ඒ ග්‍රහණය තුල තමන්ගේ ජාතික දේශපාලනය කෙතරම් ජනතාවාදීද, ප්‍රජාතන්ත්‍රවාදීද යන්න අනුවය.
47 වන ජනාධිපති තෝරා පත්කර ගැනීමේ මෙම ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඔවුන්ගේ අපේක්ෂකයින් දෙපළගෙන් කවරෙකු ලබන ජනවාරි 20 වන දින ජනාධිපති ලෙස දිවුරුම් දුන්නත් ඒ කිසිදු රටක දේශපාලනයට, රාජ්‍ය පාලනයට යහපත් වෙනසක් සිදු නොවන්නේ යැයි කීමට, රාජ්‍ය නායකයින්ගේ ග්‍රහ පල බැලීමට අවශ්‍ය නැත.
![]()
ඇමෙරිකානු ජනාධිපතිවරණ ගැන කිව යුතු විශේෂයක් ඇත. ඇමෙරිකානු ඡන්දදායකයා කෙසේ වූවත් සෙසු ලෝකයේ අති බහුතරයක් නොදන්නා කතාව වන්නේ, එරට ජනාධිපතිවරණයට අපේක්ෂක අපේක්ෂිකාවන් පස් හය දෙනෙකු තරග වදින බව ය. සාමාන්‍යයෙන් හරිත පක්ෂය, ව්‍යවස්ථා පක්ෂය, ලිබටේරියන් පක්ෂය තරග වදිති. මෙවර ජනාධිපතිවරණයට, ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ කමලා හැරිස්ට අමතරව, සමාජවාදී විමුක්ති පක්ෂ අපේක්ෂිකා ක්ලෝඩියා ඩි ලා කෲස්, ලිබටේරියන් පක්ෂයෙන් චේස් ඔලිව, හරිත පක්ෂ අපේක්ෂිකා ජිල් ස්ටෙයින් සහ ස්වාධීන අපේක්ෂක මහාචාර්ය කෝනල් වෙස්ට් තරග වදිති. එහෙත් සම්මතයක් හැටියට ප්‍රධාන ඇමෙරිකානු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය කතා කරන්නේත් ආවරණය කරන්නේත් ඩිමොක්‍රැටික් හා රිපබ්ලිකන් අපේක්ෂකයින් දෙදෙනාව පමණි. සෙසු ලෝකයට ඇසෙන්නේ ප්‍රධාන ඇමෙරිකානු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය කතා කරන මේ දෙදෙනා ගැන පමණි.ය.
පසුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණ කිහිපයේම ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර වෙනස්කම් කතා කරන්න පටන් ගැණුනේ, පෞද්ගලික වෙනස්කම් වශයෙනි. එක්කෝ පළමු වරට කාන්තාවක් ජනාධිපති කෙරෙනවාද නැද්ද යන්න එකකි. කලු ඇමෙරිකානු අපේක්ෂකයෙකු ජනාධිපති කෙරෙන්නේද නැද්ද යන්න තවකකි. පළමු වරට කාන්තාවක් ප්‍රධාන පක්ෂයකින් තරග වැදුණේ 2016 ජනාධිපතිවරණයට ය. ඩිමොක්‍රැටික් පක්ෂයෙන් ඉදිරිපත් වූ හිලරි ක්ලින්ටන් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමග කතාවට ලක් කෙරුණු හැම විටම වාගේ, ඇය පළමු ජනාධිපති අපේක්ෂිකාව යැයි සඳහන් නොවුනු අවස්ථා විරළ ය. එහෙත් ඇයට පෙර 2008 ජනාධිපතිවරණයට හරිත පක්ෂය නියෝජනය කරමින් කලු ඇමෙරිකානු කාන්තාවක් වූ සින්තියා මැක් කිනී තරග කළාය.
ඔබාමා - සින්තියා
2008 ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් අපේක්ෂක ජෝන් මැක්කේන් සමග බරාක් ඔබාමා ගැන කතා කරන්නට වූයේ ඔබාමා පළමු කලු ඇමෙරිකානු ජනාධිපති අපේක්ෂකයා යැයි කියමිනි. ඔහුගේ මව සුදු ඇමෙරිකානුවකු වූවත් ඔහු කලු අපේක්ෂකයෙකු වූයේ පියා කෙන්යානු ජාතිකයෙකු වූ නිසා ය. එහෙත් ඒ ජනාධිපතිවරණයේ අපේක්ෂිකාවක් වූ සින්තියා මැක් කිනී කිසිදු මිශ්‍රණයක් නොමැති පිරිසිදු කලු ඇමෙරිකානු පුරවැසියක් වූවාය. මෙවරද කමලා හැරිස් ගැන කියන්නේ ඇය ඇමෙරිකාවේ පළමු උප ජනාධිපතිනිය වූ බවත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පළමු කලු ඇමෙරිකානු කාන්තාව බවත්ය. ඇයගේ ඉන්දියානු සම්භවය සඳහන් වන්නේ අතුරු කතාවක් වශයෙනි. ඇයගේ සම්භවයෙහි සුදු ඇමෙරිකානු සම්බන්ධයක් නැත. ඇයට ඇත්තේ මවගේ පාර්ශවයෙන් තමිල්නාඩු සම්භවයක් හා පියාගේ පැත්තෙන් කලු ජෙමෙයිකානු සම්භවයකි.

එවැනි සන්සන්දන ප්‍රසිද්ධියේ කෙරෙන්නට ප්‍රධාන හේතුවක් වන්නේ, නූතන ඇමෙරිකානු ඉතිහාසයෙහි “සුදු ඇමෙරිකානු” සමාජ ආධිපත්‍ය වන්නේය. එය වසර 2000 ට වැඩි කලායක් ඇමෙරිකාවේ විසූ ආදිවාසී ඉන්දියානු ගෝත්‍රිකයින් ඉවත් කරමින් යුරෝපීය සුදු ජාතික ආධිපත්‍ය යටතේ අප්‍රිකානු කලු වහලුන්ගේ ශ්‍රමයෙන් ගොඩ නගා ගත් ආදායම් හා වත්කම් සමග බ්රිතාන්‍ය පාලනයෙන් ස්වාධීන වූ එක්සත් ජනපදයට “සුදු ඇමෙරිකානුවන්ට” ඇති හිමිකාරිත්වය තහවුරු කර ගැනීමකි. එය 1789 දී ජනරජ ව්‍යවස්ථාවක් යටතේ පළමු ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් පත් කර ගැනීමටත් වසර ගණනාවකට පෙර සිට “සුදු ඇමෙරිකානු” අයිතිය තහවුරු කිරීමේ ඉතිහාසයක් වූවකි. ට්‍රම්ප් සමග රිපබ්ලිකන්වාදීන් ඡන්දය ඉල්ලන්නේ ඒ “සුදු ඇමෙරිකානු” අයිතිය වෙනුවෙනි. මේ ට්‍රම්ප්වාදීන් කලු ඇමෙරිකානුවන් හා ආසියානුවන් රුස්සන්නේ ඇමෙරිකාවට හිමිකම් කීමට ඔවුන්ට ඉතිහාසයක් නොමැති හෙයින් ය.
ට්‍රම්ප්වාදීන් කලු ඇමෙරිකානුවන් හා ආසියානුවන් රුස්සන්නේ ඇමෙරිකාවට හිමිකම් කීමට ඔවුන්ට ඉතිහාසයක් නොමැති හෙයින් ය.
ට්‍රම්ප්වාදීන් මෙක්සිකෝ ජනතාව සමග ලතින් ඇමෙරිකානුවන්, නීති විරෝධී සංක්‍රමණිකයින් යැයි ඔවුන්ට විරුද්ධ දේශපාලන ව්‍යාපාරයක් ජනාධිපතිවරණයට එකතුකර ඇත්තේ දැන් ස්පාඤ්ඤ භාෂාව පරිහරණය කළත් ලතින් ඇමෙරිකානුවන්ට ට්‍රම්ප්වාදී සුදු ඇමෙරිකානුවන්ට වඩා දුර ගිය ඉතිහාසයක් ඇමෙරිකානු පොළොවෙහි ඇති හෙයින්ය. රිපබ්ලිකන් සුදු ඇමෙරිකානුවන් “මේ අපේ රට” යැයි කියන විට, ඇමෙරිකානු සමාජයෙහි අතහැරී ඇති ආදිවාසීන් කියන්නේ “නුඹලත් සංක්‍රමණිකයින්. නුඹලා ආවේ යුරෝපෙන්. මේ පොළොව අයිති අපට” යැයි කියා ය.
ඒ පසුබිමෙහි දේශපාලනිකව ඇමෙරිකානු ඡන්දදායකයාට අදාල ප්‍රධාන කාරණාවක් වී ඇත්තේ මේ වර්ණ-වාර්ගික ට්‍රම්ප්වාදය සහ ඊට කමලා හැරිස්ගේ ප්‍රතිචාරයයි. ඇය සෘජුව ට්‍රම්ප්ගේ සුදු ඇමෙරිකානු අධිපතිවාදය අභියෝග නොකරන්නීය. ඇය යෝජනා කරන්නේ ලතින් ඇමෙරිකානු සංක්‍රමණික ගැටළුව විසඳීමට එහි මූලය ඇති මෙක්සිකෝව සහ වෙනිසියුලාව, බ්‍රසීලය, කියුබාව වැනි රටවලට ඔවුන්ගේ ගැටළු විසඳා ගැනීමට ආධාර කිරීමටය. එය ප්‍රායෝගික, ආකර්ශනීය විසඳුමක් යැයි ඒත්තු ගැන්වීමට එනමුත් ඇයට ඇයගේ මැතිවරණ ව්‍යාපාරයෙහි නොහැකි විය. ඇය ට්‍රම්ප් සමග සෘජුව ගැටුණේ ස්ත්‍රීන්ගේ ශරීරය සම්බන්ධ තීන්දු ගැනීමේ අයිතිය වෙනුවෙන් ඇය යෝජනා කරන සෞඛ්‍ය රක්ෂණ ව්‍යාපෘතියෙහි ගබ්සා කිරීමටද අවකාශ ලබා දීමෙනි. ට්‍රම්ප් පෙනී සිටින සුදු ඇමෙරිකානු අධිපතිවාදය ක්‍රිස්තියානි සුචරිතවාදී සමාජ වටිනාකම් සමග පැවතීම නිසා ඔවුන් අතර දිගු මත ගැටුමකට එය හේතු විය.
කමලා - ට්‍රම්ප්
ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ ට්‍රම්ප් පෙනී සිටියේ ඇමෙරිකානු සන්ධීය ආණ්ඩු පාලනය ඔහුගේ අධිකාරය යටතේ මධ්‍යගත බලයක් බවට පත් කිරීමටත් ෆෙඩරල් සිවිල් පරිපාලකයින් ඉවත් කර දේශපාලන හිතවතුන්ගෙන් ඒ තනතුරු පිරවීමටත් රටේ නීති ක්‍රියාත්මක කිරීමටත් සංක්‍රමණිකයින් පිටමං කිරීමටත් හමුදාව යොදා ගැනීමට ය. කමලා හැරිස් වඩා ජනතාවාදී නැඹුරුවක් ගන්නීය. ඇය ඇගේ ආර්ථික පිළිවෙත ඉදිරිපත් කෙරුවේ “අවස්ථා සඳහාවන ආර්ථිකයක්” යනුවෙනි. ඇය සමාජයේ මැද සහ පහළ පැලැන්තියට බදු සහන ලබා දෙමින්, ධනවතුන්ගෙන් ඒ අඩුව පුරවා ගන්නා බව කීවාය. ඖෂධ සහ නිවාස මිල අඩු කරන බවටත් ඇය පොරොන්දු වූවාය. ඒ සම්බන්ධව ජනතාව දෙන තීන්දුව බලා ගන්නට, තව දින කිහිපයක් යා හැකි බැව් ඇමෙරිකානු බලධාරීන් කියා තිබිණ.
පිටස්තර අපට අදාල වන්නේ ඇමෙරිකානු පාලකයින් නොකඩවා ආධාර කරන යුධ ගැටුම් නතර කිරීමේ පියවර ගන්නේද නැද්ද යන්න ය
ඇමෙරිකානු ජනාධිපතිවරණය සම්බන්ධ වැදගත්ම කාරණාව, ඒවා කිසිත් පිටස්තර අපට අදාල නොවීම ය. පිටස්තර අපට අදාල වන්නේ ඇමෙරිකානු පාලකයින් නොකඩවා ආධාර කරන යුධ ගැටුම් නතර කිරීමේ පියවර ගන්නේද නැද්ද යන්න ය. ඒ මැතිවරණ වේදිකා කිසිවක, එය කතා නොවුනකි. මෙවර පමණක් නොව, මීට පෙර පැවති ජනාධිපතිවරණ වලදී පවා ලොව යුධ ගැටුම් සම්බන්ධව හා යුද අවි ආම්පන්න නිෂ්පාදනය සම්බන්ධව කතා නොවුනි. 2019 ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහා වෙන් කෙරුණු මුදල ඩොලර මිලියන 693,058 ක් විය. එය 2024 වන විට, කලින් වසර 2023 ට වඩා බිලියන 28.6 ක් වැඩියෙන් බිලියන 824.3 ක් විය. ඊට අමතරව ඇමෙරිකානු රජය ඩොලර බිලියන 967 ක් නේටෝ යුධ වියදම් වෙනුවෙන් 2023 දී වැය කර තිබිණ. මේ යුද වියදම් කප්පාදු කළ යුතු යැයි හරිත පක්ෂ අපේක්ෂිකා ජිල් ස්ටෙයින් සහ සමාජවාදී පක්ෂ අපේක්ෂිකා ක්ලෝඩියා ඩි ලා කෲස් යෝජනා කළද ඔවුන්ට ඇමෙරිකානු මාධ්‍යයන්හි ඉඩක් නොලැබෙන හෙයින් ඒ යුධ විරෝධී යෝජනා සමාජගත වන්නේ නැත.

ඇමෙරිකාවේ ආරක්ෂක වියදම්, යුධ තීන්දු, විදේශ ප්‍රතිපත්තිය ජනතා ඡන්දයෙන් ජනාධිපති ලෙස කවුරුන් පත් කෙරුණත් වෙනස් කළ නොහැක්කකි. එය තීන්දු කෙරෙන්නේ රටවල් 160 ක හමුදා කඳවුරු නැතිනම් ආරක්ෂක සේවා ස්ථානගතවීම් 4,800 ක් පාලනය කරන ඇමෙරිකානු පෙන්ටගනයේ අප්‍රකාශිත, නැතිනම් “නම් නෙකෙරෙන” ආරක්ෂක බලධාරීන් කණ්ඩායමක් විසින් ය. එබැවින් ගාසා ප්‍රදේශයේ රෝහල් වලට පවා ගුවන් ප්‍රහාර දියත් කෙරෙන බිළින්දන්, කුඩා දරුවන් ගැබිනි මව්වරුන්, මහල්ලන් ඇතුලු දිනකට 120 ට වැඩි මනුස්ස ඝාතන සිදු කෙරෙන, මේ වනවිට අවුරුද්දක් ඇතුළත අවම 44,000 ට වැඩි මනුස්ස ඝාතන සිදු කළ ඊශ්‍රායලය, 2023 ඔක්තෝම්බරයේ සිට මුදා හැර ඇති ම්ලේච්ඡ ප්‍රහාර වහා නතර කිරීමට පියවර ගන්නේ යැයි ඇමෙරිකානු ජනාධිපතිට පැහැදිලි පොරොන්දුවක් දිය නොහැක. යුක්රේන - රුසියානු යුද්ධය අවසන් කිරීම ගැන නිශ්චිත කිසිවක් ඇමෙරිකානු ජනාධිපතිට කිව නොහැක.
මේ ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පත් වූවත් කමලා හැරිස් පත් වූවත් එහි වෙනසක් නොවන්නේය. කෙටියෙන් කිවහොත් ලොව කොතැනක යුධ ගැටුමක් ඇති වූවත් ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නේ ඇමෙරිකානු ජනාධිපති හෝ කොන්ග්‍රසය නොව, පෙන්ටගනයේ “අප්‍රකාශිත රාජ්‍ය” බව තේරුම් ගත් විට, ඇමෙරිකානු ජනාධිපතිවරණයෙහි අපට වැදගත් කිසිත් නැති බැව් තේරුම් ගත හැක.
(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2024 නොවැම්බර 05



