The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මහබැංකුව සුද්ද සිංහලෙන් කියන දේ පවා නොවැටහෙන හෙළයේ යක්කු - (ගාමිණී වියන්ගොඩ)

T

The Leader Desk

November 1, 2024 • 6:39 AM

මහබැංකුව සුද්ද සිංහලෙන් කියන දේ පවා නොවැටහෙන හෙළයේ යක්කු - (ගාමිණී වියන්ගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මන්ද යත්, බීරි අලියෙකුට ශ්‍රවණාස්වාදයක් සැපයීම සඳහා නිරර්ථක ප්‍රයත්නයක් ගැනීමට තරම් මෝඩයෙකු වීම ගැන ය.
  • එහෙත්, ඔහු වීණාව වයන්නේ අලියා බිහිරි බව නොදැන නම්, ඔහුට සමාවක් තිබේ.
  • එහෙත්, නෑසෙන බවක් පිටට අඟවා සිටීමට හරි හපන්නු ය.
  • ඔවුන් කරන්නේ, තමන් තැන්පත් බවක් මතුපිටින් පෙන්නා, අනෙක් හැමෝම කුලප්පු කිරීමට බැලීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එනම්, වීණා වාදකයා ය. මන්ද යත්, බීරි අලියෙකුට ශ්‍රවණාස්වාදයක් සැපයීම සඳහා නිරර්ථක ප්‍රයත්නයක් ගැනීමට තරම් මෝඩයෙකු වීම ගැන ය. එහෙත්, ඔහු වීණාව වයන්නේ අලියා බිහිරි බව නොදැන නම්, ඔහුට සමාවක් තිබේ.

 

 

කෙසේ වෙතත්, මොන තත්වයක් යටතේවත්, අලියා වගඋත්තරකරුවෙකු කළ නොහේ. මන්ද යත්, උගේ බිහිරිකම පිළිබඳ වගවෙන්නට ඌට නොහැකි බැවිනි. එනම්, මේ උපමාවේ දැක්වෙන දෙන්නාම, කෙනෙක් කායික ආබාදයක් නිසාද, අනෙකා මානසික අනවබෝධයක් නිසාද, අහිංසක විය හැකිය.

එහෙත් මේ මොහොතේ දේශපාලනික 'අලි' විශේෂයක් ගම් වැදී සිටිති. ඔවුන්ගේ ලාංඡනය පවා 'අලියා' ය. ඒ අලින්ට කන් නෑසීමේ කිසි ආබාදයක් නැත. එහෙත්, නෑසෙන බවක් පිටට අඟවා සිටීමට හරි හපන්නු ය. නොදැනුවත්කමක් හෝ අනවබෝධයක් නිසා නොව, දේශපාලනික කුහකකමක් නිසා ය. මේ දිනවල මුහුණුපොත වැනි තැන්වල මෙවැනි අලි කුලප්පු බොහොමයකි. ඔවුන් කරන්නේ, තමන් තැන්පත් බවක් මතුපිටින් පෙන්නා, අනෙක් හැමෝම කුලප්පු කිරීමට බැලීමයි. ඒ අතින් ගත් විට, කතරගම-බුත්තල මාර්ගයේ මහ දවල්ටත් කරදරකාරී රංචු වශයෙන් ගැවසෙන අලි රංචු මොවුන්ට වඩා අහිංසක යැයි සිතෙයි.

 

රූපවාහිනී සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ දිනවල පොල් පෝලිම් දකින්ට තිබේ. පොල් ගෙඩියක් සඳහා පෝලිමක සිටින්ට වීම සැබවින්ම ප්‍රවෘත්තියක් තමයි. ජනතාවගේ එදිනෙදා ජීවිතයට බලපාන සිල්ලර ලූහු ප්‍රවෘත්ති පවා රටට වැදගත් ය. එහෙත්, ඒ සාමාන්‍ය ප්‍රවෘත්තියෙන් පටු දේශපාලනික පාඩමක් ප්‍රක්ෂේපණය කිරීමට තැත් කෙරෙයි නම්, ඒ ගැන කෙනෙකු දෙවරක් සිතා බැලිය යුතුය.

පොරොන්දු තියෙන්නේ කඩන්න - නැත්තං පොරොන්දු මතක් වෙන්නෙත් නැහැනෙ - (කුසල්  පෙරේරා)

 

ඒ මෙසේ ය: අනුර කුමාර දිසානායක ජනාධිපති පදවියට පත්ව මේ ගතවෙන්නේ පස්වැනි සතියයි. පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බැවින්, ව්‍යවස්ථාදායකයක් නැත. කැබිනට් මණ්ඩලය සමන්විත වන්නේ, ජනාධිපතිවරයාද ඇතුළුව, තුන්දෙනෙකුගෙන් පමණි.

ඒ එක පැත්තකි. එතකොට අනිත් පැත්ත? පොල්වල මිල ඉහළ ගොස් තිබේ. එසේ වන්නේ, එක්කෝ, පොල් අස්වැන්නේ හිඟයක් නිසා විය හැකිය. නැත්නම්, පොල් ප්‍රවාහණයේ සහ ඛෙදාහැරීමේ ප්‍රශ්නයක් නිසා විය හැකිය. එසේත් නැත්නම්, අතරමැදි ජාවාරම්කාර ස්වභාවයක් නිසා විය හැකිය. හේතුව පළමුවැන්න නම්, ඒ ගැන මේ ආණ්ඩුවට දොස් කීමෙන් වැඩක් නැත. මන්ද යත්, පොල් වගාව වර්ධනය කිරීම හෝ අඩාළ කිරීම සම්බන්ධයෙන් පසුගිය මාසය ඇතුළත මේ ආණ්ඩුව මගින් ගන්නා ලද කිසි පියවරක් ගැන දැනගැනීමට නැති බැවිනි.

 

දැන් වෙළෙඳපොළට එන්නේ (හෝ නොඑන්නේ), සැප්තැම්බර් 21 වැනිදා වන විට, එනම් පසුගිය ජනාධිපතිවරණයට කලින් දවස්වල පොල්ගස්වල හටගත් පොල්ගෙඩි මිස, ඉන්පසුව 'මාලිමාව' විසින් අලූතෙන් ඉන්දවන ලද පොල්පැලවලින් නෙලාගත් අස්වැන්නක් නොවේ. 

එහෙත්, මෙසේ පොල් මිල ඉහළ ගොස් ඇත්තේ දෙවැනුව හෝ තෙවැනුව කී කාරණය නිසා නම්, ඒ ගැන මේ ආණ්ඩුවට ඇඟිල්ල දිගු කිරීම අසාධාරණ නැත. එසේම එය වහා විසඳීමද අපහසු නැත. මාසයක කාලයක් වුව ඊට ප්‍රමාණවත් වන බැවිනි.

 

IMG 1173

එහෙත්, අද අපට දකින්ට ලැඛෙන්නේ, රතුපාට ටයිපටියක් කරේ බැඳගෙන මහපාරක පොල් විකුණන මහත්මයෙකුගේ පින්තූරයක් සහිත උපහාසාත්මක වාර්තාවන් ය. ඒවායින් ඉලිප්පීමට බලන්නේ වර්තමාන ආණ්ඩුවේ අසාර්ථකත්වය, අකාර්යක්ෂමතාව සහ ආධුනික භාවය වැනි කාරණා ය. ඒ කියන හැම අඩුවක්ම, අලූතෙන් බලයට පත් ආණ්ඩු පාර්ශ්වය තුළ තිබීමට බැරිකමක් නැත. එහෙත්, ඒ ගැන තීරණයක් ගැනීමට තරම්, මේ කියන කිසි කාරණයක් කොහෙත්ම ප්‍රමාණවත් නැති බව නම් පැහැදිලියි. ඒ අනුව ගත් විට, එවැනි විවේචන ව්‍යුත්පන්න වන්නේ, හුදෙක් පටු දේශපාලනික අවශ්‍යතා පෙරදැරිව පමණක්ම බව ඉඳුරා කිව හැකිය.

රුපියල් බිලියන 100 ක් අලූතෙන් අච්චු ගහල ද?

 

අච්චු ගහන කඩදාසි කන්න බැරි නිසා, ආහාර මිල වැඩිවෙනවා.' -කීර්ති තෙන්නකෝන්
වීණා වාදනය නෑසෙන සේ සිටින ලොකුම අලියා පෙනෙන්නේ, මේ රජය බලයට පත්වූ දා සිට මහබැංකුව විසින් රුපියල් බිලියන සියයකට අධික මුදලක් අලූතෙන් අච්චුගසා ඇතැයි කියන කතාව සම්බන්ධයෙනි. මේ හාහෝව පටන්ගත් දවසේ සිට එක මහත්මයෙක් සමාජ මාධ්‍ය හරහා පුහුදුන් අපේ දැනගැනීම සඳහා දෛනික වාර්තාවක් ඉදිරිපත් කරමින් අපව යාවත්කාලීන කෙළේය. ඒ , ''අද මහබැංකුව අච්චු ගැසූ මුදල් ප්‍රමාණය බිලියන මෙච්චරයි..! '' ආදී වශයෙනි. මේ ආන්දෝලනය මේ වන විට මොන තරම් උච්ච ස්ථානකයට නැඟ ඇත්ද යත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු උපදේශක මහත්මයෙක් අද මුහුණුපොතේ සටහනක් තබමින් මෙසේ කියා ඇත:

 

gini
 '' ලංකාවේ ඉන්නෙ, ආර්ථීක විද්‍යා දැනුම තියා, හරියට වැසිකිළියකට ගිහිල්ලා එන්නවත් දැනුමක් නැති, නූගත් මෝඩ හැත්තක්. එවැනි අමු ගොබ්බ සමාජයකට රටක මුදල් පාලනය කරන හැටි ගැන කියලා දෙන්න බැහැ. ඒවා තේරුම්ගන්න තරම් දියුණු මනසක් උන්ට නැහැ.''

එසේ කියා ඊට පේළි කිහිපයකට පසුව යළිත් ඔහු මෙසේ කියයි: 

'' මේ රටේ ඉන්නෙ නූගත්, වනචර, අහංකාර, ගොබ්බ හැත්තක්. එවැනි ජනතාවකට කවදාවත් දියුණු වෙන්න බැහැ. ගෝඨාභය ක්‍රියාත්මක කළ දේශීය ආර්ථීක යාන්ත්‍රණය විතරයි මේකට විසඳුම වුණේ. නමුත් ඒ අවස්ථාව අනුරලා විසින්ම විනාශ කළා. ඊනියා අරගලය නොකරන්න, ලංකාව අද වේගයෙන් සංවර්ධනය වෙන රටක්... මාලිමාවට කතිරය ගහපු අයට මට කියන්න තියෙන්න, ධර්මය ඔබට මඟ වේවා ! ''

මෙවැනි ප්‍රකාශ ගැන, පරිච්ඡේද ගණන් පිළිතුරු ලියා පාඨකයන් වෙහෙසට පත්කිරීම අනවශ්‍යයි. එහෙත්, ඔහු මුලින් පවසන සියල්ලත්, ඒවා පවසන ව්‍යාකරණය සහ ශෛලියත් සමග එහි අවසාන සිල් පදය පමණක් අවධාරණය කිරීමට මා කැමතියි. එනම්, අර තරම් අසාර කතාවක් සහ අශෝභන භාෂාවක් වහරණ මහත්මයෙකු, එහි අවසානයේදී ''ධර්මය ඔබට මඟ වේවා !'' යැයි ප්‍රාර්ථනා කරන්නේ මොන දිවකින්ද යන්නයි.

මේ ආණ්ඩුව ගැන විවේචන නොකළ යුතු අව්‍යක්ත ආකාරයක්ම ඔහු සිය විවේචනය සඳහා යොදාගෙන ඇත්තේ, හේතුවක් ඇතිවයි. එවැනි රළු ව්‍යාකරණයකින් තොරව, ගෝඨාභයගේ වසුරු ඉතිහාසය වැසීම අසීරු බව දන්නා බැවිනි. බළලූන් මලපහ කළ පසු වැලි අහුරකින් එය වසා යනවා ඔබ දැක තිබේද? එයින් ගන්ධස්කාරය නොවැසෙන බව ඌ දන්නවාදැයි අපි නොදනිමු. එහෙත්, එය උගේ සහජ පුරුද්ද බව නම් අපි දනිමු. එය පවා, ගලක පහරපු දාට ඌට කරගැනීමට නොහැකි වෙයි !.


 

ලංකාවේ ජනතාව ආර්ථීක විද්‍යා දැනුම අතින් පමණක් නොව, වෙනත් බොහෝ අංශවලින්ද, ප්‍රශස්ත මට්ටමක නැති බව ඇත්ත. මෙපමණ කලක්, ඔහුගේ හිටපු ජනාධිපතිවරයාද ඇතුළු බහුතරයක් නායකයන්ට සහ දේශපාලනඥයන්ට ඉතා පහසුවෙන් ජනතාව රැවැට්ටවීමට හැකි වුණේ එබැවිනි. ඒ ගැන බරපතළ විවාදයක් නැති මුත්, එහි අනිත් පැත්තේ කතාවක්ද ඇති බවත් අමතක නොකළ යුතුය. ගෝඨාභය රාජපක්ෂට බලයට පැමිණීම සඳහා කැළණි ගඟෙන් ප්ලාස්ටික් බෝතලයකින් නාගයෙකු වැඩැම්ම වූ පුද්ගලයාගේ ඇපත් රාජසන්තක කරවීමට ගිය වර ජනාධිපතිවරයේදී ජනතාව වගබලාගත් බව අපි දනිමු.

ඔව්, අපේ ජනතාව පාඩමක් ඉගෙනගන්නේ විශාල වියදමක් දැරීමෙන් පසුව යැයි කෙනෙකු කියන්නේ නම් සහ ඒ පාඩම යළිත් අමතක කිරීමටත් ඒ ජනතාව පෙළඹිය හැකි බවත් කියන්නේ නම්, ඒකත් ඇත්තයි. අර උපදේශකයා මෙසේ ලියන්නේ, 'මාලිමාව' අසාර්ථක වෙතොත්, අන්න ඒ ජනතාවගේ දුර්වලතාව (සුදුසුකම !) ස්වකීය ප්‍රයෝජනයට ගැනීමේ අනාගත අපේක්ෂාව නිසාම යැයි මම සැක කරමි.

පාලකයනට ඇන්දවිය නොහැකි වන තරමට අපි දැනුවත් වෙමු

 

 

අප කළ යුත්තේ, ජනතාවට බැණවැදීම නොව, ජනතාව හැකිතාක් දැනුවත් කිරීමට නිරතුරුව උත්සාහ කිරීමයි. සල්ලි අච්චු ගැසීම ගැන කතාව අපට එතැනින් පටන්ගත හැකිය. මේ කතාව සමාජගත කෙරුණේ සල්ලි අච්චුගැසීමක් වශයෙනි. ''අච්චු ගැසීම'' යන යෙදුම ආ සැනින්, පුහුදුන් සිතට එන්නේ, යම් මුද්‍රණ යන්ත්‍රයකින් අලූතෙන් අච්චුගැසෙන නෝට්ටු සහ කාසි තොගයකි. විවේචනය ඉදිරිපත් කළ පිරිසේ ආධ්‍යාශය වුණේද, ඒ රසවත් අර්ථයම ජනතා සිත්සතන් තුළ කාවැද්දීමටම තමයි. විජිත හේරත් ඒ පැනයට පිළිතුරක් දුන්නේය. මේ පිළිතුර ඇතැමුන්ගේ විවේචනයට ලක්ව තිබේ. ඔහු කීවේ, වර්තමාන මුදල් ඇමතිවරයාගේ අත්සන සහිත එක මුදල් නෝට්ටුවක් හෝ හැකි නම් ඉදිරිපත් කරන ලෙසයි. ප්‍රශ්නය ඉදිරිපත් කළ චෝදකයාගේ අදිසි අරමුණ ප්‍රකාරව ගත් විට විජිත හේරත්ගේ පිළිතුරත් ඊට සහමුලින්ම ගැළපෙයි. එහෙත්, චෝදනාව සහ පිළිතුර යන දෙකම, මිනිසුන් දැනුවත් කිරීමට වඩා මෝහයේම ගිල්වා තැබීමට තුඩුදෙයි. මේ කාරණය ගැන මහබැංකුව සවිස්තරාත්ම ප්‍රකාශයක් දැනටමත් කර තිබේ. එහෙත් අලියාට ඇසෙන පාටක් නැත.   

drte453dඉතා නුදුරේදී (දැන් පවා) කිසි මුදල් නෝට්ටුවක් දෑහින් නොදැක අපේ දින චර්යාව ගතවෙන ආකාරයක් අපට දැනගත හැකි වනු ඇත. එනම්, මූල්‍ය ක්‍රමය තුළ, ස්පර්ශනීය නෝට්ටු හෝ කාසි වශයෙන් නොව, යම් අස්පර්ශනීය අගයන් සමුදායක් වශයෙන් ආර්ථීකයක් තුළ ක්‍රියාත්මක වන බවයි. කෙසේ වෙතත්, 'මුදල් අච්චුගැසීම' යන බැවහැර ඥානයෙන් ගැනෙන්නේ, 'මුදල් මැවීමක්' නමැති සංකල්පීය මූල්‍ය ක්‍රියාකාරීත්වයකි. එනම්, ආර්ථීක ක්‍රියාකාරකම් සඳහා බැංකු සහ වෙනත් මූල්‍ය ආයතන හරහා මුදල් පැටව් ගැස්සවිය හැකි බවයි. එහි ගාමක කේන්ද්‍රය වන්නේ රටක මහබැංකුවයි. උදාහරණයක් වශයෙන්, මහබැංකුව වෙනත් වානිජ බැංකුවකට සපයන එක රුපියලකින්, මාස 18 ත් 24 ත් අතර කාලයකදී, එකී මුදල රුපියල් 9 ක් දක්වා වැඩි වන අගයක් බවට පරිවර්තනය වන බව, මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන පෙන්වා දෙයි. 'අච්චු ගැසීම' යන්නෙන් අදහස් වන්නේ අන්න ඒ කියන 'මුදල් මැවීමයි.' 

 



මෙය දිනපතා මහබැංකුවක් විසින් කරන කාර්යයකි. මහ බැංකුවක් එසේ කරන්නේ ඇයි? යම් නිශ්චිත දිනයක බැංකු පද්ධතියට අවශ්‍ය කරන යම් මුදල් ප්‍රමාණයක් තිබේ. උදාහරණයක් වශයෙන්, එදාට යම් පුද්ගලයෙකුට ඒ බැංකුව විසින් දිය යුතු නිවාස ණයක් හෝ ඒ බැංකුව විසින් ස්ථාවර තැන්පත්කරුවෙකුට ආපසු ගෙවිය යුතු මුදලක් වැනි දෙයක් විය හැකිය. මෙය හඳුන්වන්නේ බැංකුවක 'ද්‍රවශීලතාව' වශයෙනි. තනි පුද්ගලයෙකු වශයෙන් ගත්තොත් අද දවසේ වියදම් සඳහා මගේ අතේ ඇති මුදල මගේ ද්‍රවශීලතාවයි. එය, හිඟ එකක් විය හැකිවා සේම, අතිරික්ත එකක්ද විය හැකිය. එනම්, අද දවසේ මට කිරීමට ඇති වියදම රුපියල් දහසක් මුත් මගේ අතේ ඇත්තේ රුපියල් පන්සීයක් පමණක් නම්, එය හිඟ (ඌන) ද්‍රවශීලතාවකි. අද දවසේ මට කිරීමට ඇති වියදම රුපියල් දහසක් මුත් මගේ අතේ දෙදහසක් ඇත්තේ නම් එය අධි-ද්‍රවශීලතාවකි. මුළු රටක සමස්ත බැංකු ක්‍රමය තුළ පවත්නා ද්‍රවශීලතාවත් එසේ ය.

මූල්‍ය ක්ෂේත්‍රය තුළ පවතින ද්‍රවශීලතාව හිඟ වන විටත්, අතිරික්ත වන විටත්, රටේ ආර්ථීකයට හානි පැමිණෙයි. ඒ උද්ධමනය හෝ අවධමනය මාර්ගයෙනි. උද්ධමනය යනු, භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාමේ වේගයයි. අවධමනය යනු, මිළ පහළ යාමේ වේගයයි. මේ දෙකම, එක්තරා මට්ටමකින් පසු, නරකයි. එසේ හෙයින් මහබැංකුවක් දිනපතාම, මුල්‍ය ක්ෂේත්‍රයේ සමතුලිතතාවක් පවත්වාගත යුතුය. ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන පෙන්වා දෙන පරිදි, මේ උද්ධමන වේගය සියයට 2-3 අතර අගයක පවත්වාගැනීම මැනවි. ඒ සඳහා යම් දිනෙක, (එනම් අවධමනය පවතින අවස්ථාවක) සල්ලි අලූතෙන් පොම්ප කිරීමට මහබැංකුවට සිදුවෙයි. තවත් දිනෙක (එනම්, උද්ධමනය පවතින අවස්ථාවක) සල්ලි තමන් වෙතට ඇදගැනීමට මහබැංකුවට සිදුවෙයි.

Screenshot 2024 11 01 at 10.55.56 copy

මහබැංකුවේ ප්‍රධාන කර්තව්‍යයක් වශයෙන්, රටේ උද්ධමනය මේ වසර තුළ සියයට 5 සීමාවේ රඳවාගත යුතු බවට, රනිල් වික්‍රමසිංහගේ හිටපු රජය සහ මහබැංකුව අතර නීතිමය ගිවිසුමක් ඇති කරගෙන තිබේ. එහෙත්, පසුගිය මාසයේ (සැප්තැම්බරයේ) රටේ තිබුණේ උද්ධමනයක් නොව, සෘණ 0.5 ක අවධමනයකි. ඊයේ (30) ප්‍රකාශයට පත්, සංගණන සහ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ අලූත්ම වාර්තාවට අනුව, මේ මාසයේ තිබී ඇත්තෙත් උද්ධමනයක් නොව, සෘණ 0.8 ක් වන, ඊටත් වැඩි අවධමනයකි. ඒ නිසා අලූතෙන් ආර්ථීක ක්‍රියාවලිය තුළට මුදල් පොම්ප කළ යුතු විය. බිලියන 100 ක් අලූතෙන් 'මුදල් අච්චුගැසුවා' යැයි කියන්නේ එකී 'මුදල් මැවීමටයි.' මෙය මැවීමක් වන්නේ, මහබැංකුවේ සිට වෙනත් බැංකු වෙත නෝට්ටු වශයෙන් අලූතෙන් අච්චු ගසා අරගෙන ගියේය යන අදහසකින් නොව, ගිණුම් පොත් දෙකේ වාර්තා තුළින් (එනම්, මහබැංකුවේ පොතෙන්) අනිත් බැංකු අංශයේ පොත්වලට ඉලක්කම් ප්‍රවාහණය කිරීමක් සිදු වී ඇති බව ය.

 

ආර්ථික අර්බුධයට හේතුව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි!

ඇත්ත. ඒ  මගින්ද මුදල් සැපයුම වැඩි වන බව ඇත්ත. එනිසා, එය ආර්ථීකයට බලපෑම් ඇති නොකරතියි කිව නොහේ. ඒ කියන අලූතෙන් මැවූ මුදල් ප්‍රමාණය, ආර්ථීකයට ඔරොත්තු නොදෙයි නම්, (එනම්, සමස්ත ආර්ථීක ක්‍රියාකාරීත්වය සමග සමපාත නොවෙයි නම්) එය ආර්ථීකයට විනාශයක් වන බව අමුතුවෙන් කිව යුතු නැත. රාජපක්ෂවරු, දේශපාලනික අවශ්‍යතා සමග ගැටගගැසුණු රජයේ ආර්ථීක අවශ්‍යතා සඳහා මහබැංකුව ලවා මුදල් 'අච්චු ගැසීම' රටේ ආර්ථීකයට ප්‍රශ්නයක් වුණේ එබැවිනි. (ඔවුන් එය ඒ හැඳින්නුවේ, ''නූතන මූල්‍ය න්‍යාය'' නමිනි.) මේ මොහොතේ මහබැංකුව මුදල් මවා ඇත්තේ, ආණ්ඩුවේ කිසි අවශ්‍යතාවක් සඳහා නොව, රටේ මූල්‍ය ආර්ථීකයේ දෛනික අවශ්‍යතාවක් සඳහා ය. අලූත් 'මහබැංකු පනත' අනුව, කොහොමත් ආණ්ඩුවේ අවශ්‍යතා සඳහා මහබැංකුව විසින් මුදල් මැවීම (අච්චු ගැසීම) දැන් නීතියෙන් තහනම් ය.

දේශීය රුපියල් ණය ප්‍රතිව්‍යුහගත කිරීම තවත් අර්බුදයක් ද ? - (දිනේෂ්  වීරක්කොඩි )

 

උද්ධමනයක් සහ අවධමනයක් මහබැංකුවක් විසින් පාලනය කරගත යුත්තේ ඇයිද යන්නත්, අධි-උද්ධමනයකදී නම් මූල්‍ය ක්ෂේත්‍රයේ මුදල් සැපයුම මහබැංකුවක් මැදිහත් වී අඩු කළ යුත්තේ සහ අවධමනයකදී නම් මුදල් සැපයුම ප්‍රසාරණය කළ යුත්තේ ඇයිද යන්නත් පැහැදිලි කිරීමට මෙහිදී අවකාශ නැත. එහෙත්, ඒ කිසිවක් ගැන කතා නොකර, අලූත් ආණ්ඩුව බිලියන සිය ගණනින් මුදල් අච්චුගසා ඇතැයි කියන විට, ජනතා සිත්සතන් තුළට කාවදින්නේ, හිටපු මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල්ගේ කෙරුවාවම තමයි කියා ජනතාව අතර වැරදි අදහසක් පැතිරවීමට උත්සාහ දැරීම කනගාටුදායක ය.

කෙසේ වෙතත්, අවසානයේ කිව යුතු දෙයක් තිබේ. මේ කියන ජනප්‍රිය විවේචන ක්‍රමය ඔවුන්ද, එනම් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු 'මාලිමාව' ද ඉතා හුරතලෙන් කාලයක් තිස්සේ සංරක්ෂණය කරගෙන ආ ක්‍රමයකි. ඔවුන් විපක්ෂයේ සිටින විට බොහෝ ප්‍රශ්න දෙස ඔවුන් බැලූවේද මේ ජනප්‍රිය විලාසයෙන්මයි. දැන්, 'මාලිමා' ආණ්ඩුවක් යටතේ අලූත් සංස්කෘතියක් බිහි වෙතැයි යන බලාපොරොත්තුවක් ජනතාවට තිබේ. ඒ සංස්කෘතිය තුළට, මේ කියන කාරණයත් පාඨග්‍රන්ථයක් වශයෙන් ඇතුළත් කරගත යුතුව ඇත. එනම්, රටක සංකීර්ණ ප්‍රශ්න, සිල්ලරට උලූප්පා පටු දේශපාලන වාසි ලබාගැනීමේ පුරුද්ද අතහැරදැමීමත්, එකී අලූත් දේශපාලන සංස්කෘතිය තුළට ඇතුළත් කරගත යුතු බවයි.


පළාත් පාලන මැතිවරණය පිළිබඳ බලාපොරොත්තුව මිරිඟුවක්? -(ගාමිණී වියන්ගොඩ)(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

(ප.ලි. මේ සතියේ එක්තරා රූපවාහිනී වැඩසටහනකදී ඉතා ව්‍යක්ත සහ නිරවුල් ලෙසින් කාංචන විජේසේකර විසින් මේ අවසාන කාරණය පෙන්වා දෙන ලදි. ඔහුගේ දේශපාලනය සහ කඳවුර ගැන මේ ලියුම්කරුට මොන තරම් ප්‍රශ්න ඇතත්, තිත්ත ඇත්තක් වුණත් තර්කානුකූලව පැහැදිලි කරදීමේ දක්ෂතාවෙන් යුත් තරුණ දේශපාලනඥයකු වන නිසා, හැකි නම් ඒ  කතාවටත් සවන්දීම වැදගත් යැයි යෝජනා කරමි).



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මහබැංකුව සුද්ද සිංහලෙන් කියන දේ පවා නොවැටහෙන හෙළයේ යක්කු - (ගාමිණී වියන්ගොඩ) | The Leader