The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
විශේෂාංග

උතුරු-නැගෙනහිර ජනතාව 'මාලිමා ආණ්ඩුවට' දුන් 'ජන වරම' කුමක්ද?

T

The Leader Desk

November 27, 2024 • 3:13 PM

උතුරු-නැගෙනහිර ජනතාව 'මාලිමා ආණ්ඩුවට' දුන් 'ජන වරම' කුමක්ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සැප්තැම්බර-නොවැම්බර මැතිවරණ දෙකෙහි ඔවුන්ගේ ජයග්‍රහණ නිසැකවම ඓතිහාසික ජයග්‍රහණ ය.
  • ඊට පාර කැපුවේ 69 ලක්ෂයක් ඡන්දය ලබා දී 2019 නොවැම්බරයේදී ජනාධිපති ලෙස තෝරා පත් කළ, ගෝඨාභය රාජපක්ෂ ය.
  • ඔහුට එරෙහිව 2022 අප්‍රේල්හි ගාලු මුවදොර පිටියට ගෙනෙනු ලැබූ #GotaGoHome විරෝධතාව සති 04 කින් ප්‍රචණ්ඩ “අරගලයකට” හැරුණු පසු, සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය සහමුලින් විනාශ කෙරිණ.
  • ජනවාරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක වූ ජෙනරාල් සරත් ෆොන්සේකා සිංහල දකුණේ සියලු දිස්ත්‍රික්ක පරාජය වන අතර, උතුරු-නැගෙනහිර දිස්ත්‍රික්ක 05 ම, සියයට 60 ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ජයග්‍රහණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

2024 සැප්තැම්බර-නොවැම්බර මැතිවරණ දෙකෙහි ඔවුන්ගේ ජයග්‍රහණ නිසැකවම ඓතිහාසික ජයග්‍රහණ ය.

ඊට පාර කැපුවේ 69 ලක්ෂයක් ඡන්දය ලබා දී 2019 නොවැම්බරයේදී ජනාධිපති ලෙස තෝරා පත් කළ, ගෝඨාභය රාජපක්ෂ ය. එඩිතර, බලසම්පන්න “හිට්ලර්” පන්නයේ සිංහල-බෞද්ධ නායකයෙක් යැයි ජනාධිපති පුටුවෙහි අසුන් ගැන්වූ පසු, ඔහු ඒ කිසිදු විශේෂණයකට නොගැලපුනු නිවට, බාල දේශපාලනික ආධුනිකයෙක් යැයි ඔප්පු කෙරුවෙ, ලාංකීය ආර්ථික හා සමාජ දේහයම දෙවසරක් යත්ම ගැඹුරු අගාදයකට තල්ලු කරමින්ය.

srt4522

ඔහුට එරෙහිව 2022 අප්‍රේල්හි ගාලු මුවදොර පිටියට ගෙනෙනු ලැබූ #GotaGoHome විරෝධතාව සති 04 කින් ප්‍රචණ්ඩ “අරගලයකට” හැරුණු පසු, සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය සහමුලින් විනාශ කෙරිණ. ඒ හිඩැසට “මාලිමාව” ඉදිරියෙන් තබා ගෙන ජවිපෙ පය ගැසුවේ, මේ රට පවිත්‍ර කිරීමේ කාර්යට තමන් හැර වෙන කිසිවකු නැතැයි කියමින් ය.

srt34

එතැන් සිට පැමිණි ගමනේ මේ ඓතිහාසික ජයග්‍රහණය ගැන කතා කරන්නේ සිංහල දේශපාලන නායකත්වයක් පළමු වරට මැතිවරණයකින් උතුර-නැගෙනහිර ලැබූ විශිෂ්ඨතම ජයග්‍රහණය, මාලිමාව ලබා ගත්තේ යැයි කියා ය. එහෙත් එවන් ඡන්දයක් සිංහල නායකයෙකු උතුර-නැගෙනහිරින් ලැබූ පළමු මැතිවරණය මෙය නොවේ. 2010 ජනවාරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක වූ ජෙනරාල් සරත් ෆොන්සේකා සිංහල දකුණේ සියලු දිස්ත්‍රික්ක පරාජය වන අතර, උතුරු-නැගෙනහිර දිස්ත්‍රික්ක 05 ම, සියයට 60 ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ජයග්‍රහණය කළේය. 2009 මැයි මස යුද්ධය අවසන් වනවිට හමුදාවේ ප්‍රධානියා ඔහු වූවත්, ඔහුට එවැනි ඡන්දයක් උතුරු-නැගෙනහිරෙන් ලැබුණේ රාජපක්ෂට එරෙහි “වෛරී ඡන්දයක්” ලෙසින් ය. එහි ෆොන්සේකා පිළිගැනීමක් නැත.

aer234
මෙවර 2024 මැතිවරණ දෙකෙහිම උතුරු-නැගෙනහිර භාවිත වූයේද එවැනිම “වෛරී ඡන්දයකි”. ශිෂ්ඨ, ආත්ම ගරුත්වයක් සහිත ජීවිතයකට ඇති අයිතිය අහිමි කෙරුණු ජනතාවක්, තම දේශපාලන නායකයින් විසින් අමතක කළ පසු, කෙදිනක හෝ එක් අවස්ථාවක තම ඡන්දය දීමට තරම් ඒ නායකයින් නොවටිනේ යැයි තීන්දු කිරීම, යථාවකි. උතුරු-නැගෙනහිර දෙමළ දේශපාලන නායකත්වය පත්ව ඇත්තේ එතැනට ය.

යුද්ධයෙන් හෙම්බත්ව, අනාථව ඉතිරිව සිටි උතුරු-නැගෙනහිර ජනතාවට ඔවුන්ගේ ප්‍රශ්න සඳහා තනිව පෙනී සිටින්නට, උද්ඝෝෂණය කරන්නට සිදුවූ බැව් කවුරුත් දුටුවකි. ITAK නායකත්වය සිටියේ වික්‍රමසිංහ ආණ්ඩුවේ සහායට ය. ඔවුන්ට කොළඹ දේශපාලනය හැර වෙනත් දේශපාලනයක් නොතිබුණු තරම්ය. අනෙක් උතුරේ දේශපාලන නායකයින් කිහිප දෙනාද ජනතා උද්ඝෝෂණ සඳහා ලබා දුන් සහායක් නැත.

දින 2,000 ට වැඩි කාලයක් අම්මාවරුන්, භාර්යාවන් සහ සොහොයුරියන් “බලහත්කාරයෙන් අතුරුදහන් කෙරුණු” තම පවුලේ සාමාජිකයින් සම්බන්ධ නිල තොරතුරු ඉල්ලා කළ අඛණ්ඩ සත්‍යග්‍රහය ඔවුන්ගේ තනි හයියෙන් කෙරුවකි.

se5r25

 යුද්ධයෙන් අනාථ වූවන්ට ඔවුන්ගේ ඉඩම් නැවත ලබා ගැනීමට අවශ්‍ය විය. සිංහල පිරිස් ඔවුන්ගේ ඉඩම්වල පදිංචි කරවීම නතර කරගත යුතුව තිබිණ. ඔවුන්ගේ පෞද්ගලික ජීවිත සහ සමාජ කටයුතු නිරන්තරව හමුදා සහ පොලීසියේ බුද්ධි අංශවල නිරීක්ෂණයට යටත්කර තැබීම නතර කරගත යුතුව තිබිණ. “උගත් පාඩම් හා සංහිඳියා කොමිසම” (LLRC) විසින් ප්‍රමුඛත්වයෙහි ලා සඳහන් කළ උතුරු-නැගෙනහිර “හමුදාකරණය” නොපමාව පූර්ණ සිවිල් පාලනයකට පරිවර්තනය කිරීම, ඔවුන්ට අත්‍යාවශ්‍ය වූවක් විය. ඒ අතර ප්‍රාදේශීයව ඔවුන් මුහුණ දුන් ගැටළුද තිබිණ. ඒ කිසිවක්ද, ITAK ඇතුළු ප්‍රසිද්ධ දේශපාලන නායකයින්ගේ න්‍යාය පත්‍රවල නොතිබුණි.

මීට වසර 03 ට පමණ පෙර 2021 දෙසැම්බර 07 වන දින Daily Mirror පුවත් පතට “වනගතවීමෙන් එළියට පැමිණීමට දෙමළ ජාතික සන්ධානය ජනතාව වෙත හැරිය යුතුය” යැයි මම ලිපියක් ලීවෙමි.

serw345
 “එ.ජා.ප නායකත්වයට ලැදි වූ කොළඹ බින්න බැසූ ITAK  තෝරා ගත් දේශපාලනයෙන් උතුරු-නැගෙනහිර විරෝධතා සඳහා ඉදිරි දැක්මක් නොමැති, පුළුල් ජන සහභාගිත්වයක් සඳහා සංවිධානාත්මක වැඩපිළිවෙලක් නොමැති කුඩා කණ්ඩායම් කිහිපයකට ඒ විරෝධතාවන්හි ගැවසෙන්නට ඉඩ ලැබිණ. ඉන් සිදු වූයේ 2020 අගෝස්තු මැතිවරණයෙන් පෙන්නුම් කරන අයුරු, සාම්ප්‍රදායික දෙමළ දේශපාලනය කැබලි වීමකි.  දෙමළ ජාතික සන්ධානය 2015 දී දිනා ගත් ආසන 16, එවර 10 ට අඩු විය. 2015 දී ලැබූ 516,000 ට වැඩි ඡන්ද සංඛ්‍යාව, 327,000 ට අඩු විය. ඔවුන්ට අහිමි වූ ආසන 06, වෙනත් කණ්ඩායම් 04 ක් බෙදා ගත්හ. ඔවුන්ගේ අවාසනාවට, ITAK නායකත්වය මහා ආඩම්බරයෙන් කතා කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කෙටුම්පතක් හෝ නොමැතිව ඔවුන්ට මැතිවරණයෙන්ද පරාජයක් බාර ගෙන පසු බසින්නට සිදු විය” යනුවෙන් මම එහි ලීවෙමි. (ඉංග්‍රීසි ලිපියෙහි සිංහල අනුවර්තනයකි)  

ඔවුන්ගේ අඳබාලකම කෙතරම්දැයි කිවහොත් 2020 අගෝස්තු පරාජයෙන් හෝ ඔවුන් පාඩම් ඉගෙන ගැනීමට සුදානම් නොවුනි. ජනතාවට සමීප දේශපාලනයකට මාරු වන්නට කිසිදු වුවමනාවක් ඔවුහු නොපෙන්නූහ. අනතුරුව මේ 2024 නොවැම්බරයේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ITAK සඳහා ඉතිරි වූයේ කොපමණ ද? ඔවුන්ට ඉතිරිවූ ඡන්ද සංඛ්‍යාව වූයේ 257,813 කි. ආසන 08 කි. ඉන් කියැවෙන්නේ 2015 අගෝස්තුවෙන් පසු ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යාව සියයට 50 කින් අඩු වූ අතර, ආසන සංඛ්‍යාවද දෙකෙන් පංගුවට බැස්ස බවය. එය පැහැදිලිවම උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව අතර පැලපදියම් වූ කලකිරීම, අප්‍රසාදය සහ වෛරය හේතු වූවකි.

මෙවර යාපනය දිස්ත්‍රික්කයට ස්වාධීන කණ්ඩායම් 11 ක් සමග අලුත් දේශපාලන පක්ෂ 03 ක් තරග කිරීමට ඉදිරිපත් වූයේද එබැවින් ය. මාලිමාවට යාපනයෙන් සියයට 24.8 ක්ද වන්නියෙන් සියයට 20.4 ක් ලැබුණේද ඒ “වෛරී ඡන්ද” හේතුවෙනි. එනිසා ඊළඟ ආණ්ඩුව හදන්නට හැක්කේ ජවිපෙ ප්‍රධාන වූ මාලිමාවට යැයි වූ මතය සමග ඔවුන්ට එවැනි ඡන්ද ලැබීම සාමාන්‍ය නැඹුරුවකි.

sxdertw45
එසේනම් මඩකළපුවේ දෙමළ ජනතාව ITAK සමග නතර වූයේ මන්දැයි ඇසිය යුතුය. නවක තරුණ මන්ත්‍රී ශානකියාන් රාසමානිකම් නිසා, මඩකළපුවෙන් ITAK අතුරුදහන් නොවුනි. ඔහු මඩකළපුවේ ජනතා උද්ඝෝෂණවල දකින්නට සිටියෙකි. පොලිස් මර්දනයට මුහුණ දුන් ජනතාව වෙනුවෙන් කතා කෙරුවෙකි. ඉහතින් සඳහන් කෙරුණු මගේ ලිපියෙහි එබැවින් “2021 පෙබරවාරි ආරම්භයේදී නැගෙනහිර හරහා උතුරට ගමන් ගත් විරෝධතා පා ගමනෙහි, දින 05 ම ජනතාව සමග පා ගමන් ගිය තරුණ දේශපාලක රාසමානිකම්, සාමුහික ජනතා ක්‍රියාකාරිත්වයෙහි ශක්තිය මේ වනවිට තේරුම් ගෙන ඇතැයි මම විශ්වාස කරමි” යනුවෙන් ලියුවෙමි. එවැනි පසුබිමක, මඩකළපුව ජනතාවට ITAK සමග බේරා ගැනීමට ලොකු ආරවුල් නොවුනි. මඩකළපුව ඡන්දදායකයා ඒ අනුව පෙන්නුම් කෙරුවේ අනෙක් දෙමළ දිස්ත්‍රික්කවල මාලිමාවට ලැබුණේ දෙමළ නායකයින්ට එරෙහි වූ “වෛරී ඡන්දයක්” බවය.

උතුරු-නැගෙනහිර දිස්ත්‍රික්ක 05 න් මාලිමාවට ලැබුණු සියයට 29 ක් වූ ඡන්ද ප්‍රතිශතයෙන් ඔවුන්ට මන්ත්‍රීවරුන් 12 ක් ලැබිණ. ඉන් දිගාමඩුල්ලෙන් පත් වූ 04 දෙනා සහ ත්‍රිකුණාමලයෙන් පත් වූ 02 දෙනා සිංහල-බෞද්ධ මන්ත්‍රීවරුන් ය. මාලිමාව සමග සිංහල-බෞද්ධවාදීන් කියන්නාවූ සියල්ලන් “ශ්‍රී ලාංකික” යැයි සහ සියල්ලන්ට එක සමානව සළකණු ලබන්නේ යැයි වන කතාව කෙසේ වෙතත් මේ සංස්කෘතික අනන්‍යතාවය, ඉවත දැමිය නොහැක්කකි.

sder34

බරපතලම කාරණාව නම්, “ශ්‍රී ලාංකික” යැයි සංස්කෘතික අනන්‍යතාවක් නොමැති වීමය. ඇත්තේ “ශ්‍රී ලාංකික සිංහල-බෞද්ධ” අනන්‍යතාවකි. “ශ්‍රී ලාංකික දෙමළ” අනන්‍යතාවකි. “ශ්‍රී ලාංකික මුස්ලිම්” අනන්‍යතාවකි. එනිසා ඔවුහු “ශ්‍රී ලාංකික දෙමළ” ජනතාව ලෙස දකුණු ඉන්දියානු දෙමළ අනන්‍යතාවයෙන් වෙන් වන්නාහ. ඔවුහු “ශ්‍රී ලාංකික මුස්ලිම්” ජනතාව ලෙස පාකිස්තානි හා බංගලාදේශ මුස්ලිම් අනන්‍යතාවයෙන් වෙන් වන්නාහ. “ශ්‍රී ලාංකීය” යැයි කියා ඔවුන්ගේ දෙමළ හා මුස්ලිම් සංස්කෘතික අනන්‍යතා මකා දැමිය නොහැකිය. කළ හැක්කේ “ශ්‍රී ලාංකීය” යැයි සිංහල-බෞද්ධ අධිපතිවාදී සංස්කෘතික අනන්‍යතාව ඔවුන් පිට බලහත්කාරයෙන් පැටවීම පමණි.    

ඒ සිංහල-බෞද්ධ ආධිපත්‍ය දෛනික ජීවිතයෙහි නිතර හමුවන්නකි. දෛනික සිවිල් කටයුතු සම්බන්ධයෙන් “රාජ්‍ය” ආයතන මැදිහත්වන ආකාරයෙන් එය කදිමට ප්‍රදර්ශනය වන්නකි. “සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතිය” (ICCPR) ක්‍රියාත්මක කිරීමේදී එහි මූලික අර්ථයට පටහැනිව එය යොදා ගැනීමෙන් සිංහල-බෞද්ධ ආධිපත්‍ය හමු විය. හසලක අසරණ මුස්ලිම් කාන්තාවක් “බෞද්ධ ධර්ම චක්‍රය” මුද්‍රණය කර ඇති ඇඳුමක් පැළඳ සිටියේ යැයි පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමත් මහේස්ත්‍රාත් විසින් ඇය රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමත් සිංහල-බෞද්ධ ආධිපත්‍ය හමුවූ අවස්ථාවකි.

set345332s

පාස්කු ප්‍රහාරය සමග, තමන් හා වසර ගණනාවක් එකම පාසලේ, එකම කාර්යාලයේ, එකම වැඩපලේ සේවය කළ මුස්ලිම් ජාතිකයින්ට සිංහල-බෞද්ධ ගුරුවරුන්, විදුහල්පතිවරුන්, පරිපාලන නිලධාරීන් සහ කලමනාකරුවන් සැළකූ අමන ආකාරයෙන් සිංහල-බෞද්ධ ආධිපත්‍ය යළි හමු විය. එවගේම වෛද්‍ය ශාෆිට එරෙහිව පැවරූ නඩුව බොරු සාක්ෂි සමග පැවරූ බොරු නඩුවක් වූයේද ඔහු මුස්ලිම් වෘත්තිකයෙකු වූයෙන් බැව් ඔප්පු වූවකි.

අප පිළිගත යුත්තේ උතුරු-නැගෙනහිර ඡන්දදායකයින්ගෙන් සියයට 29 ක් මාලිමාවට ඡන්දය දුන් සැණෙන්, යුද්ධයෙන් පසු උතුරු-නැගෙනහිර ගොනුවූ ප්‍රශ්න සියල්ල අහෝසි නොවන බවය. දසවන පාර්ලිමේන්තුවෙහි පළමු සැසි වාරය ආරම්භ කරමින් මාලිමා ආණ්ඩුවෙහි ප්‍රතිපත්තිය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර “අප ඇති තරම් ජාතිවාදී ගැටුම්වලින් පීඩාවට පත්වී තිබෙනවා. ජාතිවාදී ගැටුම්වලින් ඇති තරම් ලේවලින් මේ මහපොළොව තෙත් වී තිබෙනවා. ගංඟා පිරෙන්න කඳුළු හෙළා තිබෙනවා. එකිනෙකා අතර අවිශ්වාසය, ක්‍රෝධය ඇති තරම් වර්ධනය වී තිබෙනවා. එනිසා අපගේ අනාගත දරු පරම්පරාවට යළිත් එවැනි රාජ්‍යයක් බිහි නොකිරීමේ වගකීම අපට පැවරී තිබෙනවා.” යැයි කීවාට, ඔහු හෝ ඔහුගේ මැතිවරණ ප්‍රකාශනයෙහි උතුරු-නැගෙනහිර නොපමාව පූර්ණ සිවිල් පාලනයකට පරිවර්තනය කරනවා යැයි කියන්නේ නැත. බලහත්කාරයෙන් අතුරුදහන් කෙරුණන් ගැන පවුලේ සාමාජිකයින් ඉල්ලා සිටින තොරතුරු නිල වශයෙන් ලබා දීමේ පොරොන්දු නැත. දෙමළ ප්‍රදේශවල සිංහල ජනතාව පදිංචි කරවීම ගැන කිසිත් කතා නැත. එවගේම, රාජ්‍ය අනුග්‍රහයද ඇතිව “පුරාවිද්‍යා බිම්” ලෙස හැඳින්වෙන ස්ථානවල පන්සල් විහාර හැදීම ගැනද කිසි කතාවක් නැත.

sert34
එහෙත් ඔහු ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් කියුවේ, “දේශපාලනය කිරීමට අපට ඕනෑ තරම් සටන් පාඨ තිබෙන්න පුළුවන්. නමුත් කිසිවෙකුට යළි අප රටේ දේශපාලන බලය අත්පත් කර ගැනීම වෙනුවෙන් ජාතිවාදී, ආගම්වාදී සටන් පාඨ ගොඩනැඟීමට ඉඩ නොදෙන්නට අප සහතික වෙනවා.” යැයි කියා ය.

ඒ සියලු පොරොන්දු අවංකව ලබා දුන් පොරොන්දු යැයි බාර ගත්තද, ඉතිරිවන ඉන්දියානු රුපියල් කෝටි 10 ක් වටිනා ප්‍රශ්නය වන්නේ, “මහ වපසරියක වන තමිල් නාඩු දෙමළ දේශපාලනය” අමතක කර, මාලිමා ආණ්ඩුවට සහ ජනාධිපති අනුර කුමාරට එවැනි කතා කියමින් යන්නට, ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවට ඉඩ දිය හැකිද යන්නය. ඔවුන් 1987 ජුලියේ අත්සන් තැබූ ද්වි පාර්ශවීය “ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම” අමතක කර, 13 වන සංශෝධනය ගැන කිසිදු සඳහනක් නොකර ඉන්නට මාලිමා ආණ්ඩුවට ඉඩ දෙන්නට නව දිල්ලියට හැකිද? එවගේම, “බලය විමධ්‍යගත කිරීම” මාලිමා ආණ්ඩුවට රිසි සේ කර ගන්නට ඉඩදී ITAK සහ අනෙක් දේශපාලන නායකයින්ට බලා සිටිය හැකිද? උතුරු-නැගෙනහිර මාලිමා මන්ත්‍රීවරුන්ට පළාත් සභා මැතිවරණ ගැන කතා නොකර සිටිය හැකිද? ඔවුන්ට දකුණේ මාලිමා නායකත්වය මෙන් “බෙදුම්වාදයක් නැත. ඇත්තේ ශ්‍රී ලාංකිකයින් පමණකි” යැයි කියමින් උතුරු-නැගෙනහිර දේශපාලනිකව පැවතිය හැකිද?

වඩාත්ම වැදගත් වන්නේ උතුරු-නැගෙනහිර මාලිමා මන්ත්‍රීවරුන් සඳහා ඡන්දය දුන් සියයට 29 ට අවශ්‍ය කුමක්ද යන්නය. ඔවුන්ට ඔවුන්ගේ ඉඩම් නැවත ලබා ගැනීමට අවශ්‍යයද? බලහත්කාරයෙන් අතුරුදහන් කෙරුණු පුද්ගලයින් ගැන තොරතුරු දැන ගැනීමට අවශ්‍යයද? ස්වාධීන සිවිල් පාලනයක් වහා අවශ්‍යයද? නැතිනම් පළාත් සභා මැතිවරණයක් ඔවුන්ට අවශ්‍යයව තිබේද? එසේත් නැතිනම්, දකුණේ සහෘදයින්ට මෙන් ඔවුන්ටද අවශ්‍ය වන්නේ, රැකියා, උසස්වීම්, ඉදිකිරීම් කොන්තරාත්, වැලි පර්මිට්, සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩල පත්වීම්, විදේශ තානාපති පත්වීම් වැනි හුදු පෞද්ගලික උදව් උපකාරද?

ඇතැම් විට මාලිමාවට ඡන්දය දුන් සියයට 29 එතැනින් නතර විය හැක. එහෙත් මාලිමාවට එරෙහිව ඡන්දය දුන් උතුරු-නැගෙනහිර සියයට 71 න් බහුතරයකට, දීර්ග කාලයක සිට නොවිසඳුනු ඔවුන්ගේ දේශපාලන ප්‍රශ්නයට ස්ථිර උත්තර අවශ්‍ය බව දකින්නට ඇත. මැතිවරණයෙන් මාලිමා ආණ්ඩුවක් පිහිටුවනු ලැබීමත් සමග ඇතිවූ නිදහස් සමාජ අවකාශය ඔවුන් ඒ වෙනුවෙන් විවෘතව යොදා ගැනීමක් මේ දිනවල දැකිය හැක. අන් කවරදාකටත් වඩා මෙවර “මහ විරු සැමරුම” ප්‍රසිද්ධියේ පැවැත්වීමත් සමග ඔවුන් නැවත දේශපලන ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ යුද්ධය අවසාන වූ තැනින් ය. උතුරු-නැගෙනහිර ඒ ජනතාව, ඡන්දයදී නිවෙස් බලා යන හැඩයක් නැත. එය ඉදිරියේදී කොයි අත වර්ධනය වේද යන්නත් ප්‍රශ්න සහගතය.

දැනට වැදගත් වන්නේ, ජනාධිපති අනුර කුමාර සහ ඔහුගේ මාලිමා ආණ්ඩුව, සියල්ලන් ශ්‍රී ලාංකික යැයි කියමින්, උතුරු-නැගෙනහිර මේ දේශපාලනය කලමනාකරණය කර ගන්නේ කෙසේද යන්න ය. මාලිමාවට උතුරු-නැගෙනහිර ජනතාවගෙන් ලැබුණු ජන වරම, සියයට 29 න් ලැබුණක් නොවන බව තේරුම් ගන්නේ කෙසේද යන්නය.

kusal perera(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2024 නොවැම්බර 27

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

උතුරු-නැගෙනහිර ජනතාව 'මාලිමා ආණ්ඩුවට' දුන් 'ජන වරම' කුමක්ද? | The Leader