The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මේ ඡන්දය මෙච්චරම සාමකාමී වුණේ කවුරුන් නිසා ද? - (මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර)

T

The Leader Desk

November 15, 2024 • 5:30 AM

මේ ඡන්දය මෙච්චරම සාමකාමී වුණේ කවුරුන් නිසා ද? - (මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගත වූ දින 51ක ප්‍රචාරක කාලයේදී කිසිදු බරපතළ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවුණු බවත් වාර්තා වූ ඇතැම් සිද්ධීන්ගෙන් කිසිසේත් අවසන් ප්‍රතිඵලයට බලපෑමක් සිදු නොවන බවත් ඔහු පවසා තිබේ.
  • ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ මගේ හිතවතකු පවසා සිටියේ මෙය මෙවර ජනාධිපතිවරණයත් සමඟ ඇරඹි නව දේශපාලන සංස්කෘතිය හා සබැඳුණු සාධනීය ලක්ෂණයක් බව ය.
  • ඕනෑම සමාජමය සංසිද්ධියක් විවිධ කෝණ ඔස්සේ විමසා බලා ඊට ගැලපෙන අර්ථ කථන ඉදිරිපත් කළ හැකි බව ඇත්තකි.
  • මෙවර මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා කල් ඇතිවම මාධ්‍යයට පවසා තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉතිහාසයේ පැවැති සාමකාමීම මැතිවරණය 2024 මහ මැතිවරණය බවත් ප්‍රජාතන්ත්‍රවාදය නිදහස් හා සාධාරණ පදනමින් ප්‍රජාතන්ත්‍රවාදය අත් විඳීමට ජනතාවට අවස්ථාව හිමි වූ හොඳම මැතිවරණය මෙය බවත් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් ද තහවුරු කර තිබීම විශේෂත්වයකි. 

 



ශ්‍රී ලංකාවේ1947න් පසුව ශ්‍රී ලංකාවේ පවත්වන ලද ප්‍රශස්තම මැතිවරණය මෙය බව ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක ද තහවුරු කොට තිබීම ද විශේෂ අවධානයකට ලක් විය යුත්තකි. ගත වූ දින 51ක ප්‍රචාරක කාලයේදී කිසිදු බරපතළ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවුණු බවත් වාර්තා වූ ඇතැම් සිද්ධීන්ගෙන් කිසිසේත් අවසන් ප්‍රතිඵලයට බලපෑමක් සිදු නොවන බවත් ඔහු පවසා තිබේ.

 

ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ මගේ හිතවතකු පවසා සිටියේ මෙය මෙවර ජනාධිපතිවරණයත් සමඟ ඇරඹි නව දේශපාලන සංස්කෘතිය හා සබැඳුණු සාධනීය ලක්ෂණයක් බව ය. ඕනෑම සමාජමය සංසිද්ධියක් විවිධ කෝණ ඔස්සේ විමසා බලා ඊට ගැලපෙන අර්ථ කථන ඉදිරිපත් කළ හැකි බව ඇත්තකි. එහෙත්, බොහෝ සමාජමය සංසිද්ධීන් හුදු හෙවත් කේවල සාධක මත විමසා බැලීමට වඩා ඒ සඳහා ඉවහල් වන බහු විධ සාධක ඔස්සේ විමසුමට ලක් කිරීම වඩා යෝගය වේ. එහි දී ඒ සඳහා ඉවහල් වන  දුෂ්‍යමාන සහ ආසන්න හේතුන් විමසුම පළමුව කළ යුතු ය.

මෙවර මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා කල් ඇතිවම මාධ්‍යයට පවසා තිබිණ. ඔහු පවසා සිටියේ දිවයිනේ මුළු ඡන්ද කොට්ඨාශවල පිහිටා ඇති ඡන්ද මධ්‍යස්ථාන සියල්ල ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 64,000ක් පමණ පිරිසක් යෙදවීමට කටයුතු කරන බවකි. මුළු ඡන්ද කොට්ඨාශ 13,314 සඳහා ඡන්ද මධ්‍යස්ථාන 13,383ක් පිහිටුවා ඇති බවත් මේ කාල සීමාව ආවරණය වන පරිදි ඒ සියළුම ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවන බවත් ඔහු එහි දී පවසා තිබේ.

 



එමෙන්ම මැතිවරණය පැවැත්වෙන දිනයට හා පසු දිනයට හා අවශ්‍ය වුණොත් ඊට පසුවත් පොලිස් නිලධාරීන් 64,000කට ආසන්න සංඛ්‍යාවක් යොදවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පවසා ඇත. ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 3,200ක් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් 12,227 දෙනෙක් මැතිවරණය සඳහා ඍජුවම සම්බන්ධ කෙරෙන බවත් ඊට අමතර පොරොත්තු සේවා නිලධාරීන් ද සමඟ 70,000කට ආසන්න සංඛ්‍යාවක් මැතිවරණය හා සම්බන්ධ වන බව ද ඔහු මාධ්‍යයට පවසා තිබිණ. 

ඊටත් අමතරව පොලිස් නිලධාරීන් මැතිවරණ රාජකාරී සඳහා යොදාගැනීම නිසාවෙන් හිස් වන ස්ථාන ආරක්ෂාවට යුද හමුදා නිලධාරීන් නිලධාරීන් 11,000කට ආසන්න සංඛ්‍යාවක් යොදා ගන්නා අතර යම් අවශ්‍යතාවයක් වුණොත් යුද හමුදා නිලධාරීන් පොරොත්තු සේවයේ රැඳී සිටින බවක් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පවසා තිබූ අතර ඊට අමතරව පැය 24 පුරාම මෙවර මැතිවරණය නිරීක්ෂණය සඳහා ඩ්‍රෝන යානා යොදා ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කොට ඇත්තේ කොළඹ නගරයේ ස්ථාපිත ගණන් කිරීමේ මධ්‍යස්ථාන ද ඩ්‍රෝන යානා මඟින් නිරීක්ෂණය කරන බවක් ද පවසමිනි.

18,000කට හමුදා සේවය එපා වෙයි - පැනගිය අයට නිත්‍යනුකුලව ඉවත්වීමට අවස්ථාව

මෙම විධිමත් ආරක්ෂක යාන්ත්‍රණය පිළිබඳ ඔහු ගේ මෙම ප්‍රකාශයන් මාධ්‍ය මඟින් ප්‍රචාරය වීම හේතුවෙන් මෙවර මහ මැතිවරණය සම්බන්ධ ප්‍රචණ්ඩකාරී බලවේග වලට හිස එසවීමට ඉඩක් හිමි නොවූ බව අප මූලිකව පිළිගත යුතු ය.

ඉහත සඳහන් පසුබිම කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ මැතිවරණ දාමය තුළ මෙවන් සාමකාමී වාතාවරණයක් හට ගැනීම මෑත ඉතිහාසය තුළ දී ඇති වූ නව ප්‍රවණතාවක් බව පෙනෙයි.. අප එසේ පවසනුයේ ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයා තේරීම සඳහා වූ 1988 ජනාධිපතිවරණය සන්නද්ධ කණ්ඩායම් විසින් ඡන්ද දායකයන් බියටත්, සන්ත්‍රාසයටත් පත් කළ භීෂණයෙන් පිරීගත් මැතිවරණයක් වීම නිසා ය.

රණසිංහ ප්‍රේමදාස අනභිභවනීය නායකයාරණසිංහ ප්‍රේමදාස

 

ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපති වරයා ලෙස ආර්. ප්‍රේමදාසයන් තේරී පත් වූ ජනපතිවරණයේ දී ප්‍රකාශ වූ මුළු ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතයක් වශයෙන් 55.32% වැනි සුළු අගයක් ගන්නා ලදී. ඊට හේතුව ඉහත සන්නද්ධ කණ්ඩායම් විසින් නිර්මාණය කොට තිබූ භීෂණකාරී පසුබිම බව නිසැක ය. ඉන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ආර්. ප්‍රේමදාසයන් 50.43% ඡන්ද ප්‍රතිශතයක් ගන්නා ලදී. නමුදු එම ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් වරයා නිකුත් කළ නිල වාර්තාව විශ්ලේෂණය කිරීමේ දී මැනැවින් පෙනී යන කරුණක් තිබේ. එනම් එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට යාමට ආසන්න අවස්ථාවක් බව ය. එමෙන්ම එම තත්වය තුළ අපේ රට ප්‍රජාතන්ත්‍රීය මාවත වෙත යොමු කර ගත හැකි වේවිද? යන සාධාරණ සැකය එවක අප තුළ පවා ජනිත වී තිබිණ.

 

සමනලයකුට වෙඩි තබා අදට වසර 35ක්...!

එහෙත්, ඉන්පසුව එළැඹි 1994 ජනපතිවරණයත් සමඟ එම තත්ත්වය උඩු යටි කුරු වෙමින් එලෙස බිඳ වැටී තිබූ ප්‍රජාතන්ත්‍රවාදය හිස එසවීමේ පැහැදිලි ප්‍රවණතාවක් දක්නා ලදී. එහි දී ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයන් ගෙන් 73.31% ඉහළම ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කොට තිබූ අතර එම වසරේ නොවැම්බර් 09 දා පැවැති එම ජනපතිවරණ යෙන් 62% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ශ්‍රී ලංකාවේ සිව්වන විධායක ජනාධිපති වරිය ලෙස තේරී පත් වූවා ය. එහි දී ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය තුළ ඇති වූ කළු පැල්ලම් සහ දේශපාලනික ඝාතන පිළිබඳව සිහිපත් කළ ඇය දේශපාලනික වශයෙන් ඝාතනයට ලක් වූ තම පියා සහ සැමියා මුල් කොට කරන ඉල්ලීමක් ලෙස එම ජනපතිවරණය සම්බන්ධයෙන් කිසිදු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට නොපෙළඹෙන ලෙස කළ සංවේදී ආයාචනය මෙරට පැවැති මැතිවරණ ප්‍රචණ්ඩත්වය ඉදිරියේ ඉදි කළ ප්‍රබල බැරියරයක් වූ බව අප මෙහිදී සිහිපත් කළ යුතු ය.

එමෙන්ම ඉන්පසු අප රටේ පැවැති ජනපතිවරණ සහ මහ මැතිවරණ වල දී යම් යම් ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු වුව ද ඒවා මඟින් ක්‍රමිකව අව ප්‍රමාණ වීමක් මිස උන්නතියක් නිරීක්ෂණය නොවීම ද විශේෂත්වයකි. සාමාන්‍ය සමාජයේ බොහෝ දෙනකුගේ අවධානයට ලක් නොවුණ ද සමාජමය පරිනාමය නම් වන සංසිද්ධිය මානවයා සම්බන්ධයෙන් නිරතුරුවම සිදුවන්නකි. ඒ සඳහා ශාස්ත්‍රිය මට්ටමේ කරුණු දැක්වීම් වලට වඩා සරල නිදසුන් කිහිපයක් ගෙන හැර දැක්වීමට අපට පුළුවන.

 

දුම්රිය ආසන වෙන් කිරීමේ අර්බුදයක් !
මීට දශක කිහිපයකට පෙර අප රටේ ධාවනය වූ දැවමුවා දුම්රිය මැදිරිවල සැමට පෙනෙන අයුරින් භාෂා තුනෙන්ම ප්‍රදර්ශනය වූ එක් කුඩා දැන්වීම් පුවරුවක් විය. එනම් ‘කෙළ ගැසීම තහනම්’ යන්නය. ඉන් අදහස් වනුයේ එවක සමාජයේ යම් කොටසක් තුළ හෝ දුම්රිය මැදිරි තුළ කෙළ ගැසීමේ පුරුද්දක් තිබූ බව ය. නමුදු වත්මන් සරසවි සිසුන් හමුවේ මා එම කතාව කී බොහෝ අවස්ථාවල ඔවුන් මගේ මුහුණ දෙස වඩාත් විමසිලිමත් වනු මම දැක ඇත්තෙමි. ඔවුන් එසේ කරනුයේ ඒ මා තමනට සරදමක් කරන්නේ ද වන සැකයෙන් මෙනි. 

එමෙන්ම දුම්බීම සම්බන්ධ තත්වය ද එසේම ය. මීට දශක කිහිපයකට ඉහත ජනාකීර්ණ ස්ථානවල සේම මගීන් පිරුණු පොදු වාහනවල පවා ඇතැමුන් කිසිදු විචාරයකින් තොරව දුම්පානය කරනු අපි දැක ඇත්තෙමු. නමුත් මේ වන විට ප්‍රසිද්ධ ස්ථාන වල දුම්පානය නීති විරෝධී කටයුත්තක් සේම පොදු සමාජය හමුවේ සිදුකරන නොහොබිනා ක්‍රියාවක් බවට පවත්නා සමාජයීය වැටහීම මත එළිපහලියේ දුම් පානය කරන්නෙකු සොයා ගැනීම පවා අසීරු වී තිබේ. 

මෝටර් සයිකල්වල ගමන් බිමන් යාමේදී සිදුකෙරෙන ආරක්ෂිත හිස්වැසුම් පැළඳීම ද එවැන්නකි. මුලදී පොලිසීයට බියෙන් නීතිය පිළිපැදීමක් ලෙස කළ එම ආරක්ෂක හිස් වැසුම් පැළඳීම අද මෝටර් සයිකල් වලින් ගමන් බිමන් යාමේ දී අනුගමනය කළ යුතු ජීවිතාරක්ෂක උපාය මාර්ගයක් ලෙසිනි. ඉහත සඳහන් සමාජමය ආකල්ප ප්‍රවර්ධනය සඳහා නීතිය ඉවහල් වූවා සේම අප රටේ දේශපාලන සංස්කෘතිය තුළට පිවිසි ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකල්ප මැතිවරණ ප්‍රචණ්ඩත්වය වශයෙන් එළි දැක්වීම පිටුදැකීමට ද නීතිය ප්‍රමුඛ විය. 

 

ජනාධිපතිවරණය: ඡන්දය ලකුණු කරන හැටි මෙන්න
මැතිවරණ සඳහා හැඳුනුම්පතක් අනිවාර්ය කිරීම කිසියම් ඡන්ද පොළක ප්‍රචණ්ඩකාරී සිදුවීමක් සිදු වූ බවට “ඉසෙඩ් වාර්තා” පත මගින් සනාථ වුවහොත් එම ඡන්ද පොළේ සියළු ඡන්ද ශූන්‍ය කිරීමේ බලය මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සතුවීම සේම පූර්ව සහ පශ්චාත් මැතිවරණ ක්‍රියාවලීන් නිරීක්ෂණය සඳහා දේශීය සිවිල් සංවිධාන සේම ජාත්‍යන්තර සංවිධාන ඉදිරිපත් වීම සේම ඕනෑම සිදුවීමක් චලන රූප වශයෙන් අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා ප්‍රචාරය කිරීමට ඇති හැකියාව ද අප රටේ මැතිවරණ සාමකාමී වීම කෙරෙහි බලපා ඇති බව පෙනේ.

ඒ අනුව වත්මන් මැතිවරණ සාමකාමීත්වය පාලකයන් විසින් ජන සමාජය නිසි මඟට ගැනීමකට වඩා ජන සමාජය මගින් පාලකයන් නිසි මඟට ගැනීමක් සේ හැඳින්වීමට මම කැමැත්තෙමි. එමෙන්ම මෙම පාර්ලිමේන්තු මැතිවරණය මගින් එහි බලය එකම පක්ෂයක් වටා ගොනු වීමකට වඩා විවිධ පුද්ගල සහ දේශපාලන සංයුතීන් නියෝජනය කරන ප්‍රබල විපක්ෂයකින් යුතු පාර්ලිමේන්තු ක්‍රමයක් මගින් 1988 ජනපතිවරණය වැනි ප්‍රජාතන්ත්‍රවාදය අවප්‍රමාණ වන භීෂණකාරී තත්වයන් ඇති වීම වලක්වා ගත හැකි බව අපගේ විශ්වාසයයි. මක් නිසා ද යත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අවභාවිතා වීම තුළින් එල්ල වන සමාජමය ප්‍රතිරෝධය මඟින් නීතිය යුක්තිය සාධාරණත්වය සේම සදාචාරය ද බරපතල අනතුරකට ලක් වන බැවිනි.


(ප්‍රණීත් අභයසුන්දර)
මානව විද්‍යා මහාචාර්ය 
(උපුටා ගැනීම - vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...