The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
විශේෂාංග

ජර්මනියේ සමාජ ආරක්ෂණ ක්‍රමය සහ ඉන් උගත හැකි අත්දැකීම් - (රංජිත් හේනායකආරච්චි)

T

The Leader Desk

November 22, 2024 • 1:47 PM

ජර්මනියේ සමාජ ආරක්ෂණ ක්‍රමය සහ ඉන් උගත හැකි අත්දැකීම් - (රංජිත් හේනායකආරච්චි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊට හේතුව නම් සමාජ ආරක්ෂණය තහවුරු වූ විට අනාගතය පිළිබඳව හෝ ස්වකීය පැවැත්ම පිළිබඳව සෑම කෙනෙකු තුළම විශ්වාසයක් ගොඩනැඟෙන නිසාය.
  • තවද එනිසාම සමාජය තුළින් අනාරක්ෂිත බව පිළිබඳව ඇතිවන බිය පහව යයි.
  • බිය ඇතිවීම, පුද්ගලයකුගේ හෝ සමාජයක සෞඛ්‍යයට හිතකර නැත.
  • එනිසා රාජ්‍ය විසින් සමාජ ආරක්ෂණය තහවුරු කරයි නම් එවිට එම රට තුළ ජීවත් වන සියලුම පුරවැසියන්ගේ මනස යම් ප්‍රමාණයකට සාමකාමී ආරක්ෂිත බවක් ලබා ගනී.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊට හේතුව නම් සමාජ ආරක්ෂණය තහවුරු වූ විට අනාගතය පිළිබඳව  හෝ ස්වකීය පැවැත්ම පිළිබඳව සෑම කෙනෙකු තුළම විශ්වාසයක් ගොඩනැඟෙන නිසාය. තවද එනිසාම සමාජය තුළින් අනාරක්ෂිත බව පිළිබඳව ඇතිවන බිය පහව යයි.  

බිය ඇතිවීම, පුද්ගලයකුගේ හෝ සමාජයක සෞඛ්‍යයට හිතකර නැත. එනිසා රාජ්‍ය විසින් සමාජ ආරක්ෂණය තහවුරු කරයි නම් එවිට එම රට තුළ ජීවත් වන සියලුම පුරවැසියන්ගේ මනස යම් ප්‍රමාණයකට සාමකාමී ආරක්ෂිත බවක් ලබා ගනී.

එක්තරා අන්දමකට රාජ්‍ය යනු මිනිසා විසින් මිනිසාගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා සමාජ සංවර්ධන ඉතිහාසයේ ඇති කරගත් මෙවලමක් බව අපි දනිමු.

අනෙක් අතට රාජ්‍ය බිහිවූයේ සමාජයේ අධිපති පංතීන් විසින් සිය බලය තහවුරු කර ගැනීමටය. ඒ කෙසේ වෙතත් රාජ්‍ය විසින් තම ආරක්‍ෂාව තහවුරු කිරීම මිනිසාගේ බලාපොරොත්තුවයි. මෙම ආරක්ෂාවට රට තුළ ජීවත් වන පුද්ගලයාගේ මෙන්ම සමාජයේ ද ආරක්ෂණය ඇති කිරීම අයත්ය.

මා ජීවත්  වන ජර්මනියේ පවතින සමාජ ආරක්ෂණ ක්‍රියාදාමය ලෝකයෙහි පවතින ඉතා හොඳ ආරක්ෂණ ක්‍රියාදාමයක් බව මගේ වැටහීමයි. එම ක්‍රියාදාමය ඇතිවීමේ ඉතිහාසය සහ එහි යම් යම් ස්වභාවයන් කෙටියෙන් ලියන්නේ මෙතුළින් ලංකා සමාජයට යමක් ඉගෙන  ගත හැකියැයි මා විස්වාස කරන බැවිනි.

zer3244
අද වන විට ජර්මනියේ පවතින සමාජ ආරක්ෂණ ක්‍රමය (වැඩපිළිවෙල) සමාජය තුළ සියලු පුද්ගලයින්ගේ ජීවිත පිළිබඳව එක්තරා මට්ටමක සුරක්ෂිත භාවයක් ඇතිකර තිබේ. ඒ නිසාම සමාජය තුළ ජීවත් වෙන සෑම පුද්ගලයකුම තම හෙට දවස ජීවිතය ගැන බියක් ඇතිකර නොගනියි. එයට හේතුව කෙනෙක් ඉපදුණු දවසේ සිට මිය යනතුරු ඔහුගේ හෝ ඇයගේ ජීවිතයට සෞඛ්‍ය පිළිබඳ ආරක්ෂාව, අනතුරකදී ආරක්ෂාව, විශ්‍රාම ආරක්ෂාව, රැකියාව නැතිවූ විට ආරක්ෂාව, ඔත්පල වුවොත් ආරක්ෂාව පිළිබඳව රක්ෂන සහතිකයක් රාජ්‍ය විසින් ලබා දී තිබීමයි.

ජර්මානු සමාජයේ විවිධ ජන කණ්ඩායම් සිය අනාගතය ගැන අනියත බියකින් පසු නොවන්නේ යැයි මින් අදහස් නොවේ. මන්ද යත් මෙය පංති සමාජයක් වන නිසාත් දෛනිකව වැඩ කරන සහ සංක්‍රමණික ජනයා සමාජයේ පහළම ස්ථරයට අයත් වන නිසාය. නමුත් ඔවුන්ද මෙම සමාජ ආරක්ෂණයට අයත්ය.

මෙම ආරක්ෂණ වැඩපිළිවෙළ ඇතිවීමට ඉතිහාසයක් තිබේ. එය වසර එකසිය පනහකට පමණ ආසන්න කාලයක් පැරැණි එකකි.

19 වන සියවස අගබාගය වනතුරු ජර්මනියේ පැවතියේ ඇති හැකි අයට පමනක් සමාජ ආරක්ෂාව සැපයෙන සමාජ ආරක්ෂනයකි. විශේෂයෙන්ම අලුතෙන් මතුව ආ කම්කරු පන්තියත් ඒ වාගේම කෘෂිකාර්මික ශ්‍රමිකයාගේත් ජීවන තත්ත්වයන් සහ සමාජ ආරක්ෂණය පැවතුණේ ඉතා නරක තත්වයකය. මේ තත්ත්වය තුළ කම්කරු ව්‍යාපාර  සහ  දුප්පතුන්ගේ අයිතීන් පිළිබඳව  සමාජවාදී මත ඉදිරිපත් වෙමින් පැවතුණි.  මේවායෙහි ප්‍රධාන වන්නේ කාල් මාක්ස් සහ ෆෙඩ්රික් එංගල්ස් විසින් ඉදිරිපත් කල සමාජවාදී අයිතීන් පිළිබඳ මතවල බලපෑමයි.

awe4234
අද වන විට ජර්මනියේ පවතින සමාජ ආරක්ෂණය වැඩපිළිවෙළ 1860 ගණන්වලදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ඇතිවීම සමග ගැටගැසෙයි. 1863 ෆර්ඩිනන්ඩ් ලසාල්ගේ නායකත්වයෙන් ඇතිවූ “ජර්මන් පොදු කම්නරු එකතුව” (Der Allgemeine Deutsche Arbeiterverein (ADAV)ට සහ ඒ අවදියේම අව්ගුස්ට් බෙබෙල් සහ විල්හෙල්ම් කවුස්කිගේ නායකත්වයෙන් “සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය” Die Sozialdemokratische Arbeiterpartei (SDAP) ඇතිවිය. මේ දෙකෙහිම න්‍යායික පදනම කාල් මාක්ස්, ෆෙඩ්රික් එංගල්ස් ඇතුළු කණ්ඩායම විසින් සකස් කර තිබුණි. කම්කරු සහ දුප්පත්න්ගේ සමාජ ආරක්ෂනය ඇතුලු අයිතීන් පිලිබඳ වැඩසටහන මෙම පක්ෂවල ප්‍රධාන ඉල්ලීම් විය. මේ සියලු කණ්ඩායම්  එක්ව 1875 දී සමාජවාදී කම්කරු පක්ෂය බිහිවිය.

ඉන් වසර හතරකට පසු 1878 කාන්සලර් ඔටෝ ෆොන් බිස්මාක් විසින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තහනම් කරන ලදී.  තහනමින් පසු දිගින් දිගට ඇතිවන වැඩවර්ජන සහ උද්ඝෝෂණ වලට මුහුණ දීමට අවසානයේ දක්ෂිණාංශික චාන්සලර් බිස්මාර්ක්ගේ රජය විසින් 1881 දී කියමින් සමාජ ප්‍රජාතන්ත්‍ර වාදීන්ගේ සමාජ ආරක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට තීරණය කළේය. එම තීරණය සමඟ “කම්කරු අයිතීන් ලබාගැනීමට සමාජවාදී පක්ෂ අවශ්‍ය නැත”  යැයි මතවාදයක් බිස්මාක් ප්‍රකාශයට පත් කළේය. එමගින් ඔහු අපෙක්ෂා කළේ  සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් වෙත ඇදෙන සමාජ බලවේග ඉවතට ඇඳ ගැනීමය. මේ අයුරින් ඇති කරන ලද සමාජ ආරක්ෂණ ක්‍රමය මගින් ලෝකයේ ප්‍රථම වතාවට සමාජ ආරක්ෂණයක් ඇති කරන ලද රට බවට ජර්මනිය පත් විය.

අද ජර්මනියේ ඇත්තේ එදා බිස්මාක්ගේ රජය විසින් ක්‍රියාත්මක කරවනු ලැබූ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළහි දිගුවකි.

otto von“Iron Chancellor” Otto von Bismarck
එදා ඇරඹෙන සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ  විවිධ වතාවන්වල සිදුකරන සංශෝධනයන් සහ එකතු කිරීම් තුළින් අද වන විට එය පවතින්නේ ඉහළ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක තත්ත්වයකය.

ජර්මනියේ පවතින සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ ඉතා දියුණු මට්ටමක පවතින එකක් බවට මා අදහස් කරන්නේ මේ නිසාය.  

එය රඳා පවතින ප්‍රධාන කුලුණු පහක් තිබේ.

1. සෞඛ්‍ය රක්ෂණය
2. අතුරු අනතුරු සඳහා රක්ෂණය
3. විශ්‍රාම රක්ෂණය
4. රැකියා විරහිත බවෙහි රක්‍ෂණය.
5. ඔත්පල වූවන් සඳහා රක්ෂනය.

srt34544
එදා ජර්මනියේ ඇති කරන  සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ මුළු ලෝකයේ සියළුම රටවල් අතරින් පළමු වරට රාජ්‍ය විසින් ඇති කරන සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල බව කලින් ද සඳහන් කළෙමි. එයින් ආභාසය ලද රටවල් විශාල ප්‍රමාණයක් තම සමාජ ආරක්ෂණ වැඩපිලිවෙලවල් සකස් කර ගෙන ඇත. ප්‍රංශය, ඕස්ට්‍රියාව, ස්කැන්ඩිනේවින් රටවල් ඇතුලු යුරෝපීය රටවල් විශාල ප්‍රමානයක ක්‍රියාත්මක වන්නේ මේ ආභාසයෙන් සැකසූ ක්‍රම වේ.

මේ සමාජ ආරක්ෂනය පවත්වා ගැනීමට රාජ්‍යය තම ආදායමින් විශාල ප්‍රමානයක් වැය කළ යුතුය. මෙම සමාජ ආරක්ෂන ක්‍රියාදාම  රෝගී, විශ්‍රාමික සහ විරැකියාවෙන් පෙළෙන්නන් ආදියට අත්‍යාවශ්‍යය.

නමුත් පසු කාලයේදී  විශේෂයෙන්ම 1980  ගණන්වලදී ඇතිවන “නව කොන්සර්වටිව්” බලපෑම සමාජ ආරක්ෂනය රාජ්‍යයෙන් මුදවා පුද්ගලිකකරණය නම් වැඩපිළිවෙළ මගින් සමාජය “ලබාගැනීමේ මානසිකත්වයෙන්” (රජය නොමිලයේ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබා දිය යුතුය යන අදහස) මුදවා ගත යුතුය යන අදහස ඉදිරිපත් විය.

මාර්ග්‍රට් තැචර් වැනි රාජ්‍ය නායක නායිකාවන්ගේ එම නව ලිබරල් වැඩ පිළිවෙළ එංගලන්තය සහ අයර්ලන්තය වැනි රටවල අනුගමනය කළ ද ජර්මනිය එහි ආධිපත්‍යයට යට නොවීය. ජර්මානු රජය එම පිළිවෙත යම් දුරකට ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළත් එයට එරෙහිව රටේ සිවිල් සමාජය සහ වෘත්තීය සමිතිවල විරෝධය පෑම නිසාවෙන් සම්පූර්ණයෙන් එයට ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.

මා ඉහත සඳහන් කළ පරිදි  සමාජ ආරක්‍ෂණය බොහෝ සංවර්ධිත රටවල හොඳින් තහවුරු කර ඇති සමාජ වාතාවරණයකි. මෙම තත්ත්වයන් වැඩි හෝ අඩු වශයෙන්  සමාජයක සමතුලිතතාවය පවත්වා ගැනීමට ඉවහල් ව ඇති බව පැහැදිලිය. ඒ වාගේම සමාජ ආරක්ෂණය තහවුරු වීම විශාල මැද පංතියක් බිහිවීමට හේතු වී ඇති බව සමාජ විද්‍යාඥයින්ගේ මතයයි.  

මේ නිසාම යුරෝපීය රටවල පසුගිය වකවානුවේ  විශාල මැද පංතියක් බිහිවී ඇත. ඒ වාගේම සමාජ ආරක්‍ෂණය ඇති තැන ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වීමටද එය බලපායි. ඒ පුරවැසියා වෙනත් අයකු මත රඳා නොපවතින විට ඔහු හෝ ඇය ස්වාධීන තීරණ ගතහැකි ස්වාදීන මානවයකු බවට පත්වන හෙයිනි.

213QJH
ජර්මනිය  ඇතුළු යුරෝපීය රටවල් තම සමාජ ආරක්ෂණය සඳහා දළ ජාතික ආදායමෙන් හරි අඩක් පමන වැය කරයි. බදු ගෙවීම  සහ බදු වලින් තමන්ට සහ සමාජයට ප්‍රයෝජනයක් ඇතිවන අයුරින් එම බදු මුදල් රජය විසින් වැය  කරන විට රට තුළ පවතින දේශපාලන ක්‍රමය පිළිබඳව පුරවැසියා තුල විශ්වාසය තහවුරු කරයි.

ජර්මනිය තම දල ජාතික ආදායමෙන් 48%, ප්‍රංසය 54%, ස්වීඩනය 59% සියලු සමාජ ආරක්ෂනය සඳහා වැය කරයි. යුරෝපා සංගමයහි එම ප්‍රතිශතය 46%කි. මෙසේ මුලු සමාජ ආරක්ෂනයට වැය කරන ප්‍රමානය තුල සෙෘඛ්‍ය, විශ්‍රාම, ඔත්පල රක්ෂන ආදිය සඳහා පමනක් ජර්මනිය තම දළ ජාතික ආදායමෙන් 31.7%  යොදවනු ලබයි. ප්‍රංශය ඒ සඳහා තම දළ ජාතික ආදායමෙන්ම 33.4% වැය කරන අතර  ස්වීඩනය 29.8%, ෆින්ලන්තය 31.8% සහ පොදුවේ යුරෝපා හවුලෙහි රටවල් 28.1%  වැය කරති.

ZSDERW354

තවද සඳහන් කළ යුත්තේ වර්ථමානයෙහි මෙම රටවල අදායම් ලබන සෑම දෙනාම ආදායම් බදු ගෙවීම අනීවාර්ය බවත් ඉහළ ආදායම අනුව එය සියයට 30ක් ඉක්මවා යෑම සාමාන්‍ය බවත්ය. ඉහළ ආදායම් ලබන්නන් ඔස්ට්‍රියාවෙහි 40% ආදායම් බදු ගෙවිය යුතුය. ජනගහණයේ රැකියා කළ යුතු වයසේ සිටින සියලු දෙනා වෙත බදු ගෙවීමේ ලිපි සෑම වසරකම නොවරදවාම ලැබේ.

ලංකාව වැනි රටවලට  මෙයින් යමක් ඉගෙන ගැනීමටත් එය අධ්‍යයනය කිරීම තුළින් අපට සුදුසු සමාජ ආරක්‍ෂණ වැඩපිළිවෙලක් සකස් කර ගැනීමටත් හැකියාවක් ඇති බව මගේ වැටහීමයි.

ranjith henayakaarachchi(රංජිත් හේනායක ආරච්චි)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික
lranjith@hotmail.de

21.11.2024.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...