් විදේශිකයෝ එනවා ආරුගම්බේ වලට. මේ ඊශ්‍රායල ජාතිකයින්ටත් සංචාරකයෝ වගේ ඇවිල්ලා යන්න පුළුවන්. අපි ඔවුන්ට එරෙහි වෙන්නේ නැහැ." ඔහු පැවසුවේය.

''සමහර වෙලාවට ඊශ්‍රායල් ඉදලා ඒ අයගේ ආගමික පුජකයින් පවා එනවා. ඔවුන් ඔලුවේ කළු පාට පොඩි තොප්පියක් වගේ එකක් දාගෙන එන්නේ. ඔවුන් කළු පාට කලිසම් ඇදලා සුදු ෂර්ට් ඇදගෙන ඉන්නේ.''

ac8ce180 9687 11ef 922a a10f79ada4a9.jpg ''සමහර වෙලාවට ඊශ්‍රායල් ඉදලා ඒ අයගේ ආගමික පුජකයින් පවා එනවා. ඔවුන් ඔලුවේ කළු පාට පොඩි තොප්පියක් වගේ එකක් දාගෙන එන්නේ. ඔවුන් කළු පාට කලිසම් ඇදලා සුදු ෂර්ට් ඇදගෙන ඉන්නේ.''

මේ අතර මොහොමඩ් මහරුෆ් වැඩිදුරටත් කියා සිටියේ ඊශ්‍රායල් ජාතිකයින් ආරුගම්බේ සිංහපුර ප්‍රදේශයේ ඉඩම් රැසක් මිලදී ගෙන ඇති බවට තොරතුරු පවතින බවයි.

" අපිට දැන ගන්න ලැබිලා තියෙනවා සිංහපුර ප්‍රදේශයේ ඊශ්‍රායල් ජාතිකයෙක් නිවසක් ඉදි කරලා එහි ජීවත් වෙනවා කියලා. ගොඩක් අය ඒ ගැන දන්නවා.''

''සමහර ඊශ්‍රායල් ජාතිකයින් මේ ප්‍රදේශයේ තිබෙන හිස් ඉඩම් මිලදී අරන් කියලා තොරතුරු තිබෙනවා. ඔවුන්ට ඉඩම් අරන් දෙන්න මේ ප්‍රදේශයේම ඉන්නා බ්‍රෝකර්වරුන් කටයුතු කරනවා කියලත් තොරතුරු තිබෙනවා. සමහර අය කොමිස් මුදල් ලබා ගන්න බ්‍රෝකර් වැඩ කරනවා. මෙහෙ ඉඩමක පවතින පර්චසයක මිලට වඩා වැඩි ගානක් දීලා ඔවුන් ඒ ඉඩම් මිලදී ගන්නවා.''

''ඊශ්‍රායල් ජාතිකයින්ගේ බලාපොරොත්තුවක් ඇති කියලා විශ්වාස කරනවා ඒ ඉඩම්වල තමන්ගේම කියලා ව්‍යාපාර හදාගෙන අනෙක් හෝටල් වලට ඔවුන්ගේ අය නොයවා ඉන්න. ඒ වගේම රෙස්ටුරන්ට් එහෙම හදා ගන්න. ආරුගම්බේ ප්‍රදේශයේ ඕනෑම බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු ආගම අදහන අයෙකුට ඇවිල්ලා ව්‍යාපාර කරන් යන්න හැකියාව පුළුවන්.''

''ඒ වගේම ගොඩක් ඊශ්‍රායල් ජාතික තරුණියන් නාන ඇඳුමෙන් පාර දිගේ ඇවිද ගෙන යනවා. ඒ වගේ දේවල් අපේ කාන්තාවෝ වගේම දරුවෝ දකිනවා. අපේ තරුණයෝ ඒ වගේ වෙලාවට ඊශ්‍රායල් තරුණියන්ට කියනවා පාරේ යන වෙලාවට ඇඳුමක් ඇදගෙන යන්න කියලා.''

''නමුත් ඔවුන් මාර්ග නීති ආරක්ෂා කරන්නේ නැහැ. සමහ‍ර වෙලාවට ජාතික වනෝද්‍යාන වලට ගියාමත් ඒ වගේ තත්ත්වයක් තියෙනවා කියලා ආරංචි එනවා." ඔහු කියා සිටියේය.

29a486c0 9690 11ef 90df 3f1823a91773.jpg''සමහර ඊශ්‍රායල් ජාතිකයින් මේ ප්‍රදේශයේ තිබෙන හිස් ඉඩම් මිලදී අරන් කියලා තොරතුරු තිබෙනවා. ඔවුන්ට ඉඩම් අරන් දෙන්න මේ ප්‍රදේශයේම ඉන්නා බ්‍රෝකර්වරුන් කටයුතු කරනවා කියලත් තොරතුරු තිබෙනවා. සමහර අය කොමිස් මුදල් ලබා ගන්න බ්‍රෝකර් වැඩ කරනවා."

' යුද්දෙන් මැරුණ අයගේ ෆොටෝ අලවලා තියෙනවා '

ආරුගම්බේ ප්‍රදේශයේ ආගමික ස්ථානය පවත්වාගෙන යන ඊශ්‍රායල් ජාතිකයින් විසින් එම ස්ථානයේ වූ තාප්පයේ අලවා ඇති ඡායාරූප යුද්ධයෙන් මියගිය ඊශ්‍රායල් ජාතිකයින්ගේ බව ප්‍රදේශවාසින් විසින් දැන ගත්තේ පසු කාලයක බව මොහොමඩ් මහරුෆ් පැවසුවේය.

" එතැන කරන් යන්නේ මෙහෙම එක්ක කියලා අපි දන්නේ නැහැ. එතැන ඉඩමේ තිබ්බ කාමර 04 ඩෝසර් කළා. ඩෝසර් කරලා එතන බිමට සිමෙන්ති දාලා කෑම කන තැනක් වගේ හැදුවා. අපි හිතුවේ ඩෝසරයක් හදනවා කියලා. අවුරුදු දෙකක් වගේ ගියාම තමයි එතන දේවල් පටන් ගත්තේ.''

''එතැනට පොලිසියේ අය ආරක්ෂාවට යොදලා තියෙනවා. ඕනෑම වෙලාවක ගියොත් ඔයාලට ඒක දැන ගන්න පුළුවන්. ඒ තැන එළියේ තාප්පේ ෆොටෝ එහෙම අලවලා තියෙනවා අපි පස්සේ දැක්කා. එතකන් අපි දැනන් හිටියේ නැහැ මේ ෆොටෝ වල ඉන්නේ යුද්දෙන් මැරුණ ඊශ්‍රායල් ජාතිකයින්ගේ කියලා.''

''මෙහෙම ප්‍රහාරයක් එල්ල වෙනවා යනවා කියලා දැන ගත්තම අපිම තමයි පොලිසියට හමුදාවට දැනුම් දුන්නේ මෙහෙම ෆොටෝ අලවලා තියෙනවා කියලා එතන." ඔහු පැවසීය.


8a443f80 9685 11ef 90df 3f1823a91773.jpg "ඒ තැන එළියේ තාප්පේ ෆොටෝ එහෙම අලවලා තියෙනවා අපි පස්සේ දැක්කා. එතකන් අපි දැනන් හිටියේ නැහැ මේ ෆොටෝ වල ඉන්නේ යුද්දෙන් මැරුණ ඊශ්‍රායල් ජාතිකයින්ගේ කියලා.''

'මේක හොල්මන් නගරයක් වගේ'

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමට පැමිණි ප්‍රංශ ජාතික යුවලක් බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙම ප්‍රදේශය 'හොල්මන් නගරයක්' සේ දිස්වන බවය.

' අපි දින දෙකක් වෙනවා ආරුගම්බේ ප්‍රදේශයට ඇවිල්ලා. මේක හොල්මන් නගරයක් වගේ පෙනෙන්නේ. මෙහෙ ඉන්න සාමාන්‍ය වැසියන් අපිට ඡායාරූප වලින් පෙන්නුවා ජනතාවගෙන් පිරි ඉතිරි ගියාම මේ නගරය කොහොමද තියෙන්නේ කියලා. අද සර්ෆින් ක්‍රීඩාවට ආවම මෙතන හිටියේ අපි විතරයි. අපිට හිතුනා අපි විතරක් ඉන්න නිසා අනතුරක් නැති වෙයි කියලා. මේ ස්ථානය ලස්සනයි. කාලගුණයත් සුන්දරයි. ගොඩක් ආරක්ෂක අංශ ඉන්නවා මෙහෙ. අපගේ ආරක්ෂාව ගැන බියක් නැහැ. සංචාරකයෝ අඩු නිසා අපිට සාමාන්‍ය ජනතාව සමග කතා කරන්න පහසු වුණා." එම යුවල පැවසීය.

මේ අතර ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණි නොර්වේ ජාතික තරුණියක් වන ඇන්ඩ්රියා පැවසුවේ තමන් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණීමට පෙර සිය තානාපති කාර්යාලය මෙන්ම රක්ෂණ ඒජන්සිය අමතා ආරක්ෂාව පිළිබඳව තක්සේරුවක් ලබාගත් බවයි.

" මම ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා ආවේ ඉන්දියාවේ ඉදලා. මමත් මගේ යෙහෙළියන් තිදෙනෙකු පැමිණියා. අපි දැනුවත් වුණා ආරුගම්බේ ප්‍රදේශයට සංචාරක උපදේශනයක් පනවා තියෙනවා කියලා. ඒ ගැන මම නොර්වේ තානාපති කාර්යාලයෙන් වගේම මගේ රක්ෂණ නියෝජිතායතනයට කතා කරලා යම් තහවුරු කර ගැනීමක් සිදුකළා.''

''මේ ප්‍රදේශයේ ආරක්ෂාවට ගොඩක් ආරක්ෂක අංශ යොදවා තියෙනවා. මේ දක්වා ආරක්ෂාව ගැන කිසිම ගැටලුවක් ඇතිවෙලා නැහැ. මෙහෙ ඉන්න සාමාන්‍ය ජනතාවත් හොදයි." ඇය පැවසීය.


6dcaab20 960b 11ef 83ca a3329ade90f4.jpg' අපි දින දෙකක් වෙනවා ආරුගම්බේ ප්‍රදේශයට ඇවිල්ලා. මේක හොල්මන් නගරයක් වගේ පෙනෙන්නේ. මෙහෙ ඉන්න සාමාන්‍ය වැසියන් අපිට ඡායාරූප වලින් පෙන්නුවා ජනතාවගෙන් පිරි ඉතිරි ගියාම මේ නගරය කොහොමද තියෙන්නේ කියලා.'

' මේ ප්‍රශ්නේ නිසා සංචාරකයින් එන්න බයයි'

මේ අතර තංගල්ල ප්‍රදේශයේ සිට පැමිණ ආරුගම්බේ ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යනු ලබන වර්ෂාහැන්නදිගේ සුජිත් කියා සිටියේ ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය සඳහා වැඩියෙන්ම පැමිණෙන්නේ ඊශ්‍රායල් ජාතිකයින් බවයි.

"මෙහෙට වැඩියෙන්ම එන්නේ ඊශ්‍රායල් සංචාරකයෝ. ඊශ්‍රායල් අයට ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා කතාවක් තිබුණ නිසා ඒ අය ගියා. එක පාරටම වගේ ගෙස්ට්ලා නැතුව ගියේ. ඊශ්‍රායල් අයට මෙහෙන් යන්න කියලා තියෙනවා. ඒ නිසා ඒ අය මිරිස්ස සහ ඇල්ල පැතිවලට ගියා. නමුත් දැන් ආපහු ටික ටික සංචාරකයෝ එනවා. මොකද දකුණු පළාතේ සීසන් එක පටන් අරං තියෙන නිසා එහෙට එන අය මෙහෙට එනවා. නමුත් මේ ප්‍රශ්නේ නිසා ඒ අය දැන් එන්න බය වෙනවා." ඔහු පැවසුවේය.

මේ අතර බීබීසී සිංහල සේවයේ මාධ්‍යවේදීන් කණ්ඩායම ආරුගම්බේ ප්‍රදේශයේ සිදුකළ සංචාරයේදී එම ප්‍රදේශයේ බොහෝ ව්‍යාපාරික ස්ථාන පාලුවට ගොස් තිබු ආකාරය දක්නට ලැබුණු අතර, ඇතැම් ව්‍යාපාරික ස්ථාන ඒ වන විටත් වසා දමා තිබුණි.

a9596730 960b 11ef 83ca a3329ade90f4.jpg " මේ සිදුවීම ගැන තොරතුරු එන කොට ගොඩක් සංචාරකයෝ මෙහෙ හිටියේ. නමුත් තානාපති කාර්යාල නිකුත් කරපු නිවේදනයත් එක්ක ගොඩක් අය යන්න ගියා. නැත්නම් ඒ අය තවත් ඉන්නවා."

'ආරක්ෂාව නම් සීයයට 1000ක් දීලා තියෙනවා'

ආරුගම්බේ ප්‍රදේශයේ හෝටල් හිමියෙකු වන පී. දයාරත්න පැවසුවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමට පෙර සිටම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබු බවයි.

" ඒක නිකුත් කරන්න ඉස්සර වෙලා මෙහේ ආරක්ෂාව තර කරලා තිබුණේ. ඒක අපිවත් දන්නේ නැහැ. ඒක දිගටම පැවතුණා. ආරක්ෂාව අන්තිම ඉහළටම තිබුණා.. සීයයට දාහක් වගේ කියන්න පුළුවන්."

"මෙහෙ දැන් වැහි කාලය පටන් ගන්නවා. එතකොට මෙහෙ සීසන් එක ඉවරයි කියලා කියනවා. නමුත් එහෙම නෙමෙයි, විදේශිකයෝ වගේම ලංකාවේ දේශීය සංචාරකයෝත් එනවා මේ කාලෙට. නැත්නම් දේශීය සංචාරකයෝ තමයි ගොඩක් එන්නේ මේ දවස්වලට. දැන් ඒ දේ තමයි නැති වෙලා තියෙන්නේ."

" ආරුගම්බේ ප්‍රදේශයට යුරෝපා රටවල සංචාරකයින් එනවා මුල් කාලයේදී. ඇමෙරිකානු සංචාරකයින් සාමාන්‍ය ප්‍රමාණයක් එනවා. ඒත් අන්තිම කාල සීමාවට වැඩියෙන්ම එන්නේ ඊශ්‍රායල් ජාතිකයින්. ඔවුන් ගොඩක් විනෝදයෙන් ඉන්න අය."

"මේ සිදුවීම ගැන තොරතුරු එන කොට ගොඩක් සංචාරකයෝ මෙහෙ හිටියේ. නමුත් තානාපති කාර්යාල නිකුත් කරපු නිවේදනයත් එක්ක ගොඩක් අය යන්න ගියා. නැත්නම් ඒ අය තවත් ඉන්නවා." ඔහු පැවසුවේය.

මේ අතර ආරුගම්බේ ප්‍රදේශයේ තිබෙන ඊශ්‍රායල් ජාතිකයින්ගේ ආගමික ස්ථානයට ප්‍රදේශවාසීන් ගෙන් විරෝධතාවයක් එල්ලවී තිබේද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමේදී ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

"එහෙම දේවල් නැතුව නෙමෙයි. ඒ අයගේ ආගමේ දවසක් තියෙනවා සිකුරාදා වගේ දවසක්. ඔක්කොමලා ඒකට ලෑස්ති වෙනවා. කෑම බිම අරන් එකට එකතු වෙලා ආගම කියලා,ඒකට ගමේ අයගෙන් විරුද්ධ නැහැ. ඒ දවසට කවුරුවත් හෝටල් වලින් කන්නේ නැහැ. ඒ අය එදාට ඒ ඉන්න තැන ඉදලමයි ආහාර පාන ලෑස්ති කරන් කන්නේ. ඒක එයාලගේ ආගමේ සිරිතක් වෙන්න ඇති." ඔහු පැවසුවේය.

(දිනුක් හේවාවිතාරණ සහ සිදේශ් අනුරංග)
බීබීසී සිංහල සේවය
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...