The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
විශේෂාංග

අලි ඇතුන් ඝාතන නතර කරවීමට දහනක බණ්ඩාර දෙවියන් වත් වැඩම කරවා ගනිමු ද? - (ප්‍රණීත් අභයසුන්දර)

T

The Leader Desk

November 30, 2024 • 11:05 AM

අලි ඇතුන් ඝාතන නතර කරවීමට දහනක බණ්ඩාර දෙවියන් වත් වැඩම කරවා ගනිමු ද? - (ප්‍රණීත් අභයසුන්දර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගල්කිරියාගම පොලිස් වසමට අයත් ආඩියාගල පලාගල, හිඟුරු වැව ප්‍රදේශයේ නිවසක් අසල ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටී ජීවිතක්ෂයට පත්ව ඇත.
  • මෙම අනවසර විදුලි රැහැන සවි කළ බව පැවසෙන පුද්ගලයා මේ වන විට රක්ෂිත බන්ධනාගාර කොට සිටියි.මෙම දීඝ දන්තු 1 ඇතා, මීට වසර පහකට පෙරදී ද බඳින තුවක්කුවකට හසු වී ඉදිරි වම් පාදයට බරපතල තුවාල සිදුව ප්‍රතිකාර ලැබූ බව ද වන ජීවි දෙපාර්තමේන්තුව පවසා තිබේ.
  • දැනට කලා වැව් රක්ෂිතයේ ඉතුරුව සිටි එකම සද්දන්ත ලක්ෂණ වලින් පිරිපුන් ඇතා දීඝ දන්තු 1 බව ද කියනු ලැබේ.
  • කලා වැව, කහල්ල පල්ල කැලේ සැරි සැරූ පිරිපුන් දළ යුගලකින් සමන්විත සද්දන්ත හස්තීන් තිදෙනකු එකම ආකාරයෙන් අනවසර විදුලි රැහැන් වල පැටලී ජීවිතක්ෂයට වන තෙක් අදාල අංශ කිසිදු ක්‍රියා මාර්ගයක් නොගත් බව ද ප්‍රදේශවාසීන් මාධ්‍යයට පවසා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ගල්කිරියාගම පොලිස් වසමට අයත් ආඩියාගල පලාගල, හිඟුරු වැව ප්‍රදේශයේ නිවසක් අසල ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටී ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම අනවසර විදුලි රැහැන සවි කළ බව පැවසෙන පුද්ගලයා මේ වන විට රක්ෂිත බන්ධනාගාර කොට සිටියි.මෙම දීඝ දන්තු 1 ඇතා, මීට වසර පහකට පෙරදී ද බඳින තුවක්කුවකට හසු වී ඉදිරි වම් පාදයට බරපතල තුවාල සිදුව ප්‍රතිකාර ලැබූ බව ද වන ජීවි දෙපාර්තමේන්තුව පවසා තිබේ. දැනට කලා වැව් රක්ෂිතයේ ඉතුරුව සිටි එකම සද්දන්ත ලක්ෂණ වලින් පිරිපුන් ඇතා දීඝ දන්තු 1 බව ද කියනු ලැබේ.

රේවත, බරණ, දීඝදන්තු 1, දීඝදන්තු 2 යන ඇතුන් සතර දෙනා එම ප්‍රදේශවාසීන් ගේ ද අවධානයටට සේම ආදර කරුණාවට ලක් වෙමින් කලා බළලූ වැව් රක්ෂිතය සහ ඒ අවට ප්‍රදේශය නිජ බිම බවට පත් කර ගනිමින් ජීවත් වූ අතර එයින් දීඝ දන්තු 2 හස්තියා වෙනත් ඇතෙකුගේ පහර දීමකින් මීට කලකට ඉහත මිය ගිය බවට විශ්වාස කරන බව ද පරිසරවේදීන් කියා තිබේ.ඒ අතර රේවත, බරණ,යන ඇතුන් දෙදෙනා ද අකාලයේ ජීවිතක්ෂයට පත්වූයේ අනවසර විදුලි රැහැන්වල පැටලී බවත් පැවසෙයි.

 

image 1528890262 6197217aecදැනට කලා වැව් රක්ෂිතයේ ඉතුරුව සිටි එකම සද්දන්ත ලක්ෂණ වලින් පිරිපුන් ඇතා දීඝ දන්තු 1 බව  ද කියනු ලැබේ.

කලා වැව, කහල්ල පල්ල කැලේ සැරි සැරූ පිරිපුන් දළ යුගලකින් සමන්විත සද්දන්ත හස්තීන් තිදෙනකු එකම ආකාරයෙන් අනවසර විදුලි රැහැන් වල පැටලී ජීවිතක්ෂයට වන තෙක් අදාල අංශ කිසිදු ක්‍රියා මාර්ගයක් නොගත් බව ද ප්‍රදේශවාසීන් මාධ්‍යයට පවසා තිබේ. ඉහත සඳහන් ඛේදවාචකය සම්බන්ධයෙන් යථාර්ථවාදී හා විද්‍යාත්මක විමසුමක දී පළමුව කිව යුත්තේ මෙම අපරාධ වලට වගකිව යුත්තන් වහා නීතියේ රැහැනට හසු කර ගෙන නව නීති, අනපනත් මගින් හෝ ඔවුනට දැඩි දඬුවම් ලබා දී එමගින් පොදු සමාජයටම පාඩමක් ඉගැන්විය යුතු බව ය. එය වන ජීවී විෂය පථය භාර නව පරිසර අමාත්‍යවරයාට සේම ජනාධිපතිවරයා ඇතුළු කැබිනට්ටුව වෙත පැවරෙන කිසිසේත්ම පැහැර හැරිය නොහැකි වගකීමක් බව අපි තරයේ අවධානය කරමු.මක් නිසා ද යත් මීට පෙර පැවති රජයන් ද මෙම වන සත්ව සම්පත වැනසීම සම්බන්ධයෙන් අනියමින් හෝ සමාජ අපවාදයට ලක් ව ඇති නිසා ය.

ඒ අතර මෙම ප්‍රදේශවල ගැමියන් ගෙන් යම් කොටසක් හෝ මෙවන් බිහිසුණු අපරාධ වලට යොමු වීම පාර්ශව කිහිපයක් ඔස්සේ විමසුමට ලක් කළ යුතු බව ද කිව යුතුය.මෙම අපරාධය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව ඇත්තේ  වෘත්තියෙන් රක්ෂණ කළමණාකරුවකු ද වන එහි පාරම්පරික ගැමියකු බව කියනු ලැබේ. එබැවින් ඔවුන් ගේ මෙම සාදාචාරාත්මක පිරිහීමට පදනම් වන අධ්‍යාත්මක පිරිහීම ද මානව විද්‍යාත්මකව විමසුමට ලක් කළ යුතු ය.


එහි දී විශේෂයෙන් අපගේ මතකයට නැඟෙනුයේ මෙම ප්‍රදේශවල අලි ඇතුන්ට අධිගෘහිත බව පැවසෙන දහනක බණ්ඩාර වැනි දේව විශ්වාසයන් වත්මන් සමාජයෙන් දූරීභූත වෙමින් පැවැතීම ය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කහල්ල ,පරවාගම ,පල්ලකැලේ යන පෙදෙස්වල අතීතයේ මේ දහනක බණ්ඩාර දෙවියන් දැඩි විශ්වාසයක් පැතිර පැවති බවට තොරතුරු අනාවරණය වේ.

digadanthu 1දීඝ දන්තු 1

පළමු දීඝ දන්තු හෙවත් දීඝ දන්තු 1 ඇතාගේ නිජබිම සේම 2018 ඇත් දළ සොරුන් විසින් ඝාතනය කරන ලද දළ පූට්ටුවා ඇතාගේ මළ කඳ හමු වූ කහල්ල පල්ලෙකැලේ රක්ෂිත වනය හා දහනක බණ්ඩාර දේව විශ්වාසය සෘජුවම බැඳී තිබේ. මෙහි වඩාත් අපූර්වත්වය වනුයේ දහනක බණ්ඩාර දෙවියන් ද අලි ඇතුන් හා ඍජුවම සම්බන්ධ දෙවි කෙනෙකු වීම ය. දහනක බණ්ඩාර දෙවියන්ගේ උප්පත්ති කතාවට අනුව එතුමා අතීතයේ කහල්ල වලව්වේ ප්‍රභූ පෙළපතට අයත් තරුණයෙකි.

ඔවුන්ගේ පෙළපත් නාමය දහනායක බවත් අතීතයේ මහනුවර ප්‍රදේශයේ සිට කහල්ල ප්‍රදේශයට සංක්‍රමණය වී එහි ජන ප්‍රධානීන් ලෙස කටයුතු කළ බවත් කියනු ලැබේ. මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට ආශ්‍රිතව කහල්ල සහ පල්ලෙකැලේ යනුවෙන් ගම්වර දෙකක් තිබීම ගැන ද අප මෙහි දී සැලකිලිමත් විය යුතු ය.නමුදු දහනක මුදියන්සේලාගේ සහ දහනක රාළලාගේ ආදී පෙළපත් නම් අදටත් භාවිතයේ තිබීම මත මෙම දහනක නාමය මුල් කොට වැඩිදුර විමර්ශන සිදු කළ යුතුව තිබේ..

ඒ කෙසේ හෝ අතිශය දඟකාර මුරණ්ඩු පැවතුම් වලින් යුතු කහල්ල වලව්වේ මෙම තරුණයා තම පරපුරේ ධන බලය, නිල බලය, පිරිස් බලය සේම තමන්ගේ සුවිශේෂ කාය බලය ද යොදා ගනිමින් ගම්වැසියන් තළන්නට පෙළන්නට පටන් ගත් බව පැවසෙයි. අවසානයේ මෙම දහනක තරුණයාගෙන් ගම්වැසියන්ට වන පීඩාව දරාගත නොහැකි ගම්වැසි තරුණ පිරිසක් මෙම තරුණයා කැබැල්ලෑ දඩයමට කැඳවාගෙන යන මුවාවෙන් මහ වනයට කැඳවා ගෙන ගොස් ඔහු කැබැල්ලෑ ලෙනකට රිංගූ සැණින් එම ගල් ලෙනේ කට වැසෙන සේ ගිනි දල්වා ඒ ගිනි නිවෙන්නට පෙර තරමක ගල් පර්වතවලින් ඒ කට වසා පුර දින හතක් ඒ ලෙන් දොර අබියස ගිනිමැල දැල්වූ බවට ජන කතාවක් තිබේ.


katharagamaඒ ගම්වැසියන් කෙරෙහි අනුකම්පා කළ කතරගම දෙවියන් මෙම බලගතු යක්ෂයා අල්ලා දමනය කොට යළි පෙර වැරදි නොකරන ලෙසට පොරොන්දු කරවාගෙන තම දේව මණ්ඩලයට පිවිසුවා ගත් බවත් කියනු ලැබේ.
කෙසේ හෝ පසුව නිරාහාරව හිඳීම නිසා මෙම ගල් ලෙනෙන් පිටවීමට තරම් කාය ශක්තියක් නොවූ මෙම දහනක තරුණයා එතුළ දී මියගොස් යක්ෂාත්ම භාවයක් ලැබ ඒ ගල්ලෙනින් පිටතට විත් හාත්පස ගම්මාන හතක් වැනසූ බවට ජනප්‍රවාදයන්හි සඳහන් වේ. මින් බියට පත් ඒ ගම්වැසියන් තම උපන් ගම්වලින් පිටමන්ව කතරගම දෙවියන්ට මෙම දුක් ගැනවිල්ල සැල කොට සිටි බවත් කියනු ලැබේ. පසුව ඒ ගම්වැසියන් කෙරෙහි අනුකම්පා කළ කතරගම දෙවියන් මෙම බලගතු යක්ෂයා අල්ලා දමනය කොට යළි පෙර වැරදි නොකරන ලෙසට පොරොන්දු කරවාගෙන තම දේව මණ්ඩලයට පිවිසුවා ගත් බවත් කියනු ලැබේ.

පසුව කහල්ල, පරවාගම, පල්ලේකැලේ යන ප්‍රදේශවල වනගහණයටත් එහි වෙසෙන අලි ඇතුන්ටත් ආරක්ෂාව දීම කතරගම දෙවියන් වෙතින් භාර ගත් එම අලුත් දෙවියන් ‘දහනක බණ්ඩාර’ ලෙසින් ජන සම්මත වූ බවට ජනප්‍රවාදයක් ඇත.මේ වන විට උතුරු මැද පලාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයත් වයඹ පලාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයත් මධ්‍යම පලාතේ මාතලේ දිස්ත්‍රික්කයත් අතර පවතින කහල්ල පලෙකැලේ වන රක්ෂිතය අතීත මානව ජනාවාසයක් ව පැවති බවට ද තොරතුරු තිබේ.එම ප්‍රදේශය ජන ශූන්‍ය වී ඇත්තේ දහනක බණ්ඩාර දෙවියන් යක්ෂාත්ම භාවය තුළ සිදු කළ දරුණු ක්‍රියාවන් නිසා එහි වැසියන් ගම් බිම් හැර යාම නිසා බව ජන විශ්වාසයයි.කහල්ල පල්ලෙකැලේ වන රක්ෂිතය තුළ අදටත් පැරණි මානව ජනාවාස නටබුන් ඇතැයි පැවසෙයි.

මේ අයුරින් පළාතට විශාල විපතක් සිදු කරන එම යක්ෂයා දමනය කිරීමට රිදීගම කුමාර බණ්ඩාර දෙවියන් ද කතරගම දෙවියන්ට සහාය වී තිබේ.එහි දී මෙල්ල වූ දහනක යක්ෂයා කතරගම දෙවි පාමුල වැඳ වැටී සමාව අයැද සිටි බව ජන ශ්‍රැතීන් හි සඳහන් ය.මේ යක්ෂයා පසුව දේවත්වයකට පත් කොට තම දේව සභාවටද ඇතුලත් කරගත් කතරගම දෙවිඳුන් යළි දාමරිකකම් නොකරන ලෙසට තදින් ම අණකොට කහල්ල,පරවාගම , පල්ලෙ කැළේ ආදී පෙදෙස් වල ආධිපත්‍ය දහනක බණ්ඩාර අළුත් දෙවියනට ට පවරා දුන් බව පැවසෙයි.


deega danthu 2 241129ඝාතනයට ලක් ව සිටි අන්දම

පසුව කතරගම දෙවියන්ගේ අණසකට යටත් සියලු දේවාලවල දිය කැපීමේ මංගල්‍යයන් සඳහා පෙරහර සඳහා අලි ඇතුන් සැපයීමේ රාජකාරිය භාරගත් නමුදු දහනක බණ්ඩාර දෙවියන්ට ඒ වන විට කහල්ල, පොරවගම, පල්ලෙකැලේ වන ගහණය තුළින් එකම අලියකු හෝ ඇතකු හමු වී නැත. එහෙත්, වනයේ තවදුරටත් සැරිසරන අතරේ වනය මැද තිබූ ඇතින්නකගේ මළකුණක් දැක තම දේව බලයෙන් හෙණ්ඩුවෙන් ඇන ඇයට පණ පිහිටුවා ඇගෙන් තුන්සිය පනස් තුනකගෙන් යුත් අලි ඇතුන් රංචුවක් තනා ගත් බව කියනු ලැබේ.මෙය දහනක බණ්ඩාර දෙවියන් ගේ පළමු දේව හාස්කම සේ සළකනු ලැබේ.එදා සිට කතරගම දෙවියන්ගේ දේවාලවල දිය කැපිමේ පෙරහරට අලි සපයනු ලබන්නේ එතුමන් විසින් බවත් ජනප්‍රවාදයේ පවතී.

මහ පිටියේ රුකන් අගින් සුළගට පොඩි වන් සැටියට
මහමුහුදේ දිය රළ පිට පෙණ පිඩු කැරකෙන සැටියට
දහස් වටින රණ් කැති ගෙන එරන් කැත්තගෙන සුරතට


mathaka wasthraදීඝ දන්තු 1 උදෙසා මතක වස්ත්‍ර පූජාවක්

දහනක දෙවි වඩින කලට සුරීය පායන. විලසට යන ජන කවියෙන් එතුමන් ගේ විලාසය දක්වා තිබේ. මෙම දහනක දේව පුරාවෘත්තය මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස සහ එච්.එම්.එස්. තුන්දෙණිය යන විද්වතුන් ලියූ “සිංහල දේව පුරාණය” නම් කෘතියෙහි ද සඳහන් වෙයි.එමෙන්ම මේ වන විට බ්‍රිතාන්‍ය රාජකීය පුස්තකාලයේ සංරක්ෂණය වන හියු නෙවිල් කාව්‍ය සමුච්චයේ දැක්වෙන අන්දමට දහනක බණ්ඩාර දෙවියන්ගේ ආයුධ රන් හෙණ්ඩුවක් සහ රන් කැත්තකි.අතීතයේ එතුමන් එම ප්‍රදේශ වල ජනතාව සමඟ කෙතරම් සමීපව සිටියේ ද යන්නට හියු නෙවිල් කාව්‍ය සමුච්චයේ එන දැහැනක දෙවියන්ගේ කවි පන්තියේ එන මෙම කවිය කදිම නිදසුනකි.


උඩුවේරිය රට අල්ලා කහල්ල පියසට වඩින්ඩ

මියෙච්චි මළ කඳ ඇතින්න හෙණ්ඩුව දී නැඟිටුවන්ඩ

රජ මුදලිත් අය සිට ගෙන නමස්කාර කර සිටින්ඩ

දහනක දෙව් උතුමාණෙනි සැනෙකින් පේනෙට වඩින්ඩ

120dffd222cfc10917d12761474f22ed XLමහාචාර්ය තිස්ස කාරියවසම් ඉහත සඳහන් අවිය ඇතුළු එම කවි පන්තියේ එන තවත් කවි වලින් දහනක බණ්ඩාර දෙවියන් පේන කීම සඳහා වැඩම කරවා ගත් බව පැවසෙයි.එම පැදි පෙළ මහාචාර්ය තිස්ස කාරියවසම් සූරීන් විසින් නෙවිල් කාව්‍ය සමුච්චය උපුටා දක්වමින් සම්පාදිත “සිරිලක දෙවිවරු” කෘතියේ තිබේ.

ඉහත සඳහන් පුරාවෘත්තය මුල් කොට සුනිල් කහගල්ල සූරීන් විසින් 1990 දෙසැම්බර් 20 වැනි දා ‘දිවයින’ පුවත්පතට ‘දහනක බණ්ඩාර දෙවියෝ’ නමින් සම්පාදනය කරන ලද ලිපියෙහි සඳහන් මතු දැක්වෙන යාදිනි කවි මගින් ඒ සම්බන්ධව තවදුරටත් පැහැදිලි වනු ඇත.

කහලු කන්දවද ? ඔබ වැඩ ඉන්නේ?

දාමළුවටමයි බැල්ම හෙළන්නේ

එතැන සිටින මළ ඇතිනි දකින්නේ

හෙණ්ඩුව දී ඇත් කඳ නැගිටින්නේ


කසලු යැයි යන නමක් සැදෙන්නේ

එතැන් පටන් ඇත් රළ බෝ වන්නේ

ඇත් වාහනයට බැල්ම හෙළන්නේ

ඇතා පිටින් දෙවි වැඩම කරන්නේ


ඇත් රළ බෝ වෙනා

තුන්සිය පනස් තුන් දෙනා

පෙරහර ද කරමිනා

මෙසේ දහනක සුරිඳු වඩිනා

 

image 1528890240 f5ea469c95 වර්තමාන කහල්ල පල්ලෙකැලේ රක්ෂිත වනය ආශ්‍රිතව සැරිසරන වන ඇතුන් දහනක බණ්ඩාර දෙවියන්ගේ දේවානුභාවයෙන් මවන ලද්දවුන් බවට ඇති විශ්වාසය

ඉහත සඳහන් ජන හා ලේඛනගත මූලාශ්‍ර අනුව වර්තමාන කහල්ල පල්ලෙකැලේ රක්ෂිත වනය ආශ්‍රිතව සැරිසරන වන ඇතුන් දහනක බණ්ඩාර දෙවියන්ගේ දේවානුභාවයෙන් මවන ලද්දවුන් බවට ඇති විශ්වාසය මානව විද්‍යාත්මක වශයෙන් නොවැදගත් යැයි බැහැර කිරීමට අපට නොපුළුවන.මෙම දහනක බණ්ඩාර දෙවියන් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතික හියු නෙවිල් සූරීන් ගොනු කළ වාර්තා මේ වන විට ද ශේෂව පැවතිය ද මේ වන විට එම දෙවියන් සම්බන්ධ කන්නලව්වක් ප්‍රකටව නැත.

 එහෙත් 1951 වසරේ ඇහැටුවැව, දිවුල්ගනේ රජයේ පාසලේ නුපුහුණු ගුරුපත්මක් ලැබ ගිය ගම්පහ, අස්ගිරිය මල්වත්ත පාරේ අංක 143 දරන ලිපිනයේ විසූ යාපා තිලකරත්න නම් යොවුන් ගුරුවරයා එවක එම එහි පිහිටි පුරාණ දිඹුලාගල (දිවුල්ගනේ) විහාරයේ විහාරාධිපති පදවිය හෙබ වූ පසුව වන්නි හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලත් පූජ්‍ය පොතානේගම ධීරානන්ද හිමිපාණන් සතු අත් පිටපතකින් උපුටා ගෙන ඇති මෙම පුරාණ දහනක බණ්ඩාර දේව කන්නලව්ව මේ වන විට ඒ සම්බන්ධ අතිශය දුලබ මූලාශ්‍රයක් බව අපගේ වැටහීම ය.

“……තව ද කහගල්ල වලච්චේ ඉපිද ගැටවර සන්දියේ ඔල මොළ කම් පා අකාලයේ මියැදී යක් ව ඉපදී වදාරා කතරගම දෙවියන්ගේ ආඥාවෙන් දේවත්වයට පත්ව කතරගම දෙවියන්ගේ ඇත් පරපුරටත් හා කහල්ල පල්ලේකැලේ පොරවගම ඇත් රජ පරපුරටත් උන් ජීවත් වන්නා වූ මහා මූකලාන් වලටත් නිති රැකවරණ සළසමින් අලි ඇතුන් ගහකොළට සහ සතා සීපාවාට ලෙන්ගතු කම් පාන්නා වූ නරයන් හා උන් ගේ පවුල් ද ඇකයේ හොවාගත් දරුවන් මෙන් රැක ගන්නා බවට කතරගම දෙවියන් හමුවේ දිව්රා සපථ කොට ඇති මතු බුදු වන දහනක බණ්ඩාර දේවතාවුන් වහන්ස, ඔබ වහන්සේ ඉදිරියට පැමිණ මෙසේ යටහත් පහත් ව බැගෑපත්ව සැළ කර සිටිනුයේ අද මේ ඔබ වහන්සේ ගෙන් පිහිටාරක්ෂාව යදින සකල ආතුරයන් ගේ ජාතියක්, ජන්මයක්, නිලයක්, බලයක් තිරාතිරමක් නොතකා මොවුන් ගේ සකල විධ දෝෂාන්ධකාර දුරු කොට මේ ආතුර පංචස්කන්ධයනට වැළඳ වැද්ද ගන්නා වූ අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි දෙතිස් තුනක් අතුරු අන්තරා දූරීභූත කොට සකල යහපත් වූ ඉෂ්ටාර්ථ සිද්ධීන් අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ කර දෙන ලෙසයි, පස්වාන් දහසකට බුදුවන්ඩ අවසරයි.”


vimalarathne 184x320එච්.කේ විමලරත්න

ඉහත සඳහන් පුරාණෝක්තිය කිසිදු හරයක් නොමැති නිසරු ප්‍රලාපයක් සේ යමකුට හැඟී යා හැක. එහෙත්, එම දහනක බණ්ඩාර දෙවියන් ගේ ඇත් පරපුර හඳුනා ගත හැකි ආකාරයක් සම්බන්ධයෙන් වන සත්ව සහ පරිසර ලෝලියකු වන ගලිගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එච්. කේ. විමලරත්නයන් වරක් මා හා පවසා තිබේ. ඔහු පවසා තිබූ අන්දමට ගල්ගමුව ආශ්‍රිතව ජීවත් වන අලි ඇත්තු ‘කුල දෙකකට’ අයත් වෙති. ඉන් එක් කුලයක් නම් වටකුරු පුෂ්ටිමත් ශරීර ඇති කහල්ල පල්ලේකැලේ අලි ඇත් කුලයයි. තබ්බෝව විල්පත්තු ප්‍රදේශය නිජබිම කොට ගත් පුෂ්ටිමත් බවක් පළ නොකරන උස් ශරීර සහිත අලි ඇත් කුලය දෙවන වර්ගයට අයත් වේ. ඔහු පවසනුයේ කහල්ල පල්ලේකැලේ ප්‍රදේශය නිජබිම කොට ගත් පුෂ්ටිමත් අලි ඇතුන් දහනක බණ්ඩාර දෙවියන් ගේ අලි ඇත් පරපුර බව පැරණි ගැමියන් පවසනු තමන් කුඩා කාලයේ කොතෙකුත් අසා ඇති බව ය.

එහෙත් පැරණි ජන සම්මතයේ එන මෙම බෙදීම සත්ව විද්‍යාත්මක නොවන බව පවසමින් වන ජීවී නිලධාරීන් ප්‍රතික්ෂේප කරන බව පවසන ඔහු පවසනුයේ මෙම අලි ඇත් කුල දෙක සම්බන්ධයෙන් ඊට වඩා ගැඹුරු දාර්ශනික විමසුමක් කිරීම මානව විද්‍යාඥයන් සතු වගකීමක් බව ය.එය අපගේ විෂය ක්ෂේත්‍රය මුල් කොට ඔහු මට කළ සියුම් කෙනිත්තුමක් බව ද මට ඒ මොහොතේ හඟුණි.එමෙන්ම පසුගිය කාලය තුළ කෲර මානව ක්‍රියාවන් නිසා ඛේදනීය අකල් මරණ වලට ලක් වූ අලි ඇතුන් වැඩිම ප්‍රමාණයක් දහනක බණ්ඩාර දෙවියන්ට අයත් කහල්ල පල්ලේකැලේ ඇත් පරපුරට අයත් වීම මත මෙම ඛේදවාචකයට පිටුදැකීම පිණිස දේශපාලන අධිකාරියේ විශේෂ අවධානය සේම සාම්ප්‍රදායික දහනක බණ්ඩාර දේව විශ්වාසය ප්‍රවර්ධනය කරවීමේ යහපතක් මිස කිසිදු දොසක් මට නම් දැකිය නොහැක.

Skfy8z1aP6tTKyIoYPPX 1 vei77

ඉහත සඳහන් පුරාවෘත්තය හා දේව කන්නලව්ව මගින් ඉතා මනාව පැහැදිලි වන කරුණක් තිබේ. එනම් විසි වන ශත වර්ෂයේ මුල් භාගය දක්වාම මෙම දහනක බණ්ඩාර දෙවියන් එම ප්‍රදේශවල ජනතාව ගේ එදිනෙදා ජීවන යහපැවැත්මට පිහිටාධාර සැපයූ දෙවි කෙනෙකු බවට සමාජමය පිළිගැනීමක් තිබූ බව ය. ඕනෑම ජන සමාජයක අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන් (Intangible culture heritage ) වනසා දැමීමේ අන්තරායකාරී බව මේ වන විට එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාතමක හා සංස්කෘතික සංවිධානයේ. හෙවත් යුනෙස්කෝව ද නිල වශයෙන් පිළිගෙන තිබේ. ඒ අනුව ඔවුන් ප්‍රකාශ කොට සිටිනුයේ ඒවායෙහි පවත්නා සාධනීය කොටස් භාවිතයට ගැනීම සමාජමය යහපැවැත්මට ඉවහල් වන බවකි.


එමෙන්ම වර්තමානයේ පවත්නා මෙම මෙම තත්ත්වය අතීතයේ අප රට පාලනය කළ ඉංග්‍රීසි පරිපාලකයන් පවා මනාව දැන ඉගෙන ඒ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය ශ්‍රීමත් ජෝන් ඩොයිලි, ආර්.ඩබ්ලිව් අයිවර්ස්,හියූ නෙවිල්, ලෙනාඩ් වුල්ෆ් ආදීන් විසින් අප සමාජය හමුවේ ගොනු කොට තබා ඇති ඒ සම්බන්ධ අගනා තොරතුරු වලින් පැහැදිලි වේ.

එමෙන්ම අතීතයේ මෙම වන අලි සම්පතට හිමිකම් කියන දහනක බණ්ඩාර දේව ඇදහීම නූතන සමාජයෙන් බැහැර වීම හා මෑත ඉතිහාසය තුළ අනේක විධ මානව ක්‍රියාකාරකම් නිසා ජාතිය සතු සතු වන අලි ඇත් සම්පත ශීඝ්‍රයෙන් වඳ වීම අතර පවත්නා සහසම්බන්ධතාව අපගේ විශේෂ අවධානයට යොමු විය යුතුම ය.



Praneeth Abayasundara
(ප්‍රණීත් අභයසුන්දර)
මානව විද්‍යා මහාචාර්ය
(උපුටා ගැනීම - vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...