ඒ සඳහා වුවමනා තරම් උදාහරණ තිබේ.
මැතිවරණ පරාජයකින් පසු පක්ෂ කාර්යාලය පක්ෂ මූලස්ථාන පාළු වූ අම්බලම් බවට පත් වන්නේය. බලයේ සිටි කාලයේ සිටි ව්‍යාපාරිකයින් තනතුරු දැරූ අය කැපී පෙනෙන්නට දැඟලූ අය සහ පාක්ෂිකයින් පවා මැතිවරණ පරාජයක උණුසුම දැනෙන්නට තිබියදී පක්ෂ මූලස්ථාන පැත්තකටවත් නොයෙන්නේය. 1956 පරාජයෙන් පසු එක්සත් ජාතික පක්ෂයටත් එසේම විය. 77 පෙරළියට නායකත්වය දුන් ජේ.ආර් ජයවර්ධන තම චරිතාප්‍රදානයේ ඒ ගැන මෙසේ සඳහන් කරයි.

''1956 පරාජයෙන් පසු පක්ෂයේ ප්‍රධාන කාර්යාලය ගරා වැටුණු අම්බලමක් සේ දූවිල්ලෙන් වැසී ගියේය. පරණ ලිපිගොනු පුවත්පත් කඩදාසි හා තැන් තැන්වල කැඩී ගිය පුටු හා මේස වලින් යුතු මුස්පේත්තු හොල්මන් මන්දිරයක් මෙන් ම පාළුවට ගිය සිරිකොතට ඉභාගාතේ යන මං මුලා වූ පාක්ෂිකයෙකු හෝ දෙදෙනෙකු ඉඳ හිට ගොඩවුවත් පක්ෂයට යළි හිස ඔසවන්නට වන්නට හැකි, වෙතයි ඇදහූ අය ඔවුන් අතර සිටියේ නැත. පරණ නායකයන් අතුරින් නිතිපතා සිරිකොතට පැමිණියේ ජේ ආර් ජයවර්ධන පමණි. පක්ෂය මිය දෙන්නට ඉඩ නොතබා රජයට අභියෝගයක් ලෙස පක්ෂය යළි නැගිටුවාලන්නට ඔහු තුළ වූ අධිෂ්ඨානය හැමෝගෙම මවිතයට හේතු විය.
ඉහළට ගිය ඔන්චිල්ලාව යළි පහළට එනවා.. එකල ජෙ.ආර් ජයවර්ධන නිතරම තම සගයන් දිරිමත් කළේ එසේ කියමිනි. 1956 දී මැතිවරණයෙන් පරාජයට පත් වුවද එක්සත් ජාතික පක්ෂයට ලක්ෂ හතක් ජන්ද ලැබී තිබිණි. පක්ෂය ටිකෙන් ටික නඟා සිටුවමින් පළමු ජය ලබා ගත්තේ 1956 පැවති කොළඹට නගර සභා මැතිවරණයේදීය. සමහරුන් එම මැතිවරණයට තරග නොකළ යුතු බව කියද්දී ජේ ආර් කීවේ තරග කළ යුතු බවය. පක්ෂයේ ප්‍රධානීන් සියලු දෙනාම නගර සභා මැතිවරණය වෙනුවෙන් වෙහෙසි වීදියෙන් විදියේ රැස්වීම් සංවිධානය කළහ. ගෙදරින් ගෙදරට ප්‍රචාරක ව්‍යාපාරයෙහි යෙදුණේය. බණ්ඩාරනායක ආණ්ඩුවත් පුදුමයට පත් කරමින් එක්සත් ජාතික පක්ෂයට කොළඹ නගර සභා මැතිවරණය ජයගත හැකි විය.
පක්ෂෙන් ඉවත්ව වෙනත් පක්ෂ වෙත ගොස් සිටි සමහර දේශපාලකයෝද යළි එක්සත් ජාතික පක්ෂය වෙත ආවේය. 1960 හදිසි මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය බහුතරයක් නොමැති රජයක් පිහිටු වුවද රාජාසන කතාව සඳහා විපක්ෂයේ සහාය ලබා ගැනීමට නොහැකි වූයෙන් මාස තුනකින් එම රජය බිඳ වැටුණේය. තවත් වසර පහක දුෂ්කර කාලයක් විපක්ෂයේ ගත කිරීමට එක්සත් ජාතික පක්ෂයට සිදුව තිබුණේය.
1960 මහා මැතිවරණයෙන් පැරදුණු පසු තවත් වසර පහකට පාර්ලිමේන්තු බලයක් ලබා ගැනීමට නම් පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් කළ යුතු බව ජේ ආර් ජයවර්ධන ඇතුළු එක්සත් ජාතික පක්ෂ නායකයෝ තේරුම් ගත්හ. බණ්ඩාරනායක මැතිනියගේ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දුන් දිනට සතියකට පසු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුව ඇරඹීම සඳහා කමිටුවක් පත් කෙරිණි. එම කමිටුව රැස්වීම් වාර දහනමයක් පැවැත්වූ අතර මාස කිහිපයක් ඇතුළත වාර්තාව සූදානම් විය.
එයින් කරුණු පහක් ප්‍රධාන වශයෙන් හඳුනාගත්තේය.
ඉන් පළමුවැන්න වූයේ පක්ෂ ශාඛා වලට නව පනක් දී මුළු දිවයින පුරාම පක්ෂ ශාඛා පද්ධතිය ව්‍යාප්ත කිරීමය.
දෙවැන්න වූයේ ප්‍රතිවාදින් විසින් තම පක්ෂයට පහර දීමට ඉතා සාර්ථක ලෙස උපයෝගී කරගත් ගත ධන බලය සහ වරප්‍රසාද හුවා දැක්වීම.
පොදු ජනයාගෙන් ඈත්වීම වැනි ප්‍රභූ ආකල්පයෙන් මිදීම සඳහා ප්‍රතිරූපය වෙනස් කිරීමය. පක්ෂයේ සියලු තරාතිරම්වල වගකීම් භාර ගැනීම සඳහා උගත් ජාතික ඇඳුමින් සැරසුණු පුද්ගලයින්ට අවකාශ සැලසීම තෙවැනි කරුණයි.
පක්ෂයේ වැදගතුන් හා පිටස්තර උගතුන් සොයාගෙන රජයේ ප්‍රතිපත්තියට එරෙහිව ප්‍රචාරක ව්‍යාපාර ඇරැඹීම ඊළඟ කරුණයි.
පස් වැනි කරුණු වූයේ පක්ෂයට අරමුදල් එකතු කිරීමය.
මෙම කරුණු පාදක කරගත් නව පක්ෂ ව්‍යවස්ථාවක් එදා 1961 වසරේ ජාතික සම්මේලනයේදී සම්මත කර ගැනිණි. ඒ වෙද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට එම පක්ෂය සමග විරසක වූ මාතලේ නිමල් කරුණාතිලක, කුලියාපිටිය දණ්ඩගමුවේ අයි .එම්.ආර්. ඒ ඊරියගොල්ල, ජිනදාස නියතපාල හා පුවත්පත් කලාවේදී ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක ව්‍යාපාරයට එක්ව සිටියහ.

ඊළඟට එක්සත් ජාතික පක්ෂයට මතුවූ ප්‍රශ්නය පක්ෂයේ අරමුදල් නොතිබීමය. එහෙත් තම පක්ෂයට හිතැති ව්‍යාපාරිකයින් සහ ප්‍රභූවරුන් ගෙන් සෑහෙන තරම් මුදල් ලැබුණේ නැත. එහිදී ජේ.ආර් සහ ඩඩ්ලි සේනානායක මහත්වරුන් තම වතුපිටි හා පෞද්ගලික ආදායමෙන් පක්ෂයෙන් නිලධාරීන්ගේ වැටුප් ගෙවීම් හා සිරිකොත නඩත්තු කිරීම සිදු කළහ. ''
ඇතැම් තරුණ සමිති සඳහා සති අන්ත රැස්වීම් පැවැත්වූයේ සේනානායකවරුන්ගේ හා පොල් හා රබර් වතුවලය. ජේආර් ජයවර්ධන චරිතා ප්‍රධානයේ ඒ සම්බන්ධයෙන් මෙවැනි සඳහනක් ඇත.

''1960 ගණන්වල මුල භාගයේදී ඩඩ්ලි සේනානායක සහ ජේආර් යන දෙදෙනාගේ පෞද්ගලික මුදල් සහ අනෙකුත් සම්පත් නොලැබෙන්නට එක්සත් ජාතික පක්ෂය පුනරුත්ථාපනය කිරීම නොකළ හැක්කක් වන්නට ඉඩ තිබිණි.''
ජේආර් ජයවර්ධන චරිතාප්‍රදානයෙන් මෙම කොටස් උපුටා දක්වන්නට සිතුවේ අද වන විට එක්සත් ජාතික පක්ෂය වැටී ඇති තත්ත්වය ඉතිහාසය තුළින් ගෙනහැර දක්වන්නටය. ඒ තුළින් ඉගෙන ගන්නටය.
පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඡන්ද ලක්ෂ විසිතුනක් ලබා ගැනීමට සමත් විය. එහෙත් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එය ජන්ද ලක්ෂ පහට පහත වැටුණේය. පනස් හයේ රැල්ලෙන් මෙන්ම 24 රැල්ලෙන්ද එක්සත් ජාතික පක්ෂය අතුගෑවී ගියේය. ඒ දේශපාලනය සුළි කුණාටුවට හසුවී එක්සත් ජාතික පක්ෂය නැමැති දැවැන්ත වෘක්ෂයේ මුල් උදුරා ගොස් ඇද වැටුනේ නැත.

ලංකාවේ දකුණු දේශපාලනයට නායකත්වය ලබා දෙන එක්සත් ජාතික පක්ෂය නමැති මහා පක්ෂය කෙතරම් බාධක දුෂ්කරතා හැල හැප්පීම් ඇදවැටීම් කුමන්ත්‍රණ හැරයාම් නින්දා අපහාස ය ගැරහුම් මැද වුවද යළි මග හෙළිපෙහෙළි කරගෙන ගමන් ඇරඹිය යුතුව ඇත. ඒ සඳහා අතීත පාඩම් ඉගෙන ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය තුළින්ම කොතෙකුත් පාඩම් ඇත.
ඒවායින් ඉගෙනගෙන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මාර්ගෝපදේශකත්වයෙන් යළි පෙර ගමන් ඇරඹිය යුතුව ඇත. ප්‍රතිසංවිධානය විය යුතුව ඇත. අනුප්‍රාප්තික නායකයින් ගොඩනැගිය යුතුව ඇත. ඒ දුෂ්කර මගහැර අනාගතයට ජයග්‍රහණය සඳහා වෙන මගක් නැත.

ඔව් පුළුවන්. අපි යළි ගමන් අරඹමු.
(නිශාන්ත ශ්‍රී වර්ණසිංහ)
එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රීක් සංවිධායක
හිටපු පළාත් සභා අමාත්‍ය
nishanthasriws@gmail.com
Nishantha Sri Warnasinghe ගේ ෆේස්බුක් පිටුවෙන්..



