ඔවුන් සමහරෙකු කියන්නේ, උගතුන්ට, වැදගතුන්ට මෙවර ඡන්දය දෙන්න යැයි කියා ය. තවත් අය රට හදන්න උගත් අවංක තරුණන්ට ඡන්දය දෙන්න යැයි කියති. තවත් අයෙකු අත්දැකීම් නැති අය පාර්ලිමේන්තු යැව්වෝතින් රට නැවත විනාස යැයි කියති. “සොරකම් කර පුරුද්දක් අත්දැකීමක් නැති නිසා අපට ඡන්දය දෙන්න” යැයි මාලිමා ලොක්කෝ කියති. මාලිමාවේ කියා ගන්නා ජ.වි.පෙ නායකයින් කියන්නේ “ඔය කියන සියලු සුදුසුකම් තියෙන්නේ අපට. ඒ නිසා මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවන්න” යැයි කියති.

මා වරක් කීවා මෙන් මේ රටේ සොරකමට, වංචාවට, දූෂණයට හවුල් නොවූවන්, විශේෂයෙන් නාගරික මැදපංතියෙන් සොයා ගැනීම, “විය සිදුරෙන් අහස බලන කණ කැස්බෑවකු” සොයා ගැනීමටත් වඩා අසීරුය. දරුවා අති ජනප්‍රිය පාසලකට ඇතුළත් කර ගැනීමට, මහ මග වාහන ධාවනයේදී පොලීසියෙන් නතර කළ විටෙක, වාහන ලියාපදිංචි කර ගැනීමට, සති පතා නිවසේ කසළ ගෙන යාමට, එක් වරක් හෝ මුදල් නෝට්ටු දිගු නොකළ කෙනෙකු සොයා ගැනීමට හැකි නම්, ඔහුට හෝ ඇයට නාම යෝජනා දෙන්නට යැයි කීමට තිබුණේ පසුගිය ඔක්තෝම්බර 11 වන දිනට කලින් ය. දැන් අවංකයින් සෙවීම හුදෙක් සටන් පාඨයක් පමණි. ඒ එක් එක් අයගේ අවංක කම්, කැප කිරීම්, අත්දැකීම් ගැන තවත් අයට තවත් කතා ඇත.

වරක් අනුර කුමාර පාර්ලිමේන්තුවේදී කියූ “මේ පාර්ලිමේන්තුවේ 225 ම එක කුට්ටමකට අණලා කොතැනින් එකක් ගත්තත් එන්නේ බූරුවෙක්” යැයි කියූ කතාව මම එදත් නොපිළිගත්තෙමි. අදත් නොපිළිගනිමි. එයට හේතුව, එළෙස පාර්ලිමේන්තු කුට්ටම අණා එකක් ගත් විට, අනුර කුමාරව ඇදුණෝතින් “එයත් එහෙනම් බූරුවෙක්” යැයි කීමට, එදත් මා සූදානම් නොවුනු නිසාය. එනිසා ඒ සුදුසුකම් ගැන කතා පැත්තකින් තියා, මම එක ප්‍රශ්නයක් අසමි.
“පාර්ලිමේන්තු මැතිවරණයකදී අප ඡන්දය භාවිත කළ යුත්තේ කුමක් සඳහාද?” මේ රටේ උගතුන් තෝරන්නට විභාග සහතික ගැන කතා කිරීම විහිළුවකි. විභාග සමත්වීම, උගත්කමට සම්බන්ධයක් නැත. අනෙක පළමු වරට පාර්ලිමේන්තුවට තරග කරන විට අවංකයින් සිටියා නම්, ඔවුන්ගෙන් බහුතරයක් පාර්ලිමේන්තුව විසුරුවා හරින විට නොසිටීමය. එනිසා, පාර්ලිමේන්තු මැතිවරණයකදී අවංකයින් උගතුන් සොයා ඡන්දය දීම දෙවැනි කාරණාවකි.

තවමත් කතා නොවන සහ පළමු වැදගත්ම කාරණාව නම්, සර්වජන ඡන්දය බුක්ති විඳින්නට පටන් ගෙන අවුරුදු 93ට පසුවත් විශේෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයකිදී ඔබගේත් මගේත් ඡන්දය සතු සමාජ වගකීමක් ඇති බැව් අප තේරුම් නොගැනීමය. වසරකට මහජන බදු මුදලින් රුපියල් මිලියන 3,248 ක් වැය කර නඩත්තු කෙරෙන පාර්ලිමේන්තුවට මැතිවරණ පවත් වන්නේ උගතුන් අවංකයින් තෝරා පත්කර ඔවුන් වසර 05 ක් මහජන මුදලින් නඩත්තු කිරීමට නොවේ.

එවැනි අතිශය විශාල මුදලක් වැය කර පාර්ලිමේන්තුව නඩත්තු කෙරෙන්නේ, රටේ සංවර්ධනය වෙනුවෙන්, ජනතාවගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් රට දියුණු කිරීම සඳහා ආණ්ඩුවක් පත් කිරීමට ය. එනිසා අප සෙවිය යුත්තේ පුද්ගලයින්ගේ උගත්කම, අවංක කම, තරුණ කම නොවේ. අප ඇසිය යුත්තේ ඔහු හෝ ඇය නියෝජනය කරන පක්ෂයේ, කණ්ඩායමේ මැතිවරණ පොරොන්දු ප්‍රකාශය නොව, “ජාතික සංවර්ධන සැළසුම” කොහේ දැයි කියා ය. ඔවුන්ට ඡන්දයදී ආණ්ඩුවක් පත් කිරීමට නම්, ඔවුන් සතු ජාතික සංවර්ධන සැළසුම ගැන අපට කතා කරන්නට අවශ්‍ය යැයි කියා ය.

ඡන්දය ඇත්තේ රටේ සංවර්ධනය සඳහා යැයි වන මූලික සමාජ වගකීම ඉතිහාසය පුරා අත හැරි සමාජයකට මෙදා ඡන්දයෙන්ද ඒ වරද නිවැරදි කර ගත නොහැක. එබැවින් ඔබ පරණ පුරුදු ආකාරයටම පක්ෂ හා අපේක්ෂකයින් තෝරා ඡන්දය දීමෙන් අලුත් වරදක් සිදු වන්නේ නැත. සිදුවන්නේ මේ රටේ අනාගත සංවර්ධනය අත හැරී, ඔබට උදේ හවස හිර කෙටුණු, එකා එකාගේ කර මතින් එන යන දුම්රිය සේවයම ඉතිරිවීම ය. ජනප්‍රිය පාසල් සඳහා ළමුන් ඇතුළු කර ගැනීමට ලොකු මුදල් වැය කර ලිපිගොනු හදා ගැනීමටය. වැඩි පඩි ඉල්ලා පිකට් කරන්නටය. ආණ්ඩුවෙන් සහන ඉල්ලා පිකට් කිරීම, “රාජ්‍ය විරෝධී” යැයි කඳුළු ගැස් කෑමට ය.
කෙටියෙන් කියා අවසන් කරන්නේ නම්, ඡන්දය දී ඊළග ඡන්දය එනතෙක් අවුරුදු 05 ක් පෝලිම්වල ඉන්නට, කාර්යාලවල ලාච්චු වලට මුදල් නෝට්ටු දමන්නට, මහ මගදී රක්ෂණ ලිපි ගොනු අතර නොතිබිය යුතු මුදල් නෝට්ටු තබා දිගු කරන්නට කාලය වැය නොකර, මැතිවරණයෙන් පසු පොදු සමාජ වගකීමට හවුල් වීම, අත හැරිය නොහැකි වගකීමක් බව මතක තබා ගනු මැනව.
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com



