The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කාන්තාවන් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුත්තේ ඇයි?

T

The Leader Desk

November 11, 2024 • 6:15 AM

කාන්තාවන් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුත්තේ ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙසේ නමුත් පුරවැසියන් සම්බන්ධයෙන් නීති සම්පාදනය කෙරෙන පාර්ලිමේන්තුව තුළ අවම 6%ක් ඉක්මවූ කාන්තා නියෝජිතයන් ප්‍රතිශතයක්වත් මෙතෙක් ඉතිහාසය තුළ සිට නැත.
  • මෙවර මහමැතිවරණයේ දී කාන්තාවන්ට නාමයෝජනා ලබා දීම සම්බන්ධ‍යෙන් යම් කතා බහක් ඇති වූ නමුත්, ඇතැම් දිස්ත්‍රික්කවල ඇතැම් පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම්වල නාමයෝජනා ලැයිස්තුවල එකදු කාන්තාවක් හෝ ඇතුළත් වී නොමැත.
  • කාන්තා නියෝජන ඉතිහාසය ඇඩ්ලින් මොලමුරේ 1931 දී ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබීමත් සමග කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමි විය.
  • ඒ අනුව සර්වජන ඡන්ද බලයෙන් ඇරඹි පළමු ව්‍යවස්ථාදායකය වන රාජ්‍ය මන්ත්‍රණ සභාවට රුවන්වැල්ල ආසනය සඳහා පැවති අතුරු මැතිවරණයකින් ජයගෙන තේරී පත් වූ ඇඩ්ලින් මොලමුරේ, ශ්‍රී ලංකාවේ පළමු වරට ව්‍යවස්ථාදායකයකට තේරී පත් වූ කාන්තාව ලෙස ඉතිහාසයට එක් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


කෙසේ නමුත් පුරවැසියන් සම්බන්ධයෙන් නීති සම්පාදනය කෙරෙන පාර්ලිමේන්තුව තුළ අවම 6%ක් ඉක්මවූ කාන්තා නියෝජිතයන් ප්‍රතිශතයක්වත් මෙතෙක් ඉතිහාසය තුළ සිට නැත.

මෙවර මහමැතිවරණයේ දී කාන්තාවන්ට නාමයෝජනා ලබා දීම සම්බන්ධ‍යෙන් යම් කතා බහක් ඇති වූ නමුත්, ඇතැම් දිස්ත්‍රික්කවල ඇතැම් පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම්වල නාමයෝජනා ලැයිස්තුවල එකදු කාන්තාවක් හෝ ඇතුළත් වී නොමැත.

මහ මැතිවරණයට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබෙන මොහොතක, ප්‍රමාණවත් කාන්තා ප්‍රතිශතයක් පාර්ලිමේන්තුව තුළ සිටිය යුත්තේ මන්දැයි බීබීසී සිංහල විසින් සොයා බැලීමක් කරන ලදි.

කාන්තා නියෝජන ඉතිහාසය


ඇඩ්ලින් මොලමුරේ

1931 දී ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබීමත් සමග කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමි විය.

ඒ අනුව සර්වජන ඡන්ද බලයෙන් ඇරඹි පළමු ව්‍යවස්ථාදායකය වන රාජ්‍ය මන්ත්‍රණ සභාවට රුවන්වැල්ල ආසනය සඳහා පැවති අතුරු මැතිවරණයකින් ජයගෙන තේරී පත් වූ ඇඩ්ලින් මොලමුරේ, ශ්‍රී ලංකාවේ පළමු වරට ව්‍යවස්ථාදායකයකට තේරී පත් වූ කාන්තාව ලෙස ඉතිහාසයට එක් වේ.


එතැන් පටන් සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පාර්ලිමේන්තුව සඳහා 1989 දී පැවති පළමු මැතිවරණය දක්වා අතර කාලය තුළ ද පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙන්නේ ඉතාමත් සුළු කාන්තා ප්‍රතිශතයකි.

1989 පටන් මේ දක්වා පැවති මැතිවරණ 8 දී ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 අතුරින් කාන්තා ප්‍රතිශතය 6% ඉක්මවා ගොස් නැත.

 

Parlimat 2023.01.27වරකට නියෝජනය කර ඇති උපරිම මන්ත්‍රීවරියන් සංඛ්‍යාව 13කි.

වරකට නියෝජනය කර ඇති උපරිම මන්ත්‍රීවරියන් සංඛ්‍යාව 13කි.

නාමයෝජනා ලබා දීමේ දී ද කාන්තාවන්ට අවම අවස්ථාවක් හිමිව ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් මැතිවරණ කොමිසම උපුටා දක්වා තිබෙන දත්තවලින් දිස් වේ.

ආසන්නත ම මහ මැතිවරණ 4, එනම් 2004, 2010, 2015 සහ 2020 මහමැතිවරණවල නාමයෝජනා හිමි වූ කාන්තා ප්‍රතිශතය ද අඩු නමුත් ක්‍රමික වර්ධනයක් නිරීක්ෂණය කළ හැකියි.

මෙවර මැතිවරණයේ දී ද කාන්තාවන්ට නාමයෝජනා ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවතිණි.

 

mulashra1989 පටන් මේ දක්වා පැවති මැතිවරණ 8 දී ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 අතුරින් කාන්තා ප්‍රතිශතය 6% ඉක්මවා ගොස් නැත

'කාන්තාවන්ට ම ඇති විශේෂ අවශ්‍යතා පාර්ලිමේන්තුව තුළ නියෝජනය විය යුතුයි'

කාන්තාවන්ට ම විශේෂ වූ සහ අනන්‍ය වූ ප්‍රශ්න සමාජ තුළ පවතින බැවින් ඒවා පාර්ලිමේන්තුව තුළ නියෝජනය වීම වැදගත් බවට නීතිය හා සමාජ භාරයේ විධායක අධ්‍යක්ෂිකා සකුන්තලා කදිරගාමර් පවසයි. බීබීසී සිංහල කළ විමසීමක දී ඇය පෙන්වා දුන්නේ ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ කාන්තාවන් සිටීම වැදගත් බවයි.

"පහුගිය කාලයේ ආර්ථික අර්බුදය සමග සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම සම්බන්ධයෙන් ගැටළුවක් තිබුණා. කාන්තාවන්ගේ අධ්‍යාපනයට, ආර්ථිකයට බලපාන මේ ප්‍රශ්නය ගැන කවුද කතා කරන්නේ. මේ ගැන පිරිමි කෙනෙක් කතා කළොත් එයාට අනිත් අය හිනාවෙනවා. සජිත් ප්‍රේමදාස මේ ගැන කතා කළා ම ඔහුට 'පෑඩ් මෑන්' කියලා කතා හැදුවා. නමුත් මේ ප්‍රශ්නයට 50%කට වැඩි කාන්තාවන් මුහුණ දෙනවා," ඇය පෙන්වා දෙයි.



ගෝලීය වශයෙන් ම කාන්තාවන්ගේ අවශ්‍යතා සඳහා ආයෝජනය කිරීමේ අඩුවක් පවතින බව ඇය පෙන්වා දෙයි.

"බොහෝ රටවල්වල ප්‍රජනන අයිතීන් වෙනුවෙන්, කාන්තාවන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් ආයෝජනය කිරීම සම්පූර්ණයෙන් ම අමතක කරලා දාලා තියෙනවා."

"දකුණු අප්‍රිකාව තුළ කළු ජාතික සහ ඉන්දියානු ජාතික සමාජ කොටස් සම්පූර්ණයෙන් ම පාර්ලිමේන්තුවෙන් බැහැර කරලා තිබුණා. එතනදි මිනිස්සු සමාන අයිතිවාසිකම් සහ සමාන නියෝජනය වෙනුවෙන් මිනිස්සු සංවාද කළා. නමුත් ඒක කාන්තාවන් සම්බන්ධයෙන් ආවම කාන්තාවන්ව බැහැර කරලා තියෙනවා."

 

mulashra 2ආසන්නත ම මහ මැතිවරණ 4, එනම් 2004, 2010, 2015 සහ 2020 මහමැතිවරණවල නාමයෝජනා හිමි වූ කාන්තා ප්‍රතිශතය ද අඩු නමුත් ක්‍රමික වර්ධනයක් නිරීක්ෂණය කළ හැකියි

'ජාතික ලැයිස්තුවෙන් 50%ක් කාන්තාවන්ට ඉල්ලා කෙටුම්පතක් ගෙනාවා'

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදය පාර්ලිමේන්තුව විසුරුවීමට පෙර සිටි සභාපතිනිය වූ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුලේ ද බීබීසී සිංහල වෙත අදහස් පළ කරමින් කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය මූලික වී කාන්තා නියෝජනය සම්බන්ධ කෙටුම්පත් ද පාර්ලිමේන්තුවට ගෙන ආ බවයි.

"ජාතික ලැයිස්තුවෙන් 50%ක් කාන්තා නියෝජනය ලබා දෙන්න කියලා කෙටුම්පතක් අපි පාර්ලිමේන්තුවට ගෙන ආවා. නමුත් ඒක පාර්ලිමේන්තුව විසුරවපු නිසා හරි ගියේ නෑ. ඒ වගේ ම අපි අපේක්ෂක ලැයිස්තුවලින් තුනෙන් එකක් කාන්තාවන් ඇතුළත් කරන්න කියන එකත් නීතියක් විදිහට සම්මත කරගන්න උත්සහ කරමින් සිටියේ," ඇය පැවසුවා ය.

වෛද්‍ය සුදර්ශනී පවසන්නේ රැකියා කරන 34%ක කාන්තා ප්‍රතිශතය සහ නිවසේ සිට ගෘහණියකගේ වගකීම් පූර්ණකාලීනව ඉටු කරන කාන්තාවන්ගේ හඬ නියෝජනය කිරීම සඳහා කාන්තාවන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම අවශ්‍ය බවත්, එම නියෝජනය ජනගහනයට සාපේක්ෂව සාධාරණ සංඛ්‍යාවක් විය යුතු බවත් ය.

d07 3

"කාන්තා බහුතරයක් ජනගහනය තියෙන රටේ තීරණ ගන්නේ ඒ 52%ක අත හැරලා. ඒ අත හැරෙන කොටසේ තවමත් නොවිසඳුනු ප්‍රශ්න රාශියක් තියෙනවා. 34%යි තවමත් ශ්‍රී ලංකාවේ කාන්තාවන් විධිමත් රැකියාවල නිරතවෙලා ඉන්නේ. 66%ක් නිවසට වෙලා රැකබලාගැනීම් වගේ ගෘහණියන් විදිහට කාන්තාවන් පූර්ණකාලීනව වගකීම් ඉෂ්ට කරනවා. ඒ සඳහා ඇගයීමක්වත් නෑ. ඔවුන්ගේ ප්‍රශ්න පාර්ලිමේන්තුව තුළ නියෝජනය විය යුතුයි," ඇය පෙන්වා දෙයි.


පාර්ලිමේන්තුව තුළ ප්‍රමාණවත් කාන්තා නියෝජිතයන් සිටින්නේ නම් කාන්තාවන් වෙනුවෙන් බලපාන නීති සැකසීම පහසු බව ද ඇය පෙන්වා දුන්නා ය.

"අපි පටන් ගන්නකොට හිටපු ගානටත් වඩා අඩු මන්ත්‍රීවරියන් ගානක් තමයි පාර්ලිමේන්තුව විසුරුවන විට හිටියේ. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලු දෙනා පක්ෂ භේදයකින් තොරව එකතු වෙලා 'කන්තාවන් සවිබල ගැන්වීමේ පනත' වගේ නීති සම්මත කරගන්න වැඩ කළා. තවත් මන්ත්‍රීවරියන් හිටියා නම් අපට පහසුවෙන් ඒ නීති සම්මත කරගන්න පුළුවන්."

'කලින් කාන්තාවන්ට දේශපාලනයට එන්න පවුලේ කවුරු හරි මැරෙන්න ඕනෑ'

මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ බොහෝ කාන්තාවන් ඔවුන්ගේ පවුල්වල දේශපාලනයේ නිරත වී සිටි පිරිමි සාමාජිකයෙකු මිය යාමෙන් පසු දේශපාලනයට එළැඹීමේ ප්‍රවණතාවයක් තිබුණු නමුත් වර්තමානය වන විට එය යම් දුරකට වෙනස් වී ඇති බව කාන්තා සංවිධානයක් වන 'ස්ත්‍රී මධ්‍යස්ථානයේ' විධායක අධ්‍යක්ෂිකා පද්මිණී වීරසූරිය පැවසුවා ය.

"ඉස්සර කාන්තාවකට දේශපාලනයට එන්න එක්කො ඇයගේ සැමියා හෝ තාත්තා හෝ සහෝදරයා හෝ මැරෙන්න ඕනෑ. නමුත් පහුගිය කාලයේ කාන්තා සංවිධාන සහ විවිධ පාර්ශවවල මැදිහත්වීම් නිසා මෙවර යම් ප්‍රගතියක් දකින්න පුළුවන්," ඇය පැවසුවා ය.

රටේ කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්න පාර්ලිමේන්තුව තුළ නියෝජනය විය යුතු බව ඇය පෙන්වා දුන්නාය.

"අපේ සංවිධානය වැඩ කරන්නේ ඇඟලුම් සේවිකාවන් සමග. ඔවුන් විවිධ දුක් පීඩා විඳිමින්, පොඩි කාමරවලට හිරවෙලා, පාරෙ යද්දි පවා දුක් විඳිනවා. ලක්ෂ තුනක් විතර වෙන ඔවුන්ගේ ප්‍රශ්න, තේ වතු කම්කරු කාන්තාවන්ගේ ප්‍රශ්න, මැදපෙරදිග කාන්තාවන්ගේ ප්‍රශ්න පාර්ලිමේන්තුව තුළ නියෝජනය විය යුතුයි. ඒ සඳහා ප්‍රමාණවත් නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ තිබිය යුතුයි."


struggleමැදපෙරදිග රටක දී මරණ දඬුවමට ලක් වූ රිසානා නාෆික් වෙනුවෙන් 2010 දී සිදු කළ උද්ඝෝෂණයක්

'දේශපාලනඥයන්ගේ බිරින්දෑවරු සහ දූවරු අවශ්‍ය නෑ'

කෙසේනමුත් මෙම කාන්තාවන්ගේ ප්‍රශ්න නියෝජනයට සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තුවට තේරී පත්වන දේශපාලනඥයන්ගේ පවුල්වල කාන්තාවන් නොව සැබෑ ලෙස ම එම ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින කාන්තාවන් අවශ්‍ය බව සකුන්තලා කදිරගාමර් පැවසුවා ය.

"අපි පැහැදිලිවම කිව යුතුයි අපට දැනට තහවුරු වෙලා ඉන්න දේශපාලනඥයන්ගේ බිරින්දෑවරු සහ දුවරු අවශ්‍ය නෑ. මොකද ඔවුන් සරළවම අනුගමනය කරන්නේ ඔවුන්ගේ පක්ෂයේ වැඩපිළිවෙළ නිසා. අපට අවශ්‍ය දේශපාලන, ආර්ථික සහ සමාජීය ප්‍රශ්න ගැන කතා කරන කාන්තාවන්."


"මෑතක දී පාර්ලිමේන්තුව තුළ ක්‍රියාකාරීව කටයුතු කරපු කාන්තාවන් බහුතරයක් දේශපාලනඥයන්ගේ බිරින්දෑවරු, සහෝදරියෝ හෝ දූවරු. සමහරු ගොඩක් සාර්ථකයි. සමහරු එතරම් සාර්ථක නෑ. නමුත් ඔවුන් ගැන වුණත් මිනිස්සු බරපතල විදිහට හිතන්නේ නෑ."

"පාර්ලිමේන්තුව නියෝජනය කරනවා නම් අපට අවශ්‍යයි. සමාජය තුළ සිටින, සමාජය නියෝජනය කරන, ඒ වෙනුවෙන් සටන් කරන අය," ඇය පැවසුවා ය.

 

 99793263 1fb4f27c 04b1 447c a3d0 b8a7b2ee7d1f.jpgපාර්ලිමේන්තුව නියෝජනය කරනවා නම් අපට අවශ්‍යයි. සමාජය තුළ සිටින, සමාජය නියෝජනය කරන, ඒ වෙනුවෙන් සටන් කරන අය

'මොන පක්ෂයට ඡන්දය දුන්නත් කාන්තාවකට එක මනාපයක් දෙන්න'

 
සමගි ජන බලවේගයේ කඩුවෙල ආසන සංවිධායකවරිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පසුගිය දිනෙක බීබීසී සිංහල සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසුවේ ඡන්දදායකයන් සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ දී මනාපවලින් එක් මනාපයක්වත් කාන්තාවන්ට ලබා දෙන ලෙසයි.

වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ද ඒ බව කියා සිටියා ය.

"මම මෙවර ඡන්දය ප්‍රකාශ කරන සියලුම ඡන්දදායකයන්ට කියන්න කැමතියි ඔබ මොන පක්ෂයට ඡන්දය දුන්නත් එක් මනාපයක් ඔබේ පක්ෂය නියෝජනය කරන කාන්තාවක් වෙනුවෙන් ලබා දෙන්න කියලා," ඇය පවසයි.

 99791759 3b90e7f0 b842 4111 bf33 f34223007622.jpg
"මොකද ඔබ පිරිමි කෙනෙක් වුණත් කාන්තාවක් වුණත් ඒ නියෝජිතවරිය කතා කරන්නේ ඔබ ගැන, ඔබේ අම්මා ගැන, ඔබේ බිරිඳ ගැන හෝ ඔබේ දියණිය ගැන. ඒ නිසා මෙවර ඔබේ ම අයගේ ප්‍රශ්න පාර්ලිමේන්තුව තුළ නියෝජනය වීම සඳහා ඔබේ ඡන්දය ප්‍රකාශ කරන්න."
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...