The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
විශේෂාංග

දහසක් සිහින පිරුණු සියනෙතුගම - විශාඛා වේහැල්ල

T

The Leader Desk

November 26, 2024 • 4:39 PM

දහසක් සිහින පිරුණු සියනෙතුගම - විශාඛා වේහැල්ල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තිස්සමහාරාම නගරයේ සිට කිලෝමීටර් 10ක් පමණ කතරගම දෙසට ගිය අපි, රන්මිණිතැන්න සිනමා ගම්මානය පසු කර, කන්දෙ විහාරය අසල මඳක් නතර වුණෙමු.
  • සමහර දවසට මග වියදමවත් හම්බවෙන්නෙ නැහැ.
  • හැමදාම හොඳ දවසක් වෙන්න කියල හිතාගෙන තමයි අපි මගට බහින්නේ." සියනෙතුගම ඔවුන්, ඒ අසලින් වැටි ඇති අතුරු මාවත දිගේ කිලෝමීටර් එකහමාරක පමණ දුරක් ගිය විට හමු වන ‘සියනෙතුගම’ පදිංචිකරුවන්ය.
  • සියනෙතුගම සිහිවටන ඵලකය "අපි මේ ගමේ පදිංචියට ආවෙ 2018දි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

තිස්සමහාරාම නගරයේ සිට කිලෝමීටර් 10ක් පමණ කතරගම දෙසට ගිය අපි, රන්මිණිතැන්න සිනමා ගම්මානය පසු කර, කන්දෙ විහාරය අසල මඳක් නතර වුණෙමු. වැසි සමයේ ළා කොළ පැහැයෙන් සැරසූ ගහ කොළ උදෑසන අරුණලු සමඟ සිනාසෙයි. හන්දියේ කුඩා තේ කඩයේ උණු උණු ආප්ප තැම්බෙන සුවඳ, අප එදෙසට ඇදගත්තේ චුම්බක ආකර්ෂණයකින් මෙනි.

එහි හිඳගෙන, නිහඬව උණු ආප්ප රස විඳිමින් සිටි වැඩිහිටි කාන්තාවන් දෙදෙන අසල සුදු සැරයටි දෙකකි. පසෙක තැබූ පැසෙහි වූ හඳුන්කූරු පෙට්ටිවලින් විහිදුණු මිහිරි සුවඳ උණු ආප්ප සුවඳ හා තරග කළේය.


"වෙළෙඳාමෙ යනව වගේ?"


අපේ කටහඬ ඇසුණු දෙසට ළයාන්විත සිනහවක් පෑ ඔවුහු, දැන හැඳින ගැනීමේ කෙටි අදහස් හුවමාරුවකින් පසු, තම ජීවිතවල එක් පැතිකඩක් අප හමුවේ හෙළි කළෝය.

"අපි මේව අරගෙන හැමදාම උදේට මගට බහිනවා. ඒ ගමනට පොඩ්ඩක් හරි පේන කෙනෙක් ඉන්න ඕන. නැත්නම් ඇස් පේන කෙනෙක්ව උදව්වට එක්කගෙන යන්න ඕන. එක වතාවක් ගියපු දිහාට ආයෙම කාලෙකට යන්න බැහැ, හැමදාම එනව කියල මිනිස්සු දොස් කියනවා. දවසට කිලෝමිටර් ගාණක් ඇවිදිනවා. සමහර දවසට මග වියදමවත් හම්බවෙන්නෙ නැහැ. වැහි කාලෙට ඉතින් හුළං තමයි. හොඳ දවසුත් තියෙනවා. හැමදාම හොඳ දවසක් වෙන්න කියල හිතාගෙන තමයි අපි මගට බහින්නේ."

සියනෙතුගම


ඔවුන්, ඒ අසලින් වැටි ඇති අතුරු මාවත දිගේ කිලෝමීටර් එකහමාරක පමණ දුරක් ගිය විට හමු වන ‘සියනෙතුගම’ පදිංචිකරුවන්ය. ඒ හමුවෙන් පැය බාගයකට පමණ පසුව අප සිටියේ, සියනෙතුගම ප්‍රේමදාස මල්ලවාරච්චි (අවු. 70) මහතාගේ නිවසේදී ඒ ගමේ සුලමුල ගැන විස්තරයට සවන් දෙමිනි. ඔහු සියනෙතුගම දෘශ්‍යාබාධිත ප්‍රජා සංවර්ධන සමිතියේ ලේකම්වරයාය. එහි සභාපතිවරයා වූ  දඩල්ලගේ ප්‍රසන්න මහතාද අප හා කතාබහට එක් විය.

සියනෙතුගම සිහිවටන ඵලකය


"අපි මේ ගමේ පදිංචියට ආවෙ 2018දි. ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත සංවිධානයේ හම්බන්තොට ශාඛාවේ සභාපති නන්දසිරි වනිගසිංහ මහත්තයාගේ ඉල්ලීම මත, හම්බන්තොට දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල දෘශ්‍යාබාධිත අයගෙ පවුල් 29ක් තෝරලා, සජිත් ප්‍රේමදාස මහත්තයා තමයි අපට මේ ගම හදල දුන්නෙ. පර්චස් 15ක ඉඩමක හිමිකම සමග නිවසක්, විදුලිය, ජල පහසුකම් අපට තියෙනවා. ගමේ ඉන්න හැමෝම මොනම හරි කර්මාන්තයක නිරත වෙලා ස්වෝත්සාහයෙන් ජීවත්වෙන්න වෙර දරන අය. හැබැයි අපට විසඳගන්න ගැටලු ගොඩක් තියෙනවා."

 

ප්‍රේමදාස මල්ලවාරච්චි- ලේකම්

ප්‍රේමදාස මහතා පැවසූ පරිදි, ගමේ පදිංචි දෘශ්‍යාබාධිත නිවාසලාභීන් හැම කෙනෙක්ම කවර හෝ වෘත්තීය පුහුණුවක් ලැබූවන්ය. සමහරු වෘත්තීන් කිහිපයක නිපුණයන්ය. හඳුන්කූරු නිෂ්පාදනය, පාපිසි ගෙතීම, කොහු ඉදල් කර්මාන්තය, පොල්කටු හැඳි සෑදීම, සබන් කර්මාන්තය, රෙදි විවීම, පන් පැදුරු විවීම, දොදොල්, පැණි බුන්දි, පුහුල් දෝසි, කිරිටොපි වැනි රසකැවිලි සහ බයිට් වර්ග සෑදීම ඒ අතර වෙයි.

අපූරු ජනහමුවක්

දඩල්ලගේ ප්රසන්න සබාපතිදඩල්ලගේ ප්‍රසන්න


මේ කතාබහ සිදු වෙමින් පවතින අතරතුර මඳකට සමුගෙන ගිය සභාපති ප්‍රසන්න මහතා ආරංචියක්ද රැගෙන යළි පැමිණියේය. "යමු, ගමේ අය බුදු මැදුරට රැස් වෙලා ඉන්නවා ඔයගොල්ලො මුණගැහෙන්න" 


අප කතාබස් කරමින් සිටින අතරතුර ඔහු ගම පුරා ගොස් පණිවිඩය දී තිබිණි. ඔහු සුදු සැරයටිය රැගෙන ඉස්සර විය. අපි ඔහු පසුපසින් ඇවිද ගියෙමු. වැඩිහිටි, තරුණ, බාල මහලු බොහෝ පිරිසක් ගම මැදට වන්නට පිහිටි බුදු මැදුරට රැස්ව උන්හ. චතුර කථිකයකු වූ කේ.එච්. ජයරත්න මහතා රැස්ව සිටි පිරිසට අප හඳුන්වා දුන්නේය. අපි රවුමට බිම ඉඳගෙන, ඔවුන්ගේ ජීවන තතුද, ගැටලු හා අනාගත අපේක්ෂාවන් ගැනද කතා කළෙමු. සමිතියේ උප සභාපති කිංස්ලි කොඩිතුවක්කු මහතා, පොදු ගැටලු ගැන අපට පැහැදිලි කළේය.

 

ගම්වැසියන්

රැස්වීමට පැමිණි ගම්වැසියෝ

"අපට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි, හැකියාවන් රැසක් තිබුණත් ඒ කර්මාන්ත කරගෙන යන්න පහසුකම් නැති එක. අමුද්‍රව්‍ය ගේන්න වියදමක් යනවා. ආයෙ නිෂ්පාදනය වෙළෙඳපොළට ගෙනියන්න වියදමක් යනවා. ඒ වැඩට තව අයගේ සහාය ඕන වෙනවා. ඒ ඔක්කොම විදයම් ගියාම අපට ලැබෙන ලාභයක් නැහැ. ආයෝජකයන් ඉදිරිපත් වෙලා අමුද්‍රව්‍ය ගෙනත් දීලා නිෂ්පාදන අරගෙන යනව නම් ඒ කිසිම ගැටලුවක් මතුවෙන්නෙ නැහැ. අපේ නිෂ්පාදන අලවි කරන්න අපේම තැනක් ලැබෙනව නම් ඒත් හොඳයි."

කිංස්ලි කොඩිතුවක්කු උපසභාපති

කිංස්ලි කොඩිතුවක්කු- උපසභාපති


ගමේ සිට ප්‍රධාන මාර්ගයට ත්‍රී රෝද රථ ගාස්තුව රුපියල් 150කි. යාම් ඊම් දෙකට 300කි. එතැන් සිට ආසන්නම නගරය වූ තිස්සමහාරාමයට බස් ගාස්තුව රු. 75කි. යාම් ඊම් දෙකට 150කි. සහායකයාටත් සමග 300කි. ඒ අනුව නගරයට ගොස් ඒමට ගමන් ගාස්තු පමණක් රු. 600ක් වැය වේ. 


සුමනසිලි වනිගසිංහ මහත්මිය පෙන්වා දුන්නේ හැමදාම තිස්සමහාරාමයට පමණක් ගොස් වෙළඳාම් කළ නොහැකි බවය. "අම්බලන්තොටට, හම්බන්තොටට, කතරගමට යන්න වෙනවා. එතකොට තවත් වියදම් යනවා. සමහර දවසට මග වියදමත් පාඩුයි."

 Screenshot 2024 11 26 at 21.37.23

සුමනසිලි වනිගසිංහ

ඇය දැනට පාපිසි ගෙතිමේ හා හඳුන්කූරු ව්‍යාපාරයේ නිරතව සිටියි. පාපිසි සඳහා රෙදි පටි රැගෙන එන්නේ මාතරිනි. හඳුන්කූරු කොළඹිනි. ඇය ඒවාට සුවඳ කවා, පැකට් කර, තොග සහ සිල්ලරට අලවි කරයි. ලියාපදිංචියද සහිතව කුරක්කන් පිටි ව්‍යාපාරයක් ඇය සාර්ථකව කරගෙන ගිය නමුත් කොරෝනා සමයේ ආර්ථික අර්බුදය හේතුවෙන් ව්‍යාපාරයට යෙදවීමට තිබූ ප්‍රාග්ධනය ක්ෂ ව යෑම නිසා එය ඇණහිටි බව ඇය පැවසුවාය. දරුවන් සිව් දෙනෙකුගේ මවක වන ඇයගේ සැමියා ගසකින් වැටිම නිසා ආබාධිතව සිටියි. බාලම දරුවා කථනාබාධ සහිත වූවෙකි. විරැකියාවෙන් පෙළෙන වැඩිමල් දරුවන් ඉඳහිට කරන කුලී වැඩක් හැරුණු විට, පවුලේ එකම ආදායම් මාර්ගය ඇගේ ස්වයං රැකියාවයි. "මාසෙ ආදායම වගේම වියදමත් මෙච්චරක් කියල කියන්න බැහැ. වැස්ස කාලෙට කිසිම ආදායමක් නැහැ. කකුල් ගෙවෙනකල් ඇවිදලත් රුපියල් තුන්සීයක්වත් හොයාගන්න බැරි දවස් තියෙනවා." ඇය පැවසුවාය.

කුසුමාවතී වික්‍රමසිංහ මහත්මිය කරන්නේද පාපිසි විවීමය. පාපිස්සක් විවීමට දවසක් පමණ ගතවන අතර අමුද්‍රව්‍ය මිල අයින් කළ විට ඇයට ලැබෙන්නේ ඉතා සුළු ලාභයකි. ඇය ගමට පැමිණෙන අමුත්තන්ට ඒවා අලවි කරයි.


ආයුර්වේද සම්බාහන ශිල්පය


ඔවුන්ගෙන් හත් අට දෙනෙකුවත් තවත් සුවිශේෂ ශිල්පයක් පිළිබඳ වෘත්තීය පුහුණුවක් ලබා සිටිති. ඒ ආයුර්වේද සම්බාහනයයි. තංගල්ලේ නවජීවන ආයතනයේ මැදිහත්විමෙන් තෙමසක පුහුණුවක් සම්පූර්ණ කර, සහතික ලත් තෙරපිවරුන් හා තෙරපිවරියන් වූ ඔවුන්ගෙන් ඇතැමෙක් එම වෘත්තියෙහි නිරතව සිටිති. ගමේ සුබසාධක සංගමයේ සභාපති ප්‍රසන්න මහතාද එම පුහුණුව ලැබූවන්ගෙන් කෙනෙකි. වසන්තා කුමාරි මහත්මිය, ඒ ගැන වැඩිදුරටත් විස්තර කළාය.

 වසන්තා කුමාරි

වසන්තා කුමාරි


"අපි 2020දි අට දෙනෙකුගේ කණ්ඩායමක් මේ පාඨමාලාවට සම්බන්ධ වුණා. මාස 6ක පුහුණුවක් මාස 3කදි සම්පූර්ණ කරන්න අපට අවස්ථාව ලැබුණා. කණ්ඩායමෙන් 6 දෙනෙක් පුහුණුව සම්පූර්ණ කරලා සහතික ගත්තා. මම ඊට අමතරව, 2022දි කොළඹ කොරියානු උපදේශකවරයකු යටතේ කොරියානු සම්බාහනය ගැනත් මාස 2ක පුහුණුවක් ලබල තියෙනවා. දේශීය වෛද්‍යවරයකුගෙ සායනයක කාලයක් වැඩ කරලත් තියෙනවා. දැන් තනියම වැඩ කරනවා. අවශ්‍ය පහසුකම් සහ තැනක් තියනව නම්, මේ වෘත්තියෙන් හොඳ ආදායමක් ලබන්න පුළුවන්."

ආයුර්වේද වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව ලබා දෙන විවිධ මට්ටමේ සම්බාහනයන් සඳහා විවිධ මිල ගණන් අය කරන බවත්, සාමාන්‍යයෙන් රු. 6,000ක් පමණ අය කරන පූර්ණ සම්බාහනයක් (Full body massage) රු. 3500-4000ක් වැනි මිලකට ලබා දිය හැකි බවත් ඇය පැවසුවාය. ඔවුන්ට තිස්සමහාරාම, කතරගම හෝ වෙනත් නගරයක පහසුකම් සහිත සම්බාහන මධ්‍යස්ථානයක් හා ප්‍රවාහන පහසුකම් සපයා දිය හැකි නම්, එය සංචාරක ආකර්ෂණය දිනාගත හැකි කදිම ආයෝජනයකි.

 

පොදු ගැටලු හා විසඳුම්


හැමෝටම කියන්නට කතාවක් තිබිණි. හැමෝටම, තමන්ගේ නිවෙස්වලට අප කැඳවාගෙන ගොස් සිය නිෂ්පාදන හා ඒවා කරන හැටි පෙන්විමට උවමනා විය. අපි එය ඊළඟ අදියරට තබා, පොදු ගැටලු සහ ඒවාට ඔවුන් යෝජනා කරන විසඳුම් පිළිබඳව ඔවුන්ගෙන් ඇසුවෙමු. ඔවුන් අතරින් මතු වූ අපූරු අදහස් හා යෝජනා රැසකි.

 

ගම්වැසියන් කිහිපදෙනෙක්

ගම්වැසියන් කිහිපදෙනෙක්

 

පළමු යෝජනාව, විවිධ නිෂ්පාදන සඳහා දක්ෂතා හා පුහුණුව සහිත අයට අවශ්‍ය ප්‍රාග්ධනය හා යටිතල පහසුකම් සලසා සියනෙතුගම නිෂ්පාදන ගම්මානයක් ලෙස වැඩිදියුණු කිරීමයි. එවිට අමුද්‍රව්‍ය ප්‍රවාහන වියදම් සාමූහිකව දරාගත හැකි වන අතර, නිෂ්පාදන අලෙවිය සඳහා විවිධ තැන්වලට රැගෙන යනු වෙනුවට වෙළෙඳුන් ගමට ගෙන්වාගත හැකි වනු ඇත. දෙවන යෝජනාව සිය නිෂ්පාදන සඳහාම වෙන් වූ වෙළෙඳපොළක් ලබා ගැනිමයි. ඔවුන්ගේ ගම්මානයට නුදුරු කාවන්තිස්සපුර, බෝගහපැලැස්සේ තිස්ස ප්‍රාදේශිය සභාවෙන් ඉදි කළ කඩ පෙළක් තිබෙන බවත්, ඉන් යම් කඩ ප්‍රමාණයක් තම නිෂ්පාදන අලවිය සඳහා ලබා දිය හැකි නම් හොඳ විසඳුමක් වනු ඇති බවත් ඔවුහු පැවසූහ.

තෙවැනි යෝජනාව, නිෂ්පාදන ගම්මානයක් ලෙස සංවර්ධනය කරන අතරම, ගම තුළම අලවිසැලක් හා සේවා මධ්‍යස්ථානයක් ඉදි කිරීමයි. කතරගමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් යම් පිරිසක් ගමට ගෙන්වාගත හැකි වෙතොත්, ඔවුන්ට ආහාරපාන ලබාගැනීමට, විවේක ගැනීමට, සම්බාහන සේවා ලබා ගැනීමට, සිය නිෂ්පාදන මිලදී ගැනිමට මෙන්ම විවිධ නිෂ්පාදන සිදු කෙරෙන ආකාරය දැක බලා ගැනීමට හැකි බව බවත්, එමගින් ගමේම සිට හොඳ ආදායමක් ලබා ගැනීමට තමන්ට අවස්ථාව සැලසෙන බවත් ඔවුන්ගේ අදහසයි.


සතුට දෙන්න අපට පුළුවන්

සියනෙතුගම ගම්වැසියෝ

ගම්වැසියන් කිහිපදෙනෙක්

 

"සංගීත භාණ්ඩ වාදනය කරන්න පුළුවන්, සිංදු කියන්න පුළුවන් ගොඩක් අය ගමේ ඉන්නවා. අපිට පුළුවන් එන අමුත්තන්ට සතුටු කරන්න. අපට සංගීත භාණ්ඩ ටිකක් ලැබෙනව නම් අපූරු සංගීත කණ්ඩායමක් හදන්නත් පුළුවන්" ඔවුන් අතරින් තවත් අපූරු අදහසක් ඉදිරිපත් විය. එතෙකින් නොනැවතී, ඔවුන් අතරින් සුගත් ජයවීර සහ සුනීතා ජයලත් අප හමුවේ මධුර සරින් ගී ගයා ඒ බව තහවුරු කළෝය‍.
 
සුනිතා ජයලත් (දකුණේ සිට දෙවැන්නා) සහ තවත් අය ගී පද රචකයකු, තනු නිර්මාපකයකු මෙන්ම ගායකයකුද වන ප්‍රේමදාස මල්ලවාරච්චි (ලේකම්) මහතා පැවසුවේ, තබ්ලාවක්, ඩොල්කියක්, සර්පිනාවක්, ‍වයලීනයක් සහ බටනළා කට්ටලයක් ලැබුණොත් සංගීත කණ්ඩායම පුහුණු කිරීමේ හා මෙහෙයවීමේ වගකීම තමන්ට දැරිය හැකි බවය.

ඔවුන්ගෙන් පළ වූයේ මුළු දවසම වුවද ඒ සංවාදය ගෙන යෑමට තරම් උද්‍යෝගයකි. දිගු කලක් තිස්සේ විවිධ අරමුණු සඳහා ලංකාවේ ගම්මාන බොහෝ ගණනක සංචාරය කර ඇති අපට මෙතරම් සංවිධානාත්මක හා එකමුතු ගමක් මුණගැසී නැත. ඔවුන්ගේ යෝජනා සඵල වෙතොත්, එහි සංචාරය කරන්නන්ට නිෂ්පාදන ගම්මානයක අත්දැකීම විඳගැනීමට මෙන්ම ගමක් සාමූහිකව නැගි සිටින්නේ කෙසේදැයි අධ්‍යයනය කිරීමටද එය කදිම තෝතැන්නක් වනු ඇතැයි අපට සිතිණි.

මෙතරම් නිර්මාණශීලී අදහස් ඇති අධිෂ්ඨානශීලී පුරවැසියන් වන ඔවුන්ට එම අදහස් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සලසා දීම රජයක යුතුකම හා වගකීම නොවේද?

 ඩබ්. ඒ. සෝමාවතී පොල්කොළවලින් වියූ පැදුරක්

ඩබ්. ඒ. සෝමාවතී - පොල් කොළවලින් වියූ පැදුරක්

 

ඩබ්. ඒ. සෝමාවතී මහත්මිය දක්ෂ වියන්නියකි. පංවලින් පැදුරු හා වට්ටි යනාදිය විවීම කාලයක් තිස්සේ කරගෙන ගිය නමුත් අමුද්‍රව්‍ය සොයා ගැනීමේ අපහසුව නිසා ඇය ගම අවටින් සොයාගත හැකි වියළි පොල්කොළවලින් අපූරු පැදුරු වියයි. පන් පැදුරක් තරමටම මහන්සි විය යුතු නමුත් පොල්කොළ පැදුරක් අලෙවි කෙරෙන්නේ රු. 500කටය. ඇයට හොඳ පං තොගයක් ගෙනත් දෙන කෙනෙකුට, ඇගේ මහන්සියට සාධාරණ වටිනාකමක් ලබා දී කදිම ප්‍රතිලාභයක් ලැබිය හැකිය. ඇගේ සොහොයුරිය පාපිසි විවීමේ නිරතව සිටින අතර ඇයගේද ගැටලුව අමුද්‍රව්‍ය සඳහා වැය වන මිල සහ මහන්සියට සරිලන ප්‍රතිලාභයක් නොලැබීමයි.

 

දඩල්ලගේ ප්රසන්න සිය නිපැයුම් සමග

ප්‍රසන්න, සිය නිපැයුම් සමග

 

සියනෙතුගම දෘශ්‍යාබාධිත සුබසාධක සමිතියේ සභාපති  දඩල්ලගේ ප්‍රසන්න මහතා දක්ෂ ඉදල් කාර්මිකයෙකි. පොල්කටු හැඳි නිපදවීම ඇතුළු තවත් ශිල්ප කිහිපයකම නිපුණයෙකි. ඔහුගේ ඉදල්වලට ප්‍රදේශයේ වෙළෙඳසැල්වලින් හොඳ ඉල්ලුමක් තිබේ. එහෙත් අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ල වෙළෙඳපොළෙන් මිලට ගත යුතු බැවින් ඔහුට ඉතිරි වන්නේ සුළු ලාභයකි. නිෂ්පාදන බෙදාහැරීම සඳහාද විශාල මුදලක් වැය වේ. අමුද්‍රව්‍ය සපයා දී තොග ඇණවුමක් ලබා දෙන කෙනෙකුට ඉතා හොඳ සේවයක් ඔහුගෙන් ලබා ගත හැකි අතර එමගින් තවත් පිරිසකට රැකියා සපයා දීමටද ඔහුට හැකි වනු ඇත.

 ඩබ්.එම්. රෝහිත සිය වැඩපොළේදි

රෝහිත, සිය වැඩපොළ පිරිසිදු කරමින්

 

ඩබ්. එම්. රෝහිත අර්ධ දෘශ්‍යාබාධිත තත්ත්වයෙහි පසුවන දෙදරු පියෙකි. රසකැවිලි නිෂ්පාදන ශිල්පයෙහි නිපුණයකු වන ඔහු සිය නිවසට යාබදව මැටියෙන් තැනූ කුඩා ඉඩක උඳුනක් ඉදිකොට, සෙසු උපකරණද මිලට ගෙන සාර්ථක ලෙස රසකැවිලි නිෂ්පාදනය කරගෙන ගියේය. දොදොල්, පැණි බුන්දි, පුහුල් දෝසි, පැණි වළලු, බයිට් වර්ග ආදිය ඔහුගේ නිෂ්පාදනයි. එහෙත් ප්‍රාග්ධන ගැටලු සහ දුරබැහැර වෙළෙඳපොළ සොයා යෑමේ දුෂ්කරතා නිසා එම ව්‍යාපාරය අඛණ්ඩව කරගෙන යෑම අපහසු වී තිබේ. කෙසේ හෝ ජීවිතයට මුහුණදීමට සිදුව ඇති බැවින් ඔහු මේ දිනවල කරන්නේ කුඩා අත් ට්‍රැක්ටරයකින් දර ප්‍රවාහනය කිරීමය. පෙනීම අවම වුවත්, අතුරු මාවත්වල  ඔහු ට්‍රැක්ටරය පදවාගෙන යයි. බිරිඳගේ සහාය ඔහුගේ ජීවිතයට අත්වැලකි. සිය රසකැවිලි කර්මාන්තය යළි ඇරඹීම ඔහුගේ අපේක්ෂාවයි.
 
Vishaka wehellaවිශාඛා වේහැල්ල
wehella@gmail.com
උපදේශකත්වය හා අනුග්‍රහය ඉන්ටනිව්ස්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දහසක් සිහින පිරුණු සියනෙතුගම - විශාඛා වේහැල්ල | The Leader