The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඇමරිකානු තානාපතිවරියගේ උතුරේ සංචාරය සහ දකුණට නොදැනුනු උතුරේ පුවත්

T

The Leader Desk

November 5, 2024 • 8:03 AM

ඇමරිකානු තානාපතිවරියගේ උතුරේ සංචාරය සහ දකුණට නොදැනුනු උතුරේ පුවත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔක්තෝබර් 22 සිට 28 වැනිදා දක්වා ගෙවුණු සතියේ දෙමළ පත්තර පිටු අතරේ දෙමළ දේශපාලන අවකාශයේ දිගහැරුණු විශේෂ සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබුණි.
  • ඇමරිකානු තානාපතිනියගේ එම සංචාරය පිළිබඳ ආරම්භයේ සිට අවසානය දක්වා, එනම් ඔක්තෝබර් 24 වැනි දා සිට 27 වැනි දා දක්වා සවිස්තරාත්මක වාර්තා බොහෝ දෙමළ පුවත්පත්වල පල වී තිබුණි.
  • මලෙයිමුරුසු වාර්තාව - 2024.10.24 ඊළනාඩු වාර්තාව - 2024.10.24 ඔක්තෝබර් 25 වැනිදා සිලෝන් ටු‍ඩේ පුවත්පතේ තුන්වැනි පිටුවේ ඇමරිකානු තානාපතිනිය යාපනය විශ්ව විද්‍යාලයේ කරන ලද සංචාරය පිළිබඳ කෙටි වාර්තාවක් සපයා තිබුණි.
  • එහි ඇය යාපනයේ සිදු කළ සංචාරයේ අරමුණු, තානාපතිවරියගේ ට්විටර් පණිවිඩයක් උපුටා දක්වමින් සඳහන්කොට තිබුණු අතර යාපනය විශ්ව විද්‍යාලය තුළ ඇය මුණගැසුණු විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ පරිපාලන නිලධාරින්ගේ ලැයිස්තුවක් ද සඳහන් කොට තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔක්තෝබර් 22 සිට 28 වැනිදා දක්වා ගෙවුණු සතියේ දෙමළ පත්තර පිටු අතරේ දෙමළ දේශපාලන අවකාශයේ දිගහැරුණු විශේෂ සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබුණි. ඉන් සමහරක් දකුණේ පත්තරවලට තරමක් දුරට හෝ දැනී තිබුණු නමුත්, දෙමළ දේශපාලන වටපිටාවේ මතුවුණු සමහරක් ප්‍රවණතා, සිදුවීම් හෝ සංවාද දෙමළ පුවත්පත්වලට පමණක් සීමා වී තිබෙනු නිරීක්ෂණය කළ හැකි විය. 

මෙරට ඇමරිකානු තානාපතිනිය උතුරේ කළ සංචාරය පිළිබඳව උතුරේ දකුණේ පුවත්පත් පිටු අතරේ ලියැවුණු අයුරු 

 


පසුගිය සතියේ දෙමළ පුවත්පත් විසින් විශේෂ අවධානය යොමු කළ එහෙත් දකුණේ පුවත්පත්වල වාර්තා සංඛ්‍යාත්මකව තුනකට හෝ හතරකට පමණක් සීමා වුණු විශේෂ සිදුවීමක් වන්නේ ඇමරිකානු තානපතිනි ජුලී චන්ග් යාපනයේ සිදු කළ සංචාරයයි. ඇමරිකානු තානාපතිනියගේ එම සංචාරය පිළිබඳ ආරම්භයේ සිට අවසානය දක්වා, එනම් ඔක්තෝබර් 24 වැනි දා සිට 27 වැනි දා දක්වා සවිස්තරාත්මක වාර්තා බොහෝ දෙමළ පුවත්පත්වල පල වී තිබුණි.  

මලෙයිමුරුසු වාර්තාව - 2024.10.24ඊළනාඩු වාර්තාව - 2024.10.24
ඔක්තෝබර් 25 වැනිදා සිලෝන් ටු‍ඩේ පුවත්පතේ තුන්වැනි පිටුවේ ඇමරිකානු තානාපතිනිය යාපනය විශ්ව විද්‍යාලයේ කරන ලද සංචාරය පිළිබඳ කෙටි වාර්තාවක් සපයා තිබුණි. එහි ඇය යාපනයේ සිදු කළ සංචාරයේ අරමුණු, තානාපතිවරියගේ ට්විටර් පණිවිඩයක් උපුටා දක්වමින් සඳහන්කොට තිබුණු අතර යාපනය විශ්ව විද්‍යාලය තුළ ඇය මුණගැසුණු විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ පරිපාලන නිලධාරින්ගේ ලැයිස්තුවක් ද සඳහන් කොට තිබුණි. මේ අතර  ඔක්තෝබර 26 වැනිදා දිවයින පුවත්පතේ තුන්වැනි පිටුවේ ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ පක්ෂ ලේකම් සෙල්වරාජා ගජේන්ද්‍රන් සමඟ ගත් ජායාරූපයක් පළ කොට තිබුණු අතර ඊට පහළින් ඇමරිකානු තානාපතිනියගේ යාපනයේ සංචාරය සඳහා මුලික වූයේ යැයි ඇයගේ ට්විටර් පණිවිඩයේ සඳහන් වී තිබුණු අරමුණු පමණක් වාක්‍ය කිහිපයකින් දක්වා තිබුණි.  

සිලෝන් ටු‍ඩේ වාර්තාව - 3 පිටුව - 2024.10.25

මේ අතර ඔක්තෝබර් 27 වැනි දා මව්බිම පුවත්පතේ පළමු පිටුවේ ‘ටී.එන්ඒ. ජූලි චන්ග් ට ආණ්ඩුව ගැන ගතු කියයි’ යන සිරස්තලය යටතේ වාර්තාවක් පළ වී තිබුණි. එහි  මූලිකව දක්වා තිබුනේ වත්මන් ආණ්ඩුව බලය විමධ්‍යගත කිරීමේදී සාධනීයව කටයුතු නොකරනු ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන සිවඥානම් ශ්‍රීධරන් සහ ධර්මලිංගම් සිද්ධාර්ථන් මෙරට ඇමරිකානු තානාපතිනිය උතු‍රේ කරන ලද සංචාරයේදී ඇය මුණ ගැසී පැවසූ බවයි. එම වාර්තාව හුදු ඇමරිකානු තානාපතිනියගේ උතුරේ සංචාරය පිළිබඳ දැනුම්දීමෙන් ඔබ්බට ගොස්, දෙමළ දේශපාලන නියෝජිතයන් සමග කළ සාකච්ඡාවක අන්තර්ගතය පිළිබඳ වාර්තා කළ ද එහි වූ සිරස්තලයේ ගැබ් වී තිබුණේ කිසියම් ආකාරයක අප්‍රසාදය දැනවීමේ ස්වරයකි.

Julie chung tna Mb sunday 1 pg copyමව්බිම වාර්තාව - 1 පිටුව - 2024.10.27


මේ අතර ඇමරිකානු තානාපතිවරිය ඇතුළු පිරිස යාපනයේ සිදුකරන ලද සංචාරය පුවත් වාර්තාවක් ලෙස දෙමළ පුවත්පත් සෑම එකකම වාගේ පළ වී තිබුණි. එසේම ඇය යාපනයේ ගත කළ තෙදින තුළ සිදුවුණු සාකච්ඡා සහ ඒවායේ අන්තර්ගතයන් පිළිබඳව දෙමළ පුවත්පත් බොහෝමයකම විවිධාකාරයෙන්, විවිධ තේමාවන් ඔස්සේ සවිස්තරාත්මකව පළ වී තිබුනි.

ඔක්තෝබර් 24 කාලෙයිකදිර් පුවත්පතේ පළමු පිටුවේ මෙරට ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග්, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් චේදනායගන් මුණ ගැසීම පිළිබඳ වාර්තාවක් පළ වී තිබිණි. එම වාර්තාවේ උතුරු පළාත් සංවර්ධන කටයුතු, අධ්‍යාපන, සංචාරක ක්ෂේත්‍රය, ඉඩම් නිදහස් කිරීම, ප්‍රවාහන පහසුකම්, ව්‍යාපාරික අවස්ථා, ආයෝජන ඇතුළු කරුණු රැසක් පිළිබඳව දෙදෙනා සාකච්ඡා කළ බව සඳහන් කර තිබුණි. එසේම තානාපතිවරිය ඉඩම් නිදහස් කිරීම පිළිබඳ තොරතුරු ආණ්ඩුකාරවරයාගෙන් විමසූ විට, අනවසර ඉඩම් ආක්‍රමණ බහුලව දක්නට ලැබෙන බවත් ඒවා විසඳීමට වත්මන් ආණ්ඩු පක්ෂය සමඟ සාකච්ඡා කර සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් ආණ්ඩුකාරවරයා පැවසූ බව වාර්තා කර තිබුනේය. එසේම උතුරේ නිෂ්පාදන සඳහා වෙළඳ පොළ අවස්ථා ලබා ගැනීමට සහයෝගය ලබා දෙන ලෙස ආණ්ඩුකාරවරයා තානාපතිවරියගෙන් ඉල්ලා සිටි බවත්, ඇය ඒ සඳහා සිය එකඟතාව පළ කළ බවත් වැඩිදුරටත් එම වාර්තාවේ සඳහන් කොට තිබුණි. එම මුණ ගැසීම පිළිබඳව මීට සමාන අන්තර්ගතයන් සහිත වාර්තා පුදියසුදන්දිරන්, තිනක්කුරල් හා තමිලන් පුවපත්පත් වල පළ වී තිබුණි.

10.24 Kaleikathir The Governor of the Northern Province requests the American Ambassador to help find a market for the products of the Northකාලෙයිකදිර් වාර්තාව - 1 පිටුව - 2024.10.24

10.24 Pudiyasudandiran The Governor of the Northern Province requests the American Ambassador to help find a market for the products of the Northපුදියසුදන්දිරන් වාර්තාව - 2024.10.24

10.24 Thinakkural The Governor of the Northern Province requests the American Ambassador to help find a market for the products of the Northතිනක්කුරල් වාර්තාව - 2024.10.24

10.24 Thamilan The Governor of the Northern Province requests the American Ambassador to help find a market for the products of the Northතමිලන් වාර්තාව - 2024.10.24

දෙමළ පුවත්පත්වල සඳහන් ව තිබූ ආකාරයට, මෙරට ඇමරිකානු තානාපතිනි ඇයගේ යාපනය සංචාරය අතරවාරයේ, සිදුකළ තවත් කාර්යයක් නම්, දෙමළ පක්ෂ නියෝජිතයන් මුණ ගැසී වර්තමාන දේශපාලන වාතාවරණය පිළිබඳ සාකච්ඡා පැවැත්වීමයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයේ ධර්මලිංගම් සිද්ධාර්ථන් සහ තමිල් අරසු පක්ෂයේ සිවඥානම් ශ්‍රීධරන්, ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මුණු ගැසී කරන ලද සාකච්ඡාවක් පිළිබඳව ඔක්තෝබර් 25 වැනිදා තිකන්කුරල් සහ තමිලන් පුවත්පත්වල ද ඔක්තෝබර් 26 වැනිදා කාලෙයිකදිර් සහ පුදියසුදන්දිරන් පුවත්පත්වල ද වාර්තා පළ වී තිබුණි. එම වාර්තාවලට අනුව, ඇමරිකානු තානාපතිනිය, නව ආණ්ඩුව දෙමළ ජනතාව සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ කෙසේදැයි ඔවුන්ගෙන් විමසූ අවස්ථාවේ, ජනතා විමුක්ති පෙරමුණේ අතීත ක්‍රියාකලාපය ඇයට පෙන්වා දී, ඔවුන් බලය බෙදීමට පක්ෂ වන්නේ නැතැයි පැවැසූ බව ධර්මලිංගම් සිද්ධාර්ථන් පවසා තිබුණි. මහ මැතිවරණයෙන් පසු එම කා‍රණාව පිළිබඳව ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග්, ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන බව පැවසුවේ යැයි ද එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් කොට තිබුණේය. 

10.25 Thamilan Tamil parties tell the US ambassador that this government is not willing to share powerතමිලන් වාර්තාව - 2024.10.25

10.25 Thinakkural Tamil parties tell the US ambassador that this government is not willing to share powerතිකන්කුරල් වාර්තාව - 2024.10.25

10.26 Kaleikathir Tamil parties tell the US ambassador that this government is not willing to share powerකාලෙයිකදිර් වාර්තාව - 2024.10.26

10.26 Pudiyasudandiran Tamil parties tell the US ambassador that this government is not willing to share powerපුදියසුදන්දිරන් වාර්තාව - 2024.10.26


දෙමළ පක්ෂ වෙන් වන්නේ ඇයි? 

එසේම ඔක්තෝබර් 26 ඊළනාඩු පුවත්පතේ පළ වූ වාර්තාවකට අනුව, ඇමරිකානු තානාපතිනිය දෙමළ දේශපාලකයන්ගෙන්  සිත්ගන්නා සුලු එමෙන්ම ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් නඟා තිබුනි. 

tamil 2

“දෙමළ ජාතික සන්ධානය ලෙස ක්‍රියා කළ දෙමළ පක්ෂ වෙන් වී ඇත්තේ ඇයි? මේ පක්ෂවලට එකට වැඩ කිරීමට නොහැකි ද? ඒ සඳහා හැකියාවක් තිබේද?” ඊළනාඩු පුවත්පත එය වාර්තා කොට තිබුනේ “ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් යාපනයේ පෞද්ගලික හෝටලයකදී දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ පක්ෂ ලේකම් සෙල්වරාජා ගජේන්ද්‍රන් හමුවී සියලු දෙමළ දේශපාලන පක්ෂ ලැජ්ජාවෙන් හිස නැමිය යුතු ප්‍රශ්නයක්” ඇසූ බවය.

10.27 Kaleikathir America will never act against the position of political solutions of the Tamil people revealed in the general electionකාලෙයිකදිර් වාර්තාව - 2024.10.27

පුවත්පත් වාර්තාවට අනුව ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් එයට පිළිතුරු වශයෙන් පවසා තිබුනේ ඒකීය ආණ්ඩුව, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැනි කරුණු සම්බන්ධයෙන් ඇති වූ මතභේද හේතුවෙන් තම පක්ෂයට සන්ධානයෙන් පිටව යාමට සිදුවූ බවත් ඔවුන් තවමත් එම ස්ථාවරයේ සිටින බවත්ය. සෙසු දෙමළ පක්‍ෂ වෙන්වීමට හේතුව තමන්ට නොතේරෙන බවත්, දෙමළ පක්‍ෂ අතර ප්‍රතිපත්තිමය වශයෙන් මතභේද නොමැති බැවින් ඒ පිළිබඳව ඔවුන්ගෙන්ම විමසිය යුතු යැයි ඔහු ඇමරිකානු තානාපතිවරියට පැවසූ බව එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වී තිබුණි.  

10.26 EelaNadu The question asked by the American ambassador to Gajendra Kumarඊළනාඩු වාර්තාව - 2024.10.26
ඔක්තෝබර් 27 වැනිදා සන්ඩේ ටයිම්ස් පුවත්ප‍තේ ද එම ප්‍රශ්න නැගීම පිළිබඳ කුඩා වාර්තාවක් පළ වී තිබුනි. එම වාර්තාවේ පළ වී තිබුනේ, මහ මැතිවරණය සඳහා නාම යෝජනා බාර දුන් කාලයේ පටන් දෙමළ ජනතාවගේ සිත් තුළ නලියන ප්‍රශ්නයක් ඇමරිකානු තානාපතිනිය විසින් දෙමළ දේශපාලන නියෝජිතයන්ගෙන් ඇසූ බවයි. එහි දී ප්‍රශ්නයේ අන්තර්ගතය ලෙස දක්වා  තිබුනේ දෙමළ පක්ෂ අතර පැහැදිලි ප්‍රතිපත්තිමය වෙනසක් නැති තත්වයක් තුළ මෙසේ දෙමළ පක්ෂ කණ්ඩායම් කිහිපයකට බෙදී ක්‍රියා කරන්නේ ඇයි ද යන්නයි. ඉංග්‍රීසි පුවත්පතේ එම ප්‍රශ්නය සඳහා ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් හිටපු මන්ත්‍රීවරයාගේ පිළිතුර දෙමළ පුවත්පත්වල අන්තර්ගතයට සමාන ආකාරයෙන් වාර්තා කොට තිබුණි. 

 

10 27 Question from Julie chung sunday times 4 pgසන්ඩේ ටයිම්ස් වාර්තාව - 2024.10.27

US ambassador meets tamil leaders Island 3 pg copyදි අයිලන්ඩ් වාර්තාව

ඔක්තෝබර් 26 වැනිදා පුදියසුදන්දිරන් සහ ඔක්තෝබර් 27 වැනි දා කාලෙයිකදිර් පුවත්පත්වලට අනුව ඇමරිකානු තානාපතිනිය ඇයගේ උතුරේ සංචාරය අතරතුර මන්නාරම දිස්ත්‍රික්කයේ අතුරුදහන් කළ අයගේ ඥාතීන් හමුවී ඔවුන්ගේ තත්ත්වය සහ ඉල්ලීම් පිළිබඳ එම ජනතාව සමඟ සාකච්ඡා කර තිබුණි. එම හමුවීම පිළිබඳ ජුලී චන්ග් තානාපතිවරිය තම එක්ස් ගිණුමේ පළ කල අදහසක් උපුටා දක්වමින් එම පුවත්පත් වාර්තා කොට තිබුණේ තවමත් අතුරුදන් වූ ඥාතීන් සොයමින් සිටින පවුල්වලට තම සමීපතමයන්ට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ සත්‍ය දැනගැනීමේ අයිතියක් ඇත්තේ යැයි ඇය ප්‍රකාශ කළ  බවය. 

 

10.26 Pudiyasudandiran Those families have a right to know the truth about their relativesපුදියසුදන්දිරන් වාර්තාව - 2024.10.26

 

10.27 Kaleikathir Those families have a right to know the truth about their relativesකාලෙයිකදිර් වාර්තාව - 2024.10.27

මෙරට ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග්  ඔක්තෝබර් 24 සිට 27 වැනි දා දක්වා උතුරේ කළ සංචාරය පිළිබඳ දෙමළ පුවත්පත් එසේ සවිස්තරාත්මක විස්තර සපයද්දි, දකුණේ ඒ පිළිබද තරමක් හෝ අවධානයක් යොමු කොට තිබුණේ සිංහල ඉංග්‍රීසි පුවත්පත් හතරක් පමණි. ඒවායේද පළ වී තිබුණේ ඉතා කුඩා පුවත් වාර්තාය. දෙමළ ජනතාවට ඇති විශේෂ ප්‍රශ්න පිළිබදව, ඇමරිකානු තානපතිනිය සැළකිලිමත්වීම පිළිබඳව දෙමළ පුවත්පත් වැඩි අවධානය යොමු කරද්දි, දකුණේ පුවත්පත් එම සිදුවීම් පත්තර වාටියට තල්ලු කිරීම විසින් කියා පාන්නේ දකුණ විසින් උතුරේ ගැටළු දෙස බලන සැහැල්ලු නොතකන සුළු ආකල්පය ද?

දකුණේ පත්තර පිටු වලින් හැළුණු උතුරේ සමහර පුවත්  

දකුණට දැනෙන උතුරේ සිදුවීම් දකුණේ පුවත්පත් පිටු අතරේ මහත් ඕනෑ කමින් ලියැවෙන අවස්ථා ඇත. එහෙත් යම් විටෙක දකුණට නොදැනෙන උතුරේ සිදුවීම් ඇත්නම්, ඒවා ඒ පිටු අතරින් හැලී යයි. එසේ පසුගිය සතියේ දකුණට නොදැනුනු සිදුවිම් කිහිපයක් දෙමළ පුවත්පත් වාර්තා ‍කොට තිබුණි. 

ඔක්තෝබර් 22 වැනිදා මාලෙයිකදිර් පුවත්පතේ පළමු පිටුවේ ප්‍රධාන සිරස්තලය මෙවන්නකි : “ සුපිරි බලවතුන්ගේ යුද්ධය උත්සන්න වෙමින් පවතියි. ඉන්දු- චීන තානාපති කාර්යාල තරගයේ!” 

10.22 Maleikathir competition between China and India intensifiesමාලෙයිකදිර් වාර්තාව - 1 පිටුව - 2024.10.22
 
එම වාර්තාවේ දැක්වුනේ, ශ්‍රී ලංකාවේ ඉන්දීය සහ චීන තානාපති කාර්යාල තරගයට මෙන් යාපනය සහ නැගෙනහිර විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ප්‍රජාවට ශිෂ්‍යාධාර ලබා දීමට ඉදිරිපත් වීම පිළිබඳ විස්තරයකි. එම ශිෂ්‍යාධාර ලබා දීමේ උත්සව ඒ ඒ විශ්වවිද්‍යාල තුළ සංවිධානය කෙරෙන බවත් ඒවාට ඉන්දියාවේ සහ චීනයේ තානාපති කාර්යාල වල නිලධාරීන් ද සහභාගි වන බවද දක්වා තිබුනි. මෙය හුදු උතුරු නැගෙනහිර විශ්වවිද්‍යාලවලට බෙදා හැරෙන ශිෂ්‍යාධාර වැඩසටහන් පිළිබඳ විස්තරයක් ලෙස මතුපිටින් පෙනුන ද එහි  ගැබ්ව ඇති බරපතල සහ බලපෑම් සහගත භුගෝලීය දේශපාලනය  තේරුම්ගත්තේ නම් එම පුවත දෙමළ පුවත්පත් වලට පමණක් සීමා නොවෙනු ඇත. 
10.25 Kaleimurasu Anuras agreements with the thamil arasu kachchiකාලෙයිමුරුසු වාර්තාව - 1 පිටුව - 2024.10.25
 
එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් තමිල්අරසු පක්ෂය නව ආණ්ඩුව සමඟ ඇති කරගත්තේ යැයි පවසන ලද ගිවිසුමක් පිළිබඳ ‘හෙළිදරව්වක්’ යයි කියවෙන ප්‍රකාශයක් ඔක්තෝබර් 25 වැනිදා කාලෙයිමුරුසු පුවත්පත විසින්, පළමු පිටුවේ ප්‍රධාන පුවත ලෙස වාර්තා කර තිබුණි. එහි දක්වා තිබුණේ:   

2015 ආරම්භ කළ හවුල් ආණ්ඩුව බලාත්මක කිරීමේ ක්‍රියාවලිය දිගටම කරගෙන යා යුතු වීම සහ, 2015 වසරේ සම්මත කරන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 -1 යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත් වී ඇතත් එය යළි බලාත්මක කිරීමට එකඟතාව පළ  කිරීම යන කොන්දේසි ද්විත්වයට ජනාධිපති අනුර කුමාර දිසානායක එකඟ වී ඇති අතර මහ මැතිවරණයෙන් පසු පත්වන නව ආණ්ඩුවේ විදේශ ඇමතිවරයා ලෙස තමිල් අරසු පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ සුමන්දිරන් පත් කිරීමට ද ජනාධිපතිවරයා අනුමැතිය පළ කළේ යැයි උදය ගම්මන්පිල පැවසූ බවය. එම එකඟතා නිසා තමිල් අරසු පක්ෂය නව ආණ්ඩුවට එක්වීමට නියමිත බවද උදය ගම්මන්පිල පවසා තිබුණි. එසේම ප්‍රශ්නය ඇත්තේ සුමන්දිරන්ට විදේශ ඇමතිකම ලබා දීම පිළිබඳව නොව, ඒ සඳහා ඇතිකරන්නා ලද කොන්දේසි යැයි උදය ගම්මන්පිල පැවසූ බව ද එම වාර්තාවේ අවසානයට සඳහන් වී තිබුනි. 
 


ඉන් අනතුරුව ඔක්‍තෝබර් 28 වැනිදා කාලෙයිමුරුසු, කාලෙයිකදිර්, ඊළනාඩු පුවත්පත්වල පළමු පිටුවේම උදය ගම්මන්පිලගේ එම හෙළිදරව්වට ජාතික ජනබලවේගයේ විධායක සභික හිටපු පාර්ලි‍මේන්තු මන්ත්‍රී බිමල් රත්නායක දැක්වු ප්‍රතිචාරය වාර්තා කර තිබුණි. එම පුවත්පත් තුනේම වාර්තා කොට තිබුනේ, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මුණ ගැසෙන දෙමළ දේශපාලන නායකයන්ට ඇමැතිකම් ලබා දීමට ජනාධිපතිවරයා පොරොන්දු වී නැති බවය. ඩග්ලස් දේවානන්දා, ශිවඥානම් ශ්‍රීධරන්, එම්. ඒ. සුමන්දිරන් වැනි දෙමළ දේශපාලන නායකයන් ජනාධිපතිවරයා මුණ ගැසුණු නමුත් ඒ කිසිවකුට ජනාධිපතිවරයා ඇමැතිකම් පොරොන්දූ වි නැති බව බිමල් රත්නායක පැවසුවේ යැයි එම වාර්තාවේ සඳහන් වී තිබුනි. 
 
10.28 Kaleikathir Bimal Ratnayake says that Tamil political leaders will not be given ministerial posts because they met Anuraකාලෙයිකදිර් වාර්තාව - 1 පිටුව - 2024.10.28
10.28 Eelanadu Bimal Ratnayake says that Tamil political leaders will not be given ministerial posts because they met Anuraඊළනාඩු වාර්තාව - 1 පිටුව - 2024.10.28
10.28 Kaleimurasu Bimal Ratnayake says that Tamil political leaders will not be given ministerial posts because they met Anuraකාලෙයිමුරුසු වාර්තාව - 1 පිටුව - 2024.10.28
 
උදය ගම්මන්පිල විසින් කරන ලද එවැනි හෙළදරව්වක් හෝ එම හෙළිදරව්ව පිළිබඳව බිමල් රත්නායක දැක්වු ප්‍රතිචාරයක් පිළිබඳව එක ද වාර්තාවක් හෝ දකුනේ සිංහල ඉංග්‍රීසි පුවත්පත් වල පළ වී තිබුනේ නැත. මෙරට සංඛ්‍යාත්මකව සුළුතර ජනතාවගේ අයිතින් සමඟ සෙල්ලම් කරමින් ජාතිවාදය අවුස්සා දේශපාලන වාසි ගන්නට මාන බලන උදය ගම්මන්පිල වැනි සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය කර පින්නාගත් දේශපාලකයන් කරන එවැනි හෙළිදරව් එම දේශපාලන බල කඳවුරට සහය පළ කරන අරුණ, ද මෝර්නින් වැනි පුවත්පත්වල පළ කිරීමට තරම්වත්  උනන්දුවක් නොපෙන්වීම විසින් අපට ලබා දෙන පණිවිඩය වන්නේ, එම ඊනියා හෙලිදරව්වල ඇති වලංගු භාවය හෝ සත්‍යතාවය පිළිබඳව අප නැවත වාරයක් සිතා බැලිය යුතු වග නොවේද?

(සුභාෂිණී චතුරිකා)

සබැඳි ලිපි :
උතුරේ බලය බෙදීම ගැන ජවිපෙ මහ ලේකම් ගේ ප්‍රකාශය පිළිබඳ උතුරේ දකුණේ පත්තර පිටු තුළ ලියැවුණු අයුරු

දෙමළ දේශපාලනයේ ව්‍යකූලභාවය සහ උතුරේ බලය බෙදීම පිළිබඳ ජවිපෙ මහ ලේකම් ගේ ප්‍රකාශය පිළිබඳ උතුරේ දකුණේ පත්තර පිටු තුළ ලියැවුණු අයුරු 

දෙමළ දේශපාලනයේ ව්‍යකූල තත්වය සහ ජීනිවා මානව හිමිකම් සමුළුවේ යෝජනා නව ආණ්ඩුව ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව උතුරේ දකුණේ පත්තර පිටු

මහමැතිවරණයක් අභියස මතුවන දේශපාලන ගතිකයන් සහ උතුරේ දකු‍ණේ පුවත්පත්

පශ්චාද් ජනාධිපතිවරණ සමයේ උතුරේත් දකුණේත් පත්තර පිටු

සුමන්දිරන් සමගි ජනබල‍වේගයට සහාය පළ කිරීම සහ අනුරගේ යාපා පටුනේ ප්‍රකාශනය

ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන සහ පත්තර අන්දර

දෙමළ ජනාධිපති අපේක්ෂක, අනුරපුර නාමල්ගේ සත්‍යක්‍රියාව සහ දකුණට මඟ හැරෙන උතුරු කතන්දර

දෙමළ ‘පොදු අපේක්ෂක,’ වතුකම්කරු පඩිය සහ නාමල්ගේ ආගමනය මුද්‍රිත පිටු අතරේ ලියැවුණු අයුරු

ආණ්ඩුවේ ඊනියා සමාව ගැනීම සහ සුපුරුදු මැතිවරණ පොරොන්දු මුද්‍රිත පිටු අතරේ ලියැවුණු අයුරු

දෙමළ මනාප පිටියේ රනිල් සජිත් පොරය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...