The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඒ නොවැම්බරය පසුකර ආ මේ නොවැම්බරය - (සිසිර යාපා)

T

The Leader Desk

November 13, 2024 • 8:12 AM

ඒ නොවැම්බරය පසුකර ආ මේ නොවැම්බරය - (සිසිර යාපා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මට නොවැම්බර් 13 කවදාවත් අමතක වෙන්නේ නැහැ.
  • විශේෂයෙන් 1989 නොවම්බර් 13 සහ ඊළඟ අවුරුද්දේ ඒ කියන්නේ 1990 නොවැම්බර් 13.
  • අදින් වසර 35කට කලින් මට අමතක නොවන පළමු නොවැම්බර් 13 කියන්නේ එතකොටත් අපි වැඩ කරපු ජනතා විමුක්ති පෙරමුණෙහි ආදරණීය නායක රෝහණ විජේවීර සහෝදරයා පැහැර ගෙන ගොස් මරා දැමූ දිනය.
  • වසර 35කට පස්සෙත් අදත් ඒ මතකය අමතකකර දැමිය නොහැකි මතකයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මට නොවැම්බර් 13 කවදාවත් අමතක වෙන්නේ නැහැ. විශේෂයෙන් 1989 නොවම්බර් 13 සහ ඊළඟ අවුරුද්දේ ඒ කියන්නේ 1990 නොවැම්බර් 13.

අදින් වසර 35කට කලින් මට අමතක නොවන පළමු නොවැම්බර් 13 කියන්නේ එතකොටත් අපි වැඩ කරපු ජනතා විමුක්ති පෙරමුණෙහි ආදරණීය නායක රෝහණ විජේවීර සහෝදරයා පැහැර ගෙන ගොස් මරා දැමූ දිනය. වසර 35කට පස්සෙත් අදත් ඒ මතකය අමතකකර දැමිය නොහැකි මතකයක්.

1989 නොවම්බර් 13 මම  වැඩ. ඒ කැළණිය, වේවැල්දූවේ, කැළණි කේබල්ස් ආයතනයේ රස්සාවට ගිහින් ගෙදර එද්දී තමයි රෝහණ සහෝදරයා ඝාතනය කරපු ආරංචිය ලැබුණේ. ඒ දවස්වල අපි හිටියේ කැළණිය, දළුගම පරණ නුවර පාරේ ගෙයක සාලයක් කුලියට අරගෙන. අම්මයි මමයි මාත් එක්ක වැඩ කරපු තව මිතුරෙකුයි ශ්‍යාමලී අක්කයි ඒ කුලී කෑල්ලේ උන්නා. ඔය වෙනකොට මගේ මල්ලි පක්ෂයේ පූර්ණ කාලීනයෙක් විදිහට වැඩ කරමින් හිටියේ වෙන දිහාවක.

ඔය කියන 1989 නොවම්බර් 13 රෑ News වලට රෝහණ සහෝදරයාගේ සිදුවීම ගැන විස්තරය බලාගන්න කියලා තමයි පක්ෂය පැත්තෙන් තොරතුරු ආවේ. අපි ගත්ත කුලී ගෙදර අයිති අය උන්නේ ඊට අල්ලපු ගෙදර. රෑ TV News බලන්න අම්මයි මමයි ඒ ගෙදරට ගියා. රෑ අටට News දැම්ම.

අපි කවදාවත් බලාපොරොත්තු නොවුණු News එක දැක්කහම අපිට දැනුණ තිගැස්ම, දුක, වේදනාව අපිට තාමත් හැම නොවම්බර් 13 ක දීම දැනෙනවා. 

ඉන්දියානු ව්‍යාප්තවාදය, රෝහණ විජේවීර සහ අපේ දේශපාලනය
තිගැස්ම, දුක, වේදනාව කොයිතරම් වුනත් එදා එතැන අපිට අපේ හැගීම් පිට කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ ගෙදර කට්ටිය News බල බලා ‘ඕකට ඔහොම වෙලා මදි’ කියනවා. අපි News ඉවරවෙලා කුලී කෑල්ලට ආවා. අම්මයි මමයි දෙන්නම කතා නැහැ. රෑට ඉව්වෙත් නැහැ. කෑවෙත් නැහැ.

අදත් මට ඒ නොවැම්බරයේ දැනුණු තිගැස්ම, දුක, වේදනාව දැනෙනවා.

රෝහණ විජේවීර සහෝදරයා කියන්නේ මනුස්සයෙක්. විශාල මිනිස් කැපවීමක් ඇති මිනිසෙක්. ඔහු දෙවියෙක් හෝ අසාමාන්‍ය මිනිහෙක් නෙමෙයි. ඒ නිසාම ඔහු තුළත් සමහර පොදු මිනිස් දුබලතා අඩු වැඩි වශයෙන් තිබුණා කියලා මේ නොවම්බරයේත් මට හිතෙනවා.

රෝහණ විජේවීර සහෝදරයාට ජීවත් වෙන්න ඊට දුන්නේ අවුරුදු 46ක් විතරයි. ඔහුව මරාදමා අවුරුදු 35කට පස්සේ අදත් ඔහු ජීවමාන මිනිසෙක් විලසින් අපිට දැනෙන්නේ ඔහු කළ අසාමාන්‍ය කැපකිරීම නිසයි. ඒ නිසයි ඔහු අදත් තවත් පරපුරකට මාලිමාවක් වෙන්නේ. මට හිතෙන හැටියට රෝහණ විජේවීර නම් වූ මිනිසා වන්දනීය සුරුවමක් කරගැනීමත් ගරහා පිළිකෙව් කීරීමත් සහාසික අපරාදයක්.

විජේවීර සහෝදරයාත් ඔහු විසින් ගොඩනැගු ජනතා විමුක්ති පෙරමුණත් මටනම් මගේ ජීවිතය වෙනස් කළ, විචිත්‍රවත් කළ මතකයක්. සදාකාලික මතකයක්. 1989 නොවැම්බර් 13 වෙනිදා සිට අදට අවුරුදු 35ක් ගෙවුණු තැනකදීත් මම පෞද්ගලිකවම ඒ මතකය හාරා පාදා හැඩය බලනවා. අගය කරනවා. ඒ මතකය අමතක නොකරන්නේ ආඩම්බරයෙන්. ගෞරවයෙන්.

1989 නොවැම්බර් 13 වෙනිදාට පස්සේ ආපු ඊළඟ නොවැම්බර ය මීට වෙනස්. ඒ කියන්නේ 1990 නොවැම්බරය.

රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු පක්ෂ නායකත්වයත් සමබරක් ඉසිලූ අපි සමඟ උන්නු බොහෝ ගණනක් සහෝදර සහෝදරියනුත් මරා දැම්මට පස්සේ අපිට පක්ෂ සම්බන්ධත අඩු වුණා. එහෙන් මෙහෙන් ඉතුරු වුණ කිහිප දෙනෙක් අතර අපි ගනුදෙනු කළා. ඒවා විධිමත් ගනුදෙනු නෙමෙයි. අහුලාගත්ත කැට කැබිලිති ගනුදෙනු. සබඳතා.

 

රොහණ 4
මේ දුර්වල ගනුදෙනු අතර දවසක ඒ වෙනකොටත් පක්ෂයට අදාළව හිටිය මගේ සංවිධායක සහෝදරයා මට කිව්වා පක්ෂයේ කෙනෙක් ඉන්නවා එයාට නවතින්න Place එකක් ඕන කියලා. අද වගේම එදාත් සම්ප්‍රදායක් විදිහටම කෙනා කව්ද කියල මම එයාගෙන් ඇහෙව්වේ  නැහැ. 1990 නොවැම්බර් වෙනකොටත් අපි හිටියෙ කුලියට. මමයි අම්මයි මල්ලියි. ඊට අවුරුද්දකට කලින් අපි කුලියට උන්නු දළුගම නෙමෙයි මාකොළ, කනත්ත පාරේ වෙන ගෙයක. මම හා කියල වැඩේ බාරගත්ත. 

පක්ෂේ සහෝදරයා අර කිව්ව නවතින්න තැනක් හොයපු කෙනා අතර මගදී මට මුණ ගැස්සුවා. ඔහු මිටි, තලෙළු, ප්‍රසන්න පෙනුමක් තියෙන, විවෘතව සිනාසෙන පුද්ගලයෙක්. මීට අවුරුදු 34කට කලින් වුනත් මට තාමත් මතකයි එයා ඇදල හිටිය ඇඳුම්. අදුරු සුදු පැහැති අත්කොට කොටු කොටු ෂර්ට් එකක් සහ දුඹුරු පැහැති සරමක්. අතේ Brown Paper බෑග් එකක් තිබුණා.

නමක් නොකියා මට බාර දෙන්න ගෙනාපු කෙනාව දැක්ක ගමන් මට හීන් දාඩිය දැම්ම.

ඔහු දයා වන්නිආරච්චි සහෝදරයා. මගේ පක්ෂයේ හිටපු මහ ලේකම් කෙනෙක්. මට අදහාගන්න බැරි වුනා. එතකොට මට වයස අවුරුදු 23යි. වන්නි සහෝදරයට අරක්ෂාව දී ම මට පැවැරීම මම කොහොමද විශ්වාස කරන්නේ. මගේ ජීවිතයේ වන්නි සහෝදරයා ගැන කියවලා, අහල තිබුණ දේ  අනුව මට ඔහු දැවන්ත වීරයෙක්. මම එයාව දන්නා බවක් නොපෙන්වා ඔහුව බලාගන්න වගකීම ගත්ත. මොකද ඒ වෙනකොට රටේ තිබුණු තත්වය අනුව ඔහු හිටියේ දැඩි අවදානමක. ඔහු දැන  ගත්තනම් මම ඔහුව අඳුනාගත්තා කියලා මගේ ළඟ ඉන්න කැමති වෙන්නේ නැහැ. එදාම හමුවුණු තැන ඉඳන් අපි උන්නු කුලී ගෙදරට ඔහුව අරගෙන යනකොට ඔහු මගේ මාමා කෙනෙක් විදිහට අඳුන්වා දෙන්න තීරණය කළා. ඒ කුලී ගෙදරට ගියේ දයා වන්නිආරච්චි සහෝදරයා අපේ අම්මගේ මල්ලී කෙනෙක් විදිහට කියා ගෙන. වන්නි සහෝදරයා එතැන් පටන් මට කිව්වේ ලොකු පුතා කියලා.

ඔයින් වසරක් ඇතුළත වන්නි සහෝදරයා මගේ ළඟින් ගියා. ඒ වෙනකොට අපි ඒ කුලී ගෙදරින් අයින් වෙලා බටලන්දේ දැන් ඉන්න ගෙදරට ඇවිත් උන්නේ. වන්නි සහෝදරයා අපේ ළඟින් ගියේ නිශ්චිත පක්ෂ සම්බන්ධයක් හදාගෙන. එයාව අපේ ගෙදරින් සම්බන්ධතාව හදාගෙන අරගෙන් ගිය කෙනා තමයි ගාමිණී මුතුකුමාර සහෝදරයා. දැන් ඉන්නේ ලන්ඩන් වල. ඔහු තමයි ‘මතක ගිනි පුපුරු’ පොත් ලිව්වේ.

 

mgp 982374292
අපේ තැනින් යනකම්ම වන්නි සහෝදරයා දැනගෙන හිටියේ නැහැ මම ඔහු අදුරගෙන හිටිය බව. එහෙම උනානම් ඔහු මගේ ළගින් යනවා.  ඒ අරක්ෂාව සම්බන්ධව ඔහුගේ විදිහ.

මේ කාලය වෙනකොටත් අපි දැනගෙන හිටිය වන්නි සහෝදරයව රට පීරගෙන හොයනවා කියලා. අපිට ලැබුණු තොරතුරු අනුව වන්නි සහෝදරයව අල්ලගන්න ඊළඟට හොයන්නේ මාව. වන්නි සහෝදරයා ඒ බව අපිට කිව්වා. අම්මත් මමත් මල්ලිත් වන්නි සහෝදරයාත් මේ ගැන කතා කළා. වන්නි සහෝදරයා කිව්වේ අපිට විසඳුම් දෙකයි තියෙන්නේ කියලා.

එකක් අපි ඉන්න තැනින් පැනල ගිහින් හැංගෙන එක. එහෙම උනොත් මාව හොයාගන්න තව හුඟ දෙනෙක් අත්අඩංගුවට අරගනියි කියල අපිට තේරුණා. ඔය කාලය වෙන කොටත් අපේ අය අත්අඩංගුවට අරගෙන මරල දානවා.

දෙවෙනි විසදුම තමයි ප්‍රශ්නය මගේ ළඟට එනකම් මම සාමාන්‍ය විදිහට රස්සාවට ගිහින් ජීවත් වෙන එක. අපි දෙවැන්න තෝර ගත්ත.

මට අදටත් හිතා ගන්න බැහැ දරුවන් පැහැරගෙන ගිහින් මරාදාන යුගයක මගේ අම්මා ඒ යෝජනාවට එකග උනේ කොහොමද කියලා.

ටික කාලෙකට පස්සේ අර මුලින් කිව්වා විදිහට වන්නි සහෝදරයා අපි ළඟින් ගියා. 

මම සාමාන්‍ය විදිහට වැඩට අවා ගියා. 

හරියටම රෝහණ සහෝදරයා මරල අවුරුද්දක් ගිය 1990 නොවැම්බර් 13 රෑ අපි බලපොරොත්තු වුණු විදිහටම අපි එතකොට හිටපු ලෑලි ගෙය වටකරලා මාවයි මගේ මල්ලිවයි පැහැර ගත්තා. ඊට පස්සේ වන්නි සහෝදරයාවත් පැහැර ගෙන තිබූ බව අපිට ආරංචි වුණා.

එදා පැහැරගත් අපි තමත් ජීවතුන් අතර. ජීවත් වුණු එක අහම්බයක්. 

අවුරුදු 34කට කලින් අහම්බෙන් ඉතුරු වුණ මගේ ජීවිතයට මම ආදරෙයි.

මතක අමතක කළ නොහැකි නොවැම්බර් දෙකකට පස්සේ අද ආයෙමත් නොවැම්බර් 13 වෙනිදාවක් ලැබිලා.

මට හිතෙන්නේ ඒ නොවැම්බර් දෙකටම වඩා මේ නොවැම්බරය දුක සතුට අභිමානය ගෙනෙන්න නොවැම්බරයක් කියලා.

අදට දවස් තුනකට කලින් මමත් ලේක් හවුස් සභාපති ගාමිණී වරුෂමාන්නත් ලේක් හවුස් පුස්ථකාලයට ගියා. ඒ මේ නොවැම්බර් 13 ගැන තොරතුරු ගන්න. 1989 නොවැම්බර් 14 වෙනිදා ලේක් හවුස් දිනමිණ Lead News ඒක රෝහණ විජේවීර සහෝදරයා මරලා දාපු සිදුවීම ගැන පට්ටපල්, අවලාදාත්මක බොරුවක් තිබුණා. අවුරුදු 35කට කලින් දවසේ Daily News එකත් එහෙමයි.

රෝහණ සහෝදරයා මරලා දාලා අවුරුදු 35ක් ගෙවුණු අද දවසේ ලේක් හවුස් පත්තර අරගෙන බලන්න සමහර ඓතිහාසික වැරදි නිවැරදි වෙලා තියෙන හැටි. එහෙම තමයි ඉතිහාසය ඉස්සරහට යන හැටි.

ඒ මට හිතෙන හැටි.


මට 1989  නොවැම්බර් 13 සහ 1990 නොවැම්බර් 13  ජීවත් වෙනකල් අමතක කරන්න බැහැ. අමතක කරන්න ඕනෙත් නැහැ.

හෙට, ඒ කියන්නේ 2024 නොවැම්බර් 14 මේ රටේ මීළඟ ව්‍යවස්ථාදායකය තෝරා පත්කරන මහ මැතිවරණය.
 
විජේවීර සහ පජවීර -ඇටමැස්සා (61)
මට හිතෙන්නේ හෙටින් පස්සේ එළිවෙන්නේ 35 වසරකට පෙර ගෙවුණු නොවැම්බරයේ ඝාතනය කළ මිනිසෙකුගේ අරමුණ දිනන යුගයක් කියල යි.

වසර 34කට කලින් අතුරුදහන්වීමේ අද්දරටම පැමිණි මට මේ නොවැම්බර් 14 වෙනිදායින් පස්සේ ඉර එලිය දකින්න ලැබීම පුදුමයක්. 
තව තියෙන්නේ දවස් දෙකයි. 

වසර ගණනාවක් පුරා අමතක කළ නොහැකි නොවැම්බර් 13 වෙනිදාවන් අත්වින්ද මට මේ නොවැම්බර් 14 වෙනිදායින් පස්සේ එළිවෙන අලුත් දවස දකින්න ලැබේවී. ඒ මට හිතෙන හැටි.     

(මම මේ සමඟ තියෙන ඡායාරුපයේ රෝහණ විජේවීර සහෝදර එක්ක ඉන්නේ දයා වන්නිආරච්චි සහෝදරයා.

වන්නි සහෝදරයා මිය ගියේ 2016 මැයි 22. අත්අඩංගුවෙන් නිදහස්වෙලා ආවට හුඟ කාලෙකට පස්සේ)

428710574 10232278228161453 1636627369026723342 n(සටහන - සිසිර යාපා)
sisirayh@gmail.com
උපුටා ගැනීම - සිසිර යාපා ගේ ෆේස්බුක් පිටුවෙන්..



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඒ නොවැම්බරය පසුකර ආ මේ නොවැම්බරය - (සිසිර යාපා) | The Leader