The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජයග්‍රහණය අබියස අභියෝගය - (කුසල් පෙරේරා)

T

The Leader Desk

November 19, 2024 • 10:54 AM

ජයග්‍රහණය අබියස අභියෝගය - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔවුන්ගේ ජයග්‍රහණයට සුබ පතා මේ සටහන නොතබන්නේ නම්, මෙය මේ මොහොතට තරම් වටිනා සටහනක් නොවනු ඇත.
  • ඔවුන්ගේ ජයග්‍රහණයෙහි වාර්තාගත සඳහන් කිහිපයක් අතුරෙන් කැපී පෙනෙන්නේ, දකුණේ දේශපාලනයට සීමාවූ දේශපාලන පක්ෂයක් ලෙස ඔවුන් දෙමළ පක්ෂද අභිබවා උතුරු-නැගෙනහිර දෙපළාතේද බහුතර මැතිවරණ බලයක් ලබා ගැනීම ය.
  • වමේ පාර්ලිමේන්තු බලය ගැන කතා කරන විට, පළමු පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය ලෙස විපක්ෂ නායක ධුරය සමසමාජ පක්ෂයට හිමි වූවත් 1956 මැතිවරණයෙන් නැවත ඒ ධුරය ඔවුන් ලබා ගත්තත් ඊට වැඩි කිසිවක් ඔවුන්ගේ පාර්ලිමේන්තු ජීවිතයෙහි ඔවුන්ට ස්වාධීනව ලබාගත නොහැකි විය.
  • එහෙත් වසර 29 ක ආයු කාලයක් ගෙවෙන විට, සමසමාජ පක්ෂය 1964 දී මෙරට පාර්ලිමේන්තු බලය දිනා ගැනීමට තිබූ විශ්වාසය, අධිෂ්ඨානය නිල වශයෙන්ම අත හැරියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔවුන්ගේ ජයග්‍රහණයට සුබ පතා මේ සටහන නොතබන්නේ නම්, මෙය මේ මොහොතට තරම් වටිනා සටහනක් නොවනු ඇත.

 

nppiok

ඔවුන්ගේ ජයග්‍රහණයෙහි වාර්තාගත සඳහන් කිහිපයක් අතුරෙන් කැපී පෙනෙන්නේ, දකුණේ දේශපාලනයට සීමාවූ දේශපාලන පක්ෂයක් ලෙස ඔවුන් දෙමළ පක්ෂද අභිබවා උතුරු-නැගෙනහිර දෙපළාතේද බහුතර මැතිවරණ බලයක් ලබා ගැනීම ය. එතැනින්ද එහා ගිය ඔවුන්ගේ තවත් ජයග්‍රහණ දෙකක් ලෙස මා දකින්නේ පළමුව, ජාත්‍යන්තර වාම දේශපාලනයේද පතාකයන් වූ ඇන්.ඇම්, කොල්වින්, ලෙස්ලි, ඔස්මන්ඩ්, ඩොරික්, හෙක්ටර් වැනි මාක්ස්වාදී න්‍යායාචාරීන්ද වූ සමසමාජ පක්ෂයට හා සෝවියට් රුසියාවේද සහාය ලැබූ කො.පට නිදහසින් පසු මැතිවරණ කිසිවක ලබා ගත නොහැකිවූ ආණ්ඩු බලය, ජ.වි.පෙ නායකත්වය දුන් “මාලිමාව” ලබා ගැනීම ය. දෙවැන්න, නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කවල වැවිලිකරය නියෝජනය සඳහා ඉතිහාසයේ පළමු වරට කාන්තා නියෝජනයක්ද ලබා ගැනීම ය.

Untitled 834

 

වමේ පාර්ලිමේන්තු බලය ගැන කතා කරන විට, පළමු පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය ලෙස විපක්ෂ නායක ධුරය සමසමාජ පක්ෂයට හිමි වූවත් 1956 මැතිවරණයෙන් නැවත ඒ ධුරය ඔවුන් ලබා ගත්තත් ඊට වැඩි කිසිවක් ඔවුන්ගේ පාර්ලිමේන්තු ජීවිතයෙහි ඔවුන්ට ස්වාධීනව ලබාගත නොහැකි විය. කොමියුනිස්ට් පක්ෂයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන කිහිපයක් මිස වෙනකක් නොවුණි. වැදගත් වන්නේ එයම නොවේ. වැදගත් වන්නේ, යෝධ ප්‍රතිරූප රැගත් සමසමාජ නායකත්වයට තම දේශපාලනය ගැන නොතිබූ විශ්වාසයක්, එවැනි ප්‍රතිරූපයක් නොවුණු වත්මන් ජ.වි.පෙ නායකත්වය සතු වීමය.

1940 වන විට, මෙරට පැරණිම දේශපාලන පක්ෂය වන සමසමාජ පක්ෂ නායකත්වයට දකුණු ආසියාවේ බලය අල්ලා ගැනීම වෙනුවෙන් “ඉන්දීය බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය” දියත් කරමින් ඉන්දියාවේ දේශපාලන පෙරැළියකට මුල පුරන්නට තරම් දැඩි දේශපාලන අධිෂ්ඨානයක් තිබුණි. එහෙත් වසර 29 ක ආයු කාලයක් ගෙවෙන විට, සමසමාජ පක්ෂය 1964 දී මෙරට පාර්ලිමේන්තු බලය දිනා ගැනීමට තිබූ විශ්වාසය, අධිෂ්ඨානය නිල වශයෙන්ම අත හැරියේය. ඒ වෙනුවට ශ්‍රී.ල.නි.ප සමග වන සභාගයක කනිෂ්ඨ පාර්ශවය වීමේ දේශපාලනයක් තීන්දු කළේය. ඊට හාත්පසින් වෙනස් වූ ජ.වි.පෙ නායකත්වය, 1994 දී දෙවන වර විවෘත දේශපාලනයට පැමිණ අවුරුදු 30 ක් වන විට පාර්ලිමේන්තු බලය ගැනීම ගැන දැඩි අධිෂ්ඨානයකින් යුතුව ක්‍රියා කර මෙදා පාර්ලිමේන්තු මැතිවරණයෙහි ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගත්තේය.

 

The Leader | We Lead the Nation

එවගේම, වැවිලිකරය නියෝජනය සඳහා කාන්තාවන් දෙදෙනකු පාර්ලිමේන්තුවට පත්කර ගැනීමත් ඉතා දැනුවත් තීන්දුවකි. එය, ජ.වි.පෙ දේශපාලන වශයෙන් තීන්දු නොකළේ නම් සිදුවිය නොහැකි යැයි මම විශ්වාස කරමි. එහි වැදගත්කම සහතික වනු ඇත්තේ ඔවුන්ට ජ.වි.පෙ දේශපාලනයෙන් ඔබ්බට ගොසින් වැවිලිකරයේ ඇති ගැටලු සමග පුරුෂ හා කාන්තා දෙපාර්ශවයටම සමාන සේවය සඳහා සමාන වැටුපක් ලබා දීම වෙනුවෙන් හඬ නගන්නට ඉඩ තිබෙන්නේ නම් ය.

දැන් මෙතැන් සිට මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයෙහි ජ.වි.පෙ සාධකය හා ඉදිරි ජාතික දේශපාලනය ගැන විමසුමක් කිරීමට උත්සාහ කරමි. ඒ වෙනුවෙන් මෙය ඉතා කෙටි පූර්විකාවකි. ජ.වි.පෙ ආරම්භක නායකයන් 1990 දී රාජ්‍ය මර්දනය විසින් පිස දමනු ලැබූ පසු ඒ නායකත්ව හිඩැස පිරවීමට සිදු වූයේ 1970 අවට ඉපැදුණු දෙවැනි පරම්පරාවටය. අද මේ ඓතිහාසික පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණයෙහි කීර්තියට හිමිකම් කියන්නෝ දෙවැනි වරට ජ.වි.පෙ ප්‍රතිසංවිධානය කළ ඒ දෙවැනි පරම්පරාවේ ක්‍රියාකාරීහුය. ඔවුන් හැදෙන්නේ දෙමුහුන් සංස්කෘතියක ය. එය කෙටියෙන් මෙලෙස විස්තර කළ හැකිය. 

 

ඉන්දියානු ව්‍යාප්තවාදය, රෝහණ විජේවීර සහ අපේ දේශපාලනය
විජේවීරගේ බිම්ගත රහස්‍ය දේශපාලනය වෙනුවෙන් සිරස්ගත විධාන ක්‍රියාවලියක් සමග ඔහු තහවුරු කළ රෙජිමේන්තුගත සංවිධාන ව්‍යුහයෙහි වූ අනම්‍ය දේශපාලන සංස්කෘතියක 90 දසකය දක්වා හැදුණු මේ දෙවැනි පරම්පරාවේ ක්‍රියාකාරීන්, අනතුරුව විවෘත දේශපාලනයට පිවිසෙන්නේ විවෘත වෙළඳපොළ ආර්ථිකය විසින් සකස් කෙරෙන අති තරගකාරී, පුද්ගලවාදී පාරිභෝගික සංස්කෘතියට ය. එකිනෙකට නොගැලපෙන්නේ යැයි සිතෙන මේ සංස්කෘතීන් ඔවුන් තල දෙකක පවත්වා ගනිමින් පාර්ලිමේන්තු දේශපාලනයෙහි නිරත වන්නේ, ඒ පරස්පරය සමග පරිණාමය වෙමින් ය.

ඡන්දයෙන් තේරී පත් වන පළාත් පාලන ආයතනවල සිට පාර්ලිමේන්තුව දක්වා සියලු ආයතනවලින් ඔවුන් වැටුප් සෘජුව ලබා නොගෙන, ඒවා පක්ෂ අරමුදලට යොමුකර, පක්ෂයෙන් ජීවන දීමනාවක් ලබා ගැනීමේ විනයගත සම්මතය පවත්වාගෙන පැමිණියේ, විජේවීර තහවුරු කළ දේශපාලන සංස්කෘතියේ දිගුවක් ලෙසය. එවැනි රෙජිමේන්තුගත විනයක් සමග වන පළාත්බද පක්ෂ සාමාජිකත්වයට, “ආණ්ඩු බලය” ලබා දීමේ පොරොන්දුව මත වර්තමාන පක්ෂ නායකත්වය විවෘත වෙළඳපළ ආර්ථික සංස්කෘතියට අනුගතව ඇත. ඒ අර්ථයෙන් ඔවුන් පැරණි ශ්‍රී.ල.නි.පයේ අර්ධ නාගරික සිංහලවාදී ප්‍රකාශනයෙහි නව පරපුර ය. වර්තමාන සිංහල නාගරික මැදපන්තිය නිර්මාණයවී ඇත්තේ පැරණි සංවෘත, රාජ්‍යවාදී ආර්ථිකයක නොවේ. පසුගිය අවුරුදු 40 ක කාලයේ වර්තමාන සිංහල නාගරික මැදපන්තිය හැදී වැඩෙන්නේ විවෘත වෙළඳපොළ ආර්ථිකයෙහි ය. එහි වටිනාකම්, ආකල්ප හා හැදියාවන් සමග ය.

 

ඉතිහාස කොක්කේ ඇමිනුණ මාලිමා කෙක්ක - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

එවැනි දිගු කතාවක් කියන්නට අවශ්‍ය වූයේ, වර්තමාන ජ.වි.පෙ නායකත්වය “ගමේ බණ්ඩලාගේ දූ දරුවන්” යැයි කියුවාට, ඔවුන්ගේ දේශපාලන පරිණාමය තුළ ඔවුන් මේ මැතිවරණ දේශපාලනයෙහි දැන් නියෝජනය කරන්නේ, “ගමේ බණ්ඩලා” නොව, විවෘත වෙළඳපොළ ආර්ථිකයෙහි ජාවාරම්කාර පැලැන්තිය යැයි කීමටය. එනිසා මෙවර ඔවුන්ගේ ඓතිහාසික මැතිවරණ ජයග්‍රහණයෙහි වාර්තාගත ජය ගැනීම් සතු වැදගත්කම තීන්දු වන්නේ, තුනෙන් දෙකකට වැඩි බහුතර බලයක් සහිත ජ.වි.පෙ නායකත්වයෙන් යුතු මාලිමා ආණ්ඩුව, ඉදිරියේදී ක්‍රියාත්මක වන ආකාරය අනුව ලියන්නට වන “මාලිමා ආණ්ඩු පාලනයේ කාර්ය සාධන” වාර්තාව මතය. මේ සටහන එවැන්නකට හැඳින්වීමක් විය හැක.

ජවිපෙට දූෂණය නැතිකරන්න පුළුවන් ද? - (අජිත් පැරකුම් ජයසිංහ)

 

මාලිමා මැතිවරණ වේදිකාවල නිශ්චිතව නොකියවුණු ව්‍යුක්ත පොරොන්දු අතර ඔවුන්ගේ ආණ්ඩු පාලනයක “වෙනස” පිළිබඳව සඳහන් කිරීම් වූයේ කාරණා දෙකකි. එකක් වූයේ “දූෂණය” තුරන් කිරීමය. ඒ වෙනුවෙන් පසුගිය ආණ්ඩුවල දූෂිතයන්ට එරෙහිව, විශේෂයෙන් රාජපක්ෂලාට එරෙහිව වහා පියවර ගන්නා බව ය. ජ.වි.පෙ නොවන “මාලිමා” අපේක්ෂිකාවක වූ කොට්ටහච්චි කළුතර දිස්ත්‍රික්කයෙහි දෙවැනියට වැඩිම මනාප ගත් අපේක්ෂිකාව වන්නේ උගණ්ඩාවේ රාජපක්ෂලාගේ මුදල් ගෙන්වා ගැනීමට කතා කළ හෙයිනි. කොළඹ දිස්ත්‍රික්කයෙහි මාලිමා මනාප ඡන්දයෙන් දෙවැන්නා වූ චතුරංග අබේසිංහද ආර්ථිකය පිරිසිදු කිරීමට කතා කළ අයෙක් විය. අනුර කුමාර ඇතුළු ජ.වි.පෙ ප්‍රධානීහුද දූෂණය හා රාජපක්ෂලා එකට ගැට ගැසූහ. ඉන් කියැවෙන්නේ, ජ.වි.පෙ විසින් මේ සමාජයෙහි දූෂණ විරෝධය හුදු පුද්ගලවාදී දූෂණයකට බරපතළ ලෙස අවප්‍රමාණය කරනු ලැබූ බවය.

එබැවින් ඔවුන් නිර්මාණය කළ සමාජ අපේක්ෂාව වූයේ රට ගොඩ දමන්නට රාජපක්ෂලාට එරෙහිව වහා පියවර ගත යුතුය යන්න ය. ඒ සඳහා ජනාධිපති අනුර කුමාරට ශක්තිමත් ආණ්ඩුවක් හදා දීමට රොද බැඳීම, මේ මැතිවරණ ප්‍රතිඵලයෙහි ප්‍රධාන ලක්ෂණයකි. වල් වැදී ඇති අධ්‍යාපනය, සෞඛ්‍ය, මගී ප්‍රවාහනය සහ ග්‍රාමීය සංවර්ධනය ගැන කිසිදු වැදගත් සංවාදයක් නොවුණු මේ මැතිවරණ ව්‍යාපාරයෙහි බහුතර ඡන්දදායකයා තේරුම් ගත් “වෙනස” එය ය.

 

IMF: 'ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ නොවෙනස්ව පවත්වාගෙන යාම වැදගත්'

දෙවැනි කාරණාව වූයේ “වික්‍රමසිංහ පාලනය” විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග 2023 වසරේ ඇති කරගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඊට පාදක කරගනු ලබන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සකස් කෙරුණු “ණය ධරණීය විශ්ලේෂණය” නොපිළිගන්නා බව ය. එය මැතිවරණ වේදිකාවේත් මාලිමාවේ මැතිවරණ ප්‍රකාශනයේත් තිබූ ප්‍රධාන පොරොන්දුවකි. එහෙත් අනුර කුමාර ජනාධිපති ලෙස දිවුරුම් දුන් දිනයේ සිට ඒ පොරොන්දුව අත් හැරයේය. එනිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ඒ ආකාරයෙන් නොපිළිගන්නා බවට දුන් පොරොන්දුව සහ ඒ සමග “ණය ධරණීය විශ්ලේෂණය” වෙනුවට විකල්ප විශ්ලේෂණයක් සකස් කිරීම, මේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පත් කෙරෙන මාලිමා ආණ්ඩුව දිවුරුම්දීමට පෙරාතුවම අත හැර දැමූවකි. ඉතිරි වන්නේ වික්‍රමසිංහ ජනාධිපතිගේ සැළැස්ම යැයි කීමට එහා යන ගැටලුව වන්නේ, එහිද ඡන්දදායකයා බලාපොරොත්තු වූ “වෙනස” සඳහා කිසිවක් නොවන්නට හේතුවීමය.

IMF ණය අපගේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට සමත් ද ? - (ජයශ්‍රී ප්‍රියලාල්)

 

සරල කතාව, ජා.මූ. අරමුදලේ කොන්දේසි හා නිර්දේශ මත “දූෂණය තුරන් කිරීම” සඳහන් වූවත් ඔවුන්ගේ ආර්ථික ක්‍රියාවලියෙන් ශක්තිමත් කිරීමට යෝජනා කෙරෙන විවෘත වෙළඳපොළ ආර්ථිකයෙහි “දූෂණය” ආවේනික ලක්ෂණයක් වීමය. එබැවින් පළමු මාස කිහිපයෙහි කිහිප දෙනකුට එරෙහිව පෙනුමට පරීක්ෂණ ආරම්භ කිරීමට ඉඩ ඇතත් ඊට වැඩි දෙයක් සිදුවෙතැයි බලාපොරොත්තු අලුත්කර ගැනීමක් මිස වෙනත් කිසිවක් නොවනු ඇත.


එය එසේ යැයි සිතිය හැක්කේ අනුර කුමාර ජනාධිපතිගේ ප්‍රධාන පත්වීම් බහුතරය ජාවාරම්කාර පැලැන්තියෙන් තෝරා ගත් පත්වීම් ය. මේ විවෘත වෙළඳපොළ ආර්ථිකයෙහි බිහි වන්නේද ජාවාරම්කාරයන් මිස සංවර ධනපති පැලැන්තියක් නොවන හෙයින්, මේ ආර්ථිකයෙහි දූෂණය තුරන් කළ නොහැක්කකි. ආර්ථිකය විවෘත කළ පසු ඉන්දියාවේ පමණක් නොව, චීනයේද මහ පරිමාණයෙන් දූෂණය වගා වූයේ එබැවින් ය.

එනිසා අවසන් වශයෙන් කිව හැක්කේ, ජනතාව නොදන්නා වූවත් ඔවුන් බලාපොරොත්තු වන “වෙනස” මේ පාර්ලිමේන්තුවෙහි අලුත් තරුණ මුහුණු පොදි ගැසූ පමණින් ඉටු නොවනු ඇතැයි කියා ය. මෙය අවසන් කිරීමට එනිසා මීට සතියකට පෙර මා ලියූ සටහනක අවසන් පරිච්ඡේදය මෙලෙසින් උපුටා දක්වමි.
 
ජනාධිපතිවරණය: ඡන්දය ලකුණු කරන හැටි මෙන්න
 
“එනිසා ඔබ මතක තියා ගත යුත්තේ මෙවර ඔබ ඡන්දදායකයෙකු ලෙස ඔබගේ කාර්ය ඉටු කළ පසු, නොවැම්බර 18 වන දින සිට ඔබට, පුරවැසියෙකු ලෙස අලු‍ත් කාර්යක් බාර ගැනීමට සිදුවන බවය. එය ඔබ ඡන්දය දුන්නේ කාටදැයි යන්නට අදාල නැත. එයට අදාල වන්නේ, ආණ්ඩුව සහ විපක්ෂය ඔවුන්ගේ සමාජ වගකීම් ඉටු කරන්නේදැයි වග බලා ගැනීමය. ඒ වෙනුවෙන් අවදියෙන් ඉන්නා පුරවැසියෙකු සතු වගකීම ඔබට, පොදු සමාජ වගකීමක් ලෙස ඉතිරිවන බව මතක තබා ගැනීම ය.
 
කෙටියෙන් කියා අවසන් කරන්නේ නම්, ඡන්දය දී ඊළඟ ඡන්දය එනතෙක් අවුරුදු 05 ක් පෝලිම්වල ඉන්නට, කාර්යාලවල ලාච්චු වලට මුදල් නෝට්ටු දමන්නට, මහ මගදී රක්ෂණ ලිපි ගොනු අතර නොතිබිය යුතු මුදල් නෝට්ටු තබා එය දිගු කරන්නට කාලය වැය නොකර, මැතිවරණයෙන් පසු පොදු සමාජ වගකීමට හවුල් වීම, අත හැරිය නොහැකි වගකීමක් බව කරුණාකර මතක තබා ගනු මැනව.”

අලුත් අවුරුද්දට මගේ යෝජනාව - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

(උපුටා ගැනීම - lankadeepa)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජයග්‍රහණය අබියස අභියෝගය - (කුසල් පෙරේරා) | The Leader