දැන් ආණ්ඩුව සහල් ප්‍රශ්නය කලමනාකරණය කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණය ගෙන අවසන් ය. ඒ අනුව නාඩු සහල් මෙට්‍රික් ටොන් 70000ක් ආනයනය කර දේශීය වෙළඳපළට මුදා හැරීමේ තීරණයක් ගෙන ඇති බව ප්‍රසිද්ධ කෙරිණි. ඒ තීරණය මත මේ දිනවල ජාතික ජන බලවේගයේ සමාජ මාධ්‍ය “සපෝටර්ලා”සහල් ආනයනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන ලියන්නට පටන් ගෙන තිබේ. ඇතමුන්ට අනුව ආනයනික නාඩු සහල් කිලෝව රුපියල් 140ට මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට හැකිවෙනු ඇත.
ඒ කෙසේ වුවද මගේ මේ උත්සාහය වත්මන් සහල් ගැටළුව පිළිබඳව යම් විශ්ලේෂණයක් සිදු කර ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ගනු ලැබූ තීරණය මේ රටේ ගොවියාට බලපෑ හැකි අන්දම ගැන පුරෝකථනයක් කිරීමට ය.
මේ රටේ කෘෂිකර්මාන්තයේ ප්‍රමුඛතම නිෂ්පාදන ක්‍රියාවලිය වී වගාව ය. වී වගාව ප්‍රමුඛතම වගාව කරගත් ගොවීන් බහුලව ඉන්නේ අම්පාර, පොලොන්නරුව, කුරුණෑගල අනුරාධපුර යන දිස්ත්‍රික්කවල ය. එම දිස්ත්‍රික්කවලට යාබද වියළි කලාපීය දිස්ත්‍රික්ක වන මඩකලපුව, හම්බන්තොට, මොනරාගල, ත්‍රිකුණමලය, වවුනියා, මන්නාරම, කිලිනොච්චි වල ද සැලකිය යුතු ප්‍රමාණයක් වී නිෂ්පාදනය කරති.

මේ සියලු දිස්ත්‍රික්කවල යල කන්නයේ එනම් මාර්තු සිට අගෝස්තු දක්වා මාස හය තුළ වී වගාව වාරි ජල සම්පාදනයෙන් සීමිත බිම් ප්‍රමාණයක සිදු කරනු ලැබේ. ඔක්තෝම්බර් සිට මාර්තු දක්වා මාස හය වර්ෂා ජලය ද උපයෝගී කරගෙන මාස් කන්නය ලෙස විශාල බිම් ප්‍රමාණයක වී වගාව කරති. සමස්තයක් ලෙස රට සහලෙන් ස්වයංපෝෂිත වුවත් යල කන්නයේ සීමිත වී අස්වැන්නෙන් වසරේ අග මාස හයේ භාවිතය සඳහා ප්‍රමාණවත් නොවීමක් දැකිය හැකි වේ. ඒ නිසා සෑම වර්ෂයකම පාහේ අවසාන මාසයේ ස්වභාවිකවම සහල් මිල ඉහල යාමක් දැකිය හැකිය. මෙවර ඒ තත්වය නොවැම්බර් මස මුල සිටම දක්නට ලැබුණේ වැඩි ඉල්ලුමක් සහිත නාඩු සහල් වෙළඳපලේ හිඟ වීමත් සමඟ ය.
වෙළඳපලේ නාඩු සහල් හිඟ වීමට බලපෑ හේතුව කුමක්ද?
නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 220 උපරිම සිල්ලර මිලකටත් කීරි සම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 260 මිලකටත් වෙළඳපලේ අලෙවි කළ යුතු ය.
මේ වන විට සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පාරිභෝගික ආරක්ෂන පනත යටතේ නියම කර ක්‍රියාත්මක වේ. ඒ අනුව නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 220 උපරිම සිල්ලර මිලකටත් කීරි සම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 260 මිලකටත් වෙළඳපලේ අලෙවි කළ යුතු ය.
දැන් අප සොයා බැලිය යුත්තේ මේ මිලට සහල් සැපයීමට හැකිද? යන්න ය. දැනට වෙළඳපලේ හිඟව ඇත්තේ නාඩු සහල් නිසා ඒ ගැන සොයා බලමු. පසුගිය යල් කන්නයේ වී අස්වනු මිලදී ගනිද්දී වී මෝල් හිමියන් නාඩු සහල් කිලෝග්‍රෑම් 66ක මිටියක් රුපියල් 7800ක අත්පිට මුදලට මිලදී ගත් බව දිවයිනේ වැඩිම වී නිෂ්පාදනය කරන අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීහු කීප දෙනෙක්ම මා සමඟ පැවසූහ.

මෙසේ ගොවින් සතු වී අස්වනු නෙලන යන්ත්‍ර වලින් නෙලා ගැනීමෙන් පසු දිනක් හෝ දෙකක් වේලා ගැනීම හැර ශුද්ධ කිරීමක් නොකරති. එසේ නිසාම 6% පමණ ප්‍රමාණයක් ගොයම් ගස් කැබලි වැනි අප ද්‍රව්‍ය මේ වී සමග කලවම්ව තිබේ. එම වී මෝල් සංකීර්ණ වෙත ප්‍රවාහනය කිරීමේ වියදම හා වී එකතු කරන්නවුන්ගේ කොමිස් මුදල් ලෙස වී මිටියකට යම් වියදමක් දැරීමට මෝල් හිමියන්ට සිදුවේ. වී කිලෝ එකකට එම වියදම් ලෙස රුපියල් අටක් එකතුවුවහොත් වී මිටියේ වියදම රුපියල් 8328 බවට පත් වේ. පසුව මේ වී අපද්‍රව්‍ය ඉවත් කිරීමට වී යළි වියලා ශුද්ධ කළ යුතු වේ. එසේ සුද්ධ කිරීමෙන් පසු කිලෝ 66 මිටිය කිලෝ හතරක් අඩුවී කිලෝග්‍රෑම් 62ක් බවට පත්වේ. මේ කිලෝග්‍රෑම් 62 මිටියේ වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 134.32 පමණ වියදමක් මෝල් හිමියා ඒ වන විට දරා තිබේ. මෙසේ රුපියල් 134.32 වන වී කිලෝග්‍රෑම් 1.54 සහල් කිලෝග්‍රෑමයක් නිපදවීමට අවශ්‍ය වේ. ඒ අනුව සහල් කිලෝවක් නිපදවීම සඳහා ඇඹරුම් යන්ත්‍රයට ඇතුලු කරන වී ප්‍රමාණයේ වියදම රුපියල් 206.85 වේ. මීට ඇඹරුම් කුලිය, ඇසුරුම් කුලිය, වී රැස්කිරීමට ලබාගත් මූල්‍ය පහසුකම් සඳහා වන මූල්‍ය වියදම ආයතනික වියදම් ද සමඟ මෝල් හිමියාගේ ලාභය ද එකතු කර මිල නියම කර සහල් තොග වෙළෙන්දන්ට සැපයීම කළ යුතු ය. ඒ සඳහා යන වියදම් එකතු වූ පසු සහල් කිලෝ එකක් වෙළඳපලට දීමට හැකි වන්නේ අඩුම වශයෙන් රුපියල් 228 කටවත් ය. ඊළඟට තොග හා සිල්ලර වෙළඳුන්ගේ ලාභ කොටස එකතු වී සහල් සිල්ලර මිල රුපියල් 235 හා 240 අතර ගණනකට නියම වේ. දැන් රජය උපරිම සිල්ලර මිල ලෙස නියම කර ඇති 220 යන මිලට සහල් වෙළඳපොලේ නැත්තේ මක් නිසාදැයි පැහැදිලි විය යුතු ය.
කිලෝ 66 මිටියට රුපියල් 7800 ගොවියාට ගෙවා මිලදී ගත් වී වලින් සහල් නිපදවා වෙළඳපොලට එවිය හැක්කේ ඉහත පරිදි රුපියල් 235හෝ 240 අතර මිලට විකිණීමට ය. රුපියල් 220 එහා මිලට විකිණීම නීති විරෝධී තත්වයක් කර තිබියදී වෙළඳපොලට නාඩු සහල් සපයා තමන්ට පාඩු කර ගැනීමට මෙලෝ මෝල් හිමියෙකු කැමති නොවන බව “මැටි මෝලෙකු” නොවන කාට වුව වැටහෙනු ඇත.
ප්‍රසිද්ධ වෙළඳපොලේ නාඩු සහල් නැතිවීමත් ඒ මත කලු කඩ වෙළඳපොලක් ඊට ඇති වීමත් කාගේවත් ස්වාභාවිකව සිදුව ඇති බව තේරුම්ගත යුතු ය.
මේ සිදුව ඇත්තේ එයයි. මේ නිසා තමන් සතු නාඩු වී තොග සහල් බවට පත් කිරීම ප්‍රමාද කිරීම හා කළුකඩ මිලට සහල් සැපයීම යන විකල්පයන්ට යාමට මෝල් හිමියන්ට සිදු වේ. මේ දිනවල නාඩු සහල් ආශ්‍රිතව වැඩි මිලට කලුකඩ වෙළඳාමක් පවතින්නේ මේ හේතුව නිසා බව ඒකාන්ත සත්‍යයකි. මේ දිනවල ගොවීන් හා සුලු පරිමාණ වී එක් රැස් කරන්නන් අත ඉතිරිව ඇති නාඩු වී සඳහා ඉහළ මිලක් වී වෙලඳ පොලේ හිමි වේ.
අම්පාරේ ගොවීන්ගෙන් දැන ගන්නට ලැබෙන්නේ මේ දිනවල නාඩු වී කිලෝ 66 මිටියට රුපියල් 9500 ඉහළ මිලක් හිමිවෙන බව ය. මේ මුදලට ලබා ගන්නා වී වලින් සකසන සහල් වෙළඳපොලේ අලෙවිකළ හැකි වන්නේ කිලෝග්‍රෑම් එකක් රුපියල් 275 වැනි ඉහල මිලකට ය. ඒ අනුව ප්‍රසිද්ධ වෙළඳපොලේ නාඩු සහල් නැතිවීමත් ඒ මත කලු කඩ වෙළඳපොලක් ඊට ඇති වීමත් කාගේවත් ස්වාභාවිකව සිදුව ඇති බව තේරුම්ගත යුතු ය.
මෙබඳු තත්වයක් යටතේ නාඩු සහල් ටොන් 70000 ආනයනය කිරීමේ රජයේ තීන්දුව ගැනීමේ දී එය ගොවි ජනතාවට කෙසේ බලපානු ඇද්දද යන්න පිළිබඳ ප්‍රමාණවත් විශ්ලේෂනයක් සිදුවී නොමැති බව පෙනී යයි.
ආනයන කරන සහල් වෙළඳපොලට එන්නේ දෙසැම්බර් දෙවන සතියේ පමණ ය.
මේ ආනයන කරන සහල් වෙළඳපොලට එන්නේ දෙසැම්බර් දෙවන සතියේ පමණ ය. දැනට ඇති මිල මට්ටම් අනුව ආනයනික නාඩු සහල් සිල්ලර මිල රුපියල් 175 මට්ටමට විකිණීමේ හැකියාව පවතී. ආනයනික නාඩු සහල් මිල වෙළඳපලේ රුපියල් 200 මට්ටමට තිබුණත් එය ජනවාරි මුල සිට ආරම්භ වන මාස් කන්නයේ නෙලන අස්වනු අලෙවියේ මිල පහලයාමට දැඩි සේ හේතුවනු ඇත. නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 110 මිලක් පසුගිය සමයේ රජය විසින් නියම කර තිබුණි. එසේ තිබියදී පසුගිය යල කන්නයේ දී රුපියල් 118 වැනි ඉහළ මිලක් ගෙවා නාඩු මිලදී ගැනීමට ක්‍රියා කළ වී මෝල් හිමියන් සහල් මිල රුපියල් 200 මට්ටමේ දී මාස් කන්නයේ නාඩු වී මිලට ගැනීමේ දී එය රුපියල් සීයේ මට්ටමේවත් රඳවා ගත්තොත් පුදුම ය.
දැනට මෝල් හිමියන් සතුව ඇති යල් කන්නයේ නාඩු වී සහල් බවට පත් කිරීමට නම් කළ යුත්තේ සහල් උපරිම සිල්ලර මිල ගැසට් පත්‍රය ඉවත් කිරීම හෝ එහි නාඩු සහල් මිල රුපියල් 240 මට්ටමට වැඩි කර සංශෝධනය කිරීමය. එවිට කිලෝග්‍රෑම් එක රුපියල් 118.18ට මිලට ගත් නාඩුවී සහල් බවට පත්කර යම් ලාබයක්ද සහිතව වෙලඳ පොලට දැමීමට වීමෝල් හිමියන් පෙළඹෙනු ඇත. එසේම මේ වී මිල ලබන කන්නයට ද පවත්වාගෙන යාමටත් ඔවුන් පෙළඹෙනු ඇත. මෙහිදී අවුරුද්දේ අවසානයේ සති හයක් පමණ සහල්වල යම් මිලවැඩිවීමක් වන බවත් එය දරා ගැනීම මගින් ජාතියට බත සපයන ගොවීන් ශක්තිමත් කිරීමට පාරිභෝගිකයන් ගෙන් ඉල්ලා සිටීමට රජය ක්‍රියා කළ යුතුය.
සහල්, පොල් බඳු දේශීය කෘෂි නිෂ්පාදනයන් වල ද දේශගුණික සාධක ආදිය මත සිදුවන සැපයුම් හීන වීම් වලදී මිල උච්චාවචනයන් දරා ගැනීමට පාරිභෝගිකයන්ට සිදු වනු ඇත.
මෙහිදී මාලු, කුකුළුමස් ආදී ආහාර ද්‍රව්‍ය සැපයුම හීනවන අවස්ථාවල මිල වැඩිවීම දරාගන්නවා සේ සහල්, පොල් බඳු දේශීය කෘෂි නිෂ්පාදනයන් වල ද දේශගුණික සාධක ආදිය මත සිදුවන සැපයුම් හීන වීම් වලදී මිල උච්චාවචනයන් දරා ගැනීමට පාරිභෝගිකයන්ට සිදු වනු ඇත.

අපේ රටේ බොහෝ දෙනෙක් තුළ පවතින ලොකුම වැරදි ආකල්පයක් තිබේ. එනම් ඊනියා ධනපති විරෝධයයි. මේ ඊනියා ධනපති විරෝධය ගොඩ නැගීමේ පුරෝගාමීන් වූයේ අප රටේ වාමාංශික ව්‍යාපාරයයි. පණහේ දශකයේ අවසානයේ සිට ආණ්ඩු වලින් උපරිම උත්සාහය ගත්තේ දුප්පතුන් පිනවීම පිණිස ධනපතියා විනාශ කිරීමටයි. අද පවා ඇතමුන් ප්‍රගතිශීලී නීති ලෙස හඳුන්වන ව්‍යාපාර ජනසතු කිරීම, නීති කුඹුරු පණත, නිවාස දේපල උපරිම සීමා පණත ඉඩම් ප්‍රතිසංස්කරණ පණත වැනි නීතිවලින් කළේ යම් ආකාරයක ධනය උපයාගන්නා පුද්ගලයන් සතු ධනෝපායන මාර්ග අවහිර කිරීමයි.
බ්‍රිතාන්‍ය පාලනය යටතේ රේන්ද මිලදී ගැනීම් ඔස්සේ ධනය ඒකරාශීකරගත් යම් යම් පුද්ගලයෝ තමන් උපයාගත් ධනය පසුව වැවිලි ක්ෂේත්‍රයේ ආයෝජනය කර මහා ධනපතියන් බවට පත් වූහ. පසුව ඔවුන් දේශීය ධනපති පංතියේ පුරෝගාමීන් වී ආගමික හා ජාතික මෙහෙවරට ද සම්බන්ධ වූ අතර ඔවුන්ගේ ඊළඟ පරපුර දේශපාලනයට ද සම්බන්ධවී රටට නිදහස ලබා ගැනීමට ද නායකත්වය ද දුන්නෝ ය. අවාසනාව වන්නේ රටේ ඊළඟ සංවර්ධනයට අවශ්‍ය අතිරික්ත ධනය සපයා ගැනීමට ඇති මාර්ග අවහිර කර ධනය සම්පාදනය කිරීමේ හැකියාව තිබූ පුද්ගලයන් අක්‍රිය කිරීමට නිදහසෙන් පසු ආණ්ඩු ක්‍රියා කිරීම රටේ අපේක්ෂිත සංවර්ධනයට විශාලම බාධාව බවට පත් වීම ය.
දශක ගණනාවක් තිස්සේ ධනපතියාට විරුද්ධව ක්‍රියා කළ ප්‍රබල වමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මකව තුබුණු සමාජයක වම දුර්වල වුණත් අද පවා ආකල්පය වන්නේ ධනපතියා නැති භංග කළ යුතු බව ය. මේ මහා පරිමාන වී මෝල් හිමියන්ට එරෙහිව මාෆියාවක් පවත්වාගෙන යන්නේය යන චෝදනාව මතුවන්නේ එබඳු පසුබිමක ය.
වී අලෙවි මණ්ඩලය මිල දී ගන්නා වී කුඩා වී මෝල් හිමියන් අතර කෙටීම සඳහා බෙදා දී ආහාර දෙපාර්තමේන්තුවේ ගබඩා වලට සහල් භාර දී කෙටීම් කුලිය වී අලෙවි මණ්ඩලයෙන් ලබා ගැනීම වී කෙටූ මෝල් හිමියන්ට හැකි විය.
මා රාජ්‍ය සේවයට පිවිසී දශක එකහමාරක් පමන ගතවන තෙක් වී මිලදී ගැනීමේ ප්‍රධාන යාන්ත්‍රණය වී අලෙවි මණ්ඩලය හා කුඩා හා මධ්‍ය පරිමාන වී මෝල් හිමියන් සතුව පැවතිණ. කුඩා හා මධ්‍ය පරිමාන මෝල් හිමියන් අස්වනු නෙලන සමයේදී වී මිල කුණු කොල්ලයට යවද්දී රජය වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගෙන සහතික මිල පවත්වා ගැනීමට උත්සාහ කළේ ය. මෙසේ වී අලෙවි මණ්ඩලය මිල දී ගන්නා වී කුඩා වී මෝල් හිමියන් අතර කෙටීම සඳහා බෙදා දී ආහාර දෙපාර්තමේන්තුවේ ගබඩා වලට සහල් භාර දී කෙටීම් කුලිය වී අලෙවි මණ්ඩලයෙන් ලබා ගැනීම වී කෙටූ මෝල් හිමියන්ට හැකි විය.
ආහාර දෙපාර්තමේන්තුව එකල සහල් තිරිඟු පිටි සීනි සහ මයිසූර් පරිප්පු තොග වෙලඳපළට සැපයීම ය. මේ ක්‍රියාවලිය වී මිලදී ගැනීමේ ආරම්භයේ සිට ආහාර දෙපාර්තමේන්තුව හරහා බෙදා හැරීම දක්වා දරුණු දූෂිත තත්වයක ගැලී තිබුණි. මෙයින් රජයට සිදුවූ පාඩුව ගණනය කල නොහැකි තරම් විය. අවසානයේ විවෘත ආර්ථිකය යටතේ ක්‍රමයෙන් වී මිලදී ගැනීම හා සහල් බෙදා හැරීම පෞද්ගලික මධ්‍ය පරිමාන මෝල් හිමියන් අතරට පත් විය. එකල ප්‍රධාන සහල් වෙළඳපොල වූයේ මරඳගහමුල යි. ඊට අතිරේකව අම්පාරේ මුහුදුබඩ පලාත් ආශ්‍රිත මධ්‍ය පරිමාණ වී මෝල් ජාලයක්ද පැවතුණි. ඔවුහු කෙලින්ම කොළඹ පිටකොටුවට සහල් දෛනිකව සැපයූහ. එකල අම්පාරේ සිට සහල් පටවා ගත් ලොරි රථ 150,ක් පමණ දිනපතා කොළඹ එනු දැක්ම සුලභ දසුනක් විය.
මෝල් වලට වී විකිණීමේ දී හොඳ මිලක් නොලැබීම, අස්වනු විකුණාගත නොහැකි වීම ආදී ගැටලු නිසා ගොවි ජීවිත කෙතරම් විපතට පත් වූයේ ද යත් ඇතැම් ගොවීන් සිය දිවිනසා ගත් අවස්ථා ද වාර්තා විය.
මේ මධ්‍ය හා කුඩා පරිමාන මෝල් වල නිපදවූ සහල් ඇඹරීමේ දී ගල්වැලි කලු ඇට කැඩුණු ඇට දුර්වර්ණ ඇට ආදිය ඉවත් කිරීමේ ක්‍රමයක් නොවීය. ඒ නිසා එම සහල් පිසීමේදී වැලි ඉවත් කිරීමට ගැරීම කළ යුතු විය. අම්පාරේ මුහුදුබඩ පලාත්වල ගොවීන් ගොයම් පාගන කමතට විශාල ගෝනි පඩංගු එලා වී වලට වැලි එකතුවීම වලක්වා ගත් නිසා එම මෝල්වල සහල් වල ගල්වැලි නොතිබුණි. මේ අන්දමේ මෝල් වලට වී විකිණීමේ දී හොඳ මිලක් නොලැබීම, අස්වනු විකුණාගත නොහැකි වීම ආදී ගැටලු නිසා ගොවි ජීවිත කෙතරම් විපතට පත් වූයේ ද යත් ඇතැම් ගොවීන් සිය දිවිනසා ගත් අවස්ථා ද වාර්තා විය.
මේ තත්වය යටතේ පොලොන්නරුව පදනම් කරගෙන මහා පරිමාණ වී මෝල් සංකීර්ණ ඉදිවන්නට විය මේ මෝල් සඳහා විශාල මුදලක් ආයෝජනය කළ අතර ඒවායේ ධාරිතාව විශාල වීම නිසා විශාල වී ප්‍රමාණයක් ද ඇඹරීමට ද හැකිවිය.
එමෙන්ම යන්ත්‍ර සූත්‍ර වල හා තාක්ෂණයේ දියුණු තත්වය නිසා මනා නිමාවෙන් යුතු සහල් ඇට සහිත හොඳ තත්වයේ ගල්වැලි අපද්‍රව්‍ය නැති සහල් නිපදවීමට ද හැකිවිය. කොටින්ම ගැරීමකින් තොරව සෝදා පිසිය හැකි උසස් තත්වයේ සහල් නිපදවීම ආරම්භ වුණේ මේ මහාපරිමාණ වී සහල් මෝල් සහල් නිෂ්පාදනයට පිවිසීමත් සමගය. එය ඒ වන විට අප රටේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පැවැති මාධ්‍යම පාන්තිකයන්ට සහනයක් වීම මත එම ගෘහණියෝ මෙම අලුත් සහලට ලොබ බඳින්නට වූහ. මේ සහල් මෝල් සංකීර්ණ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වී තොග අස්වනු නෙලන කාලයේ දී නියෝජිතයන් මගින් ගොවීන් ළඟටම ගොස් අත්පිට මුදලට මිලදී ගැනීමේ යාන්ත්‍රණයක් දියත් විය.ඔවුන් ගබඩා කර ගැනීම ආරම්භවීමත් සමඟම වී විකුණා ගැනීම පිළිබඳව ගොවීන්ට තිබුණු ගැටලුව බොහෝ දුරට විසඳුණි. වෙළඳපොල ඉල්ලුම හා සැපයුම මත වී මිලදී ගැනීම දැන් බොහෝ දුරට ක්‍රියාත්මකය. ඇතැම් අවස්ථාවල මිල පිළිබඳ ගැටලු මතුවූ විට රජයේ අත පෙවීම ද සුලු වශයෙන් සිදුවිය.

මොනවා වුණත් මහා පරිමාණ වී මෝල් හිමියන් සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කළ පසු වී ගොවියා අස්වනු අලෙවිකර ගත නොහැකිව සියදිවි හානි කර ගත්තේ හෝ වස බිව්වේ නැත. මෙය අද වන තුරුම පොදු සමාජය හමුවේ අනාවරණය නොවූ ඇත්තකි. අද වන විට වී ගොවීන්ගෙන් මිලදී ගැනීමේ සිට සහල් වෙළඳපොල දක්වා මේ කර්මාන්තය හා බැඳුණු විශාල පිරිසක ජීවනෝපාය සුරැකෙන්නේ මේ යාන්ත්‍රණය මගිනි. ඒ නිසා රටේ ගුණාත්මක සහල් නිෂ්පාදනය ආරක්ෂා කර ගැනීමට නම් මේ මහා පරිමාන සහල් කර්මාන්තය ආරක්ෂා කරගත යුතුව ඇත. කොටින්ම කිව්වොත් ලංකාවේ වී ගොවිතැන හා ගොවියා ආරක්ෂා කර ගැනීමට නම් මේ සහල් කර්මාන්තය ආරක්ෂා කළ යුතුම ය.
රජය පැත්තෙන් කළ යුතු වන්නේ වී වගා කිරීමේදී වගා කරන වී වර්ගය පාරිභොගික සහල් ඉල්ලුමට සමපාතවන ලෙස පවත්වාගෙන යාමට ගොවීන් සමග කටයුතු කිරීම ය. දැනටත් මහා වාරිමාර්ගවල වගා රැස්වීම කරන්නේ දිස්ත්‍රික් භාර ආණ්ඩුවේ ඒජන්තවරුන් ගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී ගොවීන් වගා කළයුතු වී වර්ග මොනවාදැයි නිර්දේශ කරන්නේ වගාවේ කාලය අනුව මාස තුන තුනහමාර වී ලෙසයි. ඒ වෙනුවට බෙදුම් ඇල වල් මට්ටමින් හෝ යාය මට්ටමින් සම්බා ද කීරි සම්බා ද සුදු නාඩු ද රතුනාඩු ද ලෙස වී වර්ගය නිර්දේශ කිරීමටත් කන්නය ආරම්භයේදීම සම්බා, කිරිසම්බා හා සුදු නාඩු රතු නාඩු ඒ ඒ දිස්ත්‍රික වලින් කොපමණ නිෂ්පාදනයක් අපේක්ෂා කරන්නේද යන්න ජාතික මට්ටමෙන් තීරණය කිරීමටත් පූලුවන.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කුඩා පරිමාන වැව් වල වගා රැස්වීම් හරහා ද පලාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු භරයේ ඇති මධ්‍ය පරිමාන වැව් හරහා වගා කෙරෙන කුඹුරු දමේ අන්දමින් වීවර්ග නිර්දේශ කර වගාව සංවිධානය කිරීම එතරම් අපහසු කාර්යයක් නොවේ. එවිට රාජ්‍ය නියාමනය හා අනුග්‍රහය යටතේ කෙරෙන වී වගාවේ අස්වනු මිලදී ගෙන සහල් කර්මාන්තය සිදු කිරීමට පෞද්ගලික මෝල් හිමියන්ට හැකිවනු ඇත. සහල් කර්මාන්තයේ යෙදෙන මහා පරිමාන හා මධ්‍ය පරිමාන වී මෝල් හිමියන් ද සම්බන්ධීකරණය කරමින් ඔවුන් මුහුණ දෙන ගැටලු ද නිරාකරණය කරමින් රජයට වී මිල තීරණයට ද දායක විය හැකිය. ඒ අනුව නියාමනකරු හා සහය දෙන්නෙකු ලෙස මෙම කර්මාන්තයට සහය වීමට ආණ්ඩුවට හැකිවෙනු ඇත.
මේ අනුව සහල් පිළිබඳව ගැටලුවේදී සහල් ආනයනය කිරීමේ විසඳුම ආණ්ඩුව ගත් බුද්ධිමත් තීරණයක් නොවන බව පෙන්වා දිය යුතු ය. මේ ගැටලුව විසඳිය යුත්තේ ගොවියා ද සහල් නිෂ්පාදකයාද පරිභෝගිකයා ද යන තුන් පාර්ශවයම ආරක්ෂා කර ගනිමිනි. නමුදු මෙම සහල් ආනයනයේ තීරණය මගින් ආණ්ඩුව පදනමේ ඇති ධනපති විරෝධය මත සහල් නිෂ්පාදකයාට ද “හොඳ පාඩමක්” ඉගැන්වීමේ චේතනාවෙන් හා පාරිභෝගිකයාගේ ප්‍රශංසාවද අපේක්ෂාවෙන් ගත් තීරණයක් බව පෙනේ. එය සොටු ගලන නිසා නාසය කපා දැමීමකට සමාන ක්‍රියාවකි. අවසානයේ දී ඉන් බරපතල ලෙස පීඩනයට පත්වන්නේ ගොවි ජනතාව වීම අතිශය කණගාටුදායක ය. අපට හැකිවන්නේ එවන් පීඩනයක් ඇති නොවේවායි ප්‍රාර්ථනා කිරීමට පමණි.

(සුනිල් කන්නන්ගර)
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com
(vinivida.lk)
සබැඳි පුවත් :
සහල් අර්බුදය : 'සදාකාලික උත්තර අපි ළඟ නෑ' - ලාල්කාන්ත
නව රජයේ පළමු කැබිනට් හමුවේදී ම සහල් ආනයනයට තීරණය කළේ ඇයි?



