The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'වෘත්තීය සමිති' විසුරුවා හැර 'ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත' තියා ගන්න ආණ්ඩුව - (කුසල් පෙරේරා)

T

The Leader Desk

November 5, 2024 • 9:56 AM

'වෘත්තීය සමිති' විසුරුවා හැර 'ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත' තියා ගන්න ආණ්ඩුව - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අමිහිරි ඉතිහාසය ඔහු මතක් කෙරුවේ, මාලිමා ආණ්ඩුව බලයට පැමිණි පසු වැඩ වර්ජන අවශ්‍ය නොවන බැවින් ඔවුන්ගේ වෘත්තීය සමිති විසුරුවා හරින බව කීමටය.
  • මැතිවරණයෙන් ජනතාව තෝරා පත් කළ මේ මාලිමා/ජ.වි.පෙ පාලනය ඇත්තෙන්ම කාගෙද?
  • ජනාධිපතිවරණයෙන් ඇත්තටම පත් වූයේ ජනතාව අපේක්ෂා කළ ආකාරයේ ජනතාවාදී දේශපාලන නියෝජනයක්ද?
  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වික්‍රමසිංහ පාලනය ගිවිසගත් වැඩපිළිවෙල සම්බන්ධව ජනාධිපතිවරණයේදී කියු කතා හා මුද්‍රණයකර බෙදා හැරි මැතිවරණ ප්‍රකාශනයෙහි තිබූ කතා කිසිවක් දැන් වලංගු නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපතිවරණය අවසන් වූ වහා, අනුර කුමාරගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට ජ.වි.පෙ මන්ත්‍රී වශයෙන් දිවුරුම් දුන් සහ මෙවරද කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් නිපුනආරච්චි ගේ එම කතාවට ඔහු නිමිත්ත කර ගෙන තිබූයේ පසුගිය කාලයේ ඔවුන්ම කැඳවූ මේ රටේ ජනතා අප්‍රසාදයට පත් වූ ගුරු විදුහල්පති වැඩ වර්ජන හා රාජ්‍ය සේවා ඒකාබද්ධ වැඩ වර්ජන සමයයි.


ඒ අමිහිරි ඉතිහාසය ඔහු මතක් කෙරුවේ, මාලිමා ආණ්ඩුව බලයට පැමිණි පසු වැඩ වර්ජන අවශ්‍ය නොවන බැවින් ඔවුන්ගේ වෘත්තීය සමිති විසුරුවා හරින බව කීමටය. ඔහු “අපේ වෘත්තීය සමිති” යැයි කීවාට, මාලිමාවට වෘත්තීය සමිති නැත. මාලිමා ආණ්ඩුව යැයි කීවාට, මේ ආණ්ඩුවේ තීන්දු ගන්නේ ජ.වි.පෙ නායකත්වයෙනි.

 


 
මැතිවරණයෙන් ජනතාව තෝරා පත් කළ මේ මාලිමා/ජ.වි.පෙ පාලනය ඇත්තෙන්ම කාගෙද? ජනාධිපතිවරණයෙන් ඇත්තටම පත් වූයේ ජනතාව අපේක්ෂා කළ ආකාරයේ ජනතාවාදී දේශපාලන නියෝජනයක්ද? අනෙක් සියල්ලට කලින් මෙය විසඳ ගෙන, නිපුන ආරච්චිගේ වෘත්තීය සමිති විසුරුවා හැරීමේ කතාවට අපි අනතුරුව එමු.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වික්‍රමසිංහ පාලනය ගිවිසගත් වැඩපිළිවෙල සම්බන්ධව ජනාධිපතිවරණයේදී කියු කතා හා මුද්‍රණයකර බෙදා හැරි මැතිවරණ ප්‍රකාශනයෙහි තිබූ කතා කිසිවක් දැන් වලංගු නැත. දැන් ජා.මූ. අරමුදල සමග ජනාධිපති වික්‍රමසිංහ පාලනය අත්සන් කළ ගිවිසුම් ඒ ආකාරයෙන්ම ක්‍රියාවට නැගීමට නව ජනාධිපති අනුර කුමාර පේවී ඇත. 2022 අප්‍රේල් ආරම්භයේ ගාලු මුවදොර පිටියට #GotaGoHome විරෝධය ගොනු කෙරෙන විටද, ජා.මූ. අරමුදල සමග වන ගිවිසුම් සම්බන්ධ සියලු සාකච්ඡාවල පුරෝගාමී කාර්යන් ඉටු කරමින් සිටි මහ බැංකු අධිපති හා මහ භාණ්ඩාගාරයේ ලේකම් දෙපළ අනුර කුමාර විසින් ඒ වගකීම් එළෙසින්ම ඉටු කිරීම සඳහා ඒ තනතුරුවලම රඳවා ගෙන ඇත.

 

අනුර කුමාර පාලනය විසින් ඉදිරියට ගෙන යනු ලබන්නේ ජයවර්ධන ජනාධිපති ආරම්භ කළ විවෘත වෙළඳපල ආර්ථිකයම වන්නේය. මෙහි කිසිදු මූලෝපායික වෙනසක් නැත. ජාවාරම්කාර විදේශ ආයෝජකයින් ඔවුන්ගේ ලාභ අනුපාත සඳහා තීන්දු කරන්නාවූ අපනයන නිෂ්පාදන වෙනුවෙන් මෙහි පැමිණ, රාජ්‍ය වරප්‍රසාද හා සහන මත ව්‍යාපාර කරති. ගෝලීය වෙළඳපල සමග ගැට ගසන ඒ ආර්ථික ආකෘතිය හැර වෙනත් ආර්ථික ආකෘතියක් වෙනුවෙන් ජා.මූ. අරමුදල සමග අනුර කුමාර පාලනයට ගිවිසුම් ගැසිය නොහැක. දේශපාලනිකව කියන්නේ නම්, අනුර කුමාර පාලනය නියෝජනය කරන්නේ ජයවර්ධන ආණ්ඩුව නියෝජනය කළ යොවුන් ජාවාරම්කාර පැලැන්තියේ වැඩිහිටි පරපුරය. ජයවර්ධන යුගයට වඩා සරු සාර, ඊට වඩා හයිකාර, ගෝලීය වෙළඳපල සම්බන්ධකම්ද මේ වනවිට හදා ගනු ලැබ ඇති වැඩිහිටි ජාවාරම්කාර පැලැන්තියකි.

 

වෘත්තීය සමීති ව්‍යාපාරය දැන් කඩාකප්පල්කාරී සමිති ව්‍යාපාරයක්! - නාමල්  රාජපක්ෂ

අවුරුදු 40 ක් පුරා මේ විවෘත වෙළඳපල ආර්ථිකයෙහි හැදී වැඩුණු එවැනි ජාවාරම්කාර ආයෝජකයින්ට දැන් නිදහස් වෙළඳ කලාප කිහිපයකට සීමාවූ වෘත්තීය අයිතිවාසිකම් නොමැති සේවක සේවිකාවන් පිරිස ප්‍රමාණවත් නැත. ආයෝජන මණ්ඩලයේ පරිපාලන සීමාවන්ටත් එහා ගිය, කම්කරු දෙපාර්තමේන්තුවේ නිහඬ සහාය ඇතිව වෘත්තීය සමිති බලහත්කාරයෙන් යටපත් කරමින් පැමිණි ගමන සඳහා දැන් ඔවුන්ට අවශ්‍යව ඇත්තේ නෛතිකව වෘත්තීය සමිති අහෝසි කෙරෙන, සේවා කොන්දේසි හා වැටුප් තීන්දු කිරීමේ තනි බලයක් ඔවුන්ට ලැබෙන, ජාතික නීති පද්ධතියකි. ඒ වෙනුවෙන් දසකයකට වැඩි කාලයක සිට වෘත්තීය සමිති යනු සංවර්ධන විරෝධි සංවිධාන යැයි නාගරික මැදපංතියෙහි තහවුරු කළ මතවාදය, රාජ්‍ය නිලධරය අතරත් අධිකරණ පද්ධතියේත් සවිඥාණිකව ක්‍රියාත්මක වන්නකි.

කම්කරු දිනය කාට ද ? මොකට ද ?

 

අගමැති වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුව, ඇමෙරිකානු රාජ්‍යාධාර සංවිධානයක් වන USAID මුදල් හා සම්පත්ධාරීන් සමග තනී කම්කරු නීතියක් ලෙස කම්කරු නීති සංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය 2018 දී ආරම්භ කෙරුවේ ඒ වෙනුවෙනි. යහපාලන ආණ්ඩුවට 2019 ආරම්භයේදී එය අත් හිටුවන්නට සිදුවූයේ පෞද්ගලික අංශයේ වාගේම, ඇඟළුම් හා අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන් නියෝජනය කරමින් ජාතික කම්කරු උපදේශක සභාවේ සාමාජික සමිතියක් වන නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සමිතියෙහි පුරෝගාමිත්වයෙන් ඉදිරිපත් කෙරුණු ප්‍රතිපත්තිමය විරෝධය හේතුවෙනි.

වික්‍රමසිංහ අහඹු ලෙස 2022 ජූලියේ ජනාධිපති වූ පසු ඔහුගේ ගෝල ඇමතියෙකු වූ මනුෂ නානායක්කාර කම්කරු ඇමති වශයෙන් නැවත ඒ තනි කම්කරු නීතය හැදීමට අත ගැසුවේ, ඔහු වගා කරගත් ජාවාරම්කාර ව්‍යාපාරිකයින් සහ සමාජ ක්‍රියාකාරීන් යැයි තවත් විවිධ චරිත හවුල්කර ගනිමින් ය. එවැනි මගඩි නොපිළිගත් ජාතික කම්කරු උපදේශක සභාවේ සාමාජික වෘත්තීය සමිති නැවත එයට විරුද්ධ වූයෙන් ඔහුටද එය අත හරින්නට සිදුවිය. වෘත්තීය සමිති ඉල්ලා සිටි සියලු පාර්ශව හවුල් වන්නාවූ විවෘත සාකච්ඡා මගින් කම්කරු නීති සංස්කරණය කිරීමෙන් ජාවාරම්කාර වුවමනාවන් ඉටු කරගත නොහැකි බැව්, ඇමති මෙන්ම ව්‍යාපාරිකයෝද දැන සිටියහ.

 

ඉන් අවුරුද්දකට පසු නිපුනආරච්චිගේ වෘත්තීය සමිති විසුරුවා හැරීමේ කතාව අහඹු, කටකාර කතාවක් නොවන්නේ මහපරිමාන ජාවාරම් හේතුවෙන් කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩ දැමීමේදී, යෝධ ජාවාරම්කරුවන් ඉල්ලා සිටින නෛතික බලහත්කාරයේ දේශපාලනය, මේ සමාජයෙහි එවැනි ලිහා දැමීම් ඉල්ලා සිටින නිසා ය. පාසල්, රෝහල්, දුම්රිය සම්බන්ධ කතා සමගින් නිපුනආරච්චි එය ගෙනෙනු ලැබුවේ, සමාජයේ වෘත්තීය සමිති විරෝධය මුල් ඇද ඇත්තේ එවැනි ක්ෂේත්‍රවල වර්ජන හේතුවෙන් වන නිසා ය. ඒ වෘත්තීය සමිති විරෝධය එනමුත් හාම්පුතුන් ප්‍රයෝජනයට ගන්නේ, බංකොලොත් රටේ නිෂ්පාදන අඩාල කිරීමට වෘත්තීය සමිති වලට ඉඩ නොදිය යුතු යැයි කීමටය. නාගරික මැදපංතියේ වෘත්තීය සමිති විරෝධය අද ඇත්තේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමත් සමගය. එබැවින් නිපුනආරච්චිගේ යෝජනාවෙන් ප්‍රකාශ කෙරෙන්නේ නාගරික මැදපංතියද හවුල් වන ජාවාරම්කාර හාම්පුතුන්ගේ අවශ්‍යතාවකි.   
 
මේ මාලිමා/ජවිපෙ ආණ්ඩුවේ තීන්දු වලට එය ඊළගට බද්ධ කෙරෙන්නේ ජනාධිපති උපදේශකයින්ගේ අර්ථ දැක්වීම් අනුවය. උපදේශකයින් ලෙස ජනාධිපති අනුර කුමාර ළඟ තබා ගෙන ඉන්නා යෝධ ව්‍යාපාරිකයින් ඔවුන්ට පැවරූ වගකීම් බාර ගැනීමේදී පෞද්ගලික සමාගම්වල ඔවුන්ගේ තනතුරු වලින් ඉවත් වූවත් ඔවුන් ව්‍යාපාරික සමාජයෙන් ඉවත් වන්නේ නැත. දසක ගණනාවක් ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයින් ලෙස තහවුරුව ගොඩ නගා ගත් ඓන්ද්‍රීය සම්බන්ධතා සමග ජනාධිපති උපදේශකයින් ලෙසද ඔවුන්ගේ සියලු ගණන් හැදීම් සිදුවනු ඇත්තේ ව්‍යාපාරික තේරීම් අනුවය.

පක්‍ෂ පාට මතවාද කුමක් වුවත් වැඩපොලේදී එකතුවෙමු'

වෘත්තීය සමිති විසුරුවා හැරීම සම්බන්ධ ජාවාරම්කාර ව්‍යාපාරික සමාජයේ දේශපාලනය ජනාධිපති අනුර කුමාරගේ ජ.වි.පෙ නායකත්වයට නියෝජනය කළ හැක්කේ දෙගොල්ලන්ටම, සේවක බලපෑම් වලින් මිදෙන්නට අවශ්‍යව ඇති හෙයිනි. ව්‍යාපාරිකයින්ට ලාභ උපරිම කර ගැනීම සඳහා රිසිසේ ශ්‍රමය සූරා ගැනීමට වෘත්තීය සමිති අවහිරයක් වන්නා වගේම, ජ.වි.පෙ නායකත්වයට දැන් අවශ්‍ය වන්නේ සේවක බලපෑම් අනුව, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු පාලනයක් ලෙස රාජ්‍ය බලය හැසිරවීමට නොව, ජයවර්ධන ජනාධිපතිට විවෘත වෙළඳපල ආර්ථිකයෙහි තහවුරු කරගත නොහැකි වූ දේශපාලන ආධිපත්‍ය තහවුරු කර ගැනීමට ය. ඒ සඳහා මැතිවරණයෙන් පසු අවශ්‍ය වන්නේ සේවක ඉල්ලීම් මත කේවල් කරන්නාවූ වෘත්තීය සමිතිවල අනුග්‍රහය නොව, ජාවාරම්කාර ආර්ථිකයෙහි හයිකාර ආයෝජකයින්ගේ විශ්වාසය සහ දේශපාලන හවුලකි.

තව දුරටත් මේ අලුත් හැඩ ගැසීම දේශපාලනිකව කියවන්නේ නම්, අනුර සමග ජ.වි.පෙ නායකත්වය උත්සාහ කරන්නේ ඔවුන්ට දේශපාලනිකව හා සංවිධානාත්මකව හැසිරවිය හැකි ජාවාරම්කාර පැලැන්තියක් මාලිමා ලේබලය ඔස්සේ සහතික කර ගැනීමටය. මැතිවරණයෙන් පසු මාලිමාව ලෙස ඔවුන් බොහෝවිට ඉතිරිකර ගනු ඇත්තේ දිස්ත්‍රික් මැතිවරණ පදනම නොව, කොළඹ ආශ්‍රිත වෘත්තික සහ ජාවාරම්කාර පදනමය. එය පාර්ලිමේන්තු නියෝජනයකට සීමා නොවනවා වාගේම, අතීතයේ එ.ජා.පය ධනපති පංතිය නියෝජනය කළේ යැයි කියූ දේශපාලන සංයුතියට වඩා වෙනස් බල සංයුතියක් නිර්මාණය කිරීමේ උත්සාහයක් වන්නකි. 

 

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත: යෝජකයින්ට සහ විරුද්ධවාදීන්ට නොවැටහෙන 'ත්‍රස්ත  නීති' -(දිනේෂ් දොඩම්ගොඩ)
එය ජාවාරම්කාර ආර්ථිකයෙහි වුවමනා ක්‍රියාත්මක කිරීමේ රාජ්‍ය හස්තය, සංවිධානයක් ලෙස ජ.වි.පෙ සතු කර ගැනීමේ දේශපාලනයකි. එය චීන රාජ්‍ය ආකෘතිය නොවේ. එය වියට්නාම ආකෘතියට කිට්ටු විය හැකි නමුත් එයද නොවේ. ඒ වෙනුවෙන් සමාජයේ තිබෙන්නාවූ වෘත්තීය සමිති ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන, ජනතාවාදී ගොනුවීම්, එක්කෝ ඔවුන්ගේ ග්‍රහණයට ගත යුතුය. නැතිනම් තලා දැමිය යුතුය. “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත” අහෝසි කිරීම ගැන කතා නොවීමේ වැදගත්කම ඇත්තේ එබැවින්ය. මෙය ඡන්දදායකයා බලාපොරොත්තු වූ “වෙනස” නොවන්නා වාගේම, මෙය සංක්‍රාන්ති යුගයක ආරම්භය පමණි. මේ දේශපාලන හැඩ ගැසීම්, මේ දේශපාලන බලාධිකාරයේ වර්ධනය, ලාල් කාන්ත කියූ ලෙස මැතිවරණයෙන් පසු  ජ.වි.පෙ ලෙසින් ගොනු කෙරෙන්නේ කෙසේද යන්න එබැවින් ඉදිරියේදී බලා ගත යුතු වන්නකි.  
 
අලුත් අවුරුද්දට මගේ යෝජනාව - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2024 නොවැම්බර 04

සබැඳි ලිපි :
ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ වෘත්තීය සමිති විසුරුවා හරියි ද ?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...