The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පහුගිය කාලේ සිටි බයියන් දැන් කෝ ? – (මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර)

T

The Leader Desk

November 12, 2024 • 5:41 AM

පහුගිය කාලේ සිටි බයියන් දැන් කෝ ? – (මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කන්ද උඩරට ඉංග්‍රීසීන් ගෙන් මුදා ගැනීම පිණිස 1817 නිදහස් අරගලයේ යෙදුණු ජන නායකයන් හා ඉංග්‍රීසීහු දිගින් දිගටම සටන් වැදුනහ.
  • එපමණක් නොව ඉංග්‍රීසීන් වෙල්ලස්සේ ඉපැරණි කෘෂි ශිෂ්ඨාචාරය වනසා දමා, ලේ කැටි බිළිඳුන් ගේ සිට රෝගීන් වයෝවෘද්ධතමයන් පවා කපා කොටා ඝාතනය කරමින් අමානුෂික මෙහෙයුමක් දියත් කළ බවට ප්‍රවාද පවතී.
  • එසේ නිරායුධ සාමාන්‍ය ජනයා නිකරුණේ මරු වැළඳ ගනු දුටු කැරැල්ලේ නායකයන්ට සටන අත්හැර දැමීමට සිදු වූ බව ද පැවසෙයි.
  • පසුව ඔවුන් ගේ සමස්ත ඥාති සනුහරය ද සංහාරය පිණිස ඉංග්‍රීසීන් සැරසීමත් සමඟ ඊට බියෙන් ඔවුන් තම දරුපවුල් සමඟ එවක ජන ශූන්‍යව පැවැති නුවර කලාවිය, හත්කෝරලය ඇතුළු විවිධ ප්‍රදේශවල පුරාණ වැව් ගම්මාන ආශ්‍රිතව ජනාවාස පිහිටුවා ගනිමින් සරල, චාම් දිවි පෙවෙතක් ගත කළ බවට ප්‍රවාද ගත මූලාශ්‍ර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

කන්ද උඩරට ඉංග්‍රීසීන් ගෙන් මුදා ගැනීම පිණිස 1817 නිදහස් අරගලයේ යෙදුණු ජන නායකයන් හා ඉංග්‍රීසීහු දිගින් දිගටම සටන් වැදුනහ. එහි දී සටන්කරුවන්ගේ බරපතල පහරදීම් වලට ලක් ව ඉංග්‍රීසි හමුදාවෝ වියරුවෙන් මෙන් උඩරට ගම්බිම් වනසන්නටත්. වතුපිටි, ඉඩකඩම් කොල්ල කන්නටත් වූහ.

එපමණක් නොව ඉංග්‍රීසීන් වෙල්ලස්සේ ඉපැරණි කෘෂි ශිෂ්ඨාචාරය වනසා දමා, ලේ කැටි බිළිඳුන් ගේ සිට රෝගීන් වයෝවෘද්ධතමයන් පවා කපා කොටා ඝාතනය කරමින් අමානුෂික මෙහෙයුමක් දියත් කළ බවට ප්‍රවාද පවතී. එසේ නිරායුධ සාමාන්‍ය ජනයා නිකරුණේ මරු වැළඳ ගනු දුටු කැරැල්ලේ නායකයන්ට සටන අත්හැර දැමීමට සිදු වූ බව ද පැවසෙයි. පසුව එම සටනට නායකත්වය දුන් කැප්පෙටිපොල හා පිළිමතලාවේ 1818 ඔක්තෝබර් 28 වැනිදා නුවර කලාවියේ පරවහගම දී ලූතිනන් වෙනිල් ඇතුළු ඉංග්‍රීසි භට පිරිසකගේ අත්තඩංගුවට පත් විය. 

 

historysrilanka
1818 නොවැම්බර් 2වන දින බෝගම්බර පිටියේ දී කැප්පෙටිපොල මහ දිසාව ගේ හිස කඳින් වෙන් වූයේ එම නිදහස් අරගලය මුළුමනින් පරාජය කරවමිනි. පසුව ඔවුන් ගේ සමස්ත ඥාති සනුහරය ද සංහාරය පිණිස ඉංග්‍රීසීන් සැරසීමත් සමඟ ඊට බියෙන් ඔවුන් තම දරුපවුල් සමඟ එවක ජන ශූන්‍යව පැවැති නුවර කලාවිය, හත්කෝරලය ඇතුළු විවිධ ප්‍රදේශවල පුරාණ වැව් ගම්මාන ආශ්‍රිතව ජනාවාස පිහිටුවා ගනිමින් සරල, චාම් දිවි පෙවෙතක් ගත කළ බවට ප්‍රවාද ගත මූලාශ්‍ර තිබේ. පසුව බියපත් පුද්ගලයන් යන අරුතින් අප රටේ සෙසු ජන කොටස් ඔවුන් බය වූවන් හෙවත් බයියන් ලෙස හැඳින්වූ බවටත් ප්‍රවාද ගොඩනැගී තිබේ.

මෙම බයියා යන වදන තුළ නූගත්, නොදියුණු, සාම්ප්‍රදායික ආදී අරුත් ද ගැබ්ව ඇති බවක් පෙනෙයි. මෙය බොහෝ විට මුහුද නොදුටු තැනැත්තා යන අරුත සහිත Landlubber යන ඉංග්‍රීසි වදනට අනුරූප වූවක් සේ ද පෙනී යයි.

ආක්‍රමණිකයන් රිසි සේ කොල්ලකන මුහුදු ආදිවාසීන්ගේ උරුමය - (මංගලනාත්  ලියනආරච්චි)

 

එමෙන්ම එලෙස ඉහත සඳහන් නිදහස් අරගලයේ නියුක්ත වූවන් ගේ පෙළපත් නාම හා ඉහත සඳහන් පැරණි වැව් ගම්මාන වෙත සංක්‍රමණය වූවන් ගේ පෙළපත් නාම අද පවත්නා සමානාත්මතාවයන් විමසා බැලීමේදී එලෙස බයියන් යන ව්‍යවහාරයේ මානව විද්‍යාත්මක පදනමක් ද පවතින බව පිළිගැනීමට අපට සිදුවේ. ඒ කෙසේ හෝ මෙම බයියා යන වදන තුළ නූගත්, නොදියුණු, සාම්ප්‍රදායික ආදී අරුත් ද ගැබ්ව ඇති බවක් පෙනෙයි. මෙය බොහෝ විට මුහුද නොදුටු තැනැත්තා යන අරුත සහිත Landlubber යන ඉංග්‍රීසි වදනට අනුරූප වූවක් සේ ද පෙනී යයි.

නමුත් එම ‘බයි’ යන වදන සහ මීට දස වසරකට ඉහත අප රටේ දේශපාලන කරලිය තුළ රැව් පිළිරැව් දුන් ‘බයියා’ යන වදන අතර යම් යම් පරස්පරතා ද තිබෙනු දැකිය හැක. නූතන “බයි” කතාවට පදනම් වනුයේ අතීතයේ ඉහත සඳහන් ජන කොටස ප්‍රධාන වශයෙන් සංක්‍රමණය වූ පැරණි හත් කෝරලය නියෝජනය කළ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මතු වූ දේශපාලනඥයකු වන අකිල විරාජ් කාරියවසම් ගේ ප්‍රකාශයකි. ඔහු එහිදී ‘ගමේ බයියන්’ ලෙස හඳුන්වන ලද්දේ රුහුණේ ගිරුවා පත්තුව නියෝජනය කරමින් දේශපාලනයට පිවිස රටේ ජනපති පදවිය පවා හිමිකර ගත් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ බව පෙනේ.

නමුත් සැබැවින්ම අප රටේ යටත් විජිත පාලන සමය තුළ බටහිර අධිරාජ්‍යවාදීන් ගේ ග්‍රහණයට ලක්ව තිබූ පත්තුවේ ගැමියන් ගොඩේ බයියන් නොවන බව අකිල විරාජ් කාරියවසම් නොදැන හිඳින්නට ඇත. එහෙත්, ඔහු ගේ මෙම ‘බයි කතාව’ මල් වෙඩිල්ලක් සේ එක්වරම පුපුරා ගියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා වශයෙන් 2014 අය වැය කතාව නිමවා අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් පැවසූ ‘කොහොමද ගමේ බයියන් ගේ වැඩ” යන වදන් කිහිපය නිසා ය. ඔහුගේ ඒ කතාව ඒ වන විට රටේ සියළුම විද්යුත් නාලිකාවලින් පාහේ විකාශය වෙමින් තිබූ බැවින් ඔහුගේ ඒ බයි කතාව ජනමාධ්‍ය වලට සේම රටේ සාමාන්‍ය ජනතාවට ද කදිම “කට ගැස්මක්” වූ බව පෙනේ.

මහින්දගේ ආරක්ෂාව ගැන රජයෙන් පැහැදිලි කිරීමක්

 

එහෙත්, ඒ සම්බන්ධයෙන් කිව යුතු විශේෂතම දෙයක් තිබේ. එනම් යටත් විජිත පාලන සමය තුළ බටහිර අධිරාජ්‍යවාදීන් ගේ ග්‍රහණයට ලක්ව තිබූ පත්තුවේ උපන් මහින්ද රාජපක්ෂ ද එලෙස තමන් බයියකු ලෙස හඳුන්වා ගැනීම ශාස්ත්‍ර විරෝධී වූවක් බව ය.නමුදු යමක් සම්බන්ධ විචාරාත්මක දැනීමක් අවබෝධයක් නොමැත්තවුන් බයියන් ලෙස හැඳින්වෙන්නේ නම් ඒ අනුව ඔවුන් දෙදෙනාම බයියන් නොවන්නේ කෙසේ දැයි යමකුට ප්‍රශ්න කළ හැක.

දේශපාලනික විරුද්ධවාදීන් විසින් බයියන් ලෙස නිග්‍රහාත්මක ලෙස හඳුන්වන මෙම ජන කොටස මාතෘ භූමිය කෙරෙහි ඉමහත් ඇල්මක් පළ කරන ස්වදේශිකත්වය සම්බන්ධ සුවිශේෂ කැපවීමකින් යුතු දේශප්‍රේමීන් බවට මතයක් ද සමාජය පුරා පවතී.එහෙත්, ඒ සමඟම අන් සියලු සංකල්ප සහ මතවාද කාලනුරූපී ලෙස වෙනස් වන්නාක් මෙන් දේශානුරාගයේ ස්වරූපය ද යාවත් කාලීන විය යුතු බවට නූතන නව ලිබරවාදී මතයක් සමාජගත වෙමින් තිබේ.

තත්කාලීන සමාජමය අවශ්‍යතාවක් ලෙස පසුගිය යටත් විජිත සමයේ හිස ඔසවන ලද රට, දැය, සමය මත පදනම් වන ජාත්‍යානුරාගය අදටත් ඒ ආකාරයෙන් පවත්වා ගෙන යා හැකිද? යන්න සම්බන්ධ ප්‍රබල සමාජ කතිකාවක් ද පැන නැගී තිබේ. විශේෂයෙන් ඉංග්‍රීසි යටත් විජිතවාදයට එරෙහිව අනගාරික ධර්මපාල තුමන් ප්‍රමුඛ පිරිස් විසින් දියත් කරන ලද ජාතිකත්ව සංකල්පය පියදාස සිරිසේන වැනි රචකයන් විසින් රචනා කරන ලද නවකතා තුළට පවා කාවද්දා ඇති බව ඔහු විසින් 1904 වසරේ රචනා කරන ලද වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොසලින් නව කතාවේ එන මෙම කොටස කදිම නිදසුනකි.

(ජයතිස්ස) “තමා අතේ කුඩයක් තිබුණ නමුත් වැසි වලාවේ වේගය නිසා ඉන් ප්‍රයෝජන ගත නොහැකිව දුව ගෙන ගොස් පාළු ගෙයක ඉස්තෝප්පුවට ගොඩනැඟුණ විට වැස්ස නිසා යා ගත නොහැකිව එම ඉස්තෝප්පුවේ ම සිටින රොස්ලින් සහ ඊට වයසින් බාල පුංචි ගෑනු ළමයෙක් ද දුටුයේ ය. ජයතිස්සට රොස්ලින් පෙනුණ හැටියේ ම සිතෙහි බලවත් ප්‍රීතියක් ඇති විය. රොස්ලින්ට ද මේ ගතිය ඇති විය. දෙදෙනා තුළම තද ආලය හට ගැනීමෙන් ඔවු`නොවුන්ගේ බැල්මෙන් ම තම තමන්ගේ රහස් අදහස හඟවන්නාක් මෙන් දෙදෙනාගේ ම මුහුණුවල මඳ රතු පෑය ඇති විය. රොස්ලින් කවර කුලයකට අයත් කොයි ප්‍රමාණයක කෙනෙක් ද යනු සොයා ගැනීමටත් ඇගේ දැනීම විමසීමටත් ජයතිස්සට කල්පනා විය. එසේත් කල්පනා කොට මෑ මා විසින් අසනු ලබන ප්‍රශ්නවලට නිසි පිළිතුරු දුන්නී නම් මෑ මගේ භාර්යාව කර ගනිමැයි ද නිශ්චය කොට සිතුයේය. ඉක්බිති රොස්ලින්ගෙන් මෙසේ ඇසීය. `නුඹ රටේ ද ? නොහොත් තොටේ ද?` මෙය රොස්ලින්ට වහා ම අවබෝධව “මම රටේ` යයි පිළිතුරු දුන්නාය.”

ඉහත සඳහන් පාඨයට අනුව මෙම නවකතාවේ කතා නායක නායිකා දෙපළ වන ජයතිස්ස සහ රොස්ලින් හමුව මෙලෙස අහඹු ලෙස හමුවන විට ජයතිස්ස ගේ වයස අවුරුදු දහසයකි. රොස්ලින් දහතුන් වියැති ය. උම්මග්ග ජාතකයේ එන මහෝෂධ පණ්ඩිතයන් හා අමරා දේවිය අතර සිදුවන හමුව ආදර්ශ කොට ඇති බවට සාධාරණ ලෙස අනුමාන කළ හැක. 

එහිදී දහසය වියැති ජයතිස්ස දහතුන් වියැති රොස්ලින් ගෙන් අසා සිටින ඔබ රටේ ද නැත්නම් තොටේ ද?’ යන පැනය මගින් විමසා සිටිනුයේ ඔබ චින්තනමය වශයෙන් හුදු ජාති හා ආගම්වාදී ද? නැතහොත් විජාතිකත්වය සමඟ ද යන්න ය. එමෙන්ම දහතුන් වියැති දැරියක වන රොස්ලින් ජයතිස්ස ගේ ඒ ව්‍යංගාත්මක පැනය වටහා ගෙන ක්ෂණිකව ඊට පිළිතුරු සැපයීම ද එක්තරා ආශ්චර්යක් සේ හැඟේ. නමුදු එදා මෙදා තුර මෙම ජාති හා ආගම්වාදී සංකල්පය කෙතරම් යාවත්කාලීනව තිබේද? යත් එය ජාති ආගම් සීමා අතික්‍රමණය කළ ජාතිකත්වය( Nationality ) තෙක් ප්‍රවර්ධනය වී තිබේ. 

මෙම විජාතික යන්නට ද ජාත්‍යන්තර, ගෝලීයකරණ ආදී වශයෙන් නව අර්ථ නිරූපණ ඉදිරිපත් ව තිබේ. එමෙන්ම වත්මන් සමාජයේ විවිධ පිරිස් ඒවාට විවිධාකාර අර්ථ නිරූපණ දෙමින් විවිධාකාරයෙන් පිළිගන්නා බවක් ද පෙනේ. නමුදු එහිදී කිසියම් ආකාරයක දේශානුරූපී මෙන්ම කාලනුරූපී ආකල්ප පෙළ ගැස්මක් සඳහා වන විචාරාත්මක බුද්ධියක් ද තිබිය යුතු බව අපගේ වැටහීම ය. නමුත් වර්තමානයේ වුව ඒ සමකාලීන විඥාන ධාරාව සමාජ ගත වී ඇති බවක් නොහැගේ. ඒ අනුව නූතන සමාජය වුව ඉහත සඳහන් ජන වහරට අනුව ‘බයියන්’ ගෙන් වියුක්ත වූවක් සේ අපට නොහැඟේ.

 

රටේ ආර්ථික තත්වය අතිශයින් ම බරපතලයි : 'ගෙවුම් ශේෂ අර්බුදයට' පෙනෙන තෙක්  මානයක විසඳුමක් නැත -රජිත් කීර්ති තෙන්නකෝන්

 

වර්තමානයේ අප රටේ හමුවට පැමිණ ඇති ප්‍රධානතම අභියෝගය ගෙවුම් ශේෂ අර්බුදය බව නිසැක ය. එහෙත් එය සාර්ථක ලෙස විසඳාගත හැකි නිශ්චිත උපාය මාර්ග මේ වන විට ද ඉදිරිපත්ව ඇති බවක් නොහැඟේ. නමුදු විස්මයට කරුණ එය නොවේ. එය විසඳාගත හැකි ක්‍රමෝපායන් සම්බන්ධයෙන් මෙරට පොදු සමාජය තුළ පවත්නා විචාරාත්මක බව ප්‍රමාණවත් නොවීම ය. 

මේ අතර මේ දක්වාම ඒ සඳහා වන ජනකාන්ත උපාය මාර්ගයක් පිළිබඳව ද පසුගිය කාලයේ අසන්නට ලැබේ.

එනම් රාජපක්ෂ පවුල උගන්ඩාගේ සහ සීෂෙල්ස් වල සඟවා ඇතැයි පැවසෙන ඩොලර් මිලියන ට්‍රිලියන ගණනක ජාතික ධනය යළි මෙරටට ගෙනවුන් ඒවායින් දැනට ඇති විදේශ ණය ගෙවා දමා ඉතිරිය රාජ්‍ය භාණ්ඩාගාරයේ තැන්පත් කරවීම ය. මෙය පසුගිය ජනපතිවරණ සමයේ ප්‍රචාරක වේදිකා වලින් හඬ නැංවුණු ජනානන්දනීය ප්‍රකාශයකි. එහෙත්, ඔවුන් විසින් එසේ එම රටවල් වල සඳහා ඇතැයි පැවසෙන මුදල් ප්‍රමාණය කොපමණ ද? ඒවා සඟවා ඇත්තේ කවර ලෙසින් ද? එම මුදල් ආපසු ලබා ගන්නා උපාය මාර්ග මොනවාද යන්න හෙළි කිරීමට මේ වන විට කිසිවකුත් සමත් නොවෙති. වත්මන් පාලකයන් විසින් ඒ සම්බන්ධ විශ්ලේෂණාතමක කරුණු අනාවරණය කරන තුරු ඒවා හුදෙක් ප්‍රවාද පමණක්ම වනු ඇත.එමෙන්ම එය දේශපාලන බලෝත්පාදක අවභාවිතාවක් ද වෙයි.

කළමණාකරණ උපාය මාර්ගයක් ලෙස බාහිර පාර්ශවයන් ගෙන් සේවාවන් ලබා ගැනීම හෙවත් බාහිරකරණය (Outsourcing) යනු නූතන නව ලිබරල්වාදී සමාජ ආර්ථිකය තුළ ඉතා සුලබ ලෙස දක්නට ලැබෙන්නකි. එහෙත්, ශ්‍රී ලාංකේය ජනගහණයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් සංකල්පීය වශයෙන්ම මීට එකඟ නොවන බව පෙනේ. එහෙත් ඔවුන් ගේ එම ආකල්ප වල එක්තරා අරුමැසි ස්වභාවයක් ද මම දකිමි.

එනම් එලෙස තමන් සතු වගකීම් වෙනත් පාර්ශවයන් වෙත පවරා පැත්තකට වීමට අකමැති බොහෝ දෙනෙකු රටේ පාලන බලය යම් පක්ෂයකට, කණ්ඩායමකට පවරා පැත්තකට වීමට දක්වන උනන්දුව ය. එහි දී මේ වන විට රට හමුවේ එල්ල වී ප්‍රධානතම අභියෝගය වන ගෙවුම් ශේෂ අර්බුදය සම්බන්ධයෙන් පවා විමසන විට පවා ඔවුන් ගෙන් බහුතරය පවසන එක් වදන් කිහිපයක් තිබේ. එනම් “මොකක් හරි සුදුසු දෙයක් කරන්නේ නැතැයි’ යන්න ය. එහෙත්, ඒ සුදුසු දෙය කුමක් විය හැකිද? යන්න සම්බන්ධයෙන් කිසිදු අදහසක් ද ඔවුන් තුළ පවත්නා බවක් නොපෙනේ. ඒ අනුව ඉහත සඳහන් පරිදි මුහුද (ජාත්‍යන්තරය) නොදුටු, විචාරශීලී බවකින් තොර තැනැත්තා බයියන් ලෙස හඳුන්වන්නේ නම් පසුගිය කාලයේ සමාජයේ විශේෂිත කතා බහට ලක් වූ බයියන් නම් වන සංයුතිය මේ වන විටත් වෙනත් නාමකරණයක් යටතේ අප සමාජය තුළ යෙහෙන් වැජඹෙන බව පිළිගන්නට අපට සිදුවේ.

(ප්‍රණීත් අභයසුන්දර)
මානව විද්‍යා මහාචාර්ය 
(උපුටා ගැනීම - vinivida.lk)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පහුගිය කාලේ සිටි බයියන් දැන් කෝ ? – (මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර) | The Leader