The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගැලරි චිත්‍රපට බැලුවා ඇති - 'සිරා චිත්‍රපටයක' පිටපත බලමු ද? - (කුසල් පෙරේරා)

T

The Leader Desk

November 3, 2024 • 5:57 AM

ගැලරි චිත්‍රපට බැලුවා ඇති - 'සිරා චිත්‍රපටයක' පිටපත බලමු ද? - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිනා වුනා, අත්පොළසන් ගැසුවා, විසිල් ගැසුවා.
  • මාලිමාව සජිත්ලව හවුල් කර ගනීද නැද්ද කියන එක සමහරවිට මාලිමාවට 113 ක් මන්ත්‍රීවරුන් නොසිටියොත් කතා වෙන්න ඉඩ තියේවී.
  • ඒ විහිළුවේ “ට්‍රැජඩිය” තමයි, “ඇයි මනුස්සයෝ 2019 සියයට 03 ක් ලැබිලා පැරදුනාට පස්සේ තමුසේ ගෙදරට වෙලා හිටියෙ නැත්තේ?” කියලා වික්‍රමසිංහ අහන්නේ නැති එක.
  • එයා කියනවා “පනත අවභාවිතා නොකරන විට ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ” කියලා.
අකුරු ප්‍රමාණය (Font Size):

හිනා වුනා, අත්පොළසන් ගැසුවා, විසිල් ගැසුවා. අනුර කුමාර, වසන්ත සමරසිංහ ලොරි ලෝඩ් එකක් ලිපිගොනු ගෙනැවිත් වේදිකාව පිරෙන්න ඒවා ගොඩ ගහලා “රාජපක්ෂ දූෂණවල සියලු තොරතුරු අපි ගාව තියෙනවා” කියලා කිව්වම, ඒ සිරා විහිළුවක් කියලා හිතුනෙම නැහැ කට්ටියට.

 


සජිත් ප්‍රේමදාස යාපනයේ ඉස්කෝලෙකට ගිහිං වටපිට බලලා “මෙහෙ ටෙස්ට් මැච් ප්ලේ කරන්න ග්‍රවුන්ඩ් එකක් නැද්ද?” කියලා ගුරුවරියකගෙන් අහනවා, අපට ඉළ ඇදෙන්න හිනා යන්න.

 



පාසල් වලට AI තාක්ෂණය හඳුන්වා දෙන්න ලංකාව මයික්‍රොසොෆ්ට් සමාගම එක්ක නියමු ව්‍යාපෘතියක් අත්සන් කෙරුවා කියලා ජනාධිපති වික්‍රමසිංහ ඉකුත් මාර්තු 21 වන දින “X” (කලින් ට්වීට්) සටහනක් තබා තියෙනවා දැක්කම, එහෙනම් ටොයිලට් නැති තුන් හාර දාහක් පාසල් වලටත් ඉක්මණින්ම AI තාක්ෂණය ලැබෙයි කියලා අපි දවසක්ම හිනා වුනා.

 

rq x3 copy
ඒ අතර පොහොට්ටුවේ අය ජනාධිපති වික්‍රමසිංහට කඩේ යන ගමන් වෙන මොනවද කියන්නෙ කරන්නේ කියලා හොයන්නත් අමතක උනා.

ජනාධිපතිවරණය අවසන් උනාට පස්සේ “සිරා” වැඩ පටන් ගනීවි කියලා හිතුවට, එහෙම උනේ නැහැ. අගමැතිනි ආචාර්ය හරිනි කියනවා, ජනාධිපති වික්‍රමසිංහ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ගැන කියන කැබිනට් තීන්දුව වැරදීයි කියලා. එහෙම කැබිනට් තීන්දු ගන්න මහ භාණ්ඩාගාරයේ මුදල් වෙන්කරවා ගෙන නැහැ කියනවා. කැබිනට් කියන්නේ ජනතාවගේ ඡන්දෙන් පත්වන මන්ත්‍රීවරුන්ගෙන් හදන ඇමති මණ්ඩලයට. ආණ්ඩුවට. ඒ ආණ්ඩු තීන්දු ගත්තම ඒවා ක්‍රියාත්මක කරන්නයි රාජ්‍ය දෙපාර්තමේන්තු තියෙන්නේ.

හරිනි කියන විදියට, ආණ්ඩුවකට තමන්ගේ ප්‍රතිපත්ති තීන්දු කරන්න දෙපාර්තමේන්තු අවසර අවශ්‍ය නැහැ. නමුත් මෙතන පොඩි ප්‍රශ්නයකුත් තියෙනවා. මුලු ආණ්ඩුවම ආධුනික උනාම, රජයේ නිලධාරීන් ඒ වාසිය ගන්නවා. ඒ නිසා වෙන්න ඕනේ, හරිනි හිතන්නේ රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරන්න මහ භාණ්ඩාගාරයේ අවසරයක් අවශ්‍යයි කියලා.

ඒ අස්සේ සජිත්ගෙ ස.ජ.බ කියනවා ජනාධිපති අනුර කුමාරගේ ආණ්ඩුවට හවුල් වෙලා උදව් කරන්න, ඒ අයට ඡන්දෙ දෙන්නලු. ඒ කියන්නේ සජිත් පරාජය බාර ගෙන ඉවරයි. මාලිමාව සජිත්ලව හවුල් කර ගනීද නැද්ද කියන එක සමහරවිට මාලිමාවට 113 ක් මන්ත්‍රීවරුන් නොසිටියොත් කතා වෙන්න ඉඩ තියේවී. අනෙක, සජිත්ලට ඡන්දෙ දෙන්නේ මොනවටද අනුරලාට හවුල් වෙන්න? ඒ ඡන්ද ටිකත් මාලිමාවටම දීලා මාලිමාවේම ආණ්ඩුවක් හැදුවම ඉවරනේ.

මේක “ට්‍රැජි-කොමඩියක” සීන් එකක්. ජයවර්ධන ආණ්ඩුවේ ඇමතිවරයෙකු හැටියට 77 දී දේශපාලනයට ආව රනිල් වික්‍රමසිංහ එදා ඉඳන් අවුරුදු 47 ක් ඇමතිවරයෙකු, විපක්ෂ නායකයෙකු, අගමැතිවරයෙකු, ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු සහ අහඹු ජනාධිපතිවරයෙකු හැටියට ජීවිතය වින්දට පස්සේ, දැන් දේශපාලනයෙන් ඉවත් වෙලා ගෙදර ඉන්න කියලා අනුර කුමාර කිව්වට ඒක වෙන්නෙ නැහැනෙ. ඒක ට්‍රැජි-කොමඩියක් වෙන්නේ, පළමු වරට 2000 දී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආව, අවුරුදු 24 ක්ම මන්ත්‍රීවරයෙක් හැටියට මහජන මුදලින් නඩත්තු උන, 2019 ජනාධිපතිවරණයේදී සියයට 03 ක් ඡන්ද ලබාගෙන පරාජය වුන අනුර කුමාර, 2024 ජනාධිපතිවරණයේ සියයට 17 ක් ඡන්ද ලැබුණු පරාජිත අපේක්ෂක වික්‍රමසිංහට “පැරදුනාට පස්සේ ගෙදරට වෙලා ඉන්න” කියන කතාවයි. ඒ විහිළුවේ “ට්‍රැජඩිය” තමයි, “ඇයි මනුස්සයෝ 2019 සියයට 03 ක් ලැබිලා පැරදුනාට පස්සේ තමුසේ ගෙදරට වෙලා හිටියෙ නැත්තේ?” කියලා වික්‍රමසිංහ අහන්නේ නැති එක.

 



මේ කාලයේ හොඳම කොමඩි කෑල්ල තමයි විජිත හේරත් ඇමති මණ්ඩල තීන්දු දැනුම් දෙමින් මෙතෙක් කල් ඔවුන් විරුද්ධ වුන “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත” අහෝසි කරන්න සාකච්ඡා කෙරුවේ නැහැ කියලා කියූ කතාව, එතැනින් එහාට විස්තර කරමින් ජනාධිපති අනුර කුමාරගේ නීති උපදේශක, අධ්‍යක්ෂ විජේබණ්ඩාර ඉංග්‍රීසි පුවත් පතකට කියන කතාව. එයා කියනවා “පනත අවභාවිතා නොකරන විට ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ” කියලා. මොන රාජ්‍ය නායකයද බොල කියන්නේ “අපි පනත අවභාවිත කරනවා” කියලා?

 

      

තාමත් උදේ හවස හැම ජාතියේම මාධ්‍ය වලින් විතරක් නෙවෙයි, වට්ස්ඇප් මෙසේජ් කරන, කතා කරන අයගෙනුත් අහන්න ලැබෙන්නේ ගැලරි දෙබස් ගැනමයි. තව දෙසතියකින් ආණ්ඩුවක් පත් කෙරෙනවා. ඒ ආණ්ඩුව මොනවටද පත් කරන්නේ? ඒ ආණ්ඩුවෙන් මොනවද ඉල්ලන්නේ? හොරු සේරම හිරේ දාන්නද? උගණ්ඩාවේ සල්ලි ගේන්නද? නැහැයි කියුව සැප වාහන හොයන්නද? විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කපා හරින්නද?

 

ඔව්, ඒවත් නීති ප්‍රකාරව, සාධාරණ පිළිවෙතකට පිරිසිදු කෙරෙන්න ඕනේ. නමුත් ආණ්ඩු පත් කරන්නේ ඒවටම නෙවෙයි. ඒවා ජාතික සංවර්ධනය සඳහා වැඩපිළිවෙලක් නැතිව රට හිනස්සන, අනාගත බිල්ලෝ මවන අයව ආණ්ඩු පාලනයට පත් කර ගත්තම ඉතිරි වෙන අකරතැබ්බ.

ඒ නිසා මෙදාවත් ආණ්ඩුවක් පත්කර ගන්න ඕනේ රටේ සංවර්ධනය වෙනුවෙන්. ඒකට ජාතික සංවර්ධනය වෙනුවෙන් පැහැදිලි සැළසුමක් ඇති පක්ෂයකට ඡන්දය දෙන්න ඕනේ. දැන් තියෙන වගකීම තමයි, ප්‍රමාද වෙලා හරි, ඊළග ආණ්ඩුව බරපතලම කාරණා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන විසඳුම් මොනවද කියලා අහන එක. ඒවා අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු ප්‍රවාහනය, නිවාස, ග්‍රාමීය ආර්ථිකය කියලා ව්‍යුක්ත මාතෘකා වශයෙන් කතා නොකර, ඉදිරි අවුරුදු 05 ක කාලයේ විසඳන්න අවශ්‍ය සංයුක්ත ප්‍රශ්න ලෙස ඉදිරිපත් කරන එක වඩා වැදගත්.

ඒ නිසා අපි මෙහෙම අහමු.

 

The Leader | We Lead the Nation - Results from #4880

01. අපේ රටේ දිළිඳුකම තුරන් කිරීමේ සෘජු මැදිහත්වීම පටන් ගත්තේ 1990 දී ජනාධිපති ප්‍රේමදාස ගේ ජනසවියෙන්. ඊට පස්සේ 1994 ජනාධිපති චන්ද්‍රිකා ඒක සමෘද්ධි කරනවා. දැන් ජා.මූ.අරමුදල ඇවිත් අස්වැසුමක්ද එකතු වෙලා. නමුත් අවුරුදු 33 ට පස්සෙත් 2023 වන විට සමෘද්ධිලාභීන් මිලියන 1.8 ක් වෙනකොට, ඊට අමතරව අස්වැසුම ප්‍රතිලාභීන් මිලියන 02 ක් ඉලක්ක කර තිබෙනවා. ඉදිරි අවුරුදු 05 ක කාලය තුල, දුප්පතුන් සියයට 50 කින් වත් අඩු කරන්න මීට වඩා කාර්යක්ෂම, පලදායි සැළසුමක් තියෙනවද? 

02. ලබන අවුරුද්දේ ඉඳලා කොළඹ සහ ප්‍රධාන නගරවල "අති ජනප්‍රිය පාසල්වල" පළමු වසරට ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා මේ තියෙන අති දූෂිත පිළිවෙත ඉවත් කරමින් වඩා සාධාරණ පිළිවෙතක් ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. ඒ සඳහාවන සැළසුම මොකක්ද?

අපේ හතේ පොතෙන්' දරුවන් වල් වේද? - මැදගොඩ උන්නාන්සෙට ඇති රුදාව මොකද්ද?

 

03. ගුරු පත්වීම් ලබාදීමේ අපිළිවෙල නිසා ළමුන් ගැන සහ ඉගැන්වීම පිළිබඳ කිසිම අවබෝධයක් නැති, ජාතිවාදී විශාල පිරිසක් ගුරු සේවයේ ඉන්නවා. ඒ නිසා ඉදිරියේදී ගුරු පත්වීම් දීමේ අවම සුදුසුකම් සහ තෝරා ගැනීමේ නිශ්චිත විවෘත පිළිවෙතක් ඇතිව, වත්මනෙහි ඇති නාම මාත්‍රික ගුරු පුහුණුවීම් වෙනුවට දියුණු වෘත්තීය පුහුණුවීම් හා උසස්වීම් ඇති වෘත්තීය ගුරු සේවයක් සඳහාවන වැඩ පිළිවෙලක් තියෙනවාද?

04. නොකඩවා වැඩිවෙන රෝහල් ඇඳන්, වෛද්‍යවරුන් සහ රෝගීන් සංඛ්‍යාව මත ආණ්ඩුවට ඔරොත්තු නොදෙන යෝධ ආයෝජන අවශ්‍ය ප්‍රතිකාරක සෞඛ්‍ය සේවය වෙනුවට ප්‍රජා මූලික රෝග නිවාරණ සෞඛ්‍ය සේවාව දියුණු කිරීමේ සැළසුම් තියෙනවාද? ඒක ඉදිරිපත් කරන්න පුළුවන්ද?

05. කෝච්චි පෙට්ටිවල හිර කෙටිලා, එක එකාගේ කරෙත් නැගලා, වහලටත් නැගලා උදේ හවස ගමන් යන්නට සිද්ධ වෙලා තියෙන දුම්රිය මගී සේවාව, සුව පහසු සේවාවක් ලෙස දියුණු කරන සැළසුම මොකක්ද?

 

රිමාන්ඩ් බන්ධනාගාර ගතවූවන් 23,000කට ඡන්ද අයිතිය අහිමිවෙලා - (චාන්දනී  දිසානායක)

06. වැඩි කතා බහට ලක් නොවුනට, ගිය අවුරුද්දේ ඉතිරි වූ නඩු සංඛ්‍යාව ලක්ෂ 11 ක් කියලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අධිකරණ අමාත්‍යාංශයේ 2023 කාර්ය සාධන වාර්තාවේ තිබුණා. විගණකාධිපති වාර්තාවකට අනුව බන්ධනාගාරවල ඒවට ඔරොත්තු නොදෙනවාට වඩා සියයට 232 ක් වැඩියෙන් රැඳවියන් ඉන්නවා. මේවාට විසඳුම් අවශ්‍ය යැයි. ඒ විසඳුම් මොනවද?

මේ කිසිවක් පැය 24 න් තියා මාසයකින්වත් විසඳන්න බැහැ. නමුත් අදියරෙන් අදියර විසඳන සැළසුමක් අවශ්‍යයයි. ඒ නිසා අපි අහන්නේ ඒ සැළසුම කෝ කියලා. ගැලරි කතා නතර කරලා අපි දියුණු සංවර්ධන පිටපතක් ගැන කතා කරමු කියලා.    

මෝඩිගේ හින්දුත්වා 'පූරිය' - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2024 නොවැම්බර 02


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගැලරි චිත්‍රපට බැලුවා ඇති - 'සිරා චිත්‍රපටයක' පිටපත බලමු ද? - (කුසල් පෙරේරා) | The Leader