The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
විශේෂාංග

ආර්ථිකය කළමනාකරණය. නව රජයේ මග හරි ද? - (පි සමරසිරි)

T

The Leader Desk

November 26, 2024 • 5:29 AM

ආර්ථිකය කළමනාකරණය. නව රජයේ මග හරි ද? - (පි සමරසිරි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොහොසත් රටක් යනු සංවර්ධිත රටක් විය හැකි බැවින් වත්මන් ශ්‍රී ලංකා ආර්ථිකයේ දුක්ඛිත තත්ත්වය දෙස බලන විට, නව රජයේ දැඩි මැදිහත්වීමක් නොමැතිව ශ්‍රී ලංකා ආර්ථිකය එසේ සංවර්ධිත රටක් කළ නොහැකි බව දැක්වීමට ආර්ථික විද්‍යා දැනුම අවශ්‍ය නොවේ.
  • ඇමෙරිකානු නව රජයේ සූදානම 2024 නොවැම්බර් 5 දින ඇමෙරිකානු මැතිවරණයෙන් ඓතිහාසික ජයක් ලැබු රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට ෆෙඩරල් රජය ඉදිරි වසර 4 ක කාලයක් සඳහා ව්‍යවස්ථානුකූලව භාර ගැනීමට දින 75 ක කාලයක් ලැබී ඇත.
  • ජනාධිපති මැතිවරණයේ ඡන්දයෙන්ම තේරී පත්වන ඇමෙරිකාවේ නීති සම්මත කිරීම සහ අධීක්ෂණය සඳහා වූ කොන්ග්‍රස් මණ්ඩලය සහ සෙනට් සභාව ද මෙවර රිපබ්ලිකන් පක්ෂයේ පහසු බහුතරයට පත් වී ඇත.
  • සෙනෙට් පරික්ෂණයන් ද මාර්ගගත ලෙස මාධ්‍යයට විවෘත වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම ලිපියේ අරමුණ වන්නේ, නව රජය විසින් "පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්" යන තම මැතිවරණ පොරොන්දුව ඉටු කිරීම සඳහා ආර්ථිකය කළමනාකරණය කිරීමේ දී, ආර්ථික ක්‍රියාකාරකම් සිදු වන වෙළෙඳපොළ පද්ධතියට මැදිහත් වීම සඳහා රාජ්‍ය ආයතන සහ නිලධාරී පද්ධතිය සකසා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ ව කෙටි සටහනක් තැබීම යි.

පොහොසත් රටක් යනු සංවර්ධිත රටක් විය හැකි බැවින් වත්මන් ශ්‍රී ලංකා ආර්ථිකයේ දුක්ඛිත තත්ත්වය දෙස බලන විට, නව රජයේ දැඩි මැදිහත්වීමක් නොමැතිව ශ්‍රී ලංකා ආර්ථිකය එසේ සංවර්ධිත රටක් කළ නොහැකි බව දැක්වීමට ආර්ථික විද්‍යා දැනුම අවශ්‍ය නොවේ.

ඇමෙරිකානු නව රජයේ සූදානම 

 


2024 නොවැම්බර් 5 දින ඇමෙරිකානු මැතිවරණයෙන් ඓතිහාසික ජයක් ලැබු රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට ෆෙඩරල් රජය ඉදිරි වසර 4 ක කාලයක් සඳහා ව්‍යවස්ථානුකූලව භාර ගැනීමට දින 75 ක කාලයක් ලැබී ඇත. ජනාධිපති මැතිවරණයේ ඡන්දයෙන්ම තේරී පත්වන ඇමෙරිකාවේ නීති සම්මත කිරීම සහ අධීක්ෂණය සඳහා වූ කොන්ග්‍රස් මණ්ඩලය සහ සෙනට් සභාව ද මෙවර රිපබ්ලිකන් පක්ෂයේ පහසු බහුතරයට පත් වී ඇත.  

* එබැවින්, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මේ දිනවල ක්‍රමානුකූලව තම කැබිනට් මණ්ඩලය සහ මහ බැංකු අධිපති හැර රාජ්‍ය ආයතන ප්‍රධානීන් නම් කිරීමේ නිරත වී සිටී. ඔවුන් සියළු දෙනාම, තනි තනිව සෙනෙට් සභාවට කැඳවා දීර්ඝ ප්‍රශ්න කිරීමකින් පසු, සෙනට් අනුමැතිය ලබා ගත යුතුය. ඔවුන්ගේ යෝග්‍යතාවය පිළිබඳ ව මාධ්‍යය පුරා කෙරෙන ස්වාධීන ඇගයීම් මේ දිනවල දැකිය හැකිය. සෙනෙට් පරික්ෂණයන් ද මාර්ගගත ලෙස මාධ්‍යයට විවෘත වනු ඇත.
 
 
* ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ආධාර කරුවන් පවසන්නේ, මහජනයා ඡන්ද දුන්නේ වත්මන් රාජ්‍ය නිලධාරීන් නොව, තමන් පත් කළ නියෝජිතයන් විසින් රට පාලනය කිරීමට බවත්, එබැවින්, සමස්ත රාජ්‍ය නිලධාරී සහ ආයතන පද්ධතිය තමන්ට මනාප ලෙස වෙනස් කොට නැවත සකසන බවත් ය. ඒ අනුව, අකාර්යක්ෂම රාජ්‍ය නිලධාරීන් සහ ආයතන අවසන් කිරීමේ මෙහෙයවුමක් දියත් කොට ඇත. ඒ සඳහා ලෝක ප්‍රකට ව්‍යවසායකු වන එලෝන් මස්ක් සහ ධනවත් ව්‍යවසායකයකු සහ රිපබ්ලිකන් දේශපාලනික ක්‍රියාකරුවකු වන විවේක් රාමස්වාමි පත් කොට ඇත. ඔවුන් විසින් ඩොලර් ට්‍රිලියන 2 ක පමණ රාජ්‍ය වියදම් ඉතිරි කිරීමට අවශ්‍ය රාජ්‍ය ප්‍රතිසංස්කරණයන් ඉදිරි මාස 18 තුළ නිම කරනු ඇත.(වීඩියෝව).
 
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උද්ධමන සහ ජීවන වියදම පාලන පොරොන්දුව වන්නේ, වෙළෙඳපොළට බාධා කෙරෙන නියාමනයන් ළිහිල් කිරීම සහ ඉවත් කිරීම හරහා නිෂ්පාදන පිරිවැය පහළ දැමීම සහ ඵලදායිතාවය ඉහළ දැමීම තුළින් භාණ්ඩ හා සේවා මිල ගණන් පහළ දැමීම යි. එබැවින්, ඔහුගේ ප්‍රතිපත්ති දැක්ම වන්නේ, ඇමෙරිකාව නැවත උසස් කිරීම (Making America great again) සඳහා රාජ්‍ය සේවය පිරිසිදු කිරීම, වෙළෙඳපොළ නිදහස පන ගැන්වීම සහ විදේශ වෙළෙඳ තරගයෙන් දේශීය ආර්ථිකය අරක්ෂා කිරීම යි.

ශ්‍රී ලංකා නව රජයේ සුදානම
 


සැප්තැම්බර් 21 දින ජනාධිපති මැතිවරණයෙන් ද, නොවැම්බර් 14 දින පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද ඓතිහාසික 2/3 කට වැඩි ඡන්ද පරමාධිපත්වයක් හිමි කර ගෙන ඇති ශ්‍රී ලංකා නව රජය විසින් රාජ්‍ය පාලනය තම අතට ගැනීම සඳහා පසුගිය දිනවල ලහි ලහියේ ඇමති මණ්ඩලය, අමත්‍යංශ ලේකම් වරුන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් පත් කිරීම කරන ලදි. එසේම, රාජ්‍ය බලය පෙන්වීම සඳහා එහෙන් මෙහෙන් නව ප්‍රතිපත්ති මෙවලම් කිහිපයක් ද ඉදිරිපත් කරන ලදි.

* පසුගිය දිනවල ඇමති වරුන් තම අමාත්‍යංශවලට පළමු වරට ගිය අවස්ථාවේ දී දුටු පොදු ලක්ෂණය වූයේ, නිලධාරීන් කියන ආකාරයට හැසිරීම යි. එනම්, පිළි ගැනීම, කාර්යාලයට යාම, මල් වට්ටියක් පුජා කිරීම, වැඩ භාර ගැනීමේ ලිපි ගොන්නක් අත්සන් කිරීම සහ කථාවක් මාධ්‍යයට පැවත්වීම යි.
 
 
* සියළුම ඇමති වරුන් රාජකාරි භාර ගත් බවට, නිලධාරීන් විසින් දෙන ලද ලිපි රැසකට අත්සන් කිරීම මවිතය ජනිත කරන සිද්ධියකි. ව්‍යවස්ථාව අනුව මහජනතාව විසින් පාර්ලිමේන්තුවට පත් කොට, ජනාධිපති විසින් ඇමති වරයෙකු ලෙස පත් කොට දිවුරුම් ලබා, ගැසට් කොට, අමාත්‍යංශයට පැමිණෙන ඇමති වරයාට තම පත්වීම ලබා ගැනීමට සිදු වූයේ නිලධාරින්ගෙනි. සමහර ඇමති වරුන් අත්සන් දෙකේ සිට අත්සන් 6 ක් පමණ නිලධාරීන් පෙන්වන එක එක පිටුවල තබන ලදි. කිසිම ඇමතිවරයෙකු විසින් එම පිටුවල සටහන් කොට ඇති කරුනු කියවන බවක් හෝ විමසීමක් කරන බවක් නොපෙනිණ. ඔවුන්ට නිලධාරීන් පළමු දිනයේ දී ම එතරම් විශ්වාසවන්තය,
 
* තව ද, ඇමති වරුන් පැවැත් වූ කථාවන් සියල්ල ආගමික කථාවක මෙන් හොඳ ක්‍රියාවන් සහ ඔවදන් විය. ඉන් කිසිම නව ප්‍රතිපත්ති දැක්මක් ඉදිරිපත් නොවූ අතර රට ගොඩ ගැනීම සඳහා නිලධාරීන් ස්වාධීනව වැඩ කල යුතු බවත්, ඇමති වරුන් ඔවුන්ට ඇගිලි නොගසන බවත් අවධාරණය කෙරින. 

* එක් ඇමති වරයෙකු විසින් නිලධාරීන්ට වැඩ කිරීමට හෝ බැරි නම් ඉවත් වී යාමට හැකි  බවත්, අමාත්‍යංශවල වගකීම් නිලධාරීන් විසින් ගත යුතු බවත් ප්‍රකාශ කරන ලදි. රාජ්‍ය නිලධාරීන්ට වැඩ නොකරම සිට විශ්‍රාම ගොස්, ජීවිත කාලය පුරා තමන්ට සහ වැන්දඹු සහ අනත්දරු රාජ්‍ය විශ්‍රාම වැටුපක් ද ලබා ගැනීමේ නෛතික ආරක්ෂාව තිබෙන බව එම ඇමතිවරයා නොදන්නවා නොවිය හැකිය.
 


* විධායක ජනාධිපති වරයා විසින් මුදල් ඇමති ලෙස මුදල් අමාත්‍යංශයට පැමිණි අවස්ථාවේ දී පවා, නිලධාරීන් විසින් නිකුත් කළ පත්වීම් ලිපිවලට අත්සන් කරන ලදි. එසේම, ජනාධිපති වරයා විසින් මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවේ, සිංගප්පූරුවේ මෙන් ඉහළ විදේශ සංචිතයක් සහ ගුණාත්මක රාජ්‍ය සේවයක් ශ්‍රී ලංකාවේ ද ගොඩ නැගීමට ක්‍රියා කරන ලෙස යි. රජය සහ ආර්ථිකය බංකොලොත් කළ මුදල් අමාත්‍යංශ ලේකම්ගෙන්, දශක ගණනක් ගත විය හැකි එවැනි වගකීමක් බලාපොරොත්තු වීම උගහට ය. සිංගප්පූරුවේ මෙන් එය කළ යුත්තේ, ලී කුවාන් යූ වැනි එඩිතර රජයක් විසිනි.


සමස්තයක් ලෙස කිසිම ඇමති වරයෙකුගෙන් තම සමස්ත මැතිවරණ පොරොන්දුවට අදාළ නව ක්‍රමයක සහ නව ප්‍රතිපත්ති දැක්මක සේයාවක්වත් නිකුත් වූයේ නැත. එහෙත්, මා බලාපොරොත්තු වූයේ, මෑත දී දුටු වේගය සහ ලැබී ඇති මහජන බලය අනුව මැති ඇමති වරුන් රාජ්‍ය ආයතන තුළට ගොස්, ඒවා පොදු මහජනයාට ප්‍රිය වන ලෙස උඩු යටිකුරු කරනු ඇතැයි යන්න යි. එබැවින්, මට දැන් හැඟී යන්නේ, ඇමෙරිකාවේ නව රජය මෙන් නොව, ශ්‍රී ලංකා නව රජය නිලධාරීන් විසින් දැනට තිබෙන ක්‍රමයටම කර ගෙන යනු ඇති බව යි. අතීතයේ රජයන් මෙන් නොව, විශාල ලෙස මහජන චෝදනාවන්ට ලක් වී ඇති මුදල් ලේකම් සහ මහ බැංකු අධිපති තනතුරු පවා වෙනස් කිරීමට නව රජය අසමත් වීමෙන් ඒ බව පැහැදිළි ය. 

 
රටේ සමස්ත මූල්‍ය ක්‍රමය මෙහෙයවන එම නිලධාරීන් දෙදෙනා, මහජනයා විසින් ප්‍රතික්ෂේප කරන ලද පසුගිය රජයේ IMF සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ආකල්පයන් දරන පුද්ගලයන් ය. එබැවින්, නව රජයේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ආකල්පයන් අනුව ඔවුන් වෙනස් විය නොහැකිය. එසේ වෙනස් වෙයි නම්, ඔවුන්ගේ ආර්ථික විද්වත් පුද්ගල ඒකාග්‍රතාවය පිළිබඳ විශාල ගැටළුවක් පැන නගී. එසේම, ඔවුන්ගේ IMF ආර්ථික ප්‍රතිපත්ති ආකල්පයන්ට නව රජය අනුගත වුවහොත්, මහජන විශ්වාසය ආරක්ෂා කිරීම පිළිබඳ විශාල ගැටළුවකට රජය මුහුණ දෙනු ඇත. තමන්ට විශ්වාසී නිලධාරීන් හරහා මූල්‍ය ක්‍රමයේ පූර්ණ බලය නැති රජයකට ආර්ථිකය කළමනාකරණය කළ නොහැකිය. ඊට හේතුව, නූතන ආර්ථිකයන්හි මුදල් නොමැතිව කිසිවක් කළ නොහැකි බැවිනි. එම මුදල් බාහිර බලවේගයකින් හෝ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හරහා අතීත නිදන් වස්තුවකින් හෝ නොලැබෙනු ඇත.
 
ආර්ථිකය කළමනාකරණය
 
ආර්ථික අර්බුදය ගැන ආචාර්ය ලයනල් බෝපගේ විග්‍රහයක් - (පළමුවන කොටස)
ඕනෑම රජයක් විසින් ආර්ථිකය කළමනාකරණය කරනුයේ, රාජ්‍ය පාලන තන්ත්‍රය හරහා ය. ආර්ථිකය කළමනාකරණය යනු නිෂ්පාදන ක්‍රියාකාරකම් කෙරෙහි රජය මනාප පරිදි මැදිහත් වීමේ ක්‍රමවේදය යි. ආර්ථිකයක නිෂ්පාදන ක්‍රියාකාරකම් සිදු වන්නේ, වෙළෙඳපොළ පද්ධතිය හරහා වන බැවින්, ආර්ථික කළමනාකරණය යනු හුදෙක් රජය විසින් වෙළෙඳපොළ පද්ධතියට කෙරෙන මැදිහත් වීමේ ක්‍රමෝපාය යි (වැඩි විස්තර සඳහා පසුගිය ලිපිය කියවන්න)

* එය පුළුල් වශයෙන් රාජ්‍ය අයවැය සහ මහ බැංකු මුදල් නියාමනය ලෙස කොටස් දෙකකට බෙදිය හැකිය. ඒවා සතු ප්‍රධාන මෙවලම් කාණ්ඩයන් වන්නේ, රාජ්‍ය බදු, රාජ්‍ය වියදම්, රාජ්‍ය ණය, රාජ්‍ය ව්‍යවසායන්,  මුදල් මුද්‍රණය සහ වෙළෙඳපොළ නියාමනයන් ය. එසේ නිර්මාණය කළ හැකි මෙවලම් සංඛ්‍යාව නොදනී. සියළුම රාජ්‍ය ආයතනයන්, නිලධාරීන් සහ නියෝජිතයන් ඒ අශ්‍රිතව ක්‍රියාත්මක වෙයි.
 
* ඕනෑම ප්‍රතිපත්ති මෙවලමක් තුළින් වෙළෙඳපොළවල් රාශියක දැනට පවතින ස්ථායිතාවය වෙනස් වන අතර, එය වෙළෙඳපොළ පද්ධතිය පුරා කාලයක් තුළ පැතිර යනු ඇත (සම්ප්‍රේෂණය). එබැවින්, සෑම මෙවලමක්ම ක්‍රියාත්මක කළ යුත්තේ, එම පැතිරීමේ හොඳ සහ නරක ප්‍රතිඵල සහ කාල රාමුව පිළිබඳ නිසි දත්ත ඇගයීමක් සහිතව ය. එසේ නැතිව, පුද්ගලික සමාජ ආර්ථික සංකල්පයන් විප්ලවකාරී ලෙස අත් හදා බැලීම සඳහා මෙවලම් ක්‍රියාත්මක කිරීමට යාම ඉතා අවදානම්කාරී වෙයි. ඊට හේතුව, වෙළෙඳපොළවල් හැසිරෙන සහ ප්‍රතික්‍රියා කරන ආකාරය කිසිම ආර්ථික ජගතෙකුට නිවැරදිව පුරෝකථනය කළ නොහැකි බැවිනි. එවැනි හැකියාවක් තිබුණේ නම්, ඉතා පළපුරුදු ජාතික ආර්ථික කළමනාකරුවන් දෙදෙනෙකු වූ වත්මන් මුදල් ලේකම් සහ මහ බැංකු අධිපති විසින් තනතුරු භාර ගෙන දින හතරක් තුළ එක් වර ණය පැහැර හැර රජය සහ ආර්ථිකය බංකොලොත් කිරීමේ අවස්ථාවක් උදා නොවනු ඇත.
 
රාජ්‍ය සේවකයන්ට නිවාස ළඟට ම මාරුවක්
 
* එබැවින්, ඇමෙරිකාවේ මෙන්, නව රජයේ පොදුජන ඉලක්කයන් සහ සමාජ ආර්ථික දැක්ම ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි රාජ්‍ය ආයතන සහ නිලධාරී පද්ධතිය විගසින් සැකසීම අත්‍යාවශ්‍ය ය. රාජ්‍ය නිලධාරී සහ ආයතන පද්ධතිය යනු තම මහජන කාර්යභාරය ඉටු  කිරීම සඳහා වගකීම භාර ගෙන වැඩ කිරීමේ අභ්‍යන්තර පාලන ක්‍රමයක් නොව, වගකීම් භාර නොගෙන ස්වාධීනව වැඩ නොකිරීමේ අභ්‍යන්තර පාලන ක්‍රමයකි. එවැනි රාජ්‍ය පාලන ක්‍රමයක් තුළ, නව රජයේ පොරොන්දු සටන් පාඨය ඉටු කිරීමට උත්සාහ කිරීම පවා සිතා ගත නොහැකිය. එය, එහෙන් මෙහෙන් ආචාර්ය මහාචාර්ය වරුන් කිහිප දෙනකු පත් කිරීමෙන් කළ හැකි දෙයක් නොවේ. 


එබැවින්, නව රජයේ මහජන පොරොන්දු ඉටු කිරීමේ හැකියාව සහ කාර්ය සාදනය රඳා පවතින්නේ මෙම රාජ්‍ය පාලන පද්ධති සැකසුම මත ය. එය සිදු නොකොට, කාලය මැසි වේගයෙන් හඹා ගිය පසුව, සුපුරුදු පරිදි නිලධාරී වාදයට හෝ යටි කුමන්ත්‍රණයන්ට හෝ දොස් තැබීමෙන් ඵලක් නැත. 

ඊට හේතුව, ඇමෙරිකානු ජනාධිපති විසින් ද පවසන පරිදි මහජනයා විසින් දේශපාලන නායකයන් පත් කරන්නේ, ඔවුන් විසින් දෙන පොරොන්දු අනුව ඔවුන් විසින් රට සහ ආර්ථිකය පාලනය කිරීමට මිස, දැනට සිටින නිලධාරීන් විසින් එය සිදු කිරීමට නොවේ. එසේ නොවන විට, ශ්‍රී ලංකාවේ මෙන් බොහෝ රටවල ඓතිහාසික මැතිවරණ ජයග්‍රහණයන් උදම් අනමින් සිටින විට පවා, ඒවා අනපේක්ෂිත ලෙස ඉදිරිපස හෝ පසුපස දොරෙන් පලා ගොස්, පොදුජන ජීවිතය කඩා බිඳ දැමීම සාමාන්‍ය අත්දැකීම යි.  

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

P Samarasiri(පි සමරසිරි)

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 
(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)

(economydiscovery -  - November 25, 2024)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...