The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
විශේෂාංග

මැතිවරණ ප්‍රතිඵල මඟින් කියැවෙන ජනතා අභිලාෂ ! - (ගෙවිඳු කුමාරතුංග)

T

The Leader Desk

November 23, 2024 • 2:49 PM

මැතිවරණ ප්‍රතිඵල මඟින් කියැවෙන ජනතා අභිලාෂ ! - (ගෙවිඳු කුමාරතුංග)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මවුබිමට ඇවැසි බව උස්හඬීන් ප්‍රකාශ කර ඇත.
  • එක් අපේක්ෂකයෙක් හෝ ප්‍රකාශිත ඡන්දයෙන් 50%ක් ලබාගැනීමට අසමත් වූයේ මෙ වර ය.
  • ඉන්දියානු පෙළඹවීම නොවේ නම්, මඟ පෙන්වීම කෙරුණේ සජිත් දිනවීමට බව පැහැදිලි ය.
  • මීට අමතර ව සරත් ෆොන්සේකා මහතා ගේ ඉදිරිපත්වීම ද ඔහු විසින් ම ප්‍රකාශ කෙරී ඇති පරිදි, ප්‍රේමදාස මහතා ඉලක්ක කරගත්තකි.
අකුරු ප්‍රමාණය (Font Size):

මවුබිමට ඇවැසි බව උස්හඬීන් ප්‍රකාශ කර ඇත. ඒ නැවුම් මාවත සුබ අනාගතයක් සඳහා ම වේවා යන්න අපේ ප්‍රාර්ථනාව යි! ඒ ප්‍රතිඵලය පිටුපස කුමන්ත්‍රණකාරී බලවේග වී නම්, ඒ බලවේග පරාජය වනු දැකීම අපේ අපේක්ෂාව යි.

 

තුන්කොන් සටනක් වූ ජනාධිපතිවරණය

xdftwert

මෙ වර ජනාධිපතිවරණය තුන්කොන් සටනක් වීම සුවිශේෂී කාරණයකි. ඒ නිසා ම හතළිස් වසරකට වැඩි ජනාධිපතිවරණ ඉතිහාසයේ මේ මැතිවරණය සුවිශේෂි වේ! එක් අපේක්ෂකයෙක් හෝ ප්‍රකාශිත ඡන්දයෙන් 50%ක් ලබාගැනීමට අසමත් වූයේ මෙ වර ය. ඒ ඉතිහාසයේ පළමු වරට ය. ඒ අතර උතුරේ වෙන ම අපේක්ෂකයකු ද ඉදිරිපත් විය. ඒ කුමක් පිණිස ද? ඒ සමඟ ම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, පසුගිය පාර්ලිමේන්තුවේ සුවිශේෂ අනන්‍යතාවක් ගොඩනඟා ගත් හිටපු අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ ආදීන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ කුමක් පිණිස ද? දීනීමට ද? නැතිනම් කිසියම් අපේක්ෂකයකු පැරැදවීමට ද?

අපි ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේකශකයන් ලැබූ ඡන්ද සංඛ්‍යාව හා ප්‍රතිශත සලකා බලමු:

අනුර කුමාර දිසානායක 
               ඡන්ද: 5,634,915
               ප්‍රතිශතය: 42 31%

සජිත් ප්‍රේමදාස 
               ඡන්ද: 4,363,035
               ප්‍රතිශතය: 32.76%

රනිල් වික්‍රමසිංහ 
               ඡන්ද: 2,299,767
               ප්‍රතිශතය: 17.27%

දෙමළ ජාතික සන්ධානයේ එකඟතාව කඩමින් ඉදිරිපත් වූ අරියනේතිරන් පාක්‍යසෙල්වම් 
              ඡන්ද: 226,343
              ප්‍රතිශතය: 1.70%


ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායකව සිටි සජිත් ප්‍රේමදාස හට 50% ඉක්මවා යන ඡන්දයක් ගත නොහැකි වූයේ ඇයි යන්න ඉතා පැහැදිලි ය. ඒ මූලික ව ම, රනිල් වික්‍රමසිංහ ගේ ඉදිරිපත්වීම නිසා ය. රනිල් කැඩූ ඡන්ද සජිත්ට වී නම්, පළමු වටයේ දී ම, සජිත්ට සීයට පනහ ඉක්මවා යා හැකි ව තිබුණි. දැන් රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ම මේ සඳහා ද? සජිත්ව පැරදවීමට ද?

ඒ වගේ ම උතුරේ අරියනේතිරන් පාක්‍යසෙල්වම් මහතා ගේ ඉදිරිපත් වීමේ ද සජිත් පැරදවීමේ අපේක්ෂාවක් වී ද? ඉන්දියානු පෙළඹවීම නොවේ නම්, මඟ පෙන්වීම කෙරුණේ සජිත් දිනවීමට බව පැහැදිලි ය. දෙමළ ජාතික සන්ධානය කටයුතු කළේ ඒ අනුව ය. එ විට, මේ යාපනය ස්වාධීන අපේක්ෂකයා ගේ ඉදිරිපත්වීම කෙරෙන්නේ ඊට එරෙහිව ය. මීට අමතර ව සරත් ෆොන්සේකා මහතා ගේ ඉදිරිපත්වීම ද ඔහු විසින් ම ප්‍රකාශ කෙරී ඇති පරිදි, ප්‍රේමදාස මහතා ඉලක්ක කරගත්තකි. ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව කුඩා මුත්, ප්‍රේමදාස මහතා ගේ ප්‍රතිරූපයට කළ හානිය කුඩා නැත. ඉන්දියාව හැරැණු විට ලංකාවේ දේශපාලන රෑකඩ නටවන ඇමරිකානු  මැදිහත්වීමක් මේ පිටුපස වී ද?

තුන්කොන් සටනක් විය හැකි ව තිබූ 1988 ජනාධිපතිවරණය

1988

මේ මැතිවරණයේ ආර්. ප්‍රේමදාස මහතා ගේ ජයග්‍රහණයේ පසුබිම සැබෑ ලෙස අධ්‍යයනය කෙරී  තිබේ ද? ජනතා විමුක්ති පෙරමුණ හා බැඳුණු, දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ වෙඩික්කරුවකු අතින් විජය කුමාරතුංග ඝාතනය, 88 ජනාධිපතිවරණය තුන්කොන් සටනක් වීම වැළැක් වී ය. ඒ වනවිට විජය හා ඔහු නායකත්වය දුන් මහජන පක්ෂය අමතම්න් සිටියේ, ඉන්දු-ලංකා ගිවිසුමට, පළාත් සභාවලට එරෙහි වූ දේශප්‍රේමී ජන සමූහයට නොවේ.

ජනප්‍රිය සංස්කෘතියේ තරුවක් වූ ඔහු ඇමැතුවේ ජාතිකත්වයට පිටුපෑ ජනී-ජනයාට ය; ආර්. ප්‍රේමදාස අගමැතිතුමා ගේ ජන්දදායකයාට ය. ම්ලේච්ඡ ඝාතනය සේවය කළේ, විජය කුමාරතුංගයන්ව ජනාධිපතිවරණ සටනින් ඉවත් කිරීම සේවය කළේ ආර්. ප්‍රේමදාස අපේක්ෂකතුමාට  ය.

ඒ අවස්ථාවේ ගාමිණී දිසානායක හා ලලිත් ඇතුලත්මුදලි ප්‍රධාන එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රභූ තන්ත්‍රයේ බහුතරය ප්‍රේමදාස මහතා ගේ නායකත්වය පිළිගැනීමට මැලි වෙද්දී ඒ ප්‍රභූ තන්ත්‍රය නියෝජනය කරමින් ඔහු හා හිටගත්තේ රනිල් වික්‍රමසිංහ ය. ඒ නිසා ජනාධිපතිවරණයක දී තුන් වන අපේක්ෂකයා ගේ කාර්යභාරය ගැන රනිල් වික්‍රමසිංහට මනා අවබෝධයක් තිබිය යුතු ය. ඔහු මෙ වර ඉදිරිපත් වූයේ සජිත්ව පැරදවීමට ම ද?

ජනාධිපතිතුමා ලෙස කටයුතු කරමින් සිටි රනිල්ට, තමා ගේ ජන(අ)ප්‍රිය බව ගැන අවබෝධයක් නොවී නම්, හෙලුවෙන් සිටි රජතුමාට ඇමැතිවරු ඒ බව නොකීවා නම්, ඒත් බුද්ධි අංශ තොරතුරු ඔහු සතු නොවීමේ ඉඩකඩක් නැත. එ සේ නම්, ඔහු ඉදිරිපත් වූයේ තමා පරදින බව දැනදැන සජිත් පැරද වීමට ද?

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ වේදිකාවල හරි අපූරු දෙයක් කළේ ය. මහියංගනය වැනි වේදිකාවල ඔහු තමා ද ජනාධිපති අපේක්ෂකයකු බව අමතක කරමින්, සජිත්ට අනුර පරදන්න බැරි බව කීවේ ය; ඊට පසු වේදිකාවේ දී සජිත් සිටින්නේ අනුරට ගවුගාණක් පසුපසින් බව කීවේ ය.

රනිල් ගේ මැදීහත්වීම අනුර දිනවීම සඳහා දැ යි නොදනිමු. එහෙත් සජිත් පැරදවීම සඳහා බව නම් ඉතා පැහැදිලි ය.

ඒ ඇයි?

setr345

ඒ, එක්සත් ජාතික පක්ෂය තමා ගෙන් ගලවාගෙන ස.ජ.බ. නිර්මාණය කිරීමේ පෞද්ගලික අමනාපය බව ඇතැමුන් ගේ මතය යි. එහෙත් මේ ඊට වඩා අත්මාර්ථය මුල් කරගත් කපටි දේශපාලන උපායක් ද විය හැකි යි. අත්දැකීම්වලින් පරිණත නොවූ ජාතික ජන බලවේග, ගෝඨාභය මෙන් ම, තමාට ගැලවුම්කරුවා වීමේ අවස්ථාව නිර්මාණය කරනු ඇතැයි යන බලාපොරොත්තුව මීට හේතු වූවා විය හැකි යි.

මහාමැතිවරණය

මහාමැතිවරණයේ දී රටේ ජනයා, පත්වූ ජනාධිපතිවරයාට අවශ්‍ය කණ්ඩායම ද ලබා දී, රට තමන් ගේ සිහින දේශය කරා ගෙනයෑමේ වගකීම අනුරට ම, ජාතික ජන බලවේගයට ම දීමේ අභිලාෂයෙන් ඡන්දය දී ඇති බව පැහැදිලි ය. එහෙත් එහි දී ද අප විසින් පැහැදිලි කරගත යුතු සුවිශේෂ කරුණු කීපයකි.

පාර්ලිමේන්තු ඡන්දයේ දී ජාතික ජන බලවේගයට ලැබුණු ආසන සංඛ්‍යාව සුවිශේෂ ය. එහෙත් ඒ ඔවුන්ට සුවීශේෂී ජනතා ආදරයක් හිමි වූ නිසා ද? නැතිනම් ජනතාවට විකල්පයක් නැති වූ නිසා ද? නැතිනම් මහා මැතිවරණයටත් විදේශ සෙවැනැලි පතිත වී ඇත්ද?

කුමන තත්ත්වයන් මත හෝ අනුර කුමාර මහතා ජනාධිපති වූ පසු, ඔහුට තම ජනවරම ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවක් ලබාදීමට ජනතාව කටයුතු කළ බව ඉතා පැහැදිලි ය. ඒ සමඟ ම, ස.ජ.බ.ට, ගෑස් සිලින්ඩරයට හා පොහොට්ටුවට (නො)ලැබුණු ඡන්දවලින් ජනතාව පරණ දේශපාලනය තවත් එපා ය යි හඬනඟා කියා ඇත.

ජනවරම කියන තරම් සුවිශේෂ ද?

janawarama

දැන් මහා මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ආසන 159ක් ලබාගෙන ඇත. තනි සන්ධානයකින් පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලබාගැනීම සුවිශේෂ බව පිළිගත යුතු ය. එහෙත් ඒ ජාතික ජන බලවේගයට වූ කැමැත්ත නිසා ම ද? නැතිනම් වෙනත් විකල්පයක් ජනයා හමුවේ නොවූ නිසා ද?

දැන් මෙ වර මහා මහාමැතිවරණයේ දී ජාතික ජන බලවේගය ලැබුවේ ඡන්ද හැටඅට ලක්ෂ හැටතුන් දාස් එකසිය අසූහයකි. එය ගෝඨාභය ජනාධිපතිතුමා ගේ හැටනව ලක්ෂයේ ජනවරමට අඩු බව පැහැදිලි ය. ඒ වගේ ම 2020 මහා මැතිවරණයේ දී පොදුජන පෙරමුණ, උතුරේ, නැගෙනහිර හා කඳුකරයේ සිය හවුල්කාර පක්ෂ ලබාගත් ඡන්ද නැති ව, දකුණේ ලබාගත් ඡන්ද හැටඅට ලක්ෂ පනස්තුන් දාස් හයසිය අනූතුන ඉක්මවන්නේ ද යන්තමිනි. ඒ මෙ වර ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව අට ලක්ෂ හැත්තෑහය දාස් හාරසිය හැටනවයකින් (876,469) වැඩිවී තිබිය දී ය.

එ සේ නම්, පොදුජන පෙරමුණට 2020 දී ආසන 145ක් ලැබෙන විට, මෙ වර ජාතික ජන බලවේගයට ආසන 159ක් ලැබුණේ මන්ද? ඒ ආණ්ඩු විරෝධී ජනයා මෙ වර ඡන්ද පොළට යෑමට කම්මැලි වී ඇති බැවිනි. 2020 දී ඡන්දදායකයන් 75.89%ක් ඡන්දය දමන විට, මෙ වර ඡන්දය දී ඇත්තේ ඡන්දදායකයන් ගෙන් 68.93%ක් පමණි. ඊට සර්වජන බලය විකල්පයක් වීමට අසමත් වීම බලපාන්නට ඇත.

උතුරේ, නැගෙනහිර හා කඳුකරයේ ජනයා මාලිමාව සමඟ ද?

xfte4534යාපනයේ NPP මහ මැතිවරණ රැලියක් @X/AKD

විශ්ලේෂණය කළ විට පෙනීයන්නේ උතුරේ, නැගෙනහිර හා කඳුකරයේ මාලිමාවට ප්‍රකාශ වී ඇති ඡන්ද සංඛ්‍යාවේ වැඩිවීම අසාමාන්‍ය බව ය.

අපි දකුණේ දිස්ත්‍රික්ක කීපයක මාලිමා ඡන්දවල වැඩි වීමත් සමඟ උතුරේ, නැගෙනහිර හා වතුකරයේ ඡන්දවල වැඩිවීම සසඳා බලමු.

ගම්පහ දිස්ත්‍රික්කයේ අනුර කුමාර ලද ඡන්දවලට සාපේක්ෂව මහා මැතිවරණයේ ඡන්ද වැඩිවීමේ ප්‍රතිශතය 11% කි. මාතර දිස්ත්‍රික්කයේ 10.39% කි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ 15.99% කි.

දැන් මේ වැඩිවීම සමඟ සසදන විට උතුරේ, නැගෙනහිර හා කඳුකරයේ මාලිමාවේ ඡන්දවල වැඩිවීම අසාමාන්‍ය ය; අස්වාභාවික ය: ජනාධිපතිවරණයෙන් මහා මැතිවරණයට මාලිමාව ලැබූ ඡන්දවල වැඩිවීම, යාපනය දිස්ත්‍රික්කයේ 198.4% කි! ඔව්, සීයට එකසිය අනූඅටකි. වැඩිවීම පමණක් ජනාධිපතිවරණයේ ලද ඡන්ද මෙන් දෙ ගුණයකට ඉතා ආසන්න ය. වන්නි දිස්ත්‍රික්කයේ වැඩිවීම 86.32% කි. තිරිකුණාමලය දිස්ත්‍රික්කයේ වැඩිවීම 74.46% කි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ දී වැඩිවීම 53.4% කි.

මේ සිදු ව ඇත්තේ කුමක් ද? මේ සීයට පනහ ඉක්මවන වැඩිවීම් සියල්ල දෙමළ ජනයා බහුතරය වූ දිස්ත්‍රික්ක ය. සිංහල, මුස්ලිම් ජනයා වැඩිපුර වෙසෙන දිස්ත්‍රික්කයවල මෙ වැනි අසාමාන්‍ය වැඩිවීමක් නැත.

මේ ආකාරයට අසාමාන්‍ය ප්‍රතිශතයකින් මාලිමාවට ඡන්ද වැඩි වී ඇත්තේ, ඉන්දියාවට බලපෑම් කළ හැකි ජන සමූහයක් වෙසෙන දිස්ත්‍රික්කවල වීම හුදු අහම්බයක් ද?

දැන් යාපනය දිස්ත්‍රික්කයේ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් ගේ කියුම්-කෙරුම් අනුව දෙමළ ඩයස්‌පෝරාව ද තම උපාය උපක්‍රම වෙනස් කර ඇති බව පෙනේ.

මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ 230 පිටුව

ser23423

ඉන්දියාවේ අදිසි හස්තයක් ක්‍රියාත්මක වී ද යන සැකය සමඟ, මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ 230 පිටුවේ එන ශ්‍රී ලාංකේය ජාතියක් පිළිබඳ ක්‍රියාමාර්ග ද, ඒ වගේ ම අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ 'ද හින්දු'  පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාව ද බැඳී පවතී. මේ අවස්ථා දෙකේ දී ම මෙ රට දෑහිතකාමී ජනයා විසින් පරාජය කරන ලද 2015-2019 කාලයේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අනුගමනය කළ ක්‍රියාදාමය කඩිනමින් අවසන් කිරීමක් ගැන සඳහන් ව ඇත. 'ද හින්දු' (The Hindu, 2024/09/03) පුවත්පත අනුර කුමාර මහතා හා සම්මුඛ සාකච්ඡාව වාර්තා කරන්නේ, "රෝදය නැවත සොයාගත යුතු නැත" යනුවෙනි. මේ කියන්නේ, අලුතින් පටන්ගත යුතු නැත, 2015-2019 ෆෙඩරල් නැතිනම් ඔරුමිත්තනාඬු ව්‍යවස්ථා ක්‍රියාවලිය  නැවතුන තැනින් පටන්ගත හැකි බව ද?

මේ මැතිවරණ ජයග්‍රහණවලින් පසු ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා  ද,  පළාත්සභාවලට එරෙහිව දිවිදුන් විරුවන් සමරණ මේ ඉල් මහේ ම, දැන් පළාත් සභා වසර ගණනාවක් ක්‍රියාත්මක වුණා ආදී වශයෙන් කරුණු දැක්වීම කණගාටුදායක ය.

එහෙත්, ව්‍යවස්ථාවේ  9 වන වගන්තිය ආරක්ෂා කරන බවට, බුද්ධ ශාසනය සුරක්ෂිත කරමින් පෝෂණය කරන බවට හා පළාත් සභාවල දැනට ක්‍රියාත්මක බලතලවලින් ඔබ්බට කිසිවක් නොදෙන බවට මා සහභාගී වූ සාකච්ඡා සභා දෙකක දී ම, සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය කැඳවූ සාකච්ඡාවේ දී විජිත හේරත් මහතාත්, ජනාධිපතිවරණයට පෙර පැවැති අවසන් දෙරණ වාද පිටිය වැඩසටහනේ දී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාත් ප්‍රකාශ කළ හ. ඒ ප්‍රතිඥා, අවංක ප්‍රතිඥා ම වේ වා!

gevindu kumaratunga(ගෙවිඳු කුමාරතුංග)
යුතුකම සංවාද කවය

gevinducumaratunga@gmail.com


(උපුටා ගැනීම : ලංකාදීප - 2024 නොවැම්බර් 24)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මැතිවරණ ප්‍රතිඵල මඟින් කියැවෙන ජනතා අභිලාෂ ! - (ගෙවිඳු කුමාරතුංග) | The Leader