අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, බරපතල දූෂණ, අයහපත් කළමනාකරණය සහ ආපදාවෙන් පසු විපතට පත් ධීවරයින් පිරිසකට තවමත් වන්දි නොලැබීම ඇතුළු කරුණු පිළිබඳව දිගින් දිගටම චෝදනා එල්ලවෙමින් පවතින වාතාවරණයකදීය.
සිංගප්පූරුවේ ලියාපදිංචි MV X-Press Pearl භාණ්ඩ ප්‍රවාහන නෞකාව 2021 මැයි මාසයේ මීගමුව ආසන්න මුහුදේදී ගිනි ගැනීමත් සමග නයිට්‍රික් ඇසිඩ් සහ ප්ලාස්ටික් කැබිලිති ඇතුළු අන්තරායකර ද්‍රව්‍ය ටොන් ගණනක් ඉන්දියන් සාගරයට කාන්දු විය. නෞකාවෙන් නිකුත් වූ විෂ කාන්දුව නිසා මත්ස්‍යයන්, කැස්බෑවන් සහ අනෙකුත් සාගර ක්ෂීරපායින් විශාල ප්‍රමාණයක් මිය ගිය අතර ධීවර පවුල් 20,000 කට වැඩි පිරිසකට තාවකාලිකව ජීවනෝපාය අහිමි විය.
එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයෙන් වෙරළට ගසාගෙන ආ ප්ලාස්ටික් නූඩ්ල්ස් එකතු කිරීමේ කාර්යයේ 200කට ආසන්න කාන්තාවන්
නෞකාවේ ගින්න සහ තෙල් කාන්දුවෙන් වසර තුනකට පසුවත්, ජනතාව තවමත් යුක්තිය සහ වගවීම අපේක්ෂා කරති.
ඉහත කී සියලු චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වීමෙන් පසුව පූර්ණ විමර්ශනයක් පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කරයි.
“X Press Pearl නැවේ ව්‍යසනය ගැන චෝදනා ගණනාවක් තියෙනව," මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත්, අල් ජසීරා සහ Watershed Investigations ආයතනයට පැවසීය.
“සිදු වූ දේ ගැන සත්‍යය සොයා ගැනීමට මම පෞද්ගලිකව කැප වෙනවා. අපි ඒ සියලු චෝදනා ගැන සොයා බලනවා."
'මුදල් විශුද්ධිකරණය'
සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (මීපා ආයතනය - MEPA) විසින් පත් කරන ලද 40 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවේ තක්සේරුවකට අනුව, ව්‍යසනයෙන් සිදු වූ පාරිසරික හානිය සඳහා ශ්‍රී ලංකාව ලන්ඩන් නුවර පිහිටි P&I Club රක්ෂණ සමාගමෙන් ඩොලර් බිලියන 6.4ක වන්දියක් ඉල්ලා සිටියි. රනිල් වික්‍රමසිංහ පාලන සමයේ, 2023 අප්‍රේල් මාසයේ, සිංගප්පූරුවේදී මෙම නඩුව ගොනු කරන ලදි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ව්‍යසනය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම පිණිස පිහිටුවන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මේ වසරේ සැප්තැම්බරයේ භාරදුන් වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවට මේ වන විට ලන්ඩන් P&I Club සමාගමෙන් ඩොලර් මිලියන 12.5 කට ආසන්න මුදලක් ලැබී තිබේ.
ඊට අමතරව, ගතවගිය තෙවසර තුළ සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියට රුපියල් මිලියන 3.5ක් ලැබුණු අතර, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 3කට ආසන්න මුදලක් ලැබී තිබේ. විදේශීය රක්ෂණ සමාගමක් විසින් එතරම් මුදලක් රුපියල්වලින් ගෙවීම බරපතල දූෂණ සම්බන්ධ සැක සංකා මතු කළ අතර ඒ පිළිබඳව ද නව විමර්ශනයේ අවධානයට ලක්වනු ඇත.
කලපුවේ තාවකාලික මසුන් ඇල්ලීම තහනම් කර ඇති පසුබිමක...
ව්‍යසනයෙන් අනතුරුව වෙරළ පිරිසිදු කිරීම භාරව කටයුතු කළේ මීපා ආයතනයයි. ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයක වෙලී, දැවැන්ත විදේශ විනිමය හිඟයකට මුහුණ දී සිටි අවස්ථාවක, ඒ සඳහා බ්‍රිතාන්‍ය රක්ෂණ සමාගම රුපියල්වලින් කරන ගෙවීම් භාර ගන්නා ලෙස රනිල් වික්‍රමසිංහ පාලනයේ ඉහළ බලධාරීන්ගෙන් තමන්ට බලපෑම් එල්ල වූ බව, මීපා ආයතනයේ හිටපු ප්‍රධානී, නීතිවේදිනී දර්ශනී ලහඳපුර අල් ජසීරා පුවත් සේවයට කියා සිටියාය.
"ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීම භාර ගන්නා ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප වතාවක්ම මට බලපෑම් කළා,” ලහඳපුර සඳහන් කළාය.
ශ්‍රී ලංකා රුපියලේ අගය 2022 දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 50% කින් පමණ පහත වැටුණි. එවැනි වාතාවරණයක රුපියල්වලින් වන්දි ගෙවීමට උත්සහ කිරීම මගින්, ”මම හිතන්නේ නැව් හිමියන් අපේ ආර්ථික අර්බුදයෙන් අනිසි ප්‍රයෝජනයක් ගන්න උත්සාහ කළා කියල. ඒ අතරේ සමහර රාජ්‍ය නිලධාරීන් නැව් සමාගමේ ඒ ප්‍රයත්නයට සහය දුන්න,” ඇය වැඩිදුරටත් පැවසුවාය.
රුපියල්වලින් ගෙවීම් භාරගැනීමට තමන් “දැඩි ලෙස විරුද්ධ වූ” බව දර්ශනී ලහඳපුර පාර්ලිමේන්තු තේරීම් කමිටුව හමුවේ පැවසීය. නමුත් පසුව, රක්ෂණ සමාගම විසින් මීපා ආයතනයට දේශීය මුදලින් ගෙවීම් දෙකක් සිදු කර තිබේ.
”ඇයගේ මතය අනුව, රුපියල් වලින් ගෙවීම් භාර ගැනීම මගින් මුදල් විශුද්ධිකරණය පිළිබඳ අවදානමක් මතු විය,” ලහඳපුරගේ ප්‍රකාශය උපුටා දක්වමින් තේරීම් කාරක සභා වාර්තාවේ සඳහන් වී තිබුණි.
ඉහත කී චෝදනා සම්බන්ධයෙන් ලන්ඩන් නුවර පිහිටි P&I Club රක්ෂණ සමාගම හෝ නැව් හිමිකරුවෝ අල් ජසීරා වෙත ප්‍රතිචාරයක් නොදැක්වූහ.
වන්දි ඉල්ලීම ‘ප්‍රමාද කිරීම’
මෙම ව්‍යසනය මගින් සමුද්‍ර දූෂණ වැලැක්වීමට සහ කළමනාකරණය කිරීමට රටට ඇති හැකියාවෙහි තීරණාත්මක හිඩැස් හෙළිදරව් වූ බව හිටපු අමාත්‍ය රමේෂ් පතිරණගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කමිටුව නිගමනය කර තිබුණි.
එපමණක් නොව, ශ්‍රී ලංකා බලධාරීන් විසින්, එවකට නීතිපති සංජය රාජරත්නම් ගේ අධීක්ෂණය යටතේ, 2023 අප්‍රේල් මාසයේදී සිංගප්පූරුවේදී පී ඇන්ඩ් අයි ක්ලබ් වෙතින් වන්දි ඉල්ලා නඩුව ගොනු කරන ලද්දේ ව්‍යසනය සිදුවී මාස 23 කට පසු, ජාත්‍යන්තර නීතිය යටතේ නියම කර ඇති කාල සීමාව අවසන් වීමට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදීය.
”එක්ස්ප්‍රස් පර්ල් නෞකා ව්‍යසනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී නීතිපති දෙපාර්තමේන්තුව (AGD) පාර්ශ්වයෙන් කිසියම් උදාසීනභාවයක් හෝ හිතාමතා ප්‍රමාද කරන හැඩක් දක්නට ලැබුණ," බව දර්ශනී ලහඳපුර පාර්ලිමේන්තු කමිටුවට පැවසීය.
කෙසේ වෙතත්, පාරිසරික බලපෑම් වාර්තාව ප්‍රමාද වී ඉදිරිපත් කළ බව පවසමින්, එවකට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, නඩු පැවරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මීපා ආයතනයට දොස් පැවරීය.
වසර තුනකට පසුවත්, කාන්තා සේවිකාවන් X-Press Pearl හි ප්ලාස්ටික් කර එකතු කිරීම
නම හෙළි නොකරන මෙන් ඉල්ලා සිටි ශ්‍රී ලංකා රජයේ නිල මූලාශ්‍රයකට අනුව, නීතිපති දෙපාර්තමේන්තුව නැව් හිමියන්ගේ ඉල්ලීම්වලට කඩිනමින් ප්‍රතිචාර දැක්වූ නමුත් මීපා ආයතනයේ විමසීම්වලට ප්‍රතිචාර දැක්වීමට බොහෝ කාලයක් ගත විය.
”නීතිපති දෙපාර්තමේන්තුවේ කෙනෙකුට මූල්‍ය ප්‍රතිලාභයක් ලැබුණ කියල කෙලින්ම චෝදනා කරන්න මට සාක්ෂි නැහැ, නමුත් ඒ වගේ වැදගත් නඩුවක් ගැන රටේ නීතිපති දෙපාර්තමේන්තුව ඒ තරම්ම උදාසීන විදියට වැඩ කළා නම්, එතෙන්දි පැහැදිලිවම සැකයක් මතුවන,” බව එම මූලාශ්‍රය අල් ජසීරා වෙත පැවසීය.
ඉහත කී චෝදනා සම්බන්ධයෙන් අල් ජසීරා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කළ ඊමේල් පණිවුඩවලට මෙතෙක් ප්‍රතිචාර ලැබී නැත. හිටපු නීතිපති සංජේ රාජරත්නම් ද ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කළේය.
සිංගප්පූරුවේ නඩු පැවරුවේ ඇයි?
නව විමර්ශනයේ අවධානයට ලක්වීමට ඉඩ ඇති තවත් මතභේදාත්මක කරුණක් වන්නේ අනතුර සිදු වූ ශ්‍රී ලංකාව තුළ නොව, නෞකාව ලියාපදිංචි කළ සිංගප්පූරුවේදී වන්දි නඩුව පැවරීමට තීරණය කිරීමයි.
“අපි නිර්දේශ කළේ ශ්‍රී ලංකාවේ දී නඩු පවරන්න කියල,” MEPA ආයතනය විසින් පත් කරන ලද නීති විශේෂඥයින්ගේ කමිටුවේ සාමාජික ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර අල් ජසීරා වෙත පැවසීය. ”කොහොම වුණත්, ඒ වෙලාවේ තිබුණ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගත්තම, විශේෂයෙන්ම ඇතිවිය හැකි2 ප්‍රතිවිපාක ගැන සලකා බැලුවම, සිංගප්පූරුවේ නඩුව ගොනු කරන්න නීතිපතිවරයා තීරණය කළේ කොහොමද කියන එක ගැන ප්‍රබල ප්‍රශ්න මතු වෙනවා.
සමුද්‍රීය අනතුරු සම්බන්ධ වගකීම් සීමා කිරීමේ සම්මුතියට (LLMC සම්මුතිය) සිංගප්පූරුව අත්සන් කර තිබීම හේතුවෙන්, වන්දි මුදල දළ වශයෙන් ඩොලර් මිලියන 25කට පමණ සීමා විය හැකි බව, තේරීම් කමිටු වාර්තාවේ සඳහන් කර තිබෙන බව ආචාර්ය ගුණසේකර පෙන්වා දුන්නේය.
සෑම කාන්තා සේවිකාවක්ම දිනකට රුපියල් 3,000ක් (ඩොලර් 10ක්) පමණ උපයා ගනී
"සිංගප්පූරුවේ නීතිමය වියදම් සඳහා ඇමති මණ්ඩලය මුලින් ඇස්තමේන්තු කර තිබුණේ ඩොලර් මිලියන 4.2ක්. පස්සේ ඒක සංශෝධනය කරල දැන් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඩොලර් මිලියන 10ක් වෙන් කරල තියෙනව,” ලහඳපුරගෙන් පසුව MEPA සභාපති ලෙස පත් වූ අසේල රැකව පැවසීය.
රජය ඇස්තමේන්තු කර ඇති පරිදි නීතිමය පිරිවැය ඩොලර් මිලියන10ක් වුවහොත්, පිරිසිදු කිරීම සහ වන්දි ගෙවීම සඳහා ඉතිරිවනු ඇත්තේ ඩොලර් මිලියන15ක පමණ මුදලකි.
මෙම නඩුව සිංගප්පූරුවේ පැවරීමට ගත් තීරණය ශ්‍රී ලංකා රජයට විශාල පාඩුවක් වූ බව විවේචකයෝ පෙන්වා දෙති.
“විදේශ විනිමය හිඟය නිසා ශ්‍රී ලංකාව බංකොලොත් වෙලා හිටපු වෙලාවක, මේ වෙනුවෙන් වටිනා විදේශ මුදල් සංචිත වියදම් කරන්න සිදුවුණ බව අපට දැනගන්න ලැබුණ,” බව විශේෂඥ කමිටුවේ සම සභාපති මහාචාර්ය අජිත් ද අල්විස් පැවසීය.
”ඊට අමතරව, අපේ අධ්‍යයනය වෙනුවෙන් බොහෝ අංශවලින් සහ ආකාරවලින් අපට ලැබුණ සහයෝගය ඉතාම අල්පයි."
කෙසේ වෙතත්, තේරීම් කමිටු වාර්තාවට අනුව, ”අහිතකර ප්‍රචාරණය සහ ආරක්ෂාව සම්බන්ධ බිය හේතුවෙන්” ශ්‍රී ලංකාවට පැමිණිය නොහැකි බව සඳහන් කළ ලන්ඩනය මූලස්ථානය කරගත් P&I Club සමාගම, වන්දි ගෙවීම පිළිබඳ සාකච්ඡා සඳහා සිංගප්පූරුවේ දී සම්බන්ධ වීමට කැමැත්ත පළ කොට ඇත.
එවකට ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍යවරයා වූ විජයදාස රාජපක්ෂ ද නඩු පැවරීම සඳහා සිංගප්පූරුව තෝරා ගැනීම අනුමත කළේය.
”සිංගප්පූරුව නැව් සමාගම් දහස් ගණනක් ලියාපදිංචි කරල තියෙන රටක්. සිංගප්පූරු උසාවියේ තීන්දුවක් නොසලකා හැරල තමන්ගේ බිස්නස්වලට හානි කරගන්න කිසිම සමාගමක් කැමති වෙන එකක් නැහැ,” යනුවෙන් ඔහු අල් ජසීරා වෙත පැවසුවේ, ඕස්ට්‍රේලියානු නීති සමාගමක උපදෙස් ප්‍රකාර අවසන් තීරණයට එළැඹි බව ද සඳහන් කරමිනි.
”කොහොම වුණත්, බ්‍රිතාන්‍ය රක්ෂණ සමාගමකට එරෙහිව ශ්‍රී ලංකාවේ අධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක කරන එක දුෂ්කර වෙන්න ඉඩ තිබුණා,” ඔහු පැවසීය.
ධීවර දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, මේ වනවිට ධීවරයින් 20,000 කට ආසන්න පිරිසකට ඩොලර් මිලියන 10 කට ආසන්න මුදලක් වන්දි වශයෙන් ගෙවා තිබේ. එහෙත් එය ප්‍රමාණවත් නොවන බව ධීවර වෘත්තීය සමිති නායකයෙකුගේ අදහසයි.
"ප්‍රදේශය සහ රැකියාව අනුව ධීවරයින්ට රුපියල් 10,000 ඉඳල රුපියල් 270,000 අතර විවිධ මුදල් ලැබිල තියෙනව. නමුත් තවත් සමහරුන්ට කිසිම මුදලක් ලැබිල නැහැ. වක්‍ර ධීවරයින් 2,000 ක් විතර තවමත් යම් වන්දියක් ලබාගන්න බලාපොරොත්තුවෙන් අභියාචනා ඉදිරිපත් කරල තියෙනව,” සමස්ත ලංකා ධීවර සමිතියේ කලපු ධීවරයින් සම්බන්ධ කමිටුවේ කැඳවුම්කරු රොජර් පීරිස් අල් ජසීරා වෙත පැවසීය.
“නමුත් මම ඒක වන්දියක් විදියට සලකන්නේ නැහැ. ඒක, ක්ෂණික ආදායමක් අහිමිවීම නිසා දුන්න මුදලක් විතරයි. ධීවරයන්ට වන්දි ලබාදීම ගැන වෙනමම කතා කරන්න ඕනේ. මේ නඩු සේරම ඉවර වුණ දවසක තමයි, ධීවරයින්ට හරියට වන්දියක් ලැබෙන්නේ."
(මෙම වාර්තාව, පුලිට්සර් සෙන්ටර් (Pulitzer Center) හි ඕෂන් රිපෝටින් නෙට්වර්ක් (Ocean Reporting Network) අනුග්‍රහය සහිතව වෝටර්ෂෙඩ් ඉන්වෙස්ටිගේෂන්ස් (Watershed Investigations) සංවිධානය සමග එක්ව වසරක් පුරා කෙරෙන ගවේෂණයක කොටසකි.)
(සරෝජ් පතිරණ සහ ලියානා හොසේ විසිනි)
(සරෝජ් පතිරණ)
[බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක)
sarojpathi@gmail.com
සබැඳි පුවත් :
එක්ස්ප්‍රස් පර්ල් නඩුව ගැන නියෝගයක්
එක්ස්ප්‍රස් පර්ල් අර්බුදය : ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් වන්දි ඉල්ලයි
එක්ස්ප්‍රස් පර්ල් නඩුව අද සිංගප්පූරුවේදී කැඳවයි
එදා ගිනිබත් වූ නැව මෙවර දියබත් වෙයි ද? -(ගාමිණී වියන්ගොඩ)
එක්ස්ප්‍රස් පර්ල් වන්දි නඩුව : ජනාධිපති මාධ්‍ය අංශයෙන් වීඩියෝවක්
ගිනිගත් 'එක්ස්ප්‍රස් පර්ල්' නැවේ කප්පම්කරුගේ නම එළියට !
එක්ස්ප්‍රස් පර්ල් : 'වන්දි වෙනුවට පගා ගහලා' - විපක්ෂ නායක
'එක්ස්ප්‍රස් පර්ල්' නෞකා සමුද්‍ර දූෂණයට ලංකාවේ නඩු පවරන්න ජාත්‍යන්තර බාධාවක් නැහැ - (CENS)
ගිනිගත් නැවේ වන්දි වලක්වන්න කෝටි 25 පගාව ගත්තේ කව් ද ?
එක්ස්ප්‍රස් පර්ල් නැවේ අනතුරෙන් පගා ගැසීම පසුපස කුප්‍රකට අයෙක් ! - චම්පික කියයි
එක්ස්ප්‍රස් පර්ල් නෞකා වන්දි ගැටුම : අවසන් වාර්තාව ලබන සතියේ නීතිපතිට
සමාජ මාධ්‍යවේදී හදුන්ගොඩට එරෙහිව CID විමර්ශනයක්
එක්ස්ප්‍රස් පර්ල් : ගිනිගත් නැවෙන් වන්දි ගන්න සිංගප්පුරු යෑම ලංකාවට අවාසි ද?
මහ සයුරට වස විස එක් කළ 'එක්ස්ප්‍රස් පර්ල්' වන්දිය අහිමි වෙයි ද?
එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි නඩුව සිංගප්පූරුවට ගෙනයාම සැක කටයුතුයි!
එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි නඩුව : පාර්ලිමේන්තු කාරක සභාවක අවධානය
එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගැටුම : නඩුව සිංගප්පූරුවට
එක්ස්ප්‍රස් පර්ල් වන්දි අර්බුදය : නීතිපති සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ගැටුමක !
එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයෙන් මහ සයුරට පිළිකා හදන වස විස එක්වෙලා



