The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට - (මහාචාර්ය චරිත හේරත්)

T

The Leader Desk

November 23, 2024 • 11:33 AM

මාලිමාවේ ජයෙන් ඔබ්බට - (මහාචාර්ය චරිත හේරත්) 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යන ක්ෂේත්‍ර දෙකේම ශක්තිමත්ව පිළිගෙන ඇත.
  • බරපතළ ජයග්‍රහණයක් මෙහිදී මුලින්ම ප්‍රකාශ කළ යුත්තේ මේ පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය ඉතාමත් බරපතළ එකක් බවයි.
  • සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දී වසර 30කට වැඩි ඉතිහාසයේ මෙවැනි සුවිසාල ජයග්‍රහණයක් එක් පක්ෂයක් ලබාගත් පළමු අවස්ථාවය.
  • බොහෝ විචාරකයන් මීට පෙර පිළිගත් අදහසක් වූයේ සමානුපාතික ඡන්ද ක්‍රමයක තුනෙන් දෙකක බලය එක් දේශපාලන පක්ෂයකට ලැබෙන්නේ නැති බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

යන ක්ෂේත්‍ර දෙකේම ශක්තිමත්ව පිළිගෙන ඇත.

මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කරන්නේ මෙම නව දේශපාලන බල ව්‍යාපෘතියේ ස්වභාවය සහ ගමන් මග පිළිබඳවය.

බරපතළ ජයග්‍රහණයක්

 



මෙහිදී මුලින්ම ප්‍රකාශ කළ යුත්තේ මේ පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය ඉතාමත් බරපතළ එකක් බවයි. සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දී වසර 30කට වැඩි ඉතිහාසයේ මෙවැනි සුවිසාල ජයග්‍රහණයක් එක් පක්ෂයක් ලබාගත් පළමු අවස්ථාවය. බොහෝ විචාරකයන් මීට පෙර පිළිගත් අදහසක් වූයේ සමානුපාතික ඡන්ද ක්‍රමයක තුනෙන් දෙකක බලය එක් දේශපාලන පක්ෂයකට ලැබෙන්නේ නැති බවය. 2020 ගෝඨාභය යටතේ වුවත් පක්ෂ ගණනාවක සන්ධානයක් ලෙසින් පොහොට්ටුව තරග කර තුනෙන් දෙකේ සීමාව පසු කරන්නට නොහැකි විය.

ඒ සියලු අපහසුතා පරාජය කරමින් මාලිමාව මන්ත්‍රී ආසන 159 දිනාගෙන තිබේ. ප්‍රජාතන්ත්‍රවා දී පාලන ආකාරයක ජීවත් වන අපි ජනතාවගේ තීරණය අවසාන තීරණය ලෙසින් පිළිගත යුතු වෙමු. එසේම එම ජනමතය ගොඩ නැඟූ දේශපාලන ව්‍යාපාරය ලෙසින් මාලිමාව පදනම් කරගත් ජාතික ජන බලවේගයට එම ජයග්‍රහණය වෙනුවෙන් සුබ පතන්නෙමි. එවැනි බරපතළ ජයග්‍රහණයක් සමගින් ඔවුන් වෙත පැවරෙන දේශපාලන ජයග්‍රහණයත් සමගින් ඔවුන් වෙත පැවරෙන දේශපාලන වගකීම සුවිශාල බව ද මෙහිදී සටහන් කරන්නෙමි.
 


ජ.වි.පෙ. මීට පෙර සිටි තත්වයට සාපේක්ෂව බලද්දී මේ ජයග්‍රහණය ‘‘සිතා ගැනීමටවත් නොහැකි’’ තරම් විශාල එකක් බව සැබෑය. ඔවුන් 2020 මැතිවරණයේ දී ලබා ගත්තේ සමස්ත ඡන්දදායකයන් අතරින් සියයට 3ක්ය. මන්ත්‍රී ආසනවලින් තුන් දෙනෙක්ය. එය මෙවර සියයට 63 තරම් සුවිශාල වී ඇති අතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 159 ක් තරම් විශාල වී ඇත.

 ජයග්‍රහණයේ පදනම කුමක්ද?

ජ.වි.පෙ. මුල්කරගත් දේශපාලන ව්‍යාපාරයක් ලෙසින් ජාතික ජන බලවේගයේ මේ ජයග්‍රහණය තේරුම් කරන්නේ කෙසේද? යන කාරණය සමහරුන් මේ වනවිටත් සාකච්ඡා කරමින් සිටින බව පෙනේ. ඒ පිළිබඳව එම පක්ෂයේ තේරුම් ගැනීමක් තිබිය හැකිය. මේ  ජයග්‍රහණයේ පදනම යැයි මා සිතන්නේ ‘‘පක්ෂයේ මතවාදයට සමාජය ගමන් කිරීමකට වඩා සමාජයේ මතුවෙමින් තිබූ ක්‍රම විරෝධය (System Change Psyche) පිළිබඳ තර්කයට පක්ෂය ගමන් කිරීමක්’’ ලෙසින්ය.
 
බොහෝ අය දක්නා පරිදි රටේ ආර්ථිකයේ බරපතළ කඩා වැටීමක් පසුගිය වසර කීපය තුළ සිදුවිය. එය විශාල ව්‍යසනයක් බවට 2022 දී පත්විය. මේ ව්‍යසනයට එරෙහිව මතු වූ ජනතා නැගිටීමේ පාර්ශ්ව කීපයක් පෙරමුණේ සිටියේය. එයින් එක් කණ්ඩායමක් වන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයේ බලය සහිත පෙරටුගාමි පක්ෂය මෙහෙය වූ කණ්ඩායම්ය. එහි ඊළඟ බලවේගය වූයේ ජ.වි.පෙ. මෙහෙය වූ කණ්ඩායම්ය. මගේ තේරුම් ගැනීමට අනුව එහි තුන්වැනි බලවේගය වූයේ කොළඹ මධ්‍යම හා ඉහළ පන්ති නියෝජනයක් සහිත රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කණ්ඩායම්ය.

දැන් අරගලය නිමාවීමත් සමගම සිදු වෙමින් තිබෙන්නේ මේ කණ්ඩායම්වලට පිළිවෙළින් ආණ්ඩු බලය ලැබීම්ය. 2022 දීම රනිල් වික්‍රමසිංහ මහතා රටේ නායකයා බවට පාර්ලිමේන්තු ඡන්දයකින් පත්විය. 2024 ජ.වි.පෙ. මුල් කරගත් දේශපාලන ව්‍යාපාරයට ජනතාවගේ ඡන්දයකින් පාලනය ලබාදී ඇත. මේ උත්සාහය අසාර්ථක වුවහොත් ඊළඟ බලවේගයට රටේ  බලය යන්නේ දැයි හරියටම දන්නේ නැත. එහෙත් සිදුවෙමින් පවතින්නේ ඒ වගේ දෙයක්ය.

ජනතා අපේක්ෂා කවරේද?

මෙහිදී අපගේ අවධානය යොමුවිය යුතු වැදගත් කාරණයක් වන්නේ මේ සුවිශාල ජනතා මනාප හරහා ඉදිරිපත් වූ ඒ අයගේ අපේක්ෂා කවරේ ද යන්නයි. මේ පිළිබඳව නොයෙක් අයට නොයෙක් උත්තර හදා ගත හැකිය. එහෙත් වැදගත් වන්නේ බලයට පත් වූ රජය සහ ජනාධිපතිවරයා ජනතාවගේ අපේක්ෂා ලෙසින් තේරුම් ගන්නේ මොනවාද යන්නය.

 
මගේ තේරුම් ගැනීමට අනුව මෙවර මැතිවරණයේ දී ජාතික ජන බලවේගය ඡන්දය ලබාදුන් බොහෝ අයගේ එක් ප්‍රධාන අපේක්ෂාවක් වූයේ පසුගිය වසර 76ක් තුළ රට පාලනය කළ පක්ෂ පරාජයට පත් කර අලුත් පක්ෂයක් බලයට ගෙන ඒමය. දැනටමත් ඒ අපේක්ෂාව ඉටුවී ඇත. එපමණක් නොව බොහෝ අය අපේක්ෂා කරන බව පෙනෙන්නේ ජා.ජ.බ. පක්ෂයේ නායකයන්ව නිර්මාණය කළ ‘‘නැරටිව් එකට’’  හෙවත් කතාන්දරයට අනුව රට සංවර්ධනය කර ඉක්මනින් සුව පහසු ජීවිතයක් උරුම කර ගැනීමය. ආණ්ඩුවේ නායකයන් නිර්මාණය කළ සහ සමාජ ගත Narrative එක මේ වගේ එකක්ය. ‘‘මේ රට දියුණු නොවන්නේ වසර 76 කාලයක් පාලනයේ සිටි අය රටේ ජාතික ධනය හොරකම් කළ නිසාය. මේ හොරකම් නතර කළ විගස රට සංවර්ධනය වන්නේය. අනෙක් කාරණය වන්නේ ජනාධිපති සහ පාර්ලිමේන්තුවේ 225 අධික ලෙසින් ජාතික ධනය විනාශ කරන්නේය. එය නවතා දැමීමෙන් රට සංවර්ධනය වන්නේය’’ වැනි නැරටිව් එකක්ය.

දැන් මේ ජයග්‍රහණය හරහා ඉහත කතාව ක්‍රියාත්මක කිරීමට සියලු බලතල ජනතාව විසින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ලබා දී ඇත.

එහෙත් මේ රටේ ප්‍රශ්නය මේ කියන එක නොවන බව මගේ අදහසය. ඉහත සඳහන් දූෂණය තිබේ නම් ඒවා නතර කිරීම ඉතාමත් අවශ්‍යය. එහෙත් රට හමුවේ තිබෙන ප්‍රධාන ගැටලු ගණනාවක්ම විසඳීමෙන් තොරව ඉහත සඳහන් ආකාරයේ ‘‘වැඩවලින්’’ පමණක් මේ මොහොතේ රට මුහුණ දෙන අභියෝග ජය ගැනීමේ හැකියාවක් නැත.
 
රට හමුවේ ඇති අභියෝග

මගේ තේරුම් ගැනීමට අනුව රට හමුවේ ඇති අභියෝග සමහර නායකයන් සිතනවාට වඩා සංකීර්ණය ආර්ථික ක්ෂේත්‍රයේ අපි මුහුණ දෙන අර්බුදය තෙයාකාරය.

*බරපතළ ආකාරයෙන් වර්ධනය වන ගෙවුම් ශේෂ අර්බුදය මෙහිදී අවධානයට ගත යුතු පළමු කාරණයයි. රටේ ආනයන අවශ්‍යතා සහ ණය සේවාකරණය ඇතුළත් අවශ්‍යතා සඳහා විදේශ මුල්‍ය ශක්තිය වර්ධනය කිරීම අනිවාර්යය. විදේශ මුල්‍ය ශක්‍යතාව අතින් අප සිටින්නේ ඉතාමත් කඩා වැටුණු තත්වයකය. 1976 න් පසුව රටේ වර්ධනය වූ ගෙවුම් ශේෂ ඝෘණ අගය බරපතළ ආකාරයෙන් පහළටම ගමන් කර ඇත.
 
*දෙවනුව රට තුළ බරපතළ අය-වැය හිඟයක් නිසා ආණ්ඩුවේ මුල්‍ය තත්වය අර්බුදයට ගොස් ඇත. ඒ නිසාම ඒ ඒ ආණ්ඩු දේශීය ණය අහස උසට යන තෙක් ලබාගෙන ඇත. වත්මන් ආණ්ඩුව ද මේ මැතිවරණයට පෙර කෙටි කාලය තුළ විශාල දේශීය ණය ප්‍රමාණයක් ලබාගෙන ඇතැයි පුවත්පත්වල වාර්තා විය. මේ අය-වැය හිඟය සමනය කරන්නට නම් ආණ්ඩුවේ ආදායම් මාර්ග වැඩිවිය යුතුය. එය වැඩි කරන්නට යැයි කියා වැඩියෙන් බදු අය කිරීමට හැකියාවක් ද නැත.

*තුන්වෙනුව ඉහත අර්බුද දෙකට පිළියම් ලෙසින් දේශීයව හා විදේශීයව ලබාගත් ණය ගෙවීමට බැරි තරම් විශාල වී ණය සේවාකරණය කඩා වැටී ඇත. 2022 රට බංකොලොත් වූවා යැයි කියන්නේ ඒකටය. මෙතෙක් ලබාගත් ණය ගෙවන්නට හැකියාවක් නැති නිසා අපේ බැංකුවලින් නිකුත් කරන ණයවර ලිපියක්වත් (L C එකක්වත්) ලෝකයේ අනෙක් බැංකු නොපිළිගන්නා තැනට වැටුණේ ඒ අනුවය IMF එකට අඩු හෙට්ටු කිරීමේ තත්වයක් යටතේ යන්නට සිදු වුණේ ඒ අනුවය.

* හතර වෙනුව ඉහත සඳහන් මුල්‍ය අර්බුද එසේම තිබිය දී විශාල රාජ්‍ය සේවයක් සහ රාජ්‍ය ව්‍යාපාර සමූහයක් නඩත්තු කිරීමට රජය සිදුවී ඇත. මේ සිටින එක රාජ්‍ය සේවකයකුගේ හෝ වෙනසක් කිරීමට රජයට හැකියාවක් නැත. අනෙක් අතට, ලංවිම, ශ්‍රී ලංකන් සේවය, තෙල් සංස්ථාව වැනි ආයතන පද්ධතිය ප්‍රතිව්‍යුහගතකරණයක් කරන්නට වත්මන් ආණ්ඩුවට ප්‍රතිපත්තිමය හැකියාවක් ඇතැයි පෙනෙන්නේ නැත. ශ්‍රී ලංකන් ගුවන් සේවය දිගටම පවත්වාගෙන යන බවට මේ වනවිටත් ප්‍රකාශයට පත්කර ඇත.
 


*පස් වෙනුව රටේ ස්ථාපිත සමාජ සුබසාධනය සහ සමාජ ආරක්ෂණ, යාන්ත්‍රණය, එසේම පවත්වාගෙන යාමට සිදුවනවා ඇත. සමාජ සුබසාධනය කියන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය, මහා මාර්ග වැනි රජයේ ආයෝජනයෙන් සිදු කරන ඒවාය. සමාජ ආරක්ෂණය කියන්නේ දිවි නැගුම, සමෘද්ධි, අස්වැසුම වැනි නම්වලින් හඳුන්වන ව්‍යාපෘතිය.
 
*හය වෙනුවට රටේ විරැකියා අනුපාතය වර්ධනය වෙමින් පැවතීම තවත් බරපතළ අර්බුදයක්ය. සමහරුන් වෙළෙඳපොළ සමාජයෙන් පිටමං කෙරී ඇති අතර මවුපියන්ගේ මුදලින් ස්මාර්ට් ෆෝන් එකක් අතට ගත් තරහ ගිය තරුණ පරපුරක් නිර්මාණය වී ඇත. සමාජ මාධ්‍ය තුළ තමන්වත් අන් අයවත් පුපුරුවන්නට කතා කරන්නෝ එසේ තරහ ගිය තරුණයෝය. ඊට  සමාන තවත් කණ්ඩායමක් විරැකියාව නිසාම ත්‍රිවිල් රියදුරන් බවට පත්වී ඇත. එම සංඛ්‍යාව ලක්ෂ 15ක් කිට්ටු කර තිබේ. මේ විරැකියා ගැටලුව විසඳන්නට නොහැකි වුවහොත් එම තරහ ගිය තරුණයා තවත් පැත්තකට හැරීමේ ඉඩක් තිබෙන බව ද පැහැදිලිය.


*හත්වෙනුව ජාත්‍යන්තර හා කලාපීය ක්ෂේත්‍රයේ ගැටලු සමහන් කිරීමත්, උතුරේ ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් ව්‍යවස්ථාමය ක්ෂේත්‍රයේ බරපතළ තීරණ ගැනීමටත් මේ රජයට සිදුවන බව පැහැදිලිය.

මෙවැනි අභියෝග ගණනාවක් හමුවේ වෙන කාටවත් බැණ අඬ ගසමින් සිටින්නට ආණ්ඩුවට හැකියාවක් ලැබෙන්නේ නැත. ඒ නිසා බලය ලබා ගැනීමට සමාජ ගත කළ ‘‘කතාන්දරය’’ හෙවත් Narrative එක සහ ඇත්ත සමාජ ගැටලු අතර ඇති කරන තෙරපුම හමුවේ ආණ්ඩුව හැසිරෙන්නේ කෙසේදැයි විමර්ශනය කිරීමට කාලය පැමිණ ඇති බව මගේ අදහසය.

charitha herath mp
(මහාචාර්ය චරිත හේරත්)
charith9@yahoo.com

 (ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මහාචාර්ය චරිත හේරත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයකු ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ලෙසත් කටයුතු කළේය.)

(කිවිදා දැක්ම : ලංකාදීප- 2024 නොවැම්බර් මස 22)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...