The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

උතුරේ බලය බෙදීම ගැන ජවිපෙ මහ ලේකම් ගේ ප්‍රකාශය පිළිබඳ උතුරේ දකුණේ පත්තර පිටු තුළ ලියැවුණු අයුරු

T

The Leader Desk

November 1, 2024 • 11:41 AM

උතුරේ බලය බෙදීම ගැන ජවිපෙ මහ ලේකම් ගේ ප්‍රකාශය පිළිබඳ උතුරේ දකුණේ පත්තර පිටු තුළ ලියැවුණු අයුරු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහ මැතිවරණයට නාම යෝජනා බාර දී සති දෙකකට ආසන්න කාලයක් ගත වී ඇති නමුත්, වෙනදා තරම් මැතිවරණ උණුසුමක්, හාවක් හූවක් රට තුළ තවමත් මතු වී නැති සේය.
  • මේ මොහොතේ දෙමළ පක්ෂ සහ දේශපාලකයන් අතර කිසියම් නොසන්සුන් ස්වභාවයක් පවතින නිසා, දෙමළ දේශපාලනයේ අරමුණු තරමක විසිරුණු ස්වභාවයක් ගෙන ඇත.
  • සත්‍යලිංගම් ඇතුලු පක්ෂයේ පරිපාලනයට එරෙහිව එම පක්ෂයේ ‍ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන මාර්කණ්ඩු නඩරාජා විසින් යාපනය උසාවියේ නඩුවක් ගොනු කිරීම පිළිබඳ ප්‍රවෘත්තිය ඔක්තෝබර් 15 වැනිදා කාලෙයිකදීර් , ඊළනාඩු , පුදියසු දන්දිරන් , කාලෙයිමුරුසු යන පුවත්පත්වල පළමු පිටුවේම පළ වී තිබුණි.
  • එම පුවත ඔක්තෝබර් 16 වැනි දා දි අයිලන්ඩ් පුවත්පතේ පළමු පිටුවේ ද ඔක්තෝබර් 17 වැනි දා මව්බිම පුවත්පතේ එකොළොස් වැනි පිටුවේ ද පළ වී තිබුනි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මහ මැතිවරණයට නාම යෝජනා බාර දී සති දෙකකට ආසන්න කාලයක් ගත වී ඇති නමුත්, වෙනදා තරම් මැතිවරණ උණුසුමක්, හාවක් හූවක් රට තුළ තවමත් මතු වී නැති සේය. දකුණේ කිසිදු දේශපාලන පක්ෂයක් හෝ මැතිවරණයට ඉදිරිපත් වී සිටින ස්වාධින කණ්ඩායමක් හෝ බරපතල ලෙස මැතිවරණ ව්‍යාපාරයේ නියැලී සිටිනුඑළිපිට දක්නට නැති අතරම වෙනදා මහා කලබගෑනියක් ලෙස ඇසෙන මඩ ගසා ගැනීම්, මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් හෝ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ නැගෙන චෝදනා හෝ මැසිවිලිවල ඝෝෂාව ද මෙවර එතරම් ඇසෙන්නට නැතුවා සේය. නව ජනාධිපතිවරයා පත් වී සිටින පක්ෂය වන ජාතික ජන බලවේගය වෙත තව තවත් ජනයා ඒකරාශි වේ යැයි ඇති වී තිබෙන විශ්වාසයත්, විපක්ෂයේ මන්ත්‍රී ධූර වෙනුවෙන් සටන් වදින පාර්ශ්ව තුළ තමන්ට ලැබෙන ජන බලය පිළිබඳව ඇති අඩමානයත් නිසා, මෙවර අප කිසිදාක අත්නොවිඳි තරමේ, සාපේක්ෂ මහත්මා මැතිවරණ සංස්කෘතියක් දකුණේ අත් දකිමින් සිටින්නේ යැයි කිව හැකිය.

අප කිසිදාක අත්නොවිඳි තරමේ, සාපේක්ෂ මහත්මා මැතිවරණ සංස්කෘතියක් දකුණේ අත් දකිමින් සිටින්නේ යැයි කිව හැකිය.

 

මේ අතර උතුරේ දෙමළ දේශපාලනය තුළ තවමත් පවතින්නේ කිසියම් ව්‍යාකූල තත්වයකි. මේ මොහොතේ දෙමළ පක්ෂ සහ දේශපාලකයන් අතර කිසියම් නොසන්සුන් ස්වභාවයක් පවතින නිසා, දෙමළ දේශපාලනයේ අරමුණු තරමක විසිරුණු ස්වභාවයක් ගෙන ඇත. පසුගිය සතියේ දෙමළ පුවත්පත් නිරීක්ෂණය කරන විට එම තත්වය පැහැදිලිව දක්නට තිබුණි.එසේම දකුණේ පුවත්පත් අතලොස්සක් ද එම තත්වය වාර්තා කරන්නට අමතක කර තිබුනේ නැත.

 

දෙමළ දේශපාලනයේ ව්‍යාකූල ස්වභාවය උතුරේ දකුණේ පත්තර පිටුවල සටහන් වී තිබුණු අයුරු

 

දෙමළ දේශපාලනයේ මතු වි තිබෙන වික්ෂිප්තභාවය පිළිබඳ දෙමළ පුවත්පත් වාර්තා කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේ දි ප්‍රධාන කාරණා දෙකක් නිරීක්ෂණය කළ හැකිය. පළමු කාරණය මේ මොහොතේ මැතිවරණ ව්‍යාපාරයට සමගාමීව මතු වී තිබෙන මතභේදකාරී තත්වය ප්‍රවෘත්ති ලෙස වාර්තා කර තිබීම සහ දෙවැනි කාරණය නම්, දෙමළ දේශපාලකයන් අතර ඇති අසමගිය නිසා, මෙවර දෙමළ ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් බලපෑම් සහගත විය හැකි දෙමළ දේශපාලන බලවේගයක් ගොඩනැගීමට හැකි වේද නොවේද යන අවිනිශ්චිතතාව තුළ, ඒ අර්බූදයෙන් ගොඩ ඒමට මං සොයමින්, දෙමළ ජනතාව ඒ පිළිබඳ දැනුවත් කෙරෙන දේශපාලන කතා සහ මත දැක්වීමේ ලිපි වලින් දෙමළ පත්තර පිටු සමන්විත වීමය.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) නායක මාවෙයි සේනාධිරාජා, වැඩබලන ලේකම් පී. සත්‍යලිංගම් ඇතුලු පක්ෂයේ පරිපාලනයට එරෙහිව එම පක්ෂයේ ‍ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන මාර්කණ්ඩු නඩරාජා විසින් යාපනය උසාවියේ නඩුවක් ගොනු කිරීම පිළිබඳ ප්‍රවෘත්තිය ඔක්තෝබර් 15 වැනිදා කාලෙයිකදීර්, ඊළනාඩු, පුදියසුදන්දිරන්, කාලෙයිමුරුසු යන පුවත්පත්වල පළමු පිටුවේම පළ වී තිබුණි. එම පුවත ඔක්තෝබර් 16 වැනි දා දි අයිලන්ඩ් පුවත්පතේ පළමු පිටුවේ ද ඔක්තෝබර් 17 වැනි දා මව්බිම පුවත්පතේ එකොළොස් වැනි පිටුවේ ද පළ වී තිබුනි. එම වාර්තා දෙකෙන්, දි අයිලන්ඩ් පුවත්පතේ පළමු පිටුවේ පළ වුනු පුවත වඩාත් විස්තරාත්මක විය.

 

පුදියසුදන්දිරන් වාර්තාව - 1 පිටුව - 2024.10.15

10.15 eelanadu The case against Mavei Senadhiraja and othersඊළනාඩු වාර්තාව - 1 පිටුව - 2024.10.15

10.15 kaleikathir The case against Mavei Senadhiraja and othersකාලෙයිකදීර් වාර්තාව - 1 පිටුව - 2024.10.15

10.15 kaleimurasu The case against Mavei Senadhiraja and othersකාලෙයිමුරුසු වාර්තාව - 1 පිටුව - 2024.10.15

 ITAK jaffna HC The Island 1 pg copyදි අයිලන්ඩ් වාර්තාව - 1 පිටුව  - 2024.10.16

ITAK high court mb 11 pg page 0001මව්බිම වාර්තාව - 11 පිටුව - 2024.10.17

මේ අතර ඔක්‍තෝබර් 15 වැනිදා දිනමිණ සහ දිවයින පුවත්පත්වල පමණක්, පිළිවෙලින් 3 වැනි සහ 11 වැනි පිටුවල එකම සිදුවීම, එකම වාර්තාව, වෙනස් වාර්තාකරුවන් දෙදෙනකුගේ නමින් වෙනස් සිරස්තල සමඟ පළ වී තිබුණි. එහි දිනමිණ පුවත්පතේ පළ වී තිබුනු වාර්තාවේ සිරස්තලය වූයේ “තමිල් අරසුපක්ෂයට මහ ලේකම් කෙනෙක් තෝරන සාකච්ඡා හතරක්ම බිඳ වැටෙයි” යන්නය. එම වාර්තා දෙකෙහි දක්වා තිබුනේ, තමිල් අරසු පක්ෂයට මහ ලේකම්වරයකු පත්කර ගැනීමට පැවැත්වූ, අසාර්ථක සාකච්ඡා වට හතරකින් පසු ඔක්තෝබර් 13 වැනිදා පැවැත්වූ පස්වැනි සාකච්ඡාවේදීත් මහ ලේකම්වරයකු පත් කර ගැනීමට නොහැකි වූ බවය. එම පක්ෂයේ අභ්‍යන්තර අර්බූදය පිළිබඳ විස්තරයක් ද එම වාර්තාවේ දීර්ඝව දක්වා තිබුණි. පුවත්පත් දෙකේ වාර්තා එක සමාන වුවද දිවයින පුවත්පතේ දක්වා තිබුණු සිරස්තලය මේ ආකාරයේ විය. “තමිල් අරසු සාකච්ඡා හතරම පුස් වෙයි. මතභේද නිසා පස්වෙනි එකත් හබක්” එම සිරස්තලය පැහැදිලිවම දිනමිණ පුවත්පතේ සිරස්තලයට සාපේක්ෂව උපහාසාත්මක බවක් මතුකරන යෙදුමකි. එම පුවත්පත්වල පළ වු වාර්තා දෙකෙහි අන්තර්ගතය එක ද අකුරකින් හෝ වෙනසක් නැති වුව ද, එයට යොදන වෙනස් සිරස්තලයකින් පමණක් වුව එම පුවත්පතේ මතවාදය වෙනුවෙන් විශාල දෙයක් කළ හැකි බව පෙන්වා දීමට දිවයින පුවත්පත භාවිතා කොට ඇති සිරස්තලය අපුරු නිදසුනකි.

ITAK general sec dinamina 03 pg.png page 0001දිනමිණ වාර්තාව - 3 පිටුව - 2024.10.15

ITAK general sec diwaina 11 pg copyදිවයින වාර්තාව - 11 පිටුව - 2024.10.15

 

පුදුමයට කාරණය නම්, තමිල් අරසු පක්ෂයට මහ ලේකම්වරයකු පත්කර ගැනීමේ පස්වැනි අසාර්ථක සාකච්ඡාව ද ඔක්තෝබර් 13 වැනි දා පැවැත් වූ බව සිංහල පුවත්පත්වල පළ වී තිබුණද, ඒ ආසන්න දිනවල එම පක්ෂයේ සාකච්ඡා වට පහක්ම අසාර්ථක වූ යැයි කියැවෙන පුවතක් අප අධ්‍යයනය කළ එකද දෙමළ පුවත්පතකවත් පළ වී තිබුනේ නැත.

 

මේ අතර දෙමළ ජාතික නැගිටීමක් අවශ්‍ය නම් ජනතාව කළ යුතු පළමු දෙය වන්නේ තමිල් අරසු කච්චි පක්‍ෂය දේශපාලන කරළියෙන් ඉවත් කිරීම යැයි පැවසූ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එන්.ශ්‍රීකාන්තා ‍ගේ ප්‍රකාශයක් ඔක්තෝබර් 16 වැනි දා ඊළනාඩු පුවත්පතේ 7 වැනි පිටුවේ පළ වී තිබුණි.

1016 E1ඊළනාඩු වාර්තාව - 7 පිටුව - 2024.10.16

 

එසේම ඔක්තෝබර් 20 වැනි දා කාලෙයිකදිර් පුවත්පතේ පළමු පිටුවේ ද දෙමළ දේශපාලනය තුළ ඇති අසමගිය පිළිබඳව කියාපාන තවත් වාර්තාවක් පළ වී තිබුණි. මේ වන විට ඇති විශාලම ගැටළුව වී ඇත්තේ, උතුරු නැගෙනහිර දෙමළ නියෝජනයක් ලබා ගැනීම යැයි ලංකා කම්කරු කොංග්‍රසයේ(CWC) මහ ලේකම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමාන් පැවසූ බව සඳහන් කොට තිබුණි. උතුරු නැගෙනහිර දෙමළ ජාතික සන්ධානය නොමැති නිසා උතුරු නැගෙනහිර දෙමළ නියෝජනය ලබා ගැනීම විශාල ප්‍රශ්නයක් වී ඇති නමුත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙමළ ආසන ඔවුන් රැක ගත යුතු බව ඔහු තවදුරටත් පවසා තිබුණි.

 

10.20 kaleikathir Jeevan Thondaman says that the biggest problem now is getting North East Tamil parliamentary representationකාලෙයිකදිර් වාර්තාව - 1 පිටුව - 2024.10.20

 

දෙමළ දේශපාලනය තුළ පැන නැඟි ඇති අර්බූදකාරී තත්වය පිළිබඳ  ප්‍රවෘත්ති පළ වෙනවාට අමතරව එම අර්බූදයෙන් ගොඩ ඒම සඳහා දෙමළ ජනතාව පෙළ ගැස්වීමේ කතිකාව ද දෙමළ පුවත්පත් පිටු අතරින් මතු වී තිබුණි.

ඔක්තෝබර් 17 වැනිදා කාලෙයිකදිර්, ඊළනාඩු සහ තිනක්කුරල් පුවත්පත්වල පිළිවෙලින් 5,7 සහ 16 යන පිටුවල උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂක සෙන්තිල්නාදන් මයුරන් විසින් කරන ලද ප්‍රකාශයක් පළ කර තිබුණි. ඔහුගේ ප්‍රකාශයේ මූලික හරය වූයේ දකුණේ කුමන ආකාරයේ දේශපාලන පරිවර්තනයක් සිදු වුව ද, දෙමළ ජනතාවගේ අවශ්‍යතාවලට හානියක් නොවන පරිදි දෙමළ ජනතාව ඡන්දය ප්‍රකාශ කළ යුතු බවය. දෙමළ ජනතාවට අවශ්‍ය වන්නේ දූෂණ වංචා නවත්වන නව දේශපාලනයක් පමණක් නොව, දෙමළ ජනතාවගේ ජාතිකත්වය පිළිගන්නා, දෙමළ ජනතාවගේ ඉල්ලීම් දිනා ගත හැකි දේශපාලනයක් බව දෙමළ ජනතාව අමතක නොකළ යුතු බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වී තිබුණි.

10.17 kaleikathir Senthilnathan Mayuran says that the people of the north should not get caught up in the wave of change in the southකාලෙයිකදිර් වාර්තාව - 5 පිටුව - 2024.10.17

10.17 eelanadu Senthilnathan Mayuran says that the people of the north should not get caught up in the wave of change in the southඊළනාඩු වාර්තාව - 7 පිටුව - 2024.10.17

10.17 thinakkural Senthilnathan Mayuran says that the people of the north should not get caught up in the wave of change in the southතිනක්කුරල් වාර්තාව - 16 පිටුව - 2024.10.17

“දෙමළ ජාතිකවාදයේ ව්‍යාජයන් සම්පූර්ණයෙන්ම අතුගා දමමු’’ නම් සිරස්තලය යටතේ නව දෙමළ ජාතික දේශපාලනයක් ගොඩනැඟීම සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් කරන ආරාධනාවක් පිළිබඳ සටහනක් ඔක්තෝබර් 19 වැනිදා කාලෙයිකදීර් සහ ඊළනාඩු යන පුවත්පත්වල පළමු පිටුවේ පළ වී තිබුණේය. ඔවුන් එහි ප්‍රධාන කොටම දක්වා තිබුනේ, දෙමළ ජනතාව සිදු කළ යුතු සැබෑ වෙනස නම් දෙමළ ජනතාවගේ දේශපාලන විමුක්තියට සහ දේශපාලන සංස්කෘතියට සම්පූර්ණයෙන්ම විරුද්ධ දේශපාලන භාවිතාවක් ප්‍රවර්ධනය කළ, ව්‍යාජ දෙමළ ජාතිකවාදය අතුගා දමා නව දෙමළ දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම බවයි. එසේම දකුණේ දේශපාලනය විසින් යෝජනා කරන දූෂණ විරෝධී හා ආකර්ශනීය දේශපාලන භාවිතාවක් වෙත නැඹුරු වීම දෙමළ ජනතාව දේශපාලනික වශයෙන් සිය දිවි නසා ගැනීමක් ද බව ද එම සටහනේ ඔවුන් මතක් කර දි තිබුණි.

10.19 eelanadu an invitation by students of Jaffna University to build a new Tamil national politicsඊළනාඩු වාර්තාව - 1 පිටුව - 2024.10.19

 

උතුරට බලය බෙදීම සම්බන්ධයෙන් ටිල්වින් සිල්වාගේ ප්‍රකාශය 

 අරගලය සම්පූර්ණ කර ගැනීමට ජනාධිපතිවරණය අවස්ථාවක් කර ගන්න

 

ඔක්තෝබර් 16 වැනිදා, දෙමළ පුවත්පත් කිහිපයක් එනම්,කාලෙයිකදිර්, කාලෙයිමුරුසු සහ ඔක්තෝබර් 17 වැනිදා තිනක්කුරල් යන පුවත්පත්වල පළමු සහ තුන්වැනි පිටුවල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා උතුරේ බලය බෙදීම පිළිබඳ කරන ලද ප්‍රකාශයක් දැක්වෙන වාර්තාවක් පළවි තිබුනේය. එහි මූලිකව දක්වා තිබුනේ, උතුරේ ජනතාවට දකු‍ණේ ජනතාවට වඩා වෙනස් බරපතල ප්‍රශ්න බොහොමයක් ඇති අතර උතුරේ ජනතාවට අවශ්‍යව ඇත්තේ අධ්‍යාපනය, කෘෂිකර්මය, සෞඛ්‍ය, ඉඩම් සහ භාෂාමය ගැටළු විසඳාගැනීමට මිස 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් උතුරේ ජනතාව ඉල්ලන්නේ නැති බව ටිල්වින් සිල්වා පෞද්ගලික මාධ්‍ය ආයතනයක පවත්වන ලද සාකච්ඡාවක දී පැවසූ බවය. මෙම ප්‍රකාශය මුල් කරගෙන ඉන් පසු එළැඹුනු දිනවල දෙමළ පුවත්පත්වල ඒ පිළිබඳව විරෝධය පළ කෙරෙන ලිපි පළ වී තිබුණි.

 

10.17 thinakkural JVP General Secretary Tilvin Silvas statement on the devolution of power in the Northතිනක්කුරල් වාර්තාව - 2024.10.17

10.16 kaleimurasu JVP General Secretary Tilvin Silvas statement on the devolution of power in the Northකාලෙයිමුරුසු වාර්තාව - 2024.10.16

 

“ජේවීපී පක්ෂයේ නව මුහුණුවර සහ ප්‍රතිපත්තිවල අනන්‍යතාව අනුර කුමාර දිසානායකයි. ඔහුගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ දෙමළ ජනයා පිළිබඳ සාපේක්ෂ ප්‍රගතිශීලී පැතිකඩක් තිබුණේ එබැවිනි. නමුත් ජවිපෙ තුළ ගතානුගතික අදහස්වල බලපෑම තවමත් ඉහළ මට්ටමක පවතින බවත් සිංහල ජාතිකවාදය ප්‍රවර්ධනය කරමින් ඡන්ද ආකර්ෂණය කර ගැනීම සඳහා එය තවදුරටත් ක්‍රියාකාරී වන බවත් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ අදහසින් පිළිඹිබු වේ.” - මේ ඒ පිළිබඳ ඔක්තෝබර් 16 වැනිදා කාලෙයිකදිර් පුවත්පතේ 4 වැනි පිටුවේ පළ වූ වාර්තාවකින් ගත් උපුටනයකි.

10.16 kaleikadir JVP General Secretary Tilvin Silvas statement on the devolution of power in the Northකාලෙයිකදිර් වාර්තාව - 4 පිටුව - 2024.10.16

එසේම එදිනම කාලෙයිමුරුසු පුවත්පතේ 9 වැනි පිටුවේ පළ වී තිබුණු මත පළ කිරීමේ ලිපියක් මඟින් ද ටිල්වින් සිල්වාගේ ප්‍රකාශය පිළිබඳ විරෝධය දක්වා තිබුණි. දකුණේ බලයට එන පක්ෂ වාංමාශික හෝ දක්ෂිණාංශික වැනි කුමන මතවාදය දැරුවත් ඔවුන් තුළ පවතින සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය වෙනස් කළ නොහැකි බවත්, ටිල්වින් සිල්වාගේ එම ප්‍රකාශයෙන් එය මනාව පැහැදිලි වන බවත් එම වාර්තාවේ සඳහන් වී තිබුණි. දෙමළ ජනතාව වරින් වර තමන්ගේ ඉල්ලීම්, අභිලාෂයන් මොනවාදැයි රටට පෙන්වා දී ඇති නමුත්, එම ඉල්ලීම් දෙමළ දේශපාලකයන්ගේ උවමනාවක් පමණැයි කිම, ජාතික ජන බලවේගය ප්‍රමුඛ ආණ්ඩුවද අතීතය සිංහල නායකත්වය සේම කුහක ලෙස ක්‍රියාකරන්නේය යන්නට සාක්ෂි සපයන බවද එම වාර්තාවේ පෙන්වා දී තිබුණි.

10කාලෙයිමුරුසු වාර්තාව - 9 පිටුව - 2024.10.16

මේ අතර ඔක්තෝබර් 18 වැනි දා, කාලෙයිමුරුසු පුවත්පතේ පළමු පිටුවේ ‘සැමට සමාන අයිතිවාසිකම්’ යන සිරස්තලය යටතේ පළවු ලිපිය‍ක “දෙමළ ජනතාවට බලය බෙදීම අවශ්‍ය නැහැ කියලා ටිල්වින් සිල්වා කළා යැයි කියන ප්‍රකාශය මට අසන්නට ලැබුණේ නැහැ. ශ්‍රී ලංකාවේ සැමට සමාන අයිතිවාසිකම් ඇති බව අපි පිළිගනිමු," යැයි ජාතික ජනබලවේගයේ විධායක සභික සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක විසින් වවුනියාවේ මාධ්‍ය සාකච්ඡාවක දී පැවසු බව  වාර්තා කොට තිබුණේය. ඔහු වැඩි දුරටත් පැවසුවේ යැයි එම ලිපියේ දක්වා තිබුනේ, දෙමළ මුස්ලිම් ජනතාවගේ සංස්කෘතික අයිතීන් ආරක්ෂා වී නොමැති බව ඔවුන් පිළිගන්නා බවත්, ඒ සඳහා එම ජනතාව ඉල්ලා සිටින 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය එම ගැටළු විසඳීමට ප්‍රමාණවත් නොවන නිසා, ඔවුන් නව ප්‍රතිපත්ති රැගෙන එන්නේ යැයි පැවසූ බවය.

 

10.18 Kaleimurusu Equal rights for allකාලෙයිමුරුසු වාර්තාව - 2024.10.18

 

එදිනම ඊළනාඩු පුවත්පතේ 4 වැනි පිටුවේ ද පළ වූ මත පළ කිරීමේ ලිපියකින්, ටිල්වින් සිල්වාගේ ප්‍රකාශය විවේචනයට ලක් කර තිබුණි. එහි විශේෂ‍යෙන් දක්වා තිබුණේ 13 වැනි සංශෝධනය ඉල්ලන්‍නේ දෙමළ ජනතාව නොව දෙමළ දේශපාලනඥයන්ය යන මතය අද ඊයේ මුල් බැස ගත් එකක් නොව සිංහල ජාතිකවාදීන්ගේ දේශපාලන ව්‍යාපාර නිසා දිර්ඝකාලින පැවත ආ එකක් බවය. එසේම තවදුරටත් එම ලිපියේ, දූෂිතයන් සහ ජාතිවාදීන් දේශපාලනයෙන් ඈත් කිරීමට ඔවුන් සමත් වී ඇති බව ජවිපෙ නායකයන් කිහිපදෙනකු පවසා සිටි බවත්, ජාතිවාදීන් දේශපාලනයෙන් ඉවත්ව සිටීම පමණක් ප්‍රමාණවත් නොවෙන අතර ඔවුන්ට තමන් කියන සාර්ථකත්වයට අර්ථයක් ගෙන ආ හැක්කේ ඒ ජාතිවාදීන් විසින් සිංහල ජනතාව තුළ රෝපණය කළ වැරදි අදහස් නැති වුවහොත් පමණකියි යන්න ද එම ලිපියේ සිහිපත් කොට තිබුණේය.

10.18 eelanadu The illusion of the changeඊළනාඩු වාර්තාව - 2024.10.18

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කළ බලය බෙදීම සම්බන්ධ ප්‍රකාශය පිළිබඳ දෙමළ පුවතපත් වල පළ වූ මෙවැනි ආකාරයේ ලිපි සියල්ලේම නිරීක්ෂණය කල එක් ලක්ෂණයක් මෙහි ලා සඳහන් කළ යුතුය. එනම් ඒ සෑම ලිපියකම ජාතික ජනබලවේගයේ ආණ්ඩුවකින් තම ඉල්ලිම් ඉටු වේවි යැයි අපේක්ෂාසහගත වූ ජනතාවකගේ එම බලාපොරොත්තු බිඳ වැටීමේ සේයාවක් එම ලිපි තුළ මතු වී තිබුණු බවය. විශේෂයෙන් ජනාධිපතිවරණයේ ප්‍රතිපල නිකුත් වූ, ඒ ආසන්න කාලයේ දෙමළ පුවත්පත්වල අන්තර්ගතය අධ්‍යයනය කරන විට දෙමළ ජනතාවට යුක්තිය ඉටු වේවි යන අපේක්ෂාසහගත බව, ඒ පිළිබඳ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පිළිබඳ විශ්වාසය තබා සිටින බව පෙනෙන්නට තිබුණි. එහෙත් ක්‍රම ක්‍රමයෙන්, නව ආණ්ඩුව ජීනිවා මානව හිමිකම් සමුළුවේ යෝජනා පෙර පැවති ආණ්ඩු අනුව යමින් ප්‍රතික්ෂේප කිරීම සහ ජනතා විමුක්ති පෙරමුණේ ඉහලම  නායකයකත්වයේ මෙවැනි ප්‍රකාශ වැනි කාරණා නිසා, දෙමළ ජනතාව තුළ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් පිළිබඳ තබා තිබුණු විශ්වාසයත්, අපේක්ෂා සහගත බවත් කිසියම් මට්ටමක පළුදු වීමේ ස්වභාවයක් සේම මෙම ලාබාල ආණ්ඩුව පිළිබඳ කිසියම් අප්‍රසන්නතාවක් දෙමළ සමාජය තුළ මතුවෙමින් ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රකාශය පිළිබඳ දෙමළ පුවත්පත්වල පිටු අතරේ මහා ඝෝෂාවක් ඇති වෙද්දි, දකුණේ ඒ පිළිබඳ වාර්තාවක් හෝ පළ වී තිබුනේ එකම එක සිංහල පුවත්පතක පමණි. ටිල්වින් සිල්වාගේ ප්‍රකාශය පදනම් කරගෙන ඔක්තෝබර් 20 වැනි දා මව්බිම පුවත්පතේ 2 වැනි පිටුවේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පළ කල අදහස් ඇතුළත් වාර්තාවක් පළ වී තිබුණි. “නව ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට වරින් වර ප්‍රකාශ කරන නමුත්, ජාතික ජනබලවේගයේ ප්‍රබලයකු විසින් බලය බෙදීම පිළිබඳ එවැනි අදහසක් දරන්නේ නම්, දෙමළ ජනතාවගේ ඉල්ලීම්වලට අනුව යන විසඳුමක් ඔවුන්ගෙන් අපේක්ෂා කළ නොහැකි බව ගජේන්ද්‍රකුමාර් පවසයි. ඒ නිසාම කිසි විටෙකත් ඒකීය රාජ්‍යය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත වීමට ඉඩ නොදිය යුතු යැයි ද තව දුරටත් ඔහු පැවසුවේ යැයි,” යි එම වාර්තාවේ සඳහන් කොට තිබුණි.

No constitution for Unitary state Gajendra MB 2 pg copyමව්බිම වාර්තාව - 2 පිටුව - 2024.10.20

පසුගිය සතිය තුළ මෙවැනි කාරණා උතුරේ දකුණේ පුවත්පත් පිටු අතරේ ලියැවී තිබුණ ද ජනාධිපතිවරණයට සාපේක්ෂව මහ මැතිවරණ ව්‍යාපාරය සමයේ දකුණේ සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත්වල දෙමළ ජනතාව හෝ එම ජනතාව‍ගේ දේශපාලනය පිළිබඳව පළ වී තිබුනේ ඉතාමත් අවම වාර්තා ප්‍රමාණයකි. එය සංඛ්‍යාත්මකව ගත‍හොත් දහයකට නොවැඩි ගණනකි. එසේම දෙමළ පුවත්පත් වලද ජනාධිපතිවරණ කාල සීමාවේදී තරම් බහුල ලෙස දෙමළ දේශපාලනය පිළිබඳව වාර්තා පළ වීමක් ද දක්නට නැත. එය ජය පරාජය පිළිබඳ ඇති පූර්ව නිශ්චය කිරීමක් නිසා රටේ දේශපාලන‍අවකාශයේ ඇතිවුණු ඇල්මැරුණු ස්වභාවය, පුවත්පත් පිටු අතරට ද කාන්දු වීමක් ලෙස නිගමනය කළ හැකිය.

සබැඳි ලිපි :
දෙමළ දේශපාලනයේ ව්‍යකූල තත්වය සහ ජීනිවා මානව හිමිකම් සමුළුවේ යෝජනා නව ආණ්ඩුව ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව උතුරේ දකුණේ පත්තර පිටු

මහමැතිවරණයක් අභියස මතුවන දේශපාලන ගතිකයන් සහ උතුරේ දකු‍ණේ පුවත්පත්

පශ්චාද් ජනාධිපතිවරණ සමයේ උතුරේත් දකුණේත් පත්තර පිටු

සුමන්දිරන් සමගි ජනබල‍වේගයට සහාය පළ කිරීම සහ අනුරගේ යාපා පටුනේ ප්‍රකාශනය

ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන සහ පත්තර අන්දර

දෙමළ ජනාධිපති අපේක්ෂක, අනුරපුර නාමල්ගේ සත්‍යක්‍රියාව සහ දකුණට මඟ හැරෙන උතුරු කතන්දර

දෙමළ ‘පොදු අපේක්ෂක,’ වතුකම්කරු පඩිය සහ නාමල්ගේ ආගමනය මුද්‍රිත පිටු අතරේ ලියැවුණු අයුරු

ආණ්ඩුවේ ඊනියා සමාව ගැනීම සහ සුපුරුදු මැතිවරණ පොරොන්දු මුද්‍රිත පිටු අතරේ ලියැවුණු අයුරු

දෙමළ මනාප පිටියේ රනිල් සජිත් පොරය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...