The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
විශේෂාංග

දුරදිග නොබලා ආණ්ඩුව දුන් පොරොන්දු - (මහින්ද පතිරණ)

T

The Leader Desk

November 29, 2024 • 2:15 PM

දුරදිග නොබලා ආණ්ඩුව දුන් පොරොන්දු - (මහින්ද පතිරණ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොකු ලොකු දේවල් නොව, පසුගිය දා විශාල මාධ්‍ය ප්‍රචාර කරමින් ආණ්ඩුව නිධානයක් හෑරුවේ ය.
  • ආණ්ඩුවේ ම මාධ්‍ය නාලිකා ප්‍රචාරය කළේ ලංකාවේ පළමු වරට ආණ්ඩුවේ නියෝගයක් මත නිධානයක් හාරන බවයි.
  • ඉන් මුළු රටේ ම ණය ගෙවා දැමිය හැකි බව ද ප්‍රචාරය කළේය.
  • කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහජන හමුවක් අමතමින් ප්‍රකාශ කළේ ආණ්ඩුවේ වාසනාවට නිධානයකුත් ලැබෙන්න යනවා කියා ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ලොකු ලොකු දේවල් නොව, පසුගිය දා විශාල මාධ්‍ය ප්‍රචාර කරමින් ආණ්ඩුව නිධානයක් හෑරුවේ ය. ආණ්ඩුවේ ම මාධ්‍ය නාලිකා ප්‍රචාරය කළේ ලංකාවේ පළමු වරට ආණ්ඩුවේ නියෝගයක් මත නිධානයක් හාරන බවයි. ඉන් මුළු රටේ ම ණය ගෙවා දැමිය හැකි බව ද ප්‍රචාරය කළේය.

කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහජන හමුවක් අමතමින් ප්‍රකාශ කළේ ආණ්ඩුවේ වාසනාවට නිධානයකුත් ලැබෙන්න යනවා කියා ය. එහෙත් මේ වන විට අදාළ කැණීමෙන් මතුව ඇත්තේ විශාල කලු‍ගලක් පමණක් බව තහවුරු වී තිබේ.

rtretwdd
ඒ පසුබිම මත දැන් නිධානය හෑරීමට නියෝග දුන් අය සිය වගවීම අතහැර ඇති සෙයකි. අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කර ඇත්තේ තමන් නිදන් හෑරීමට නියෝගයක් ලබානොදුන් බවයි. බුද්ධ ශාසන හා සංස්කෘතික ඇමතිවරයා ද කියනු දුටුවේ තමන් නිධානයක් හෑරුවේ නැති බවයි. අධිකරණ නියෝගයක් නොතිබුණේ නම් මෙම ක්‍රියාව නීති විරෝධී ක්‍රියාවකි. විශාල මහජන මුදලක් දින තුනක් තිස්සේ වැය කරමින් රජයේ විවිධ තනතුරු හොබවන නිලධාරීන්ගේ සේවා කාලය කැප කරමින් කළ මේ ක්‍රියාව සිදුවූයේ කෙසේ ද? ඊට නියෝග දුන්නේ කවුද? මේ පිටුපස විධිමත් රාජ්‍ය නියෝගයක් නැති නම් ඊට වියදම් වූ රාජ්‍ය මුදල ගැන වගකියන්නේ කවුද?

ඉහත ක්‍රියාවෙන් පෙනී යන්නේ ආණ්ඩුවේ පාලනය හා සම්බන්ධීකරණය බරපතළ ලෙස පිරිහීමට ලක්ව ඇති බවයි. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් ක්‍රියා කොට ඇත්තේ පොලීසිය වීම ද මෙහි දී සැලකිල්ලට ගත යුතු ය. පොලීසිය මෙවැනි දෙයක් ඉහළ නියෝගයකින් තොරව සිදු කරන්නේ නැත. විධිමත් ඉහළ නියෝගයකින් තොරව පොලීසිය ක්‍රියා කළේ නම් එය බරපතළ ගැටලුවකි. ආණ්ඩුව මේ පිළිබඳ වහා පරීක්ෂණයක් පවත්වා සිදු වූ දේ රටට හෙළි කළ යුතු ය. වියදම් කළ මහජන ධනය වගකිවයුතු අයගෙන් අයකරගත යුතු ය.

මාලිමා ආණ්ඩුවේ සැලසුමක් නැති, එදාවේල තීන්දු පිළිබිඹු වන්නේ, රටේ ජනජීවිතයට ඍජුව බලනොපාන සිදුවීම්වලින් පමණක් නොවේ. ආණ්ඩුව පත්වීමට පෙර කුමක් ප්‍රකාශ කළ ද රාජ්‍යයේ මූලික ආර්ථිකමය දිශානතිය සම්බන්ධයෙන් ද ඔවුන්ට සැලසුමක් තිබී නැති බව දැන් දැන් පැහැදිලි වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කරන සාකච්ඡා සහ ඒවායින් එළඹෙන තීන්දුවලින් ඒ බව මොනවට පැහැදිලි වේ. බලයට ඒමට පෙර මාලිමා වේදිකාව මූල්‍ය අරමුදල ගැන කී කතා අප මෙම තීරුවල කිහිප වරක්ම ලියා ඇත.

සිංහ සෙයියාවෙන් කී එම කතා හීන් කෙඳිරිලි වීමට වැඩි කල් ගියේ නැත. මේ වන විට පැහැදිලි වෙමින් තිබෙන්නේ, ආණ්ඩුව සපුරාම සිය ජනවරම පැත්තකට දමා මූල්‍ය අරමුදලේ නියෝග වැළඳගෙන ඇති බවයි. ඔවුන් බලයට ඒමට පෙර ශපථ කළේ තමන් මූල්‍ය අරමුදල සමග සමස්ත ගිවිසුම ම නැවත සාකච්ඡා කර වෙනස් කරන බවයි.

w235423
පසුගිය දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් නියෝජිතයන් ලංකාවේ සිය පරීක්ෂණ සංචාරය අවසන් කරමින් පැවැත්වූ මාධ්‍ය හමුවේ දී පැහැදිලිව සඳහන් වූයේ ආණ්ඩුව සපුරාම මූල්‍ය අරමුදලට අනුගතව ඇති බවයි. විශේෂයෙන් ම එම මූල්‍ය අරමුදල් නියෝජිතයන් ප්‍රකාශ කළේ 2025 වසර සඳහා ඉදිරිපත් කරන අයවැය පූර්ණ වශයෙන් තම අණසක යටතේ ඉදිරිපත් කළ යුතු බවයි. ඔහු නොකියා කීවේ තම කොන්දේසිවලට අනුගත නොවන්නේ නම්, තාවකාලිකව අනුමත කළ ඩො.මිලියන 330 මීළඟ වාරිකය ලංකාවට නොලැබී යන බවයි. නියෝජිතයාට අනුව ලංකාවේ අයවැය විමර්ශනයට ලක් කිරීමෙන් පසු පමණක් මූල්‍ය අරමුදල් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මීළඟ වාරිකය පිළිබඳ ස්ථිර තීන්දුව ගනු ලබන බවයි.

ඒ අනුව පැහැදිලි වන්නේ මෙවර අයවය ලේඛනය යනු සපුරාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සපුරන ලියවිල්ලක් බවය. එය කිසිසේත්ම ලංකා රාජ්‍යයේ මහජන අනුමැතියට යටත් එකක් නොව, ඇමරිකාවේ පිහිටි ගෝලීය මූල්‍ය ආයතනයක විධානයකි. මාලිමා ආණ්ඩුව විසින් ලද තුනෙන් දෙක ද ඉක්මවා යන ජනවරම මෙහි දී භාවිත වන්නේ හුදු රබර් මුද්‍රාවක් ලෙස පමණි.

ඉරණම්කාරී ලෙස ඉහත මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු විසින් මූල්‍ය අරමුදල් කණ්ඩායමේ ප්‍රධානියාගෙන් විමසා සිටින්නේ ලංකාවේ මහජනතාව විසින් නව ජනවරමක් ලබා දී තිබෙන පසුබිමක ඒ සම්බන්ධයෙන් තම ප්‍රතිචාරය කුමක්ද යන්නයි. නියෝජිතයා සෝපහාසී සිනාවක් මුව රඳවා ගනිමින් ප්‍රකාශ කළේ, ලංකාව ඉතා දුෂ්කර මොහොතක තිබෙන බවත්, ඉන් මිදීම සඳහා අවශ්‍ය මූල්‍ය ඉලක්ක අත්කරගත යුතු බවත් ය.

ආර්ථික අර්බුද පසුබිමේ ලංකාවේ මූල්‍ය ස්වාධිපත්‍ය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගැඩ ගැසීම පිළිබඳව අප මීට පෙර බොහෝ ලියා ඇත. ඇත්ත වශයෙන්ම 2022 වසරේ අප්‍රේල් මාසයේ දී වත්මන් මහබැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍ය අලි සබ්‍රි විසින් ගත් අදූරදර්ශී රට බංකොලොත් බව ප්‍රකාශ කිරීමේ තීන්දුවත් සමග මේ සියල්ල ආරම්භ විය. රට බංකොලොත් නොකර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ අවස්ථාව ඕනෑ තරම් තිබිය දී කළ අඥාන තීන්දුව නිසා අප මෙම ශාපයට හසුවිය. එවක අරගලයේ සිටි ජවිපෙ-මාලිමා පිරිස්වල නිති මුව රැඳුණේ ද ආණ්ඩුව වහා ණය ගෙවීම් පැහැර හැර එම මුදල්වලින් ඉන්ධන ගෙන්විය යුතු බවයි. ණය ගෙවීම් පැහැර හැරීම යනු අන් කිසිවක් නොව, බංකොලොත් බව ප්‍රකාශ කිරීමයි. ඒ සඳහා අවශ්‍ය ජනමතය අරගලය පුරාම නිර්මාණය විය.

aer234ss
ගෝඨාභය ආණ්ඩුවට බල කළේ ණය නොගෙවා අයි එම් එෆ් යන ලෙසයි. ආචාර්ය නන්දලාල් හා ඇමති අලි සබ්‍රි එම ජනමතය භාවිත කරමින් ලංකාව අතොරක් නොපෙනෙන ලෙස මූල්‍ය අරමුදලට ගැටගසා දැමුවේ ය. ඔවුන් ප්‍රකාශ කළේ මහබැංකුවේ සංචිත නොමැති නිසා එසේ කිරීම හැර අන් විකල්පයක් නැති බවයි. එහෙත් 2022 අප්‍රේල් 12 වැනි දින රට බංකොලොත් බව ප්‍රකාශ කරන විට ගෙවිය යුතුව තිබූ බොහෝ ණය ගෙවා දමා තිබූ අතර ඊළඟ ණය මුදල ගෙවීමට තිබුණේ එම වසරේ ජූලි 27 වැනිදා ය. එනම් මාස 4කට පසු ය. එම කාලය තුළ චීනය හා ඉන්දියාව ආදි රටවලින් විදේශ විනිමය ගලා ඒමට නියමිතව තිබූ අතර, ඒ කිසිවක් සැලකිල්ලට නොගෙන රට බංකොලොත් බව ප්‍රකාශයට පත් කෙරුණි.

අද රට මූල්‍ය සහ ආර්ථිකමය වශයෙන් සිය ස්වාධීනත්වය අහිමි කරගෙන ඇත්තේ එදා දියත් කළ මුග්ධ අරගල දේශපාලනය නිසා සහ ඒ මතින් ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගැට ගැසීමට කල්යල් බලමින් සිටි අරමුදලේ දේශීය නියෝජිතයන් නිසා බවද අප යළි යළිත් සිහිපත් කළ යුතු වේ.

ඒ අනුව, මාලිමා ආණ්ඩුව අද ගෙවා දමන්නේ එදා තමන් විසින් මෙහෙය වූ මහජන මතය නිසා ඇති වූ පාපකර්මයක විපාක බව අපි අවධාරණය කරමු. එහෙත් එසේ තිබිය දීත් ඔවුන් මෙවර ජනාධිපතිවරණයේ දී කළ ප්‍රකාශ අනුව මූල්‍ය අරමුදල සමග වන ගිවිසුම් වෙනස් කිරීමට පොරොන්දු වූ අතර එහි දී ඔවුන් සපුරා අසමත් වීම තමන්ගේම උගුලට තමන්ම අසුවීමක් බව කිව යුතු ය.

මූල්‍ය අරමුදල සමග පූර්ණ වශයෙන් අනුගත වීමෙන් තවදුරටත් හෙළිවන කරුණක් තිබේ. එනම්, මාලිමා ආණ්ඩුව සිය ජනවරම ලබා ගැනීම සඳහා ලබාදුන් පොරොන්දු කිසිවක් ඉටු කිරීමට ඔවුන්ට හැකියාව නොලැබෙන බවයි. රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ දැමීම, වැට් බදු, උපයන විට ගෙවන බදු වැනි බදු වර්ග රැසක් අඩු කිරීම ඇතුළු පොරොන්දු රැසක් පසුගිය කාලයේ ලබාදුන්නේ කිසිදු වගවිභාගයකින් තොරව ය.

ser234f
ඒවා ඉටුකිරීම සම්බන්ධයෙන් කිසිදු වගවීමක් නොමැතිව අදාළ පොරොන්දු ලබාදී ඇති බව පෙනේ. එය පැහැදිලි වංචනික පියවරයකි. අවම වශයෙන් ආණ්ඩුවට මුදල් අමාත්‍යාංශය සඳහා විකල්ප ලේකම්වරයකු හෝ සිට නැති බව මේ වන විට පෙනී යයි. මාලිමා මැතිවරණ වේදිකාවේ දී මුදල් ලේකම්වරයා ගැන කියමින් ජනාධිපතිවරයාම ප්‍රකාශ කළේ “හිරේ යන්නට සූදානමින් සිටින ලෙස ය”. එහෙත් අද වන විට නැවත වරක් ඔහුම එකී තනතුර සඳහා පත් කොට තිබීමෙන් පැහැදිලි වන්නේ, ජනතාව රැවටීම සඳහාම මේ වැනි ප්‍රකාශ කළා මිස, ඒවාහි කිසිදු සත්‍යයක් ගැබ්ව නොතිබූ බවයි. ආණ්ඩුවේ වංචාව හා දූෂණය සම්බන්ධ සෙසු චෝදනා ද මේ වැනිම හිස් වචන බව මේ හරහා ජනතාවට සිතාගත හැකි ය.

එවැනි බොරු කියන ආණ්ඩුවකින් කෙනකුට “සිස්ටම් චේන්ජ්” හෙවත් පද්ධතිමය වෙනසක් කෙසේ නම් අපේක්ෂා කළ හැකි ද? මොවුන්ට පද්ධතිමය වෙනස යන සංකල්පයේ තේරුම ගැනවත් අවබෝධයක් තිබේ ද යන්න සැක සහිත ය. අපගේ තක්සේරුව නම් වන්නේ, මොවුන් සිස්ටම් වෙනස් කිරීම නොව, ලංකාවේ එදා මෙදා තුර නොපැවති දූෂිතම ආණ්ඩුව බවට පත් වී ජනතාවට යන එනමං නැති කර ගෙදර යාමට අවශ්‍ය වැඩ කටයුතු කරමින් සිටින බවයි.

Mahinda Pathirana(මහින්ද පතිරණ)

සබරගමුව විශ්ව විද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

(උපුටා ගැනීම :  lankadeepa - 2024 නොවැම්බර් මස 29 )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දුරදිග නොබලා ආණ්ඩුව දුන් පොරොන්දු - (මහින්ද පතිරණ) | The Leader