The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මැතිවරණවලදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතික්ෂේප වන්නේ ඇයි? - (නිමල් අබේසිංහ)

T

The Leader Desk

November 9, 2024 • 4:25 PM

මැතිවරණවලදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතික්ෂේප වන්නේ ඇයි? - (නිමල් අබේසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පිළිබිඹු කරන වග පෙනෙන්නට ඇත.
  • විශේෂයෙන්ම ප්‍රකාශිත ඡන්ද ප්‍රතික්ෂේප වීම මැතිවරණයෙන් මැතිවරණයට උච්චාවචනය වීමක් ප්‍රදර්ශනය වන අතර 1982 ප්‍රථම ජනාධිපතිවරණයේ සිට 2024 දී පැවැත්වූ ජනාධිපතිවරණය දක්වා ජනාධිපතිවරණ සමය තුළ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත දෙස බලද්දී මේ බව පැහැදිලි වේ.
  • මේ ජනාධිපතිවරණ සමයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව සහ ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව හා එහි ප්‍රතිශතය පිළිබඳ වගුව පහත සඳහන් වේ.
  • මෙම වගුවට අනුව 1982 ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 1.2%ක් වන අතර 1988දී 1.76%ක්ද, 1994 දී 1.97% ක්ද, 1999 දී 2.31%ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව දැකිය හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

පිළිබිඹු කරන වග පෙනෙන්නට ඇත.

විශේෂයෙන්ම ප්‍රකාශිත ඡන්ද ප්‍රතික්ෂේප වීම මැතිවරණයෙන් මැතිවරණයට උච්චාවචනය වීමක් ප්‍රදර්ශනය වන අතර 1982 ප්‍රථම ජනාධිපතිවරණයේ සිට 2024 දී පැවැත්වූ ජනාධිපතිවරණය දක්වා ජනාධිපතිවරණ සමය තුළ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත දෙස බලද්දී මේ බව පැහැදිලි වේ.

මේ ජනාධිපතිවරණ සමයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව සහ ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව හා එහි ප්‍රතිශතය පිළිබඳ වගුව පහත සඳහන් වේ.


fty55

මෙම වගුවට අනුව 1982 ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 1.2%ක් වන අතර 1988දී 1.76%ක්ද, 1994 දී 1.97% ක්ද, 1999 දී 2.31%ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව දැකිය හැකිය.

2005 වසරේදී 1.12% දක්වා අඩුවී 2010 දී 0.97% වැනි ඍණ අගයකට පැමිණ ඇත.  

2015දී එය 1.15ක් වන අතර 2019 දී නැවත 1.01%ක දක්වා අඩුව ඇත.  

2024 දී එය 2.20% දක්වා නැවත ඉහළට පැමිණ තිබේ.  

මෙහිදී පෙනෙන්නට තිබෙන තවත් ලක්ෂණයක් වන්නේ 1982 සහ 1988 ජනාධිපවරණයේදීත් 1994 සහ 1999 ජනාධිපතිවරණයේදීත් පෙර පැවති ප්‍රතික්ෂේප වූ ඡන්ද ප්‍රතිශතය ඉහළ පැමිණ තිබීමය.  

එහෙත් එම තත්ත්වය 2005 සහ 2010 දී වෙනස් වී තිබෙන බවද පෙනෙයි.

එනම් 2005දී ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 1.12% වුවත්, 2010 දී 0.97% දක්වා අඩු වී ඇත.

එය විශේෂ තත්ත්වයක් වුවත් 2015දී 1.01%  දක්වාත් පහළට පැමිණ ඇත.  

සාමාන්‍යයෙන් මෙම ප්‍රතික්ෂේප වීමේ ප්‍රතිශතය අසාමාන්‍ය තත්ත්වයක් නොවන බව මැතිවරණය නිරීක්ෂණ සංවිධානවල අදහසය. ඔවුන්ගේ මතය වන්නේ ඡන්ද ප්‍රතික්ෂේප වීමේ අගය 5%ට වඩා ඉහළ අගයක් පැමිණ ඇත්නම්, එය සුවිශේෂී තත්ත්වයක් බවත් ඒ ගැන අවධානය යොමු කළ යුතු බවත්ය.

පැවති ජනාධිපතිවරණ නමය තුළ ඡන්ද ප්‍රතික්ෂේප වීමේ ප්‍රතිශතය වැඩියෙන්ම තිබී ඇත්තේ 1999දීය. එහි අගය 2.31 කි.

2024 ජනාධිපතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතික්ෂේප වීමේ අගය 2.20%ක් වුවත් දිස්ත්‍රික් මට්ටමේ ප්‍රතිශත දෙස බලන විට බරපතළ වෙනස් කම් දක්වන බවද පෙනෙයි.

එය වඩාත් තහවුරු කරගත හැක්කේ 2024 හා 2019 ජනාධිපතිවරණ වල ඡන්ද දිස්ත්‍රික් මට්ටමින් ප්‍රකාශිත ඡන්ද ප්‍රතික්ෂේප වීමේ ප්‍රතිශතයන් නිරීක්ෂණයේදීය.

පහත දැක්වෙන්නේ 2019 සහ 2024 පැවති ජනාධිපතිවරණවල දිස්ත්‍රික් මට්ටමින් ප්‍රකාශිත ඡන්දවලින් ප්‍රතික්ෂේප ප්‍රතිශතයන්ය.

zetw4

මෙම වගුවට අනුව පැහැදිලි වන්නේ 2019 ජනාධිපතිවරණයට සාපේක්ෂව 2024දී ප්‍රතික්ෂ්පිත ඡන්ද වැඩි වී තිබෙන බවයි.

මෙයින් වඩාත් වැදගත් ලෙස පෙනෙන්නේ යාපනය සහ වන්නි දිස්ත්‍රික්ක දෙකෙහි ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාවන්ය.  2019 දී යාපනයේ ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රතිශතය 2.93% ක් වන විට 2024දී එය 6.39% දක්වා ඉහළට ගොස් තිබේ.

යාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක නිලධාරියෙකුගෙන් මේ ගැන විමසූ විට ඔහු පැවසුවේ 2024 ජනාධිපතිවරණ මැතිවරණය වර්ජනය කරන ලෙස දේශපාලන පක්ෂයක් විසින් ගෙන ගිය ව්‍යාපාරය මෙම ඡන්ද ප්‍රතික්ෂේප වීම කෙරෙහි අනියමින් බලපාන්නට ඇතැයි සිතිය හැකි බවය.

දෙමළ ජාතික පෙරමුණ, සමස්ත ශ්‍රී ලංකා දෙමළ කොන්ග්‍රසය, ශ්‍රී ලංකාවේ ඒකීය ව්‍යවස්ථාව අහෝසි කර ව්‍යවස්ථාපිත ව්‍යවස්ථාවක් සහතික කරන තුරු අපි ජනාධිපතිවරණය වර්ජනය කරමු ! යන ශීර්ෂයෙන් යුතුව පත්‍රිකාවක් බෙදා හරිමින් ඔවුන් සිය විරෝධතාව ගෙන ගියහ.

වර්ජනය කරන්නේ නම් ප්‍රතික්ෂේප වන අයුරින් ඡන්දය ප්‍රකාශ කරන්නේ ඇයි යන ප්‍රශ්නය මෙහිදී පැන නැගුණද, විවිධ හේතු නිසා ඡන්ද මධ්‍යස්ථානයට ගොස් සිය ඡන්දය අවලංගු කළාද යන්නද බැහැර කළ හැකි නොවේ. එනිසා මෙහි සැබෑව අනාවරණය කර ගත හැකි වන්නේ මැතිවරණ කොමිසම විසින්ම සිදු කරනු ලබන විමර්ශනයකින්ය.

ආසන්නතම ජනාධිපතිවරණ දෙක වන 2019 සහ 2024 ඡන්ද ප්‍රතික්ෂේප වීමේ සාමාන්‍යය 1.01% සහ 2.20% ලෙස පෙනෙන්නට තිබේ.  

එසේ වුවත් මෙම ප්‍රතික්ෂේප වීමේ ප්‍රතිශතයන් දිස්ත්‍රික්ක මට්ටමින් සලකා බලන විට සෑහෙන වෙනසක් දැකිය හැකිය.

ඒ සඳහා උදාහරණ ලෙස මහනුවර, මාතලේ, ත්‍රිකුණාමලය, කෑගල්ල හා කොළඹ දිස්ත්‍රික්ක ගත හැකිය.

zxdtw4t

මෙම වගුවට අනුව 2019දී ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රතිශතයට වඩා 2024දී මෙම දිස්ත්‍රික්කවල ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව දෙගුණයක් හෝ ඊට ආසන්න වී හෝ ඊටත් වැඩි වී හෝ තිබේ. මෙයට පැහැදිලි හේතු සපයා ගැනීම පහසු නොවේ.

සාමාන්‍ය යෙන් මැතිවරණයකට පසුව මැතිවරණ කොමිසම විසින් විශ්ලේෂණ වාර්තාවක් සැකසීම සම්ප්‍රදාය වුවත් 2024 මැතිවරණය සම්බන්ධයෙන් එවැන්නක් සිදු කර නැත.  ඊට හේතුව ජනාධිපතිවරණය හමාර වීමත් සමගම පාර්ලිමේන්තු මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමය. එබැවින් වාර්තාව සැකසීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට චෝදනා කළ නොහැකිය.

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රතික්ෂේප වීමට බලපාන්නට ඇතැයි අපට උපකල්පනය කළහැකි කාරණා කීපයක් ඉස්මතු කළ හැකිය.  මෙම මැතිවරණයේදී එක් ඡන්ද සලකුණක් වන්නේ කැල්කියුලේටරයයි. එය බැලු බැල්මට යමෙකුට ජංගම දුරකථනයක් ලෙස පෙනී යා හැකිය.

දෙවැන්න ටෙලිෆෝනය සලකුණය. ඡන්ද කාඩ්පතේ සඳහන් ටැලිෆෝනය ඡන්ද පත්‍රිකාවේ සඳහන් ටෙලිෆෝනයේ රූපයට සමාන ටෙලිෆෝන් භාවිතයෙන් ඉවත් වී ගොස් ඉවත් වී සෑහෙන කාලයකි. එනිසා ජංගම දුරකථනයට සමාන ආකාරයකින් තිබුණ කැල්කියුලේටරය ටෙලිෆෝනය යැයි කෙනෙකුට වරදවා වැටහෙන්න ඉඩක්ද නැතිවාට නොවේ.

2024 ජනාධිපතිවරණයේදී කේ.කේ. පියදාස නම් අපේක්ෂකයෙකුද සිටියේය. මෙම අපේක්ෂකයාට යාපනය දිස්ත්‍රික්කයෙන්ද සෑහෙන ඡන්ද සංඛ්‍යාවක් ලැබී තිබුණේ ඊට සමාන දමිළ නම්ද තිබෙන නිසාද යැයි උපකල්පනය කිරීමටද හැකිය. ජේසුදාසන් වැනි නම් ඊට උදාහරණයක්ය.  

ඡන්ද ප්‍රතික්ෂේප වීම ගැන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සේවයේ යෙදී අත්දැකීම් සහිත පළපුරුදු නිලධාරීන්ගෙන් විමසූ විට ඔවුන් පැවසුවේ පහත කරුණුය.

* එක් ඡන්ද අපේක්ෂකයෙකුට වැඩියෙන් ඡන්දය ප්‍රකාශ කර තිබීම

* පක්ෂ කීපයකට ඡන්ද ප්‍රකාශ කර තිබීම

* එකම අපේක්ෂකයාට කතිර ලකුණු කිහිපයක් සලකුණු කර තිබීම

* ඡන්ද පත්‍රිකාව විකෘති කර තිබීම

* මුළු ඡන්ද පත්‍රිකාව පිරෙන සේ විශාල කතිරයක් ලකුණු කර තිබීම

* ඡන්ද පත්‍රිකාවේ අකුරු - වචන - වාක්‍ය හෝ අත්සන - නම් - හැඳුනුම් පත් අංක සඳහන් කර තිබීම

රාජ්‍ය පරිපාලන සේවයේ විවිධ තනතුරුවල සේවය කර මැතිවරණ රාජකාරි සම්බන්ධයෙන් අත්දැකීම් තිබෙන උතුරු මැද පළාතේ ප්‍රධාන ලේකම් ලෙස සිට විශ්‍රාම ලබා සිටින චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගෙන් ඡන්ද ප්‍රතික්ෂේප වන්නේ ඇයිදැයි විමසීමි.

''මැතිවරණ කොමිසමේ නියමයන්ට පටහැනිව ඡන්දය ප්‍රකාශ කර තිබීම තමයි ප්‍රකාශිත ඡන්ද ප්‍රතික්ෂේප වීමට ප්‍රධාන හේතුව වන්නේ.

මගේ අත්දැකීම අනුව මේ ප්‍රතික්ෂේප වන ඡන්ද කොටස් දෙකකට බෙදන්න පුළුවන. එකක් හිතාමතා ප්‍රතික්ෂේප වන ආකාරයට ඡන්දය සළකුණු කිරීමය. අනෙක නොදන්නා කම නිසා සළකුණු කිරීමේදී වැරදි සිදු වීම. එවැනි අය කොටුවෙන් පිටතට යනසේ ඡන්දය සළකුණු කිරීමේ සිට මැතිවරණ කොමිසමේ උපදෙස්වලට අනුගත නොවන ලෙසින් ඡන්දය සළකුණු කර තිබෙනවා.

පළමු පිරිස, ඒ කියන්නේ හිතාමතාම ඡන්දය ප්‍රතික්ෂේප වන විදිහට ඡන්දය ඡන්දය සලකුණු කරන අය බොහෝ විට ඡන්ද පත්‍රිකාවේ විරෝධාකල්ප, කටු ගෑම්, චිත්‍රවගේ ඒවා අඳින බව ඡන්ද සලකුණු අතර සත්තුන්ගේ ලකුණු තිබෙනව නෙ. එක ඡන්දෙකදි ඡන්ද දායකයෙක් මේ සතෙකුගෙ සලකුණ වන සතාගේ කරේ ලණුවක් ඇඳල තමන් ගහක ඇඳ, ඒ ලණුව ගහේ බැඳල තිබෙන ආකාරයට චිත්‍රයක් ඇඳල තිබුණ.

මගේ අත්දැකීම අනුව නම් මේ වාගේ හිතාමතාම ඡන්දය ප්‍රතික්ෂේප වන ආකාරයට සලකුණු කරන පිරිස වැඩියි. භාෂා ප්‍රශ්නයකුත් නැහැ. නොදන්නා කමට වරදින පිරිස ඉතාම අඩුයි.

කිසිවෙකුට කැමති නැත්නම් ඒ බව සලකුණු කරන්නත් ඡන්ද පත්‍රිකාවල ඉඩක් තියෙනව නම් ප්‍රතික්ෂේප වන ඡන්ද සංඛ්‍යාව අඩු වෙයි කියල මට හිතෙනවා. ''

ප්‍රකාශිත ඡන්ද ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චිගෙන් විමසූ විට ඔහු පැවසුවේ මෙවැන්නකි.

''ඡන්ද ප්‍රකාශ කිරීමේදී නොදන්නා කම වැරදි සිදු වීමෙන් ඒවා ප්‍රතික්ෂේප වනවාද, එසේ නැතිනම් හිතාමතා හිතාමතාම වරද්දනවාද? කියල අපට කියන්න බැහැ. විශේෂිත ප්‍රදේශයක ඡන්ද ප්‍රතික්ෂේප වීම වැඩියෙන් සිදු වී ඇත්නම්, එය එහෙම වුණේ ඇයි කියල හොයල බලන්න වෙනව.  ඒක ගැන හිතන්නත් වෙනව.  
මෙය ප්‍රතිශතාත්මකව ගත්තොත් 5%ත් 7%ත් අතර තියෙනවා නම් බරපතළ තත්ත්වයක් ප්‍රතික්ෂේප  වීම 3%ට වඩා අඩු නම් ඒ තත්ත්වය බරපතළයි කියල කියන්න බැහැ. හැබැයි ඡන්ද ප්‍රතික්ෂේප වීමේ අගය බින්දුවට ගේන්න පුළුවන් නම් හොඳයි. ''

Nimal Abesinghe(නිමල් අබේසිංහ)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
nabesinghe13@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...