The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සිරි පා සමයේ හිස ඔසවන රත් දෝතළු මල් ජාවාරම මෙවරත්? - (රේණුකා දමයන්ති)

T

The Leader Desk

November 9, 2024 • 10:54 AM

සිරි පා සමයේ හිස ඔසවන රත් දෝතළු මල් ජාවාරම මෙවරත්? - (රේණුකා දමයන්ති)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මොර­ග­හ­යට ප්‍රදේ­ශයේ දී අත්අ­ඩං­ගු­වට ගැනී­මට වන ­ජීවී නිල­ධා­රීන් සමත්වී ඇතැයි වාර්තා වෙයි.
  • ඉකුත් 04 වැනි දා වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ හදිසි වැට­ලීම් ඒක­ක­යට ලැබුණු තොර­තු­රක් අනුව ක්‍රියා­ත්මක වූ වන ­ජීවී නිල­ධා­රීන් මෙම පුද්ග­ල­යන් අත්අඩං­ගු­වට ගෙන ඇත.
  • මෙය කිසියම් හුදකලා සිදුවීමක් ලෙස මූලිකව පෙනී ගිය ද මෙය අප රටේ ප්‍රබල ලෙස සිදු වන ජාවාරම් යාන්ත්‍රණයක එක් පිළිබිඹුවක් පමණි.
  • සිරි පතුළ පිහිටුවීම සඳහා සමනල කන්දට වැඩම කළ බුදුරජාණන් වහන්සේට සමන් දෙවියන් විසින් සමනල අඩවියෙන් නෙළා ගත් දෝ­තළු මල් පූජා කළ බවත් එසේ පූජා කරන අවස්ථාවේ බුද්ධානුභාවයෙන් ඒවා රන් පැහැ ගැන්වුණු බවත් සබරගමු ජන ප්‍රවාදයකින් පැවසෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මොර­ග­හ­යට ප්‍රදේ­ශයේ දී අත්අ­ඩං­ගු­වට ගැනී­මට වන ­ජීවී නිල­ධා­රීන් සමත්වී ඇතැයි වාර්තා වෙයි.

ඉකුත් 04 වැනි දා වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ හදිසි වැට­ලීම් ඒක­ක­යට ලැබුණු තොර­තු­රක් අනුව ක්‍රියා­ත්මක වූ වන ­ජීවී නිල­ධා­රීන් මෙම පුද්ග­ල­යන් අත්අඩං­ගු­වට ගෙන ඇත.

 රත්දෝ­තළු ශාක­යට හානි කිරීමේ චෝද­නාව මත මෙම සැක­ක­රු­වන් රත්න­පුර මහේ­ස්ත්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු ඔවුන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරීමට මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කර තිබේ. මෙය කිසියම් හුදකලා සිදුවීමක් ලෙස මූලිකව පෙනී ගිය ද මෙය අප රටේ ප්‍රබල ලෙස සිදු වන ජාවාරම් යාන්ත්‍රණයක එක් පිළිබිඹුවක් පමණි.

image a3441918a8

සිරි පතුළ පිහිටුවීම සඳහා සමනල කන්දට වැඩම කළ බුදුරජාණන් වහන්සේට සමන් දෙවියන් විසින් සමනල අඩවියෙන් නෙළා ගත් දෝ­තළු මල් පූජා කළ බවත් එසේ පූජා කරන අවස්ථාවේ බුද්ධානුභාවයෙන් ඒවා රන් පැහැ ගැන්වුණු බවත් සබරගමු ජන ප්‍රවාදයකින් පැවසෙයි.


නමුත් මෙය කිසිදු සම්භාව්‍ය මූලාශ්‍රයක නොමැති ගැමි ප්‍රවාදයකි. එම ප්‍රවාදයට අනුව අපගේ මුළු රටින්ම එම පරපුරට අයත් රන් දෝතළු දැකිය හැක්කේ ශ්‍රී පාද හිමය තුළ පමණි. මෙය බහුල ලෙසම ශ්‍රී පාද අඩවියේ දක්නට ලැබීම මත සබරගමු ගැමි ජන මනැස තුළ සමන් දෙවියන් හා මෙම ශාකය සම්බන්ධ මෙම කාව්‍යාත්මක පරිකල්පනය ගොඩ නැඟෙන්නට ඇති බව අපගේ වැටහීම ය. නමුත් ඒ සම්බන්ධ ඛේදවාචකයකට මුල පිරෙනුයේ එතැන් සිට ය.

416267279 764008719082482 3367152467619257663 nහුදෙක් සබරගමු ජනප්‍රවාදයක් වූ මෙම රත් දෝ­තළු පිළිබඳ රසවත් කතා පුවත සත්‍ය පුරාවෘත්තයක් ලෙස නාගරික සමාජය තුළට පිවිසුවීම මත අදටත් අන්ධ භක්තියෙන් යුතු දේශපාලනඥයන්, ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස් විශේෂිත අනුහස් පතා මෙම මල් පුජා කරනු පෙනෙයි. ශ්‍රීපාදස්ථානයට එසේ දෝ­තළු මල් පූජා කිරීමෙන් ධනය බලය කීර්තිය ආදී ලෞකික සම්පත් නොමඳවම ලැබෙන බවට ධර්මානුකූල නොවූ විශ්වාසයක් සමාජයේ පැතිර තිබේ,


නමුත් සිරි පා කරුණාව හා දෝ­තළු මල් පූජාව සබරගමු ජන සංස්කෘතියෙන් බැහැර ද නොවේ. දෝ­තළු යන්න හා සම්බන්ධ ග්‍රාම සහ ස්ථාන නාම සහිත මංපෙත් ඔස්සේ පැරණි ශ්‍රී පාද මාර්ග වැටී තිබීම ඒ සඳහා නිදසුනකි. කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර සිරිපා හිමයේ නැගෙනහිර සීමාව ලෙස දැක්විය හැකි “දෝතල්ලංකඩ” වන පෙත එවැනි ස්ථාන නාමයකි. මුලදී දෝ­තළු මංකඩ ලෙස හැඳින්වුණු මෙය පසුව සුඛෝච්චාරණය සඳහා දෝතල්ලංකඩ ලෙස හැඳින්වෙන්නට ඇත. මංකඩ යන වදනින් හැඳින්වෙනුයේ මෙය පැරණි ගමන් මාර්ගයක් බවය.

මා පැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජ මහා විහාරයට නොදුරින් පිහිටි ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සමයේ එම ප්‍රදේශ වල සිට වන්දනා ගමන් යන්නවුන් එක වන්දනා නඩයකට එක දෝතළු මල බැගින් රැගෙන යාමේ සිරිතක් පැවති බව මතක ය. එහි දී සුදුසු දෝතළු ගසක් තෝරා ඉන් මලක් නෙලා ගැනීම පැරණි සම්ප්‍රදායක් වූ අතර එය ශ්‍රී පාද වන්දනා ගමනේ ප්‍රධානියකු හෙවත් නඩේ ගුරකු විසින්ම කළ යුත්තක් බවත් ඉන් පසු සුදු පිරුවටයකින් එතීම වැනි ඒ සම්බන්ධ චාරිත්‍ර රැසක් තිබූ බවත් මා අසා තිබිණ. ඉන් අදහස් වූයේ දෝතලු මලක් නෙලා ගැනීම ආවාට ගියාට කළ හැකි කාරියක් නොවන බව ය.

 

rath dothalu 1 copy

සබරගමු ගැමි ජනතාව අතුරින් ඇතැමුන් රන් දෝ­තළු යනුවෙන් ද හඳුන්වන රත් දෝ­තළු කවදත් ඔවුන් ගේ විශේෂ ආදර ගෞරවයකට ලක් වූ පුෂ්පයකි. රතු පැහැයෙන් යුතු වුවද එම පුෂ්පයට ඔවුන් “රන්” යන අභිධානය හිමි කොට ඇත්තේ එම ගෞරවාදරය නිසාම විය යුතු ය. බැලූ බැල්මටම පුවක් ගසකට සමාන බවක් පළ කරන මෙම රත් දෝ­තළු ශාකය පුවක් ගස අයත් වන තාල කුලයට අයත් ය. Loxococcus rupicola (Thw.)H.Wendl. {amp]Drude (ලොක්සොකොකස් රුපිකෝලා) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙරටට ආවේණික ශාක විශේෂයක් වන රත් දෝ­තළු මුහුදු මට්ටමේ සිට මීටර් 300 – 1500 අතර නිරිත දිග කඳුකර වැසි වනාන්තර ආශ්‍රිතව සීමිත ව්‍යාප්තියක් දක්වන ශාකයකි. ප්‍රධාන වශයෙන් සබරගමුව ආශ්‍රිත උප කඳුකර වනාන්තරවල සේම ගෙවතු වල ද මෙම ශාකයේ යම් ව්‍යාප්තියක් දක්නට පුළුවන. දිය පහරවල් අසල සෙවන සහිත සිසිල් පරිසරයන්හි සමූහ වාසී කුඩා ගහන හෙවත් ගැමි වහරට අනුව කිවහොත් දෝ­තළු මණ්ඩි වශයෙන් මෙම ව්‍යාප්තිය දක්නට ලැබේ. 2012 ලෝක සොබා සංසදයේ (IUCN) රතු දත්ත ලැයිස්තු වෙහි EN හෙවත් වඳවී යෑමේ තර්ජනයට ලක් වූ විශේෂයක් ලෙස දෝ­තළු වර්ගීකරණය කොට තිබේ.එනිසා මෙම ශාක සම්පත රැක ගැනීම අතිශය වැදගත් කාරියකි.


2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත මගින් viii උපලේඛනය යටතේ රත් දෝ­තළු ආරක්ෂිත ශාක නාම ලේඛනයට ඇතුළත් කොට තිබේ. ඒ අනුව මෙම ශාකය හෝ ශාකයේ කොටසකට හානිදායක යම් ක්‍රියාවක් කිරීම, විකිණීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම මුළුමනින් ම තහනම් ය. මෙම තහනම පෞද්ගලික දේපළක තිබෙන ශාකයකට පවා අදාළ වේ. එනිසා යම් පුද්ගලයකුට අයත් පෞද්ගලික ස්ථානයක තිබුණ ද මෙම ශාකයට හානි සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වේ. මෙම ශාකය කැඩීම/ ගැලවීම/ කොටසක් හෝ හානි කිරීම සහ විකිණීම පවා තහනම් ය. එසේ කරන්නවුන් හට රුපියල් දස දහසේ සිට විසි දහස දක්වා දඩ මුදලක් අය කිරීමටත් වසර දෙකේ සිට පහ දක්වා ඒ පුද්ගලයා බන්ධනාගාරගත කිරීමටත් අධිකරණයට බලය තිබේ. මෙම නීතිය පැනවීමෙන් පසු දෝ­තළු ගසක් ගෙවත්තේ තබා ගැනීම අනවශ්‍ය කරදරයක් සේ ගැමියන්ට සිතෙනු ඇත.

rath dothalu 2

මෙහිදී ඉහත සඳහන් රත් දෝතළු සම්බන්ධ මිථ්‍යා මතය නූතන ධනවත් ප්‍රජාව අතර පතුරුවා හරිනුයේ එම රත් දෝ­තළු සැපයුම් කරුවන්ගේ ඒජන්තවරුන් ලෙස ක්‍රියාකරන පිරිස් බව දැන ගන්නට ඇත. මෙහිදී රත්නපුර දිස්ත්‍රික්කයේ සබරගමු පළාතේ මෙන්ම පිට පළාත්වල විවිධ ජාවාරම්වල යෙදීමෙන් පවා සුවිසල් ධනස්කන්ධයන් ඒකරාශී කරගත් පිරිස් වෙත හීන් සීරුවේ ළං වන රත් දෝ­තළු ඒජන්ත වරු සිරිපා පද්මයට රත් දෝ­තළු පූජා කිරීමෙන් අත්වන ලෞකික ලාභ ප්‍රයෝජන ගැන පට්ටපල් කෙබර ඇද බාති.


එසේ ඔවුන් ගේ වදන් විශ්වාස කරන එම ධනවතුන් තුළ මතු වන ඊළඟ ගැටලුව වනුයේ අප රටේ මධ්‍යම කඳුකරයේ පමණක් දැකිය හැකි දුර්ලභ ශාකයක් වන රත් දෝතළු මලක් හිමි කර ගන්නේ කෙසේද? යන්න ය. එහි දී ජ්‍යොතීර්වේදීන් වශයෙන් පෙනී සිටින ඇතැමුන් විසින් සබරගමුවේත් සෙසු පළාත්වලත් ධනවතුන් හමුවේ ඇද බාන ඒ කෙබරයත් සමඟ එම ජාවාරමට සම්බන්ධ සැපයුම් කරුවකුගේ දුරකථන අංකයක් ද ලැබේ. එවිට ඔහු පවසනුයේ ඒ සඳහා සැලකිය යුතු මුදලක් එනම් ලක්ෂ ගණනක් වියදම් කළ යුතු බවකි. එහෙත්, කෝටි ප්‍රකෝටි ගණනක ප්‍රතිලාභ උදෙසා ලක්ෂ කීපයක් වැය කිරීම මොන කජ්ජක්දැයි සිතන ව්‍යාපාරිකයා එම තැරව්කරු හරහා රත් දෝ­තළු කොන්ත්‍රාත්තුව අදාළ ජාවාරම්කරුට භාර දෙනුයේ ඒ සඳහා වන සුවිසල් අත්තිකාරමක් ද සමඟ ය.

 

132336763 3701246016632638 5789703418188426893 n

කෙසේ හෝ ඊට සති කිහිපයකට පසුව එළැඹෙන ශ්‍රීපාදස්ථානය වන්දනා කරුවන්ගෙන් පිරී යන දිනයෙක ශ්‍රී පාදස්ථානයේ උඩ මළුවට ආසන්න ස්ථානයක දී එම ධනවතාට රත් දෝ­තළු මලක් ලැබේ. ඒ සඳහා ගාස්තු ගෙවන ක්‍රම කිහිපයක් ද තිබේ. ඉන් පසුව ඒ ධනවතාට ඇත්තේ ඒ රත් දෝ­තළු මල ශ්‍රීපාද පද්මය හමුවේ පූජා කිරීම පමණි. නමුදු එම ධනවතා ඒ රත් දෝතලු මල පූජාකොට ආපසු පැමිණීම පිණිස උඩ මළුවෙන් පහළට බසිත්ම ඒ රත් දෝ­තළු මල ද පුදසුනෙන් අතුරුදන් වෙයි. ඒ එහි පූර්ව සැලසුමකට අනුව උඩමළුවට පැමිණ රත් දෝ­තළු පූජාවෙන් තම දිවියේ කාමභෝගීත්වය දෙගුණ තෙගුණ කර ගැනීමේ පැතුමින් යුතු තවත් එවැනිම ධනවතකු ගේ දෝතට පත් වන තුරු පමණි.

නමුත් මේ ආකාරයට වුව ශ්‍රී පාද අඩවියෙන් හා ඒ අවට වන ගහණයෙන් සැලකිය යුතු දෝ­තළු මල් ප්‍රමාණයක් ඉවත් කර ගැනෙයි. මෙම රත් දෝ­තළු ජාවාරම සම්බන්ධයෙන් ගත වූ දෙවසර තුළ අප වෙත ලැබුණු තොරතුරු එසේ වුවද මෙවර වාර්තා වන ඉහත සිදු වීමට අනුව මෙවර ද එම ජාවාරම තවත් ප්‍රබල හා සංවිධානය ලෙස ප්‍රවර්ධනය වීමට අවශ්‍ය සමාජ ආර්ථික පසුබිම මේ වන විටත් නිර්මාණය වී හමාර ය.මෙය අදාල බලධාරීන් විසින් නොමඳ අවධානයට යොමු කළ යුත්තකි.


gotbahaya dothaluගෝඨාභය හා චමල් රාජපක්ෂ දෝතළු මල් පූජා කරමින්

මෙම රත් දෝ­තළු පූජාව ශ්‍රී පාදස්ථානයට පමණක් සීමා වූවක් නොවේ. අප රටේ මහා ථුපය වශයෙන් හැඳින්වෙන අනුරාධපුර රුවන්වැලි මහා සෑය විෂයෙහි ද වරින් වර මෙලෙස රත් දෝතළු මල් පූජා කර තිබෙනු දක්නට පුළුවන.ජනතාව විසින් බලයෙන් නෙරපා හරින ලද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවා තම පදවි ප්‍රාප්තියේ දෙවන සැමරුම වෙනුවෙන් 2021 වසරේ නොවැම්බර් 19 වැනිදා අනුරාධපුර රුවන්වැලි මහ සෑය උදෙසා රත් දෝ­තළු පූජා කරන ඡායාරූප මාධ්‍යවලට නිකුත් වීමෙන් මෙම ජාවාරම සමාජයේ කෙතරම් උත්තුංග තලයට ගොස් ඇද්ද යන්න වටහා ගත හැක.


ඔහු සමඟ ඔහුගේ වැඩිමල් සොයුරු අමාත්‍ය චමල් රාජපක්ෂ ඇතුළු තවත් ප්‍රභූන් ද මෙම “නීති විරෝධී” පූජාවේ යෙදී සිටිනු එම ඡායාරූප වල දැක්වෙයි. නමුත් ධනය, බලය කීර්තිය අරමුණු කොට සිදු කළ එම දෝ­තළු පූජාවට ඉන් සත් මසක් සපිරීමත් සමඟ 2022 ජූලි 09 වැනිදා ගාලු මුවදොර ඇතුලුව රටපුරා ඇති වූ දැවන්ත අරගලය හමුවේ ජනතාව විසින් නෙරපා හරින ලද ගෝඨාභය රාජපක්ෂට ජූලි 13 වැනිදා අලුයම සිය බිරිඳ හා ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සමඟ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයකින් මලදිවයින බලා පලා යන්නට සිදු වීමෙන් සැබෑ බුදු දහමට සපුරාම පටහැනි මෙම දෝ­තළු සම්බන්ධ පරිසර සංහාරක පූජාවේ අනුහස් කෙබඳු ද?යන්න අප කාටත් මනාව වටහා ගත හැකි වනු ඇත.

renuka damayanthi psd
(රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම -  vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සිරි පා සමයේ හිස ඔසවන රත් දෝතළු මල් ජාවාරම මෙවරත්? - (රේණුකා දමයන්ති) | The Leader